Skip to content

පටුනට යන්න

‘වහලුන්ට නිදහස ලැබෙන බව දේශනා කරන්න’

‘වහලුන්ට නිදහස ලැබෙන බව දේශනා කරන්න’

‘වහලුන්ට නිදහස ලැබෙන බව දේශනා කරන්න’

‘වහලුන්ට නිදහස ලැබෙන බව දේශනා කිරීමත්’ තම දේවසේවයට අයත් බව යේසුස් පැවසුවා. (ලූක් 4:18) සැබෑ ක්‍රිස්තියානීන්ද ඔවුන්ගේ ස්වාමියාව අනුගමනය කරමින් රාජ්‍යයේ ශුභාරංචිය ‘සියලු ආකාර මිනිසුන්ට’ දේශනා කරනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට බොරු ආගමික බැඳීම්වලට කොටු වී සිටින අයට එයින් නිදහසක් ලබාගන්නත් ඔවුන්ගේ ජීවිත යහපත් අතට හරවාගන්නත් හැකි වී තිබෙනවා.—1 තිමෝති 2:4.

අද මෙම සේවයට ඇතුළත් වන්නේ බොරු ආගමික බැඳීම්වලට කොටු වී සිටින අයව මුදවාගැනීම විතරක් නෙවෙයි. නොයෙකුත් අපරාධවලට සම්බන්ධ වීම නිසා ඇත්තටම සිරගෙවල්වල කොටු වී සිටින අයට යම් සහනයක් ලබා දීමත් මෙම සේවයට ඇතුළත් වෙනවා. බොරු ආගමික බැඳීම්වලින් නිදහස ලබාගැනීමට හැකිවීම ගැන ඔවුන් අගය කරනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් යුක්රේනයේ සහ යුරෝපීය රටවල තිබෙන සිරගෙවල්වල කරන දේශනා සේවය ගැන දිරිගන්වනසුලු අද්දැකීම් කියවීමට ඔබත් සතුටු වේවි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ක්‍රිස්තියානීන් වී

සර්හිගේ * වයස අවුරුදු 38යි. ඔහු ඉන් අවුරුදු 20ක්ම ගත කර තිබෙන්නේ සිරගෙදරයි. ඔහු අධ්‍යාපනය ලැබුවේත් සිරගෙදර සිටයි. ඔහු මෙසේ පවසනවා. “අවුරුදු ගණනාවකට කලින් මම මිනී මැරුමකට අහු වෙලායි හිරේ ආවේ. මගේ දඬුවම් කාලය තවම ඉවර නැහැ. මම හිරේ හිටියේ චණ්ඩියෙක් වගේ. අනිත් සිරකරුවෝ හැමෝම මට බයයි.” එම හැසිරීම් රටාව නිසා තමන් ගත කරන්නේ නිදහස් ජීවිතයක් කියා ඔහුට හැඟුණාද? කොහෙත්ම නැහැ. ඔහු වසර ගණනාවක්ම මත්ද්‍රව්‍යවලට, මත්පැන්වලට හා දුම්පානයට වහල් වී සිටියා.

ඔහු සමඟ සිටි තවත් සිරකරුවෙක් බයිබලයේ තිබෙන සත්‍යය ඔහු සමඟ බෙදාගත්තා. ඒක හරියට ගන අන්ධකාරයේ ගමන් කරන කෙනෙකුට ආලෝකයක් ලැබුණා වගෙයි. මාස කිහිපයක් යන්න කලින් තමන් ඇබ්බැහි වී සිටි සියලුම පුරුදු ඔහු අත්හැරියා. ඒ විතරක් නෙවෙයි ඔහු ශුභාරංචිය දේශනා කරන්නෙක් බවටද පත් වුණා. වැඩි කල් ගියේ නැහැ ඔහු බව්තීස්මත් වුණා. සර්හි දැන් සිරකඳවුරේ පූර්ණ කාලීන දේවසේවකයෙක් ලෙස ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. ඔහු දරුණු අපරාධකරුවන් හත්දෙනෙකුට තමන්ගේ ජීවිත වෙනස් කරගන්න උදව් කර තිබෙනවා. දැන් ඒ හත්දෙනා සහෝදරයන් මෙන් ඔහු සමඟ එක්ව දෙවිට සේවය කරනවා. ඔවුන්ගෙන් හයදෙනෙක් දැන් නිදහස් වී සිටින අතර සර්හිට නිදහස් වීමට තව කල් තිබෙනවා. ඔහු මේ ගැන දුක් වෙන්නේ නැහැ. ඊට හේතුව ඔහු දන්නවා ඔහු සිරගෙදර ඉන්න කාලය අතරතුර ඔහුට තව අයට බොරු ආගමික බැඳීම්වලින් නිදහස් වීමට උපකාර කළ හැකි බව.—ක්‍රියා 20:35.

සර්හි සමඟ සිරගෙදර බයිබලය පාඩම් කළ එක් කෙනෙක්ගේ නම වික්ටර්. ඔහු කලින් මත්කුඩු ජාවාරම්කරුවෙක් මෙන්ම එයට ඇබ්බැහි වී සිටි කෙනෙක්. වික්ටර් හිරෙන් නිදහස් වුණාට පස්සේ දිගටම ඔහුගේ ඇදහිල්ල ශක්තිමත් වන ක්‍රියාකාරකම්වල යෙදුණා. පසුව ඔහු යුක්රේනයේ පැවති දේවසේවා පුහුණු පාසැලට ඇතුල් වීමට සුදුසුකම් ලැබුවා. ඔහු දැන් මෝල්ඩෝවා නගරයේ විශේෂ පුරෝගාමියෙක් ලෙස සේවය කරනවා. වික්ටර් ඔහුගේ අතීතය මතක් කරමින් මෙසේ පැවසුවා. “මම සිගරට් බොන්න පටන්ගත්තේ අවුරුදු 8දීයි. අවුරුදු 12 වෙනකොට මම මත්පැන් ගන්නත් පුරුදු වෙලා හිටියා. ඒ විතරක් නෙවෙයි අවුරුදු 14දී මම මත්ද්‍රව්‍ය ගන්නත් පටන්ගත්තා. මගේ ජීවිතයේ යම් වෙනසක් කරන්න ඕනේ කියලා හිතලා වෙනසක් කරන්න හැදුවත් මගේ හැම වෑයමක්ම අසාර්ථක වුණා. 1995දී මගේ භාර්යාවයි මමයි අපි ආශ්‍රය කරපු නරක යාළුවන්ගෙන් ඈත් වෙලා වෙනත් ප්‍රදේශයකට යන්න තීරණය කරලයි තිබුණේ. මේ කාලේදී තමයි උන්මත්තකයෙකු මගේ භාර්යාවට පිහියකින් ඇනලා මරලා දැම්මේ. ඊට පස්සේ මගේ ජීවිතය අවුල් ජාලාවක් වුණා. ‘දැන් මගේ භාර්යාව කොහේද ඉන්නේ? කවුරු හරි මැරුණහම එයාට මොනවාද වෙන්නේ?’ මම මේ වගේ ප්‍රශ්න ගැන ගොඩාක් හිතුවා. ඒත් ඒ එකකටවත් මට පිළිතුරක් හොයාගන්න ලැබුණේ නැහැ. මගේ පාළුව තනිකම නැති කරගන්න මම තව තවත් මත්ද්‍රව්‍ය ගත්තා. ඊට පස්සේ මම මත්කුඩු විකුණනවා අහු වෙලා මාව අවුරුදු පහකට හිරේ දැම්මා. එහිදී තමයි සර්හි මගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න උපකාර කළේ. මම මත්ද්‍රව්‍ය නොගෙන ඉන්න ගොඩාක් උත්සාහ කර තිබුණත් මට බැරි වුණා. ඒත් මට දැන් එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ බයිබලයේ දැනුම නිසයි. දෙවිගේ වචනය ඇත්තටම ගොඩාක් බලවත්!”—හෙබ්‍රෙව් 4:12.

දරුණු අපරාධකරුවන් වෙනස් වෙයි

අපි දැන් මේ කතා කරන වසීල් කියන තැනැත්තා නම් කවදාවත් මත්ද්‍රව්‍ය පාවිච්චි කළේ නැහැ. නමුත් ඔහුත් යමකට වහල් වී සිටියා. “මම පුරුදු වෙලා හිටියා කිසිම තුවාලයක්වත් සීරීමක්වත් පිටතින් පෙනෙන්නේ නැති විදිහට අනිත් අයට අතින් පයින් පහර දෙන්න.” ඔහු මෙම සැහැසික ක්‍රමය යොදාගත්තා අන් අයව මංකොල්ල කන්න. “මම තුන් සැරයක් හිරේ හිටියා. මේ නිසා මගේ භාර්යාව මගෙන් දික්කසාද වුණා. මම හිරේ හිටපු අන්තිම අවුරුදු පහේදී මට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සඟරාවක් ලැබුණා. මේ සඟරාව කියෙව්වට පස්සේ මට බයිබලය කියවන්න ආසාවක් ඇති වුණා. නමුත් මට මිනිසුන්ට පහර දෙන එක අත්හරින්න බැරි වුණා.

“මම බයිබලය කියවන්න පටන් අරං මාස හයක් ගත වුණාට පස්සේ මම හිතන විදිහ වෙනස් වෙන්න පටන්ගත්තා. කාට හරි පහර දීලා ලැබූ ජයග්‍රහණයෙන් ඇති වූ සතුට මට තවදුරටත් දැනුණේ නැහැ. මගේ ජීවිතයේ මම කරන්න ඕනේ වෙනස්කම් ගැන දැනගැනීමට මට උපකාරවත් වුණේ යෙසායා 2:4හි සඳහන් වචනයි. ඊට පස්සේ මම අනිත් අය එක්ක ගහගන්ඩ භාවිත කළ සියලුම උපකරණ විසි කර දමා මගේ ජීවිතය හොඳ අතට හරවාගැනීමට කළ යුතු දේවල් ගැන හිතුවා. ඒ වෙනස්කම් කරන එක ලෙහෙසි වුණේ නැහැ. නමුත් මම කියවපු දේවල් මෙනෙහි කිරීමත් යාච්ඤාවත් මට උපකාරවත් වුණා මගේ නරක පුරුදු ටිකෙන් ටික අයින් කරන්න. මම සමහර අවස්ථාවලදී යෙහෝවාට ඇඬූ කඳුළින් යාච්ඤා කරලා කිව්වා මගේ ඇබ්බැහි වීම්වලින් මිදෙන්න මට ශක්තිය දෙන්න කියලා. අන්තිමට මම ජයගත්තා.

හිරෙන් නිදහස් වුණාට පස්සේ මම නැවතත් මගේ පවුලේ අය සමඟ එකතු වුණා. මම දැන් ගල් අඟුරු ආකරයක වැඩ කරනවා. මේ රැකියාව කරන ගමන් මගේ භාර්යාව සමඟ දේශනා සේවයේ යෙදෙන්නත් ඒ වගේම සභාවේ වගකීම් ඉටු කරන්නත් මට දැන් කාලය තිබෙනවා.”

තවත් අද්දැකීමක් සලකා බලමු. මිකෝලා ඔහුගේ මිත්‍රයන් සමඟ එකතු වී යුක්රේනයේ බැංකු කිහිපයක්ම කොල්ල කෑවා. මේ නිසා ඔහුට අවුරුදු දහයක සිරදඬුවමක් නියම කළා. ඔහුව සිරගත කරන්න කලින් ඔහු පල්ලියට ගිහින් තිබුණේ එක වතාවයි. ඒ ගියේත් එය කොල්ල කන්න ක්‍රමයක් සොයා බැලීමටයි. නමුත් ඔහුට පල්ලිය කොල්ල කන්න ලැබුණේ නැහැ. ඒත් ඔහු එහි දැක්ක දේවල් නිසා ඔහු හිතුවා බයිබලය කියන්නේ ඔර්තඩොක්ස් පූජකයන් ගැනයි, ඉටිපන්දම් ගැනයි ඒ වගේම ආගමික උත්සව ගැනයි සඳහන් වී තිබෙන කිසි කමකට නැති පොතක් කියලා. ඔහු මෙහෙම පැවසුවා. “මම බයිබලය කියවන්න පටන්ගත්තේ ඇයි කියලා මට හිතාගන්නවත් බැහැ. නමුත් බයිබලය කියවද්දී මම පුදුම වුණා. ඒකේ තියෙන්නේ මම හිතාගෙන හිටපු දේවල් නෙවෙයි.” ඔහු බයිබලයේ තිබෙන දේවල් ඉගෙනගන්න කැමැත්ත පළ කළා. ඔහු 1999දී බව්තීස්ම වුණා. දැන් ඔහු සභා සේවකයෙක් හැටියට නිහතමානීව සේවය කරනවා. ඔහු දෙස දැන් බලන කිසිම කෙනෙකුට හිතන්න බැහැ ඔහු කලකට පෙර අවි පාවිච්චි කළ බැංකු මංකොල්ලකරුවෙක් වෙලා හිටියා කියලා.

දැන් අපි ව්ලේඩිමර්ගේ අද්දැකීම සලකා බලමු. ඔහුව මරණ දණ්ඩනයට නියම වී තිබුණා. ඔහුට තව එක අවස්ථාවක් ජීවත් වෙන්න දෙනවා නම් ඔහු දෙවිට සේවය කරනවා කියා ඔහු දෙවිට යාච්ඤා කර පොරොන්දු වුණා. මේ අතරතුරේදී රටේ නීතිය වෙනස් වූ අතර ඔහුගේ දඬුවමත් ලිහිල් වුණා. ඔහුට මරණ දණ්ඩනය වෙනුවට ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න නියම කරනු ලැබුවා. මේ නිසා ඔහු දෙවිට වූ පොරොන්දුව ඉෂ්ට කිරීමට සැබෑ ආගම සොයන්න පටන්ගත්තා. ඔහු ඇඩ්වෙන්ටිස්ට් පල්ලියෙන් දියත් කරන ලද ලිපි මාර්ගයෙන් දැනුම ලබාගන්නා පාඨමාලාවක් හැදෑරූ අතර ඔහුට ඒ සඳහා ඩිප්ලෝමා සහතිකයක් ලැබුණා. නමුත් ඔහු එයින් සෑහීමට පත් වුණේ නැහැ.

කෙසේවෙතත් සිරගෙදර පුස්තකාලයේ තිබුණු මුරටැඹ හා පිබිදෙව්! සඟරා කියවීමෙන් පසු ඔහු යුක්රේනයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ලියලා ඔහුව හමු වෙන්න කෙනෙක්ව එවන මෙන් ඉල්ලා සිටියා. යුක්රේනයේ සහෝදරයෝ ඔහුව බැහැදැකීමට පැමිණෙන විටත් ඔහු සාක්ෂිකරුවෙකු ලෙස සිරගෙදර සිටින අනෙකුත් සිරකරුවන්ට දේශනා කරන්න පටන්ගෙන තිබුණා. ඊට පසුව ඔහුට රාජ්‍ය ප්‍රචාරකයෙකු ලෙස සේවය කිරීමට අවශ්‍ය සුදුසුකම් ලබාගැනීමට උපකාර කළා. දැන් ව්ලේඩිමර් හා තවත් හත්දෙනෙක් බව්තීස්ම වීමට සූදානමින් සිටිනවා. සාමාන්‍යයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දී තිබෙන සිරකරුවන්ව තමන්ගේ ආගම්වලට අනුව දමන්නේ එකම සිරකුටිවලයි. මේ අනුව ව්ලේඩිමර් හා ඔහුගේ කුටියේ ඉන්න අනිත් සිරකරුවන් සාක්ෂිකරුවන් නිසා ඔවුන්ට දේශනා කරන්න කෙනෙක් නැහැ. මේ නිසා ඔවුන් මුරකරුවන්ට ශුභාරංචිය ගැන පවසන අතර වෙනත් අයට ලිපි මාර්ගයෙන් සාක්ෂි දරනවා.

නසාර්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහු යුක්රේනයේ සිට චෙක් සමූහාණ්ඩුවට පදිංචි වෙන්න ගියා. එහිදී ඔහු හොරුන් කණ්ඩායමකට එකතු වුණා. මේ නිසා ඔහුට අවුරුදු තුනහමාරක සිරදඬුවමක් විඳින්න සිදු වුණා. ඔහු සිරගෙදර සිටින කාලය අතරතුරේදී කාලව් වේරි නගරයෙන් පැමිණි යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලයේ සත්‍යය ඉගෙනගත් අතර ඔහු ඔහුගේ නරක පුරුදු සම්පූර්ණයෙන්ම අත්හැරියා. මේ වෙනස දුටු එක් මුරකරුවෙක් නසාර්ගේ සිරකුටියේ සිටි අනිත් සිරකරුවන්ට පැවසුවේ “ඔයගොල්ලන් හැමෝම අර යුක්රේනිය ජාතිකයා වගේ වෙනස් වෙනවා නම් මට වෙන රැකියාවක් හොයාගන්න පුළුවන්” කියායි. තවත් මුරකරුවෙක් මෙහෙම කිව්වා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් නම් ඇත්තටම දක්ෂයෝ. සිරගෙදරට එන අපරාධකාරයන්ව හොඳ පුරවැසියන් කර ගෙදර යවන්න පුළුවන් මේ අයට විතරයි.” නසාර් හිරෙන් නිදහස් වෙලා ගෙදර ගියාට පස්සේ ඔහු වඩු වැඩ ඉගෙනගත්තා. ඊට පස්සේ විවාහයක් කරගත් ඔහු දැන් ඔහුගේ භාර්යාවත් සමඟ පූර්ණ කාලීන සේවය කරනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිරගෙවල්වල සිටින සිරකරුවන් බැහැදැකීමට පැමිණීම ගැන නසාර් හුඟාක් අගය කරනවා.

නිලධාරීන් ප්‍රශංසා කරයි

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සේවය අගය කරන්නේ සිරකරුවන් විතරක්ම නෙවෙයි. පෝලන්තයේ තිබෙන සිරගෙදරක නිලධාරියෙකු වන මිරස්ලෝ කොවල්ස්කි මෙසේ අදහස් දැක්වුවා. “අපි සාක්ෂිකරුවන්ගේ පැමිණීම ගොඩාක් අගය කරනවා. සමහර සිරකරුවන්ගේ ජීවිත අද්දැකීම ඉතා කනගාටුදායකයි. ඔවුන්ව කවදාවත් මිනිසුන් හැටියට කවුරුත් සලකලා නැහැ. . . . සාක්ෂිකරුවන්ගේ සේවය ගොඩාක් වටිනවා. මොකද සිරකරුවන්ව දැනුවත් කරන අය අපිට අඩුයි.”

පෝලන්තයේ තවත් සිරකඳවුරක් බාරව සිටින එක් නිලධාරියෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිරගෙවල්වල සිටින අයට පිරිනමන සේවය තවත් වැඩි කරන ලෙස ඉල්ලා එහි ශාඛා කාර්යාලයට දන්වා තිබුණා. ඊට හේතුව ලෙස ඔහු මෙසේ පැවසුවා. “සාක්ෂිකරුවන් නිතරම සිරගෙවල්වල සිටින අයව බැහැදැකීමට පැමිණීමෙන් සිරකරුවන්ට හොඳ ගුණාංග ඇති කරගැනීමට වගේම ඔවුනොවුන් අතර ඇති වන ආරවුල් නැති කරගැනීමටත් ඔවුන්ට හැකි වෙනවා.”

තමන්ගේ ජීවිතය ගැන කලකිරුණු සිරකරුවෙක් තම ජීවිතය නැති කරගැනීමට වෑයම් කළ අතර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ උපකාරය ඔහුට ලැබුණා. දැන් ඔහුගේ තත්වය ගැන යුක්රේනයේ ප්‍රවෘත්ති පත්‍රයක මෙසේ වාර්තා කර තිබුණා. “දැන් මේ පුද්ගලයා ඔහුගේ මානසික ගැටලුවලින් ටික ටික ගොඩ එන්න පටන්ගෙන තිබෙනවා. ඔහු සිරගෙදර දිනචර්යාවට අනුව වැඩකටයුතු කරගෙන යන අතර ඔහු අන් අයටත් හොඳ ආදර්ශයක් වී තිබෙනවා.”

සිරකඳවුරෙන් පිට වූවාට පසුවත් උපකාරය

යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිරකරුවන් හිරෙන් නිදහස් වුණාට පසුවත් ඔවුන්ට දිගටම උපකාර සපයනවා. බ්‍රිජට් හා රෙනේ යන ක්‍රිස්තියානි සහෝදරියන් දෙදෙනා මේ ආකාරයට සිරකඳවුරුවලින් පිට වන අයට අවුරුදු ගණනාවක් පුරා උපකාර කරමින් සිටිනවා. එක් ජර්මානු ප්‍රවෘත්ති පත්‍රයක (Main-Echo Aschaffenburg) ඔවුන් ගැන මෙසේ වාර්තා කර තිබුණා. “සිරකාරියන් සිරකඳවුරෙන් පිට වුණාට පස්සේ ඒ අයව මාස තුනක් හතරක් පමණ කාලයක් බලාගනිමින් ජීවිතයේ අරමුණ ගැන සිතා බැලීමට ඔවුන් දෙදෙනා ඔවුන්ට උනන්දු කරනවා. . . . ඔවුන් සිරගෙවල්වල පත් කරන ලද ස්වේච්ඡා නිලධාරීන් ලෙස සේවය කරනවා. . . . ඔවුන් ගොඩනංවනසුලු අදහස් ඉදිරිපත් කරන අතර නිලධාරීන් සමඟ හොඳ සම්බන්ධතාවක් ඇති කරගෙන තිබෙනවා.” ඔවුන්ගේ මේ කාරුණික උපකාරය නිසා කිහිපදෙනෙක්ම යෙහෝවාට තමන්ගේ ජීවිත කැප කර තිබෙනවා.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීමේ වැඩපිළිවෙලින් නිලධාරීන් පවා ප්‍රයෝජන ලබනවා. මේ සඳහා උදාහරණයක් දැන් සලකා බලමු. රොමාන් කියන්නේ හමුදා නිලධාරියෙක් මෙන්ම යුක්රේනයේ එක් සිරකඳවුරක සේවය කරන මනෝවිද්‍යාඥයෙක්. සාක්ෂිකරුවන් ඔහුව නිවසේදී හමු වූ විට ඔහු ඔවුන් සමඟ බයිබලය පාඩම් කිරීමට කැමති වුණා. ඔහු වැඩ කළ සිරගෙදර සිටින සිරකරුවන්ව හමු වෙන්න සාක්ෂිකරුවන්ට අවසර ලැබුණේ නැති බව ඔහුට දැනගන්න ලැබුණා. ඊට පස්සේ ඔහු බයිබලයේ තිබෙන දේවල් සිරකරුවන් සමඟ සාකච්ඡා කිරීමට අවසර දෙන මෙන් සිරකරුවන් භාර නිලධාරියාගෙන් ඉල්ලා සිටියා. ඔහුට අවසර ලැබුණු අතර සිරකරුවන් දහදෙනෙක් විතර බයිබලය පාඩම් කිරීමට කැමැත්ත දැක්වුවා. රොමාන් දිගටම ඔහු ඉගෙනගන්නා දේවල් මේ අය සමඟ බෙදාගත්තා. ඔහුගේ වෑයමට මහත් ආශීර්වාද ලැබුණා. සිරගෙදරින් නිදහස් වුණාට පස්සේ සමහරුන් දිගටම බයිබලය පාඩම් කරමින් ප්‍රගතියක් ලැබූ අතර බව්තීස්ම වුණා. දේවවචනයට තිබෙන බලය අද්දැක්ක රොමාන් ඔහු ඉගෙනගන්න දේවල් කෙරෙහි ලොකු අගයක් දැක්වුවා. ඔහු හමුදා සේවයෙන් ඉවත් වී දිගටම බයිබල් පාඩම කරගෙන ගිය අතර සියලුම රැස්වීම්වලට සහභාගි වෙමින් සත්‍යය තුළ දියුණු වුණා. ඔහු දැන් කලින් සිරුකරුවෙකු වී සිටි කෙනෙකු සමඟ දේශනා සේවයේ හවුල් වෙනවා.

එක් සිරකරුවෙක් මෙසේ අදහස් දක්වා තිබුණා. “අපිට මෙහේ ජීවත් වෙලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ බයිබලයෙන් හා බයිබලයේ අදහස් තියෙන පොත් පත්වලින් වගේම බයිබල් පාඩමෙන් ලැබෙන උපකාර නිසයි. මින් පෙනී යන්නේ හැම සිරගෙදරකටම වගේ බයිබලයේ අදහස් අඩංගු පොත් පත් ලබා දීමේ වැදගත්කමයි. යුක්රේනයේ තිබෙන සිරකඳවුරක සිටින සිරකරුවන්ට බයිබලය පිළිබඳව සපයන දැනුම ගැන එක් සභාවක් මෙසේ වාර්තා කරනවා. “අපි සපයන පොත් පත් ගැන එහි නිලධාරීන් බොහෝ ස්තුතිවන්ත වෙනවා. අපි සෑම මුරටැඹ හා පිබිදෙව්! සඟරාවකම පිටපත් 60ක් දෙනවා.” තවත් සභාවක් පොත් පත් සැපයීමට දරන ඔවුන්ගේ වෑයම ගැන මෙසේ පැවසුවා. “අපි පුනරුත්ථාපන කඳවුරක තිබෙන කුඩා පුස්තකාල 20කට පොත් පත් සපයනවා. අපි මේ සෑම පුස්තකාලයකටම අපේ ප්‍රධාන පොත් පත් අඩංගු පොත් පෙට්ටි 20ක් ලබා දුන්නා.” එක් සිරකඳවුරක නිලධාරීන් පුස්තකාලයේ තිබෙන අපේ පොත් පත් ගැන වාර්තාවක් තබා තිබෙනවා. ඔවුන් එසේ කළේ සිරකරුවන්ට අපේ පොත් පත් සෑම එකකින්ම ප්‍රයෝජනයක් ලබාගැනීම සඳහායි.

යුක්රේනයේ සිරකරුවන්ට උපකාර කිරීම සඳහා වර්ෂ 2002දී එරට ශාඛා කාර්යාලයේ විශේෂ අංශයක් පිහිටෙව්වා. මේ වන විට එම අංශය පුනරුත්ථාපන කඳවුරු 120ක් සමඟ සම්බන්ධ වී සිටින අතර ඒවායේ අවශ්‍යතාවන් බලාගැනීමේ කටයුතු සභාවලට බාර දී තිබෙනවා. සෑම මාසයකම සිරකරුවන්ගෙන් ලියුම් 50ක් විතර ලැබෙන අතර බොහෝවිට ඔවුන් පොත් පත් හා බයිබල් පාඩම් ඉල්ලා සිටිනවා. එම බලප්‍රදේශයේ සහෝදරයන් ඔවුන්ව මුණගැසෙන තුරු ශාඛා කාර්යාලයෙන් ඒ අවශ්‍ය අයට පොත් පත් සඟරා ලබා දෙනවා.

‘සිරබැමිවල සිටින අයවද සිහියේ තබාගන්න’ කියා පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට පැවසුවා. (හෙබ්‍රෙව් 13:3) පාවුල් එහිදී කතා කළේ ඇදහිල්ල නිසා සිරභාරයේ සිටින සහෝදරයන් ගැනයි. අද යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිරගෙවල්වල සිටින අයව මතකයේ තබාගෙන ඔවුන්ට උදව් කරන අතර ‘වහලුන්ට නිදහස ලැබෙන බව දේශනා කරනවා.’—ලූක් 4:18.

[පාදසටහන]

^ 5 ඡේ. සමහර නම් වෙනස් කර තිබෙනවා.

[9වන පිටුවේ පින්තූරය]

යුක්රේනයේ ලි-විෆ් සිරකඳවුරේ තාප්පය

[10වන පිටුවේ පින්තූරය]

මිකෝලා

[10වන පිටුවේ පින්තූරය]

වසීල් ඔහුගේ භාර්යාව අයිරීනා සමඟ

[10වන පිටුවේ පින්තූරය]

වික්ටර්