Skip to content

පටුනට යන්න

“අවස්ථාවට සුදුසු වචනය කොතරම් වටින්නේද!”

“අවස්ථාවට සුදුසු වචනය කොතරම් වටින්නේද!”

“අවස්ථාවට සුදුසු වචනය කොතරම් වටින්නේද!”

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීමකදී ඒ කතාවලට හොඳින් සවන් දීමටත් කෙටි සටහන් ගැනීමටත් කිම්ට සිදු වුණේ අවුරුදු දෙකහමාරක් වයසැති ඇගේ දඟකාර දුවව වාඩි කරවලා තියාගන්න ලොකු උත්සාහයක් දරන අතරමයි. එසේ ඇය ඇගේ සැමියා සමඟ එකතුව දැරූ උත්සාහය දුටු ක්‍රිස්තියානි සහෝදරියක් වැඩසටහන අවසානයේදී පැමිණ ඔවුන්ව මුළු හදවතින්ම අගය කළා. මීට අවුරුදු ගාණකට පෙර ඇය කියූ ඒ වචන කිම්ට තාමත් මතකයි. කිම් මෙහෙම කියනවා. “සමහර වෙලාවට රැස්වීම්වලට ගියාම දුව නිසා මට හරිම මහන්සියි. ඒ වගේ වෙලාවලදී මට ඒ සහෝදරිය කියපු දේ මතක් වෙනවා. ඇගේ ඒ කාරුණික වචන, අපේ දුවව දිගටම පුහුණු කරන්න මට ලොකු හයියක් වුණා!” ඔව්, “අවස්ථාවට සුදුසු වචනය කොතරම් වටින්නේද!” කියා බයිබලය පවසන දේ මොන තරම් ඇත්තක්ද!—හිතෝපදේශ 15:23, නව ලොව පරිවර්තනය.

අනිත් අයට ප්‍රශංසා කරන එක අපෙන් සමහරදෙනෙකුට අමාරු දෙයක් වෙන්න පුළුවන්. සමහරවිට එහෙම වෙන්නේ අපේම අඩුපාඩුකම් ගැන අපි වැඩියෙන් හිතන නිසා වෙන්න පුළුවන්. එක සහෝදරයෙක් මෙහෙම කියනවා. “මම අනිත් අයට ප්‍රශංසා කරද්දී මං ගැන මට හිතෙන්නේ කිසිම වටිනාකමක් නැහැයි කියලා.” ලැජ්ජාශීලිකම, තමා ගැන අඩුවෙන් සිතීම හෝ වරදවා වටහාගනියි කියන භය නිසාත් සමහරු අනිත් අයට ප්‍රශංසා කරන්නේ නැහැ. ළමා කාලයේදී අපිට ලැබිය යුතු ප්‍රශංසාව ලැබී නැත්නම් වැඩිහිටියෙක් වූ පසුව අන් අයට ප්‍රශංසා කිරීම අපිට අමාරු දෙයක් වෙනවා.

ඒ කොහොමවුණත් කෙනෙක්ව අගය කරද්දී එය කරන කෙනා තුළත් එය ලබන කෙනා තුළත් එමගින් හොඳ බලපෑමක් ඇති වෙයි කියන එක දැනගෙන සිටීමෙන් අන් අයව ප්‍රශංසා කිරීමට අපව පෙලඹෙනවා. (හිතෝපදේශ 3:27) එසේ කිරීමෙන් ලැබෙන හොඳ ප්‍රතිඵල මොනවාද? ඉන් කිහිපයක් ගැන සලකා බලමු.

හොඳ ප්‍රතිඵල

පැසසිය යුත්තාට පසසද්දී ඒ කෙනාට තමා ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඉලේන් සාක්ෂිකාරියක් වගේම බිරිඳක්. ඇය මෙහෙම කියනවා. “වෙනත් අය මාව අගය කරද්දී ඒ අයට මං ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියන එක මට තේරෙනවා.” යම් හේතුවක් නිසා තමා ගැන අඩුවෙන් හිතන කෙනෙකුට ප්‍රශංසා කරද්දී ඒ කෙනාට එවැනි බාධා ජය ගන්න පුළුවන් වෙනවා වගේම තමා ගැනම සතුටු වෙන්නත් පුළුවන් වෙනවා. විශේෂයෙන්ම තරුණ අයට ලැබිය යුතු ප්‍රශංසාව ලැබෙද්දී ඔවුන් ඉන් ප්‍රයෝජන ලබනවා. තමා ගැනම අඩුවෙන් සිතන නිසා අධෛර්යයට පත් වී සිටි යෞවනියක් පැවසුවේ මෙහෙමයි. “මම හැම වෙලාවෙම උත්සාහ කළේ යෙහෝවාව සතුටු කරන්න. නමුත් සමහර වෙලාවට මට හිතුණේ කොච්චර කරත් මම කරන දේ මදියි කියලා. ඒත් කවුරු හරි මාව අගය කරද්දී මට දැනෙන්නේ ලොකු සතුටක්.” බයිබලයේ සඳහන් “නිසි කලට කී වචනයක් රිදී පෙට්ටිවල රන් පල මෙනි” යන හිතෝපදේශය කොතරම් සත්‍යයක්ද!—හිතෝපදේශ 25:11.

ප්‍රශංසාව ලැබෙන විට කෙනෙකුට වඩා හොඳින් දේවල් කරන්න දිරිගැන්වීමක් ලැබෙනවා. පූර්ණ කාලීන සේවකයෙක් මෙහෙම කියනවා. “අන් අයගෙන් ලැබෙන ප්‍රශංසාව නිසා තවත් මහන්සි වී සේවය කිරීමටත් ඉගැන්වීමේ ක්‍රම තවත් දියුණු කරගැනීමටත් මට ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා.” සභා රැස්වීම්වලදී ඇගේ දරුවන් දක්වන අදහස් අනිත් අය අගය කරද්දී ඒ දරුවන් තවත් වැඩියෙන් අදහස් දැක්වීමට ආශාවක් දක්වන බව දෙදරු මවක් පවසනවා. තරුණ අයටත් තම ක්‍රිස්තියානි ජීවිතය තුළ විවිධ පැති වර්ධනය කරගැනීමට අන් අයගෙන් ලැබෙන ප්‍රශංසාව බොහෝ සෙයින් දායක වෙනවා. අනිත් අය අපිව අගය කරනවා කියන එකත් ඒ අයට අපිව වටිනවා කියන එකත් දැනගන්න අපි කවුරුත් කැමතියි. මේ ජීවිතයේ පීඩනවලින් මිරිකී සිටින අපිට වෙහෙසක් හා අධෛර්යයක් දැනෙන්න පුළුවන්. ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් මෙහෙම කියනවා. “මම කලකිරිලා ඉන්න වෙලාවට කවුරුහරි මාව අගය කරද්දී ඒක හරියට මගේ යාච්ඤාවට පිළිතුරක් ලැබුණා වගෙයි.” ඉලේන්ට හිතෙන්නෙත් ඒ වගේමයි. “අනිත් අය මාව අගය කරලා කතා කරද්දී මට හැඟෙන්නේ යෙහෝවාගේ අනුමැතිය මට තියෙනවා කියලයි.”

කෙනෙකුට ප්‍රශංසා කිරීම තුළින් එයාව වටිනවා කියලා පෙන්වන්න පුළුවන්. හදවතින්ම ප්‍රශංසා කිරීමෙන් අපි අනිත් අය ගැන හිතන බව පෙන්වනවා වගේම අන් අය අප ගැන වරදවා වටහාගනියි කියන භයත් අපෙන් ඉවත් වෙනවා. මේ නිසා එකිනෙකා අතර හොඳ හිතක් සහ වටිනාකමේ හැඟීමත් ඇති වෙනවා. එසේ කිරීමෙන් පැහැදිලි වෙන්නේ අපි අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට ප්‍රේම කරන බවත් ඔවුන්ව අගය කරන බවත්. මවක් වන ජොසී කියන්නේ “ඉස්සර අපේ ගෙදර සත්‍යයේ හිටියේ මම විතරයි. සමහර දේවල් ගැන මට තීරණ ගන්න වුණේ තනියෙන්. ඒත් සත්‍යය තුළ හිටපු අද්දැකීම් ලත් මේරූ අය මං ගත්තු තීරණ අගය කරද්දී අධෛර්ය නොවී සත්‍යය තුළ සිටින්න ඒක මට ලොකු දිරිගැන්වීමක් වුණා.” ඇත්තෙන්ම ‘අපි එකිනෙකා එක ශරීරයක අවයව’ වගේ නිසා අපිට එකිනෙකාව අවශ්‍යයි.—එෆීස 4:25.

ප්‍රශංසා කිරීමට කැමති කෙනෙක් අනිත් අයගේ හොඳ පැති දකිනවා. එවැනි කෙනෙක් ඔවුන්ගේ දුර්වලකම් වෙනුවට හොඳ ගුණාංග දකිනවා. ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් වන ඩේවිඩ් මෙහෙම කියනවා. “අනිත් අය කරන දේවල් අපි අගය කරනවා නම් ඒ අයට ප්‍රශංසා කරන්න අපි පෙලඹෙනවා.” පාපය උරුම කරගත් මිනිසුන්ව යෙහෝවා සහ ඔහුගේ පුත්‍රයා බොහෝ සේ අගය කරනවා. එය මතකයේ තබාගැනීම අන් අයට ප්‍රශංසා කිරීමට අප තුළ පෙලඹීමක් ඇති කරාවි.—මතෙව් 25:21-23; 1 කොරින්ති 4:5.

ප්‍රශංසාව ලබන්න වටින අය

යෙහෝවා දෙවි සෑම දෙයකම මැවුම්කරු නිසා ප්‍රශංසාව වැඩියෙන්ම ලබන්න වටින්නේ ඔහුයි. (එළිදරව් 4:11) යෙහෝවාට තමා ගැන හොඳ නිසැකකමක් තියෙනවා. ඔහු දේවල් කරන්නේ තම කැමැත්තෙන්ම පෙලඹිලයි. ඒ නිසා අපේ ප්‍රශංසාව ඔහුට අවශ්‍යම නැහැ. ඒත් යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වය සහ කරුණාව ගැන අපි ඔහුට ප්‍රශංසා කරද්දී ඔහු අපිට සමීප වන අතර ඔහුත් සමඟ හොඳ මිත්‍රත්වයක් ඇති කරගන්නත් එය අපට උපකාරවත් වෙනවා. යෙහෝවාට ප්‍රශංසා කිරීමට අපි පුරුදු වී සිටිනවා නම් යම් දෙයක් හොඳට කරද්දී නිහතමානී වෙන්නත් ඉන් ලැබෙන ගෞරවය ඔහුට දෙන්නත් අපි පෙලඹෙනවා. (යෙරෙමියා 9:23, 24) සදාකාල ජීවනයේ බලාපොරොත්තුව එය ලබන්න සුදුසු අයට දී තිබීම යෙහෝවාට ප්‍රශංසා කිරීමට තවත් හේතුවක් වෙනවා. (එළිදරව් 21:3, 4) පුරාණයේ සිටි දාවිත් රජ ‘දෙවිගේ නාමයට ප්‍රශංසා කරන්නත්, ස්තුති කිරීමෙන් ඔහුව උසස් කරන්නත්’ ලොකු ආශාවක් දැක්වූවා. (ගීතාවලිය 69:30) අපේ ආශාව වෙන්න ඕනෙත් ඒකම නේද?

අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් ප්‍රශංසාව ලැබීමට වටින දේවල් කරනවා. අපි එවැනි අයට ප්‍රශංසා කරද්දී “ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන පිණිස එකිනෙකා ගැන සැලකිලිමත් වෙමු” කියන දිව්‍ය ආඥාවට එකඟව ක්‍රියා කරනවා. (හෙබ්‍රෙව් 10:24) මේ සම්බන්ධයෙන් ආදර්ශවත් කෙනෙක් වූ පාවුල් රෝමයේ සභාවට ලිව්වේ මෙහෙමයි. “ඔබේ ඇදහිල්ල ගැන ලොව පුරාම කතා කෙරෙන හෙයින්, පළමුකොට යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මාගේ දෙවිට මම ඔබ සියල්ලන් ගැන ස්තුති කරමි.” (රෝම 1:8) මීට සමානව ‘සත්‍යයෙහි ගමන් කිරීම’ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබූ ගායස්ට යොහන් ප්‍රශංසා කළා.—3 යොහන් 1-4.

සභාවේ කෙනෙක් යේසුස්ට තිබුණා හා සමාන ගතිගුණ පෙන්වද්දී, හොඳින් සූදානම් කළ කොටසක් රැස්වීමේදී ඉදිරිපත් කරද්දී හෝ හොඳ පිළිතුරක් දෙද්දී ඒ කෙනාට අපේ අගය පළ කිරීමට එය හොඳ අවස්ථාවක් වෙනවා. ඒ වගේම සභා රැස්වීමේදී බයිබල් පද පෙරළීමට දරුවෙක් වෑයමක් දරද්දී ඒක අගය කරන්නත් අපිට පුළුවන්. කලින් සඳහන් කළ ඉලේන් මෙහෙම කියනවා. “අපි එක් එක්කෙනාට ලැබිලා තිබෙන හැකියාවන් වෙනස්. අනිත් අය කරන දේවල් සැලකිල්ලට ගැනීමෙන් දෙවිගේ ජනයාට ලැබී තිබෙන විවිධ හැකියාවන් අගය කරන බව පෙන්වන්න අපිට පුළුවන්.”

පවුලේ අයට ප්‍රශංසා කිරීම

අපේ පවුලේ අයව අගය කිරීම ගැන කියන්න පුළුවන් මොනවාද? ස්වාමිපුරුෂයෙකුට හා භාර්යාවකට තම පවුලේ අයගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට, ඒ අයගේ හැඟීම් ගැන සැලකිල්ලක් දැක්වීමට සහ අවශ්‍යතා සැපයීමට සෑහෙන කාලයක්, වෑයමක් සහ අවධානයක් අවශ්‍ය වෙනවා. මේ නිසා ඔවුන් එකිනෙකාගෙනුත් දරුවන්ගෙනුත් ප්‍රශංසාව ලැබීමට වටිනවා. (එෆීස 5:33) නිදසුනක් හැටියට හොඳ භාර්යාවක් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. ‘ඇගේ දරුවෝ නැඟිට ඇයට ආශීර්වාද කරයි. ඇගේ පුරුෂයාද ඇයට ප්‍රශංසා කරයි.’—හිතෝපදේශ 31:10, 28.

දරුවන්ටත් ප්‍රශංසාව අවශ්‍යයි. සමහර දෙමාපියන් දරුවන්ට නීති රීති පනවන්න ඉක්මන් වෙනවා. ඒත් ඒ දරුවෝ ගෞරවය පෙන්වීමට සහ කීකරු වීමට වෑයමක් දරද්දී ඒ ගැන ඔවුන්ට ප්‍රශංසා කරන්නේ කලාතුරකින්. (ලූක් 3:22) කුඩා කාලයේදී දරුවෙක් කරන දේවල් අගය කරද්දී ඒ දරුවාට තමන් වටිනවා කියන එකත් තමන් ගැනම හොඳ විශ්වාසයකුත් ඇති වෙනවා.

අන් අයට ප්‍රශංසා කරන්න යම් වෑයමක් දරන්න අවශ්‍යයි. නමුත් එසේ කිරීමෙන් අපිට ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. ප්‍රශංසාව ලබන්න වටින අයට ප්‍රශංසා කිරීමට අපි උත්සාහ කරන තරමටම අපේ ප්‍රීතියත් වැඩි වෙනවා.—ක්‍රියා 20:35.

ප්‍රශංසාව දීමේදීත් ලැබීමේදීත් තිබිය යුතු චේතනාව

ප්‍රශංසාව ලැබීම සමහරුන්ට උගුලක් වෙන්නත් පුළුවන්. (හිතෝපදේශ 27:21) උදාහරණයක් හැටියට උඩඟු පුද්ගලයෙකුට තමා අනිත් අයට වඩා උසස් කියන හැඟීම ඒ නිසා ඇති වෙන්න පුළුවන්. (හිතෝපදේශ 16:18) ඒ නිසා ප්‍රශංසා කිරීමේදී අපි කල්පනාකාරී විය යුතුයි. පාවුල් මේ උපදෙස දුන්නා. “මා ඔබ අතරේ සිටින සියල්ලන්ට කියන්නේ, තමන් ගැන පමණට වඩා ඉහළින් නොසිතා, දෙවි එකිනෙකාට බෙදා දුන් ඇදහිල්ලේ ප්‍රමාණය අනුව, හොඳ සිහිකල්පනාවෙන් සිටීමට හැකි වන පරිද්දෙන් සිතන්න කියාය.” (රෝම 12:3) යම් කෙනෙකුගේ දක්ෂකම ගැන හෝ පෙනුම ගැන උවමනාවට වඩා වැඩියෙන් වර්ණනා කිරීමෙන් වෙන්නේ ඒ කෙනාව මුරුංගා අත්තේ තැබීම හා සමාන දෙයක්. එහෙම වුණොත් තමන් ගැන උවමනාවට වඩා වැඩියෙන් සිතීමේ උගුලට ඒ කෙනා හසු වෙන්න පුළුවන්. එසේ නොකර අන් අයගේ යහපත් ක්‍රියා අගය කරන්න.

ප්‍රශංසාවෙන් නියම ප්‍රයෝජනයක් ලැබෙන්නේ එය දීමේදීත් ලැබීමේදීත් අපිට හරි චේතනාව තිබුණොත් විතරයි. අපිට යහපත් දේවල් කරන්න හැකි වෙලා තියෙන්නේ යෙහෝවා නිසා බව පිළිගැනීමට ඒ නිසා අපි පෙලඹෙනවා. ඒ වගේම අන් අයගෙන් ලැබෙන ප්‍රශංසාව නිසා දිගටම යහපත් හැසිරීමක් පවත්වාගැනීමට අපිට දිරිගැන්වීමක්ද ලැබෙනවා.

ලැබීමට වටින අයට දිය හැකි අපි හැමෝම ළඟ ඇති තෑග්ගක් තියෙනවා. ඒ හරි චේතනාවෙන් කරන ප්‍රශංසාවයි. හොඳින් හිතා බලා දෙන ප්‍රශංසාව නමැති ඒ තෑග්ග අපිට සුළු දෙයක් වුණත් එය ලබන්නාට අපි හිතනවාටත් වඩා එය බොහෝ සෙයින් වටිනවා.

[18වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දිරියක් දුන් ලිපියක්

ශීත ඍතුවේ හුඟක් සීතල දවසක දේවසේවයෙන් පස්සේ සංචාරක අවේක්ෂකයෙකුයි ඔහුගේ බිරිඳයි ඔවුන්ගේ නවාතැනට ආවා. ඒ සිද්ධිය මතක් කරමින් ඔහු මෙහෙම කියනවා. “එදා මගේ බිරිඳට සීතල දරාගන්න අමාරු වුණා. එයා හුඟක් අධෛර්ය වෙලයි හිටියේ. ඒ නිසා එයා මට කිව්වා ‘මේ විදියට සේවය කරගෙන යන්න අමාරුයි. අපේම කියලා තැනක පදිංචි වෙලා එක සභාවක පූර්ණ කාලීන සේවය කරගෙන අපේම කියලා බයිබල් පාඩම් කරන්න තිබුණා නම් කොච්චර හොඳද!’ කියලා. හදිස්සි වෙලා තීරණයක් ගන්නේ නැතිව මම එයාට කිව්වා සතියේ ඉතිරි දවස් ටිකත් සේවය කරලා බලමු කියලා. එතකොටත් එයාට අපි කරමින් හිටපු සේවය අත්හරින්න උවමනාවක් තිබුණොත් මම ඒ ගැන සලකලා බලන්නම් කියලත් කිව්වා. එදාම අපිට ලිපියක් ලැබුණා. ශාඛා කාර්යාලය ඒ ලිපිය එවලා තිබුණේ මගේ බිරිඳගේ නමටයි. දේවසේවය කිරීමට ඇය දරන වෑයම ගැන සහ ඇගේ විඳදරාගැනීම ගැන ඇයට ඒ ලිපියේ ප්‍රශංසා කරලා තිබුණා. ඒ වගේම සෑම සතියකම විවිධ තැන්වල නිදාගන්න වෙන එක කොච්චර අමාරු දෙයක්ද කියන එක ඔවුන් දන්න බවත් ඒ ලිපියේ සඳහන් කරලා තිබුණා. ඒ ලිපියෙන් ඇයට කර තිබූ ප්‍රශංසාවෙන් ලොකු දිරිගැන්වීමක් ලැබූ ඇය ඉන්පසු සංචාරක සේවය අත්හැරීම ගැන කතා කළේවත් නැහැ. ඇත්තම කියනවා නම් සංචාරක සේවය නතර කරන්න ඕනේ කියලා මට හැඟුණ අවස්ථාවලදී පවා සංචාරක සේවයේ රැඳී සිටීමට ඇය මට දිරිගැන්වපු වාර අනන්තයි.” මේ යුවළ වසර 40ක් පමණ සංචාරක සේවයේ යෙදුණා.

[17වන පිටුවේ පින්තූරය]

ඔබගේ සභාවේ ප්‍රශංසාව ලබන්න වටින්නේ කවුද?

[19වන පිටුවේ පින්තූරය]

දරුන්වන්ට ආදරෙන් සලකද්දී සහ ඔවුන්ව අගය කරද්දී ඔවුන් ඉන් ප්‍රයෝජන ලබනවා