Skip to content

පටුනට යන්න

දරුවන් අටදෙනෙකුව යෙහෝවාගේ මාර්ගයේ පුහුණු කිරීම අභියෝගයක් වගේම ප්‍රීතියක්

දරුවන් අටදෙනෙකුව යෙහෝවාගේ මාර්ගයේ පුහුණු කිරීම අභියෝගයක් වගේම ප්‍රීතියක්

ජීවිත කතාව

දරුවන් අටදෙනෙකුව යෙහෝවාගේ මාර්ගයේ පුහුණු කිරීම අභියෝගයක් වගේම ප්‍රීතියක්

ජොස්ලින් වැලන්ටීන්

මගේ ස්වාමිපුරුෂයා 1989දී පිටරට රැකියාවකට ගියේ මගෙයි මගේ දරුවන් අටදෙනාගෙයි වියදම් සඳහා සල්ලි එවන්න පොරොන්දු වෙලයි. සති ගණන් ගෙවිලා ගියා. මාස ගණනාවක් ගත වුණා. නමුත් මට ඔහුගෙන් කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. මම හිත හදා ගත්තේ මෙහෙම හිතලයි. ‘එයා එහේ වැඩ ටික පිළිවෙළක් කරගත්තාට පස්සේ ගෙදර ඒවී.’

මගේ පවුලේ අවශ්‍යතා සපයාගන්න මුදල් නැති වෙනකොට මම ගොඩක් අසරණ වුණා. සමහර දවස්වලට මම එළි වෙනකං ඇහැරගෙන කල්පනා කළේ ‘එයා එයාගේ පවුලට මේ වගේ දෙයක් කරන්නේ කොහොමද?’ කියලා. අද වෙනකොට එයා අපිව අතහැරලා ගිහිල්ලා අවුරුදු 16ක් වෙනවා. ඒ නිසා මම මගේ දරුවන් අටදෙනාව ඇති දැඩි කළේ පියෙකුගේ සහයෝගය නැතිවයි. ඒක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. නමුත් ඒ කාලය පුරාම මගේ දරුවෝ ටික යෙහෝවාගේ මාර්ගවල ගමන් කරනවා දකින්න ලැබීම සතුටක් වී තිබෙනවා. පවුලක් හැටියට අපි සාර්ථක වුණේ කොහොමද කියලා කියන්න කලින් මම හැදුණ වැඩුණ හැටි කියන්නම්.

බයිබලේ මඟ පෙන්වීම පැතීම

මම ඉපදුණේ ජැමෙයිකාවේ කැරිබියානු දූපතක 1938දීයි. තාත්තා කවදාවත් පල්ලියක සාමාජිකයෙක් වෙලා හිටියේ නැතත් ඔහුට දේවභය තිබුණා. හුඟක් දවස්වල රෑට, බයිබලයේ ගීතාවලිය පොතෙන් කොටසක් කියවන්න කියලා තාත්තා මට කිව්වා. ඒ නිසා ඉතා ඉක්මනින්ම මට ඒ ගීතිකා බොහොමයක් කටපාඩමින් කියන්න පුළුවන් වුණා. අම්මා ගමේ තිබුණ පල්ලියක සාමාජිකාවක්. ඇය විටින් විට මාව ඒ රැස්වීම්වලට එක්කරගෙන ගියා.

දෙවි හොඳ මිනිසුන්ව ස්වර්ගයට අරගෙන නරක මිනිසුන්ව හැමදාටම අපායක පිච්චෙන්න අරිනවා කියන එකත් යේසුස් කියන්නේ දෙවි කියන එකත් ඔහු ළමයින්ට ආදරෙයි කියන එකත් ඒ රැස්වීම්වලදී ඉගැන්නුවා. මම මෙහෙම කල්පනා කළා. ‘දෙවියන් අපිට ආදරේ නම් මිනිසුන්ව ගින්නකට දාලා පිච්චෙන්න ඉඩ හරින්නේ කොහොමද?’ ඒ නිසා මම හිටියේ මහා පටලැවිල්ලක. ඒ වගේම දෙවියන් ගැන මට තිබුණේ භයක්.

අපාය ගැන මම දැනගෙන හිටිය දේවල් නිසා මට මහා බියකරු හීන පෙනුණා. මේ අතරතුර සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට් පල්ලියෙන් පවත්වන තැපෑලෙන් කරන බයිබල් පාඨමාලාවක් මම හැදෑරුවා. ඒගොල්ලෝ ඉගැන්නුවේ දුෂ්ට මිනිසුන්ට හැමදාටම වද දෙනවා වෙනුවට ඔවුන්ව ගින්නට දාලා සම්පූර්ණයෙන්ම නැති කරනවා කියලයි. මේක ටිකක් හරි සාධාරණයි කියලා මට තේරුණ නිසා ඒගොල්ලන්ගේ පල්ලියට යන්න මම පටන්ගත්තා. නමුත් ඒ අයගේ ඉගැන්වීම් ටිකක් පටලැවිලියි කියලා මට හිතුණා. ඒ වගේම ඔවුන්ගේ ඉගැන්වීම්වලින් සදාචාරය ගැන මට තිබුණ වැරදි ආකල්ප හරිගැස්සුණේ නැහැ.

ඒ කාලයේදී වේශ්‍යාකම වැරදියි කියලා පොදුවේ මිනිසුන් අතර පිළිගැනීමක් තිබුණා. ඒ වුණාට මමත් තවත් හුඟදෙනෙකුත් හිතුවේ වේශ්‍යාකම කියලා කියන්නේ කිහිපදෙනෙක් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම කියලයි. ඒ නිසා අවිවාහක දෙදෙනෙක් ලිංගික සබඳතා පැවැත්වීම පාපයක් නෙවෙයි කියලායි අපි තේරුම් අරගෙන හිටියේ. (1 කොරින්ති 6:9, 10; හෙබ්‍රෙව් 13:4) ඒ වගේ හිතපු නිසා විවාහයට පෙර මට ළමයි හයදෙනෙක් ලැබුණා.

දෙවි ගැන දැනුමෙන් වර්ධනය වී

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පුරෝගාමීන් කියලා හඳුන්වන පූර්ණ කාලීන දේවසේවකයන් දෙදෙනෙක් වන වැස්ලින් ගුඩිසන් සහ එතල් චේම්බර්ස් 1965දී අපිට කිට්ටුවෙන් තිබූ ගමක් වන බාත්වලට පදිංචියට ආවා. එක දවසක් ඔවුන් එක්ක බයිබලය පාඩම් කරන්න කැමතිද කියලා ඔවුන් ඇසුවාම තාත්තා ඒකට කැමති වුණා. ඔවුන් එන වෙලාවට මම ගෙදර හිටියොත් ඔවුන් මටත් කතා කරනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් දිහා සැකයකින් යුතුව බැලුව මට ඕන වුණේ ඒ අය වැරදියි කියලා ඔප්පු කරන්න. ඒ නිසා ඔවුන් එක්ක බයිබලය පාඩම් කරන්න මම පටන්ගත්තා.

පාඩමේදී මම හුඟක් ප්‍රශ්න ඇහුව්වා. ඒ හැම එකකටම සාක්ෂිකරුවෝ උත්තර දුන්නේ බයිබලය පාවිච්චි කරලා. ඒ නිසා මළ අය ඉන්නේ සිහිනැති තත්වයක කියන එකත් අපායක දුක්විඳින්නේ නැහැ කියලත් බයිබලයෙන් මම දැනගත්තා. (දේශනාකාරයා 9:5, 10) ඒ වගේම පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ගැනත් මම ඉගෙනගත්තා. (ගීතාවලිය 37:11, 29; එළිදරව් 21:3, 4) මගේ තාත්තා බයිබලය පාඩම් කිරීම අතහැරියත් මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත්තා. ඒ රැස්වීම් පිළිවෙළකටත් සමකාමී වාතාවරණයකත් පැවැත්වුණ නිසා යෙහෝවා ගැන මට තව තවත් දැනුම ලබාගැනීමට පහසු වුණා. සාක්ෂිකරුවන් විශාල සංඛ්‍යාවක් රැස්වන චාරිකා එක්රැස්වීම් හා දිස්ත්‍රික් සමුළුවලටත් මම ගියා. ඒ ආකාරයට බයිබලය ගැන ඉගෙනගත්ත නිසා යෙහෝවාට පිළිගත හැකි ආකාරයකින් නමස්කාර කරන්න මට ලොකු ආශාවක් ඇති වුණා. නමුත් මට බාධාවක් තිබුණා.

ඒ වෙනකොට මගේ දරුවන් හයදෙනාගෙන් තුන්දෙනෙකුගේ පියා වූ තැනැත්තා එක්කයි මම ජීවත් වෙමින් හිටියේ. ඒත් මම කවදාවත් විවාහ වෙලා නම් හිටියේ නැහැ. විවාහ නොවී ලිංගික සබඳතා පැවැත්වීම දෙවි හෙළා දකින බව මම බයිබලයෙන් ඉගෙනගත්තා. මේ නිසා මගේ හිත මට වද දෙන්න පටන්ගත්තා. (හිතෝපදේශ 5:15-20; ගලාති 5:19) සත්‍යය සඳහා මගේ අගය වැඩි වනවාත් එක්ක මගේ ජීවිතය දෙවිගේ නීතිවලට එකඟව ගත කරන්න මට උවමනා වුණා. අවසානයේදී තීරණයක් ගත් මම ඒ වෙනකොට මාත් එක්ක එකට ජීවත් වෙමින් සිටි පුද්ගලයාට කිව්වා එක්කෝ අපි විවාහ වෙන්න ඕනේ නැත්නම් අපේ සම්බන්ධය නතර කරන්න ඕනේ කියලා. ඔහු මගේ විශ්වාසයන් පිළිගත්තේ නැතත් 1970 අගෝස්තු 15වනදා අපි නීත්‍යනුකූලව විවාහ වුණා. ඒ සාක්ෂිකරුවන් මට මුණගැසිලා අවුරුදු පහකට පස්සෙයි. මම බව්තීස්ම වුණේ 1970 දෙසැම්බර් මාසයේදීය.

මම දේශනා සේවයේ මුල් වතාවට ගිය දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. බයිබලය පාවිච්චි කරලා සාකච්ඡාවක් ආරම්භ කරන්නේ කොහොමද කියලා මම දැනගෙන හිටියේ නැති නිසා මම හිටියේ චකිතයෙන්. ඇත්තම කියනවා නම් පළමුවෙන්ම හම්බ වුණ නිවැසියා අපගේ සාකච්ඡාව ඉක්මනින්ම නතර කරලා දැම්මාම මට දැනුණේ පුදුම සහනයක්. නමුත් මගේ බයාදු ගතිය ඉක්මනින්ම නැති වුණා. ඒ දවස අවසන් වෙද්දී මට දැනුණේ ලොකු සතුටක්. ඒකට හේතුව මම කිහිපදෙනෙක් එක්ක බයිබලයේ පණිවුඩය ගැන කෙටියෙන් කතා කරලා අපේ ප්‍රකාශන කිහිපයකුත් ඔවුන්ට දුන්න නිසයි.

පවුලේ අයගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීම

වර්ෂ 1977 වෙද්දී මට ළමයි අටදෙනෙක් හිටියා. යෙහෝවාට සේවය කිරීමට මගේ පවුලේ අයට උදව් කිරීමට මට හැකි උපරිමය කිරීමට මම අධිෂ්ඨාන කරගෙන හිටියා. (යෝෂුවා 24:15) ඒ නිසා මම අපේ පවුලේ බයිබල් පාඩම පිළිවෙලකින් පැවැත්වීමට සෑහෙන මහන්සියක් දැරුවා. සමහර වෙලාවට කොච්චර මහන්සිද කිව්වොත් දරුවෙක් ඡේදයක් කියවද්දිත් මට නින්ද ගියා. ළමයින්ට මාව නැඟිට්ටවන්නත් සිද්ධ වුණා. ඒත් මොන හේතුවක් නිසාවත් පවුලක් හැටියට බයිබලය පාඩම් කිරීම කවදාවත් අපි නතර කළේ නැහැ.

මම හුඟක් වෙලාවට දරුවන් සමඟ යාච්ඤා කළා. දරුවන් ටික ටික ලොකු වෙද්දී තනියම යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න මම ඔවුන්ට ඉගැන්නුවා. නින්දට යන්න ඉස්සෙල්ලා හැම කෙනෙක්ම පුද්ගලිකව යෙහෝවාට යාච්ඤා කරන බවට මම වගබලා ගත්තා. පොඩිම අයත් එක්ක මම වෙන වෙනම යාච්ඤා කළා.

සභා රැස්වීම්වලට දරුවන්ව එක්කර ගෙන යන එක ගැන මුලදී මගේ ස්වාමිපුරුෂයා විරුද්ධ වුණා. ඒ කොහොමවුණත් මම රැස්වීම්වලට යද්දී එයාට තනියම දරුවන්ව බලාගන්න වුණ නිසා ටිකෙන් ටික ඒ විරෝධතාව අඩු වුණා. රෑ වෙනකොට එයාගේ යාළුවන්ව බලන්න යන්න එයා හුඟක් කැමතියි. නමුත් ළමයි අටදෙනෙක් එක්ක එහෙම යන්න එයා වැඩි කැමැත්තක් දැක්වුයේ නැහැ. එනිසා පස්සේ පස්සේ රාජ්‍ය ශාලාවට යන්න ළමයින්ව ලැහැස්ති කරන්නත් එයා මට උදව් කළා.

හැම සභා රැස්වීමකටම යන එකත් දේවසේවයේ සහභාගි වෙන එකත් ළමයින්ට පුරුද්දක් වුණා. ඒගොල්ලන්ගේ පාසැල් නිවාඩු කාලයේදී සභාවේ පුරෝගාමීන් එක්ක නිතර දේවසේවයේ හවුල් වුණා. එහෙම කරද්දී සභාව ගැනත් දේශනා සේවය ගැනත් හෘදයාංගම අගයක් ඔවුන්ට ඇති වුණා.—මතෙව් 24:14.

ඇති වූ බාධා

පවුලේ වියහියදම් වැඩි වෙද්දී මගේ ස්වාමිපුරුෂයා පිටරටක රැකියාවක් කරන්න පටන්ගත්තා. එයා පවුලෙන් ඈත්වෙලා හිටියත් විටින් විට ගෙදර ආවා. නමුත් 1989දී ගියාට පස්සේ එයා නැවත ආවේ නැහැ. මම මුලින් සඳහන් කළා වගේ මගේ ස්වාමිපුරුෂයා අපිව අත්හැරලා ගිය නිසා මට කරකියා ගන්න දෙයක් නැතිව ගියා. හැමදාම වගේ රෑට මම අඬලා යෙහෝවාට කන්නලව් කරනවා මට සහනය දෙන්න, විඳදරාගැනීමේ ශක්තිය දෙන්න කියලා. දෙවි මගේ යාච්ඤාවලට උත්තර දුන්නා කියලා මට හැඟුණා. යෙසායා 54:4 සහ 1 කොරින්ති 7:15 වැනි බයිබල් පද මගේ හිතට සහනයක් හා ජීවිතය ඉදිරියට ගෙන යෑමට මට ලොකු ධෛර්යයක් ලබා දුන්නා. ක්‍රිස්තියානි සභාවේ සිටි මගේ නෑදෑයන් සහ යහළුවන් මාව සැනසුවා විතරක් නෙවෙයි මට අවශ්‍ය දේවලුත් ලබාදුන්නා. යෙහෝවා සහ ඔහුගේ ජනයා මට දුන් උපකාරවලට මම හුඟක් ස්තුතිවන්ත වෙනවා.

අපිට තවත් බාධාවන් තිබුණා. බයිබලයේ ඉගැන්වීම්වලට පටහැනි ලෙස දේවල් කරපු නිසා මගේ එක දුවෙකුව සභාවෙන් ඉවත් කළා. මම මගේ ළමයින් අටදෙනාටම ගොඩක් ආදරෙයි. නමුත් මම යෙහෝවාට දක්වන පක්ෂපාතකම මුල් තැන ගන්නවා. ඒ නිසා ඒ කාලයේදී මමත් මගේ අනිත් ළමයි ටිකත් සභාවෙන් කපා හැරිය පුද්ගලයෙකු සමඟ කටයුතු කළ යුතු ආකාරය ගැන බයිබලයේ දී තිබෙන මඟ පෙන්වීම් ඉතා කිට්ටුවෙන් පිළිපැද්දා. (1 කොරින්ති 5:11, 13) මේ ගැන නොදන්නා අය අපිව විවේචනය කළා. කොහොමවුණත් මගේ දුවව නැවත සභාවට පිළිගත්තාට පස්සේ ඇයගේ ස්වාමිපුරුෂයා කිව්වේ බයිබලයේ ප්‍රතිපත්ති ඒ විදියටම අපි පිළිපැදීම ඔහුගේ සිත් ගත්තා කියලයි. ඔහු දැන් පවුලේ අයත් එක්ක යෙහෝවාට සේවය කරනවා.

ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීම

මගේ ස්වාමිපුරුෂයා අපිව අත්හැරලා ගියාට පස්සේ අපිට ස්ථිර ආදායමක් තිබුණේ නැහැ. ඔහු අපිට මුදල් එව්වෙත් නැහැ. මේ තත්වය නිසා තියෙන දෙයින් සෑහීමට පත් වෙන්නත් සරල ජීවිතයක් ගත කරන්නත් ධන සම්පත් වෙනුවට දෙවි දීලා තිබෙන දේවල් අගය කිරීමටත් අපි ඉගෙනගත්තා. ළමයි එකිනෙකාට ප්‍රේම කිරීමටත් උදව් කිරීමටත් ඉගෙනගත් නිසා ඔවුන් අතර බැඳීමක් තිබුණා. වැඩිහිටි දරුවන් රස්සාවල් කරන්න පටන්ගත්තාම ඔවුන් කැමැත්තෙන්ම නංගීලා මල්ලීලාට උදව් කළා. මගේ වැඩිමල් දුව මාර්සෙරී, එයාගේ බාලම නංගී නිකෝල්ට මූලික පාසැල් අධ්‍යාපනය අවසන් වෙනකම් අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. මම පොඩි සිල්ලර කඩයක් කළා. ඒකෙන් යම් ආදායමක් ලැබුණ නිසා අපේ එදිනෙදා අවශ්‍යතාවලින් සමහරක් පිරිමහගන්න පුළුවන් වුණා.

යෙහෝවා අපිව කවදාවත් අත්හැරියේ නැහැ. එක දවසක් මම අපේ සභාවේ සහෝදරියකට කිව්වා අපිට තිබෙන ආර්ථික අගහිඟකම් නිසා දිස්ත්‍රික් සමුළුවට යන්න වෙන්නේ නැහැ කියලා. ඇය මට මෙහෙම කිව්වා. “සමුළුවක් තියෙන්න යනවා කියලා දැනගත්තාම ඔයා ඒකට යන්න ලැහැස්ති වෙන්න. යෙහෝවා ඔයාට අවශ්‍ය දේ ලබා දේවි!” මම එයා කියපු දේ හිතට ගත්තා. ඇය කිව්වා වගේම යෙහෝවා අපිට අවශ්‍ය දේ ලබාදුන්නා විතරක් නෙවෙයි මේ දක්වාම ඒ වගේ කරලත් තියෙනවා. අපේ පවුලේ අය මුදල් හිඟකමක් නිසා කවදාවත් එක්රැස්වීමක් හෝ සමුළුවක් අතපසු කරලා නැහැ.

වර්ෂ 1988දී ජැමෙයිකාවට හානි කළ ගිල්බර්ට් නම් සුළි සුළඟ නිසා ආරක්ෂිත ස්ථානයක් සොයාගෙන අපි අපේ ගේ අතහැරලා ගියා. සුළං හැමීම ටිකකට නතර වුණාම මම පුතාත් එක්ක අපේ ගේ තිබුණ තැන බලන්න ගියා. සුන්බුන් අතර තිබෙන දේවල් දිහා බලද්දී අරන් තියාගන්න ඕනේ කියලා හිතපු දෙයක් මගේ ඇස ගැටුණා. එකපාරටම නැවතත් වේගයෙන් සුළං හමන්න පටන්ගත්තා. නමුත් මම අරගත්ත දේ අතහැරියේ නැහැ. “අම්මේ ඔය රූපවාහිනිය අතහරින්න. ඔයා ලොත්ගේ බිරිඳ වගේ වෙන්න යනවාද?” (ලූක් 17:31, 32) මගේ පුතා කියපු ඒ දේ වැටහුණාම මං මේ මොනවාද කරන්න ගියේ කියලා මට හිතුණා. වැස්සට තෙමිලා තිබුණ රූපවාහිනිය බිම දාලා අපි දෙන්නාම ආරක්ෂිත ස්ථානයකට දිව්වා.

රූපවාහිනි යන්ත්‍රයක් නිසා මම මගේ ජීවිතය අනතුරකට දාගත්තානේ කියලා දැන් හිතනකොටත් මට භය හිතෙනවා. නමුත් ඒ වෙලාවෙදී මගේ පුතා කියපු දේ ගැන හිතනකොට මට දැනෙන්නේ ලොකු සතුටක්. සමහරවිට එදා මට අනතුරක් වෙන්නත් තිබුණා. මගේ ඇදහිල්ල දුර්වල වෙන්නත් ඉඩ තිබුණා. නමුත් ක්‍රිස්තියානි සභාවෙන් ලැබුණ පුහුණුව නිසා මගේ පුතාට පුළුවන් වුණා මාව බේරගන්න. මම ඒකට ස්තුතිවන්ත වෙනවා.

සුළි සුළඟ නිසා අපේ ගෙයත් බඩු මුට්ටුත් සේරම විනාශ වුණ නිසා අපි හිටියේ හොඳටම කලකිරිලා. පසුව පැමිණි අපේ ක්‍රිස්තියානි සහෝදරයන් අපිට උනන්දු කළේ සිදු වෙච්ච පාඩුව දරාගැනීමට යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න කියලා. ඒ වගේම දේවසේවයේ දිගටම නියැලෙන්නත් ඔවුන් අපිට දිරිගැන්නුවා. ඒ විතරක් නෙවෙයි අපේ ගෙය නැවත සාදා ගැනීමටත් අපට සහයෝගය දුන්නා. ජැමෙයිකාවෙන් සහ වෙනත් රටවලින් පැමිණ ස්වෙච්ඡාවෙන් වැඩ කළ සාක්ෂිකරුවන් ප්‍රේමනීය ලෙස සහ ආත්ම පරිත්‍යාගශීලී ලෙස වැඩ කළ නිසා අපිට දැනුණේ ලොකු සතුටක්.

පළමු තැන යෙහෝවාට දීම

මගේ දෙවෙනි දුව මෙලනි එයාගේ පාසැල් ජීවිතය අවසන් කළායින් පසුව පුරෝගාමියෙක් ලෙස සේවය කරන්න පටන්ගත්තා. පසුව වෙනත් සභාවක සේවය කිරීමට ඇයට ආරාධනයක් ලැබුණා. ඇය ඒක බාරගත්ත නිසා තම රැකියාවෙන් අයින් වෙන්නත් සිදු වුණා. ඇය කළ ඒ රස්සාවෙන් අපේ පවුලට සෑහෙන උදව්වක් ලැබුණත් පළමුකොට දේවරාජ්‍යයේ කටයුතුවලට මුල් තැන දෙනවා නම් යෙහෝවා අප එකිනෙකාව රැකබලා ගන්නවා කියන නිසැකකම අපිට තිබුණා. (මතෙව් 6:33) පසුකාලෙක මගේ පුතා යුවාන්ටත් පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න ආරාධනයක් ලැබුණා. මේ වෙනකොට පුතා ගෙදර වියහියදම්වලටත් සහය දුන්නා. නමුත් අපි ඔහුට උනන්දු කළේ ඒ ආරාධනය පිළිගන්න කියලයි. අපි ඔහුට යෙහෝවාගේ ආශීර්වාද පැතුවා. සේවා වරප්‍රසාද ලැබෙනකොට මම කවදාවත් ළමයින්ව ඒවායින් වැළැක්වූවේ නැහැ. ඒ වගේම ගෙදර ඉන්න අනිත් අයට අවශ්‍යතාවල අඩුවක් තිබිලත් නැහැ. ඒ වෙනුවට අපේ ප්‍රීතිය වැඩි වෙලා. සමහර වෙලාවට අන් අයට උදව් කරන්නත් අපිට පුළුවන් වෙලා තියෙනවා.

අද මගේ දරුවන් “සත්‍යයෙහි ගමන් කරමින්” සිටිනවා දැකීමෙන් මට ඇති වෙන්නේ ලොකු ප්‍රීතියක්. (3 යොහන් 4) මෙලනි කියන මගේ එක දුවෙක් ඇගේ ස්වාමිපුරුෂයා සමඟ චාරිකා සේවයේ නියැලෙනවා. මගේ දුව ආන්ඩ්‍රියා සහ එයාගේ ස්වාමිපුරුෂයා විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කරනවා. යම් අවස්ථාවලදී ඔහු සහයක චාරිකා අවේක්ෂකයෙක් හැටියටත් සේවය කරනවා. මගේ පුතා යුවාන් සභා වැඩිමහල්ලෙක් වන අතර එයාගේ බිරිඳ සමඟ විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කරනවා. මගේ තව දුවෙක් වන ඒවා-ගේයි එයාගේ ස්වාමිපුරුෂයා සමඟ ජැමෙයිකාවේ පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරනවා. ජෙනිෆර්, ජෙනිව් සහ නිකෝල් තමුන්ගේ ස්වාමිපුරුෂයන් හා දරුවන් සමඟ ඔවුන් අයිති සභාවල උනන්දුවෙන් සේවය කරනවා. ගෙදර ඉන්නේ මාර්සරීයි මායි විතරයි. අපි පෝර්ට් මෝරන්ට් සභාවේ සේවය කරනවා. මගේ දරුවෝ අටදෙනාම යෙහෝවාට නමස්කාර කරනවා දකින්ට ලැබීම මට ලැබිලා තියෙන ලොකුම ආශීර්වාදයයි.

වයසත් එක්ක මට අසනීප තත්වයන් ඇති වෙලා තියෙනවා. මට දැන් රූමැටොයිඩ් ආතරයිටිස් කියන හන්දිපත් රුදාව හැදිලා තිබුණත් පුරෝගාමියෙක් හැටියට මම කරන සේවයෙන් ප්‍රීතියක් ලබනවා. ටික කලෙකට ඉස්සෙල්ලා කඳු තිබෙන ප්‍රදේශවල ඇවිදීම හුඟක් ආමාරු වුණා. දේවසේවයේ යන එක මට ලෙහෙසි දෙයක් වුණේ නැහැ. මම බයිසිකලයක් පාවිච්චි කරලා බැලුවා. ඒක ඇවිදිනවාට වඩා පහසු බව මට වැටහුණා. ඒ නිසා මම පරණ බයිසිකලයක් අරගෙන ඒකෙන් යන්න එන්න පටන් ගත්තා. මගේ අසනීප තත්වය නිසා මම බයිසිකලය පදින එක ගැන මුලදී මගේ දරුවෝ එච්චර කැමති වුණේ නැහැ. නමුත් මම ආශාවෙන් දේශනා සේවයේ යෙදෙනවා දකිනකොට ළමයින් ඒ ගැන ප්‍රීති වුණා.

මම බයිබල් සත්‍යයන් කියා දීපු අය ඒ අනුව ජීවත් වෙනවා දකිද්දී මට ලැබෙන්නේ ලොකු සතුටක්. මේ අවසාන දවස්වලත් සදාකාලයටමත් යෙහෝවාට විශ්වාසවන්තව සිටීමට අපේ පවුලේ සියලුදෙනාටම ඔහුගෙන් උපකාරය ලැබේවා කියා මම නිතරම යාච්ඤා කරනවා. යෙහෝවාගේ මාර්ගයේ මගේ දරුවෝ අටදෙනාව පුහුණු කිරීමේ අභියෝගය සාර්ථකව ජයගන්නට මට උදව් කළ “යාච්ඤා අසන්නා” වන යෙහෝවා දෙවිට මගේ ප්‍රශංසාවත් ස්තුතියත් මම පුද කරනවා.—ගීතාවලිය 65:2.

[10වන පිටුවේ පින්තූරය]

මගේ දරුවන්, බෑනාවරුන්, ලේලිවරුන්, මුනුබුරන් සහ මිනිබිරියන්

[12වන පිටුවේ පින්තූරය]

මම දැන් දේවසේවයේ යන්නේ බයිසිකලයෙන්