Skip to content

පටුනට යන්න

දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීම අපට ආරක්ෂාවක්

දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීම අපට ආරක්ෂාවක්

දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීම අපට ආරක්ෂාවක්

‘පළමුකොට දෙවිගේ ධර්මිෂ්ඨකම නොකඩවාම සොයන්න.’—මතෙව් 6:33.

1, 2. ක්‍රිස්තියානි තරුණියක් ගත්තේ කුමනාකාර තීරණයක්ද? ඇය එසේ කළේ ඇයි?

ආසියාතික රටක තිබූ රජයේ ආයතනයක ක්‍රිස්තියානි තරුණියක් ලේකම්වරියක් ලෙස තාවකාලික රැකියාවක් කරමින් සිටියා. නියම වෙලාවට වැඩට පැමිණි ඇය කාලය නාස්ති නොකර තම වගකීම් නොපිරිහෙළා ඉටු කළා. දිනක් ඒ ආයතනයේ ප්‍රධානියා තමා සමඟ අයථා සම්බන්ධයක් පටන්ගන්නවා නම් ඇගේ තාවකාලික රැකියාව ස්ථිර කරන බවත් එහි උසස් වීමක් ලබාදෙන බවත් ඇයට පැවසුවා. තම රැකියාව නැති වන බව දැන සිටියත් ඇය එකහෙළාම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා.

2 ඒ ක්‍රිස්තියානි තරුණිය ගත්තේ අඥාන තීරණයක්ද? නැහැ. ඇය කළේ ‘පළමුකොට දෙවිගේ ධර්මිෂ්ඨකම නොකඩවාම සොයන්න’ කියා යේසුස් දුන් අවවාදය පිළිපැදීමයි. (මතෙව් 6:33) ලිංගික දුරාචාරයේ යෙදී ලබාගන්නා වාසි ප්‍රයෝජනවලට වඩා ඇයට වැදගත් වුණේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීමයි.—1 කොරින්ති 6:18.

දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීමේ වැදගත්කම

3. ධර්මිෂ්ඨ කෙනෙක් මොනවගේ කෙනෙක්ද?

3 “ධර්මිෂ්ඨ” කෙනෙක් සදාචාර ප්‍රමිතිවලට අවංකව ඇලී සිටිනවා. බයිබලයේ සඳහන් විදිහට ඔහු “කෙළින් වැඩ කරන” හෝ “නිර්දෝෂ” කෙනෙක්. නමුත් එවැනි කෙනෙක් දේවල් කරන්නේ තමාට හරියයි සිතෙන ප්‍රමිතිවලට අනුව නම් නෙවෙයි. (ලූක් 16:15) ඊට වෙනස්ව ඔහු උත්සාහ කරන්නේ යෙහෝවාගේ ප්‍රමිතිවලට අනුව දේවල් කරන්නයි. ඒ නිසා ඔහු යෙහෝවා ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙක් වෙනවා.—රෝම 1:17; 3:21.

4. ක්‍රිස්තියානියෙක් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකිය යුත්තේ ඇයි?

4 දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීම මෙතරම් වැදගත් වෙන්නේ ඇයි? ඊට හේතුව “ධර්මිෂ්ඨකමේ දෙවි” වන යෙහෝවා තම ධර්මිෂ්ඨ ප්‍රමිති රකින අයට කරුණාව දක්වන නිසයි. (ගීතාවලිය 4:1; හිතෝපදේශ 2:20-22; හබක්කුක් 1:13) එසේ නොකරන කෙනෙකුට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න බැහැ. (හිතෝපදේශ 15:8) “යොවුන් වියට ආවේණික වූ ආශාවලින් පලා යන්න. . . . ධර්මිෂ්ඨකම” ඇතුළු වෙනත් වටිනා ගුණාංග වර්ධනය කරන්න කියා පාවුල් තිමෝතිට දිරිගැන්නුවා. (2 තිමෝති 2:22) සාතන්ගේ ප්‍රහාරවලින් අපේ සිත ආරක්ෂා වෙන්නේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති නිසයි. ඒවා හරියට යුද්ධයකදී කෙනෙක්ගේ හෘදය ආරක්ෂා කරන්න පළඳින ළයවැස්මක් වගෙයි. “ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම ඇඳගෙන” සිටින්න කියා පාවුල් කීවේ එනිසයි.—එෆීස 6:14.

5. පාපය උරුම කරගෙන සිටියත් මිනිසුන්ට දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකිය හැක්කේ කෙසේද?

5 හැමෝම ආදම්ගෙන් පාපය උරුම කරගෙන සිටින නිසා වැරදි නොකරන කෙනෙක් අපි අතර නැහැ. ඒත් යේසුස් පැවසුවේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති අපි රැකිය යුතු බවයි. ඒක කරන්න පුළුවන් දෙයක්ද? ඔව්, ඒ යේසුස්ගේ පරිපූර්ණ ජීවිත පූජාව නිසයි. ඒ ගැන විශ්වාස කරන අයගේ පව්වලට සමාව දෙන්න යෙහෝවා කැමැත්තෙන් සිටිනවා. (මතෙව් 20:28; යොහන් 3:16; රෝම 5:8, 9, 12, 18) අපේ දුර්වලකම් ජයගැනීම සඳහා උපකාරය ඉල්ලා යාච්ඤා කරමින් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීමට අපි උපරිම උත්සාහයක් දරන විට, යේසුස්ගේ ජීවිත පූජාව නිසා යෙහෝවා අපේ නමස්කාරය පිළිගන්නවා. (ගීතාවලිය 1:6; රෝම 7:19-25; එළිදරව් 7:9, 14) මෙය දැනසිටීම මොන තරම් සහනයක්ද!

අධර්මිෂ්ඨ සමාජයක ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීම

6. මුල් ක්‍රිස්තියානීන්ට අවට ලෝකය අනතුරුදායක තැනක් වුණේ ඇයි?

6 “පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වා” තමා ගැන සාක්ෂි දරන්න කියා යේසුස් තම ගෝලයන්ට පැවරුමක් දුන්නා. (ක්‍රියා 1:8) ඒ පැවරුම ඉටු කරන්න සිදු වුණේ සාතන් නම් “දුෂ්ටයාගේ බලයට යටත්” ප්‍රදේශයක නිසා එය ඔවුන්ට පහසු දෙයක් වුණේ නැහැ. (1 යොහන් 5:19) සාතන්ගේ දුෂ්ට බලපෑම මුළු පොළොව පුරාම පැතිර තිබූ නිසා එයට හසුවීමේ අනතුර ඒ ක්‍රිස්තියානීන්ටත් තිබුණා. (එෆීස 2:2) මෙවැනි තත්වයන් යටතේ දිගටම විඳදරාගනිමින් දෙවිට විශ්වාසවන්තව සිටින්න හැකි වෙන්නේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැක්කොත් විතරයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් එසේ කළත් ‘ධර්මිෂ්ඨකමේ මාර්ගයෙන්’ ඉවත් වූ කිහිපදෙනෙකුත් සිටියා.—හිතෝපදේශ 12:28; 2 තිමෝති 4:10.

7. මේ දූෂිත සමාජයෙන් බලපෑම් එල්ල වුණත් ක්‍රිස්තියානීන්ට ඉටු කිරීමට තිබෙන වගකීම් මොනවාද?

7 අද මිනිස් සමාජය එදාටත් වඩා දූෂිතයි. සාතන්ව පොළොවට හෙළා තිබෙන නිසා, “දෙවිගේ ආඥා පිළිපදින, යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යය සතු [ස්ත්‍රියගේ] වංශයේ ඉතිරි අය” වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හා ඔවුන්ට සහයෝගය දක්වන අයට සාතන් දරුණු ලෙස පීඩා කරනවා. (එළිදරව් 12:12, 17) ඔවුන් ජීවත් විය යුත්තේ මේ ලෝකයේ වුණත් මේ දූෂිත මිනිස් සමාජයේ දේවලට ක්‍රිස්තියානීන් සම්බන්ධ නොවිය යුතුයි. (යොහන් 17:15, 16) ඒ වගේම ක්‍රිස්තුස්ගේ ගෝලයන් වෙන්න කැමති අයව සොයා ඔවුන්ට ඉගැන්වීම සඳහා කරන දේශනා වැඩයත් කළ යුතුයි. (මතෙව් 24:14; 28:19, 20) මෙවැනි වගකීම් ඉටු කළ යුත්තේ මේ ලෝකයේ නිසා ක්‍රිස්තියානීන්ට මේ දූෂිත සමාජයේ බලපෑම්වලට මුහුණ දී ඒවාට විරුද්ධව සටන් කරන්න සිදු වෙනවාමයි. ඔවුන්ට බලපෑ හැකි උගුල් හතරක් ගැන අපි දැන් සලකා බලමු.

අනාචාරය නමැති උගුල

8. ඊශ්‍රායෙලිතයන් මෝවබ්වරුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළේ ඇයි?

8 ඊශ්‍රායෙල්වරුන් පාළු දේශයක් පුරා ගමන් කළ අවුරුදු 40 අවසන් වෙන්න ආසන්නවයි තිබුණේ. යෙහෝවා විවිධාකාරවලින් ඔවුන්ව බේරාගත් අයුරු ඔවුන් දැක තිබුණා. ඔවුන් ඒ වන විට සිටියේ පොරොන්දු දේශය අද්දරයි. ඒත් ඒ තීරණාත්මක අවස්ථාවේදී ඔවුන්ගෙන් විශාල පිරිසක් ධර්මිෂ්ඨකමේ මාවත් අත්හැර මෝවබ්වරුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. ඒ “මාංසයේ ආශාව” වූ අනාචාරයේ උගුලට ඔවුන් හසු වූ නිසයි. (1 යොහන් 2:16) “සෙනඟද මෝවබ්ගේ දූවරුන් සමඟ වේශ්‍යාකම් කරන්ට පටන්ගත්තෝය” කියා ඒ වාර්තාවේ සඳහන් වෙනවා.—ගණන් කතාව 25:1.

9, 10. අනාචාරයේ උගුල ගැන අපි නිතරම කල්පනාවෙන් සිටිය යුත්තේ අද පවතින කුමන තත්වයන් නිසාද?

9 පරෙස්සම් නොවුණොත් තමාගේම වැරදි ආශාවන් කෙනෙක්ට උගුලක් විය හැකි ආකාරය ඒ සිද්ධියෙන් පැහැදිලි වෙනවා. මෙය අපට පාඩමක් විය යුතුයි. එයට හේතුව අනාචාරයේ යෙදීම අද සමාජයේ පිළිගත් යමක් බවට පත් වී තිබෙන නිසයි. (1 කොරින්ති 10:6, 8) එක්සත් ජනපදයේ වාර්තාවක සඳහන් වුණේ “1970 වන තුරු දෙදෙනෙක් විවාහ නොවී එකට ජීවත් වීම, අමෙරිකාවේ නීති විරෝධි දෙයක්ව තිබුණත් දැන් එය සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. මෙහි මුල් වතාවට විවාහ වන අයගෙන් අඩක්ම විවාහයට පෙර එකට ජීවත් වී තිබෙන අය” කියායි. මෙවැනි අනාචාර ක්‍රියා අද මුළු ලෝකයේම සිදු වෙනවා. කනගාටුවට කරුණක් වෙන්නේ සමහර ක්‍රිස්තියානීනුත් මෙවැනි වැරදි ක්‍රියාවලට හසු වී තිබෙන නිසා සභාවෙන් ඉවත් කර තිබීමයි.—1 කොරින්ති 5:11.

10 ඒ වගේම අද කාලයේ අනාචාරයේ යෙදීමට ලැබෙන පෙලඹවීමත් එන්න එන්නම වැඩි වෙනවා. චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් මගින් තරුණ අයට දෙන පණිවුඩය වෙන්නේ විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම සහ සමලිංගික හැසිරීම කිසි වරදක් නැති සාමාන්‍ය දේවල් කියායි. ඒ වගේම මින් පෙර ප්‍රසිද්ධියේ නොපෙන්වූ ලිංගික දර්ශන දැන් චිත්‍රපට බොහොමයක එළිපිට පෙන්වන අතර අන්තර්ජාලයෙනුත් එවැනි දර්ශන පහසුවෙන්ම නැරඹිය හැකියි. නිරුවත් කාන්තාවන් ලිංගිකව හැසිරෙන දර්ශන අන්තර්ජාලය ඔස්සේ නැරඹූ යාළුවෙක් ගැන තම අවුරුදු හතක් වයසැති පුතා තමාට පවසද්දී එය අදහාගන්නවත් බැරි වූ බව එක් පුවත්පත් වාර්තාකරුවෙක් සඳහන් කළා. නමුත් කනගාටුවට කරුණක් වෙන්නේ තම දෙමාපියන්ට නොදැනුවත්ව අන්තර්ජාලය ඔස්සේ මෙවැනි දර්ශන නරඹන දරුදැරියන් විශාල පිරිසක් අද සිටීමයි. ජනප්‍රිය පරිගණක ක්‍රීඩා රැසකද මෙවැනි පිළිකුල්සහගත ලිංගික දර්ශන මෙන්ම භූත ක්‍රියා සහ සැහැසික දේවල් අඩංගු වෙනවා. දෙමාපියෙනි, ඔබේ දරුවන්ගේ පරිගණක ක්‍රීඩාවල තිබෙන්නේ මොන වගේ දර්ශනද කියා ඔබ සොයා බලනවාද?

11. අනාචාරයෙන් ආරක්ෂා වීම සඳහා පවුලකට කළ හැකි හොඳම දෙය කුමක්ද?

11 එවැනි පහත් “විනෝදාස්වාදවලින්” පවුලක් ආරක්ෂා වෙන්නේ කොහොමද? කළ හැකි හොඳම දෙය නම් අනාචාර දේවලින් සම්පූර්ණයෙන්ම වැළකී දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීමට තම ජීවිතවල මුල් තැන දීමයි. (2 කොරින්ති 6:14; එෆීස 5:3) කාමුක දර්ශන අඩංගු පොත් පත්, වීඩියෝ ක්‍රීඩා, චිත්‍රපට වැනි දූෂිත දේවලින් තම දරුවන්ව ආරක්ෂා කිරීමට විමසිල්ලෙන් සිටින දෙමාපියන් ඔවුන්ගේ සිතේ යෙහෝවා දෙවිටත් ඔහුගේ ධර්මිෂ්ඨ නීතිවලට තිබෙන ප්‍රේමය වැඩි කිරීමට ලොකු උත්සාහයක් දරනවා.—ද්විතීය කතාව 6:4-9. *

අන්‍යයන්ගේ පෙලඹවීම් නමැති උගුල

12. පළමු ශතවර්ෂයේ පැනනැඟුණු ප්‍රශ්නය කුමක්ද?

12 කුඩා ආසියාවේ ලිස්ත්‍රාව නමැති නගරයේ සිටි අවස්ථාවකදී පාවුල් ප්‍රාතිහාර්යයකින් මිනිසෙක්ව සුව කළා. “පාවුල් සිදු කළ දේ දුටු සමූහයා හඬ නඟා, ‘දෙවිවරු මිනිසුන් මෙන් වී අප වෙතට බැස ඇවිත් සිටිති!’ කියා ලිකෝනියේ බසින් කීවෝය. ඔවුහු බානබස්ව සියුස් කියාද, පෙරමුණ ගෙන කතා කළ හෙයින් පාවුල්ව හර්මීස් කියාද හැඳින්වූහ.” (ක්‍රියා 14:11, 12) නමුත් වැඩි කාලයක් ගත වෙන්න කලින් ඒ සමූහයාම අන් අයගේ පෙලඹවීම මත පාවුල්ව සහ බානබස්ව මරා දමන්න උත්සාහ කළා. (ක්‍රියා 14:19) ඒ ප්‍රදේශයේ සිටි අයගෙන් සමහරදෙනෙක් පසු කාලයකදී ක්‍රිස්තියානීන් වුණා. ඒත් “දේවදූත නමස්කාරය” වැනි මිථ්‍යා මත සමහරක් ඔවුන්ට අත්හරින්න නොහැකි වුණේ, ඔවුන් පහසුවෙන්ම අන් අයගේ පෙලඹවීම්වලට හසු වූ නිසයි. පාවුල් කොලොස්සි සභාවට ලියද්දී මේ ගැන ඔවුන්ට අනතුරු ඇඟෙව්වේ ඒ නිසයි.—කොලොස්සි 2:18.

13. ක්‍රිස්තියානියෙක් වැළකිය යුත්තේ කුමනාකාර චාරිත්‍රවලින්ද? එසේ කළ හැක්කේ කුමක් නිසාද?

13 අද දිනත් ක්‍රිස්තියානි ප්‍රතිපත්ති උල්ලංගනය කරන බොරු ආගමික මති මතාන්තර ඇතුළත් ජනප්‍රිය සිරිත් විරිත්වලින් සැබෑ ක්‍රිස්තියානීන් වැළකී සිටිය යුතුයි. නිදසුනක් හැටියට සමහර රටවල්වල, කෙනෙක්ගේ උපතේදී හෝ අවමංගල්‍යයේදී සිදු කරන බොහෝ සිරිත් විරිත්වල මුල වෙන්නේ මරණයෙන් පසුව ශරීරයෙන් පිට වී ජීවත් වන යමක් තිබෙනවාය යන බොරු මතයයි. (දේශනාකාරයා 9:5, 10) සමහර රටවල දෙමාපියන් තම තරුණ දියණියන්ගේ ලිංගේන්ද්‍රයන් සුන්නත් කිරීම වැනි ඉතා කුරිරු මෙන්ම අනවශ්‍ය චාරිත්‍ර කරනවා. තම දරුවන්ට බොහෝ සේ ආදරය කරන ක්‍රිස්තියානි දෙමාපියන් එවැනි චාරිත්‍රවලින් වැළකී සිටිනවා. (ද්විතීය කතාව 6:6, 7; එෆීස 6:4) එවැනි දේවල් කිරීම සඳහා අන්‍යයන්ගෙන් පැමිණෙන පෙලඹීම්වලින් ක්‍රිස්තියානියෙකුට වැළකී සිටිය හැක්කේ යෙහෝවා ගැන සම්පූර්ණ විශ්වාසයක් ඔහුට තිබුණොත් පමණයි. (ගීතාවලිය 31:6) “ඔහු මාගේ රක්ෂස්ථානයය; බලකොටුවය; මා විසින් විශ්වාස කරන මාගේ දෙවි” කියා මුළු සිතින්ම කියන අයට අවශ්‍ය ශක්තිය සහ රැකවරණය ධර්මිෂ්ඨ දෙවි සපයනවා නිසැකයි.—ගීතාවලිය 91:2; හිතෝපදේශ 29:25.

යෙහෝවාව අමතක වීමේ උගුල

14. පොරොන්දු දේශය අද්දර සිටි ඊශ්‍රායෙලිතයන්ට යෙහෝවා දුන් අනතුරු ඇඟවීම කුමක්ද?

14 තමාව අමතක කරන්න එපා කියා පවසමින් පොරොන්දු දේශය අද්දර සිටි ඊශ්‍රායෙලිතයන්ට යෙහෝවා මෙහෙම අනතුරු ඇඟෙව්වා. “ඔබ කා තෘප්තියට පැමිණ හොඳ ගෙවල් ගොඩනඟා එහි වාසය කරන කල්හිත් ඔබේ ගව රැළවල් හා එළු බැටළු රැළවල් බෝ වී ඔබේ රිදී හා රන්ද වැඩිව ඔබට ඇති සියල්ලම වර්ධනය වූ කල්හිත් ඔබේ සිත උඩඟුව . . . මා විසින් අද ඔබට අණ කරන ඔහුගේ ආඥාද විනිශ්චයන්ද පනත්ද රක්ෂා නොකිරීමෙන් ඔබේ දෙවි වූ යෙහෝවා මතක නැති නොකරන්ට පරෙස්සම් වෙන්න.”—ද්විතීය කතාව 8:11-13, 17.

15. යෙහෝවාව අමතක වීමේ උගුලට හසු නොවීමට නම් අප කුමක් කළ යුතුද?

15 අපේ ජීවිතයේ අපි මුල් තැන දෙන්නේ වැරදි දේවලට නම් යෙහෝවාව අමතක වීමේ උගුලට අපිත් හසු වෙන්න පුළුවන්. නමුත් අපි මුල් තැන දෙන්නේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට නම් අපේ ජීවිතයේ වැදගත්ම දෙය ලෙස අපි සලකන්නේ ඔහුට කරන සැබෑ නමස්කාරයයි. එහෙම කරනවා නම් අපි අන්තිමය ළඟයි කියන හැඟීමෙන් යුතුව දේවසේවය කරන අතර, පාවුල් දිරිගැන්වූ ලෙස එය කිරීම සඳහා “සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න” උත්සාහ කරනවා. (කොලොස්සි 4:5; 2 තිමෝති 4:2) නමුත් විවේකීව කාලය ගත කිරීම හා විනෝද වීම වැනි දේවල් මගින් රැස්වීම්වලට සහභාගි වීම සහ දේශනා සේවයේ යෑම වැනි වඩා වැදගත් දේවල් අපිට අතපසු වෙන්න පුළුවන්. එවිට අපි අපේ ජීවිතයේ මුල් තැන දෙන්නේ යෙහෝවාට නෙවෙයි. මෙය හරියට යෙහෝවාව අමතක කරනවා හා සමානයි. අන්තිම දවස්වලදී මිනිසුන් “දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම” කරන බව පාවුල් පැවසුවේ එනිසයි. (2 තිමෝති 3:4) එම උගුලට තමා හසුවී ඇද්දැයි කියා අවංක ක්‍රිස්තියානීන් නිතරම තමන්වම සෝදිසි කරගත යුතුයි.—2 කොරින්ති 13:5.

නිතරම තමන් හරියයි සිතීමේ උගුල

16. ඒවට සහ පාවුල්ගේ කාලයේ සිටි සමහරුන්ට තිබුණේ කුමන වැරදි ස්වභාවයද?

16 ඒවට තිබූ හරි වැරැද්ද තනිවම තීරණය කිරීමේ ආශාව දක්ෂ ලෙස යොදාගනිමින් සාතන් ඒදන් උයනේදී ඇයව රැවැට්ටුවා. (උත්පත්ති 3:1-6) පළමුවෙනි ශතවර්ෂයේ කොරින්ති සභාවේ සිටි සමහරුන්ට තිබුණෙත් ඒවට තිබුණා හා සමාන ස්වභාවයක්. ඔවුන් සිතුවේ තමන් පාවුල්ට වඩා වැඩියෙන් දේවල් දන්නවා කියායි. “මහ උතුම් ප්‍රේරිතයන්” කියා උපහාසයෙන් යුතුව පාවුල් ඔවුන්ව හැඳින්වූයේ එනිසයි.—2 කොරින්ති 11:3-5; 1 තිමෝති 6:3-5.

17. තමන් හරියයි සිතීමේ උගුලට හසු නොවී සිටීමට අපට හැක්කේ කොහොමද?

17 අද කාලයේ සිටින බොහෝදෙනෙක් ‘හිතුවක්කාර සහ අහංකාර’ අදහස් ඇති අයයි. සමහර ක්‍රිස්තියානීනුත් ඒ බලපෑමට හසු වී සත්‍යයට විරුද්ධව කටයුතු කිරීමට පවා පෙලඹී තිබෙනවා. (2 තිමෝති 3:4; ෆිලිප්පි 3:18) සැබෑ නමස්කාරයට සම්බන්ධ කාරණාවලදී යෙහෝවාගේ මඟ පෙන්වීම පැතීම හා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සමඟ මෙන්ම සභා වැඩිමහල්ලන් සමඟත් සහයෝගයෙන් වැඩ කිරීම අත්‍යවශ්‍ය දෙයක්. එමගින් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීමටත් නිතරම තමන් හරියයි සිතීමේ උගුලට හසු නොවී සිටීමටත් අපට හැකි වෙයි. (මතෙව් 24:45-47; ගීතාවලිය 25:9, 10; යෙසායා 30:21) “සත්‍යයේ කණුවක්ද ආධාරකයක්ද” වන අභිෂේක ලත් අයව යෙහෝවා අපට සපයා තිබෙන්නේ අපව ආරක්ෂා කිරීමට හා අපට මඟ පෙන්වීමටයි. (1 තිමෝති 3:15) මෙය වටහාගැනීම තුළින් “හිස උදුම්මාගැනීමෙන් කිසිවක් නොකර,” යෙහෝවාගේ කැමැත්තට නිහතමානීව යටත් වීමට අපට හැකි වෙයි.—ෆිලිප්පි 2:2-4; හිතෝපදේශ 3:4-6.

යේසුස්ව ආදර්ශයට ගන්න

18. අපට දිරිගන්වා තිබෙන්නේ යේසුස්ගේ කුමන ස්වභාවය අනුකරණය කිරීමටද?

18 “ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව දුෂ්ටකමට ද්වේෂ කළේය” කියා යේසුස් ගැන බයිබලයේ සඳහන් වී තිබුණා. (ගීතාවලිය 45:7; හෙබ්‍රෙව් 1:9) යේසුස්ට තිබූ මේ ස්වභාවය අනුකරණය කිරීම කොතරම් වටිනා එකක්ද! (1 කොරින්ති 11:1) සාතන් යේසුස්ව පරීක්ෂා කළ විට ‘ධර්මිෂ්ඨ මාර්ගවලින්’ ඉවත් වීමට යේසුස් එක හෙළාම ප්‍රතික්ෂේප කළේ, ඔහු යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිති දැනගෙන සිටි නිසා විතරක් නෙවෙයි, ඔහු ඒවාට ප්‍රිය කළ නිසයි.—හිතෝපදේශ 8:21; මතෙව් 4:3-11.

19, 20. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල මොනවාද?

19 වැරදි දේ කිරීමට අපට තිබෙන පෙලඹීම ප්‍රබල එකක් විය හැකි බව ඇත්තයි. (රෝම 7:19, 20) ඒත් අපි දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීම ඉතා අනර්ඝ දෙයක් හැටියට සලකනවා නම් අපි තුළ තිබෙන එවැනි පෙලඹීම් ජයගැනීමට අපට ශක්තියක් ලැබෙනවා. (ගීතාවලිය 119:165) වැරදි පෙලඹීම් එද්දී දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීමට තිබෙන මහත් කැමැත්ත අපට ආරක්ෂාවක් වෙනවා නොඅනුමානයි. (හිතෝපදේශ 4:4-6) සාතන්ගේ උගුල්වලට අපි හසුවන සෑම විටකදීම ඔහුට ජය ලැබෙන බව මතක තබාගන්න. එසේ වීමට ඉඩ නොදී යෙහෝවාට ජය ලබාදීම කොතරම් වටිනවාද!—හිතෝපදේශ 27:11; යාකොබ් 4:7, 8.

20 දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රකින සැබෑ ක්‍රිස්තියානීන් “දෙවිගේ තේජස හා ප්‍රශංසාව පිණිස යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ලැබෙන ධර්මිෂ්ඨ පලවලින්” පූර්ණව සිටිනවා. (ෆිලිප්පි 1:10, 11) එසේම ඔවුන් “සැබෑ ධර්මිෂ්ඨකමින්ද පක්ෂපාතකමින්ද දෙවිගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය” පැළඳගන්නවා. (එෆීස 4:24) තමන් අයිති යෙහෝවාට බව දන්නා ඔවුන් ජීවත් වෙන්නේ ඔහුට සේවය කිරීමට මිසක තමන්වම සතුටු කරගැනීමට නෙවෙයි. (රෝම 14:8; 1 පේතෘස් 4:2) ඔවුන් සිතන්නෙත් දේවල් කරන්නෙත් ඒ බව මතක තබාගෙනයි. මේ නිසා ඔවුන්ගේ ස්වර්ගික පියාණන්ගේ සිතට ඔවුන් ගෙන දෙන්නේ මොන තරම් ප්‍රීතියක්ද!—හිතෝපදේශ 23:24.

[පාදසටහන]

^ 11 ඡේ. තම පවුලේ අයව අනාචාරයෙන් ආරක්ෂා කරගත හැකි අයුරු ගැන වටිනා යෝජනා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන පවුලේ සන්තෝෂයට රහස නමැති පොතේ අඩංගු වෙනවා.

ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද?

• දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීම වැදගත් වෙන්නේ ඇයි?

• පාපය උරුම කරගෙන සිටියත් ක්‍රිස්තියානියෙකුට දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකිය හැක්කේ කොහොමද?

• ක්‍රිස්තියානියෙකු මඟ හැරිය යුතු උගුල් මොනවාද?

• දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීම අපට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ අනුගාමිකයන්ට අවට ලෝකය අනතුරුදායක තැනක් වුණා

[27වන පිටුවේ පින්තූරය]

යෙහෝවාට ප්‍රේම කරන්න දරුවන්ට උගන්වන විට අනාචාරයෙන් වැළකී සිටීමට ඔවුන්ට හැකි වෙනවා

[28වන පිටුවේ පින්තූරය]

පොරොන්දු දේශය තුළ සැප සම්පත් විඳි සමහර ඊශ්‍රායෙලිතයන් යෙහෝවාව අමතක කළා

[29වන පිටුවේ පින්තූරය]

යේසුස්ව ආදර්ශයට ගන්නා ක්‍රිස්තියානීන් අධර්මිෂ්ඨකමට ද්වේෂ කරනවා