Skip to content

පටුනට යන්න

දෙවි කෙරෙහි ඔබේ විශ්වාසය කොතරම් ස්ථිරද?

දෙවි කෙරෙහි ඔබේ විශ්වාසය කොතරම් ස්ථිරද?

දෙවි කෙරෙහි ඔබේ විශ්වාසය කොතරම් ස්ථිරද?

“පළමුකොට රාජ්‍යය . . . නොකඩවාම සොයන්න.”—මතෙව් 6:33.

1, 2. තරුණයෙක් තම රැකියාව සම්බන්ධයෙන් ගත් තීරණය කුමක්ද? ඔහු එසේ කළේ ඇයි?

එක්තරා තරුණයෙකුට තමාගේ සභාවේ වැඩකටයුතුවල වැඩියෙන් නියැලෙන්න ආශාවක් තිබුණා. නමුත් ප්‍රශ්නය වුණේ, ඔහුගේ රැකියාව නිසා ඔහුට නිතිපතා සභාවේ රැස්වීම්වලට සහභාගි වෙන්න අපහසු වීමයි. ඔහු කුමක් කළා කියාද ඔබ හිතන්නේ? තම ජීවිතය සරල කරගන්න ඔහු තීරණය කළා. පසුව ඔහු කරමින් සිටි රැකියාවෙන් අස් වී, සභාවේ වැඩකටයුතුවලට වැඩියෙන් සහභාගි වෙන්න පුළුවන් ආකාරයේ රැකියාවක් සොයාගත්තා. කලින් කළ රැකියාව සමඟ සසඳද්දී ඔහුට දැන් ලැබෙන්නේ අඩු ආදායමක් බව ඇත්තයි. ඒත් තවමත් තම පවුලේ අවශ්‍යතා අඩුවක් නැතිව සපයන්න ඔහුට පුළුවන්. ඒ විතරක් නෙවෙයි සභාවේ වැඩකටයුතුවලට කලින්ටත් වඩා වැඩියෙන් සහයෝගය දෙන්නත් ඔහුට දැන් වේලාව තිබෙනවා.

2 මේ තරුණයා එවැනි තීරණයක් ගත්තේ ඇයි කියා ඔබට තේරෙනවාද? ඔබත් ඔහුගේ තත්වයේ සිටියා නම් එවැනි තීරණයක් ගන්න ඔබටත් සිතෙයිද? බොහෝ ක්‍රිස්තියානීන් ඒ තරුණයා හා සමානව තීරණ ගෙන තිබීම ඇත්තෙන්ම අගේ කළ යුතු දෙයක්. “පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ” යන යේසුස්ගේ පොරොන්දුව ඔවුන් විශ්වාසය කර තිබෙනවා. (මතෙව් 6:33) ඔවුන් තම ජීවිතයේ සුරක්ෂිතභාවය සොයාගෙන තිබෙන්නේ තම රැකියාවලින් නම් නෙවෙයි. ඒ වෙනුවට යෙහෝවා කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තැබීමෙනුයි.—හිතෝපදේශ 3:23, 26.

3. දේවරාජ්‍යයට මුල් තැන දීම ඇත්තටම කරන්න පුළුවන් දෙයක්ද කියා සමහරු කල්පනා කරන්නේ ඇයි?

3 ‘ඒත් අපි ජීවත් වෙන්නේ අසීරුකම්වලින් පිරුණු කාලයක. එහෙමනම් ඒ තරුණයා ගත් තීරණය ඥානවන්ත එකක් වෙන්න පුළුවන්ද?’ සමහරුන්ට එහෙම සිතෙනවා ඇති. අද සමාජයේ එක කොටසක් දුප්පත්කමේ අඩියටම වැටී සිටිද්දී තවත් කොටසක් ලබන්න පුළුවන් ඉහළම සැප සම්පත්වලින් පිරී ජීවිතයක් ගත කරනවා. දිලිඳු රටවල්වල ජීවත් වන බොහෝදෙනෙක් තමන්ගේ ජීවිතය ටිකක් හෝ පහසු කරගන්න ලැබෙන ඕනෑම අවස්ථාවකින් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්නවා. අනික් අතට ධනවත් රටවලත් ආර්ථිකය දුර්වල වේගෙන යනවා. දැන් වැඩි ඉල්ලුමක් තිබෙන්නේ අලුත් ක්ෂේත්‍රවල රැකියාවලටයි. රැකියා ස්ථානවලින් සේවකයන්ගෙන් වැඩි සේවයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමන් කැමති ජීවන රටාවක් ගත කරන්න නම් අමතර වෙහෙසක් දරන්න ඔවුන්ට සිදු වෙනවා. ඒක ඔවුන්ට ලොකු පීඩනයක්. මෙවැනි තත්වයන් යටතේ ‘දේවරාජ්‍යයට මුල් තැන දීම මේ කාලයේ හැටියට ඇත්තටම කරන්න පුළුවන් දෙයක්ද’ කියා සමහරු කල්පනා කරනවා. ඒ ප්‍රශ්නයට පිළිතුර සොයාගැනීම සඳහා යේසුස්ට සවන් දෙමින් සිටි අය ගැන අපි ටිකක් සලකා බලමු.

“කනස්සලු වීම නතර කරන්න”

4, 5. එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා ගැන ඕනෑවට වඩා වැඩියෙන් කනස්සලු වෙන්න එපා කියා පැවසීම සාධාරණ දෙයක් බව යේසුස් ඔප්පු කළේ කොහොමද?

4 මේ අවස්ථාවේදී යේසුස් සිටියේ ගලීල නුවරයි. විවිධ ප්‍රදේශවලින් පැමිණි බොහෝදෙනෙක් ඔහුට සවන්දෙමින් සිටියා. (මතෙව් 4:25) මේ පිරිස අතර පොහොසත් අය සිටියේ නැති තරම්. හැමෝම වගේ දුප්පත් අයයි. ඒ වුණත් යේසුස් ඔවුන්ට දිරිගැන්නුවේ වස්තු රැස් කිරීමට මුල් තැන දෙනවාට වඩා යෙහෝවා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය රැකගැනීම වටින බවයි. (මතෙව් 6:19-21, 24) “කුමක් කන්නේද කුමක් බොන්නේද කියා ඔබේ ජීවිත ගැනවත්, කුමක් අඳින්නේද කියා ඔබේ ශරීර ගැනවත් කනස්සලු වීම නතර කරන්න. කෑමට වඩා ජීවිතයත් ඇඳුම්වලට වඩා ශරීරයත් වැදගත් නැද්ද” කියා ඔහු පැවසුවා.—මතෙව් 6:25.

5 යේසුස්ට සවන් දුන් අයගෙන් වැඩි පිරිසක් මේ උපදෙස ඔවුන් ජීවත් වෙමින් සිටි කාලයට ගැළපෙන එකක් නෙවෙයි කියා සමහරවිට සිතන්න ඇති. තමන් මහන්සි වෙලා වැඩ කළේ නැත්නම් තම පවුල්වලට දුක්විඳින්න වන බව ඔවුන් දැනගෙන සිටියා. කොහොමවුණත් යේසුස් ඔවුන්ට කුරුල්ලන් ගැන මතක් කළා. කුරුල්ලන්ට දවසක් පාසා දවසක් ලගින්න තැනක් සහ කෑමට යමක් සොයාගන්න වෙනවා. ඒත් උන්ට අවශ්‍ය කරන ඒ දේවල් ලබාදෙන්න යෙහෝවා වග බලාගන්නවා. කිසි සාත්තුවක් නැතිව පිපෙන මල් ගැන යෙහෝවා සලකන ආකාරය ගැනත් යේසුස් මතක් කළා. සලමොන් වැනි රජ කෙනෙක්ට තිබූ තේජසවත් එවැනි මල්වල ලස්සනට සමාන කරන්න බැහැ. මෙවැනි මල් ගැනත් කුරුල්ලන් ගැනත් යෙහෝවා දෙවි සලකනවා නම් ඔහු අපි ගැන ඊට වඩා කොපමණ වැඩියෙන් සලකයිද? (මතෙව් 6:26-30) ඒ නිසා යේසුස් පැවසුවේ අපි මිල දී ගන්න ආහාරවලට වඩා අපේ ජීවිතත් ඇඳුම්වලට වඩා අපේ ශරීරත් බොහෝ සෙයින් වටින බවයි. අපි අපේ ජීවිතයේ වැඩි කාලයක් වැය කරන්නේ කෑම බීම සහ ඇඳුම් පැළඳුම් වැනි දේවල් ලබාගන්න පමණක් නම්, අපේ ජීවිතයේ වඩාත්ම වැදගත් දෙය වන යෙහෝවාට සේවය කිරීම අපෙන් අතපසු වෙන්න පුළුවන්.—දේශනාකාරයා 12:13.

සමබරව සිතීම

6. (අ) ක්‍රිස්තියානීන් සතු වගකීම මොනවාද? (ආ) ක්‍රිස්තියානීන් නොසැලෙන විශ්වාසයක් තබන්නේ කා කෙරෙහිද?

6 යේසුස් මෙහිදී තම අසන්නන්ට උනන්දු කරමින් සිටියේ තමන් කරන රැකියාවන් නතර කර, දෙවි ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය දේවල් සපයන තෙක් බලා සිටින්න කියා නෙවෙයි. කුරුල්ලන්ට වුණත්, උන්ටත් උන්ගේ පැටවුන්ටත් අවශ්‍ය කරන ආහාර සොයන්න වෙහෙසක් දරන්න වෙනවා. ඒ වගේම ඒ කාලයේ විසූ ක්‍රිස්තියානීන්ටත් තමන් ඇතුළු තම පවුලේ අයට අවශ්‍ය කරන දේවල් ලබාදීමේ වගකීම ඉටු කිරීම සඳහා වැඩ කරන්න සිදු වුණා. ඔවුන්ගෙන් සමහරදෙනෙක් ස්වාමිවරුන් යටතේ නිවෙස්වල වැඩකරුවන් ලෙසත් වහලුන් ලෙසත් වෙහෙස මහන්සි වී වැඩ කළා. (2 තෙසලෝනික 3:10-12; 1 තිමෝති 5:8; 1 පේතෘස් 2:18) පාවුල් පවා බොහෝවිට තමාගේ අවශ්‍යතා සපුරාගැනීම සඳහා කූඩාරම් සෑදුවා. (ක්‍රියා 18:1-4; 1 තෙසලෝනික 2:9) නමුත් තමන්ගේ ජීවිතවලට සුරක්ෂිත බවක් ලැබෙන්නේ තමන් කළ රැකියාවලින් කියා ඒ ක්‍රිස්තියානීන් සිතුවේ නැහැ. ඔවුන් යෙහෝවා දෙවි කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තැබුවා. ඒ නිසා වෙනත් අයට නැති සිතේ සැනසුම ඔවුන්ට තිබුණා. “යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්නෝ සෙලවිය නොහැකි වූ සදාකල් පවතින්නාවූ සියොන් කන්ද මෙන් වෙති” කියා ගීතිකාකරු පැවසුවේ හොඳ හේතු ඇතිවයි.—ගීතාවලිය 125:1.

7. යෙහෝවා කෙරෙහි ස්ථිර විශ්වාසයක් නැති කෙනෙකුට හැඟෙන්නේ කොහොමද?

7 නමුත් යෙහෝවා කෙරෙහි ස්ථිර විශ්වාසයක් නැති කෙනෙක් වෙනස් විදිහකට හිතන්න පුළුවන්. නියම සුරක්ෂිතභාවයක් ලැබෙන්නේ ධන සම්පත් තිබුණොත් විතරයි කියා මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් හිතනවා. මේ නිසා විශ්ව විද්‍යාලීය අධ්‍යාපනයක් වැනි උසස් අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා ඔවුන්ගේ තරුණ කාලය යොදවන්න කියා දෙමාපියන්ගෙන් වැඩිදෙනෙක් තම දරුවන්ට උනන්දු කරනවා. එයින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ වැඩි වැටුපක් සහිත උසස් රැකියාවන් සඳහා අවශ්‍ය සුදුසුකම් ඒ දරුවන් ලබාගනීවි කියායි. නමුත් කනගාටුවට කරුණක් වෙන්නේ මෙවැනි කාරණාවලට තමන්ගේ කාලය වැය කිරීම නිසා, යෙහෝවාගේ සේවයේ වැඩකටයුතු සඳහා ඒ දරුවන්ට තිබුණු උනන්දුව නැති වී යෑමයි. ඒ වෙනුවට ඔවුන් වැඩියෙන් උනන්දු වෙන්නේ සැප සම්පත් ලබාගැනීම වැනි දේවල් සඳහයි.

8. ක්‍රිස්තියානීන්ට තිබිය යුතු සමබර ආකල්පය කුමක්ද?

8 යේසුස්ගේ උපදෙස් එදා මෙන් අදටත් අදාළ වන බව ඥානවන්ත ක්‍රිස්තියානීන් තේරුම්ගන්නවා. ඒ නිසා ඔවුන් දේවල් සමබරව කිරීමට උත්සාහ කරනවා. පවුලේ අවශ්‍යතා සැපයීම ගැන බයිබලයේ සඳහන් උපදෙසට කීකරු වීම සඳහා පැය ගණනාවක් රැකියාවේ නියැලෙන්න ඔවුන්ට සිදු විය හැකියි. ඒත් ඔවුන් තම ජීවිතයේ මුල් තැන දෙන්නේ මුදල් උපයාගැනීමට නෙවෙයි. වඩා වැදගත් දේ වෙන්නේ දෙවිගේ සේවයට සම්බන්ධ වැඩකටයුතු කිරීම කියා ඔවුන් තේරුම්ගන්නවා.—දේශනාකාරයා 7:12.

“කිසිවිටක කනස්සලු නොවන්න”

9. යෙහෝවා කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තබන අයට යේසුස් දෙන සහතිකය මොකක්ද?

9 තමාට සවන්දෙමින් සිටි අයට යේසුස් මෙහෙම උනන්දු කළා. “‘කුමක් කමුද?’ කියාවත් ‘කුමක් බොමුද?’ කියාවත් ‘කුමක් අඳිමුද?’ කියාවත් කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද අන්‍යජාතීන් මහත් උනන්දුවකින් හඹා යන්නේ මේ සියල්ල පසුපසය. නමුත් මේ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නේය.” (මතෙව් 6:31, 32) මේ වචනවලින් මොන තරම් දිරිගැන්වීමක් ලැබෙනවාද! අපි යෙහෝවා දෙවි කෙරෙහි ස්ථිර විශ්වාසයක් තබනවා නම් ඔහු සැමවිටම අපට උපකාර කරනවා. කොහොමවුණත් අපි වස්තුව රැස් කරන්න “මහත් උනන්දුවකින්” වැඩ කරනවා නම්, අපිට තිබෙන්නේ සැබෑ ක්‍රිස්තියානීන් නොවන ‘අන්‍යජාතීන්ගේ’ ආකල්ප බව යේසුස්ගේ ඒ වචන අපට සිහිගන්වනවා.

10. තමා වෙතට පැමිණි තරුණයා වැඩියෙන් ප්‍රේම කළේ කුමකටද කියා යේසුස් පෙන්නුවේ කොහොමද?

10 දිනක් ඉතා ධනවත් තරුණයෙක් යේසුස් ළඟට ඇවිත් සදාකාල ජීවනය ලබන්න තමා කුමක් කළ යුතුද කියා ඔහුගෙන් ඇසුවා. මෝසෙස්ගේ නීතියේ තිබූ දේවල් කිරීමට යේසුස් ඔහුට මතක් කළා. එවිට “මම මේ සියල්ල පැවැත්වූයෙමි. එහෙත් මට තව අඩු කුමක්ද?” කියා ඔහු යේසුස්ගෙන් ඇසුවා. “ඔබට සම්පූර්ණ වන්න ඕනෑ නම්, ගොස් ඔබ සන්තක දේ විකුණා දිලිඳුන්ට දෙන්න. එවිට ස්වර්ගයෙහි ඔබට වස්තු ඇති වන්නේය. ඉන්පසු ඇවිත් මාගේ අනුගාමිකයා වන්න” කියා යේසුස් ඔහුට පවසද්දී එය අසා සිටි බොහෝදෙනෙකුට ‘ඒක නම් කොහොමටවත් කරන්න බැරි දෙයක්’ කියා හිතෙන්න ඇති. (මතෙව් 19:16-21) යෙහෝවාට ප්‍රේම කළත් ඊටත් වඩා වැඩියෙන් තම වස්තුවලට ප්‍රේම කළ ඒ තරුණයා තමාගේ ධනය නැති කරගන්න අකමැති වී දුකින් හැරී ගියා.

11, 12. (අ) ධනය සම්බන්ධයෙන් යේසුස් පැවසුවේ මොකක්ද? (ආ) අපි යෙහෝවාට කරන සේවයට දේපළ වස්තු බාධාවක් විය හැක්කේ කොහොමද?

11 මේ සිද්ධියෙන් පසුව යේසුස් පුදුම හිතෙන යමක් පැවසුවා. “ධනවතෙකුට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීම දුෂ්කර වන්නේය. . . . ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් යෑම පහසුය.” (මතෙව් 19:23, 24) ඉන් යේසුස් අදහස් කළේ කිසිම ධනවතෙකුට දෙවිගේ රාජ්‍යය උරුම කරගන්න ලැබෙන්නේ නැහැ කියලාද? ඇත්තෙන්ම නැහැ. අපි එහෙම කියන්නේ “දෙවිට සියල්ල කළ හැකිය” කියා ඔහු ඊළඟට පැවසූ නිසයි. (මතෙව් 19:25, 26) යෙහෝවාගෙන් ලැබූ උපකාරය නිසා ඒ කාලයේ සිටි ඇතැම් ධනවත් අයව පවා ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ පාලනය කිරීම සඳහා තෝරාගෙන තිබෙනවා. (1 තිමෝති 6:17) ඒත් යේසුස් ඒ වචන පැවසුවේ හොඳ හේතු ඇතිවයි. ඔහු යම් අනතුරු ඇඟවීමක් කරමින් සිටියා.

12 ඒ පොහොසත් තරුණයා මෙන් කෙනෙක් තමාගේ දේපළ වස්තුවලට ඇලුම්කමක් දැක්වුවහොත්, ඒ ඇලුම්කම යෙහෝවා දෙවිට ඔහු මුළු සිතින් කරන සේවයට බාධාවක් වෙන්න පුළුවන්. මෙය දැනටමත් පොහොසත් වී සිටින කෙනෙකුට හා “පොහොසත් වීමට අදිටන් කරගෙන” සිටින කෙනෙකුට අදාළයි. (1 තිමෝති 6:9, 10) ධන සම්පත් කෙරෙහි විශ්වාසය තැබීම නිසා කෙනෙක් “තම ආත්මික අවශ්‍යතාව” හෙවත් දෙවිගේ මඟ පෙන්වීම ලබාගැනීමේ අවශ්‍යතාව ගැන සැලකිලිමත් නොවිය හැකියි. (මතෙව් 5:3) එහි ප්‍රතිඵලයක් ලෙස යෙහෝවාගේ උපකාරය තමාට අවශ්‍ය නැති බව ඔහුට හැඟෙන්න පුළුවන්. (ද්විතීය කතාව 6:10-12) එවැනි කෙනෙක් සභාව තුළ විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තු වෙන්නත් ඉඩ තිබෙනවා. (යාකොබ් 2:1-4) ඒ විතරක් නෙවෙයි යෙහෝවා දෙවිට සේවය කරනවා වෙනුවට ඔහු තම ජීවිතයෙන් වැඩි කාලයක් වැය කරන්නේ තම සැප සම්පත් භුක්ති විඳීමට විය හැකියි.

නිවැරදි ආකල්පයක් ඇතිව සිටින්න

13. ලවොදිසීයේ සිටි ක්‍රිස්තියානීන්ට තිබුණේ කුමන වැරදි ආකල්පයද?

13 පළමු ශතවර්ෂයේ ලවොදිසීය සභාවේ සිටි අය තමන් සතු වස්තු ගැන වැරදි ආකල්පයක් ඇතිව සිටියා. ඔවුන්ට යේසුස් පැවසුවේ මෙහෙමයි. “ඔබ මෙසේ කියන්නෙහිය: ‘මා ධනවත්ය; මට ධනය ඇත; මට කිසිම දෙයකින් හිඟයක් නැත.’ එහෙත් ඔබ කාලකණ්ණියෙකු බවද, අනුකම්පාව ලැබිය යුත්තෙකු බවද ඔබ නොදන්නෙහිය. එසේම ඔබ දිලිඳුව, අන්ධව සහ නිර්වස්ත්‍රව සිටින බවද ඔබ නොදන්නෙහිය.” ලවොදිසීයේ සිටි ක්‍රිස්තියානීන් මේ තත්වයට පත් වුණේ ඔවුන් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබනවා වෙනුවට ධනය කෙරෙහි විශ්වාසය තැබූ නිසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙවිගේ වැඩ කටයුතුවල නිරත වුණේ ඇල්මැරුණු ස්වභාවයකින්. ඒ නිසා යේසුස්ගේ කටින් ‘වමාරන’ තත්වයට ඔවුන් පත් වී සිටියා.—එළිදරව් 3:14-17.

14. පාවුල්ගේ ප්‍රශංසාව ලැබීමට හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් වටින අය වුණේ ඇයි?

14 නමුත් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් ඊට වඩා වෙනස් වුණා. පීඩා අද්දකිද්දී ඔවුන් දැරූ ආකල්පය ගැන ප්‍රශංසා කරමින් පාවුල් පැවසුවේ “සිරගෙයි සිටි අයට ඔබ අනුකම්පාව දැක්වූවා පමණක් නොව, වඩා උතුම්, කල් පවතින වස්තුවක් ඔබට ඇති බව දැන, ඔබේ දේපළ කොල්ල කෑම ඔබ ප්‍රීතියෙන් දරාගෙන සිටියහුය” කියායි. (හෙබ්‍රෙව් 10:34) වස්තුව නැති වුණා කියා ඒ ක්‍රිස්තියානීන් කලකිරී ශෝකයෙන් සිටියේ නැහැ. ඔවුන්ට දිගටම ප්‍රීතියෙන් සිටීමට හැකි වුණේ “වඩා උතුම්, කල් පවතින වස්තුව” ඉතා වටිනා දෙයක් ලෙස ඔවුන් සැලකූ නිසයි. ඔවුන් වටිනා මුතු ඇටයක් වෙනුවෙන් තමා සතු සෑම දෙයක්ම කැප කළ යේසුස්ගේ උපමාවේ සිටි වෙළෙන්දා හා සමාන වුණා. කුමනාකාරයේ කැපවීම් කරන්න සිදු වුණත් දේවරාජ්‍යයේ බලාපොරොත්තුව තම මනසින් ගිලිහී යන්න නම් මේ හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් කිසිම දෙයකට ඉඩ දුන්නේ නැහැ. (මතෙව් 13:45, 46) මොන තරම් කදිම ආකල්පයක්ද!

15. ලයිබීරියාවේ සිටි ක්‍රිස්තියානි තරුණියක් දේවරාජ්‍යයට මුල් තැන දුන්නේ කොහොමද?

15 අද දිනත් ඒ හා සමාන ආකල්පයක් ඇති කරගෙන තිබෙන බොහෝදෙනෙක් සිටිනවා. විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබාගැනීමට ප්‍රස්තාව ලැබුණු ලයිබීරියාවේ සිටින ක්‍රිස්තියානි තරුණියක් එවන් කෙනෙක්. එවැනි ප්‍රස්තාවක් ඒ රටේ සලකන්නේ සුරක්ෂිත අනාගතයකට මඟක් හැටියටයි. නමුත් ඒ වෙන කොට මේ තරුණිය පුරෝගාමියෙක් ලෙස පූර්ණ කාලීනව දේවසේවයේ යෙදෙමින් සිටි අතර තාවකාලික විශේෂ පුරෝගාමියෙක් ලෙස වැඩියෙන් සේවය කිරීම සඳහා ඇයට ආරාධනයක් ලැබිලත් තිබුණා. ඇය තීරණය කළේ දේවරාජ්‍යයට මුල් තැන දී පූර්ණ කාලීන දේවසේවය දිගටම කරන්නයි. ඇයට පැවරී තිබූ ප්‍රදේශයට ගොස් මාස තුනක් ඇතුළත ඇය බයිබල් පාඩම් 21ක් පටන්ගත්තා. මේ තරුණ සහෝදරිය හා සමාන තවත් දහස් ගණන් දෙනෙක් වාසි ප්‍රයෝජන අත්හැර වුණත් දේවරාජ්‍යයට මුල් තැන දෙනවා. ධන සම්පත් සෙවීමට ජීවිතයේ මුල් තැන දෙන මේ සමාජය තුළ සිටින ඔවුන් එවැනි ආකල්පයක් ඇතිව සිටින්නේ කොහොමද? ඒ ඔවුන් දෙවිව සතුටු කරන දේවල් රැසක් කරන නිසයි. මින් සමහරක් ගැන දැන් අපි බලමු.

16, 17. (අ) යෙහෝවාව විශ්වාස කිරීම සඳහා නිහතමානි වීම වැදගත් වෙන්නේ ඇයි? (ආ) දෙවිගේ පොරොන්දු ගැන නිසැකකමක් අප ඇති කරගත යුත්තේ ඇයි?

16 නිහතමානීකම: “ඔබේම බුද්ධියෙහි නොපිහිටා මුළු සිතින් යෙහෝවා විශ්වාස කරන්න; ඔබේ සියලු මාර්ගවලදී ඔහු සලකන්න; ඔහු ඔබේ මාවත් සමතලා කරන්නේය. ඔබම ප්‍රඥාවන්තයෙකැයි නොසිතන්න” කියා බයිබලය කියයි. (හිතෝපදේශ 3:5-7) යෙහෝවාට නමස්කාර නොකරන අය දේවල් දිහා බලන විදිහට බැලුවොත් සමහර දේවල් ප්‍රායෝගිකයි කියා අපිටත් හිතෙන්න පුළුවන්. (යෙරෙමියා 17:9) ඒ වුණත් නිහතමානි ක්‍රිස්තියානියෙක් ‘ඔහුගේ සියලු මාර්ගවලදී,’ එනම් සභාවේ වැඩකටයුතු, අධ්‍යාපනය, රැකියාව, විනෝදය වැනි ඕනෑම කාරණයකදී මඟ පෙන්වීම පතන්නේ යෙහෝවාගෙනුයි.—ගීතාවලිය 48:14; 73:24.

17 යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි නිසැකකම: “දෙවි වෙත ළඟාවන්නා විසින් ඔහු ජීවමාන බවත් ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතුය” කියා පාවුල් පැවසුවා. (හෙබ්‍රෙව් 11:6) යෙහෝවාගේ පොරොන්දු ගැන අපිට සැකයක් තිබුණොත් ‘ලෝකය මුළුමනින්ම භුක්ති විඳීමේ’ වරදක් නැහැ කියා අපිට හිතෙන්න පුළුවන්. (1 කොරින්ති 7:31) දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට මුල් තැන දෙන්න අපි පෙලඹෙන්නේ අපි විශ්වාස කරන දෙය ගැන අපිට සැකයක් නැත්නම් පමණයි. එවැනි නිසැකකමක් ඇති කරගන්නේ කොහොමද? මුළු සිතින්ම නොකඩවා යාච්ඤා කිරීමෙන් හා නිතිපතා පෞද්ගලික අධ්‍යයනයේ යෙදීමෙන් යෙහෝවාට ළං වීමෙනුයි. (ගීතාවලිය 1:1-3; ෆිලිප්පි 4:6, 7; යාකොබ් 4:8) “යෙහෝවා, මම ඔබ කෙරෙහි විශ්වාස කළෙමි; ඔබ මාගේ දෙවියයි කීයෙමි. . . . ඔබගේ යහපත්කම කොපමණ මහත්ද!” කියා දාවිත් රජ මෙන් අපිටත් යාච්ඤා කරන්න පුළුවන්.—ගීතාවලිය 31:14, 19.

18, 19. (අ) උනන්දුවෙන් සේවය කිරීම තුළින් යෙහෝවා කෙරෙහි අපට තිබෙන විශ්වාසය ශක්තිමත් වෙන්නේ කොහොමද? (ආ) ක්‍රිස්තියානියෙක් කැප කිරීම් කිරීමට කැමැත්තෙන් සිටිය යුත්තේ ඇයි?

18 උනන්දුවෙන් යෙහෝවාට සේවය කිරීම: “ඔබෙන් එකිනෙකා අවසානය දක්වා බලාපොරොත්තුව පිළිබඳව සම්පූර්ණ නිසැකකම ඇතිව සිටින පිණිස, එම උනන්දුවම පෙන්වනවාට අපි ආශා වන්නෙමු” කියා පාවුල් පැවසූ විට, ඔහු යෙහෝවාගේ පොරොන්දු ගැන අපිට ඇති නිසැකකම යෙහෝවාට උනන්දුවෙන් කරන සේවයට සම්බන්ධ කළා. (හෙබ්‍රෙව් 6:11) අපි කඩිසර ලෙස දෙවිගේ සේවයේ යෙදෙනවා නම් ඔහු අපිට උපකාර කරයි. අපි යෙහෝවා දෙන ඒ උපකාරය අද්දකින සෑම අවස්ථාවකදීම ඔහු කෙරෙහි අපිට ඇති විශ්වාසය තව තවත් ශක්තිමත් වෙනවා. ‘ස්ථිරව නොසැලී සිටින්න’ එමගින් අපිට හැකි වෙනවා. (1 කොරින්ති 15:58) ඒ විතරක් නෙවෙයි අපේ බලාපොරොත්තුවත් ස්ථිර වෙනවා.—එෆීස 3:16-19.

19 කැප කිරීම් කරන්න කැමැත්තක් තිබීම: යේසුස්ගේ අනුගාමිකයෙක් වීම සඳහා පාවුල් හොඳ රැකියාවක් කිරීමට තමාට තිබූ අවස්ථාව කැප කළා. ඔහුට හැම විටම සැපපහසු ජීවිතයක් ගත කරන්න නොහැකි වුණත් ඔහු හරි තීරණයක් ගත් බව නම් ඉතා පැහැදිලියි. (1 කොරින්ති 4:11-13) යෙහෝවා අපිට සැප පහසු ජීවිතයක් ලබා දෙන බවට පොරොන්දු වී නැහැ. සමහර අවස්ථාවලදී ඔහුගේ සේවකයන්ට දුෂ්කරතා විඳදරාගැනීමට සිදු වෙනවා. අපේ ජීවිතය සරල කරගෙන යම් කැප කිරීම් කිරීමට අප දක්වන කැමැත්ත මගින් යෙහෝවාට සේවය කිරීමට වූ අපේ ආශාවේ තරම මැනවින් ඔප්පු වෙනවා.—1 තිමෝති 6:6-8.

20. දේවරාජ්‍යය සඳහා මුල් තැන දෙන කෙනෙක් ඉවසිලිවන්ත වීම අත්‍යවශ්‍ය ඇයි?

20 ඉවසිලිවන්තකම: “සහෝදරයෙනි, ස්වාමීන්ගේ පැමිණ සිටීම දක්වා ඉවසිල්ලෙන් සිටින්න” කියා ක්‍රිස්තියානීන්ට යාකොබ් උනන්දු කළා. (යාකොබ් 5:7) හැම දෙයක්ම කලබලකාරීව සිදු වන මේ කාලයේදී ඉවසිලිවන්තව කටයුතු කිරීම පහසු දෙයක් නෙවෙයි. අපිට ඕන කරන්නේ දේවල් ඉක්මනින් වෙනවා දකින්නයි. නමුත් පාවුල් අපිට උනන්දු කරන්නේ “ඇදහිල්ල සහ ඉවසිලිවන්තකම මාර්ගයෙන් පොරොන්දු උරුම කරගන්නාවූ අයව අනුකරණය කරන්න” කියායි. (හෙබ්‍රෙව් 6:12) යෙහෝවාට දේවල් භාර දී ඉවසිල්ලෙන් බලා සිටින්න. පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට ලැබීම හා සසඳද්දී ඒ බලා සිටින කාලය එතරම් දෙයක් නොවන බව ඔබට වැටහේවි!

21. (අ) දේවරාජ්‍යයට මුල් තැන දෙන විට අපි පෙන්වන්නේ කුමක්ද? (ආ) මීළඟ ලිපියේ අපි සාකච්ඡා කරන්නේ කුමක්ද?

21 එසේනම් දේවරාජ්‍යයට මුල් තැන දෙන්න කියා යේසුස් දුන් උපදෙස පිළිපදින්න බැරි දෙයක් නෙවෙයි. එය පිළිපදින විට මුළුමනින්ම යෙහෝවා කෙරෙහි විශ්වාස කරන බවත් අපේ ජීවිතය සුරක්ෂිතව ගත කරන්න පුළුවන් හොඳම ක්‍රමය අපි තෝරගෙන තිබෙන බවත් අපි පෙන්වනවා. නමුත් මෙහිදී යේසුස් ‘පළමුකොට දෙවිගේ ධර්මිෂ්ඨකම නොකඩවාම සොයන්න’ කියා පැවසුවා. එසේ කිරීම විශේෂයෙන් මේ කාලයේදී වැදගත් වෙන්නේ ඇයි කියා අපි මීළඟ ලිපියෙන් බලන්න යනවා.

ඔබට පැහැදිලි කළ හැකිද?

• යේසුස් අපිට උනන්දු කරන්නේ ධන සම්පත් සම්බන්ධයෙන් කුමන සමබර ආකල්පයක් ඇතිව සිටින්නද?

• යේසුස් පැවසූ ඔටුවා සහ ඉඳිකටුවේ සිදුර සම්බන්ධ උපමාවෙන් අපි ඉගෙනගන්නේ කුමක්ද?

• පළමුකොට දෙවිගේ රාජ්‍යය සෙවීමට අපට උපකාරවත් වන යහපත් දේවල් මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

යේසුස්ට සවන් දුන් බොහෝදෙනෙක් දුප්පත් අයයි

[23වන පිටුවේ පින්තූරය]

ධනවත් තරුණයා දෙවිට වඩා වැඩියෙන් තම වස්තුවට ප්‍රේම කළා

[23වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ උපමාවේ වෙළෙන්දා වටිනා මුතු ඇටය වෙනුවෙන් තමා සතු සියල්ලක්ම පරිත්‍යාග කළා

[24වන පිටුවේ පින්තූරය]

අපි කඩිසර ලෙස යෙහෝවාගේ සේවයේ යෙදෙනවා නම් ඔහු අපිට උපකාර කරයි