Skip to content

පටුනට යන්න

නපුරුකම් කෙළවර කරමින් යහපත ජය ගනියි

නපුරුකම් කෙළවර කරමින් යහපත ජය ගනියි

නපුරුකම් කෙළවර කරමින් යහපත ජය ගනියි

දාවිත් රජ යහපත් කෙනෙක් වුණා. ඔහු දෙවිට ගොඩාක් ප්‍රේම කළා. ඒ විතරක් නෙවෙයි ඔහු සාධාරණව කටයුතු කරන්න කැමති, දුප්පතුන්ට අනුකම්පා කළ කෙනෙක්ද වුණා. ඒත් මේ යහපත් රජම තමා විශ්වාස කළ කෙනෙකුගේ බිරිඳ වූ බැත්ෂෙබා සමඟ වේශ්‍යාකමේ යෙදුණා. පසුව මේ සේවකයාගේ බිරිඳට තමා නිසා දරුවෙක් ලැබෙන්න ඉන්න බව දාවිත් රජ දැනගත්තා. දාවිත් යෙදූ සැලැස්මක් නිසා ඒ සේවකයාව ඝාතනය කරනු ලැබුවා. ඉන්පසුව තමා කළ අපරාධය සැඟවීම සඳහා ඔහු බැත්ෂෙබා සමඟ විවාහ වුණා.—2 සාමුවෙල් 11:1-27.

යහපත් දේවල් බොහොමයක් කරන්න මිනිසුන්ට හැකියාව තිබෙන බව නම් ඉතා පැහැදිලියි. ඒත් ඔවුන් මෙතරම් නපුරු දේවල් කරන්නේ ඇයි? එයට මූලික හේතු කිහිපයක් බයිබලයේ සඳහන් වෙනවා. ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් මගින් දෙවි සදහටම නපුර ඉවත් කරන්න යන ආකාරයත් එහි පැහැදිලි කර තිබෙනවා.

නපුරුකමට ඇදී යෑමේ ස්වභාවය

තමා කළ වැරදි ක්‍රියා හෙළි වුණායින් පසුව ඒවාට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ තමා බව දාවිත් රජ පිළිගත්තා. ඉන්පසුව නපුරු ක්‍රියාවලට හේතු වන එක් කාරණයක් ගැන ඔහු ඉතා කනගාටුවෙන් මෙහෙම පැවසුවා. “මම අයුතුකම සහිතව සාදනු ලැබීමි; මාගේ මෑණියෝ පාප සහිතව මා ගැබ්ගත්තෝය.” (ගීතාවලිය 51:5) දාවිත් එහෙම කිව්වත්, එසේ වීම කවදාවත් දෙවිගේ අරමුණ වුණේ නම් නැහැ. කෙසේවෙතත් මුල් ස්ත්‍රිය වූ ඒවද පසුව ඇගේ ස්වාමිපුරුෂයා වූ ආදම්ද දෙවිට විරුද්ධව කැරලිගැසීමට ගත් තීරණයෙන් පස්සේ පාප රහිත දරුවන්ව බිහි කිරීමේ හැකියාව ඔවුන්ට අහිමි වුණා. (රෝම 5:12) ඉන්පසුව දරුවන් බිහි වුණේ පාප සහිතවයි. මෙසේ මිනිස් පරම්පරාව ගණනින් වැඩි වෙද්දී “මනුෂ්‍යයාගේ බාල කාලයේ පටන් ඔහුගේ හෘදයෙහි කල්පනා නපුරුව තිබෙන” බව පැහැදිලි වුණා.—උත්පත්ති 8:21.

කෙනෙක් නපුරට ඇදී යන මේ ස්වභාවය පාලනය කළේ නැත්නම් එහි ප්‍රතිඵලයක් හැටියට “වේශ්‍යාකම, . . . සතුරුකම්, අඬ දබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද, භේද, නිකායන්, කුඩුකේඩුකම්” වැනි විනාශකාරී හැසිරීම්වලට යොමු විය හැකියි. මේවා “මාංසයේ ක්‍රියා” හෙවත් වැරදි ආශාවන් ලෙසට බයිබලයේ විස්තර කර තිබෙනවා. (ගලාති 5:19-21) දාවිත් රජ වැරදි ආශාවන්ට ඉඩ දීමෙන් වේශ්‍යාකම් කළා. එහි ප්‍රතිඵලයක් හැටියට ඔහුට කරදර රාශියකට මුහුණ දෙන්න සිදු වුණා. (2 සාමුවෙල් 12:1-12) අවශ්‍ය නම් දුරාචාරයේ යෙදීමට වූ නැඹුරුවාවට එරෙහි වෙන්න ඔහුට හැකිකම තිබුණා. නමුත් ඒ වෙනුවට ඔහු කළේ බැත්ෂෙබා ගැන තමාට තිබූ ආශාව ගැන සිත සිතා සිටීමයි. අන්තිමේදී ඔහු කටයුතු කළේ පසු කලක යාකොබ් විස්තර කළ ආකාරයටමයි “නමුත් එකිනෙකා තම තමාගේ ආශාවෙන් අදිනු ලැබ නොමඟට පොලඹවනු ලබන කල පරීක්ෂා කරනු ලබන්නේය. එවිට ආශාව පිළිසිඳගත් කල, පාපය බිහි කරයි. ඉන්පසු පාපය සම්පූර්ණ වූ කල, මරණය උපදවයි.”—යාකොබ් 1:14, 15.

කලින් ලිපියේ සඳහන් වූ සමූලඝාතන, ස්ත්‍රී දූෂණ සහ කොල්ලකෑම වැනි දුෂ්ට ක්‍රියා මිනිස්සු කරන්නේ තමන්ව පාලනය කිරීමට වැරදි ආශාවන්වලට ඔවුන් ඉඩ දෙන නිසයි.

නොදැනුවත්කම නපුරුකමට තවත් හේතුවක්

මිනිසුන් නපුරු දේවල් කිරීමට හේතුවක් වන දෙවන කාරණය පාවුල්ගේම අද්දැකීමෙන් පැහැදිලි වෙනවා. පාවුල් මිය යන විට ඔහු මුදු මොළොක් ගති ඇති ප්‍රේමණීය තැනැත්තෙක් බවට පත් වී සිටියා. තම ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔහු පරාර්ථකාමී ලෙස ඇප කැප වී සේවය කර තිබුණා. (1 තෙසලෝනික 2:7-9) නමුත් සාවුල් ලෙස ඔහුව හඳුන්වනු ලැබූ ඔහුගේ ජීවිතයේ මුල් කාලයේදී ඔහු ක්‍රිස්තියානීන්ට විරුද්ධව “තර්ජනය කරමින්ද ඔවුන්ව මරමියි කියමින්ද” සිටි කෙනෙක් වී සිටියා. (ක්‍රියා 9:1, 2) මුල් ක්‍රිස්තියානීන්ට විරුද්ධව සිදු කරනු ලැබූ ඒ නපුරුකම් අනුමත කරමින් සිටි පාවුල් ඒවායේ හවුල් වුණේ ඇයි? “මා නොදන්නාකමින්” එසේ කළා කියා ඔහු පැවසුවා. (1 තිමෝති 1:13) ඔව්, පාවුල්ට මුලින් “දෙවි කෙරෙහි උද්‍යෝගයක්” තිබුණත් “එය නිවැරදි දැනුම” නිසා ඇති වූ උද්‍යෝගයක් වුණේ නැහැ.—රෝම 10:2.

දෙවිගේ කැමැත්ත පිළිබඳව නිවැරදි දැනුමක් නැති නිසා පාවුල් වගේ බොහෝ අවංක අය නපුරු ක්‍රියාවල යෙදී තිබෙනවා. යේසුස් තම අනුගාමිකයන්ට මෙවැනි අනතුරු ඇඟවීමක් දුන්නේ ඒ නිසයි. “ඔබව මරණයට පත් කරන සැමදෙනා, එය තමන් විසින් දෙවිට කරන පරිශුද්ධ සේවයක්යයි සිතන පැය පැමිණෙන්නේය.” (යොහන් 16:2) යෙහෝවා දෙවිගේ නවීන දින සාක්ෂිකරුවන් යේසුස්ගේ එම වදන්වල සත්‍යතාව අද්දකිනවා. තමන් දෙවිට සේවය කරනවා යයි කියන මිනිසුන් විසින් රටවල් බොහොමයක සිටින සාක්ෂිකරුවන්ට පීඩා කර තිබෙන අතර ඔවුන්ව මරණයට පවා පත් කර තිබෙනවා. නිවැරදි දැනුමක් නොමැතිව එවැනි උද්‍යෝගයක් තිබූ පමණින් සැබෑ දෙවිව සතුටු කරන්න බැරි බව පැහැදිලියි.—1 තෙසලෝනික 1:6.

නපුරුකමේ මුල

නපුර පැවතීමට මූලික හේතුව යේසුස් පෙන්වා දුන්නා. ඔහුව මරා දැමීමට මාන බලමින් සිටි ආගමික නායකයන්ව අමතමින් ඔහු මෙහෙම පැවසුවා. “ඔබ ඔබේ පියා වන යක්ෂයාගෙන්ය. ඔබ කැමති ඔබේ පියාගේ ආශා ඉටු කිරීමටය. ඒ තැනැත්තා පටන්ගැන්මේ සිට මිනී මරන්නෙක්ය.” (යොහන් 8:44) තමාට තිබූ ආත්මාර්ථකාමී ආශාව නිසා දෙවිට විරුද්ධව කැරලි ගැසීමට ආදම්වත් ඒවවත් පෙලඹුවේ සාතන්. ඔවුන්ගේ කැරලිගැසීමෙන් පාපයත්, ඒ නිසා මරණයත් මුළු මිනිස්වර්ගයාටම උරුම වුණා.

යෝබ්ගේ සිද්ධියේදී සාතන් කටයුතු කළ ආකාරයෙන් ඔහුගේ මිනීමරු ස්වභාවය තවදුරටත් පැහැදිලි වුණා. යෝබ් දෙවි කෙරෙහි තබා තිබූ විශ්වාසය පරීක්ෂා කිරීමට යෙහෝවා සාතන්ට අවසර දුන් විට, යෝබ්ට තිබූ සෑම වස්තුවක්ම නැති කිරීමෙන් පමණක් සාතන් සෑහීමට පත් වුණේ නැහැ. ඔහු යෝබ්ගේ දරුවන් දහදෙනාවත් මරා දැමුවා. (යෝබ් 1:9-19) මෑත දශකවලදී නපුරුකම්වල වැඩිවීමක් මිනිසුන් අද්දැක තිබෙනවා. මිනිසාගේ පාපය හා නොදැනුවත්කම මෙන්ම සාතන් වැඩි වැඩියෙන් මිනිසුන්ගේ කාරණාවලට ඇඟිලි ගැසීම මෙයට හේතු වෙනවා. යක්ෂයා “පොළොවට හෙළනු ලැබුවේය; ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය” කියා බයිබලයේ සඳහන් වෙනවා. සාතන්ව මේ පොළොවට සීමා කිරීම නිසා මින් පෙර කවදාවත් නොතිබූ දුක්ඛිත තත්වයක් පොළොවේ ඇති වන බව ‘පොළොවට දුක් වේ’ කීමෙන් එම අනාවැකියේම නිවැරදි ලෙස පවසා තිබුණා. නපුරු දේවල් කරන්න කාටවත් බල කරන්න සාතන්ට බැහැ. නමුත් ඔහුට “මුළු පොළොවම නොමඟ” යවන්න හොඳ හැකියාවක් තිබෙනවා.—එළිදරව් 12:9, 12.

නපුරුකමට ඇදී යෑමේ ස්වභාවය ඉවත් කිරීම

මිනිස් සමාජයෙන් නපුරුකම සදහටම ඉවත් කිරීමට නම් නපුරුකමට ඇදී යෑමට මිනිසා තුළ ඇති ස්වභාවය, නිවැරදි දැනුම නැතිකම සහ සාතන්ගෙන් ඇති වන බලපෑම යන නපුරුකමට හේතුවන ඒ කාරණා තුන ඉවත් කළ යුතුයි. එසේනම් පළමුවෙන් නපුරුකමට ඇදී යෑමට මිනිසා තුළ ඇති ස්වභාවය ඔහුගෙන් ඉවත් කරන්නේ කොහොමද කියා අපි සොයා බලමු.

මිනිසුන් තුළ තිබෙන මේ නපුරුකමට ඇදී යෑමේ ස්වභාවය ඉවත් කරන්න, මිනිසුන් කරන කිසිම ශල්‍යකර්මයකට හෝ මිනිසා සෑදූ කිසිම ඖෂධයකට බැහැ. නමුත් යෙහෝවා දෙවි මිනිසා උරුම කරගෙන තිබෙන පාපය හා වැරදි කිරීමට ඇති නැඹුරුවාව ඉවත් කිරීම සඳහා සැපයුමක් ලබා දී තිබෙනවා. කැමති ඕනෑම කෙනෙකුට ඉන් ප්‍රයෝජන ගන්න පුළුවන්. යොහන් ඒ සැපයුම ගැන ලීවේ මෙයයි. “යේසුස්ගේ රුධිරය සියලු පාපවලින් අපව පවිත්‍ර කරන්නේය.” (1 යොහන් 1:7) පරිපූර්ණ මිනිසෙක් වූ යේසුස් තම ජීවිතය පූජා කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වූ විට “තවදුරටත් අප පාපවල නොයෙදී ධර්මිෂ්ඨකම උදෙසා ජීවත් වන පිණිස, ඔහු කණුව මතදී, තමාගේ ශරීරය තුළ අපේ පව් දැරුවේය.” (1 පේතෘස් 2:24) ආදම්ගේ නපුරු ක්‍රියාවේ බලපෑම් ඉවත් කිරීමට යේසුස්ගේ ජීවිත පූජාවට පුළුවන්. යේසුස් ක්‍රිස්තුස් “සියල්ලන් උදෙසා, අනුරූපී මිදීමේ මිලයක්” වූ බව පාවුල් පැවසුවා. (1 තිමෝති 2:6) ආදම් අහිමි කරගත් පරිපූර්ණත්වය මුළු මිනිස් සංහතියටම නැවත ලබාගැනීම සඳහා ක්‍රිස්තුස්ගේ මරණය තුළින් හැකියාව ලබා දුන්නා.

‘මීට අවුරුදු 2,000කට පමණ කලින් සිදු වූ යේසුස්ගේ මරණයෙන් මිනිස්වර්ගයාව පරිපූර්ණත්වයට පත් කරන්න හැකියාව තිබුණා නම් තවමත් නපුරුකම සහ මරණය පවතින්නේ ඇයි’ කියා සමහරවිට ඔබට හිතෙනවා වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නයට පිළිතුර සෙවීම මගින් අපිට දෙවිගේ අරමුණු ගැන දැනුමක් ලබාගන්න පුළුවන්. ඒ තුළින් නපුරුකම පැවතීමට හේතුව වන දෙවන කාරණය, එනම් දේවකැමැත්ත පිළිබඳ මිනිසාට ඇති නොදැනුවත්කම ඉවත් කරගන්න හැකි වෙනවා.

යහපත් ක්‍රියාවලට පොලඹවන නිවැරදි දැනුම

නපුරුකම ඉවත් කිරීම සඳහා යෙහෝවා දෙවි සහ යේසුස් දැනටමත් කරමින් සිටින දේවල් පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමට අපිට අවශ්‍යයි. ඒ දැනුමට පුළුවන් කෙනෙක්ව නොදැනුවත්වම නපුරු ක්‍රියා අනුමත කිරීමෙන් හෝ ‘ඇත්තෙන්ම දෙවිට විරුද්ධව සටන් කරන්නෙක් ලෙසට’ පත්වීමෙන් වළක්වන්න. (ක්‍රියා 5:38, 39) අපි නොදැනුවත්කමින් අතීතයේ කළ වැරදි නොසලකාහැරීමට යෙහෝවා දෙවි කැමැත්තෙන් සිටිනවා. ඇතන්ස් නුවරේදී කළ කතාවේ පාවුල් පැවසුවේ, “නොදන්නාකමින් සිටි එවැනි කාලවල් දෙවි ගණන් නොගෙන සිටිය බව සත්‍යයකි. එහෙත් දැන් ඔහු සෑම තැනකම සිටින මනුෂ්‍ය වර්ගයාට කියන්නේ ඔවුන් සියල්ලන්ම පසුතැවිලි විය යුතුය කියාය. මන්ද තමන් පත් කළ මිනිසෙකු මාර්ගයෙන් මුළු ලෝකයම ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීමට ඔහු දවසක් නියම කර තිබේ. ඔහු ඒ මිනිසාව මළවුන්ගෙන් නැවත නැඟිටවීමෙන් සියලුදෙනාටම සහතිකයක් දී තිබේ” කියායි.—ක්‍රියා 17:30, 31.

නැවත නැඟිටුවනු ලැබූ යේසුස්, ඒ කාලයේ සිටි ක්‍රිස්තියානීන්ට පීඩා කිරීම නතර කරන්න කියා එක් අවස්ථාවකදී පාවුල්ට පැවසුවා. මේ සිද්ධිය නිසා යේසුස්ව මළවුන්ගෙන් නැවත නැඟිටුවනු ලැබූ බව පාවුල් හොඳින්ම දැනගත්තා. (ක්‍රියා 9:3-7) දෙවිගේ අරමුණු ගැන නිවැරදි දැනුමක් ලැබුවායින් පසු පාවුල් වෙනස් වුණා. ක්‍රිස්තුස්ව අනුකරණය කළ ඔහු ඇත්තෙන්ම යහපත් පුද්ගලයෙක් වුණා. (1 කොරින්ති 11:1; කොලොස්සි 3:9, 10) ඊට අමතරව පාවුල් “රාජ්‍යයේ මේ ශුභාරංචිය” උද්‍යෝගයෙන් යුතුව දේශනා කළා. (මතෙව් 24:14) යේසුස්ගේ මරණය හා නැවත නැඟිටුවීමෙන් පසු ගත වී තිබෙන වසර 2,000 පුරා මිනිස් වර්ගයා අතරින් තම රාජ්‍යයේ තමා සමඟ පාලනය කිරීම සඳහා පාවුල් හා සමාන පුද්ගලයන්ව ක්‍රිස්තුස් තෝරාගෙන තිබෙනවා.—එළිදරව් 5:9, 10.

පසුගිය ශතවර්ෂය පුරාමත් මේ දක්වාමත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් උද්‍යෝගයෙන් යේසුස්ගේ මේ ආඥාව ඉටු කර තිබෙනවා. “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.” (මතෙව් 28:19, 20) මේ පණිවුඩයට හොඳ ප්‍රතිචාරයක් දක්වන අයට ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව තිබෙනවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය” කියා යේසුස් පැවසුවා. (යොහන් 17:3) මේ දැනුම ලබාගැනීමට කෙනෙකුට උපකාර කිරීම, කෙනෙක් තවත් කෙනෙකුට කළ හැකි හොඳම යහපත් ක්‍රියාවයි.

තමන් වටේට කොතරම් නපුරුකම් සිදු වුණත් රාජ්‍යයේ මේ ශුභාරංචිය පිළිගන්න අය “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම දමනය” යන ගුණාංග තම ජීවිතවලින් පිළිබිඹු කරනවා. (ගලාති 5:22, 23) යේසුස්ව අනුකරණය කරන ඔවුන් “කිසි කෙනෙකුට නපුරට නපුර” කරන්නේ නැහැ. (රෝම 12:17) “දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න” ඔවුන් එකිනෙකා උත්සාහයක් දරනවා.—රෝම 12:21; මතෙව් 5:44.

නපුරුකමේ මුල සදහටම පරාජය කෙරේ

නපුරුකමට වගකිව යුත්තා වන සාතන් නමැති යක්ෂයාව නැති කර දැමීමට මිනිසුන්ට කවදාවත් බැහැ. නමුත් යේසුස් මාර්ගයෙන් යෙහෝවා දෙවි ළඟදීම සාතන්ගේ හිස පොඩි කරනවා. (උත්පත්ති 3:15; රෝම 16:20) තවද දේශපාලන ක්‍රම සියල්ලක්ම “කැබලි කොට නාස්ති” කිරීමට යෙහෝවා ක්‍රිස්තුස්ට නියම කරන්න යනවා. මේ දේශපාලන ක්‍රම බොහොමයක් ඉතිහාසය පුරාම නපුරුකම් ගණනාවක් සිදු කර තිබෙනවා. (දානියෙල් 2:44; දේශනාකාරයා 8:9) ඉදිරියේදී පැමිණීමට නියමිත විනිශ්චය දවසේදී “අපේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන අය . . . සදාකාල විනාශය නමැති යුක්තිසහගත දඬුවම විඳින්නෝය.”—2 තෙසලෝනික 1:8, 9; ශෙපනියා 1:14-18.

සාතන් සහ ඔහුගේ පැත්ත ගන්න අයව ඉවත් කළාට පසුව, විනාශයෙන් බේරෙන අය මේ පොළොව එය මුලින් තිබූ තත්වයට පත් කරයි. ඒ සඳහා යේසුස් ඔවුන්ට උපකාර කරන්න යනවා. ඒ වගේම මෙසේ යළි සකස් කළ පොළොව මත ජීවත් වීම සඳහා දැනටමත් මියගොස් සිටින සුදුසුකම් තිබෙන සියලු දෙනාවම ක්‍රිස්තුස් නැවත නැඟිටුවයි. (ලූක් 23:32, 39-43; යොහන් 5:26-29) මෙසේ නපුරුකම් නිසා මිනිස් වර්ගයා විඳ තිබෙන නරක ප්‍රතිඵල ඔහු නැති කරයි.

යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු වීමට යෙහෝවා මිනිසුන්ට බල කරන්නේ නැහැ. නමුත් ජීවනයට මඟ පෙන්වන දැනුම ලබාගැනීමට ඔහු මිනිසුන්ට අවස්ථාව ලබාදෙනවා. මේ අවස්ථාවෙන් ඔබ දැන්ම ප්‍රයෝජන ගැනීම අත්‍යවශ්‍ය දෙයක්! (ශෙපනියා 2:2, 3) ඔබේ එසේ කරනවා නම් ඔබේ ජීවිතය අඳුරු කරන ඕනෑම නපුරුකමකට සාර්ථකව මුහුණ දීමට ඔබ ඉගෙනගනීවී. ක්‍රිස්තුස් නපුරුකම සදහටම කෙළවර කිරීමට පෙරමුණ ගෙන ක්‍රියා කරන ආකාරයත් ඔබ දකීවි.—එළිදරව් 19:11-16; 20:1-3, 10; 21:3, 4.

[5වන පිටුවේ පින්තූරය]

නිවැරදි දැනුම තිබුණේ නැති නිසා සාවුල් නපුරුකම් අනුමත කළා

[7වන පිටුවේ පින්තූරය]

නිවැරදි දැනුම ලබාගන්න උදව් කරන එක තමයි, කෙනෙකුට තවත් කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම යහපත් ක්‍රියාව