Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ගීතාවලිය 102:26හි අහසත් පොළොවත් “විනාශ වන්නේය” කියා සඳහන් වෙනවා. ඉන් අදහස් කරන්නේ පෘථිවි ග්‍රහයා විනාශ වන බවද?

ගීතිකාකරු යෙහෝවා දෙවිට මෙහෙම යාච්ඤා කළා. “ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලූවේය; ආකාශය ඔබගේ හස්ත කර්මාන්තය වේ. ඒවා විනාශ වන්නේය, එහෙත් ඔබ පවත්නේය; එසේය, වස්ත්‍රයක් මෙන් ඒ සියල්ල පරණ වන්නේය; උතුරු සළුවක් මෙන් ඔබ ඒවා මාරු කරන්නේය; ඒවා මාරු වන්නේය.” (ගීතාවලිය 102:25, 26) මේ පදවල සඳහන් වෙන්නේ දෙවිගේ සදාකාලික පැවැත්ම ගැන මිසක පොළොවේ විනාශය ගැන නෙවෙයි. අවට තිබෙන පදවලින් ඒ බව අපිට පැහැදිලි වෙනවා. දෙවිගේ සේවකයන්ට ඔහුගේ සදාකාලික පැවැත්ම සැනසිල්ලක් වීමට හේතුවත් ඒ පදවලින් අපට කියාපානවා.

සමහරවිට 102වන ගීතිකාව රචනා කළ ගීතිකාකරු බැබිලෝනියේ වහල්භාවයේ සිටි කෙනෙක් විය හැකියි. ඔහු ඒ ගීතිකාව ආරම්භ කරන්නේ තමාගේ පීඩාවන් ගැන සඳහන් කරමිනුයි. තම ජීවිතය “දුම මෙන්” ඉක්මණින් ගෙවී යන බව ඔහු ශෝකයෙන් කියයි. දැඩි කනස්සල්ල තමාගේ මුළු ශරීරයට බලපාන බවත් තම ඇටකටු ‘ගිනිපෙනෙල්ලක් මෙන් දැවෙන’ බවත් ඔහු කියනවා. ඔහු හොඳටම හෙම්බත් වෙලා. හරියට “තැළී වියළී” ඇති “තණකොළ” වගේ. “වහල පිට තනිව සිටින ගේ කුරුල්ලෙකු” මෙන් ඔහුට පාළුවක් දැනෙයි. ඔහුගේ පීඩා නිසා ඔහුට කෑමවත් ප්‍රිය නැහැ. හැම දවසක්ම ඔහු ගත කරන්නේ ශෝකයෙන්. (ගීතාවලිය 102:3-11) ඒත් ගීතිකාකරු බලාපොරොත්තු අත්හැරලා නැහැ. ඒ ඇයි? ඒ සියොන් ගැන, ඒ කියන්නේ යෙරුසලම ගැන දෙවි දී තිබෙන පොරොන්දුව නිසයි.

සියොන් විනාශ කර තිබුණත් එය කලින් තිබූ තත්වයට පත් කරන බව යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තිබෙනවා. (යෙසායා 66:8) ඒ නිසා ගීතිකාකරු නිසැකකමකින් යුතුව යෙහෝවාට මෙහෙම කියනවා. “ඔබ නැඟිට සියොන්ට කරුණා කරන්නේය; ඇයට අනුකම්පා කළ යුතු කාලය දැන්ය; එසේය, නියම කාලය පැමිණ තිබේ. මක්නිසාද යෙහෝවා සියොන් ගොඩනැඟුවේය.” (ගීතාවලිය 102:13, 16) ඉන් අනතුරුව තමාගේ දුකට අවධානය යොමු කරමින් ඔහු හිතන්නේ ‘යෙරුසලම කලින් තිබූ තත්වයටම පත් කරන්න යෙහෝවාට බලය තිබෙනවා නම් මගේ අසරණ තත්වයෙන් මාව නිදහස් කිරීමට ඔහුට අනිවාර්යයෙන් පුළුවන්’ කියායි. (ගීතාවලිය 102:17, 20, 23) යෙහෝවාව මේ විදිහට මුළුමනින්ම විශ්වාස කරන්න ගීතිකාකරුට තවත් හේතුවක් තිබෙනවා. ඒ තමයි දෙවිගේ සදාකාලික පැවැත්ම.

යෙහෝවා දෙවිගේ සදාකාලික පැවැත්මත් ගීතිකාකරුගේ කෙටි පැවැත්මත් අතර ලොකු වෙනසක් තිබෙනවා. “ඔබගේ අවුරුදු සියලු පරම්පරාවලට වන්නේය” කියා ඔහු යෙහෝවාට කියනවා. (ගීතාවලිය 102:24) “ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලූවේය; ආකාශය ඔබගේ හස්ත කර්මාන්තය වේ” කියාත් ඔහු පවසනවා.—ගීතාවලිය 102:25.

අහස සහ පොළොව යුග ගණනාවක් පැවත ඇති බව ඇත්තයි. නමුත් ඒ කාලය යෙහෝවාගේ සදාකාලික පැවැත්ම සමඟ සන්සන්දනය කරද්දී හරිම කෙටි කාලයක්. “ඒවා [අහස සහ පොළොව] විනාශ වන්නේය, එහෙත් ඔබ පවත්නේය” කියා ගීතිකාකරු ඊළඟට කියයි. (ගීතාවලිය 102:26) අහස සහ පොළොව සදහටම පවතින බව යෙහෝවා පවසා තිබෙන නමුත් ඔහුට අවශ්‍ය නම් ඒවා විනාශ කරන්න වුණත් පුළුවන්. (ගීතාවලිය 119:90; දේශනාකාරයා 1:4) එහෙත් යෙහෝවා “පවතින්නේය” කියා සඳහන් වෙන්නේ ඔහු කවදාවත් මිය යන්නේ නැති නිසයි. අහස පොළොව වැනි මැවිලි සියල්ලක්ම “සදාකාලේටම” පවතින්නේ යෙහෝවා ඒවා රැක බලාගන්න නිසයි. (ගීතාවලිය 148:6) යෙහෝවා ඒවා ගැන නොසලකා හැරියොත් “වස්ත්‍රයක් මෙන් ඒ සියල්ල පරණ වන්නේය.” (ගීතාවලිය 102:26) මනුෂ්‍යයෙක් තමා අඳින වස්ත්‍රවලට වඩා වැඩි කාලයක් පවතිනවා වගේ, යෙහෝවාට තම මැවිලිවලට වඩා වැඩි කාලයක් පවතින්න පුළුවන්. නමුත් යෙහෝවාගේ කැමැත්ත වෙන්නේ තමා වගේම අහසත් පොළොවත් සදාකාලයටම පැවතීම බව දේවවචනය අපිට සහතික කරනවා.—ගීතාවලිය 104:5.

තම පොරොන්දු සියල්ලක්ම ඉටු කිරීම සඳහා යෙහෝවා දෙවි හැමදාම සිටින්න යනවා කියන කාරණය අපට සහනයක් නෙවෙයිද? අපිට මොන ආකාරයේ පීඩා ආවත් ඔහුට කන්නලව් කරන විට ‘ඔහු අසරණයන්ගේ යාච්ඤාව හෙළා නොදැක සැලකිල්ලට ගන්න’ බවට නිසැක වෙන්න අපට පුළුවන්. (ගීතාවලිය 102:17) එසේනම්, 102වන ගීතිකාව තුළින් තමා සපයන උපකාරය ගැන යෙහෝවා දෙවි දෙන සහතිකය, අපි සිටින මේ පොළොවටත් වඩා ස්ථිරයි.