Skip to content

පටුනට යන්න

මෙනෙහි කිරීමෙන් තෘප්තියක් ලබන්න

මෙනෙහි කිරීමෙන් තෘප්තියක් ලබන්න

මෙනෙහි කිරීමෙන් තෘප්තියක් ලබන්න

මෙනෙහි කිරීම! බොහෝදෙනෙකුට හැඟෙන්නේ එය හරිම අමාරු දෙයක් කියායි. එයට හේතුව දෙවි ගැන ගැඹුරින් කල්පනා කිරීමට නම් ඒ වෙනුවෙන්ම මනස යොමු කිරීමට අවශ්‍ය වන නිසයි. මෙසේ සිතා එය අතපසු කරන අයට එහි වැදගත්කම ගැන බයිබලයෙන් කියවන විට තමන් ලොකු වැරැද්දක් කළා වගේ හැඟෙන්නත් පුළුවන්. (ෆිලිප්පි 4:8) කෙසේවෙතත් යෙහෝවා දෙවි ගැන, ඔහුගේ ලස්සන ගුණාංග ගැන, ඔහු කර තිබෙන පුදුමාකාර දේවල් ගැන, ඔහු අපෙන් බලාපොරොත්තු වන දේවල් ගැන සහ ඔහුගේ තේජාන්විත අරමුණ ගැන ගැඹුරින් කල්පනා කිරීමට ගත කරන කාලයෙන් අපිට තෘප්තියක් ලබන්න පුළුවන්. අපි එසේ කියන්නේ ඇයි?

මේ මුළු විශ්වයේම එකම පාලකයා යෙහෝවා දෙවි වන අතර ඔහු මේ පොළොව සඳහා වූ තම මහිමාන්විත අරමුණ ඉටු කිරීම සඳහා වැඩ කරමින් සිටිනවා. (යොහන් 5:17) ඒත් ඔහු තමන්ට නමස්කාර කරන සෑම කෙනෙකුගේම සිතිවිලි ගැන සැලකිල්ලක් දක්වනවා. මේ ගැන හොඳින්ම දැන සිටි දාවිත් “යෙහෝවා, ඔබ මා විමසා බලා දැනගත්තේය. ඔබ මාගේ ඉඳීමත් නැඟිටීමත් දන්නේය; දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි” කියා පැවසුවා.—ගීතාවලිය 139:1, 2.

‘දෙවි “දුර” සිටියත් ඔහු මගේ හැම දෙයක්ම දන්නවා නම් මගේ මනසට එන හැම නපුරු සිතිවිල්ලක් ගැනම ඔහු දන්නවා ඇති’ කියා කෙනෙක් අධෛර්යය වෙන්න පුළුවන්. නමුත් දෙවි එසේ අපේ සිතුවිලි දැනගෙන සිටීම අපට ප්‍රයෝජනවත් වෙනවා. එය අපේ මනසේ තිබීම අපේ සිතට එන වැරදි සිතුවිලිවලට එරෙහි වීමට අපට උපකාරවත් වෙනවා. ඒ වගේම අපේ සිතේ එවැනි සිතිවිලි ඇති වුණොත් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි අපට තිබෙන ඇදහිල්ල නිසා දෙවි අපට සමාව දෙයි යන නිසැකකම ඇතිව ඒ ගැන ඔහුට යාච්ඤා කිරීමටත් අපට ඒ හැඟීම උපකාරවත් වෙනවා. (1 යොහන් 1:8, 9; 2:1, 2) නමුත් යෙහෝවා දෙවි සැලකිල්ලට ගන්නේ අපේ සිතේ තිබෙන නපුරු සිතිවිලි විතරක් නෙවෙයි. ඔහු අපේ සිතේ තිබෙන යහපතත් දකිනවා. අපි මුළු සිතින්ම දෙවිව අගය කරන විටත් ඔහු එය සැලකිල්ලට ගන්නවා.

“යෙහෝවාට නමස්කාර කරන මිලියන සංඛ්‍යාත අයගේ යහපත් සිතුවිලි හැම එකක්ම යෙහෝවා සැලකිල්ලට ගන්නවාද?” කියා ඔබට හිතෙයි. ඔව්, ඔහු අනිවාර්යයෙන්ම එසේ කරනවා. යෙහෝවා කුඩා ගේ කුරුල්ලන් ගැන පවා සැලකිල්ලක් දක්වන බව යේසුස් පැවසූ අවස්ථාවේදී, යෙහෝවා අපි ගැන උනන්දු වෙන ආකාරය ගැන ඔහු කාවැද්දුවේ “ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටින්නහුය” කියා පැවසීමෙනුයි. (ලූක් 12:6, 7) ගේ කුරුල්ලන්ට යෙහෝවා දෙවි ගැන හිතන්න බැහැ. ඒත් යෙහෝවා උන් ගැන සලකනවා නම්, ඔහු අපි ගැන ඊටත් වඩා කොපමණ සැලකිල්ලක් දක්වයිද! අපි එක් එක්කෙනා ඔහු ගැන සිතන විට ඔහු මොන තරම් ප්‍රීති වෙනවා ඇද්ද! ඔව්, අපිටත් පුළුවන් දාවිත් වගේ කිසිම සැකයක් නැතිව මෙහෙම කියන්න. “මාගේ පර්වතයද මගේ මිදුම්කරුද වන යෙහෝවා, මාගේ . . . සිතේ කල්පනාවද ඔබ ඉදිරියෙහි ප්‍රසන්න වේවා.”—ගීතාවලිය 19:14, නව ලොව පරිවර්තනය (NW).

තමා ගැන ගැඹුරින් කල්පනා කරන තම පක්ෂපාත සේවකයන්ගේ සිතුවිලි යෙහෝවා සැලකිල්ලට ගන්න බව මලාකි මාර්ගයෙන් ඔහු පැවසූ දෙයින් ඔප්පු වෙනවා. අපගේ කාලය ගැන මලාකි ලිව්වේ “එකල යෙහෝවාට භය ඇත්තෝ ඔවුනොවුන්ට කතා කළෝය; යෙහෝවා කන් දී ඇසුවේය; යෙහෝවාට භය ඇතුව ඔහුගේ නාමය සිහි කළවුන් නිසා ඔහු ඉදිරිපිට සිහිවීමේ පොතක් ලියන ලද්දේය” කියායි. (මලාකි 3:16) අපි යෙහෝවා ගැන මෙනෙහි කරන විට, ඒ දේවලට යෙහෝවා ‘කන් දීගෙන ඉන්න’ බව මතක තබාගැනීම තුළින් මෙනෙහි කිරීම තෘප්තිමත් අද්දැකීමක් කරගන්න අපට පුළුවන්. එමනිසා ගීතිකාකරු මෙන් අපිත් මෙහෙම කියමු. “ඔබ කර ඇති සියලු දේ ගැන මම මෙනෙහි කරමි. ඔබේ ක්‍රියා ගැන කල්පනා කරමි.”—ගීතාවලිය 77:12, NW.