Skip to content

පටුනට යන්න

තෘප්තිමත් ජීවිතයක් පාරාදීසයේදී

තෘප්තිමත් ජීවිතයක් පාරාදීසයේදී

තෘප්තිමත් ජීවිතයක් පාරාදීසයේදී

ඩේවිඩ් * ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙක් වගේම පියෙක්. ඔහු තම නෑදෑයන්ගේ ආරාධනය පිළිගෙන රැකියාවක් කිරීම සඳහා අමෙරිකාවට ගියා. බිරිඳ සහ දරුවන්ව තනි කර යන්න ඔහු අකමැති වුණත් ඔවුන්ට වඩාත් සැපවත් ජීවිතයක් ලබාදෙන්නට තමාට හැකි වෙන්නේ මුදල් තිබුණොත් විතරයි කියා සිතුවා.

මෙසේ කාලයක් ගත වුණා. ඒත් ඔහු බලාපොරොත්තු වුණු විදිහටම දේවල් වුණේ නැහැ. කාලය මදි වූ නිසා, රැස්වීම්, දේවසේවය වැනි දේවල් ටිකෙන් ටික ඔහුගෙන් මඟ ඇරුණා. තත්වය කොච්චර දරුණු වුණාද කියනවා නම් දෙවි කෙරෙහි ඔහුට තිබුණු විශ්වාසය පවා නැති වන තත්වයක් උදා වුණා. මුදල් ඉපයීම ගැන විතරක් හිතපු නිසා දෙවි සහ තම පවුලේ අය සමඟ තිබූ බැඳීම වැනි වටිනාම දේවල් ඔහුගෙන් ටිකෙන් ටික ඈත් වන බව ඔහුට වැටහුණේ ඔහු අනාචාරයට හසු වූ විටයි.

ඩේවිඩ් වගේ හිතන ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් මුදල් ඉපයීම සඳහා සෑම අවුරුද්දකම තම මව්බිම අත්හැර වෙනත් රටවලට යනවා. මේ නිසා ජීවිතයේ වටිනාම දෙය වන දෙවි සමඟ ඇති බැඳීම ඔවුන් නැති කරගන්නවා. ‘ක්‍රිස්තියානියෙකුට ප්‍රතිපත්ති බාල නොකර ධනවත් වීම කළ හැකි දෙයක්ද’ කියා සමහරුන් අහන්නේ ඒ නිසයි. ප්‍රසිද්ධ ලේඛකයන් සහ පූජකයන් වැඩිදෙනෙක් නම් කියන්නේ එය කළ හැකි දෙයක් බවයි. නමුත් ඩේවිඩ් සහ ඔහුට සමාන වෙනත් අයගේ අද්දැකීම්වලින් පැහැදිලි වෙන්නේ, ඒ දෙකම අත් කරගැනීම අමාරු දෙයක් බවයි.—ලූක් 18:24.

වරද ඇත්තේ මුදල්වලද?

මුදල් කියන්නේ ගනු දෙනු කිරීම පහසු කරගැනීම සඳහා මිනිසුන් නිපැයූ දෙයක්. වෙනත් නිපැයුම් බොහොමයක් වගේ හොඳ විදිහට භාවිත කළොත් එය ගොඩක් ප්‍රයෝජනවත් වේවි. විශේෂයෙන් දිලිඳුභාවය නිසා ඇති වන ප්‍රශ්නවලදී “මුදල ආරක්ෂාවක්” වන බව බයිබලය කියනවා. (දේශනාකාරයා 7:12, පරණ අනුවාදය) “මුදලින් සියලු දේම කළ හැකි” බව සිතන සමහර අයත් ඉන්නවා.—දේශනාකාරයා 10:19.

බයිබලය අපිට උනන්දු කරන්නේ කම්මැළි වෙනවා වෙනුවට වෙහෙස වී වැඩ කරන්නයි. එසේ කිරීමෙන් අපේ පවුලේ අයගේ අවශ්‍යතා සැපයීමට වූ අපේ වගකීම ඉටු කරන්න පුළුවන් වගේම “අග හිඟකමින් සිටින කෙනෙකුට යමක් දීමට” පවා අපිට පුළුවන්. (එෆීස 4:28; 1 තිමෝති 5:8) අපේ ආශාවන් නැති කරගෙන ජීවත් වෙනවා වෙනුවට බයිබලය උනන්දු කරන්නේ අපේ වැඩවලින් සහ අපට තිබෙන දේවලින් ප්‍රීතියක් ලබමින් “[අපේ] කොටස ලබන්ට” කියායි. (දේශනාකාරයා 5:18-20) ධනවත්ව සිටියත් දෙවිට විශ්වාසවන්තව සේවය කළ ස්ත්‍රීන් හා පුරුෂයන් රාශියකගේ ආදර්ශ බයිබලයේ සඳහන් වෙනවා.

ඇදහිලිවන්තයන්ව සිටි ධනවතුන්

දෙවිගේ ඇදහිලිවන්ත සේවකයෙක් වූ ආබ්‍රහම් විශාල බැටළු සහ ගව රංචුද, රන් රිදී බොහොමයක්ද, සේවකයන් සියගණනක්ද ඇතිව සිටි ධනවතෙක්. (උත්පත්ති 12:5; 13:2, 6, 7) ධර්මිෂ්ඨ යෝබ්ටත් සතුන්, සේවකයන්, රන් රිදී ඇතුළු ධන සම්පත් ඇති තරම් තිබුණා. (යෝබ් 1:3; 42:11, 12) අද කාලයේ ධනවතුන් හා සමානවම ඔවුනුත් ධනවත් අය. නමුත් වැදගත්ම දේ නම් ඔවුන් දෙවි අගය කරන ප්‍රතිපත්ති පැවැත්වීම අතිනුත් පොහොසත්ව සිටීමයි.

“ඇදහිල්ල ඇති සියල්ලන්ගේ පියා” කියා පාවුල් හැඳින්වූ ආබ්‍රහම් ලෝභ වුණේවත් තමන්ගේ වස්තුවලට අධික ඇල්මක් දැක්වූයේවත් නැහැ. (රෝම 4:11; උත්පත්ති 13:9; 18:1-8) දෙවි යෝබ්ව විස්තර කළෙත් “ගුණයෙන් සම්පූර්ණ වූ අවංක වූ කෙනෙක්” විදිහටයි. (යෝබ් 1:8) ඔහු නිතරම දිලිඳු මෙන්ම අසරණ අයට උපකාර කිරීමට සූදානමින් සිටියා. (යෝබ් 29:12-16) ආබ්‍රහම් සහ යෝබ් යන දෙදෙනාම ධනවතුන් වුවත් ඔවුන් තම ධන සම්පත්වලට වඩා දෙවිව විශ්වාස කළා.—උත්පත්ති 14:22-24; යෝබ් 1:21, 22; රෝම 4:9-12.

සලමොන් රජත් එවැනි කෙනෙක්. යෙරුසලමේ රජව සිටි සලමොන්ට දිව්‍ය ප්‍රඥාව විතරක් නෙවෙයි, ඇති තරම් වස්තුද ගෞරවයද දෙවිගෙන් ලැබුණා. (1 රාජාවලිය 3:4-14) ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ඔහු දෙවිට විශ්වාසවන්තව සිටියත් ජීවිතයේ අගභාගයේදී “ඔහුගේ සිත . . . තමාගේ දෙවි වූ යෙහෝවා කෙරෙහි සම්පූර්ණ නොවීය” කියා සඳහන් වීම ඇත්තෙන්ම කනගාටුදායකයි. (1 රාජාවලිය 11:1-8) මෙයින් පැහැදිලි වෙන්නේ ධන සම්පත් අතින් සමෘද්ධියක් අද්දකින අයට සමහරවිට මුහුණ දීමට සිදු වන තත්වයයි. ඒවා කිහිපයක් ගැන දැන් සලකා බලමු.

ධනය උගුලක් විය හැකි ආකාරය

ලොකුම උගුල වෙන්නේ මුදල් ඉපයීමට සහ ඉන් ගත හැකි දේවලට වහවැටීමයි. සලමොන්ගේ පාලන සමයේ මුල් කාලයේදී ඔහු එය හොඳින් වටහාගෙන තිබුණා. බොහෝදෙනෙක් ඒ උගුලට ඇදී යනවා දුටු ඔහු ලිව්වේ, “රිදීයට ආලය කරන්නා රිදීයෙන්වත් බොහෝ ලැබීමට ආලය කරන්නා වැඩි වීමෙන්වත් තෘප්තියට නොපැමිණෙයි; මේකත් නිෂ්ඵලකමය” කියායි. (දේශනාකාරයා 5:10) පසුකාලෙක මේ උගුල ගැන යේසුස් සහ පාවුල් ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟෙව්වා.—මාක් 4:18, 19; 2 තිමෝති 3:2.

ජීවත් වෙන්න අපිට අවශ්‍ය කරන දේවල් ලබාගැනීම වෙනුවට, මුදල් ඉපයීම අපේ ජීවිතයේ ප්‍රධානම දෙය බවට පත් වුණොත් අපි විවිධ වැරදි දේවලට යොමු වෙන්න පුළුවන්. බොරු කීම, සොරකම් කිරීම, ද්‍රෝහිවීම වැනි දේවල් මීට ඇතුළත්. ක්‍රිස්තුස්ගේ ගෝලයෙක් වූ යුදාස් ඉස්කාරියොත් තම ස්වාමියාව පාවා දුන්නෙත් රිදී කාසි 30ක් වැනි සුළු මුදලකටයි. (මාක් 14:11; යොහන් 12:6) සමහරු කොතරම් මුදලට වහ වැටෙනවාද කියනවා නම් මුදල් ඔවුන්ගේ දෙවියා බවට පවා පත් වෙනවා. (1 තිමෝති 6:10) මෙනිසා ‘ඇත්තටම මම වැඩියෙන් මුදල් උපයන්නේ ඇයි’ යන්න ගැන ක්‍රිස්තියානීන් තමන්ටම අවංක විය යුතුයි.—හෙබ්‍රෙව් 13:5.

ධනය රැස් කිරීමට ඇති ආශාව නිසා අපි නොහිතන ආකාරයේ උගුල්වලට පවා හසු වෙන්න පුළුවන්. මෙවැනි එක උගුලක් වෙන්නේ තමා ගැනම ඕනෑවට වඩා විශ්වාසයක් ඇති කරගැනීමයි. යේසුස් පැවසූ ‘ධනයේ මුළා කරවන බලපෑමට’ මෙයත් ඇතුළත්. (මතෙව් 13:22) යාකොබ් ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟෙව්වේ, ව්‍යාපාර සඳහා සැලසුම් කිරීමේදීත් දෙවිව අමතක කරන්න එපා කියායි. (යාකොබ් 4:13-16) බොහෝ මුදල් තිබීම නිසා තමාට ඕන දෙයක් කරන්න පුළුවන් කියන හැඟීම ඇති වී, සමහරු දෙවි මත විශ්වාසය තබනවා වෙනුවට මුදල් මත විශ්වාසය තැබීමේ උගුලට හසුවී තිබෙනවා.—හිතෝපදේශ 30:7-9; ක්‍රියා 8:18-24.

මේ හා සමාන තවත් උගුලක් තියෙනවා. මුදල් ඉපයීම සඳහා බොහෝ කාලය සහ ශක්තිය වැය කිරීමට සිදු වන නිසා රැස්වීම් සහ දේවසේවයට ඇතුළත් වන දේවල නියැලීම අතපසු වෙන්න පුළුවන්. මේ ලිපියේ මුලින් සඳහන් කළ ඩේවිඩ් හසු වුණේ මේ උගුලටයි. (ලූක් 12:13-21) ඒ වගේම ධනවත් අය බොහෝදෙනෙක් පෙලඹෙන්නේ තමන්ගේම විනෝදයට මෙන්ම තමන්වම සතුටු කරන දේවල් ලබාගැනීම සඳහා පමණයි.

දෙවි සමඟ තිබුණු මිත්‍රත්වය සලමොන්ට නැති වුණෙත් ඒ හේතුව නිසා නෙවෙයිද? (ලූක් 21:34) ඊශ්‍රායෙලිතයන් නොවන අයත් එක්ක විවාහ වීම දෙවි තහනම් කර තිබූ බව ඔහු හොඳටම දැන සිටියත් තමාවම සතුටු කිරීම සඳහා ඔහු ස්ත්‍රීන් 1,000ක් ලබාගත්තා. (ද්විතීය කතාව 7:3) ඔවුන් අතර සිටි ඊශ්‍රායෙල් නොවන භාර්යාවන්ව සතුටු කිරීම සඳහා සලමොන් ඔවුන්ගේ ආගමික සිරිත් විරිත්වලට පවා හවුල් වුණා විය හැකියි. මේ නිසා ක්‍රමානුකූලව සලමොන් යෙහෝවා දෙවිගෙන් ඈත් වුණා.

මෙවැනි උදාහරණවලින් “ඔබට මුදලටත් දෙවිටත් දාසයෙකු විය නොහැක” යන යේසුස්ගේ වචන කොයි තරම් ඇත්තද කියා ඔප්පු වෙනවා. (මතෙව් 6:24) එහෙමනම් අද බොහෝදෙනෙක් මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්න ක්‍රිස්තියානීන්ට පුළුවන් කොහොමද? ඊටත් වඩා වැදගත් ප්‍රශ්නය වෙන්නේ මීට වඩා හොඳ ජීවිතයක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන එකයි.

තෘප්තිමත් ජීවිතයක් ඉදිරියේදී

ආබ්‍රහම්, යෝබ් සහ ඊශ්‍රායෙලිතයන්ට තිබුණේ නැති වගකීමක් යේසුස් ක්‍රිස්තියානීන්ට දුන්නා. ඒ තමයි ‘සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කිරීම.’ (මතෙව් 28:19, 20) මේ වගකීම ඉටු කිරීමට නම් සමහරවිට අපේ ජීවිතයේ වෙනත් දේවලට යොදවන කාලය හා ශ්‍රමය වැය කිරීමට සිදු විය හැකියි. මෙය සාර්ථකව කිරීම සඳහා යේසුස් දුන් අවවාදය වුණේ “පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ” යන්නයි.—මතෙව් 6:33.

මේ ලිපියේ මුලින් සඳහන් කළ ඩේවිඩ්ට තමාගේ පවුලත් දෙවි සමඟ තිබූ බැඳීමත් නැති වෙන්න ඔන්න මෙන්න කියායි තිබුණේ. නමුත් ඔහු තම ජීවිතය යළිත් සකස් කරගත්තා. බයිබල් පාඩමට, යාච්ඤාවට සහ දේවසේවයට ජීවිතයේ මුල් තැන දෙන්න පටන්ගත්තාම, යේසුස් පොරොන්දු වුණා වගේ අනිත් දේවලුත් ක්‍රමානුකූලව ඩේවිඩ්ට ලැබෙන්න පටන්ගත්තා. මීට කලින් තිබුණා හා සමාන බැඳීමක් ඔහුගේ භාර්යාව සහ දරුවන් සමඟ ඇති වුණා වගේම මුලින් තිබූ ප්‍රීතිය හා තෘප්තියත් ඔහුට නැවත ලැබුණා. ඔහු තවමත් වෙහෙස වී වැඩ කරනවා. ජීවිතයේ මුහුණ දුන් වේදනාකාරී අද්දැකීම්වලින් ඔහු වටිනා පාඩම් රාශියක් ඉගෙනගත්තා.

අමෙරිකාවට යන්න තමා ගත්තු තීරණය ගැන ඩේවිඩ් දැන් පසුතැවෙනවා. තමාගේ ජීවිතය පාලනය කරන්න නැවත කවදාවත් මුදල්වලට නම් ඉඩ දෙන්නේ නැහැ කියලා ඔහු තීරණයක් අරන් තියෙනවා. ප්‍රේමණීය පවුලක්, හොඳ මිත්‍රයන් සහ දෙවිත් එක්ක තියෙන මිත්‍රත්වය තමයි ජීවිතයේ වටිනාම දේවල් කියා ඔහු දැන් දන්නවා. ඒවා කවදාවත් මුදල්වලින් ලබාගන්න බැරි බවත් ඔහු දන්නවා. (හිතෝපදේශ 17:17; 24:27; යෙසායා 55:1, 2) ඇත්තෙන්ම ධනය රැස් කිරීමට වඩා බයිබල් ප්‍රතිපත්ති බාල නොකර සිටීම ගොඩක් වටිනවා. (හිතෝපදේශ 19:1; 22:1) දැන් ඩේවිඩ් අධිෂ්ඨාන කරගෙන ඉන්නේ තමාගේ පවුලේ අයත් එක්ක එකතු වෙලා ජීවිතයේ වඩා වැදගත් දේවලට මුල් තැන දෙන්නයි.—ෆිලිප්පි 1:10.

ප්‍රතිපත්ති බාල නොකරන සමෘද්ධිමත් සමාජයක් ඇති කිරීමට මිනිසා දරා තිබෙන වෑයම් නැවත නැවත අසාර්ථක වෙලා. ඒත් තෘප්තිමත් ජීවිතයක් ගත කරන අතරම දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට අවශ්‍ය කරන දේවල් තම රාජ්‍යය තුළින් අපිට දෙන බවට දෙවි පොරොන්දු වෙලා තියෙනවා. (ගීතාවලිය 72:16; යෙසායා 65:21-23) තෘප්තිමත් ජීවිතයක් ලැබෙන්නේ දෙවිව සතුටු කිරීමට වෑයම් කරන අයට බව යේසුස් පැවසුවා. (මතෙව් 5:3) ඒ නිසා අපි පොහොසත් වුණත් දුප්පත් වුණත් දෙවිව සතුටු කරන එක දැන් අපේ ජීවිතයේ ප්‍රධාන දෙය කරගමු. ඉදිරියේ පැමිණෙන පාරාදීස පොළොවට සූදානම් වීම සඳහා කරන්න පුළුවන් හොඳම දේ ඒකයි. (1 තිමෝති 6:17-19) ඒ කාලයේ ජීවත් වන සමාජය ධන සම්පත් අතින් මෙන්ම දෙවි අගය කරන ප්‍රතිපත්ති පැවැත්වීම අතිනුත් සැබවින්ම පොහොසත් සමාජයක් වේවි.

[පාදසටහන]

^ 2 ඡේ. සැබෑ නම නොවෙයි.

[5වන පිටුවේ පින්තූරය]

ධන සම්පත් වෙනුවට යෝබ් දෙවිව විශ්වාස කළා

[7වන පිටුවේ පින්තූරය]

ජීවිතයේ වටිනාම දේවල් මුදල්වලින් ලබාගන්න බැහැ