Skip to content

පටුනට යන්න

නෙහෙමියා පොතෙන් විශේෂාංග

නෙහෙමියා පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ වචනය ජීවමානයි

නෙහෙමියා පොතෙන් විශේෂාංග

නෙහෙමියා පොතේ වාර්තාව ආරම්භ වෙන්නේ එස්රා පොතේ අවසානයට වාර්තා වූ සිද්ධීන් සිදු වී වසර 12කට පසුවයි. යේසුස් දක්වා දිව යන සති 70න් අදහස් කරන කාලය ආරම්භ වෙන්න නියමිතව තිබුණේ “යෙරුසලම නැවත පිහිටුවා ගොඩනඟන්ට ආඥාව පිටත්වන” අවස්ථාවේදීයි. එයට කාලය දැන් ළං වෙලා. (දානියෙල් 9:24-27) නෙහෙමියා පොතේ තිබෙන්නේ යෙරුසලමේ පවුරු අලුත්වැඩියා කළ කාලයේ සිටි දෙවිගේ සෙනඟගේ ක්‍රියාකාරකම් ගැනයි. වසර 12කට වඩා වැඩි කාලයක, එනම් ක්‍රි.පූ. 456 සිට ක්‍රි.පූ. 443ට ටිකක් වැඩි කාලයක් දක්වා සිදු වූ තීරණාත්මක සිදුවීම් ගැන මෙහි වාර්තා වෙනවා.

යෙහෝවා දෙවි මත සම්පූර්ණයෙන් විශ්වාසයක් තබමින් ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියා කරද්දී සැබෑ නමස්කාරය උසස් වන ආකාරය ගැන සඳහන් මේ දිරිගන්වන වාර්තාව ලිව්වේ ආණ්ඩුකාර නෙහෙමියායි. තමන්ට අවශ්‍ය කරන දේ ඉටු කරගැනීම සඳහා යෙහෝවා දේවල් හසුරුවන ආකාරය මෙහි පෙන්වනවා. ඒ වගේම මෙය ශක්තිමත්, ධෛර්යවන්ත නායකයෙකුගේ කතාවක්. “දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය” යන්න නැවත වතාවක් ඔප්පු කරන නෙහෙමියා පොත අද සිටින සියලුම සැබෑ නමස්කාරකයින්ට වටින පාඩම් රාශියක් කියා දෙනවා.—හෙබ්‍රෙව් 4:12.

“පවුර නිම විය”

(නෙහෙමියා 1:1–6:19)

මේ කාලය වෙනකොට නෙහෙමියා ඉන්නේ ෂූෂන් මන්දිරයේ අර්තක්ෂස්තා ලොංජිමැනස් රජුට සේවය කරමින්. ඔහු එහි විශ්වසනීය තනතුරක් දරමින් සිටිනවා. තම සෙනඟ “මහත් දුකිනුත් නින්දාවෙනුත් සිටිති; යෙරුසලමේ පවුරද කඩා දමා තිබේ; එහි දොරවල්ද ගින්නෙන් දවා තිබේ” යන ආරංචිය දැනගත් නෙහෙමියා සිතින් කැලඹෙනවා. කළ යුතු දේ ගැන මඟ පෙන්වීම ඉල්ලා ඔහු දෙවිට යාච්ඤා කරනවා. (නෙහෙමියා 1:3, 4) නෙහෙමියා ශෝකයෙන් සිටින බව දකින රජ යෙරුසලමට යන්න ඔහුට අවසර දෙනවා.

යෙරුසලමට පැමිණෙන නෙහෙමියා, රාත්‍රියේදී ගොස් පවුර පරීක්ෂා කර බලනවා. පසුව පවුර අලුත්වැඩියා කිරීමට වූ තම සැලසුම් ගැන යුදෙව්වන්ට කියන ඔහු එය ආරම්භ කරනවා. විරුද්ධවාදිකම් ඒ එක්කම පටන්ගන්නවා. කොහොමවුණත් ධෛර්යවන්ත නෙහෙමියාගේ නායකත්වය යටතේ “පවුර නිම විය.”—නෙහෙමියා 6:15

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:1; 2:1—මේ පද දෙකේ සඳහන් ‘විසිවෙනි අවුරුද්ද’ ගණන් කරන්න පටන්ගත්තේ එකම සිද්ධියෙන්ද? ඔව්. මෙය අර්තක්ෂස්තා රජුගේ පාලන සමයේ 20වෙනි අවුරුද්දයි. කොහොමවුණත් මේ පද දෙකේ සඳහන් 20වෙනි අවුරුද්ද ගණන් කිරීම ආරම්භ වෙන්නේ ක්‍රම දෙකකටයි. ඓතිහාසික සාක්ෂිවලට අනුව අර්තක්ෂස්තා රජ වුණේ ක්‍රි.පූ. 475දීයි. නමුත් බැබිලෝනීය ලියන්නන්ට අනුව ඔහු රජ වුණේ ක්‍රි.පූ. 474 නීසාන් මාසයේදීයි. එයට හේතුව ඔවුන් පර්සියානු රජවරුන්ගේ පාලන සමය ගණන් කළේ අවුරුද්දේ නීසාන් මාසයේ (මාර්තු/අප්‍රියෙල්) සිට ඊළඟ අවුරුද්දේ නීසාන් මාසය දක්වායි. ඒ නිසා නෙහෙමියා 2:1හි සඳහන් 20වෙනි අවුරුද්ද ඔහු ගණන් කළේ ඒ බැබිලෝනීය ක්‍රමයටයි. ඒ අනුව ඒ 20වෙනි අවුරුද්ද පටන්ගත්තේ ක්‍රි.පූ. 455 නීසාන් මාසයේදීයි. නමුත් නෙහෙමියා 1:1හි සඳහන් කිස්ලෙව් (නොවැම්බර්/දෙසැම්බර්) මාසය ඊට කලින් අවුරුද්දේ, එනම් ක්‍රි.පූ. 456 කිස්ලෙව් මාසයයි. නෙහෙමියා ඒ මාසයටත් යොමු දක්වන්නේ අර්තක්ෂස්තාගේ පාලන සමයේ 20වෙනි අවුරුද්ද හැටියටයි. ඒ අවස්ථාවේදී ඔහු ඒ රජ පාලනය පටන්ගත් දිනය සිට කාලය ගණන් කළා විය හැකියි. සමහරවිට නෙහෙමියා, යුදෙව්වන් සිවිල් අවුරුද්දක් කියා හඳුන්වන ක්‍රමයටත් කාලය ගණන් කළා විය හැකියි. සිවිල් අවුරුද්දක් පටන්ගන්නේ ටිෂ්රි මාසයේ එනම් සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසවලයි. කොහොමවුණත් යෙරුසලම අලුත්වැඩියා කිරීම සඳහා ආඥාව නිකුත් වුණේ ක්‍රි.පූ. 455දීයි.

4:17, 18කෙනෙක් එක අතකින් වැඩ කළේ කොහොමද? බර උසුලන්නන්ට නම් එසේ කිරීම ප්‍රශ්නයක් වුණේ නැහැ. යම් බරක් ඔවුන්ගේ හිසේ හෝ කරේ තැබූ විට එක් අතකින් එය අල්ලාගෙන “අනික් අතින් ආයුධය රැගෙන” යෑමට හැකි වුණා. නමුත් ගොඩනැඟීම් කටයුතු කළ අයට අත් දෙකෙන්ම වැඩ කරන්න සිදු වූ නිසා, “තමන් පැත්තකින් කඩුව බැඳගෙන ගොඩනැඟුවෝය.” මෙසේ ඔවුන් සූදානමින් සිටියේ හදිසි සතුරු ප්‍රහාරයක් ඇති වුණොත් එයට මුහුණ දීමටයි.

5:7—නෙහෙමියා “උත්තමයන්ටද මුලාදෑනීන්ටද තරවටු” කළේ කොහොමද? තම සහෝදරයන් වූ යුදෙව්වන්ගෙන් පොලී අය කිරීමෙන් ඔවුන් මෝසෙස්ගේ නීතිය කඩ කළා. (ලෙවී කථාව 25:36; ද්විතීය කතාව 23:19) ඔවුන් “සියයෙන් කොටස” බැගින් මාසිකව අය කළා නම් එය වසරකට සියයට 12ක් වෙනවා. මේ ආකාරයට ඔවුන් අධික පොලී අය කරමින් සිටියා. (නෙහෙමියා 5:11) ඒ වන විටත් අය බදු බරින් සහ ආහාර හිඟකමින් දුක් විඳිමින් සිටි ජනයාගෙන් මෙවැනි අධික පොලී අය කිරීම කෲර දෙයක්. නෙහෙමියා මේ ධනවතුන්ට තදින් තරවටු කරමින් ඔවුන්ගේ වැරදි ක්‍රියා හෙළි කළේ ඒ ගැන දේවනීතියේ සඳහන් දේ පෙන්වා දෙමිනුයි.

6:5—සාමාන්‍යයෙන් රහසිගත ලියුම් මුද්‍රා කරපු මල්ලක දමා එව්වත් සන්බලාට්, නෙහෙමියාට “නොබැන්ද ලියුමක්” එව්වේ ඇයි? නෙහෙමියාගේ සතුරෙක් වූ සන්බලාට් මෙසේ නොබැන්ද ලියුමක් එවීමෙන් නෙහෙමියාට විරුද්ධව ඔහු කළ බොරු චෝදනා ප්‍රසිද්ධ කිරීමට උත්සාහ කළා විය හැකියි. එයින් නෙහෙමියා කෝපයට පත් වී කරමින් සිටි වැඩේ නතර කර, ඒ චෝදනා බොරු බව ඔප්පු කිරීමට ඒවි කියා සමහරවිට ඔහු බලාපොරොත්තු වෙන්න ඇති. එහෙමත් නැත්නම් මේ ලිපියේ ඇති බොරු චෝදනා දකින යුදෙව්වන් කැලඹී තමන් කරමින් සිටි අලුත්වැඩියා කටයුතු නතර කරාවී කියා ඔහුට හිතෙන්න ඇති. නමුත් නෙහෙමියා එයට භය නොවී සන්සුන්ව දෙවි පැවරූ කාර්යය දිගටම කරගෙන ගියා.

අපට ගත හැකි පාඩම්:

1:4; 2:4; 4:4, 5. අසීරු තත්වයන්ට මුහුණ දෙද්දී සහ වැදගත් තීරණ ගන්න සිදු වෙද්දී, අපිත් “අත් නෑර නොකඩවා යාච්ඤා කර” දෙවිගේ වචනයෙන් හෝ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට එකඟව ක්‍රියා කළ යුතුයි.—රෝම 12:12.

1:11–2:8; 4:4, 5, 15, 16; 6:16. යෙහෝවා තම සේවකයන් කරන අවංක යාච්ඤාවලට සවන් දෙනවා.—ගීතාවලිය 86:6, 7.

1:4; 4:19, 20; 6:3, 15. නෙහෙමියා මෘදු මොළොක් ගතිගුණ ඇති කෙනෙක් වුවත්, ඔහු ධර්මිෂ්ඨකම වෙනුවෙන් ස්ථිර පියවර ගත්තා. එමඟින් ඔහු අපිටත් ආදර්ශයක් තැබුවා.

1:11–2:3. රජුගේ කුසලාන දරන්නා හැටියට නෙහෙමියා නම්බුකාර තනතුරක් දැරුවත්, ඔහුගේ ප්‍රීතියට ප්‍රධාන හේතුව වුණේ සැබෑ නමස්කාරයේ වැඩි දියුණුව වෙනුවෙන් වැඩ කිරීමට ලැබීමයි. අපි වැඩියෙන්ම උනන්දු විය යුත්තෙත් අපේ ප්‍රීතියට ප්‍රධාන හේතුව විය යුත්තෙත්, යෙහෝවා දෙවිගේ නමස්කාරය හා ඊට සම්බන්ධ දේවල් ගැන නෙවෙයිද?

2:4-8. යෙරුසලමේ පවුරු අලුත්වැඩියා කිරීමට යෑම සඳහා නෙහෙමියාට අවසර දෙන්න අර්තක්ෂස්තා රජුව පෙලඹුවේ යෙහෝවා දෙවියි. හිතෝපදේශ 21:1 කියන්නේ “රජුගේ සිත දිය පාරවල් මෙන් යෙහෝවා අතේ තිබේ; ඔහු කැමති අතකට ඒක හරවන්නේය” කියායි.

3:5, 27. සැබෑ නමස්කාරයේ දියුණුව සඳහා කය වෙහෙසා වැඩ කිරීමට සිදුවීම මදිපුංචිකමක් හැටියට සැලකූ තෙකෝවරුන්ගේ ‘උත්තමයන්’ මෙන් වීම සුදුසු නැහැ. ඒ වෙනුවට අපිට පුළුවන් කැමැත්තෙන් වැඩ කළ සාමාන්‍ය තෙකෝවරුන්ව අනුකරණය කරන්න.

3:10, 23, 28-30. රාජ්‍ය ප්‍රචාරකයන් සඳහා වැඩි අවශ්‍යතාවක් තිබෙන ප්‍රදේශවල පදිංචි වීමට සමහරුන්ට හැකි වුණත්, අපෙන් බොහෝදෙනෙක් සැබෑ නමස්කාරය වෙනුවෙන් දේවල් කරන්නේ අපි ජීවත් වන ප්‍රදේශවලමයි. රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ කටයුතුවල සහ ආපදා සහනාධාර කටයුතුවලට සහභාගි වෙනවා වගේම මූලික වශයෙන් අපි සැබෑ නමස්කාරය වෙනුවෙන් වැඩ කරන්නේ දේශනා කිරීමේ කාර්යයේ හවුල් වීම තුළිනුයි.

4:14. විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන විට අපේ භය නැති කරගැනීම සඳහා “උතුම් වූ භය උපදවන්නාවූ” තැනැත්තාව සිහියේ තබාගන්න අපටත් පුළුවන්.

5:14-19. ආණ්ඩුකාර නෙහෙමියා යටහත්පහත්කම, පරාර්ථකාමී ස්වභාවය සහ ඥානවන්ත තීරණ ගැනීම ගැන ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට විශිෂ්ට ආදර්ශයක් තැබුවා. දෙවිගේ නීතිය වෙනුවෙන් ඔහු උද්‍යෝගයෙන් වැඩ කළත්, ආත්මාර්ථකාමී ප්‍රයෝජන සඳහා ඔහු අන් අයව පාලනය කිරීමට උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට ඔහු පීඩා විඳිමින් සිටි අයට සහ දිලිඳු අයට සැලකිල්ලක් දැක්වූවා. ත්‍යාගශීලීවන්තකම පෙන්වීමේදී නෙහෙමියා දෙවිගේ සියලුම සේවකයන්ට අගනා ආදර්ශයක් තැබුවා.

“යහපත පිණිස මා සිහි කළ මැනව”

(නෙහෙමියා 7:113:31)

යෙරුසලමේ පවුරු ගොඩනඟා අවසන් වූ වහාම දොරටු සවි කර නගරය ආරක්ෂා කිරීමට සැලසුම් යොදන නෙහෙමියා, සෙනඟගේ පෙළපත් පිළිබඳවත් වාර්තාවක් සකස් කරගන්නවා. පූජක එස්රා “වතුර දොරටුව ඉදිරිපිට තිබුණු එළිමහන් ඉඩමේ” රැස් වී සිටින සෙනඟට ඇහෙන්න මෝසෙස්ගේ නීති පොත කියවද්දී නෙහෙමියා සහ ලෙවීවරුන් සෙනඟට එය පහදා දෙනවා. (නෙහෙමියා 8:1) කූඩාරම් මංගල්‍යය ගැන දැනගත් ඔවුන් එය ප්‍රීතියෙන් පවත්වනවා.

මින් අනතුරුව සෙනඟ එකතු වන තවත් රැස්වීමකදී “ඊශ්‍රායෙල් වංශය” ජාතියක් හැටියට තමන් කළ පව් ප්‍රසිද්ධියේ පිළිගන්නවා. ඊශ්‍රායෙලිතයන් සමඟ දෙවි කටයුතු කර තිබෙන ආකාරය ගැන ලෙවීවරු සෙනඟට මතක් කර දුන් පසු “දෙවිගේ ව්‍යවස්ථාවේ හැසිරෙන” බවට සෙනඟ දිවුරුමකින් බැඳෙනවා. (නෙහෙමියා 9:1, 2; 10:29) යෙරුසලම් නුවරේ ජනගහනය අඩු නිසා නුවරෙන් පිට සිටින සෑම පුරුෂයන් 10දෙනෙකුගෙන් 1කෙනෙක්ව නුවරේ පදිංචි කරවීමට තෝරාගැනීම සඳහා පස ඇට දමනවා. ඊළඟට පවුර කැප කරන අතර “යෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේය.” (නෙහෙමියා 12:43) යෙරුසලමට පැමිණ වසර දොළහකට පසුව නෙහෙමියා අර්තක්ෂස්තා රජුට සේවය කිරීම සඳහා නැවත හැරී යනවා. වැඩි කලක් යන්න පෙර යුදෙව්වරු අපවිත්‍ර දේවල් කරන්න පටන්ගන්න නිසා නැවතත් යෙරුසලමට පැමිණෙන නෙහෙමියා, තත්වය හරිගැස්සීම සඳහා වහා ක්‍රියාත්මක වෙනවා. තමා වෙනුවෙන් ඔහු යෙහෝවාගෙන් නිහතමානීව ඉල්ලන්නේ “යහපත පිණිස මා සිහි කළ මැනව” කියායි.—නෙහෙමියා 13:31.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

7:6-67සෙරුබ්බාබෙල් සමඟ යෙරුසලමට පැමිණි ඊශ්‍රායෙල් වහලුන්ගේ එක් එක් පවුලේ සංඛ්‍යාව ගැන නෙහෙමියාගේ වාර්තාව එස්රාගේ වාර්තාවට වඩා වෙනස් වෙන්නේ ඇයි? (එස්රා 2:1-65) මේ වෙනසට හේතුව, එස්රා සහ නෙහෙමියා සංඛ්‍යා ලේඛන ලබාගත් මූලාශ්‍ර වෙනස් වූ නිසා විය හැකියි. උදාහරණයකට යෙරුසලමට එන්න ලියාපදිංචි වූ සංඛ්‍යාවයි ඇත්තටම යෙරුසලමට පැමිණි සංඛ්‍යාවයි වෙනස් වෙන්න ඇති. වාර්තා දෙක වෙනස් වීමට තව හේතුවක් විය හැක්කේ තමන් මොන පෙළපතට අයිතිද කියා තහවුරු කිරීමට නොහැකි වූ සමහර අය පසුව එය තහවුරු කිරීමයි. නමුත් මේ වාර්තා දෙකම එක කාරණයක් ගැන එකඟ වෙනවා. ඒ තමයි මුලින්ම යෙරුසලමට පැමිණි අයගේ මුළු සංඛ්‍යාව 42,360ක් වීම. මෙයට ඔවුන්ගේ මෙහෙකරුවන් සහ ගී කියන අය ඇතුළත් වුණේ නැහැ.

10:34සෙනඟට දර පූජා කරන්න කියා කීවේ ඇයි? දර පූජාවක් ගැන මෝසෙස්ගේ නීතියේ සඳහන් වෙලා තිබුණේ නැහැ. එහෙම කරන්න කිව්වේ ඒ කාලයේදී පූජා දැවීම සඳහා දිගින් දිගටම දර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වූ නිසයි. පෙනෙන විදිහට දර ගෙන ඒමට පැවරී තිබූ දේවමාලිගාවේ ඊශ්‍රායෙල් නොවන මෙහෙකරුවන්ව සිටි නෙතිනිම්වරු ප්‍රමාණවත් තරම් සිටියේ නැහැ. මේ නිසා දර ගෙන ඒම පැවරීමට පුද්ගලයන්ව තෝරාගැනීම සඳහා පස ඇට දමනු ලැබුවා.

13:6—නෙහෙමියා යෙරුසලමෙන් කොපමණ කාලයක් පිටවී සිටියාද? බයිබලය කියන්නේ “දවස් ගණනකට පසු” නෙහෙමියා යෙරුසලමට ආපසු යෑම සඳහා රජුගෙන් නිවාඩු ඉල්ලූ බවයි. ඒ නිසා ඔහු කොපමණ කාලයක් පිටවී සිටියාද කියා පැවසීම අපහසු දෙයක්. කොහොමවුණත් යෙරුසලමට පැමිණි නෙහෙමියාට දැනගන්න ලැබුණේ සෙනඟ පූජකයන්ට අවශ්‍ය සහය ලබා දෙන්නේ නැති බව සහ සබත නොපවත්වන බවයි. බොහෝදෙනෙක් යුදෙව් නොවන භාර්යාවන් රැගෙන තිබූ අතර ඔවුන්ගේ දරුවන් යුදෙව්වන්ගේ භාෂාව පවා දැනගෙන සිටියේ නැහැ. තත්වය මෙතරම් පිරිහී තිබීමෙන් පැහැදිලි වෙන්නේ නෙහෙමියා දිගු කාලයක් යෙරුසලමෙන් පිටවී සිටින්න ඇති බවයි.

13:25, 28—වැරදි කරන යුදෙව්වන්ව නිවැරදි කිරීම සඳහා ‘තරවටු කරනවාට’ අමතරව නෙහෙමියා වෙන මොනවාද කළේ? දේවනීතියේ සඳහන් විනිශ්චයන් අත්විඳින්න යන බව පැවසීමෙන් නෙහෙමියා ‘ඔවුන්ට ශාප කළා.’ ඔහු ‘ඔවුන්ගෙන් සමහරෙකුට ගැසුවේ’ යම් දඬුවම් නියම කිරීම නිසා විය හැකියි. ඔවුන්ගේ වැරදි ක්‍රියා හෙළාදැකීමේ සංකේතයක් හැටියට ‘ඔවුන්ගේ කෙස් උගුලා’ දැම්මා. ඒ වගේම හොරොනිය සන්බලාට්ගේ දියණිය විවාහ කරගෙන සිටි උත්තම පූජක එලියාෂීබ්ගේ මුණුබුරාව එළවා දැමුවා.

අපට ගත හැකි පාඩම්:

8:8. වචන පැහැදිලිව උච්චාරණය කිරීමෙන්, නියම තැන්වලදී අදහස් කාවැද්දීමෙන් සහ ශුද්ධ ලියවිල්ල නිවැරදිව පහදා දී ඒවා අදාළ කරගන්නා ආකාරය පෙන්වා දීමෙන් දේවවචනය කියා දෙන අපිටත් ‘එහි අර්ථය තෝරා දෙන්න’ හැකි වෙනවා.

8:10. “යෙහෝවා කෙරෙහි ප්‍රීතිය” ලැබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍ය බව වටහාගෙන ඒවා පිළිපැද ඔහුව සතුටු කිරීමෙනුයි. උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කිරීම, නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම සහ දේශනා සේවයේ සහ ගෝලයන් කිරීමේ වැඩේ උද්‍යෝගයෙන් සහභාගි වීම කොතරම් වැදගත්ද!

11:2. තමාට උරුම වූ තැන අත්හැර යෙරුසලමේ පදිංචියට යෑමේදී ඔවුන්ට වියදමක් මෙන්ම පාඩුවකුත් දරන්න වුණා. නමුත් මේ සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වූ අයට ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයක් තිබුණා. සමුළු සහ වෙනත් අවස්ථාවලදී අන් අයට උපකාර කිරීමට අවස්ථා ලැබෙන විට ඒ සඳහා කැමැත්තෙන් ඉදිරිපත් වීමෙන් අපිටත් එවැනි ස්වභාවයක් පෙන්වන්න පුළුවන්.

12:31, 38, 40-42. යෙහෝවාට ප්‍රශංසා කිරීමටත් අපේ අගය ප්‍රකාශ කිරීමටත් කදිම ක්‍රමයක් වෙන්නේ ක්‍රිස්තියානි රැස්වීම්වලදී මුළු හදින්ම ගීතිකා ගායනා කිරීමයි.

13:4-31. ධනය රැස් කිරීමේ ආශාව, වැරදි පෙලඹීම් සහ ඇදහිල්ල අත්හැර යෑම වැනි දේවල් අපේ ජීවිතයට බලපෑම් කරන්න අපි ඉඩ නොදිය යුතුයි.

13:22. තමා දෙවිට ගණන් දිය යුතු බව නෙහෙමියා හොඳින්ම දැන සිටියා. අපිත් යෙහෝවාට ගණන් දිය යුතු බව මතක තබාගත යුතුයි.

අපිට යෙහෝවාගේ ආශීර්වාදය අත්‍යවශ්‍යයි!

“යෙහෝවා ගෙය නොසාදන්නේ නම් සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති” කියා ගීතිකාකරු ගායනා කළා. (ගීතාවලිය 127:1) ඒ වචනවල සත්‍යතාව නෙහෙමියා පොතෙන් මනාව පැහැදිලි වෙන්නේ නැද්ද!

මේ පොතෙන් අපිට කියා දෙන පාඩම වෙන්නේ, අපි භාරගන්න ඕනෑම කටයුත්තක් සාර්ථකව කිරීමට නම් අපිට යෙහෝවාගේ ආශීර්වාදය අත්‍යවශ්‍ය බවයි. අපේ ජීවිතයේ මුල් තැන සැබෑ නමස්කාරයට නොදී යෙහෝවාගේ ආශීර්වාදය අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? එහෙමනම් අපිත් නෙහෙමියා මෙන් යෙහෝවාගේ නමස්කාරයට සහ එහි දියුණුවට මුල් තැන දෙමු.

[8වන පිටුවේ පින්තූරය]

“රජුගේ සිත දිය පාරවල් මෙන් යෙහෝවා අතේ තිබේ”

[9වන පිටුවේ පින්තූරය]

ස්ථිර පියවර ගෙන කටයුතු කළ මෘදු මොළොක් ගති පැවතුම් ඇති නෙහෙමියා යෙරුසලමට එයි

[10වන පිටුවේ පින්තූරය]

දේවවචනයේ ‘අර්ථය තෝරා දෙන්නේ’ කොහොමද කියා ඔබ දන්නවාද?