Skip to content

පටුනට යන්න

මුදල් සහ ප්‍රතිපත්ති ඉතිහාසයෙන් පාඩමක්

මුදල් සහ ප්‍රතිපත්ති ඉතිහාසයෙන් පාඩමක්

මුදල් සහ ප්‍රතිපත්ති ඉතිහාසයෙන් පාඩමක්

යුරෝපයේ වසර තිහක් පුරා (1618-1648) පැවති යුද්ධය නිසා එංගලන්තයේ ආර්ථිකය හොඳටම බිඳ වැටිලයි තිබුණේ. තම ගෙවල්, ව්‍යාපාර සහ නෑදෑයන්ව අත්හළ හාරසීයක් පමණ දෙනෙක් 1630 අප්‍රියෙල් 7වන දින එංගලන්තයෙන් පිට වුණා. නැව් හතරක නැඟුණු ඔවුන් අමෙරිකාව බලා යාත්‍රා කළේ වඩා හොඳ ජීවිතයක් හොයාගෙනයි. ඔවුන් අතර සිටි අයගෙන් බොහෝදෙනෙක් උගත් අය. සමහරු සාර්ථක ව්‍යාපාරිකයන්. ඒවගේම පාර්ලිමේන්තුව නියෝජනය කළ අය පවා එහි හිටියා.

ඔවුන්ව හැඳින්වූයේ පියුරිටන්වරු කියායි. * ඔවුන් මේ ගමන පිට වුණේ ධනය සොයාගැනීම සඳහා පමණක්ම නෙවෙයි. නමුත් මෙතෙක් කල් ආගමික පීඩාවලට මුහුණ දෙමින් සිටි ඔවුන්ගේ සැබෑ අරමුණ වුණේ අමෙරිකාවේ පදිංචි වෙලා, දේවභක්තික සමාජයක් ගොඩනඟාගෙන ආර්ථික අතිනුත් දියුණු වීමටයි. මැසචූසෙට්ස් ප්‍රදේශයේ සාලෙම් නම් වෙරළෙහි ගොඩ බසින ඔවුන් ඒ ළඟ ඉඩමක් අයිති කරගෙන ඒ ප්‍රදේශයට බොස්ටන් කියා නම තබනවා.

සමබර වීම අභියෝගයක්

බොස්ටන්වල පදිංචි වූ මේ අයගේ නායකයා වුණේ ජොන් වින්ත්‍රොප් නමැත්තයි. ඔහුට ඕන වුණේ තම සෙනඟ ධනවත් මෙන්ම බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වන පිරිසක් කරවීමටයි. නමුත් මේ දෙක සමබරව තබාගැනීම අභියෝගයක් වුණා. ඒ අභියෝගය ජයගත හැකි ආකාරය ගැන තම මිත්‍රයන් එක්ක ඔහු තොරතුරු රාශියක් බෙදාගත්තා.

පියුරිටන්වරුන්ගේ වෙනත් නායකයන් හා සමානව වින්ත්‍රොප් සිටියෙත් ධනය සෙවීමේ වරදක් නැහැයි කියන මතයෙයි. එසේ ධනය රැස් කිරීමෙන් අන් අයට උපකාර කළ හැකියි කියාත් කෙනෙකුට ධනය වැඩි වෙන්න වැඩි වෙන්න ඔහුට කළ හැකි යහපත් දේවලුත් වැඩි වෙනවා කියාත් ඔහු තරයේ කියා සිටියා. ඉතිහාසඥ පැට්‍රීෂියා ඕටූල් මෙහෙම පවසනවා. “දෙවිගෙන් ලැබූ ආශීර්වාදයක් හැටියට ඔවුන් සැලකූ ධනයම තමයි කෙනෙක් උඩඟු වීමටත් . . . වැරදි ආශාවන්ට වැටීමටත් පරීක්ෂාවක් වෙන්නේ කියා ඔවුන් සිතුවා. ඒ නිසා ධනය තරම් පියුරිටන්වරුන්ව කැළඹූ වෙන විෂයක් තිබුණේ නැහැ.”

කෙනෙකුට ධනය සහ සැප සම්පත් වැඩි වෙද්දී ඔහු හසු විය හැකි පාපවලින් වැළකීම සඳහා ආත්ම දමනය අවශ්‍ය බව වින්ත්‍රොප් ඔවුන්ට කියා සිටියා. දේවභක්තික ජීවිත ගත කරමින් එකිනෙකාට ප්‍රේම කිරීමට ඔහු තම සෙනඟට බල කලත් සමහරුන්ගේ ආශාව වුණේ ඉක්මනින් ධනවත් වීමටයි. මේ නිසා එවැනි අය වින්ත්‍රොප්ව සැලකුවේ තම පෞද්ගලික කාරණාවලට ඇඟිලි ගසන කෙනෙක් ලෙසයි. තමන් කළ යුතු දේ ගැන තීරණ ගැනීමට තනි පුද්ගලයෙක් වෙනුවට කණ්ඩායමක් තෝරා පත් කරන මෙන් මතයක් සමහරු සෙනඟ අතර ඇති කළා. වින්ත්‍රොප්ට එකඟ නොවූ වෙනත් අය බොස්ටන් අත්හැර කනෙක්ටිකට්වලට ගියේ තමන් කැමති ආකාරයේ ජීවිත ගත කිරීමටයි.

“අවස්ථාව, සමෘද්ධිය, ප්‍රජාතන්ත්‍රවාදය යන කාරණා මැසචූසෙට්ස්වල ඉතිරි වූ පියුරිටන්වරු අතර ජනප්‍රිය වෙන්න පටන්ගත් නිසා වින්ත්‍රොප්ගේ පරමාර්ථය මැකී ගියා” කියා ඕටූල් පවසනවා. මෙවැනි ප්‍රශ්න ඇති වුණත් ඒ සමාජය දිගටම පැවතුණා. ඒත් වින්ත්‍රොප් සිහින මැවූ සමාජය ඇති කරන්න ඔහුට හැකි වුණේ නැහැ. වර්ෂ 1649දී, වයස අවුරුදු 61ක් වූ ඔහු මිය ගියේ අතේ සතයක් නැති දිලින්දෙක් ලෙසටයි.

මේ සෙවීම අද දිනත් සිදු වෙයි

ප්‍රතිපත්ති පවත්වමින් සමෘද්ධිමත් ජීවිතයක් ගත කිරීමට වූ වින්ත්‍රොප්ගේ සිහිනය තවමත් මිනිසුන් අතර තිබෙනවා. සෑම වසරකම අප්‍රිකාවෙන්, අග්නිදිග ආසියාවෙන්, නැඟෙනහිර යුරෝපයෙන් සහ ලතින් අමෙරිකාවෙන් සියදහස් ගණනක් දෙනා වඩා හොඳ ජීවිතයක් සොයා රට හැර යනවා. මේ සඳහා ඔවුන් පෙලඹෙන්නේ ධනවත් වීම ගැන කියන පොත් පත්, සම්මේලන සහ වෙබ් අඩවිවල ඇති තොරතුරු මගිනුයි. ඒ යන බොහෝදෙනෙකුගේ අධිෂ්ඨානය නම් කෙසේ හෝ ධනවත් වෙන්නයි. ඒ අතරම පුළුවන් නම් ප්‍රතිපත්ති බාල නොකර එසේ කිරීමටත් ඔවුන් උත්සාහ කරනවා.

බොහෝදෙනෙකුගේ ඒ උත්සාහයන් අසාර්ථක වීම කනගාටුදායකයි. එසේ ධනය සොයන අය ප්‍රතිපත්ති සහ සමහරවිට තම ඇදහිල්ල වුණත්, පාවා දී තිබෙනවා. එහෙමනම් “සැබෑ ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරන අතරම කෙනෙකුට ධනවත් වෙන්න පුළුවන්ද?” කියා ඔබ සමහරවිට අහන්න පුළුවන්. “ධන සම්පත් අතින් මෙන්ම දෙවි අගය කරන ප්‍රතිපත්ති පැවැත්වීම අතිනුත් පොහොසත් සමාජයක් කවදා හෝ බිහි වෙයිද?” මේ ගැන බයිබලය දෙන පිළිතුරු ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන්වල]

^ 3 ඡේ. පියුරිටන්වරු කියා හැඳින්වූයේ, 16වන ශතවර්ෂයේදී එංගලන්ත සභාවේ තිබූ රෝමානු කතෝලික සිරිත් විරිත් සියල්ලක්ම ඒ සභාවෙන් ඉවත් කිරීමට උත්සාහ දැරූ පිරිසකටයි.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Boats: The Complete Encyclopedia of Illustration/J. G. Heck; Winthrop: Brown Brothers