Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි මෙන් ඉවසීමට ඔබත් පුරුදු වෙන්න

යෙහෝවා දෙවි මෙන් ඉවසීමට ඔබත් පුරුදු වෙන්න

යෙහෝවා දෙවි මෙන් ඉවසීමට ඔබත් පුරුදු වෙන්න

“යෙහෝවා තම පොරොන්දුව ගැන ප්‍රමාද වන්නේ නැත. . . . නමුත් ඔහු . . . ඉවසන්නේය.”—2 පේතෘස් 3:9.

1. යෙහෝවා දෙවි මිනිසුන්ට පොරොන්දු වෙලා තිබෙන අගනාම තෑග්ග මොකක්ද?

වෙන කිසිම කෙනෙකුට දෙන්න බැරි දෙයක් අපිට දෙන්න යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තියෙනවා. කාටවත් මිල දී ගන්නවත් උපයා ගන්නවත් නොහැකි ඉතාමත්ම සිත්ගන්නා ඒ දේ, කෙනෙකුට ලබන්න පුළුවන් අගනාම දෙයයි. දෙවි අපට දෙන්න යන ඒ තෑග්ග නම් සදාකාල ජීවිතයයි. අපෙන් වැඩිදෙනෙකුට ඒ ජීවිතය ලැබෙන්නේ පොළොව පාරාදීසයක් වූ විටයි. (යොහන් 3:16) ඒක මොන තරම් සුන්දර කාලයක් වේවිද! භේද, සැහැසියාව, දුගීකම, අපරාධ, අසනීප සහ මරණය වගේ දුකට හේතු වන දේවල් නැවත කවදාවත් තියෙන්නේ නැහැ. ඒ කාලෙදී යේසුස් ප්‍රේමණීය ලෙස පොළොව පාලනය කරද්දී මිනිසුන් එකට බැඳී සාමයෙන් ජීවත් වේවි! ඒ පාරාදීසය එනතුරු අපි කොයි තරම් ආසාවෙන් බලා සිටිනවාද!—යෙසායා 9:6, 7; එළිදරව් 21:4, 5.

2. යෙහෝවා දෙවි තවමත් සාතන්ගේ දුෂ්ට සමාජය ඉවත් නොකර තිබෙන්නේ ඇයි?

2 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය කරන නිසා මේ පොළොව පාරාදීසයක් කරන්න ඔහුත් ආශාවෙන් බලාගෙන සිටිනවා. (ගීතාවලිය 33:5) තම ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති ගණන් නොගෙන සිටින, තම පාලනය එපා කරන සහ තම සෙනඟට පීඩා කරන සමාජය ගැන ඔහු ඉන්නේ සතුටකින් නෙවෙයි. ඒත්, පාලනය කිරීමට සහ හරි වැරැද්ද තීරණය කිරීමට දෙවිට තිබෙන අයිතිය ගැන පැන නැඟී ඇති ප්‍රශ්නය නිසා, සාතන්ගේ මේ දුෂ්ට සමාජය පවතින්න දෙවි තවමත් ඉඩ දී තිබෙනවා. මේ ප්‍රශ්නය විසඳිමේදී අද දින සිටින බොහෝදෙනෙක් ළඟ නැති ආකර්ෂණීය ගුණාංගයක් දෙවි විදහාපානවා. ඒ ගුණාංගය නම් ඉවසීමයි.

3. (අ) ඉවසීම ඇති කෙනෙක් කොයි වගේද? (ආ) අපි දැන් සලකා බලන්න යන ප්‍රශ්න මොනවාද?

3 බයිබලය ලිවීමේදී භාවිත කළ ග්‍රීක සහ හෙබ්‍රෙව් වචනවල නියම අර්ථයට අනුව “ඉවසීම” සහ “බොහෝ ඉවසිලිවන්තකම” ඇති කෙනෙක්, ඉක්මන් වී ක්‍රියා කරන්නේ නැහැ වගේම කෝපවීමටත් ප්‍රමාද වෙනවා. යෙහෝවා දෙවි එවැනි ඉවසීමක් පෙන්වා තිබීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? යෙහෝවාත් ඔහුගේ ඇදහිලිවන්ත සේවකයනුත් පෙන්වා තිබෙන මේ ගුණාංගයෙන් අපිට ඉගෙනගත හැකි පාඩම් මොනවාද? දෙවිගේ ඉවසීමට සීමාවක් තිබෙන බව අපි දන්නේ කොහොමද? අපි දැන් ඒ කාරණා ගැන සලකා බලමු.

යෙහෝවා දෙවි ඉවසන ආකාරය

4. යෙහෝවාගේ ඉවසීම ගැන පේතෘස් ලිව්වේ මොකක්ද?

4 යෙහෝවාගේ ඉවසීම ගැන පේතෘස් මෙහෙම ලිව්වා. “ප්‍රේමණීය තැනැත්තෙනි, යෙහෝවාට එක දවසක් අවුරුදු දහසක් මෙන්ය, අවුරුදු දහසක් එක් දවසක් මෙන්ය යන මේ කාරණය අමතක නොකරන්න. ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට යෙහෝවා තම පොරොන්දුව ගැන ප්‍රමාද වන්නේ නැත. නමුත් සියලුදෙනාම පසුතැවිල්ල කරා පැමිණෙනවාට මිස කිසිවෙකුවත් විනාශ වනවාට ඔහු කැමති නැති බැවින්, ඔහු ඔබ ගැන ඉවසන්නේය.” (2 පේතෘස් 3:8, 9) යෙහෝවා ඉවසන්නේ ඇයි කියා තේරුම්ගන්න අපට උපකාරවත් වන කරුණු දෙකක් ඒ පදවල ඔබ දුටුවාද?

5. කාලය ගැන යෙහෝවා බලන ආකාරය ඔහුගේ ක්‍රියාවලට බලපාන්නේ කොහොමද?

5 පළමුවෙනි කාරණය නම් කාලය ගැන යෙහෝවා දෙවි බලන්නේ අපි බලන විදිහට නෙවෙයි යන්නයි. හැමදාටම ජීවත් වන ඔහුට අවුරුදු දහසක් හරියට එක දවසක් වගෙයි. මේ නිසා යමක් කරන්න කල් මදිවෙයි කියන පීඩනය යෙහෝවාට නැහැ. ඒ නිසාම යම් පියවර ගැනීමට ඔහු ප්‍රමාද වෙන්නේ නම් නැහැ. යෙහෝවාට අසීමිත ප්‍රඥාවක් තිබෙන නිසා හැමෝටම ප්‍රයෝජනවත් වන ආකාරයෙන් ක්‍රියා කළ යුතු හොඳම කාලය ඔහු දන්නවා. ඒ කාලය එන තුරු ඔහු ඉවසීමෙන් බලා සිටිනවා. ඒ වුණත් ඒ අතරතුර තම සේවකයන් විඳින දුක් වේදනා දෙවි ගණන් නොගෙන ඉන්නේ නැහැ. මහත් ‘දයානුකම්පාවක්’ ඇති යෙහෝවා දෙවි ප්‍රේමයේ උතුම්ම ආදර්ශයයි. (ලූක් 1:78; 1 යොහන් 4:8) ටික කාලයකට දුක් වේදනා පවතින්න ඉඩ දී තිබීම නිසා සිදු වෙලා තිබෙන ඕනෑම හානියක් සම්පූර්ණයෙන්ම සහ සදහටම නැති කරන්න ඔහුට හැකියාව තියෙනවා.—ගීතාවලිය 37:10.

6. අපි වැළකිය යුත්තේ දෙවි ගැන කොහොම සිතීමෙන්ද? ඒ ඇයි?

6 අපි ආස කරන දෙයක් ලැබෙන තුරු බලාගෙන ඉන්න වෙන එක ලේසි දෙයක් නම් නෙවෙයි. (හිතෝපදේශ 13:12) කෙනෙක් කරනවා කියා පොරොන්දු වූ දෙයක් කරන්න ප්‍රමාද වෙද්දී, සමහරුන් හිතන්නේ ඒක කරන්න ඒ කෙනාට කිසිම ඕනෑකමක් නැහැ කියලයි. දෙවි ගැන එහෙම හිතන එක කොයිතරම් අඥාන දෙයක්ද! දෙවිගේ ඉවසීම ප්‍රමාද වීමක් කියා අපි වරදවා හිතුවොත් කාලයක් ගත වෙද්දී අපි අධෛර්ය වී ඔහුගේ පොරොන්දු ගැන සැක කරන්නත් පුළුවන්. මේ නිසා අන්තිමට අපේ ඇදහිල්ලත් දුර්වල වී යාවි. ඊටත් වඩා භයානක දෙය නම්, ඇදහිල්ලක් නැති අයගේ සමච්චල් මගින් අපිව මුළාවීමට ඉඩ තිබීමයි. එවැනි සමච්චල් ගැන පේතෘස් සඳහන් කළේ මේ විදිහටයි. “පොරොන්දු වූ ඔහුගේ පැමිණ සිටීමට කුමක් වීද? මන්ද අපේ මුතුන්මිත්තන් මැරුණායින් පසුවත්, සියලු දේ මැවීමේ පටන්ගැන්මේ සිට නොවෙනස්ව තවමත් එලෙසම තිබෙන්නේය.”—2 පේතෘස් 3:4.

7. මිනිසුන් පසුතැවිලි වෙනවා දකින්න යෙහෝවාට තිබෙන ආශාව හා ඔහුගේ ඉවසීම අතර තිබෙන සම්බන්ධය මොකක්ද?

7 යෙහෝවා දෙවිගේ ඉවසීම තේරුම්ගන්න අපට උපකාරවත් වන දෙවෙනි කාරණය නම් සියලුදෙනාම පසුතැවිලි වෙනවා දකින්න දෙවිට තිබෙන කැමැත්තයි. තම දුෂ්ට ක්‍රියා අත්හරින්න අකමැති, මුරණ්ඩු අයව දෙවි විනාශ කරන්න යනවා. කොහොමවුණත් එවැනි අය පවා විනාශ වෙනවා වෙනුවට, පසුතැවිලි වී මෙතෙක් ඔවුන් ගත කළ දුෂ්ට ජීවිතය අත්හැර දිගටම ජීවත් වෙනවා දකින්නයි දෙවි කැමති. (එසකියෙල් 33:11) ඔහු ඉවසන්නෙත් තම සේවකයන් යොදාගෙන පොළොව පුරාම ශුභාරංචිය දේශනා කිරීමට සලස්වන්නෙත් ඔවුන්ට ජීවත් වීමට අවස්ථාව ලබා දීම සඳහයි.

8. දෙවි ඊශ්‍රායෙලිතයන් සමඟ ක්‍රියා කළ ආකාරයෙන් අපට ඔහුගේ ඉවසීම දැකගන්න පුළුවන් කොහොමද?

8 දෙවි ඊශ්‍රායෙලිතයන් සමඟ ක්‍රියා කළ ආකාරයෙනුත් අපට ඔහුගේ ඉවසීම දැකගන්න පුළුවන්. ශතවර්ෂ ගණනාවක් පුරා ඔවුන්ගේ අකීකරුකම ඉවසූ දෙවි, තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔවුන්ට නැවත නැවත උනන්දු කළේ “ඔබේ නපුරු මාර්ගවලින් හැරී ඔබේ පියවරුන්ට මා විසින් ආඥා කළ මාගේ මෙහෙකරු වූ අනාගතවක්තෲන් ලවා ඔබ වෙතට එවූ මුළු ව්‍යවස්ථාව ලෙස මාගේ ආඥාවන්ද පනත්ද රක්ෂා කරන්න” කියායි. ඒත් ඔවුන් ‘එය නොඅසා’ සිටීම ඇත්තෙන්ම කනගාටුදායක දෙයක්.—2 රාජාවලිය 17:13, 14.

9. යේසුස් තම පියාගේ ඉවසීම ඒ විදිහටම පෙන්නුවේ කොහොමද?

9 අන්තිමට යෙහෝවා දෙවි තම පුත්‍රයාව පොළොවට එව්වා. තම පියාගේ ඉවසීම ඒ විදිහටම පෙන්වූ යේසුස්, දිගින් දිගටම යුදෙව්වන්ට ආයාචනා කළේ දෙවි වෙතට හැරී එන්න කියායි. ඉක්මනින්ම තමන්ව මරණයට පත් කරන බව දැනගෙන සිටි ඔහු ඔවුන්ට මෙහෙම පැවසුවේ හද පිරී ශෝකයෙනුයි. “යෙරුසලම, යෙරුසලම, අනාගතවක්තෘවරුන්ව මරන්නාවූ තමන් වෙතට එවූ අයට ගල් ගසන්නාවූ නුවර,—කිකිළියක් තම පැටවුන් තම පියාපත් යටට එකතු කරගන්නාක් මෙන් ඔබේ දරුවන්ව එකතු කරගන්න මම කී වරක් කැමති වූයෙම්ද! නමුත් ඔබ ඊට කැමති වූයේ නැත.” (මතෙව් 23:37) යේසුස්ගේ මේ හැඟීම්බර වචන, කෙනෙකුට දඬුවම් කිරීමට බලාගෙන සිටින කිසිම අනුකම්පාවක් නැති විනිශ්චයකරුවෙකුගේ වචනවලට වඩා කොච්චර වෙනස්ද! තම සෙනඟට ඔහු මෙහිදී කතා කරන්නේ ඉවසීමෙන් ක්‍රියා කරන ප්‍රේමණීය මිත්‍රයෙක් වගෙයි. තම ස්වර්ගික පියා මෙන් යේසුස්ටත් ඕන වුණේ ඒ අය පසුතැවිලි වී විනාශයෙන් බේරෙනවා දකින්නයි. ක්‍රිස්තු වර්ෂ 70දී සිදු වූ යෙරුසලමේ විනාශයේදී සමහරු බේරුණේ ඒ අනතුරු ඇඟවීමට සවන් දුන් නිසයි.—ලූක් 21:20-22.

10. දෙවිගේ ඉවසීමෙන් අපිට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?

10 මිනිසුන්ගේ අකීකරුකමේ තරම දිහා බලද්දී දෙවිගේ ඉවසීම කොයි තරම් උතුම්ද! අපි එකිනෙකාටත් තවත් මිලියන ගණනක් මිනිසුන්ටත් යෙහෝවා දෙවි තමන්ව හඳුනාගැනීමට අවස්ථාවකුත් සදාකාල ජීවනයේ බලාපොරොත්තුවකුත් දී තියෙනවා. “අපේ ස්වාමීන්ගේ ඉවසිලිවන්තකම ගැලවීමයයි සලකන්න” කියා පේතෘස් ක්‍රිස්තියානීන්ට පැවසුවේ ඒ නිසයි. (2 පේතෘස් 3:15) මෙවැනි ගැලවීමේ බලාපොරොත්තුවක් අපට දී තිබෙන යෙහෝවා දෙවිට අපි මොන තරම් ස්තුතිවන්ත විය යුතුද! දවසක් පාසා දවසක් අපි ගැන ඉවසන්න කියා ඔහුට යාච්ඤා කිරීම ඇත්තෙන්ම වටින්නේ නැද්ද?—මතෙව් 6:12.

11. යෙහෝවා ඉවසන්නේ ඇයි කියා තේරුම්ගන්න විට අපි පෙලඹෙන්නේ කුමක් කිරීමටද?

11 යෙහෝවා දෙවි ඉවසන්නේ ඇයි කියා අපි තේරුම්ගන්න විට, ඔහු තම පොරොන්දු ඉටු කරන්න ප්‍රමාද වෙනවා කියා සිතනවා වෙනුවට ඔහු දෙන ගැලවීම ඉවසිලිවන්තව බලා සිටින්න අපිට හැකි වෙනවා. (විලාප ගී 3:26) දෙවිගේ රාජ්‍යය පැමිණෙන්න කියා අපි දිනපතා යාච්ඤා කරන බව ඇත්තයි. ඒත් ඒ ඉල්ලීම ඉටු කරන්න හොඳම කාලය දන්නේ යෙහෝවා බව අපි විශ්වාස කරනවා. ඒ වගේම අපේ සහෝදරයන් එක්කත් සේවයේදී අපිට හමුවන අය එක්කත් කටයුතු කරද්දී යෙහෝවා මෙන් ඉවසීමට අපිත් පෙලඹෙනවා. කිසිම කෙනෙක් විනාශ වෙනවා වෙනුවට පසුතැවිලි වී, අපට තිබෙන සදාකාල ජීවනයේ බලාපොරොත්තුව ඇතිව ඔවුනුත් ජීවත් වෙනවා දකින්නයි අපේ එකම ආශාව.—1 තිමෝති 2:3, 4.

අනාගතවක්තෘවරු ඉවසූ ආකාරය

12, 13. යාකොබ් 5:10ට අනුව යෙසායාගේ ඉවසීම අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

12 පාපය උරුම කරගෙන සිටින අපිට, ඉවසන එක පහසු දෙයක් නම් නෙවෙයි. ඒත් යෙහෝවා දෙවි ඉවසන ආකාරය හොඳින් වටහාගත්තොත් ඒ ගුණාංගය අගය කරන්නත් එය ජීවිතයෙන් පෙන්වන්නත් අපිට හැකි වෙනවා. මෙය පුරාණයේ සිටි දෙවිගේ සේවකයන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන්. “සහෝදරයෙනි, යෙහෝවාගේ නාමයෙන් කතා කළ අනාගතවක්තෘවරුන් නපුර දරාගත් ආකාරයද, ඔවුන්ගේ ඉවසිල්ලද ආදර්ශයක් කොට ගන්න” කියා යාකොබ් ලිව්වේ ඒ නිසයි. (යාකොබ් 5:10) අපිට දරාගන්න බැහැයි කියා හිතෙන දේවල්ම වෙනත් අය සාර්ථක ලෙස දරාගෙන තිබෙන බව දැනගැනීම අපිට දිරිගැන්වීමක් නෙවෙයිද?

13 යෙසායා එවැනි කෙනෙක්. තම පැවරුම සාර්ථකව ඉටු කරන්න ඔහුට කොතරම් ඉවසීමක් අවශ්‍ය වුණාද කියා යෙහෝවා දෙවි ඔහුට පැවසූ මේ වචනවලින් පැහැදිලි වෙනවා. “ඔබ ගොස් මේ සෙනඟට කතා කොට: සැබවින් ඔබ අසන්නහුය; නමුත් තේරුම් නොගන්නහුය; සැබවින් ඔබ දකින්නහුය; නමුත් දැනනොගන්නහුයයි කියන්න; මේ සෙනඟ තමන් ඇස්වලින් නොදකින පිණිසද තමන් කන්වලින් නොඅසන පිණිසද තමන් සිතින් තේරුම් නොගන්නා පිණිසද නැවත හැරී සුව කරනු නොලබන පිණිසද ඔවුන්ගේ සිත දැඩි කරන්න; ඔවුන්ගේ කන් බර කරන්න; ඔවුන්ගේ ඇස් පියවන්න.” (යෙසායා 6:9, 10) කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ මේ මිනිසුන්ට අඩුම තරමින් අවුරුදු 46ක්වත් දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කරන්න යෙසායාට කොයි තරම් ඉවසීමක් තියෙන්න ඇද්ද! වැඩිදෙනෙක් ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් නොදක්වන මේ කාලයේදීත් ඒ වැඩය දිගටම කරගෙන යන්න අපටත් උපකාර කරන්නේ ඉවසීමයි.

14, 15. පීඩා හා අධෛර්යවීම්වලට මුහුණ දෙන්න යෙරෙමියාට පුළුවන් වුණේ කොහොමද?

14 එවැනි ප්‍රතිචාරයන් ඉවසනවා වගේම මිනිසුන්ගේ පීඩා විඳදරාගන්නත් ඒ අනාගතවක්තෘවරුන්ට සිදු වුණා. යෙරෙමියා එවැනි කෙනෙක්. ඔහුව දඬුකඳේ ගැසුවා, සිරකර තැබුවා, මඩ වළකට පවා දැමුවා. (යෙරෙමියා 20:2; 37:15; 38:6) යෙරෙමියාට මෙලෙස පීඩා පැමිණියේ ඔහු උපකාර කරන්න ගිය සෙනඟගෙන්මයි. ඒත් යෙරෙමියා කෝප වී එකට එක කරන්න ගියේ නැහැ. ඔහු ඉවසිලිවන්තව දශක ගණනාවක් පුරා විඳදරාගත්තා.

15 පීඩා සහ සමච්චල් කිරීම් නිසා යෙරෙමියා නිහඬ වුණේ නැහැ. අපි නිහඬ වෙන්නෙත් නැහැ. සමහර වෙලාවලට අපි අධෛර්යය වෙන්න පුළුවන් බව ඇත්තයි. යෙරෙමියාටත් එහෙම වුණා. ඔහු කිව්වේ “යෙහෝවාගේ වචනය මට නින්දාවක් සහ මුළු දාම කවටකමක් විය” කියායි. ඉන් අධෛර්යය වූ යෙරෙමියා “ඔහුගේ නාමය සඳහන් නොකරන්නෙමි; ඔහුගේ නමින් තවත් කතා නොකරන්නෙමි” කියා පැවසුවා. (යෙරෙමියා 20:8,9) ඒත් දේශනා කරන එක ඔහු ඇත්තටම නතර කළාද? ඔහු කිව්වේ මෙහෙමයි, දෙවිගේ “වචනය මාගේ සිතේ ගින්නක් මෙන් ඇවිළෙයි. එය මාගේ ඇටකටු තුළ සැඟවී ඇත. එය සඟවා තබාගැනීමෙන් මම බොහෝ වෙහෙසට පත්වීමි. එහෙත් තවත් එය තබාගැනීම මට නොකළ හැකිය.” (යෙරෙමියා 20:9, නව අනුවාදය) ඔහුගේ ප්‍රීතිය නැති වුණේ මිනිසුන් ඔහුට කළ නින්දාව ගැන සිත සිතා සිටින විටදී බව ඔබ දුටුවාද? නමුත් දෙවිගේ පණිවුඩයේ වටිනාකම ගැන සිතද්දී නැති වූ ඒ ප්‍රීතිය නැවත ඔහුට ලැබුණා. ඒ වගේම “බලවත් භයානක කෙනෙකු මෙන්” යෙරෙමියා සමඟ සිටි යෙහෝවා, තම පණිවුඩය උද්‍යෝගයෙන් හා ධෛර්යයෙන් ප්‍රකාශ කරන්න ඔහුව ශක්තිමත් කළා.—යෙරෙමියා 20:11.

16. ශුභාරංචිය දේශනා කරද්දී අපේ ප්‍රීතිය පවත්වගන්න පුළුවන් කොහොමද?

16 මොනවාවුණත් යෙරෙමියා තම සේවයෙන් ලොකු ප්‍රීතියක් ලැබූ බව යෙහෝවාට ඔහු කිවූ මේ වචනවලින් ඔප්පු වෙනවා. “ඔබගේ වචන සම්බ වී මම ඒවා කෑමි; ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය; මක්නිසාද . . . යෙහෝවා, ඔබගේ නාමය මට කියති.” (යෙරෙමියා 15:16) සැබෑ දෙවිව නියෝජනය කරන්නත් ඔහුගේ පණිවුඩය ප්‍රකාශ කරන්නත් අපිව තෝරාගැනීම ගැන යෙරෙමියා වගේ අපිටත් සතුටු වෙන්න පුළුවන්. ඒ සතුට තවත් වැඩි වෙන්නේ ලොව පුරා විශාල පිරිසක් රාජ්‍ය පණිවුඩයට සවන් දී, පසුතැවිලිව, සදාකාල ජීවනයට යන මාර්ගයට එනවා දකිද්දීයි. මේ ප්‍රීතියට දේවදූතයනුත් අපි සමඟ එක් වෙනවා.—ලූක් 15:10.

“යෝබ්ගේ විඳදරාගැනීම”

17, 18. යෝබ් විඳදරාගත්තේ කොහොමද? එනිසා ඔහුට ලැබුණු ප්‍රතිඵල මොනවාද?

17 පුරාණයේ සිටි අනාගතවක්තෘවරුන්ගේ ඉවසීම ගැන සඳහන් කිරීමෙන් පසුව යාකොබ් මෙහෙම ලිව්වා. “යෝබ්ගේ විඳදරාගැනීම ගැන ඔබ අසා තිබේ. යෙහෝවා දුන් විපාකයත් ඔබ දුටුවහුය. යෙහෝවා ඉතා ගැඹුරු ස්නේහය ඇති කෙනෙකු බවත් දයාන්විත කෙනෙකු බවත් ඔබ දුටුවහුය.” (යාකොබ් 5:11) බයිබලය ලිවීමේදී භාවිත කළ ග්‍රීක වචනවල අර්ථයට අනුව “විඳදරාගැනීම” සහ “ඉවසිල්ල” අතර සුළු වෙනසක් තියෙනවා. අපි මෙතෙක් කතා කළ “ඉවසිල්ල” ඇති කෙනෙක් මොන තරම් පීඩා ආවත් පසුබසින්නේ නැතිව ඒවාට මුහුණ දෙනවා. නමුත් “විඳදරාගැනීම” ඇති කෙනෙක් වේදනාකාරී දේවල්වලට මුහුණ දෙන්න සිදු වෙද්දීත් ඒවා ඉවසා දරාගන්නවා.

18 යෝබ් එසේ ඉවසා දරාගත් කෙනෙක්. ඔහුගේ ආදායම් මාර්ග නැති වුණා. දරුවන් මිය ගියා. අන්තිමට ඔහුට දරුණු රෝගයක් පවා වැලඳුණා. ඒ විතරක් නෙවෙයි දෙවි ඔහුට දඬුවම් කරනවා කියන බොරු චෝදනාත් ඔහුට එල්ල වුණා. මේ ප්‍රශ්න හමුවේ නිහඬව සිටිනවා වෙනුවට ඒවා ගැන දෙවිට කන්නලව් කළ ඔහු තමා දෙවිට වඩා ධර්මිෂ්ඨ කෙනෙක් බවත් ඇඟෙව්වා. (යෝබ් 35:3) ඒ කොහොමවුණත් යෙහෝවා දෙවි කෙරෙහි ඔහුට තිබූ ඇදහිල්ලත්, පක්ෂපාතකමත් කවදාවත් යෝබ් නැති කරගත්තේ නැහැ. අන්තිමේදී සාතන් බොරුකාරයෙක් බව යෝබ් ඔප්පු කළා. (යෝබ් 1:11, 21) මේ නිසා “යෙහෝවා යෝබ්ගේ පටන්ගැන්මට වඩා අන්තිමයට ආශීර්වාද කළේය.” (යෝබ් 42:12) යෙහෝවා යෝබ්ව සුව කරමින් ඔහුගේ ධන සම්පත් දෙගුණ කළා විතරක් නෙවෙයි, ඔහුගේ පවුලේ අයත් එක්ක සන්තෝෂයෙන් පිරි තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමටද ඔහුට අවස්ථාව ලබාදුන්නා. මෙසේ විඳදරාගැනීම නිසා යෙහෝවාව වඩා හොඳින් තේරුම්ගැනීමටත් යෝබ්ට හැකි වුණා.

19. ඉවසීමෙන් විඳදරාගත් යෝබ්ගෙන් අපිට මොනවද ඉගෙනගන්න පුළුවන්?

19 ඉවසීමෙන් විඳදරාගත් යෝබ්ගෙන් අපිට මොනවාද ඉගෙනගන්න පුළුවන්? සමහරවිට යෝබ් වගේ අපිත් අසනීපවලින් හෝ වෙනත් දුෂ්කරතාවලින් දුක් විඳිනවා වෙන්න පුළුවන්. මෙවැනි පීඩාවලින් දුක් විඳින්න යෙහෝවා ඉඩ දෙන්නේ ඇයි කියා අපිට නොතේරෙනවා වෙන්නත් පුළුවන්. නමුත් අපි දිගටම විශ්වාසවන්තව සිටියොත්, තමාව ඕනෑකමින් සොයන අයට විපාක දෙන යෙහෝවා දෙවි අපිට ආශීර්වාද කරන බවට කිසිම සැකයක් නැහැ. (හෙබ්‍රෙව් 11:6) “අවසානය දක්වා විඳදරාගන්නා ගලවනු ලබන්නේය” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—මතෙව් 10:22; 24:13.

‘යෙහෝවාගේ දවස පැමිණෙන්නේය’

20. යෙහෝවාගේ දවස පැමිණෙන බවට අපිට සැකයක් නැත්තේ ඇයි?

20 යෙහෝවා ඉවසිලිවන්ත දෙවි කෙනෙක් වුණත් ඔහුගේ ඉවසීමට සීමාවක් තියෙනවා. යුක්තියට ප්‍රියා කරන දෙවි දුෂ්ටකම හැමදාටම පවතින්න ඉඩ දෙන්නේ නැහැ. නෝවාගේ කාලයේ විසූ, දෙවිගෙන් ඈත් වූ මිනිසුන් ජලයෙන් යට වී විනාශ වුණා. සොදොම සහ ගොමෝරාව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමෙනුත් යෙහෝවා තම විනිශ්චය ඉටු කළා. “පුරාණ ලෝකයකට [දෙවි] දඬුවම් කිරීමෙන් නොවැළකී” සිටිය බව පේතෘස් ලිව්වේ ඒ නිසයි. මෙවැනි දඬුවම් “පැමිණෙන්නට තිබෙන දේවල් පිළිබඳ පාඩමක් සැපයුවේය.” මේ අනුව අනිවාර්යයෙන්ම ‘යෙහෝවාගේ දවස පැමිණෙනවා.’ ඒ ගැන සැක කරන්න අපිට කිසිම හේතුවක් නැහැ.—2 පේතෘස් 2:5, 6; 3:10.

21. ඉවසීම හා විඳදරාගැනීම පෙන්වන්න අපිට පුළුවන් කොහොමද? ඊළඟ ලිපියේ අපි සලකා බලන්නේ කුමක් ගැනද?

21 එහෙමනම්, යෙහෝවා දෙවි මෙන් ඉවසීමට අපිත් පුරුදු වෙමු. පසුතැවිලි වී තම ජීවිත ගලවාගන්න අන්‍යයන්ට උදව් කිරීමෙන් අපිට එය කළ හැකියි. මිනිසුන් හොඳ ප්‍රතිචාරයක් නොදැක්වුවත් දිගටම ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් අනාගතවක්තෘවරුන් මෙන් අපිත් ඉවසිලිවන්තව සේවය කරමු. ඒ වගේම පීඩා හමුවේ යෝබ් මෙන් විඳදරාගෙන යෙහෝවාට දිගටම පක්ෂපාතව සිටියොත්, අපටත් බොහෝ ආශීර්වාද ලැබෙන බවට නිසැක වෙන්න පුළුවන්. මේ මුළු පොළොව පුරාම ශුභාරංචිය දේශනා කිරීමට තම සෙනඟ දරා තිබෙන වෙහෙසට යෙහෝවා ආශීර්වාද කර තිබෙන ආකාරය දකින අපිට ඒ ගැන ප්‍රීති වෙන්න බොහෝ හේතු තියෙනවා. මේ ගැන අපි ඊළඟ ලිපියේ සාකච්ඡා කරමු.

ඔබට මතකද?

• යෙහෝවා ඉවසන්නේ ඇයි?

• අනාගතවක්තෘවරු ඉවසූ ආකාරයෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

• යෝබ් විඳදරාගත් ආකාරය විස්තර කරන්න. එහි ප්‍රතිඵලය මොකක්ද?

• යෙහෝවාගේ ඉවසීමට සීමාවක් තිබෙන බව අපි දන්නේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

යේසුස් තම පියාගේ ඉවසීම ඒ විදිහටම පෙන්නුවා

[20වන පිටුවේ පින්තූර]

යෙරෙමියාගේ ඉවසීමට යෙහෝවා ආශීර්වාද කළේ කොහොමද?

[21වන පිටුවේ පින්තූර]

යෝබ්ගේ විඳදරාගැනීමට යෙහෝවා ආශීර්වාද කළේ කොහොමද?