Skip to content

පටුනට යන්න

“සියලු ජාතීන්ට සාක්ෂියක්”

“සියලු ජාතීන්ට සාක්ෂියක්”

“සියලු ජාතීන්ට සාක්ෂියක්”

“ඔබ . . . පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද මා ගැන සාක්ෂිකරුවෝ වන්නහුය.”—ක්‍රියා 1:8.

1. මතෙව් 24:14හි සඳහන් අනාවැකිය මුල් වරට ගෝලයන් ඇසුවේ කවදාද? කොහේදීද?

මේ ලිපියේ මාතෘකාව රැගෙන තිබෙන, මතෙව් 24:14හි සඳහන් යේසුස්ගේ වචන අපිට කොයි තරම් හුරු පුරුදුද! අපෙන් බොහෝදෙනෙකුට එය කටපාඩමින් පවා කියන්න පුළුවන්! යේසුස් මේ අනාවැකිය මුල් වතාවට පැවසුවේ ක්‍රි.ව. 33දී, යෙරුසලමේ සිටින විටයි. ඔහුට සවන් දෙමින් සිටි ගෝලයන්, ඒ වෙනකොට අවුරුදු තුනක් තිස්සේ ඔහු කළ ආශ්චර්යවත් ක්‍රියා දැක තිබුණා වගේම ඔහුගේ ඉගැන්වීම් අසා තිබුණා. ඔහුගේ මේ වටිනා ඉගැන්වීම් ගැන ඔවුන් ප්‍රීති වුණත්, තමන්ට උවමනා දේ කරගන්න තරම් බලයක් තිබුණු යේසුස්ගේ සතුරන් නම් ඒ ගැන සතුටු වුණේ නැති බව ගෝලයන් දැනගෙන සිටියා.

2. ඉදිරියේදී ගෝලයන්ට මුහුණ දීමට තිබුණේ මොන වගේ අභියෝගවලටද?

2 ඒ සතුරන් තමාව මරණයට පත් කරන බව යේසුස් කලින් අවස්ථාවකදී ගෝලයන්ට කියා තිබුණා. (මතෙව් 16:21) නමුත් මේ අවස්ථාවේදී ඔලීව කන්දේ තමා අසල වාඩි වී සිටි ගෝලයන් හතරදෙනාට යේසුස් පැවසුවේ, ඔවුන්ටත් ඉදිරියේදී විවිධාකාර අභියෝග සහ කුරිරු පීඩාවලට මුහුණ දෙන්න සිදු වන බවයි. එය පැහැදිලි කළ යේසුස්, “මිනිස්සු ඔබව පීඩා විඳින්න පාවා දී මරණයට පත් කරති. මාගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනවා ඇත” කියා පැවසුවා. ඒ කාලයේදී බොරු අනාගතවක්තෘවරු නිසා බොහෝදෙනෙක් නොමඟ යන බවත්, සමහරු අධෛර්යයට පත් වී එකිනෙකාට වෛර කර ඔවුන්ව පාවා දෙන බවත්, දෙවිට සහ ඔහුගේ වචනයට “වැඩිදෙනා” දක්වන ප්‍රේමය පිරිහෙන බවත් ඔහු කියා සිටියා.—මතෙව් 24:9-12.

3. මතෙව් 24:14හි සඳහන් යේසුස්ගේ වචන ඇත්තෙන්ම පුදුමාකාර දෙයක් වෙන්නේ ඇයි?

3 “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය” යන අනාවැකිය යේසුස් පවසන්නේ ඉන්පසුවයි. (මතෙව් 24:14) යේසුස් මෙයින් පෙන්නුවේ ඔහු ඊශ්‍රායෙලයේ ආරම්භ කළ “සත්‍යය ගැන සාක්ෂි දැරීම” ලොව පුරා පැතිරෙන බවයි. (යොහන් 18:37) ඔවුන්ට මුහුණ දීමට තිබෙන අමාරු තත්වයන් ගැන විස්තර කිරීමෙන් පසුව යේසුස් කිවූ ඒ අනාවැකිය ඇසූ ගෝලයන් කොයි තරම් පුදුමයට පත් වෙන්න ඇද්ද! “සියලු ජාතීන්ට” දේශනා කිරීමම අභියෝගයක්. නමුත් ‘සියලු ජාතීන්ගේ වෛරය’ හමුවේ එය දිගටම කරගෙන යෑම ඇත්තටම මවිතකර ක්‍රියාවක් වේවි! මේ මගින් මුළු විශ්වයම පාලනය කිරීමට අයිතිය හා බලය ඇත්තේ යෙහෝවා දෙවිට පමණක් බව ඔප්පු වෙනවා. ඒ වගේම ඔහුගේ ප්‍රේමය, කරුණාව සහ ඉවසීම පවා ඔප්පු වෙනවා. දෙවිගේ සේවකයන්ටත් තම ඇදහිල්ල සහ දෙවි කෙරෙහි ඇති තම බැඳීම ඔප්පු කරන්න ඉන් අවස්ථාවක් ලැබේවි.

4. සාක්ෂි දැරීමේ පැවරුම ලැබුණේ කාටද? යේසුස් ඔවුන්ට දුන් සහනය මොකක්ද?

4 මේ ගෝලයන්ට කරන්න තිබුණේ භාරදූර කාර්යයක් බව යේසුස් ස්වර්ගයට යෑමට පෙර පැවසූ මේ වචනවලින් හොඳටම පැහැදිලි වුණා. “ඔබ මතට ශුද්ධාත්මය පැමිණි විට ඔබට බලය ලැබෙනවා ඇත. එවිට ඔබ යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද මා ගැන සාක්ෂිකරුවෝ වන්නහුය.” (ක්‍රියා 1:8) ඉදිරියේදී බොහෝදෙනෙක් ඔවුන්ට එකතු වන බව ඇත්තයි. නමුත් ඒ වෙනකොට කුඩා පිරිසක්ව සිටි ගෝලයන්ට මේ පැවරුම ඉටු කරන්න දෙවි තම බලය දෙන බව දැනගැනීම මොන තරම් සහනයක් වෙන්න ඇද්ද!

5. සාක්ෂි දැරීම ගැන ගෝලයන් නොදැන සිටියේ මොකක්ද?

5 ශුභාරංචිය දේශනා කිරීමත් “සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන්” කිරීමත් තමන් කළ යුතු දෙයක් බව ගෝලයන් දැනගෙන සිටියා. (මතෙව් 28:19, 20) නමුත් මෙය කොයි තරම් දුරකට කළ යුතුද කියාත් අන්තිමය පැමිණෙන්නේ කවදාද කියාත් ඔවුන් දැනගෙන සිටියේ නැහැ. අපි දන්නෙත් නැහැ. මේ ගැන තීරණය කරන්නේ යෙහෝවා දෙවියි. (මතෙව් 24:36) සාක්ෂි දැරූ ප්‍රමාණය ගැන යෙහෝවා සෑහීමට පත් වූ විට ඔහු මේ දුෂ්ට සමාජය විනාශ කරාවි. යෙහෝවා බලාපොරොත්තු වූ ප්‍රමාණයට තමන් සාක්ෂි දරා තිබෙන බව ක්‍රිස්තියානීන් දැනගන්නේ එවිටයි. තමන් ආරම්භ කළ සාක්ෂි දැරීමේ කාර්යය මේ අවසාන කාලයේදී මෙතරම් පුළුල්ව කරාවි කියා මුල් ක්‍රිස්තියානීන් හිතන්නවත් නැතිව ඇති.

පළමු සියවසේදී කළ සාක්ෂි දැරීම

6. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී හා ඉන්පසුව සිදු වුණේ මොකක්ද?

6 පළමු සියවසේදී දේවරාජ්‍යය ගැන දේශනා කිරීම සහ ගෝලයන් කිරීම මගින් පුදුමාකාර ප්‍රතිඵල ලැබුණා. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ යෙරුසලමේ නිවසක උඩුමහලේ රැස් වී සිටි ගෝලයන් 120දෙනෙකුට දෙවිගේ බලය වන ශුද්ධාත්මය ලැබුණා. මේ පුදුමාකාර සිද්ධිය ගැන පේතෘස් කළ පොලඹවනසුලු කතාවට සවන් දුන් අයගෙන් 3,000ක් පමණ ඇදහිලිවන්තයන් වී බව්තීස්ම වුණා. එය ආරම්භය පමණයි. එසේ ආරම්භ වූ ඒ ශුභාරංචිය දේශනා කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට ආගමික නායකයන් කොතරම් උත්සාහ කළත්, “යෙහෝවා ඒ අතරතුරේදී, ගැලවූ අයව [ගෝලයන්ට] දිනපතා එක් කරමින් සිටියේය.” ඉක්මනින්ම “පුරුෂයන්ගේ ගණන පන්දහසක්” වුණා. ඉන්පසුව “පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද යුත් සමූහයෝ ස්වාමීන්ව අදහාගෙන දිගටම ඔවුන්ට එකතු වූහ.”—ක්‍රියා 2:1-4, 8, 14, 41, 47; 4:4; 5:14.

7. කොර්නේලියස්ගේ බව්තීස්මය කැපීපෙනෙන සිද්ධියක් වුණේ ඇයි?

7 මේ වර්ධනයේ තවත් කැපීපෙනෙන සිද්ධියක් ක්‍රි.ව. 36දී සිදු වුණා. ඒ යුදෙව්වෙක් නොවූ කොර්නේලියස් දෙවිට කැප වී බව්තීස්ම වීමයි. ඔහු වෙතට පේතෘස්ව යැවීමෙන් යෙහෝවා පෙන්නුවේ “සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න” කියා යේසුස් දුන් ආඥාව යුදෙව්වන්ට පමණක් සීමා නොවූ බවයි. (ක්‍රියා 10:44, 45) මේ ගැන ගෝලයන්ට සහ වැඩිමහල්ලන්ට හැඟුණේ කොහොමද? යුදෙව් නොවන අයටත් ශුභාරංචිය ලැබිය යුතු බව ඔවුන් වටහාගත්තා. ඒ ගැන ඔවුන් දෙවිට ප්‍රශංසා කළා. (ක්‍රියා 11:1, 18) මේ අතර යුදෙව්වන්ට දේශනා කිරීමෙනුත් දිගටම ප්‍රතිඵල ලැබුණා. වසර කිහිපයකට පසුව, ඒ කියන්නේ ක්‍රි.ව. 58 පමණ වෙද්දී “අදහන්නන් [වූ යුදෙව්වන්] දහස් ගණනක්” සිටියා.—ක්‍රියා 21:20.

8. ශුභාරංචිය එක් එක් පුද්ගලයාට බලපාන්නේ කොහොමද?

8 පළමු සියවසේ ක්‍රිස්තියානීන්ගේ වර්ධනය එවැනි සංඛ්‍යා ලේඛනවලින් වටහාගන්න අපිට පුළුවන්. නමුත් මේවා නිකම්ම ඉලක්කම් නෙවෙයි. එයින් නියෝජනය වෙන්නේ පුද්ගලයන්වයි. මේ හැම කෙනෙකුටම දෙවිගේ වචනය ලොකු බලපෑමක් ඇති කළා. (හෙබ්‍රෙව් 4:12) තමන්ගේ වැරදි ක්‍රියාවන් අත්හැරිය ඔවුන් දෙවිව සතුටු කරන ආකාරයේ ජීවිත ගත කරන්න පටන්ගත්තා. එමගින් දෙවිට ළං වෙන්න ඔවුන්ට පුළුවන් වුණා. (එෆීස 4:22, 23) මෙවැනි දෙයක් අදත් සිදු වෙනවා. ශුභාරංචිය පිළිගෙන තම ජීවිතය වෙනස් කරගන්න සෑම කෙනෙකුටම සදාකාල ජීවනයේ බලාපොරොත්තුව තිබෙනවා.—යොහන් 3:16.

“දෙවි සමඟ හවුල් වැඩකරුවෝ”

9. මුල් ක්‍රිස්තියානීන් තේරුම්ගත්තේ තමන්ට මොන වගේ වරප්‍රසාදයක් හා වගකීමක් තිබුණු බවද?

9 මේ වර්ධනය ඇති වුණේ දෙවිගේ “ශුද්ධාත්මයේ බලයෙන්” මිස තමන්ගේ හැකියාවෙන් නොවන බව මුල් ක්‍රිස්තියානීන් දැනගෙන හිටියා. (රෝම 15:13, 19) නමුත් “දෙවි සමඟ හවුල් වැඩකරුවෝ” වෙන්න ලැබීම වරප්‍රසාදයක් හා වගකීමක් බව ඔවුන් හොඳින් තේරුම්ගත්තා. (1 කොරින්ති 3:6-9) මේ නිසා යේසුස්ගේ උපදෙස් පිළිපැද්ද ඔවුන් තමන්ට පවරා තිබූ වැඩේ උද්‍යෝගයෙන් හවුල් වුණා.—ලූක් 13:24.

10. සියලු ජාතීන්ට සාක්ෂි දැරීම සඳහා මුල් ක්‍රිස්තියානීන් දැරුවේ මොන වගේ වෙහෙසක්ද?

10 “අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙකු” වූ පාවුල් මුහුද හා ගොඩබිම හරහා කිලෝමීටර් දහස් ගණනක් යමින්, ආසියාවේ තිබූ රෝම පාලනයට අයත් ප්‍රදේශවල මෙන්ම ග්‍රීසියේද සභාවන් රාශියක් ආරම්භ කළා. (රෝම 11:13) ඒවගේම ඔහු රෝමයටත් ගියා. සමහරවිට ස්පාඤ්ඤයටත් යන්න ඇති. මේ අතර “චර්මච්ඡේදනය වූ අයට දීම සඳහා . . . ශුභාරංචිය” රැගෙන පිටත් වූ පේතෘස්, යුදෙව්වන් බොහෝදෙනෙක් විසූ බැබිලෝනියේ සේවය කරන්න ගියා. (ගලාති 2:7-9; 1 පේතෘස් 5:13) ඔවුන්ට අමතරව ත්‍රිෆේනා, ත්‍රිෆෝසා සහ පර්සිස් වැනි ස්ත්‍රීන් ඇතුළු තවත් බොහෝදෙනෙක් “ස්වාමීන් තුළ බොහෝ වෙහෙසී වැඩ කළා.”—රෝම 16:12.

11. ගෝලයන්ගේ වෑයම්වලට යෙහෝවා ආශීර්වාද කළේ කොහොමද?

11 ඒ අය ඇතුළු උද්‍යෝගයෙන් සේවය කළ තවත් බොහෝදෙනෙකුගේ වෙහෙසට යෙහෝවා දෙවි ගොඩක් ආශීර්වාද කළා. සියලු ජාතීන්ට සාක්ෂියක් දෙන බව යේසුස් පවසා අවුරුදු 30ක් ගත වෙන්නත් කලින් ‘ශුභාරංචිය අහසින් යට මුළු මැවිල්ලෙහි දේශනා කරනු’ ලැබූ බව පාවුල් ලිව්වා. (කොලොස්සි 1:23) එහෙමනම් ඒ කාර්යය නිමවීමෙන් පසුව පැමිණෙනවා කියා යේසුස් පැවසූ අවසානය ඒ කාලයේදී ආවාද? ඔව් කියලා කියන්නත් පුළුවන්. එයට හේතුව ක්‍රි.ව. 70දී රෝම හමුදාව මගින් යෙරුසලමත් එහි පිහිටි දේවමාලිගාවත් විනාශ කළ විට යුදෙව් සමාජය ඒ අවසානය අද්දැක්කා. නමුත් ඒ අනාවැකිය සම්පූර්ණයෙන් ඉටු වෙන්නේ යෙහෝවා දෙවි සාතන්ගේ මුළු දුෂ්ට සමාජයට අවසානයක් ගෙනා විටයි. ඊට පෙර මුල් සියවසේදී කළාටත් වඩා විශාල සාක්ෂියක් දැරීමට නියමිතයි.

අද දින සාක්ෂි දැරීම

12. සාක්ෂි දැරීමට වූ ආඥාව බයිබල් ශිෂ්‍යයන් වටහාගෙන තිබුණේ කොහොමද?

12 මුල් සියවසට පසුව සැබෑ නමස්කාරය සෑහෙන කාලයක් පුරා යටපත් වී තිබුණා. නමුත් 19වන සියවසේ අගභාගයේදී එය නැවතත් ආරම්භ වුණා. මිනිසුන්ව ගෝලයන් කරන්න කියා යේසුස් දුන් ආඥාව, බයිබල් ශිෂ්‍යයන් ලෙස ඒ කාලයේදී හඳුන්වනු ලැබූ යෙහෝවාගේ සාක්ෂිකරුවන් හොඳින් තේරුම්ගත්තා. (මතෙව් 28:19, 20) වර්ෂ 1914 වන විට රටවල් 68ක් පුරා, 5,100ක් පමණ දෙනෙක් මේ කාර්යයේ උනන්දුවෙන් නියැලෙමින් සිටියා. ඒ වුණත් ඒ අය මතෙව් 24:14හි සඳහන් අනාවැකිය සම්පූර්ණයෙන් වටහාගෙන තිබුණේ නැහැ. දශක ගණනාවක් යන තුරු ඔවුන් හිතුවේ සියලු ජාතීන්ට සාක්ෂියක් ලැබී අවසන් කියායි. එයට හේතුව, ඒ වන විටත් බයිබල් සමාගම් මගින් ශුභාරංචිය ඇතුළත් බයිබලය විවිධ භාෂාවලට පරිවර්තනය කර ලොව පුරා බෙදාහැර තිබීමයි.

13, 14. වර්ෂ 1928 දෙසැම්බර් 1 වොච් ටවර් කලාපය දෙවිගේ කැමැත්ත සහ අරමුණ ගැන වඩා පැහැදිලි අවබෝධයක් ලබා දුන්නේ කොහොමද?

13 යෙහෝවා දෙවි තමාගේ කැමැත්ත සහ අරමුණ ගැන පැහැදිලි අවබෝධයක් ක්‍රමක්‍රමයෙන් තම සෙනඟට ලබා දුන්නා. (හිතෝපදේශ 4:18) වර්ෂ 1928 දෙසැම්බර් 1 වොච් ටවර් කලාපයේ මෙසේ සඳහන් වුණා. “බයිබලය බෙදා දීමෙන් පමණක් දේවරාජ්‍යයේ ශුභාරංචිය ගැන දේශනා කිරීම ඉටු වුණා කියා කියන්න අපිට පුළුවන්ද? කොහෙත්ම බැහැ! දැනටමත් බයිබලය බෙදා දී තිබෙන ගෙවල්වලට පවා සාක්ෂි දැරීමත්, දෙවිගේ [අරමුණ] ගැන විස්තර කරන පොත් පත් මුද්‍රණය කිරීමත් දෙවිගේ මේ කුඩා සාක්ෂිකාර කණ්ඩායම විසින් කළ යුතුයි. එසේ කළේ නැත්නම් දැනටමත් දේවරාජ්‍ය පාලනය ආරම්භය වී ඇති බව මිනිසුන් දැනගන්නේ නැහැ.”

14 එම කලාපයේම තවදුරටත් මෙසේ පවසා තිබුණා. “මතෙව් 24:14හි සඳහන් යේසුස්ගේ අනාවැකිය බයිබල් ශිෂ්‍යයන් නිවැරදිව වටහාගත්තේ 1920දීයි. සියලුම ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව පුරා දේශනා කරන්න තිබෙන ‘මේ ශුභාරංචිය,’ ඉදිරියේදී පැමිණීමට නියමිත රාජ්‍යයක් ගැන නොව නමුත් දැනටමත් යේසුස් විසින් පාලනය ආරම්භ කර ඇති දේවරාජ්‍යය ගැන බව ඔවුන් ඒ කාලයේදී තේරුම්ගත්තා.”

15. සාක්ෂි දැරීමේ කාර්යය 1920ගණන්වල සිට ව්‍යාප්ත වී තිබෙන්නේ කොහොමද?

15 එක්දහස් නවසිය විසිගණන්වල සිටි ඒ “කුඩා සාක්ෂිකාර කණ්ඩායම” හැමදාම කුඩා කණ්ඩායමක්ව සිටියේ නැහැ. පසු දශකවලදී හඳුනාගත් ‘වෙනත් බැටළුවන්ගෙන්’ යුත් “මහත් සමූහයක්” ඔවුන්ට එකතු වුණා. (යොහන් 10:16; එළිදරව් 7:9) අද දින ලොව පුරා රටවල් 235ක ශුභාරංචිය දේශනා කරන අය 66,13,829ක් සිටිනවා. යේසුස්ගේ එම අනාවැකියේ ඉටුවීම මොන තරම් පුදුමාකාරද! “රාජ්‍යයේ මේ ශුභාරංචිය” ගැන මෙතරම් පුළුල් සාක්ෂියක් මීට පෙර කවදාවත් දී නැහැ. යෙහෝවා දෙවිට ඇදහිලිවන්තව සේවය කරන මෙතරම් විශාල පිරිසක් මීට පෙර කවදාවත් මේ පොළොවේ ඉඳලත් නැහැ.

16. පසුගිය සේවා වසර තුළ ඉටු කර තිබෙන වැඩ මොනවාද? (27-30 පිටුවල ඇති වාර්තාව බලන්න.)

16 මේ විශාල සාක්ෂිකාර පිරිස 2005 සේවා වසර තුළ ලොකු වැඩ කොටසක් ඉටු කර තිබෙනවා. රටවල් 235ක ශුභාරංචිය දේශනා කිරීම සඳහා ඔවුන් පැය බිලියනයකට වැඩියෙන් වැය කළා. ඒ වගේම නැවත බැලීම් සහ බයිබල් පාඩම් මිලියන ගණනක් කර තිබෙනවා. මෙසේ වෙනත් අයට දේවවචනය කියා දීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන්ම තම කාලය සහ සම්පත් පරිත්‍යාග කළා. (මතෙව් 10:8) තම අරමුණ ඉටු කරන මේ සේවකයන්ව දිගටම ශක්තිමත් කරන්න යෙහෝවා දෙවි තම බලය වන ශුද්ධාත්මය යොදාගන්නවා.—සෙකරියා 4:6.

වෙහෙස මහන්සි වී සාක්ෂි දැරීම

17. ශුභාරංචිය දේශනා කිරීම ගැන යේසුස් පැවසූ දෙයට යෙහෝවාගේ සෙනඟ දක්වන ප්‍රතිචාරය මොකක්ද?

17 ශුභාරංචිය දේශනා කිරීම ගැන යේසුස්ගේ අනාවැකිය ඔහු පවසා දැන් වසර 2,000ක් ගත වී තිබෙනවා. ඒත් ඒ කාර්යය ඉටු කිරීමට වූ දෙවිගේ සෙනඟගේ උද්‍යෝගය නම් කොහෙත්ම අඩු වෙලා නැහැ. මෙසේ දිගු කාලයක් පුරා විඳදරාගැනීමෙන් යුතුව කරන මේ යහපත් සේවය මගින්, ප්‍රේමය, කරුණාව සහ ඉවසීම වැනි යෙහෝවාගේ ගුණාංග අපි තුළ තිබෙන බව අපි පෙන්වනවා. යෙහෝවා දෙවි වගේ අපිටත් ඕනේ මිනිස්සු විනාශ වෙනවා දකින්න නෙවෙයි. ඒ වෙනුවට ඔවුන් පසුතැවිලි වී යෙහෝවා දෙවි වෙතට ළං වෙනවා දකින්නයි. (2 කොරින්ති 5:18-20; 2 පේතෘස් 3:9) යෙහෝවා දෙවිගේ බලයෙන් ශක්තිමත් වන සාක්ෂිකරුවන් පොළොව පුරාම ශුභාරංචිය දිගටම උද්‍යෝගයෙන් දේශනා කරනවා. (රෝම 12:11) මේ මගින් සෑම තැනකම සිටින මිනිසුන් සත්‍යය පිළිගෙන යෙහෝවාගේ ප්‍රේමණීය මඟ පෙන්වීම්වලට අනුව තම ජීවිතය හැඩගස්වා ගන්නවා. උදාහරණ කිහිපයක් සලකා බලන්න.

18, 19. ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දැක්වූ අයගේ අද්දැකීම් මොනවාද?

18 චාල්ස් බටහිර කෙන්යාවේ සිටි දුම්කොළ වගා කළ ගොවියෙක්. වර්ෂ 1998දී දුම්කොළ කිලෝග්‍රෑම් 8,000කට වැඩියෙන් නිපදවූ ඔහු, වසරේ හොඳම දුම්කොළ ගොවියා ලෙසට සහතිකයක් ලැබුවා. ඔහුට බයිබලය පාඩම් කරන්න අවස්ථාවක් ලැබුණෙත් ඒ කාලයේදීම වගෙයි. දුම්කොළ වගා කරන කෙනෙක්ට තම අසල්වැසියාට ප්‍රේම කරන්න කියා යේසුස් දුන් ආඥාවට කීකරු වෙන්න බැහැයි කියන එක කාලයක් යද්දී ඔහුට වැටහුණා. (මතෙව් 22:39) ඇත්තටම, ‘හොඳම දුම්කොළ ගොවියා’ කියන්නේ හරියට ‘ලොකුම මිනීමරුවා’ කියනවා වගෙයි කියන එක තේරුම්ගත් චාල්ස්, තම දුම්කොළ වගාව විනාශ කරලා දැම්මා. දෙවිට කැප වී බව්තීස්ම වූ ඔහු දැන් ස්ථාවර පුරෝගාමියෙක් හා සභා සේවකයෙක් ලෙස සේවය කරනවා.

19 ලොව පුරා කරන සාක්ෂි දැරීමේ කාර්යය තුළින් සියලු ජාතීන් සොලවන යෙහෝවා දෙවි, තමා ආස කරන දේ වන මිනිසුන්ව තමාට ළං කරගනිමින් සිටින බවට කිසිම සැකයක් නැහැ. (හග්ගයි 2:7) පෘතුගාලයේ වෙසෙන පේදෲ, වයස අවුරුදු 13දී වෙනත් රටක දේවගැතිවරයෙක් ලෙස සේවය කිරීමේ අරමුණින් සෙමනේරියකට ඇතුල් වුණා. නමුත් එහි ඉගැන්වීම් සඳහා බයිබලය යොදාගත්තේ නැති තරම්. ඒ නිසා වැඩි කල් යන්න පෙර ඔහු සෙමනේරියෙන් පිට වුණා. ඊට අවුරුදු හයකට පස්සේ ලිස්බන් නුවර විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාව හදාරමින් සිටි ඔහු නැවතී සිටියේ ඔහුගේ පුංචි අම්මාගේ නිවසෙයි. යෙහෝවාගේ සාක්ෂිකාරියක් වූ ඇය බයිබලය පාඩම් කරන්න කියා ඔහුව දිරිගැන්නුවා. නමුත් ඒ වන විට දෙවි කෙනෙක් ඉන්නවාද නැද්ද කියන එක ගැනත් තමා බයිබලය පාඩම් කළ යුතුද නැද්ද යන එක ගැනත් තීරණයක් ගන්න ඔහුට බැරි වුණා. මෙසේ තීරණයක් ගැනීමට නොහැකි අය ගැන ඔහු මනෝවිද්‍යාව ඉගැන්වූ මහාචාර්යවරයාගෙන් ඇසුවා. මනෝවිද්‍යාවට අනුව සාමාන්‍යයෙන් තීරණයක් ගන්න බැරි පුද්ගලයන් තමන්ටම හානියක් කරගන්න පෙලඹෙනවා කියා මහාචාර්යවරයා පැවසුවා. මෙය ඇසූ පේදෲ බයිබලය පාඩම් කරන්න තීරණය කළා. මෑතකදී බව්තීස්ම වූ ඔහු දැන් අන් අය සමඟ බයිබල් පාඩම් පවත්වනවා.

20. ලෝක ව්‍යාප්තව සිදු වන ශුභාරංචිය දේශනා කිරීමේ කාර්ය ගැන අපි සතුටු විය යුත්තේ ඇයි?

20 අවසානය පැමිණෙන දවස හෝ පැයවත්, තව කොච්චර දුරකට දේශනා කරන්න වෙයිද කියාවත් අපි දන්නේ නැහැ. ඒත් අවසානය ඉක්මනින්ම පැමිණෙන බව නම් අපි හොඳටම දන්නවා. මිනිස් පාලන ඉවත් කර දේවරාජ්‍යය පාලනය කිරීමට කාලය ළං වී තිබෙන බවට සාක්ෂි බොහොමයක් තිබෙනවා. ලෝක ව්‍යාප්තව විශාල පරිමාණයකින් සිදු වන මේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයත් ඉන් එකක් බව දැනගැනීමෙන් අපි සතුටු වෙන්නේ නැද්ද? (දානියෙල් 2:44) වසරක් පාසා වසරක් මිලියන ගණන් ජනයාට ශුභාරංචියට සවන් දීමට අවස්ථාවක් දීම මගින් අපි අපේ යෙහෝවා දෙවිට ප්‍රශංසාව ගෙන දෙනවා. ලොව පුරා සිටින අපේ සහෝදර සහෝදරියන් සමඟ එකතුව දිගටම දෙවිට ඇදහිලිවන්තව සිටීමත් සියලු ජාතීන්ට සාක්ෂි දැරීමේ කාර්යය උද්‍යෝගයෙන් කිරීමත් අපේ අධිෂ්ඨානය වේවා! එසේ කිරීමෙන් අපිටත් අපේ වචන අසන්නන්ටත් ගැලවීම ලැබෙනවා නොඅනුමානයි.—1 තිමෝති 4:16.

ඔබට මතකද?

මතෙව් 24:14හි සඳහන් අනාවැකිය පුදුමාකාර එකක් වෙන්නේ ඇයි?

• මුල් ක්‍රිස්තියානීන් දේශනා කිරීම සඳහා දැරූ වෑයම් මොනවාද? ඔවුන්ට ලැබුණු ප්‍රතිඵල මොනවාද?

• සියලු ජාතීන්ට සාක්ෂි දැරීමට තිබෙන අවශ්‍යතාව බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තේ කොහොමද?

• පසුගිය සේවා වසර තුළ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු සලකා බැලීමේදී ඔබට දිරිගැන්වීමක් වුණේ මොකක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[27-30යන පිටුවල වගුව]

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2005 සේවා වසරේ ලෝක ව්‍යාප්ත වාර්තාව

[25වන පිටුවේ සිතියම⁄පින්තූර]

පාවුල් ශුභාරංචිය දේශනා කිරීම සඳහා මුහුද හා ගොඩබිම හරහා කිලෝමීටර් දහස්ගණනක් ගමන් කළා

[24වන පිටුවේ පින්තූරය]

කොර්නේලියස් සහ ඔහුගේ පවුලේ අයට සාක්ෂි දැරීමට යෙහෝවා දෙවි පේතෘස්ට මඟ පෙන්නුවා