Skip to content

පටුනට යන්න

අපට ගැලවුම්කරුවෙක් අවශ්‍යද?

අපට ගැලවුම්කරුවෙක් අවශ්‍යද?

අපට ගැලවුම්කරුවෙක් අවශ්‍යද?

වෙන කවරදාටත් වඩා මේ කාලයේදී මිනිසුන් විවිධ ප්‍රශ්න ගැටලු හා විපත්වලට මුහුණ දෙනවා. මේවාට සැබෑ විසඳුමක් සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා. එහෙත් ඒවාට සැබෑ විසඳුමක් දී මිනිසුන්ව ගලවාගත හැකි කෙනෙක් සිටිනවාද කියා ඔබ සිතිය හැකියි.

එවැනි කෙනෙක් ඇත්තටම සිටින බව මේ ලිපිය කියවීමේදී ඔබට වැටහේවි. පළමුවන සියවසේදී යුදෙව් නීතිය ගැන හසළ දැනුමක් තිබූ පුද්ගලයෙක් සැබෑ ගැලවුම්කරුවෙක් ගැන මෙසේ පැවසුවා. “දෙවිගේ පොරොන්දු කොපමණ වුවත්, යේසුස් මාර්ගයෙන් ඒවා එසේය වී තිබේ.” මෙම වදන්වලින් පෙනී යන්නේ මිනිසුන්ගේ ගැටලුවලට ස්ථිර විසඳුමක් ලබා දීමට දෙවි දී තිබෙන පොරොන්දුව ඉටු කිරීමේදී යේසුස් වැදගත් කාර්යයක් සිදු කරන බවයි. (2 කොරින්ති 1:20) ගැලවුම්කරු හැටියට යේසුස් ඉටු කරන කාර්යයන් කොතරම් වැදගත්ද කියනවා නම් දේවවචනයේ සඳහන් අනාවැකිවල ප්‍රධාන තැනක් ඔහුගේ පැමිණීමට හා මිනිසුන් වෙනුවෙන් ඔහු කරන සේවයට හිමි වී තිබෙනවා. පසුගිය අවුරුදු 70 පුරා දශලක්ෂ ගණනක් දෙනා කියවා තිබෙන එක් පොතක කර්තෘ වන හෙන්රි එච්. හැලී මෙසේ සඳහන් කර තිබෙනවා. බයිබලයේ “පරණ ගිවිසුම ලියා තිබෙන්නේ පොරොන්දු කරන ලද ගැලවුම්කරුගේ පැමිණීම ගැන බලාපොරොත්තුවක් ඇති කිරීමේ හා ඔහුගේ පැමිණීම සඳහා මඟ සූදානම් කිරීමේ අරමුණ ඇතිවයි.” ගැලවුම්කරුවෙකුගේ අවශ්‍යතාව පැනනැඟුණේ ඇයි? ඔබ ඔහුගේ පැමිණීම ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි? අපි දැන් මේ ප්‍රශ්න දෙක ගැන සලකා බලමු.

මෙහි අපි සඳහන් කරන ගැලවුම්කරු වන යේසුස්ව “මෙසියස්” කියාද බයිබලයේ හඳුන්වා තිබෙනවා. එහි අර්ථය අභිෂේක ලත් තැනැත්තා යන්නයි. මෙසියස් යන වචනයට සමාන තවත් ප්‍රසිද්ධ වචනයක් වන්නේ ක්‍රිස්තුස්. මොහුව “ශ්‍රේෂ්ඨතම ගැලවුම්කරුවා” කියා එක් විශ්වකෝෂයක හඳුන්වා තිබෙනවා. ගැලවුම්කරුවෙකුගේ අවශ්‍යතාව පැනනැඟුණේ මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒව කළ වරද නිසයි. දෙවි ඔවුන් දෙදෙනාව මැව්වේ පාරාදීස පොළොවේ සැමදා සතුටින් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතිවයි. එහෙත් ඔවුන් දෙවිට අකීකරු වූ නිසා ඒ උදාර බලාපොරොත්තුව ඔවුන් නැති කරගත්තා. තමන්ගේ මැවුම්කරු අනවශ්‍ය ලෙස සීමා තහංචි පනවා තිබෙන බවත් හරි වැරැද්ද තමන්ම තෝරාගැනීමෙන් වඩාත් සන්තෝෂවත් ජීවිතයක් ගත කළ හැකි බවත් දෙවිට විරුද්ධව කැරැල්ලක් දියත් කළ දේවදූතයෙක් ඒවට පැවසුවා. සාතන් හා යක්ෂයා යන නම්වලින් හඳුන්වන්නේ ඒ කැරලිකාර දේවදූතයාවයි.—උත්පත්ති 3:1-5.

ඒව රැවටී සාතන් පැවසූ බොරුව විශ්වාස කළා. මෙහිදී ආදම් ඔහුට ජීවිතය දුන් දෙවිගේ පැත්ත නොගෙන ඔහුගේ භාර්යාවගේ පැත්ත ගත් නිසා ඔහුත් යක්ෂයාගේ කැරැල්ලට සහයෝගය දුන්නා. (උත්පත්ති 3:6; 1 තිමෝති 2:14) මුල් මිනිස් යුවළ කළ ඒ වරද නිසා පාරාදීස පොළොවේ නිමක් නැති ජීවිතයක් භුක්ති විඳීමේ බලාපොරොත්තුව ඔවුන් නැති කරගත්තා. ඒ විතරක් නෙවෙයි ඔවුන් කළ වරද ඔවුන්ගෙන් පැවතෙන්නන්ටත් බලපෑවා. සියලු මිනිසුන් මිය යන්නේ ඔවුන්ගෙන් පාපය උරුම වී තිබෙන නිසයි.—රෝම 5:12.

අපේ ප්‍රේමණීය මැවුම්කරු වන යෙහෝවා දෙවි ඉක්මනින්ම පියවර ගෙන, ඒ කැරැල්ල නිසා ඇති වූ සියලුම නරක ප්‍රතිවිපාක සදහටම ඉවත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කළා. පාරාදීස පොළොවේ සැමදා සතුටින් ජීවත් වීමේ ප්‍රස්තාව කීකරු මිනිසුන්ට ලබා දීමට යෙහෝවා දෙවි අරමුණු කර තිබෙනවා. මේ අරමුණ ඉටු කිරීමේදී මෝසෙස්ගේ නීතියේ සඳහන් අවශ්‍යතාවක් ඉටු කළ යුතුයි. එම අවශ්‍යතාව වන්නේ යම් කෙනෙක් පාඩුවක් කළොත් ඊට සියයට සියයක් සරිලන වන්දියක් ලබා දීමයි. (ද්විතීය කතාව 19:21; 1 යොහන් 3:8) ආදම්ගෙන් පැවතෙන්නන්ට යෙහෝවා දෙවිගේ මුල්ම අරමුණට අනුව පාරාදීස පොළොවේ සැමදා ප්‍රීතියෙන් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සිටින්න නම් එම නීතිමය අවශ්‍යතාව ඉටු කළ යුතු වුණා. ගැලවුම්කරුවෙකුගේ පැමිණීම අවශ්‍ය වූයේ ඒ හේතුව නිසයි.

යෙහෝවා දෙවි යක්ෂයාට දඬුවම් නියම කරමින් පැවසූ බයිබලයේ මුල්ම අනාවැකියේ මෙසේ සඳහන් වෙනවා. “මම ඔබත් ස්ත්‍රියත් අතරෙහිද ඔබේ වංශයත් ඇගේ වංශයත් අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය ඔබේ හිස පොඩි කරන්නේය; ඔබ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.” (උත්පත්ති 3:15) බයිබල් විශාරදයෙක් පවසන පරිදි “ශුද්ධ ලියවිල්ලේ ගැලවුම්කරු ගැන කතාව මුලින්ම පටන්ගන්නේ [දෙවි කළ එම] ප්‍රකාශය සමඟයි.” තවත් බයිබල් විශාරදයෙක් ගැලවුම්කරුව විස්තර කළේ “මිනිස් සංහතිය මත ඇති වූ විනාශකාරී ප්‍රතිවිපාක ඉවත් කර නැවත මුලින්ම තිබූ තත්වයට ගෙන එන තැනැත්තා” හැටියටයි. සියලුම මිනිසුන්ට ආශීර්වාද ගෙන දීමට දෙවි යොදාගන්නේද ඔහුවයි.—හෙබ්‍රෙව් 2:14, 15.

කෙසේවෙතත් අද මිනිසුන් සිටින්නේ ආශීර්වාද ලත් තත්වයක නොවෙයි. විවිධ ප්‍රශ්න ගැටලු හා දුක් වේදනාවලින් මිනිසුන් අද පීඩා විඳිනවා. ඔවුන් සිටින්නේ බලාපොරොත්තුවක් නැති තත්වයකයි. “අදටත් යුදෙව්වන් බොහෝදෙනෙක් ගැලවුම්කරුවෙකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින” බවත් ඒ ගැලවුම්කරු “සියලු වැරදි නිවැරදි කර ඔවුන්ගේ සතුරන්ව පරාජය කරන” බවත් යුදෙව්වන් විශ්වාස කරනවායයි එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා. (The World Book Encyclopedia) කෙසේවෙතත් බයිබලයේ පවසන්නේ ගැලවුම්කරු දැනටමත් පැමිණ තිබෙන බවයි. මෙය විශ්වාස කිරීමට හොඳ හේතු තිබෙනවාද? මේ සඳහා පිළිතුරු ඊළඟ ලිපියේදී සලකා බලමු.