Skip to content

පටුනට යන්න

‘අපිට ගැලවුම්කරුව සම්බ වුණා’

‘අපිට ගැලවුම්කරුව සම්බ වුණා’

‘අපිට ගැලවුම්කරුව සම්බ වුණා’

‘අපිට මෙසියස්ව [හෙවත් ගැලවුම්කරුව] සම්බ වුණා. මෝසෙස් විසින් නීතියෙහි ලියන ලද, එසේම අනාගතවක්තෘවරුන් විසින්ද ලියන ලද තැනැත්තාව අපට සම්බ වුණා.’ මෙම වදන් පැවසුවේ පළමුවන සියවසේ ජීවත් වූ භක්තිවන්ත යුදෙව්වන් දෙදෙනෙක් වූ අන්දෘ සහ ෆිලිප් විසිනුයි. කාලයක් තිස්සේ බලා සිටිය ගැලවුම්කරු පැමිණ සිටි බව ඔවුන් දෙදෙනා තේරුම්ගත්තා.—යොහන් 1:35-45.

ඔවුන්ගේ කාලයේ පැවති ඓතිහාසික හා ආගමික තත්වය ගැන සලකා බලන කල ඔවුන් සැබෑ ගැලවුම්කරු ලෙස යේසුස්ව නිවැරදිව හඳුනාගැනීම සුවිශේෂි දෙයක් ලෙස සැලකිය හැකියි. මීට හේතුව මහත් ප්‍රසිද්ධියක් මැද විවිධ පොරොන්දු දුන් බොරු ගැලවුම්කරුවන් රාශියක් ඒ වන විටත් පැමිණ තිබීමයි. ඔවුන් දුන් පොරොන්දු කිසිවක් ඉටු කරන්න ඔවුන්ට නොහැකි වුණා. යුදෙව්වන්ව රෝමයේ වහල්භාවයෙන් ගලවාගන්න ඔවුන්ගෙන් කිසිවෙකුට හැකි වුණේ නැහැ.—ක්‍රියා 5:34-37.

කෙසේවෙතත් තමන්ට සම්බ වූ තැනැත්තා සැබෑ ගැලවුම්කරු බවට අන්දෘට සහ ෆිලිප්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. පොරොන්දු කරන ලද සැබෑ ගැලවුම්කරු ඉටු කරන දේවල් ගැන දේවවචනයේ කලින් පවසා තිබූ සෑම දෙයක්ම යේසුස් ඉටු කරන ආකාරය තමන්ගේ ඇස් දෙකින්ම දකින විට ඔවුන්ගේ විශ්වාසය තව තවත් වැඩි වුණා.

ඔවුන් දෙදෙනා ඇතුළු තව බොහෝදෙනෙක් යේසුස් සැබෑ ගැලවුම්කරු බව තේරුම්ගෙන ඔහු කෙරෙහි ඇදහිල්ල තැබුවේ ඇයි? යේසුස් බොරු ගැලවුම්කරුවන්ට වඩා වෙනස් වූයේ ඔහු සතු වූ කුමන සාක්ෂි නිසාද?

බයිබලයේ පුරෝකථනය කර තිබූ තොරතුරු දැන සිටි අන්දෘ සහ ෆිලිප්, කලින් වඩුවෙක්ව සිටි නාසරෙත්හි යේසුස් පොරොන්දු කරන ලද ගැලවුම්කරු බව හඳුනාගත්තා. (යොහන් 1:45) ගැලවුම්කරුගේ පැමිණීම සිදු විය යුත්තේ “ටයිබීරියස් සීසර්ගේ පාලන සමයෙහි පහළොස්වන අවුරුද්දේදී” බව ඒ කාලයේදී ඉතිහාසය ගැන හොඳින් සොයා බැලූ පුද්ගලයෙක් වූ ලූක් සඳහන් කළා. (ලූක් 3:1-3) ටයිබීරියස්ගේ පාලන සමයේ 15වන අවුරුද්ද වූයේ ක්‍රි.ව. 28 සැප්තැම්බර් මාසයෙන් පටන්ගෙන ක්‍රි.ව. 29 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ අවුරුද්දයි. යුදෙව්වන් පොරොන්දු කරන ලද ගැලවුම්කරුගේ පැමිණීම ඒ කාලයේදී “අපේක්ෂාවෙන් සිටි” බව ලූක් තවදුරටත් සඳහන් කළා. (ලූක් 3:15) ගැලවුම්කරුගේ පැමිණීම ඔවුන් ඒ කාලයේදී අපේක්ෂාවෙන් සිටියේ ඇයි? මීට හේතු දැන් අපි සලකා බලමු.

ගැලවුම්කරුගේ සාක්ෂි පත්‍රය

පොරොන්දු කරන ලද ගැලවුම්කරු පැමිණ අතිවැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට නියමිතව තිබුණා. මේ නිසා ඔහුගේ පැමිණීම ගැන සෝදිසියෙන් සිටි ඇදහිලිවන්තයන්ට සැබෑ ගැලවුම්කරුව හඳුනාගැනීමට උපකාරවත් වන යම් සාක්ෂි යෙහෝවා දෙවි සපයයි කියා බලාපොරොත්තු වීම සාධාරණයි. මන්ද බොරු ගැලවුම්කරුවන්ගේ මුළා කිරීම්වලට හසු නොවී සිටීම සඳහා ඇදහිලිවන්තයන්ට එවැනි නිශ්චිත සාක්ෂි අවශ්‍ය වුණා.

යම් රටක තානාපති කෙනෙක් වෙනත් රටකට ගොස් ඔහුව තානාපතියෙක් ලෙස හඳුන්වා දෙන විට ඔහුගේ රටේ ආණ්ඩුව විසින් ඔහුව ඒ තනතුරට පත් කර තිබෙන බව තහවුරු කරන සාක්ෂි පත්‍රයක් ඉදිරිපත් කළ යුතුයි. මේ හා සමානව පොරොන්දු කරන ලද ගැලවුම්කරු සැපයිය යුතු සාක්ෂි මොනවාද කියා යෙහෝවා දෙවි කල් තියා වාර්තා කළා. මේ අනුව “ප්‍රධාන නියෝජිතයා” කියාද බයිබලයේ හඳුන්වා තිබෙන සැබෑ ගැලවුම්කරු පෙනී සිටි විට එය හරියට තමන්ව හඳුන්වා දීම සඳහා ඔහු එම සාක්ෂි පත්‍ර රැගෙන ආවා වගෙයි.—හෙබ්‍රෙව් 12:2.

සැබෑ ගැලවුම්කරුව හඳුනාගැනීම සඳහා ඔහුට තිබිය යුතු සාක්ෂි ගැන සියවස් ගණනාවකට කලින් බයිබලයේ අනාවැකි රාශියක සඳහන් කර තිබුණා. ගැලවුම්කරුගේ පැමිණීම, ඔහු ඉටු කරන සේවය, ඔහු අන් අයගේ හිරිහැරවලට ලක්වීම හා අවසානයේදී ඔහු මිය යන ආකාරය ගැන පවා සෑම තොරතුරක්ම නිවැරදිව කලින් පවසා තිබුණා. ඒ විතරක් නොවෙයි, ඔහුගේ නැවත නැඟිටීම ගැනත් දෙවි ඔහුව උසස් තත්වයකට පත් කිරීම ගැනත් පසුව ඔහු රජු ලෙස ක්‍රියා කරන විට දේවරාජ්‍යය මගින් මිනිසාට ගෙනෙන ආශීර්වාද ගැනත් කලින් වාර්තා කර තිබුණා. ඇඟිලි සලකුණක් එක් පුද්ගලයෙකුට පමණක් ආවේණික වන්නාක් මෙන් ගැලවුම්කරු පිළිබඳව බයිබලයේ සඳහන් අනාවැකිද පිළිවෙළකට ඉටු වන්නේ එක් පුද්ගලයෙක් සම්බන්ධයෙන් පමණයි.

කෙසේවෙතත් යේසුස් ක්‍රි.ව. 29දී ගැලවුම්කරු ලෙස පෙනී සිටි කාලයේදී ගැලවුම්කරු පිළිබඳ සඳහන් සෑම අනාවැකියක්ම ඉටු වුණේ නැහැ. උදාහරණයක් හැටියට ඒ වන විට ඔහුව මරණයට පත් කර තිබුණේ නැහැ. එමෙන්ම ඔහු නැවත නැඟිටීම ලබා තිබුණේද නැහැ. එහෙත් අන්දෘ හා ෆිලිප් ඇතුළු තවත් බොහෝදෙනෙක් යේසුස් ඉගැන්වූ දේවල් හා කළ දේවල් නිසා ඔහු කෙරෙහි ඇදහිල්ල තැබුවා. සැබෑ ගැලවුම්කරු පිළිබඳ බොහෝ සාක්ෂි යේසුස් තුළ ඉටු වන ආකාරය ඔවුන් දුටුවා. ඔබත් ඒ කාලයේදී ජීවත් වුණා නම් හා විවෘත මනසකින් ඒ සාක්ෂි හොඳින් සොයා බැලුවා නම් සැබෑ ගැලවුම්කරු වන්නේ යේසුස් කියා ඔබත් නිගමනය කරාවි.

ගැලවුම්කරුව හඳුනාගැනීමට සාක්ෂි

සැබෑ ගැලවුම්කරු යේසුස් කියා නිගමනය කිරීමට ඔබට උපකාරවත් වන්නේ කුමක්ද? ගැලවුම්කරුව හඳුනාගැනීමට උපකාරවත් වන සාක්ෂි ගැන සියවස් ගණනාවක් පුරා බයිබලයේ සඳහන් අනාගතවක්තෘවරුන් අනාවැකි පැවසුවා. මේ නිසා ගැලවුම්කරු පිළිබඳව පැහැදිලි චිත්‍රයක් ඇති කරගැනීම සඳහා ක්‍රම ක්‍රමයෙන් අනාවරණය කරන ලද එම තොරතුරු උපකාරවත් වෙනවා. මේ ගැන හෙන්රි එච්. හැලී මෙසේ පැවසුවා. “එකිනෙකාව කවදාවත් දැක නැති, එකිනෙකා සමඟ කවදාවත් කතා කර නැති විවිධ රටවල කිහිපදෙනෙකු එක්තරා රූපයක් සාදන්න තමන්ට ඕන ඕන කොටස් ගෙන ආවොත් සම්පූර්ණ රූපය සාදන්න අවශ්‍ය සෑම කොටසක්ම ඔවුන් රැගෙන එයි කියා සිතිය හැකිද? යම් පුද්ගලයෙක් ඒ රූපයේ එක් එක් කොටස ඔවුන් එක් එක් කෙනාට කලින් දී තිබුණොත් මිස නැත්නම් සම්පූර්ණ රූපය සෑදීමට අවශ්‍ය එක් එක් කොටස ඔවුන්ට රැගෙන එන්න බැහැ.” මෙසේ පැවසීමෙන් අනතුරුව හැලි මෙසේ අසනවා. “යේසුස් මිනිසෙකු ලෙස ඉපදීමට සියවස් ගණනාවකට කලින් විවිධ කාල වකවානුවල සිටි විවිධ ලේඛකයන්ට ඔහුගේ ජීවිතය හා සේවය ගැන එකිනෙකට ගැළපෙන තොරතුරු සැපයීමට හැකි වූයේ කෙසේද? අතිමහත් බුද්ධියක් තිබෙන කෙනෙකුගේ මඟ පෙන්වීම යටතේ ඔවුන් ඒ තොරතුරු වාර්තා කළ නිසයි.” එය “මහත් ප්‍රාතිහාර්යයක්” කියා හැලී නිගමනය කළා.

මේ “ප්‍රාතිහාර්යය” ගැන මුලින්ම සඳහන් කර තිබෙන්නේ බයිබලයේ මුල් පොතේයි. ගැලවුම්කරුගේ කාර්යභාරයට අයත් දේ ගැන බයිබලයේ මුල්ම අනාවැකියේ සඳහන් කළ ලේඛකයා ගැලවුම්කරු ආබ්‍රහම්ගේ වංශයෙන් පැමිණෙන බවත් එම පොතේම සඳහන් කළා. (උත්පත්ති 3:15; 22:15-18) ගැලවුම්කරු පැමිණෙන්නේ යූදාගේ ගෝත්‍රයෙන් බවට තවත් සාක්ෂියක් අනාවරණය කරනු ලැබුවා. (උත්පත්ති 49:10) පැමිණීමට නියමිත ගැලවුම්කරු මෝසෙස්ට වඩා උතුම් අනාගතවක්තෘවරයෙක් හා උතුම් ගැලවුම්කරුවෙක් බව දෙවි මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවා.—ද්විතීය කතාව 18:18.

ගැලවුම්කරු දාවිත්ගේ පෙළපතින් පැමිණෙන රජ කෙනෙක් බවත් ඔහුගේ රාජ්‍යය ‘ස්ථිරව සදාකල්ම පිහිටුවනු ලබන’ බවත් දාවිත් රජුගේ කාලයේදී අනාවැකි පවසනු ලැබුවා. (2 සාමුවෙල් 7:13-16) ගැලවුම්කරු ඉපදෙන්නේ දාවිත්ගේ නුවර වූ බෙත්ලෙහෙමේ බව මීකා පොතේ හෙළි කර තිබුණා. (මීකා 5:2) ගැලවුම්කරු කන්‍යාවකගෙන් උපත ලබන බවට යෙසායා අනාවැකි පළ කළා. (යෙසායා 7:14) එලියාට සමාන කෙනෙක් විසින් ගැලවුම්කරුගේ පැමිණීම ගැන ජනයාට දැනුම් දෙන බව අනාගතවක්තෘ මලාකි පුරෝකථනය කළා.—මලාකි 4:5, 6.

ගැලවුම්කරු පිළිබඳ නිශ්චිත තොරතුරු දානියෙල් පොතේද සඳහන් වෙනවා. ගැලවුම්කරු පෙනී සිටින අවුරුද්ද ගැන තොරතුරු දානියෙල්ගේ අනාවැකියේ මෙසේ සඳහන් වෙනවා. “යෙරුසලම නැවත පිහිටුවා ගොඩනඟන්ට ආඥාව පිටත් වන තැන් පටන් අධිපති වූ ආලේප ලත් තැනැත්තා [එනම් ගැලවුම්කරු] දක්වා සති සතක්ද සති සැටදෙකක්ද වන්නේයයි තේරුම්ගන්න; කැලඹීමේ කාලවලදී වුවත් එය වීථියත් අගලත් සමඟ දෙවනු ගොඩනඟනු ලබන්නේය.”—දානියෙල් 9:25.

පර්සියාවේ අර්තක්ෂස්තා රජ යෙරුසලම නැවත පිහිටුවීමට “ආඥාව” නිකුත් කළේ ඔහුගේ පාලනයේ 20වන අවුරුද්දේදීයි. ඔහුගේ පාලනය ආරම්භ වූයේ ක්‍රි.පූ. 474වන අවුරුද්දේදීයි. මේ අනුව ඔහුගේ පාලනයේ 20වන අවුරුද්ද වූයේ ක්‍රි.පූ. 455වන අවුරුද්දයි. (නෙහෙමියා 2:1-8) දානියෙල්ගේ අනාවැකියේ සඳහන් කළ සති 69ට (සති 7 සහ සති 62 එකතුව) යෙරුසලම නැවත පිහිටුවීමට ආඥාව නිකුත් කළ කාලයේ සිට ගැලවුම්කරු පෙනී සිටීම අතර කාලය ඇතුළත් වෙනවා. සාමාන්‍ය සති 69කට ඇතුළත් වෙන්නේ දවස් 483යි. මෙය අවුරුදු දෙකකටත් වඩා අඩු කාලයක්. එසකියෙල් 4:6හි සඳහන් දෙයට අනුව ‘දවසක් එක අවුරුද්දක් ” ලෙස සැලකිය හැකියි. මේ අනුව ගැලවුම්කරු පෙනී සිටිය යුත්තේ යෙරුසලම නැවත ගොඩනැඟීමට ආඥා කර අවුරුදු 483ක් ගතවීමෙන් පසුවයි. මේ අනුව ගැලවුම්කරු පෙනී සිටිය යුත්තේ ක්‍රි.ව. 29දීයි. *

තමන් පොරොන්දු කරන ලද ගැලවුම්කරුයයි කියා බොහෝදෙනෙක් විවිධ කාලවලදී පෙනී සිටියත් ක්‍රි.ව. 29දී ගැලවුම්කරු ලෙස පෙනී සිටියේ නාසරෙත්හි යේසුස් පමණයි. (ලූක් 3:1, 2) යේසුස් යොහන් බව්තීස්ත ළඟට පැමිණ බව්තීස්ම වූයේ ඒ අවුරුද්දේදීයි. ගැලවුම්කරු ලෙස යේසුස්ව දෙවිගේ මඟ පෙන්වීම යටතේ අභිෂේක කරනු ලැබුවේ ඒ අවස්ථාවේදීයි. ගැලවුම්කරු වෙනුවෙන් පෙරමඟ සූදානම් කරන එලියාට සමාන කෙනෙකු පෙනී සිටින බවට පුරෝකථනය කර තිබුණා. ඒ තැනැත්තා වූයේ යොහන් බව්තීස්තයි. “ලෝකයේ පාපය නැති කර දමන, දෙවිගේ බැටළු පැටවා” කියා යේසුස්ව අන්දෘට හා තවත් ගෝලයෙකුට හඳුන්වා දුන්නේ යොහන් බව්තීස්ත විසිනුයි.—යොහන් 1:29; ලූක් 1:13-17; 3:21-23.

ගැලවුම්කරුගේ පෙළපත

ගැලවුම්කරු පැමිණෙන යුදෙව් ජාතික පවුල් ගැන විස්තර දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියන ලද අනාවැකිවල සඳහන් වුණා. මේ අනාවැකි ඉටු කිරීම සඳහා කාරණා හැසිරවීමට අසීමිත බලයක් හා ප්‍රඥාවක් තිබෙන මැවුම්කරු වන යෙහෝවා දෙවිට හැකියි. මේ නිසා ඔහු ගැලවුම්කරුගේ මුතුන්මිත්තන් ගැන තොරතුරු අඩංගු පෙළපත් වාර්තා සොයාගත හැකි කාලයකදී ගැලවුම්කරුගේ පැමිණීම සඳහා කටයුතු හසුරුවයි කියා සිතිය හැකියි.

මක් ක්ලින්ටොක් සහ ස්ට්‍රොං විසින් රචිත ග්‍රන්ථයක මෙසේ සඳහන් වෙනවා. “යුදෙව්වන්ගේ ගෝත්‍ර හා පවුල් පිළිබඳ තොරතුරු ඇතුළත් ලියකියවිලි [ක්‍රි.ව. 70දී] යෙරුසලමේ විනාශයත් සමඟ විනාශ වුණා. එහෙත් ඊට කලින් ඒවා ආරක්ෂිතව තිබුණා.” මතෙව් සහ ලූක් ඔවුන්ගේ ශුභාරංචි පොත් ලිව්වේ ක්‍රි.ව. 70ට කලින් බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. මේ අනුව යේසුස්ගේ පෙළපත ගැන ඔවුන් ලියද්දී ඒ වාර්තා ඔවුන් සෝදිසි කර බලන්න ඇතැයි කියා සිතිය හැකියි. (මතෙව් 1:1-16; ලූක් 3:23-38) මතෙව් සහ ලූක්ගේ කාලයේ සිටි අයට යේසුස්ගේ පෙළපත ගැන ඔවුන් දෙදෙනා ලියූ කාරණා සත්‍යයක්ද කියා තහවුරු කරගැනීමට හැකි වූ බවට සැකයක් නැහැ.

ගැලවුම්කරු ගැන අනාවැකි යේසුස් තුළ ඉටු වුයේ අහම්බෙන්ද?

ගැලවුම්කරු පිළිබඳව බයිබලයේ පවසා තිබූ අනාවැකි යේසුස් තුළ ඉටු වූයේ අහම්බෙන්ද? මේ ගැන කළ විමසුමකදී එක් විශාරදයෙක් පැවසුවේ මෙසේයි. “යේසුස් තුළ ඒ අනාවැකි ඉටු වූයේ අහම්බෙන් නොවෙයි. එය අහම්බෙන් ඉටුවීමට තිබෙන ඉඩ කඩ අනුපාතයක් හැටියට දැක්වුවහොත් එය සිතාගන්න බැරි තරම් මහත් සංඛ්‍යාවක් වෙනවා. ඇතමුන් ගණන් බලා තිබෙන ආකාරයට අනාවැකි අටක් එක් අවස්ථාවකදී ඉටුවීමට තිබෙන ඉඩ කඩ බිලියන සිය මිලියනයකින් එකක් වෙනවා.” මෙය උදාහරණයක් මගින් පැහැදිලි කරමින් ඔහු මෙසේද පැවසුවා. “මේ වටිනාකමට සමාන රිදී ඩොලර් කාසිවලින් අමෙරිකා එක්සත් ජනපදයේ [වර්ග කිලෝමීටර් 6,90,000කින් යුත් ] ටෙක්සාස් නමැති ජනපදයේ මුළු භූමි ප්‍රමාණයම අඩි දෙකක් ගනකමට අතුරන්න පුළුවන්. මේ කාසි අතරින් එක කාසියකට ලකුණක් දමනවා කියා සිතන්න. දැන් කෙනෙකුගේ ඇස් දෙක බැඳ ඔහුට ඒ ජනපදය පුරා ඇවිද එක කාසියක් අහුලාගන්න කියා පැවසුවොත් ලකුණ දමා තිබෙන කාසිය ඔහු අහුලාගැනීමට තිබෙන ඉඩ කඩ ගැන කුමක් කිව හැකිද?” අනතුරුව ඔහු සඳහන් කළේ එම ඉඩ කඩ “ගැලවුම්කරු පිළිබඳ අනාවැකි අටක් එක් පුද්ගලයෙකු තුළ ඉටුවීමට තිබෙන ඉඩ කඩට සමානයි” කියායි.

යේසුස් කළ අවුරුදු තුනහමාරක සේවා කාලය තුළ බයිබලයේ සඳහන් අනාවැකි අටක් නොව රාශියක් ඔහු තුළ ඉටු වුණා. මේ අතිමහත් සාක්ෂි කන්දරාව ගැන සැලකිල්ල යොමු කරමින් එම විශාරදයා මෙසේ නිගමනය කළා. “බයිබලයේ සඳහන් අනාවැකි රාශියම ඉටු වී තිබෙන්නේ යේසුස් තුළ පමණයි.”

ගැලවුම්කරුගේ පැමිණීම

අපි සලකා බැලූ කරුණුවලින් පැහැදිලිව පෙනී යන්නේ නාසරෙත්හි යේසුස් සැබෑ ගැලවුම්කරු ලෙස ක්‍රි.ව. 29දී පෙනී සිටි බවයි. ඔහු ලෝකයට පැමිණියේ නිහතමානී කෙනෙක් ලෙසයි. ඔහු මිනිසුන්ව ගලවාගැනීම සඳහා දුක් පීඩා වින්දා. යේසුස්ගේ අනුගාමිකයන්ද ඇතුළුව බොහෝ යුදෙව්වන් අපේක්ෂා කළ පරිදි ඔහු පෙනී සිටියේ රෝම අධිරාජ්‍යයේ පීඩාකාරී පාලනයට යටත්ව සිටි යුදෙව්වන්ව ගලවාගන්න රජෙකු ලෙස නොවෙයි. (යෙසායා 53වන පරිච්ඡේදය; සෙකරියා 9:9; ක්‍රියා 1:6-8) කෙසේවෙතත් බයිබලයේ පුරෝකථනය කර තිබෙන ආකාරයට අනාගතයේදී ඔහු පැමිණෙන්නේ මහත් බලයෙන් යුක්තවයි.—දානියෙල් 2:44; 7:13, 14.

සැබෑ ගැලවුම්කරු පැමිණියේ පළමුවන සියවසේදී බවත් ඔහු නැවත වතාවක් පැමිණීමට නියමිතව සිටි බවත් බයිබලයේ සඳහන් අනාවැකි හොඳින් අධ්‍යයනය කරන අය තේරුම්ගෙන සිටිනවා. සාක්ෂිවලින් තහවුරු වන්නේ පුරෝකථනය කළ පරිදි ඔහුගේ නැවත “පැමිණ සිටීම” වර්ෂ 1914දී ආරම්භ වූ බවයි. * (මතෙව් 24:3-14) ඒ වසරේදී දෙවි විසින් යේසුස්ව දේවරාජ්‍යයේ රජු ලෙස පත් කරනු ලැබුවා. වැඩි කලක් යන්න කලින් ඔහු ඒදන් උයනේදී දෙවිට විරුද්ධ වූ අය ඇති කළ කැරැල්ලේ ප්‍රතිවිපාක සදහටම තුරන් කර දමනවා. ඉන්පසුව ඔහු අවුරුදු දහසකට පොළොව පාලනය කිරීමට නියමිතයි. “ලෝකයේ පාපය නැති කර දමන” පොරොන්දු කරන ලද ගැලවුම්කරු ලෙස ඔහුව පිළිගෙන ඔහු කෙරෙහි ඇදහිල්ල තබන සියලුදෙනාම ඔහුගේ පාලනය යටතේ මහත් ආශීර්වාද භුක්ති විඳියි.—යොහන් 1:29; එළිදරව් 21:3, 4.

එම සාක්ෂි ගැන ඔබ සමඟ සාකච්ඡා කිරීමටත් ගැලවුම්කරු වන යේසුස්ගේ පාලනය මගින් ඔබට මෙන්ම ඔබේ පවුලේ අයට හා හිතමිතුරන්ට ලැබෙන ආශීර්වාද ගැන බයිබලයෙන් පෙන්වා දීමටත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටින් සිටිනවා.

[පාදසටහන්වල]

^ 17 ඡේ. දානියෙල් 9:25හි සඳහන් අනාවැකිය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න නමැති පොතේ 186 සිට 191 දක්වා පිටු බලන්න. එමෙන්ම Insight on the Scriptures පොතේ දෙවන වෙළුමේ 899 සිට 904 දක්වා පිටුද බැලිය හැකියි.

^ 27 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ 10වන හා 11වන පරිච්ඡේද බලන්න.

[6, 7වන පිටුවේ රූප සටහන⁄පින්තූර]

‘යෙරුසලම නැවත පිහිටුවීමට වූ ආඥාව’ ක්‍රි.පූ. 455දී නිකුත් කරනු ලැබුවා

ගැලවුම්කරු ක්‍රි.ව. 29දී පැමිණියා

අවුරුදු 483 (අනාවැකිමය සති 69)—දානියෙල් 9:25

වර්ෂ 1914දී ගැලවුම්කරුව ස්වර්ගයේ රජු ලෙස පත් කරනු ලැබුවා

ගැලවුම්කරු ළඟදීම දුෂ්ටකම තුරන් කර දමා මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරයි