Skip to content

පටුනට යන්න

‘ඔවුන්ගේ ඇඳුම්වල දම් පාට ත්‍රිකෝණයක් තිබුණේ ඇයි?’

‘ඔවුන්ගේ ඇඳුම්වල දම් පාට ත්‍රිකෝණයක් තිබුණේ ඇයි?’

‘ඔවුන්ගේ ඇඳුම්වල දම් පාට ත්‍රිකෝණයක් තිබුණේ ඇයි?’

“මට දවස් කිහිපයකට කලින් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකුගෙන් මුරටැඹ සඟරාවක් ලැබුණා. මම ඒ සඟරාවෙන් දැනගත්තා යෙහෝවාගේ සාක්ෂිකරුවන් නාට්සිවරුන් හා කොමියුනිස්ට් පාලකයන් යටතේ අද්දැක්ක සමහර දරුණු පීඩා ගැන. නමුත් මට යමක් දැනගන්න ඕනේ. මම දැක්කා ඒ සඟරාවේ පින්තූරයේ හිටපු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඇඳුම්වල වම් පැත්තේ දම් පාට ත්‍රිකෝණයක් මහලා තියෙනවා. ඔවුන්ගේ ඇඳුම්වල දම් පාට ත්‍රිකෝණයක් මසා තිබුණේ ඇයි?” කියා සිවිල් නිලධාරියෙක් අසා තිබුණා. මොහු කොරියානු සමූහාණ්ඩුවේ සියොල් නගරයේ අධිකරණ අමාත්‍යංශයේ සේවය කරන කෙනෙක්.

ජර්මනියේ නාට්සි පාලන සමයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් හිට්ලර්ට ආචාර කිරීම ප්‍රතික්ෂේප කළා. ඔවුන් දේශපාලනය සම්බන්ධයෙන් මධ්‍යස්ථව සිටි අතර හමුදා සේවය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල නියැලීම ප්‍රතික්ෂේප කළා. මේ නිසා නාට්සිවරුන් ඔවුන්ට දරුණු ලෙස වධ හිංසා කළා. ඒ විතරක් නෙවෙයි සාක්ෂිකරුවන් 12,000ක් පමණ අත්අඩංගුවට ගත් අතර මේ අයව හිරගෙවල් හා ගාල් කඳවුරුවල තබා තිබුණා. මේ කඳවුරුවලදී 2,000ක් පමණ මිය ගියා. මීට අමතරව තවත් සිය ගණන් අයව මරණයට පත් කළා.

මේ සාක්ෂිකරුවන්ගේ ඇඳුම්වල දම් පාට ත්‍රිකෝණයක් මසා තිබුණේ ඇයි? “යුද්ධයට කලින් නාට්සි කඳවුරුවල සිටි අයව වෙන් වෙන්ව හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡන දීලා තිබුණා. සිරකරුවන්ගේ ඇඳුම්වල මසා තිබූ ත්‍රිකෝණයේ පාටින් සිරකරුවාව සිරගත කිරීමට හේතුව හඳුනාගැනීම පහසු වුණා. මෙහි සිටි සිරකරුවන්ගේ ඇඳුම්වල විවිධ පාටවලින් යුත් ත්‍රිකෝණ මසා තිබුණා. දේශපාලන සිරකරුවන්ගේ ඇඳුම්වල රතු පාටද, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දම් පාටද, සමාජ විරෝධීන්ගේ කලු පාටද, මිනී මරුවන්ගේ කොළ පාටද, සමලිංගිකයන්ගේ රෝස පාටද, විදේශිකයන්ගේ නිල් පාටද යනාදි වශයෙන් ත්‍රිකෝණ මසා තිබුණා. මේ පාට ත්‍රිකෝණවලට අමතරව යුදෙව්වන්ගේ ඇඳුම්වල තවත් කහ පාට ත්‍රිකෝණයක් මසා තිබුණා. මෙලෙස ඔවුන්ගේ ඇඳුම්වල කොන් හයක් සිටින සේ ත්‍රිකෝණ දෙකක් මසා තිබූ අතර එය දාවිත්ගේ තරුව කියා හැඳින්වූවා” යැයි එක් පොතක සඳහන් වෙනවා.—Anatomy of the SS State.

එක් මහාචාර්යවරයෙක් (John K. Roth) ඔහු ලියූ පොතක (Holocaust Politics) මෙසේ සඳහන් කළා. “හරි දේට කෙළින් සිටීමේ ඇති වැදගත්කම දම් පාට ත්‍රිකෝණය තිබූ අය ඔප්පු කළා. මේ අයගේ ආදර්ශය අපි මතක තබාගෙන සිටිනවා නම් එය අපිට අනාගතයේ සිදු වන විනාශයෙන් ආරක්ෂා වීමට උපකාර කරනවා. ඒ වගේම සියලුදෙනාගේම ගෞරවයට පාත්‍ර වන අයුරින් හැසිරීමටද එය අපට උපකාරවත් වෙනවා.” යෙහෝවාගේ සාක්ෂිකරුවන් නාට්සි හිංසාවන් හමුවෙහි ස්ථිරව යන මාතෘකාවෙන් යුත් වීඩියෝ පටය සාක්ෂිකරුවන් නිෂ්පාදනය කළ අතර ඔවුන්ට ඒ සඳහා සම්මානයක්ද ලැබුණා. මේ වීඩියෝ පටය ඔබත් නරඹන්න කැමති නම් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකුගෙන් ඒ ගැන විමසා බලන්න.