Skip to content

පටුනට යන්න

දෙවි තම අරමුණ ඉටු කිරීමට දියත් කළ වැඩපිළිවෙළ

දෙවි තම අරමුණ ඉටු කිරීමට දියත් කළ වැඩපිළිවෙළ

දෙවි තම අරමුණ ඉටු කිරීමට දියත් කළ වැඩපිළිවෙළ

‘දෙවි තම කැමැත්ත පරිදි සියල්ල සිදු කරන්නේය.’—එෆීස 1:11.

1. යෙහෝවාගේ සාක්ෂිකරුවන් 2006 අප්‍රියෙල් 12වනදා විශේෂ රැස්වීමක් පවත්වන්නේ ඇයි?

වර්ෂ 2006 අප්‍රියෙල් 12වන බදාදා සවස ලොව පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල මිලියන 16ක පමණ පිරිසක් එකට රැස් වී යේසුස්ගේ මරණය සිහි කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මොවුන් රැස් වන සෑම ස්ථානයකදීම මේසයක් මත මුහුන් නොදැමූ රොටි සහ වයින් තබා තිබෙනවා ඔබ දකීවි. මේවායින් සංකේතවත් වන්නේ යේසුස්ගේ ශරීරය සහ ඔහු වැගිරූ රුධිරයයි. යේසුස්ගේ මරණය සිහි කිරීමේ වැදගත්කම පෙන්වා දෙන කතාවක් ඉදිරිපත් කිරීමෙන් පසු මේ සංකේත අතිනත යවනු ලබනවා. මෙම රොටි අනුභව කරන්නේ හා වයින් පානය කරන්නේ ස්වල්පදෙනෙක් පමණයි. බහුතරය එසේ කරන්නේ නැහැ. මෙයට හේතුව දැනගැනීම සඳහා දෙවි ඔහුගේ අරමුණු ඉටු කරන ආකාරය අපි මුලින්ම සලකා බැලීම අවශ්‍යයි.

2, 3. (අ) දෙවි ඔහුගේ අරමුණට එකඟව මැවීම සිදු කළ ආකාරය විස්තර කරන්න. (ආ) දෙවි පොළොව සහ මිනිසාව මැව්වේ ඇයි?

2 බයිබලයේ පවසන්නේ ‘දෙවි තම කැමැත්ත පරිදි සියල්ල සිදු කරන්නේය’ කියායි. (එෆීස 1:11) මින් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි අරමුණක් ඇතුව ක්‍රියා කරන දෙවි කෙනෙක් බවයි. ඔහු මුලින්ම මැව්වේ ඔහුගේ පුත්‍ර යේසුස්වයි. (යොහන් 1:1, 14; එළිදරව් 3:14) ඉන්පසුව යේසුස් මාර්ගයෙන් දේවදූතයන්වත් පොළොව හා මිනිසා ඇතුළු මුළු විශ්වයත් මැව්වා.—යෝබ් 38:4, 6; ගීතාවලිය 103:19-21; යොහන් 1:2, 3; කොලොස්සි 1:15, 16.

3 දෙවි පොළොව මැව්වේ මිනිසුන්ගේ වාසය සඳහායි. (යෙසායා 45:18; ගීතාවලිය 115:16) දෙවිගේ අරමුණ වුණේ ඔහුට කීකරු මිනිසුන් පොළොව රැකබලා ගනිමින් එය පාරාදීසයක් බවට පත් කරනවා දැකීමයි. ක්‍රිස්තියානි පල්ලිවල උගන්වන ආකාරයට දෙවි පොළොව මැව්වේ මිනිසුන් ස්වර්ගයට යෑමට කලින් වාසය කරන තාවකාලික ස්ථානයක් ලෙස නොවෙයි. දෙවි මුල් මිනිස් යුවළට කිසිදා ස්වර්ගයට යෑමේ බලාපොරොත්තුවක් දී තිබුණේ නැහැ.—උත්පත්ති 1:26-28; 2:7, 8, 15.

කැරලිකාරයෙක් මතු වෙයි

4. මිනිස් ඉතිහාසයේ ආරම්භයේදීම යෙහෝවාගේ පාලනයට විරුද්ධව ඇති වූ කැරැල්ල විස්තර කරන්න.

4 මිනිස් ඉතිහාසයේ ආරම්භයේදීම දෙවි අරමුණු කළ දෙය කඩාකප්පල් කිරීමට එක් දේවදූතයෙක් වෑයම් කළා. මොහු දෙවි දී තිබූ නිදහස වැරදි ලෙස පාවිච්චි කරමින් දෙවිගේ පාලනයට හා අරමුණට විරුද්ධව කැරලි ගැසුවා. මෙහිදී ඒ දේවදූතයා ප්‍රශ්න කළේ දෙවිගේ බලය ගැන නොවෙයි, දෙවි පාලනය කරන විදිහ ගැනයි. ඔහු මුල් මිනිසුන් දෙදෙනාවත් මේ කැරැල්ලට හවුල් කරගත්තා. (උත්පත්ති 3:1-6) මෙහි ප්‍රතිඵලයක් හැටියට දෙවිගේ පාලනයට සතුටින් යටත් වන සියලුදෙනාම භුක්ති විඳි සාමයට හා සමඟියට තර්ජනයක් එල්ල වුණා.

5. දෙවිගේ සේවකයන්ට විරුද්ධව සාතන් කළ චෝදනාව කුමක්ද?

5 සාතන් යෝබ්ගේ කාලයේදී තවත් දෙයක් ගැන ප්‍රශ්න කළා. එනම් මිනිසුන් තමන්ට ලැබෙන වාසි ප්‍රයෝජන තකා යෙහෝවාට සේවය කරන බවට ඔහු චෝදනා කළා. ඔවුන්ට යම් ගැටලු, පීඩා ඇති වුණොත් ඔවුන් දෙවිව අත්හරින බව සාතන් කියා සිටියා. (යෝබ් 1:7-11; 2:4, 5) මෙම චෝදනාව කෙළින්ම එල්ල කළේ යෝබ්ට වුවද මෙයට සියලුම මිනිසුන් මෙන්ම දේවදූතයන්ද සම්බන්ධයි. දෙවිගේ කුලුඳුල් පුත්‍රයා වන යේසුස් පවා මෙයට සම්බන්ධයි.

6. යෙහෝවා ඔහුගේ අරමුණ ඉටු කිරීමට ක්‍රියා කළේ කෙසේද?

6 සාතන් ඇති කළ ප්‍රශ්න යෙහෝවාගේ අරමුණ ඉටු කිරීමට බාධාවක් වූයේ නැහැ. * ඔහු එය විසඳන ආකාරය ගැන මෙසේ පුරෝකථනය කළා. “මම ඔබත් ස්ත්‍රියත් අතරෙහිද ඔබේ වංශයත් ඇගේ වංශයත් අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය ඔබේ හිස පොඩි කරන්නේය; ඔබ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.” (උත්පත්ති 3:15) මෙහි සඳහන් ස්ත්‍රිය වන්නේ යෙහෝවාගේ ස්වර්ගික සංවිධානයයි. සාතන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දීමටත් මනුෂ්‍ය වර්ගයාට ගැලවීම ලබා දීමටත් යෙහෝවා දෙවි යොදාගන්නේ ඇගේ වංශයයි. එනම් එම ස්වර්ගික සංවිධානයෙන් බිහි වන තැනැත්තාවයි.—රෝම 5:21; ගලාති 4:26, 31.

දෙවිගේ අරමුණ හා සම්බන්ධ “පරිශුද්ධ රහස”

7. පාවුල් පැවසූ දෙයට අනුව යෙහෝවාගේ අරමුණට ඇතුළත් වන්නේ කුමක්ද?

7 යෙහෝවා ඔහුගේ අරමුණ ඉටු කිරීමට දියත් කරන වැඩපිළිවෙළ ගැන පාවුල් එෆීස 1:9, 10හි මෙසේ පැහැදිලි කරනවා. “ඔහු තම කැමැත්තේ පරිශුද්ධ රහස අපට දැන්නුවේය. ඔහු එය අරමුණු කළේ තමන් ප්‍රසන්න වූ දේට අනුවය. එම අරමුණ නම්, නියම කරන ලද කාලවල් සම්පූර්ණ වූ විට, පරිපාලනයක් [වැඩපිළිවෙළක්] ඇති කිරීමය. එනම්, ස්වර්ගයේ තිබෙන දේවල් හා පොළොවේ තිබෙන දේවල් යන සියල්ල නැවතත් ක්‍රිස්තුස් තුළ එක්සත් කිරීමය.” යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ අරමුණ වන්නේ ඔහු දියත් කරන වැඩපිළිවෙළ මාර්ගයෙන් ඔහුගේ නාමයට ඇති වී තිබෙන කැළල ඉවත් කර සාතන්ගේ චෝදනා බොරු බව ඔප්පු කිරීමයි. එමෙන්ම ‘ස්වර්ගය මෙන්ම පොළොව’ සඳහා යෙහෝවා මුලින් අරමුණු කළ දෙය ඉටු කිරීමයි.—එළිදරව් 4:11; මතෙව් 6:10.

8. දෙවි ඔහුගේ අරමුණ ඉටු කරන්නේ කෙසේද? ඊට අයත් වන්නේ කුමක්ද?

8 යෙහෝවාට ‘ප්‍රසන්න වූ දෙය,’ එනම් ඔහු අරමුණු කළ දෙය ඉටු වන්නේ “පරිපාලනයක්” මාර්ගයෙනුයි. මෙම පරිපාලනයෙන් කියවෙන්නේ දේවරාජ්‍යය ගැන නොවෙයි. * ඉන් අදහස් වන්නේ යෙහෝවා තම අරමුණ ඉටු කිරීමට දියත් කරන වැඩපිළිවෙළක් ගැනයි. දෙවි සියවස් ගණනාවක් පුරා ක්‍රමානුකූලව හෙළි කළ ‘පරිශුද්ධ රහසක්ද’ එම වැඩපිළිවෙළට අයත් වෙනවා.—එෆීස 1:10; 3:9.

9. යෙහෝවා ඔහුගේ අරමුණ හා සම්බන්ධ පරිශුද්ධ රහස ක්‍රමානුකූලව හෙළි කළේ කෙසේද?

9 යෙහෝවා දෙවි ඒ පරිශුද්ධ රහස ක්‍රමානුකූලව හෙළි කළ ආකාරය අපි දැන් සලකා බලමු. මෙය ඒදන් උයනේදී වංශයක් පිළිබඳව යෙහෝවා දුන් පොරොන්දුව ඉටුවීම හා සම්බන්ධයි. මුලින්ම දෙවි ආබ්‍රහම් සමඟ කළ ගිවිසුමෙන් හෙළි කළේ ස්ත්‍රියගෙන් බිහි වන ප්‍රධාන තැනැත්තා ඔහුගේ පෙළපතින් පැමිණෙන බවයි. මෙම ප්‍රධාන තැනැත්තාට තවත් අය එකතු වන බවත් හෙළි කළා. ඔවුන් සියලුදෙනා මාර්ගයෙන් “පොළොවෙහි සියලු ජාතීහු” ආශීර්වාද ලබාගන්න බවත් හෙළි කළා. (උත්පත්ති 22:17, 18) ඊළඟට දෙවි ඊශ්‍රායෙල් ජාතිය සමඟ නීතිය මාර්ගයෙන් කළ ගිවිසුමෙන් හෙළි කළේ “පූජක රාජ්‍යයක්” බිහි කිරීම තම අරමුණට ඇතුළත් බවයි. (නික්මයාම 19:5, 6) ඉන් සියවස් කිහිපයකට පසුව දාවිත් සමඟ කළ ගිවිසුමෙන් හෙළි වුණේ ඔහුගේ පෙළපතින් පැමිණෙන තැනැත්තා සදහටම රජ කරන බවයි. (2 සාමුවෙල් 7:12, 13; ගීතාවලිය 89:3, 4) ගැලවුම්කරුව හඳුනාගැනීමට මෙම තොරතුරු යුදෙව්වන්ට උපකාරවත් වුණා. (ගලාති 3:19, 24) කල් යත්ම යෙහෝවා ඔහුගේ අරමුණ හා සම්බන්ධ තවත් කාරණා හෙළි කළා. ප්‍රධාන තැනැත්තාට එකතු වන අනිත් අයගෙන් “පූජක රාජ්‍යය” සෑදෙන බවත් ඔවුන් සමඟ “අලුත් ගිවිසුමක්” ඇති කරන බවත් ඔවුන්ගෙන් අලුත් ඊශ්‍රායෙල් ජාතියක් බිහි වන බවත් හෙළි වුණා.—යෙරෙමියා 31:31-34; හෙබ්‍රෙව් 8:7-9. *

10, 11. (අ) පොරොන්දු කරන ලද තැනැත්තා කවුද කියා යෙහෝවා හෙළි කළේ කෙසේද? (ආ) දෙවිගේ පුත්‍ර යේසුස් පොළොවට පැමිණීමෙන් ඉටු වූයේ කුමක්ද?

10 පොරොන්දු කරන ලද ඒ තැනැත්තා නියමිත කාලයේදී පැමිණියා. ඔහු ගැන මරියාට දැනුම් දීමට යෙහෝවා ගාබ්‍රියෙල් නම් දේවදූතයාව යැව්වා. ගාබ්‍රියෙල් ඇයට මෙසේ පැවසුවා. “ඔහු ශ්‍රේෂ්ඨ වන්නේය. ඔහුට මහෝත්තමයාණන්ගේ පුත්‍රයායයි කියනු ලබන්නේය. යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙන්නේය. ඔහු යාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරන්නේය. ඔහුගේ රාජ්‍යය අවසන් නොවන්නේය.” (ලූක් 1:32, 33) මෙසේ පොරොන්දු කරන ලද තැනැත්තා කවුද කියා පැහැදිලි වුණා.—ගලාති 3:16; 4:4.

11 දෙවිගේ පුත්‍ර යේසුස් පොළොවට පැමිණ ගත කළ ජීවිතයෙන් තවත් වැදගත් යමක් හෙළි වුණා. මෙය සාතන් එල්ල කළ චෝදනාව හා සම්බන්ධයි. පාවුල් යේසුස් ගැන මෙසේ පැහැදිලි කරයි. “මේ දේවභක්තියේ පරිශුද්ධ රහස ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨ වූ එකකි: ‘ඔහුව ප්‍රකාශ කරනු ලැබුවේ මිනිසෙකුව සිටියදීය. ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලැබුවේ ආත්මයක්ව සිටියදීය. ඔහු දේවදූතයන්ට පෙනුණේය; ජාතීන් අතරේ දේශනා කරනු ලැබුවේය; ලෝකයෙහි අදහනු ලැබුවේය; තේජාන්විතව ඔසවාගනු ලැබුවේය.’” (1 තිමෝති 3:16) මරණය දක්වා දැඩි පීඩා යටතේ දෙවිට විශ්වාසවන්තව සිටීමෙන් “දේවභක්තියේ පරිශුද්ධ රහස” යේසුස් තුළින් හෙළි වුණා. එමගින් සාතන්ගේ චෝදනාවලටද නියම පිළිතුරක් ලැබුණා. නමුත් පරිශුද්ධ රහසේ තවත් තොරතුරු හෙළිවීමට තිබුණා.

“දෙවිගේ රාජ්‍යයේ පරිශුද්ධ රහස”

12, 13. (අ) ‘දෙවිගේ රාජ්‍යයේ පරිශුද්ධ රහසට’ සම්බන්ධ තවත් දෙයක් විස්තර කරන්න. (ආ) යෙහෝවා ටිකදෙනෙකුව ස්වර්ගයට යෑමට තෝරාගැනීම අලුත් දෙයක් වූයේ මන්ද?

12 යේසුස් ගලීලයේ දේශනා කරද්දී පරිශුද්ධ රහස දේවරාජ්‍යය හා සම්බන්ධ වන බව පැහැදිලි කරමින් ඔහුගේ ගෝලයන්ට මෙසේ පැවසුවා. “ස්වර්ග රාජ්‍යයේ [එනම් “දෙවිගේ රාජ්‍යයේ,” මාක් 4:11] පරිශුද්ධ රහස් තේරුම්ගැනීමේ හැකියාව ඔබට දී ඇත.” (මතෙව් 13:11) ‘කුඩා රැළක්’ වන 1,44,000දෙනෙක් මිනිසුන් අතරින් තෝරාගැනීම මෙම පරිශුද්ධ රහසට අයත් වෙනවා. ඔවුන් ස්වර්ගයට යන්නේ යේසුස් සමඟ පාලනය කිරීමටයි.—ලූක් 12:32; එළිදරව් 14:1, 4.

13 දෙවි මිනිසුන්ව මැව්වේ පොළොවේ ජීවත් වන්නයි. නමුත් යෙහෝවා ටිකදෙනෙකුට ස්වර්ගයට යෑමේ බලාපොරොත්තුවක් දී තිබෙන නිසා ඔවුන්ව දෙවිගේ ‘අලුත් මැවිල්ලක්’ ලෙස හැඳින්විය හැකියි. (2 කොරින්ති 5:17) එම අතිවිශිෂ්ට වරප්‍රසාදය සඳහා තෝරාගත් පුද්ගලයෙකු හැටියට පේතෘස් මෙසේ පැවසුවා. “අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවිද පියාණන්ද වන තැනැත්තාට ආශීර්වාද වේවා! මන්ද යේසුස් ක්‍රිස්තුස්ගේ මළවුන්ගෙන් නැවත නැඟිටීම මාර්ගයෙන් ඔහු සිය මහත් දයාවට අනුව, ජීවමාන බලාපොරොත්තුවක් සඳහා අලුත් උපතක් අපට දුන්නේය. එය, දිරාපත් නොවන, දූෂ්‍ය නොවූ, නොමැලවෙන උරුමයක් සඳහාය. එය ඔබ උදෙසා ස්වර්ගයෙහි තබා තිබේ.”—1 පේතෘස් 1:3, 4.

14. (අ) ‘දෙවිගේ රාජ්‍යයේ පරිශුද්ධ රහසට’ ඊශ්‍රායෙල්වරුන් නොවන අය සම්බන්ධ වූයේ කෙසේද? (ආ) ‘දෙවිගේ මෙම ගැඹුරු දේ’ තේරුම්ගැනීමට අපට හැකි වී තිබෙන්නේ කුමක් නිසාද?

14 පරිශුද්ධ රහස හා සම්බන්ධ තවත් කාරණයක් නම්, යේසුස් සමඟ ස්වර්ගයේ පාලනය කිරීමට තෝරාගන්නා 1,44,000දෙනාට ඊශ්‍රායෙල්වරුන් නොවන අයත් ඇතුළත් වීමයි. පාවුල් ඒ කාරණය පැහැදිලි කරමින් මෙසේ පවසයි. “ආත්මය මාර්ගයෙන් ඔහුගේ ශුද්ධ ප්‍රේරිතයන්ටත් අනාගතවක්තෘවරුන්ටත් දැන් එළිදරව් කර තිබෙන ලෙස, කලින් පරම්පරාවලදී ඒ රහස මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වා තිබුණේ නැත. ඒ රහස නම්, අන්‍යජාතිකයන් ශුභාරංචිය මාර්ගයෙන් ක්‍රිස්තුස් යේසුස් සමඟ එක්සත්ව සිටින හවුල් උරුමක්කාරයන්ද ශරීරයේ සෙසු අවයවයන්ද අප සමඟ පොරොන්දුවේ පංගුකාරයන්ද විය යුතු බවය.” (එෆීස 3:5, 6) මෙහි සඳහන් ආකාරයට පරිශුද්ධ රහසේ මෙම අංගය එදා සිටි “ශුද්ධ ප්‍රේරිතයන්ට” දෙවිගේ බලයෙන් එළිදරව් කළා. අද දිනත් “දෙවිගේ ගැඹුරු දේ” තේරුම්ගැනීමට අපට හැකියාව ලැබෙන්නේ දෙවිගේ බලයෙන් ලැබෙන මඟ පෙන්වීම නිසයි.—1 කොරින්ති 2:10; 4:1; කොලොස්සි 1:26, 27.

15, 16. යේසුස් සමඟ ස්වර්ගයේ පාලනය කිරීමට යෙහෝවා මිනිසුන්ව තෝරාගත්තේ ඇයි?

15 “බැටළු පැටවා” සමඟ ස්වර්ගයේ එනම් “සියොන් කන්ද මත” සිටින ‘එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනාව’ “පොළොවෙන් මිල දී ගනු ලැබූ” අය ලෙස හඳුන්වා තිබෙනවා. මොවුන්ව “මිනිසුන් අතරින්, දෙවි සහ බැටළු පැටවා සඳහා පළමු පල වශයෙන් . . . මිල දී ගන්නා ලදි.” (එළිදරව් 14:1-4) දෙවි ඒදන් උයනේදී දුන් පොරොන්දුව ඉටු කිරීමට තෝරාගත් ප්‍රධාන තැනැත්තා වූයේ ස්වර්ගයෙහි සිටි ඔහුගේ පුත්‍රයෙක් වන යේසුස්. එහෙත් ඔහු යේසුස් සමඟ ස්වර්ගයේ පාලනය කිරීමට මිනිසුන්ව තෝරාගත්තේ ඇයි? පාවුල් පැහැදිලි කරන ආකාරයට එම සීමිත සංඛ්‍යාව ‘කැඳවනු ලැබුවේ දෙවිගේ අරමුණට එකඟවයි.’ වෙනත් වචනවලින් කියනවා නම් එසේ කළේ ‘තම කැමැත්තට අනුව ප්‍රසන්න වූ දේ හා එකඟවයි.’—රෝම 8:17, 28-30; එෆීස 1:5, 11; 2 තිමෝති 1:9.

16 යෙහෝවාගේ අරමුණ වන්නේ ඔහුගේ නාමයට ඇති වී තිබෙන කැළල ඉවත් කර විශ්වය පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා ඔහු බව තහවුරු කිරීමයි. ඔහු දියත් කළ වැඩපිළිවෙළින් ඒ අරමුණ ඉටු වෙනවා. ඊට එකඟව ඔහු තම පුත්‍ර යේසුස්ව පොළොවට එවා මරණය දක්වා දැඩි පීඩාවලට මුහුණ දෙන්න ඉඩහැරියා. මීට අමතරව යේසුස් සමඟ දේවරාජ්‍යයේ පාලනය කිරීම සඳහා ඔහුගේ පාලනයට මරණය දක්වා විශ්වාසවන්තව සිටින මිනිසුන්ව තෝරාගැනීමටත් යෙහෝවා තීරණය කළා.—එෆීස 1:8-12; එළිදරව් 2:10, 11.

17. යේසුස් හා ඔහු සමඟ පාලනයට හවුල් වන අය කලක් මේ පොළොවේ ජීවත් වී තිබීම ගැන අපට සතුටු විය හැක්කේ ඇයි?

17 යෙහෝවා දියත් කළ වැඩපිළිවෙළ ගැන සිතන විට ඔහු ආදම්ගෙන් පැවතෙන සියල්ලන්ට ඉමහත් ප්‍රේමයක් පෙන්වා තිබෙන බව පැහැදිලියි. ඔහුගේ පුත්‍රයාව මේ පොළොවට එව්වෙත්, ස්වර්ගයේ යේසුස් සමඟ පාලනය කිරීමට මනුෂ්‍යයන්ව තෝරාගනු ලැබුවෙත් ඒ වැඩපිළිවෙළට අනුවයි. මෙහි ප්‍රයෝජන ආබෙල්ගේ පටන් යෙහෝවාට විශ්වාසවන්තව සිටින සියලුදෙනාම ලබනවා. ඔවුන් පාපයෙන් හා මරණයෙන් නිදහස් වී සම්පූර්ණ සුවයක් අද්දකිනවා. (රෝම 5:12) මෙහි ප්‍රතිඵලයක් ලෙස දෙවිගේ මුල් අරමුණ සාර්ථකව ඉටු වෙයි. යේසුස් තම ගෝලයන්ට සැලකූ ආකාරය දෙස බලද්දී පොළොවෙහි සදහටම ජීවත් වන අයව පාලනය කරන තැනැත්තා ලෙස ඔහු මිනිසුන්ව තේරුම්ගන්නා කාරුණික රජෙකු වනවාට සැකයක් නැහැ. (මතෙව් 11:28, 29; හෙබ්‍රෙව් 2:17, 18; 4:15; 7:25, 26) මීට අමතරව යේසුස් සමඟ පාලනයට හවුල් වන පුරුෂයන් හා ස්ත්‍රීන් අප හා සමාන දුර්වලකම් තිබෙන, ප්‍රශ්න ගැටලුවලට මුහුණ දී තිබෙන අය වීමත් මහත් සතුටට කාරණයක්.—රෝම 7:21-25.

යෙහෝවා දෙවිගේ අරමුණ ඉටු වෙනවාමයි!

18, 19. පාවුල් එෆීස 1:8-11 දක්වා පැවසූ වදන් අප තේරුම්ගන්නේ කෙසේද? ඊළඟ ලිපියේදී සලකා බලන්නේ කුමක්ද?

18 යෙහෝවා තම අරමුණ ඉටු කිරීම සඳහා ක්‍රියා කරන ආකාරය වඩාත් හොඳින් තේරුම්ගැනීමට අප සලකා බැලූ කාරණා උපකාරවත් වෙනවා. එෆීස 1:8-11 දක්වා වදන්වල අර්ථය අපට දැන් වඩාත් හොඳින් තේරුම්ගත හැකියි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව අමතමින් පාවුල් පැවසුවේ යෙහෝවා “තම කැමැත්තේ පරිශුද්ධ රහස” ඔවුන්ට දැන්වූ බවයි. එනම් ඔවුන්ව ක්‍රිස්තුස් සමඟ ‘උරුමක්කාරයන් ලෙස පත් කර තිබෙන’ බවත් ‘තම කැමැත්ත පරිදි සියල්ල සිදු කරන තැනැත්තාගේ අරමුණට අනුව ඔවුන්ව කලින්ම නියම කර තිබෙන’ බවත් ඔහු ඔවුන්ට පැවසුවා. මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් දෙවි තම අරමුණ ඉටු කිරීමට දියත් කළ ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙළට කෙළින්ම සම්බන්ධයි. යේසුස්ගේ මරණය සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්නේ මොවුනුයි. එසේ සහභාගි වන්නේ ටිකදෙනෙක් පමණක් වීමට හේතුව දැන් අපට පැහැදිලියි.

19 අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම වැදගත් වන ආකාරයත්, පොළොවෙහි සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුවෙන් සිටින මිලියන ගණනක් දෙනා සිහි කිරීමට පැමිණීමේ වැදගත්කම ගැන මහත් උනන්දුවක් දැක්විය යුතු හේතුවත් ඊළඟ ලිපියේදී සලකා බලමු.

[පාදසටහන්වල]

^ 6 ඡේ. යෙහෝවා යන නමේ අර්ථයෙන්ද එවැනි දෙයක් අදහස් වෙනවා. තම අරමුණ ඉටු කිරීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් සිදු කිරීමට ඔහුට හැකියි. දෙවි මෙසේ පවසා තිබෙනවා. “කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වන්නෙමි.”—නික්මයාම 3:14, NW.

^ 8 ඡේ. ශුද්ධ ලියවිල්ලට අනුව දේවරාජ්‍යයේ පාලනය පටන්ගත්තේ 1914දීයි. නමුත් පාවුල් කතා කළ “පරිපාලනය” ක්‍රියාත්මක වුණේ පළමුවන සියවසේ සිටයි.

^ 9 ඡේ. දෙවිගේ අරමුණ හා සම්බන්ධ මෙම ගිවිසුම් ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 1990 පෙබරවාරි 1 මුරටැඹ සඟරාවේ 8-14 දක්වා පිටු බලන්න.

ඔබට මතකද?

• යෙහෝවා පොළොව සහ මිනිසුන්ව මැව්වේ ඇයි?

• යේසුස් පොළොවේ මිනිසෙකු ලෙස මරණය දක්වා දැඩි පීඩාවලට මුහුණ දීම අවශ්‍ය වුණේ ඇයි?

• යේසුස් සමඟ ස්වර්ගයේ පාලනය කිරීමට යෙහෝවා මිනිසුන්ව තෝරාගත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]