Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යේසුස් මතෙව් 5:22හි වැරදි තුනක් ගැන සඳහන් කළා. ඒවා කොතරම් බරපතළද?

යේසුස් කන්ද උඩ දේශනාවේදී ගෝලයන්ට මෙසේ අනතුරු ඇඟෙව්වා. “මම ඔබට මෙසේ කියමි: තම සහෝදරයා සමඟ දිගින් දිගටම කෝපයෙන් සිටින සෑම කෙනෙකුම අධිකරණයට වග කිව යුතුය. සඳහන් කිරීමට තරම්වත් නුසුදුසු අවමන්සහගත වචනයක් භාවිත කර තම සහෝදරයාට කතා කරන ඕනෑම කෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට වග කිව යුතුය. ‘නීච මෝඩයා’ කියා අමතන ඕනෑම කෙනෙක් ගිනිමය ගෙහෙන්නාවට තමන්වම සුදුස්සෙක් කරගන්නේය.”—මතෙව් 5:22.

යුදෙව්වන්ට හුරු පුරුදු වචන වූ අධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය හා ගිනිමය ගෙහෙන්නාව වැනි වචන යේසුස් භාවිත කළේ පාපවල ස්වභාවය අනුව ඔවුන්ට විඳින්න සිදු වන දඬුවම්වල බැරෑරුම්කම පෙන්වා දීමටයි.

මුලින්ම යේසුස් අවධාරණය කළේ කෙනෙක් තමන්ගේ සහෝදරයා සමඟ දිගටම කෝපයෙන් ක්‍රියා කරනවා නම් ඔහු “අධිකරණයට” හෙවත් මන්ත්‍රණ සභාවට ගණන් දිය යුතු බවයි. යුදෙව්වන් මෙම මන්ත්‍රණ සභා සෑම නුවරකම පිහිටුවා තිබූ අතර එහි වැඩිහිටි පුරුෂයන් 120ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් විනිශ්චය කටයුතුවලට හවුල් වුණා. (මතෙව් 10:17; මාක් 13:9) එවැනි මන්ත්‍රණ සභාවල සේවය කළ විනිශ්චයකරුවන්ට සාමාන්‍ය කාරණා මෙන්ම මිනී මැරුම් චෝදනාද විභාග කර තීන්දු දීමට අවසර දී තිබුණා. (ද්විතීය කතාව 16:18; 19:12; 21:1, 2) යේසුස් පෙන්නුම් කළේ කෙනෙක් තමන්ගේ සහෝදරයා කෙරෙහි වෛරයෙන් දැවෙමින් සිටිනවා නම් එය බරපතළ පාපයක් බවයි.

යේසුස් ඊළඟට පැවසුවේ “සඳහන් කිරීමට තරම්වත් නුසුදුසු අවමන්සහගත වචනයක් භාවිත කර තම සහෝදරයාට කතා කරන ඕනෑම කෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට වග කිව යුතු” බවයි. “සඳහන් කිරීමට තරම්වත් නුසුදුසු අවමන්සහගත වචනයක්” ලෙස යොමු දක්වා තිබෙන්නේ ග්‍රීක භාෂාවෙන් රකා යන වචනයටයි. එහි තේරුම මෝඩයා යන්නයි. “ක්‍රිස්තුස්ගේ කාලයේ සිටි යුදෙව්වන් අන් අයට අපහාස කිරීමට එම වචනය භාවිත කළ” බව එක් ග්‍රන්ථයක සඳහන් වෙනවා. (New Thayer’s Greek-English Lexicon of the New Testament) එසේ යේසුස් අනතුරු ඇඟෙව්වේ සෙසු සහෝදරයෙකු කෙරෙහි තිබෙන වෛරය නිසා අවමන්සහගත වචන භාවිත කිරීමේ ඇති බරපතළකම ගැනයි. යේසුස් මෙහිදී විශේෂයෙන්ම පෙන්නුම් කළේ එවැනි අවමන්සහගත වචන භාවිත කරන කෙනෙකුව විනිශ්චය කළ යුත්තේ සාමාන්‍ය අධිකරණයක් මගින් නොව, බරපතළ වරදක් කරන කෙනෙකුව ඉදිරිපත් කළ යුතු වූ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් බවයි. සැන්හෙඩ්‍රිනය හෙවත් යුදෙව් මහාධිකරණය කියාද හැඳින්වූ එම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය කටයුතු මෙහෙයවනු ලැබුවේ උත්තම පූජකයා ඇතුළු වැඩිමහල්ලන් 70දෙනෙක් සහ ලියන්නන් විසිනුයි.—මාක් 15:1.

කෙනෙක් තව කෙනෙකුට ‘නීච මෝඩයා’ කියා ආමන්ත්‍රණය කරනවා නම් ඔහුව ගිනිමය ගෙහෙන්නාවට හෙළිය යුතුයි කියා යේසුස් අවසානයේදී පැවසුවා. “ගෙහෙන්නාව” යන වචනය රැගෙන තිබෙන්නේ හෙබ්‍රෙව් භාෂාවෙන් ගෙ හින්නොම් යන වචනයෙන් වන අතර එහි අර්ථය “හින්නොම්ගේ නිම්නය” යන්නයි. මෙම හින්නොම්ගේ නිම්නය යෙරුසලමට බස්නාහිරින් හා දකුණු දෙසින් පිහිටා තිබුණා. යේසුස්ගේ කාලයේදී කුණු කසළ දවා දැමීමට පමණක් නොව ගෞරවාන්විත ලෙස භූමදානය කිරීමට වටින්නේ නැතැයි කියා සැලකූ අපරාධකරුවන්ගේ මළකඳන් පවා දැමුවේ මේ හින්නොම්ගේ නිම්නයේයි. එමනිසා සම්පූර්ණ විනාශයක් ගැන විස්තර කිරීමට “ගෙහෙන්නාව” යන වචනය භාවිත කිරීම සුදුසුයි.

“නීච මෝඩයා” යන යෙදුමෙන් අදහස් කළේ කුමක්ද? මෙහිදී භාවිත කළ වචනය හෙබ්‍රෙව් භාෂාවෙන් “කැරලිකාරකම” සඳහා භාවිත කළ වචනයට සමානයි. ඉන් කියාපෑවේ කිසිම සදාචාරයක් නැති, දෙවිගේ ඉගැන්වීම්වලට හා දෙවිට විරුද්ධ වෙන කෙනෙකුව විස්තර කිරීමටයි. එහෙමනම් කෙනෙක් තමන්ගේ සහෝදරයාට “නීච මෝඩයා” කියා පවසනවා නම් ඔහු ඉන් අදහස් කරන්නේ මේ සහෝදරයා දෙවිට විරුද්ධව කැරලිගසන නිසා ඔහුට සදාකාල විනාශය අත් විය යුතුයි කියායි. නමුත් දෙවි සලකන ආකාරයට සදාකාල විනාශය නමැති දඬුවම ලැබීමට වටින්නේ එසේ තම සහෝදරයාව දැඩි සේ හෙළා දකින තැනැත්තායි.—ද්විතීය කතාව 19:17-19.

එදා මිනිසුන්ගේ මතය වූයේ මිනී මරුවෙක් “අධිකරණයට වග කිව යුතුය” යන්නයි. මෝසෙස්ගේ නීතියට අනුව මිනී මැරීම බරපතළ පාපයක් වුණා. ඒත් යේසුස් පෙන්නුම් කළේ කෙනෙක් යම් කෙනෙක් කෙරෙහි දිගටම වෛරයෙන් සිටිනවා නම් එය මිනී මැරීමකට සමාන බවයි. මෙහිදී යේසුස් තම අනුගාමිකයන්ට මෝසෙස්ගේ නීතියේ සඳහන් දෙයට වඩා උසස් ප්‍රතිපත්තියක් පෙන්වා දුන්නා. එමෙන්ම යේසුස් තම අනුගාමිකයන්ට කාවැද්දුවේ තම සහෝදරයන්ට වෛර නොකළ යුතු බවයි.—මතෙව් 5:21, 22.