Skip to content

පටුනට යන්න

බයිබලයේ පිළිගත් ග්‍රන්ථ සමූහය තහවුරු කෙරේ

බයිබලයේ පිළිගත් ග්‍රන්ථ සමූහය තහවුරු කෙරේ

බයිබලයේ පිළිගත් ග්‍රන්ථ සමූහය තහවුරු කෙරේ

එක් පොතක පැරණි ලියවිල්ලක් ගැන මෙසේ සඳහන් වෙනවා. “එහි සෑම පේළියක්ම ලියා තිබෙන්නේ ක්‍රිස්තියානි යුගය ගැන උනන්දුව දක්වන කාගෙත් කුතුහලය අවුස්සන ආකාරයෙනුයි.” මෙලෙස විස්තර කර තිබෙන ඒ පැරණි ලියවිල්ල කුමක්ද කියා ඔබට සිතන්න පුළුවන්ද?

ඒ ලියවිල්ල වන්නේ මූරාතෝරි ලියවිල්ලයි. සමහරවිට ඔබ මේ ලියවිල්ල ගැන අසා තිබෙන්න හෝ නොතිබෙන්න පුළුවන්. කොහොමවුණත් ‘මූරාතෝරි ලියවිල්ලේ තිබෙන විශේෂත්වය කුමක්ද?’ කියා ඔබ කල්පනා කරනවා විය හැකියි. මෙය ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලට අයත් පොත්, බයිබලයේ පිළිගත් ග්‍රන්ථ සමූහයට අයත් බව තහවුරු කිරීමට තිබෙන පැරණිතම ලියවිල්ලයි.

බයිබලයේ අඩංගු සමහර පොත් ගැන ඔබ කිසිම සැකයකින් තොරව පිළිගන්නවා වෙන්න පුළුවන්. එහෙත් බයිබලයේ පිළිගත් ග්‍රන්ථ සමූහයට ඇතුළත් කළ යුත්තේ කුමන පොත්ද කියන කාරණය ගැන කාලයකට ඉහතදී ඇතමුන්ට යම් ප්‍රශ්න ඇති වී තිබුණා. දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියනු ලැබූ ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලට අයත් පොත්වල ලැයිස්තුවක් මූරාතෝරි ලියවිල්ලේ සඳහන් වෙනවා. ඔබත් පිළිගන්නා ආකාරයට හරියටම බයිබලයේ අඩංගු විය යුත්තේ කුමන පොත්ද යන කාරණයට මහත් වැදගත්කමක් තිබෙනවා. මේ නිසා වර්තමානයේ ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ල සකස් වී තිබෙන පොත් සම්බන්ධයෙන් මූරාතෝරි ලියවිල්ලෙන් අනාවරණය වී තිබෙන්නේ කුමක්ද කියා සලකා බැලීමට ඔබත් කැමති ඇති. මුලින්ම අපි ඒ ලියවිල්ලේ ඉතිහාසය ගැන තොරතුරු ටිකක් සලකා බලමු.

එය සොයාගත් ආකාරය

මූරාතෝරි ලියවිල්ල කියන්නේ පදම් කළ සත්ව හම්වලින් සාදන ලද පිටු 76කින් සමන්විත ලියවිල්ලකටයි. එහි එක් පිටුවක දිග සෙන්ටිමීටර 27ක් වන අතර පළල සෙන්ටිමීටර 17ක් වෙනවා. මෙම ලියවිල්ල ඉතාලියේ මිලාන් නුවරේ පිහිටි ඇම්බ්‍රෝසියානු පුස්තකාලයේ තිබී සොයාගත්තේ ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වූ ලූඩොවිකෝ අන්තෝනියෝ මූරාතෝරි (1672-1750) නමැත්තා විසිනුයි. මූරාතෝරි ඔහුගේ මේ සොයාගැනීම ගැන 1740දී හෙළි කළා. එය මූරාතෝරි ලියවිල්ල කියා හඳුන්වනු ලබනවා. මෙම ලියවිල්ල අටවන සියවසේදී උතුරු ඉතාලියේ චිටෙන්සා අසල පිහිටි බොබියෝහි පැරණි ආරාමයක සිට පිටපත් කර තිබෙන බව පෙනෙන්න තිබෙනවා. මෙය ඇම්බ්‍රෝසියානු පුස්තකාලයට ගෙනැවිත් තිබෙන්නේ 17වන සියවස ආරම්භයේදීයි.

මූරාතෝරි ලියවිල්ලේ 10වන හා 11වන පිටුවල පේළි 85ක් දැකිය හැකියි. මෙය ලියා තිබෙන්නේ ලතින් භාෂාවෙන්. මෙහි පිටපත්කරු එතරම් දක්ෂ කෙනෙක් නොවන බවයි පෙනෙන්න තිබෙන්නේ. එහෙත් 11වන හා 12වන සියවස්වලදී සකස් කරන ලද අත්පිටපත් සමඟ එය සැසඳීමෙන් ඔහු අතින් සිදු වී තිබෙන වැරදි හඳුනාගැනීමට හැකි වී තිබෙනවා.

එය මුලින්ම ලිව්වේ කවදාද?

මූරාතෝරි ලියවිල්ලේ සඳහන් තොරතුරු මුලින්ම ලිව්වේ කවදාද කියා ඔබ සිතිය හැකියි. ලතින් භාෂාවට පරිවර්තනය කරන ලද මූරාතෝරි ලියවිල්ලේ මුල්ම පිටපත ග්‍රීක භාෂාවෙන් ලිව්වේ එම ලියවිල්ල සොයාගැනීමට සියවස් ගණනාවකට පෙරයි. මෙය මුලින්ම ලියූ කාලය සොයාගැනීමට උපකාරවත් වන දෙයක් ගැන අපි දැන් සලකා බලමු. බයිබලයේ පිළිගත් ග්‍රන්ථවලට අයත් නැති ෂෙපර්ඩ් කියා හඳුන්වා තිබෙන පොතක් ගැනත්, හර්මස් නමැත්තා එය “ඉතා මෑතකදී රෝමයේ සිට” ලියූ බවත් මූරාතෝරි ලියවිල්ලේ සඳහන් වෙනවා. හර්මස් නමැත්තා ෂෙපර්ඩ් නමැති ලියවිල්ල ලියා අවසන් කර තිබෙන්නේ ක්‍රි.ව. 140 සහ 155 අතර කාලයේදී බව බයිබල් විශාරදයන් පවසනවා. මේ අනුව ලතින් භාෂාවට පිටපත් කරන ලද මූරාතෝරි ලියවිල්ල මුලින්ම ග්‍රීක භාෂාවෙන් ලියනු ලැබුවේ ක්‍රි.ව. 170ත් 200ත් අතර කාලයේදී බව නිගමනය කළ හැකියි.

මෙම ලියවිල්ලේ ඍජුව හා වක්‍රව රෝමය ගැන සඳහන් වන නිසා එය රෝමයේ සිට සම්පාදනය කරන්න ඇතැයි කියා සිතිය හැකියි. එහෙත් මෙහි ලේඛකයා කවුරුන්ද කියා හරියටම හඳුනාගෙන නැහැ. ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට්, සාදිස්හි මෙලිටෝ හා එෆීසයේ ෆොලික්‍රෙටස් යන තිදෙනාගෙන් කෙනෙක් එහි ලේඛකයා විය හැකියි කියා සිතනවා. කෙසේවෙතත් විශාරදයන් බොහෝදෙනෙක් මෙහි ලේඛකයා හැටියට සලකන්නේ ග්‍රීක භාෂාවෙන් පොත් රාශියක් ලියා තිබෙන ලේඛකයෙකු වන හිපොලිටස් නමැත්තාවයි. මොහු ජීවත් වූයේ මූරාතෝරි ලියවිල්ල සකස් කළ කාලයේදීයි. ඔබ වැඩි උනන්දුවක් දක්වන්නේ මෙහි ලේඛකයාට වඩා එහි සඳහන් දේවල් ගැනත් මෙහි තිබෙන විශේෂත්වය ගැනත් දැනගන්න විය හැකියි.

මෙහි සඳහන් දෑ

මෙහි සඳහන් වන්නේ ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිලිවලට අයත් පොත්වල ලැයිස්තුවක් පමණක්ම නොවෙයි. එම පොත් ගැනත් එහි ලේඛකයන් ගැනත් යම් විස්තර එහි සඳහන් වෙනවා. මෙහි මුල් පේළි දකින්න නැති බවත් එය එකපාරටම අවසන් වී තිබෙන බවත් ඔබට මෙම ලියවිල්ල කියවන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ දකීවි. මෙහි ආරම්භයේ සඳහන් වන්නේ ලූක්ගේ සුවිශේෂය ගැනයි. එමෙන්ම මෙම පොතේ ලේඛකයා වෛද්‍යවරයෙක් බවත් එම ලියවිල්ලේ සඳහන් වෙනවා. (කොලොස්සි 4:14) ලූක්ගේ පොත තුන්වන සුවිශේෂය ලෙස එහි සඳහන් කර තිබෙන නිසා දැනට දකින්න නැති මුල්ම පේළිවල සඳහන්ව තිබෙන්න ඇත්තේ මතෙව් සහ මාක්ගේ සුවිශේෂ ගැනයි කියා නිගමනය කළ හැකියි. ඔබේ නිගමනයත් මෙය නම් මූරාතෝරි ලියවිල්ලේ සඳහන් වන පරිදි හතරවන සුවිශේෂය වන්නේ යොහන්ගේ සුවිශේෂයයි.

යේසුස්ගේ මුල් ගෝලයන් කළ දේවල් ගැන සඳහන් ක්‍රියා පොත ලූක් ලියා තිබෙන්නේ “අතිඋත්තම තෙයොෆිලස්” වෙනුවෙන් බවට බයිබලයේ සඳහන් දෙය මූරාතෝරි ලියවිල්ල මගින් තහවුරු කරයි. (ලූක් 1:3; ක්‍රියා 1:1) ඉන් අනතුරුව මෙහි සඳහන් වන්නේ පාවුල් කොරින්තිවරුන්ට (ලිපි දෙකයි), එෆීසවරුන්ට, ෆිලිප්පිවරුන්ට, කොලොස්සිවරුන්ට, ගලාතිවරුන්ට, තෙසලෝනිකවරුන්ට (ලිපි දෙකයි), රෝමවරුන්ට, ෆිලෙමොන්ට, තීතස්ට සහ තිමෝතිට (ලිපි දෙකයි) ලියූ ලිපිවල ලැයිස්තුවක්. යූද් ලියූ ලිපිය සහ යොහන් ලියූ ලිපි දෙකද දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියන ලද පොත් ලෙස සලකා තිබෙනවා. යොහන් ලියූ මුල්ම ලිපිය ඔහුගේ ශුභාරංචි පොතට සම්බන්ධ කර තිබෙනවා. දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියන ලද පොත්වල ලැයිස්තුව අවසන් කර තිබෙන්නේ එළිදරව් පොත ගැන සඳහන් කිරීමත් සමඟයි.

පේතෘස් විසින් ලියන ලදැයි කියන එළිදරව්වක් ගැන සඳහන් වීම මෙහි විශේෂත්වයක්. එහෙත් එම එළිදරව්ව ක්‍රිස්තියානීන් විසින් නොකියවිය යුතුයි කියා සමහරුන් සිතන බව එහි සඳහන් වෙනවා. මූරාතෝරි ලියවිල්ලේ ලේඛකයා ඔහුගේ කාලයේ බෙදාහරිමින් තිබූ ව්‍යාජ ලියවිලි ගැන අනතුරු ඇඟවීමක් කරනවා. “මී පැණිවලට තිත්ත මුසු නොකළ යුතු වන්නාක් මෙන්” එම ලියවිලි දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියන ලද පොත් ලෙස නොපිළිගත යුතුයි කියාද මූරාතෝරි ලියවිල්ලේ සඳහන් වෙනවා. ශුද්ධ ලියවිලිවලට ඇතුළත් නොකළ යුතු තවත් පොත් ගැනත් එහි සඳහන් වෙනවා. හර්මස් නමැත්තා ලියූ ෂෙපර්ඩ් කියා හඳුන්වන පොතත් එවැනි පොතක්. මේවා ශුද්ධ ලියවිල්ලට ඇතුළත් නොකිරීමට හේතුව යේසුස්ගේ මුල් ගෝලයන් මිය ගිය පසුව ඒවා ලියා තිබෙන නිසයි. එමෙන්ම එම පොත් ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට විරුද්ධ මතවලට සහය පළ කරන නිසයි.

මූරාතෝරි ලියවිල්ලේ සඳහන් බයිබලයේ පොත් ලැයිස්තුවේ හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද ලිපියත්, පේතෘස්ගේ ලිපි දෙකත් යාකොබ්ගේ ලිපියත් ගැන සඳහන් වන්නේ නැහැ. කෙසේවෙතත් මෙම ලියවිල්ල පිටපත් කළ තැනැත්තා කළ කාර්යය ගැන ආචාර්ය ජෙෆ්රි මාක් හාන්මන් කළ මෙම නිරීක්ෂණය සැලකිල්ලට ගැනීම වටිනවා. “දැන් දක්නට නැති වෙනත් තොරතුරු මෙම ලියවිල්ලේ සඳහන් වී තිබෙන්න ඇතැයි කියා නිගමනය කිරීම සාධාරණයි. ඒ තොරතුරු අතර යාකොබ්ගේ ලිපිය, හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද ලිපිය (හා පළමුවන පේතෘස් ලිපිය) ගැන සඳහන් වී තිබෙන්න ඇති.”—The Muratorian Fragment and the Development of the Canon.

වර්තමානයේ ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිලිවලට අයත් පොත්වලින් බොහොමයක් දෙවන සියවසේදී බයිබලයේ පිළිගත් ග්‍රන්ථ සමූහයට අයත් වූ බව මූරාතෝරි ලියවිල්ලෙන් තහවුරු වෙනවා. දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියනු ලැබූ බයිබලයේ පොත් ලැයිස්තුවට ඇතුළත් විය යුතු පොත් මොනවාද කියා තීරණය කරනු ලබන්නේ යම් පැරණි ලියවිල්ලක සඳහන් තොරතුරු මත නොවෙයි. බයිබලයේ අඩංගු වී තිබෙන පොත් දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියනු ලැබූ බවට තිබෙන ප්‍රබලම සාක්ෂිය වන්නේ ඒවායේ සඳහන් තොරතුරුයි. ඒ සෑම පොතකම සඳහන් තොරතුරුවල එකඟතාවක් තිබෙන අතර යෙහෝවා දෙවි මුළු බයිබලයේම කර්තෘ බව එම තොරතුරුවලින් පෙනී යයි. බයිබලයේ අඩංගු පොත් 66 පුරා තිබෙන එකඟතාවයෙන් තහවුරු වන්නේ ඒ සියලුම පොත් අතර කිට්ටු සම්බන්ධයක් තිබෙන බවයි. මේ නිසා අපේ කාලය දක්වා සුරක්ෂිත වී තිබෙන බයිබලයේ අඩංගු සියලුම පොත්වල සඳහන් වන්නේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියා තිබෙන තොරතුරු බව ඔබ පිළිගන්නවා නම් ඔබට බයිබලයෙන් බොහෝ ප්‍රයෝජන ලැබිය හැකි වෙනවා නිසැකයි.—1 තෙසලෝනික 2:13; 2 තිමෝති 3:16, 17.

[13වන පිටුවේ පින්තූරය]

ලූඩොවිකෝ අන්තෝනියෝ මූරාතෝරි

[14වන පිටුවේ පින්තූරය]

ඇම්බ්‍රෝසියානු පුස්තකාලය

[15වන පිටුවේ පින්තූරය]

මූරාතෝරි ලියවිල්ල

[හිමිකම් විස්තර]

Diritti Biblioteca Ambrosiana. Vietata la riproduzione. Aut. No. F 157 / 05

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Fragments: Diritti Biblioteca Ambrosiana. Vietata la riproduzione. Aut. No. F 157 / 05; Muratori, based on line art: © 2005 Brown Brothers