Skip to content

පටුනට යන්න

බොලිවියාවේ පිටිසර ප්‍රදේශවලටත් ශුභාරංචිය පැතිරේ

බොලිවියාවේ පිටිසර ප්‍රදේශවලටත් ශුභාරංචිය පැතිරේ

බොලිවියාවේ පිටිසර ප්‍රදේශවලටත් ශුභාරංචිය පැතිරේ

අපි විසිදෙනෙක් විතර උදෙන්ම ගං ඉවුර ළඟට රැස් වෙලා ඉන්නේ බොලිවියාවේ බෙනී කියන ගඟේ උඩහ පිහිටි ගම්මාන බලා පිටත් වෙන්නයි. ඇන්ඩීස් කඳුවැටියේ පහළින් ගලා එන මේ ගඟ අවට හරිම ලස්සනයි.

අපි මේ ගමන යන්නේ සංචාරකයන් හැටියට නම් නෙමෙයි. අපගෙන් සමහරදෙනෙක් මේ ප්‍රදේශයේම අය. අපගෙන් කිහිපදෙනෙක් බොහෝ දුර පිහිටි නගරවල සිට රූරනාබාකි කියන මේ කුඩා නගරයේ ජීවත් වෙන්න ඇවිත් ඉන්න අයයි. කුඩා වුණත් අලංකාර මේ නගරය ලස්සන මල්වලින්, ගස් වැල්වලින් පිරී තිබෙනවා. මෙහෙ තියෙන ගෙවල්වල වහල සෙවිලි කර තිබෙන්නේ පිදුරුවලින්. මේ කුඩා නගරයේ තිබෙන නිහැඬියාව බිඳෙන්නේ ඉඳ හිට මෝටර් සයිකලයක් යන එන විටදී පමණයි. අපි මේ ගමන යන්නේ ඇයි?

මේ කුඩා නගරයේ සිදු වන්නෙත් බොලිවියාවේ වෙනත් ප්‍රදේශ බොහොමයක සිදු වන දෙයමයි. බොලිවියාවේ ප්‍රධාන නගරවල හා වෙනත් රටවල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඒ රටේ බොහෝ ඈත පිහිටි කුඩා නගරවලට ගොස් දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරනවා.—මතෙව් 24:14.

බොලිවියාව පිහිටා තිබෙන්නේ දකුණු අමෙරිකාවේ මැදට වෙන්නයි. මේ රට ප්‍රංශය මෙන් දෙගුණයක් විශාල වුණත් එහි වාසය කරන්නේ ප්‍රංශයේ ජනගහනයෙන් දහයෙන් එකක් පමණයි. බොලිවියාවේ වැසියන්ගෙන් වැඩිදෙනෙක් ජීවත් වෙන්නේ නගරවල හා පතල් පිහිටි ඉතා උස් කඳුකර ප්‍රදේශවලයි. එසේත් නැත්නම් ගොවිතැන් කළ හැකි තැනිතලා භූමිවලයි. උණුසුම් දේශගුණයක් තිබෙන පහත් බිම්වල විශාල වනාන්තරවලින් වට වූ කුඩා නගර ඈතින් ඈත පිහිටා තිබෙනවා.

වෙනත් රටවල සිට පූර්ණ කාලීන දේවසේවකයන් 1950 ගණන්වලදී හා 1960 ගණන්වලදී බොලිවියාවට පැමිණියා. මේ අය අතර බෙටි ජැක්සන්, එල්සි මයින්බර්ග්, පැමලා මෝස්ලි හා ෂාලට් ටෝමාෂාෆ්ස්කි යන අය පෙරමුණ ගෙන පිටිසර ප්‍රදේශ රාශියකට ගොස් දේශනා කළා. ඔවුන් අවංක සිත් ඇති මිනිසුන්ට බයිබලයේ සඳහන් සත්‍යයන් උගන්වා කුඩා සභාවන් පිහිටුවීමට උපකාර කළා. විශේෂයෙන් නගරවල 1980 හා 1990 දශකවල සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව හය ගුණයකින් වැඩි වුණා. දැන් සෑම නගරයකම පාහේ සභාවන් තිබෙනවා. සභා පිහිටුවා තිබෙන්නේ ඉතා උස කාර්යාල ගොඩනැඟිලි, මහ මන්දිර හා සුපිරි වෙළෙඳ සැල් යනාදිය පිහිටි නගරවල පමණක් නෙමෙයි. මැටි ගෙවල්වල ජීවත් වන, විසිතුරු දේශීය ඇඳුම් අඳින, එළිමහනේ බඩු භාණ්ඩ විකුණන වෙළෙඳුන් දැකිය හැකි පිටිසරබද නගරවලද සභා තිබෙනවා. යෙහෝවා දෙවි ගැන දැනගැනීම සඳහා ඒ නගරවල සිටින තවත් බොහෝදෙනෙකුට උපකාර කිරීම සඳහා කුමක් කළ හැකිද?

ඇතමුන් නගරයේ සැපපහසු ජීවිතය අත්හරියි

පසුගිය දශක දෙක පුරා විශාල පිරිසක් බොලිවියාවේ පතල් පිහිටි ගම්වල සිට නගරවල ජීවත් වීමට පැමිණ තිබෙනවා. යම් අය නගරයේ සිට ගමේ ජීවත් වෙන්න ගියොත් එය අසාමාන්‍ය දෙයක්. ගම් බොහොමයක තිබෙන්නේ එක දුරකථනයක් පමණයි. විදුලිය තිබෙන්නේ දවසකට පැය කිහිපයක් පමණයි. මේ ගම්වල සිටින සාක්ෂිකරුවන් සෙසු සාක්ෂිකරුවන්ව දකින්නේ අවුරුද්දකට වතාවක් පවත්වන දිස්ත්‍රික් සමුළුවලදී පමණයි. සමුළුවලට යන්නත් සෑහෙන මුදලක් වැය වෙනවා. ඒ විතරක් නෙමෙයි, අනතුරු බහුල මේ ගමන හරිම වෙහෙසකරයි. ගමේ පාසැල්වලින් ලබා දෙන්නේ මූලික අධ්‍යාපනය පමණයි. ගම්මානවල මෙවැනි තත්වයක් තිබුණත් නගරවල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් ගම්වල පදිංචියට ගොස් තිබෙන්නේ ඇයි?

ලුයිස් නමැති සාක්ෂිකරුවා මෙසේ පවසනවා. “ලා පාස් නගරයේ රස්සාවක් කරන්න මට අවස්ථාව තිබුණා. ඒත් මගේ දෙමාපියන් මාව හැම තිස්සේම දිරිගැන්නුවේ ගෝලයන් සෑදීමේ කාර්යයේ පූර්ණ කාලීනව හවුල් වෙන්න කියායි. මේ ඉලක්කය ඇතුව මම ඉදි කිරීමේ වැඩ ගැන කෙටි කාලීන පුහුණුවක් ලබාගත්තා. මම රූරනාබාකි නගරයේ නිවාඩුවක් ගත කළ කාලයේදී මම දැක්කා මිනිසුන් ශුභාරංචියට හොඳින් ඇහුම්කන් දෙනවා. එහි සිටියේ සහෝදරයන් ටිකදෙනායි. මට හිතුණා එහෙ පදිංචියට ඇවිත් ඔවුන්ට උපකාර කරන්න. දැන් මම බයිබල් පාඩම් 12ක් පවත්වනවා. දරුවන් හතරදෙනෙක් ඉන්න තරුණ පුරුෂයෙක් හා ඔහුගේ භාර්යාව සමඟ මම පාඩමක් කරනවා. පුරුෂයා හුඟාක් බීමටත් සූදුවටත් ඇබ්බැහි වෙලා හිටියා. ඒත් ඔහු දැන් ඒ නරක පුරුදු අත්හැර දමා තිබෙනවා. ඔහු යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න දේවල් ඔහුගේ මිතුරන්ටත් කියා දෙනවා. හැම පාඩමකටම ඔහු හොඳින් සූදානම් වෙනවා. ඔහුගේ රස්සාව කැළෑවට ගොස් ලී කපන එක. සමහරවිට ඔහුට දවස් තුන හතරක් කැළේ ඉන්න වෙනවා. රැස්වීම් හා පාඩම් අතපසු වෙන එක ගැන ඔහුට දැනෙන්නේ ලොකු දුකක්. ඒ පවුලේ හැමදෙනාම රැස්වීම්වලට එනවා දකිද්දී මම කරපු කැප කිරීම කොච්චර වටිනවාද කියලා මට දැනෙනවා.”

වානා ඇගේ පුතාව තනියම රැකබලා ගන්න අම්මා කෙනෙක්. ඇය මෙසේ පවසනවා. “මම කාලයක් ලා පාස් නගරයේ නිවසක වැඩ කළා. මගේ පුතා පොඩි කාලේ මම ඒ නගරයේ පූර්ණ කාලීන දේවසේවකයෙක් හැටියට සේවය කළා. මම රූරනාබාකි නගරයට ගිය වතාවකදී මට තේරුණා, එහෙ පදිංචියට ගියොත් මට කොච්චර ලොකු සේවයක් කරන්න පුළුවන්ද කියලා. මම පුතාත් එක්ක එහෙ පදිංචියට ගියා. මම ගෙදරක වැඩක් හොයාගත්තා. ඒ නගරය හුඟාක් රස්නෙයි. ඒ වගේම කෘමීන් හරියට ඉන්නවා. මුලදී නම් මේ තත්වය දරාගන්න ටිකක් අමාරු වුණා. ඒත් අපි දැන් අවුරුදු හතක් තිස්සේ මෙහෙ ජීවත් වෙනවා. බයිබල් පාඩම් හුඟාක් පවත්වන්න මට පුළුවන් වෙලා තියෙනවා. ශිෂ්‍යයන් හුඟදෙනෙක් රැස්වීම්වලට එනවා.” ගඟේ ඉහළ කෙළවරේ තියෙන ගම්මානවලට ගොස් දේශනා කරන්න යන අපේ ගමනට වානා සහ ඇගේ පුතාත් එකතු වෙලා ඉන්නවා. දැන් අපි ඒ ගමනට ඔබවත් එකතු කරගන්න කැමතියි.

ගඟේ උඩහට යමු

අපි දැන් ගමන් කරන එන්ජින් බෝට්ටුව ඇදී යන්නේ කඳු අතර තිබෙන කුඩා හිඩැසක් දිගේ ගලා බසින ගඟකයි. ගං ඉවුරේ ගසක සිටින ගිරව් රංචුවක් කෑගසන්නේ හරියට අපේ ගමනට කැමති නැතුවා වගෙයි. උස් කඳුවලින් වේගයෙන් මඩ ගඟට කඩා වැඩෙනවා දකිද්දී අපට දැනෙන්නේ ලොකු බියක්. ඒත් අපේ බෝට්ටුව පදවන්නා දක්ෂ ලෙස බෝට්ටුව පාලනය කරගෙන ඉදිරියට ඇදී යනවා. දැන් වේලාව දහයට විතර ඇති. අපි දැන් කුඩා ගමක් අසල නතර කර ගොඩ බසින විට රූරනාබාකි ඉන්න වැඩිමහල්ලෙක් අපිව හමු වෙන්න ඇවිත්. අපි දේශනා කරන්න යන්න ඕන තැන් එයා දැන් අපිට පෙන්වනවා. එහෙමනම් දැන් අපි යමු මේ ගමේ අයව හමු වෙලා දේශනා කරන්න.

මේ ගමේ අය අපිව ගසක් යට සෙවණකට හෝ උණ බටවලින් සාදා වහලයේ පිදුරු අතුරා තිබෙන ඔවුන්ගේ නිවස්වලට පිළිගන්නේ බොහොම සතුටින්. වැඩි වේලාවක් යන්න කලින් අපිට තරුණ යුවළක් හමු වුණා. මේ දෙන්නා එකතු වෙලා උක් දඬුවලින් යුෂ පෙරනවා. ලොකු පිත්තල භාජනයකට එකතු කරගන්න මේ යුෂවලින් පැණි උණු කරගන්නවා. මේ පැණි නගරයට අරං ගිහිල්ලා විකුණන්න පුළුවන්. මේ යුවළ අපිට ඔවුන්ගේ නිවසට ආරාධනා කර බයිබලය ගැන හුඟාක් ප්‍රශ්න ඇහුවා.

අපි දැන් යන්නේ ගඟේ ඉහළ කෙළවරේ තියෙන තවත් ගම්මානවල දේශනා කරන්නයි. අසනීප හා මරණය නැතිවීම ගැන බයිබලයේ පවසා තිබෙන දේවලට හුඟදෙනෙක් ආසාවෙන් සවන් දෙනවා. (යෙසායා 25:8; 33:24) මේ ගම්වල වෛද්‍ය පහසුකම් හුඟාක් අඩුයි. මේ නිසා හුඟාක් පවුල්වල එක දරුවෙක් හෝ මරණයට පත් වෙලා තියෙනවා. මාළු අල්ලන අයයි ගොවිතැන් කරන අයයි තමන්ට ලැබෙන දෙයින් අමාරුවෙන් ජීවිත ගැටගහ ගන්නවා. මෙහෙ ජීවිතය දුෂ්කරයි. අවදානම් තත්වයන් වැඩියි. මේ නිසා දුප්පත්කම නැති කර දමන ආණ්ඩුවක් ගැන ගීතාවලිය 72වන පරිච්ඡේදයේ සඳහන් දෙවිගේ පොරොන්දුව හුඟදෙනෙකුගේ සිත් ගන්නවා. ඒත් මේ දුෂ්කර ගම්මානවල ඉන්න උනන්දුව දක්වන අය ක්‍රිස්තියානි රැස්වීම්වලට එයි කියා ඔබට හිතන්න පුළුවන්ද? මේ ගැන විවාහක යුවළක් වන එරික් සහ විකීද සිතුවා. මොවුන් දෙදෙනා සාන්ත රෝසා නම් ප්‍රදේශයේ පූර්ණ කාලීන සේවයේ නිරත වී සිටින යුවළක්. අපි දැන් සිටින තැන සිට මේ ප්‍රදේශයට බෝට්ටුවෙන් යන්න නම් පැය තුන හතරක් ගත වෙනවා.

උනන්දුව දක්වන අය රැස්වීම්වලට එයිද?

එරික් සහ විකී අමෙරිකා එක්සත් ජනපදයේ සිට බොලිවියාවට පැමිණියේ මීට අවුරුදු දොළොහකට කලිනුයි. සාන්ත රෝසා නමැති ප්‍රදේශයට ගොස් සේවය කිරීමට සංචාරක අවේක්ෂකයෙක් ඔවුන්ව උනන්දු කළා. ඔවුන් ගිය අලුත් ප්‍රදේශය ගැන විකී මෙසේ විස්තර කරනවා. “මුළු නගරයටම තියෙන්නේ දුරකථන දෙකක් විතරයි. අන්තර්ජාල පහසුකම් නැහැ. වන සතුන් නම් හරියට ඉන්නවා. අපි නගරයෙන් ඈත ප්‍රදේශවලට මෝටර් සයිකලයෙන් යද්දී කිඹුලන්, පැස්බරුන් හා ලොකු සර්පයන් නිතර දකින්න පුළුවන්. ඒත් වැඩියෙන්ම අපේ සිත් ගන්නේ සතුන් නෙමෙයි, මිනිසුන්. දරුවන් හතරදෙනෙක් ඉන්න වකා නම් තරුණ යුවළ එක්ක අපි පාඩම් කරනවා. මේ අය ජීවත් වෙන්නේ නගරයේ සිට කිලෝමීටර් 26ක් දුරින්. මේ පවුලේ පියා බීමට ඇබ්බැහි වෙලා හිටියා. දැන් ඔහු වෙනස්. ඔහු සෑම සතියකම පවුලේ සියලුදෙනාවත් ඔහුගේ නංගිවත් රැගෙන රැස්වීම්වලට එනවා. ඔහු තම භාර්යාවව හා කුඩාම දරුවාව බයිසිකලයේ ඉස්සරහින් හා පස්සෙන් තියාගෙන එනවා. අවුරුදු නවයක පුතෙකුත් අවුරුදු අටක පුතෙකුත් ඔවුන්ට ඉන්නවා. ලොකු පුතා නංගිව තියාගෙන තවත් බයිසිකලයක එනවා. පොඩි පුතා තනියම පොඩි බයිසිකලයක් පැදගෙන එනවා. ඔවුන්ට රාජ්‍ය ශාලාවට එන්න පැය තුනක් විතර යනවා.” යෙහෝවා කෙරෙහි මහත් ප්‍රේමයක් මේ පවුලේ අයට තියෙනවා. සහෝදරයන් සමඟ ඇසුරු කරන්න ලැබෙන සෑම අවස්ථාවකටම පැමිණෙන්න සෑම උත්සාහයක්ම ඔවුන් දරනවා.

මාස 18ක් ඇතුළත සාන්ත රෝසා නගරයේ තුන්දෙනෙක් බව්තීස්ම වුණා. අලුත් රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට 25දෙනෙක් එනවා. බයිබලය පාඩම් කරන්න හුඟදෙනෙක් කැමති වුණත් යෙහෝවාට සේවය කිරීම සඳහා ලොකු බාධාවන් ජයගන්න ඔවුන්ට සිදු වෙලා තියෙනවා.

විවාහ ලියාපදිංචි කිරීමේදී දුෂ්කරතා

වෙනත් රටකින් පැමිණි ඔස්නි සහ ඔහුගේ භාර්යාව වන මරිනා පිටිසර ප්‍රදේශවල සේවය කරනවා. මේ නගරය පිහිටා තිබෙන්නේ බොලිවියාව හා බ්‍රසීලය වෙන් කරන දේශ සීමාව අසලයි. එහි සිටින හුඟදෙනෙක් විවාහය දිගු කාලීන බැඳීමක් හැටියට සලකන්නේ නැහැ. ඒ නගරයේ වැසියන් කලින් කලට විවිධ අයත් එක්ක එකට ජීවත් වෙනවා. මේ ගැන ඔස්නි මෙසේ පවසනවා. “උනන්දුව දක්වන අය සත්‍යය තුළ ලබන වර්ධනයට එය ලොකු බාධාවක්. සාක්ෂිකරුවෙක් වීම සඳහා ඔවුන් කළ යුතු දේවල් එතරම් ලෙහෙසි නැහැ. ඒ වගේම සමහර වෙනස්කම් කරන්න සෑහෙන මුදලක්ද වැය කරන්න වෙනවා. කලින් ඇති කරගත් සම්බන්ධයන් සාමකාමීව විසඳාගෙන, නීත්‍යනුකූලව එක් කෙනෙකු සමඟ විවාහ වීමට සමහරුන්ට සිදු වෙනවා. කෙසේවෙතත් විවාහය ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව දේවවචනයේ පෙන්වා දී තිබෙන නිසා සමහරුන් විවාහය නීත්‍යනුකූල කිරීම සඳහා වැය වෙන මුදල උපයාගැනීමට වෙහෙස වී වැඩ කර තිබෙනවා.”—රෝම 13:1, 2; හෙබ්‍රෙව් 13:4.

නොබර්ටෝගේ අද්දැකීම මරිනා මෙසේ විස්තර කරනවා. “ඔහු ස්ත්‍රීන් කිහිපදෙනෙක් එක්ක එකට ජීවත් වුණ කෙනෙක්. ඔහු අන්තිමට ජීවත් වුණේ පාන් සාදා විකුණන ස්ත්‍රියක් සමඟයි. මේ ස්ත්‍රිය ඔහුට වඩා අවුරුදු 35ක් විතර බාලයි. ඇයට සිටිය පුතාව නොබර්ටෝ ඔහුගේ දරුවෙකු මෙන් හදා වඩා ගත්තා. මේ දරුවා ලොකු මහත් වෙන විට තමන් ඔහුට හොඳ ආදර්ශයක් වෙන්න ඕනෙ කියා නොබර්ටෝ සිතුවා. අවුරුදු 70කට වඩා වයස වූ ඔහුට අකුරු කියවන්න බැහැ. ඒත් සාක්ෂිකරුවෙක් ඔවුන්ගේ බේකරියට ඇවිත් බයිබලය පාඩම් කරන්න කැමතිද කියා ඇසූ විට ඔහු එයට කැමති වුණා. යෙහෝවා දෙවිට කැප වෙලා සේවය කරන්න අවශ්‍ය සුදුසුකම් ගැන නොබර්ටෝ සහ ඔහුත් එක්ක ජීවත් වෙන ස්ත්‍රිය ඉගෙනගත්තාට පස්සේ ඔවුන් විවාහය ලියාපදිංචි කළා. පසුව ඔවුන් දෙදෙනා බව්තීස්ම වුණා. නොබර්ටෝ බලාපොරොත්තු වුණ විදිහට ඒ පවුලේ පිරිමි දරුවාද හොඳ ක්‍රිස්තියානියෙකු හැටියට ඇති දැඩි වී තිබෙනවා. නොබර්ටෝ කියවන්න ඉගෙනගත්තා. දැන් ඔහු රැස්වීම්වල කතාත් දෙනවා. මහලු වයස නිසා දුර්වල සෞඛ්‍ය තත්වයක සිටියත් ඔහු උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වෙනවා.”

යෙහෝවාගේ බලයෙන් ශක්තිමත් වී

යේසුස් ඔහුගේ මුල් අනුගාමිකයන්ට මෙසේ පැවසුවා. “ඔබ මතට ශුද්ධාත්මය පැමිණි විට ඔබට බලය ලැබෙනවා ඇත. එවිට ඔබ . . . පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද මා ගැන සාක්ෂිකරුවෝ වන්නහුය.” (ක්‍රියා 1:8) දෙවිගේ මඟ පෙන්වීම නිසා ඈත කෙළවරවල පිහිටි ස්ථානවල සේවය කිරීම සඳහා පෙලඹවීමක් ක්‍රිස්තියානි පුරුෂයන් හා ස්ත්‍රීන් තුළ ඇතිවීම මොන තරම් දිරිගන්වනසුලුද! විශේෂ පුරෝගාමීන් හැටියට බොලිවියාවේ පිටිසර ප්‍රදේශවල ටික කාලයක් සේවය කිරීම සඳහා යෑමට 30දෙනෙක් පමණ 2004දී ඉදිරිපත් වුණා. වෙනත් රටවලින් 180දෙනෙක් පමණ බොලිවියාට පැමිණ සේවය කරනවා. මොවුන් පුරෝගාමීන්, චාරිකා අවේක්ෂකයන්, බෙතෙල් සේවකයන් හැටියට සේවය කරමින් තබා තිබෙන ආදර්ශය එරට සාක්ෂිකරුවන් හුඟාක් අගය කරනවා. බොලිවියාවේ සිටින ප්‍රචාරකයන් 17,000දෙනා බයිබල් පාඩම් 22,000ක් පමණ පවත්වනවා.

මේ වගේ සේවයක් කරගෙන යෑම සඳහා ශක්තිය ලැබෙන්නේ දෙවිගෙන් බව දැන සිටීමෙන් ඒ සියලුදෙනාම මහත් ප්‍රීතියක් ලබනවා. වෙනත් රටක සිට බොලිවියාවට පැමිණි රොබට් සහ ඔහුගේ භාර්යාව වන කැති පිටිසර ප්‍රදේශයක පිහිටි කාමිරි නම් නගරයේ සේවය කිරීමට ගියා. ගඟක් අසල පිහිටි මේ නගරය වනාන්තරවලින් වැසී ඇති කුඩා කඳු වැටිවලින් වට වී තිබෙන නිසා වෙනත් ප්‍රදේශවල අයට මෙහෙට එන්න ලෙහෙසි වුණේ නැහැ. “අපි ආවේ අවශ්‍ය වේලාවට. මේ ප්‍රදේශයේ අවුරුදු දෙකක් ඇතුළත 40දෙනෙක් ප්‍රචාරකයන් වෙලා තියෙනවා” කියා රොබට් පවසනවා.

සූදුවට මෙන්ම බීමට ඇබ්බැහි වූවෙක් ශුභාරංචිය පිළිගනියි

බයිබලය ගැන ඉගෙනගන්න අය යහපත් පුද්ගලයන් බවට පත්වීම නගරයේ ජීවත් වෙන බොහෝදෙනෙකුගේ සිතට කා වැදී තිබෙනවා. මේ අද්දැකීම සිදු වුණේ දැනට අවුරුදු හතරකට විතර කලිනුයි. දවසක් ඇරිල් හොඳටම බීලා ඇඳේ නිදාගෙන සිටියා. සූදුවට ඇබ්බැහි වී සිටිය ඔහු කා අතරත් ප්‍රසිද්ධයි. අධික ණය බර ගැනත්, විවාහයේ ගැටලු හා තමන් හරියට බලා නොගන්න දුවලා ගැනත් ඔහු හුඟාක් කල්පනා කරන්න පටන්ගත්තා. මේ අතරේදී ගෙයින් ගෙට යමින් සිටිය යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ඔහුව හමුවීමට නිවසට පැමිණියා. ඒ සාක්ෂිකරුවා බයිබලයෙන් කියා දුන් දේවලට ඔහු උනන්දුවෙන් සවන් දුන්නා. සන්තෝෂවත් පවුල් ජීවිතයක් ගත කරන ආකාරය ගැනත් පාරාදීස පොළොව ගැනත් දෙවිට සේවය කිරීම ගැනත් තොරතුරු තිබෙන පොත් පත් සඟරා ඔහු ආශාවෙන් කියවන්න පටන්ගත්තා. පසුව ඔහු බයිබලය පාඩම් කරන්න කැමති වුණා.

රොබට් සහ කැති කාමිරි නගරයට පැමිණි කාලය වන විට ඇරිල්ගේ භාර්යාව වන ආමින්ඩාත් බයිබලය පාඩම් කරමින් සිටියා. ඒත් මහත් උනන්දුවකින් නෙමෙයි ඇය පාඩම් කළේ. ඇය මෙසේ පවසනවා. “එයාගේ බීමත්කම නතර කරන්න මට පුළුවන් හැම දෙයක්ම මම කරනවා. ඒත් මට ඒක කරන්න පුළුවන්ද කියන එක ගැන නම් මට සැකයි. එයා ගැන බලාපොරොත්තු තියාගන්න බැහැ.” කොහොමවුණත් ඇය බයිබලය පාඩම් කිරීමෙන් ඇය සිතුවාටත් වඩා උනන්දුව දනවන කාරණා ඉගෙනගත්තා. අවුරුද්දක් ඇතුළත ඇය බව්තීස්ම වී ඇගේ පවුලේ අයටත් සාක්ෂි දරන්න පටන්ගත්තා. වැඩි කාලයක් යන්න කලින් ඇගේ නෑදෑයන් කිහිපදෙනෙක්ද බව්තීස්ම වුණා.

ඇරිල්ට මත්පැන් පානය, දුම්පානය හා සූදුව නතර කරන එක සෑහෙන්න අමාරු වුණා. ඔහු යේසුස්ගේ මරණය සිහි කිරීමට ඔහුගේ සියලුම හිත මිත්‍රයන්ට ආරාධනා කළ අවස්ථාව ඔහුගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් වුණා. ඔහු මෙවැනි තීරණයක් ගෙන තිබුණා. “සිහි කිරීමට එන්නේ නැති අයත් එක්ක මම කිසිම ආශ්‍රයක් කරන්නේ නැහැ. එන අයත් එක්ක මම බයිබලය පාඩම් කරනවා.” මේ විදිහට ඔහු බයිබල් පාඩම් තුනක් පටන්ගත්තා. ඔහු බව්තීස්ම වෙන්න කලින් ඉඳලම ඔහුගේ නෑදෑයෙක් එක්ක පාඩම් කළා. ඔවුන් දෙදෙනාම බව්තීස්ම වුණේ එකම දවසේයි. ආමින්ඩා මෙසේ පවසනවා. “මේ ඉන්නේ කලින් හිටිය ඇරිල්ද කියලා කියන්න බැරි තරමට ඔහු දැන් වෙනස් කෙනෙක්.”

රොබට් මෙසේ වාර්තා කරනවා. “ඇරිල්ගේ පවුලේ අයගෙන් 24දෙනෙක් දිගටම රැස්වීම්වලට එනවා. ඔවුන්ගෙන් දහදෙනෙක් බව්තීස්ම වෙලා. අටදෙනෙක් බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් හැටියට සේවය කරනවා. මේ අයගේ යහපත් හැසිරීම දැකපු සමහරුන් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා විතරක් නෙවෙයි රැස්වීම්වලටත් එනවා. අපේ සභාවේ රැස්වීම්වලට පැමිණීම 100 සිට 190 දක්වා වැඩි වෙලා තියෙනවා. කැතියි මමයි බයිබල් පාඩම් 30ක් විතර පවත්වනවා. අපි පාඩම් කරන හැම කෙනෙක්ම රැස්වීම්වලට එනවා. මෙහෙ සේවය කරන්න ලැබීම ගැන අපි හුඟාක් සතුටු වෙනවා.”

ඉදිරියේදී පැමිණීමට නියමිත මහත් පීඩාවෙන් ගැලවීම සඳහා ‘ස්වාමීන්ගේ දවසේදී’ මහත් පිරිසක් එක් රැස් කරන බවට එළිදරව් 7වන පරිච්ඡේදයේ පුරෝකථනය කර තිබෙන දෙය අද ලොව පුරාම ඉටු වෙනවා. බොලිවියාවේ පිටිසර ප්‍රදේශවල සිදු කරනු ලබන දේශනා සේවයද එම අනාවැකියේ ඉටුවීමක් ලෙස සැලකිය හැකියි. (එළිදරව් 1:10; 7:9-14) මිනිස් ඉතිහාසයේ මින් කවරදාකවත් සිදු නොවූ ලෙස සියලු ජාතීන්ට අයත් මිලියන ගණනක් දෙනා මේ කාලයේදී එකම සැබෑ දෙවිට නමස්කාර කරනවා දැකිය හැකියි. දෙවිගේ පොරොන්දුවල ඉටුවීම අත ළඟ බවට එය මොන තරම් ප්‍රබල සාක්ෂියක්ද!

[9වන පිටුවේ පින්තූරය]

බෙටි ජැක්සන්

[9වන පිටුවේ පින්තූරය]

එල්සි මයින්බර්ග්

[9වන පිටුවේ පින්තූරය]

පැමලා මෝස්ලි

[9වන පිටුවේ පින්තූරය]

දකුණු කෙළවරේ, ෂාලට් ටෝමාෂාෆ්ස්කි

[10වන පිටුවේ පින්තූරය]

දේවසේවකයන් වැඩියෙන් අවශ්‍ය කරන ප්‍රදේශයකට පැමිණි එරික් සහ විකී

[10වන පිටුවේ පින්තූරය]

වකා පවුලේ අය සෑම සතියකම රැස්වීම්වලට එන්නේ පැය තුනක් බයිසිකල් පැදගෙනයි

[11වන පිටුවේ පින්තූරය]

බෙනී ගඟ අසල වාසය කරන ගම්වැසියන් ශුභාරංචියට හොඳින් සවන් දෙනවා

[12වන පිටුවේ පින්තූරය]

වෙනත් රටකින් පැමිණි රොබට් සහ කැති කාමිරිහි දේශනා සේවය කරනවා