Skip to content

පටුනට යන්න

වඩ වඩා ආලෝකවත් වන මාර්ගයේ ගමන් කරමු

වඩ වඩා ආලෝකවත් වන මාර්ගයේ ගමන් කරමු

වඩ වඩා ආලෝකවත් වන මාර්ගයේ ගමන් කරමු

“ධර්මිෂ්ඨයන්ගේ මාවත සම්පූර්ණ දවාල දක්වා වඩ වඩා බබළන දීප්තිමත් ආලෝකය මෙන්ය.”—හිතෝපදේශ 4:18.

1, 2. යෙහෝවා ඔහුගේ සෙනඟට ආලෝකය වඩ වඩා සැපයීම නිසා ඔවුන් අද්දකින්නේ කුමක්ද?

ආලෝකයේ උල්පත යෙහෝවා දෙවියි. එමනිසා ආලෝකය ගැන ඔහු තරම් හොඳින් දන්න වෙන කිසිවෙක් නැහැ. (ගීතාවලිය 36:9) ‘අලුයම් ආලෝකය පොළෝ සීමා දක්වා පැතිර යද්දී මුද්‍රාව යට තබන ලද මැටි මෙන් එය වෙනස් වෙයි’ කියා දෙවි පවසනවා. (යෝබ් 38:12-14) මැටි පිඩක් මත යම් මුද්‍රාවක් තැබූ විට එහි සඳහන් අකුරු හෝ රූපය පැහැදිලිව දැකගන්න පුළුවන්. ඒ හා සමානව අලුයම් හිරු ආලෝකය පොළොව මත ක්‍රමානුකූලව වැටෙද්දී එහි තිබෙන දේවල් පැහැදිලිව දැකගන්න පුළුවන්.

2 යෙහෝවා දෙවි තවත් ආකාරයේ ආලෝකයකද උල්පතක් වෙනවා. (ගීතාවලිය 43:3) දෙවි පිළිබඳ දැනුම අතින් බලද්දී දෙවිගෙන් ඈත් වූ මිනිසුන් සිටින්නේ ඝන අන්ධකාරයකයි. එහෙත් දෙවි ඔහුගේ සෙනඟට සත්‍යය පිළිබඳ ආලෝකය වඩ වඩා සපයනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට දෙවිගේ සෙනඟ අද්දකින දේ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “ධර්මිෂ්ඨයන්ගේ මාවත සම්පූර්ණ දවාල දක්වා වඩ වඩා බබළන දීප්තිමත් ආලෝකය මෙන්ය.” (හිතෝපදේශ 4:18) මෙසේ යෙහෝවා ඔහුගේ සෙනඟ ගමන් කරන මාවත ක්‍රමානුකූලව ආලෝකවත් කරන විට සංවිධානයේ ක්‍රියාකාරිත්වයේ හා ඉගැන්වීම්වල මෙන්ම සදාචාර ප්‍රමිතිවලද සකස් කිරීම් සිදු වෙයි. දැන් අපි මේ පැති තුන ගැන සලකා බලමු.

සංවිධානයේ ක්‍රියාකාරිත්වයේ සකස් කිරීම්

3. යෙසායා 60:17හි පුරෝකථනය කර තිබෙන්නේ කුමක්ද?

3 අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් යෙහෝවා මෙසේ පුරෝකථනය කළා. “මම පිත්තල වෙනුවට රන්ද යකඩ වෙනුවට රිදීද ලී වෙනුවට පිත්තලද ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි.” (යෙසායා 60:17) බාල ද්‍රව්‍ය වෙනුවට උසස් ද්‍රව්‍ය ගෙන ඒමෙන් අදහස් කරන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානයේ ක්‍රියාකාරිත්වයේ යම් සකස් කිරීම් නිසා ඔවුන් අද්දකින දියුණුවයි. මෙම සකස් කිරීම් “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” හෙවත් “අන්තිම දවස්” පුරාම ඔවුන් අද්දැක තිබෙනවා.—මතෙව් 24:3; 2 තිමෝති 3:1.

4. වර්ෂ 1919දී සිදු කළ වෙනස කුමක්ද? එයින් ලැබූ ප්‍රයෝජනය කුමක්ද?

4 මුල් කාලයේදී බයිබල් ශිෂ්‍යයන් කියා හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සේවය කිරීමට වැඩිමහල්ලන්ව හා උපස්ථායකයන්ව තෝරා පත් කළේ ඡන්දයක් විමසීමෙනුයි. මෙසේ පත් වූ ඇතැම් වැඩිමහල්ලන් දේවසේවයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. තවත් සමහරුන් දේවසේවයේ හවුල් වීමට අකමැති වුණා විතරක් නෙමෙයි, අනිත් අයවත් අධෛර්යය කළා. වර්ෂ 1919දී සෑම සභාවකටම සේවා අධ්‍යක්ෂකයෙකුව පත් කළා. මොහුව පත් කළේ සභාවේ ඡන්දයෙන් නෙමෙයි, සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය මගිනුයි. දේශනා සේවය සංවිධානය කිරීම, බලප්‍රදේශ පැවරීම හා දේවසේවයේ හවුල් වීමට අනිත් අයව උනන්දු කිරීම ඔහුගේ වගකීම්වලට ඇතුළත් වුණා. මෙහි ප්‍රතිඵලයක් හැටියට 1919න් පසු සේවය සඳහා මහත් උද්‍යෝගයක් දකින්න තිබුණා.

5. එක්දහස් නවසිය විසි ගණන්වලදී සිදු වූයේ කුමක්ද?

5 වර්ෂ 1922දී අමෙරිකාවේ ඔහයෝ සීඩාර් පොයින්ට් නුවරේ පවත්වන ලද සමුළුවේදී “රජු සහ ඔහුගේ රාජ්‍යය ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න” කියා පවසමින් කළ උනන්දු කිරීම සභාවල සියලුදෙනාටම මහත් දිරිගැන්වීමක් වුණා. වර්ෂ 1927 පටන් ඉරිදා දවස ගෙයින් ගෙට සේවයේ හවුල් වීම සඳහා හොඳම දවස ලෙස සැලකුවා. මීට හේතුව ඉරිදා දවසේදී බොහෝදෙනෙකුව නිවෙස්වලදී හමු විය හැකි නිසයි. ඒ හා සමානව අද දින සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද මිනිසුන් බොහෝවිට නිවෙස්වල සිටින සති අන්ත හා සවස් කාලයේදී සේවයේ යෑමට සැලසුම් කරනවා.

6. වර්ෂ 1931දී යෙහෝවාගේ සෙනඟ ගත් සම්මුතිය කුමක්ද? එය දේශනා සේවයට බලපෑවේ කොහොමද?

6 වර්ෂ 1931 ජූලි 26වනදා අමෙරිකාවේ ඔහයෝහි කොලම්බස් නගරයේ පවත්වන ලද සමුළුවේදී, ඉරිදා සවස දේශනා සේවයේ හවුල් වීම සඳහා මහත් දිරිගැන්වීමක් ලැබුණා. මුලින්ම එහිදීද පසුව ලොව පුරා යෙහෝවාගේ සෙනඟ අතරද දේශනා සේවය සම්බන්ධයෙන් ගත් සම්මුතියේ මෙසේ සඳහන් වෙනවා. “යෙහෝවා දෙවිගේ නාමය දරන සේවකයන් හැටියට ඔහුට සේවය කිරීමටත් ඔහුගේ ආඥාවලට කීකරු වීමටත් කැමැත්තෙමු. යෙහෝවා දෙවි එකම සැබෑ දෙවි මෙන්ම සර්වබලධාරී දෙවි බව මිනිසුන්ට ප්‍රකාශ කිරීමටත් යේසුස් ගැන සාක්ෂි දැරීමටත් අපි කැමැත්තෙමු. මේ නිසා ස්වාමි වූ දෙවි දී තිබෙන නාමය අපි සතුටින් වැලඳගන්නෙමු. අපිව යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියා හඳුන්වනවාට අපි කැමැත්තෙමු.” (යෙසායා 43:10) එම නාමය දරන සෙනඟගේ ප්‍රධාන කාර්යය එම නමින් හොඳින් පැහැදිලි වෙනවා. යෙහෝවා තම සියලුම සේවකයන් හවුල් වන එම කාර්යය කලින්ම සැලසුම් කර තිබුණා. මේ සම්මුතිය සියලුදෙනාම පාහේ සතුටින් පිළිගත්තා.

7. වර්ෂ 1932දී සිදු කළ වෙනස කුමක්ද? එවන් වෙනසක් කළේ ඇයි?

7 බොහෝ වැඩිමහල්ලන් දේශනා සේවයේ ක්‍රියාශීලීව හවුල් වුණා. කෙසේවෙතත් සමහර සභාවල සිටි ඡන්දයෙන් පත් වූ වැඩිමහල්ලන් සභාවේ සෑම කෙනෙක්ම දේශනා සේවයේ හවුල් විය යුතුයි යන අදහසට විරුද්ධ වුණා. එහෙත් යම් සකස් කිරීම් සිදුවීමට නියමිතව තිබුණා. වැඩිමහල්ලන්ව සහ උපස්ථායකයන්ව ඡන්දයෙන් පත් නොකිරීමට 1932දී සභාවලට මුරටැඹ සඟරාව මාර්ගයෙන් උපදෙස් ලැබුණා. ඉන්පසුව, දේශනා සේවයේ හවුල් වන ශක්තිමත් ඇදහිල්ලක් තිබෙන පුරුෂයන්ගෙන් සමන්විත සේවා කමිටුවක් ඡන්දයෙන් තෝරා පත් කරගනු ලැබුවා. මේ ආකාරයට සභාවල අධීක්ෂණ කාර්යයන් බාර දෙනු ලැබුවේ උද්‍යෝගයෙන් සේවයේ හවුල් වන අයටයි. මේ නිසා දේශනා සේවය හොඳින් කෙරීගෙන ගියා.

ආලෝකය වැඩි වෙත්ම තවත් සකස් කිරීම්

8. වර්ෂ 1938දී කළ සකස් කිරීම කුමක්ද?

8 ආලෝකය ‘වඩ වඩා දීප්තිමත්’ වෙමින් තිබුණා. වර්ෂ 1938දී ඡන්දයෙන් කරන පත් කිරීම් සියල්ලම සම්පූර්ණයෙන්ම නතර කළා. ඉන්පසු සභාවේ වගකීම් දරන අය හැටියට පත් කළේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් සුදුසුකම් සපුරාලන අයවයි. මෙම පත් කිරීම් සිදු කරනු ලබන්නේ ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාගේ’ අධීක්ෂණය යටතේයි. (මතෙව් 24:45-47) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සෑම කෙනෙක්ම පාහේ එම සකස් කිරීම එකහෙළා පිළිගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට දේශනා සේවයේ කටයුතු සාර්ථකව ඉදිරියට ඇදී ගියා.

9. වර්ෂ 1972දී කළ සකස් කිරීම කුමක්ද? එය ප්‍රයෝජනවත් වී තිබෙන්නේ කෙසේද?

9 වර්ෂ 1972 ඔක්තෝබර් 1වනදා පටන් තවත් සකස් කිරීමක් සිදු වුණා. කලින් එක් අවේක්ෂකයෙක් විසින් සභාවේ වැඩකටයුතු අධීක්ෂණය කළ නමුත් එම අවුරුද්දේ සිට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සෑම සභාවකම වැඩකටයුතු අධීක්ෂණය කරනු ලැබුවේ වැඩිමහල් මණ්ඩලයක් විසිනුයි. මෙම අලුත් වැඩපිළිවෙළ මගින් සභාවේ වගකීම් දැරීම සඳහා සුදුසුකම් අත් කරගැනීමට අද්දැකීම් ලත් පුරුෂයන්ට පෙලඹීමක් ඇති කළා. (1 තිමෝති 3:1-7) එහි ප්‍රතිඵලයක් හැටියට සභාවේ වගකීම් ඉසිලීම සම්බන්ධයෙන් අද්දැකීම් ලබාගැනීමට බොහෝ සහෝදරයන්ට හැකි වී තිබෙනවා. බයිබලයේ සඳහන් සත්‍යය පිළිගෙන තිබෙන නවකයන්ට නිසි මඟ පෙන්වීම සැපයීමේදී එඬේරුන් ලෙස ඔවුන් කරන සේවය බොහෝ සේ ප්‍රයෝජනවත් වී තිබෙනවා.

10. වර්ෂ 1976දී ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ කුමක්ද?

10 වර්ෂ 1976 ජනවාරි 1වනදා පටන් පාලක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සමන්විත කමිටු හයක් පිහිටුවනු ලැබුවා. ලොව පුරා සභාවල සියලුම කටයුතු අධීක්ෂණය කරනු ලබන්නේ එම කමිටු මගිනුයි. එම සියලුම කටයුතු ‘මන්ත්‍රීන් [උපදේශකයන්] සමූහයක්’ යටතේ සිදුවීම බොහෝ සේ ප්‍රයෝජනදායක වී තිබෙනවා.—හිතෝපදේශ 15:22; 24:6.

11. වර්ෂ 1992දී සිදු කළ සකස් කිරීම කුමක්ද? එසේ කළේ ඇයි?

11 තවත් සකස් කිරීමක් 1992දී සිදු වුණා. මෙය පුරාණ ඊශ්‍රායෙල්වරුන් බැබිලෝනියෙන් නිදහස ලබා යෙරුසලමට පැමිණි කාලයේදී සිදු වූ දෙයකට සමානයි. ඒ කාලයේදී දේවමාලිගාවේ සේවය කිරීම සඳහා අවශ්‍ය තරම් ලෙවීවරුන් සිටියේ නැහැ. මේ නිසා ඔවුන්ට උපකාර කිරීම සඳහා ඊශ්‍රායෙල් ජාතිකයන් නොවන නෙතිනිම්වරුන්ව යොදාගත්තා. මේ හා සමානව විශ්වාසවන්ත නුවණ ඇති දාස පන්තියට උපකාර කිරීම සඳහා 1992 පටන් ‘වෙනත් බැටළුවන්ට’ අයත් අයගෙන් සමහරදෙනෙකුට අමතර වගකීම් දෙනු ලැබුවා. ලෝක ව්‍යාප්ත සේවයේ කටයුතු වර්ධනය වීම නිසා මොවුන්ව පාලක මණ්ඩලය යටතේ තිබෙන කමිටුවලට උපකාර කිරීම සඳහා පත් කර තිබෙනවා.—යොහන් 10:16.

12. යෙහෝවා සමාදානය අපේ මුලාදෑනීන් ලෙස පත් කිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

12 මේ සෑම සකස් කිරීමකම ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද? ‘මම සමාදානය නුඹේ මුලාදෑනීන් ලෙසද ධර්මිෂ්ඨකම නුඹේ ආණ්ඩුකාරයන් ලෙසද වෙන්ට සලස්වන්නෙමි’ කියා දේවවචනයේ සඳහන් වෙනවා. (යෙසායා 60:17, පැරණි අනුවාදය) යෙහෝවාගේ සෙනඟ අතර “සමාදනය” දැකිය හැකියි. දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කිරීමේ හා මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යය ඉටු කිරීම සඳහා ඔවුන් හොඳින් සංවිධානය වී සිටින්නේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. (මතෙව් 24:14; 28:19, 20) ඒ වගේම ‘ධර්මිෂ්ඨකමට’ ඔවුන් දක්වන ඇල්ම, ‘ආණ්ඩුකාරයෙක්’ මෙන් ක්‍රියා කරමින් දෙවිට සේවය කිරීම සඳහා ඔවුන් තුළ පෙලඹීමක් ඇති කරයි.

ඉගැන්වීම් තවදුරටත් පැහැදිලි කෙරේ

13. ඇතැම් ඉගැන්වීම් වඩාත් හොඳින් තේරුම්ගැනීමට යෙහෝවා තම සෙනඟට 1920 ගණන්වලදී උපකාර කළේ කොහොමද?

13 බයිබලයේ ඉගැන්වීම් සම්බන්ධයෙන් තම සෙනඟ අවබෝධ කරගෙන තිබෙන කාරණා තවදුරටත් පැහැදිලි කර දීමෙන්ද යෙහෝවා තම සෙනඟගේ මාවත ආලෝකවත් කරනවා. උදාහරණයක් ලෙස එළිදරව් 12:1-9හි පැහැදිලි කිරීම සලකා බලමු. මෙම වගන්තිවල සඳහන් ගැබිනි ‘ස්ත්‍රියගෙන්’ ‘මකරාගෙන්’ හා ඇය බිහි කරන ‘පුතාගෙන්’ සංකේතවත් වන්නේ කුමක්ද කියා 1925 මාර්තු 1 වොච්ටවර් කලාපයේ “ජාතියේ උපත” නමැති ලිපියේ පැහැදිලි කළා. එම ලිපිය දෙවිගේ සෙනඟට දේවරාජ්‍යයේ උපත සම්බන්ධයෙන් අනාවැකි වඩාත් පැහැදිලිව තේරුම්ගැනීමට උපකාරවත් වුණා. ඒ වගේම තිබෙන්නේ සංවිධාන දෙකක් පමණක් බවත් ඔවුන් තේරුම්ගත්තා. ඒ සංවිධාන දෙක වන්නේ යෙහෝවාගේ සංවිධානය සහ සාතන්ගේ සංවිධානයයි. වර්ෂ 1927/28දී නත්තල හා උපන් දින උත්සව පැවැත්වීම ශුද්ධ ලියවිල්ලේ සඳහන් ඉගැන්වීම්වලට පටහැනි බව තේරුම්ගත් දෙවිගේ සේවකයන් ඒවා සැමරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටියා.

14. එක්දහස් නවසිය තිස් ගණන්වලදී තේරුම්ගත් කාරණා මොනවාද?

14 එක්දහස් නවසිය තිස් ගණන්වලදී තවත් කාරණා තුනක් පිළිබඳ සත්‍යය තේරුම්ගැනීමට දෙවිගේ සෙනඟට හැකි වුණා. එළිදරව් 7:9-17හි සඳහන් “මහත් සමූහය,” යේසුස් සමඟ ස්වර්ගයේ රජවරුන් හා පූජකයන් ලෙස පාලනය කරන 1,44,000දෙනාට වඩා වෙනස් බව අවුරුදු කිහිපයක සිට ඔවුන් දැන සිටියා. (එළිදරව් 5:9, 10; 14:1-5) කෙසේවෙතත් මහත් සමූහයට තිබෙන බලාපොරොත්තුව ගැන පැහැදිලි අවබෝධයක් ඔවුන්ට තිබුණේ නැහැ. ආලෝකය වැඩි වන විට යම් දෙයක් පැහැදිලිව දැකගන්න හැකි වෙනවා වගේ මහත් සමූහය කියන්නේ ‘මහත් පීඩාවෙන්’ බේරී පොළොවේ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව තිබෙන කණ්ඩායමක් බව ඔවුන් 1935දී තේරුම්ගත්තා. එමෙන්ම ඒ අවුරුද්දේම අගභාගයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාසැල් යන දරුවන්ට බලපාන දෙයක් ගැන පැහැදිලි කිරීමක් සිදු කළා. රට ජාතිය ගැන තිබෙන හැඟීම් ලොව පුරා උත්සන්නව තිබූ කාලයකදී ජාතික කොඩියට ආචාර කිරීම නිකම්ම චාරිත්‍රයකට වඩා වැඩි දෙයක් අදහස් කරන බව සාක්ෂිකරුවන් තේරුම්ගත්තා. ඒ වගේම යේසුස් මිය ගියේ කුරුසයක් මත නොව වධ කණුවක් මත බව ඔවුන් 1936දී තේරුම්ගත්තා.—ක්‍රියා 10:39.

15. රුධිරය සම්බන්ධයෙන් ඔවුන්ගේ අවබෝධය වැඩි වුණේ කවදා සිටද? කෙසේද?

15 දෙවන ලෝක මහ යුද්ධය අවසන් වීමත් සමඟම බහුල වශයෙන් සිදු කරන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස තුවාල වූ සොල්දාදුවන්ට රුධිරය ශරීරගත කළා. මේ කාලයේදී රුධිරය ශුද්ධ දෙයක් ලෙස සැලකීම ගැන දෙවිගේ සෙනඟගේ අවබෝධය තවත් වැඩි වුණා. “රුධිරය ශුද්ධ දෙයක් ලෙස සලකා එයට ගරු කිරීමටත් ඒ සම්බන්ධයෙන් දෙවි දී තිබෙන නීතිවලට කීකරු වීමටත් යෙහෝවා පොරොන්දු කර තිබෙන පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔහුගේ සියලුම නමස්කාරකයන්ට” දිරිගැන්වීමක් 1945 ජූලි 1 වොච්ටවර් සඟරාවේ සපයා තිබුණා.

16. ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය මුදාහැරියේ කවදාද? එහි තිබෙන විශේෂ ලක්ෂණ දෙකක් සඳහන් කරන්න.

16 බයිබලය පිළිබඳව විශාරදයන් සොයාගෙන තිබූ අලුත්ම තොරතුරු ප්‍රයෝජනයට ගෙන, බොරු ඉගැන්වීම්වලින් දූෂ්‍ය නොවූ බයිබලයක් පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව 1946දී දෙවිගේ සේවකයන් තේරුම්ගත්තා. වර්ෂ 1947දී එවැනි පරිවර්තනයක් කිරීම සඳහා වැඩකටයුතු සැලසුම් කළා. වර්ෂ 1950දී ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය ඉංග්‍රීසි භාෂාවෙන් මුදාහරිනු ලැබුවා. බයිබලයේ හෙබ්‍රෙව් ලියවිලි කාණ්ඩ පහකින් මුදාහැරීමට අවුරුදු 12ක් ගත වුණා. පළමු කාණ්ඩය 1953දී මුදාහැරිය අතර අවසන් කාණ්ඩය 1960දී මුදාහැරියා. වර්ෂ 1961දී ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය සම්පූර්ණ බයිබලයක් ලෙස මුදාහැරියා. මේ වන විට එය භාෂා කිහිපයකින් මුදාහැර තිබෙනවා. මෙහි විශේෂ ලක්ෂණ කිහිපයක් දැකිය හැකි අතර ඉන් ප්‍රධාන තැනක් ගන්නේ යෙහෝවා යන දෙවිගේ නාමය මුල් පිටපත්වල තිබුණ තැන්වල ඒ විදිහටම සඳහන් කර තිබීමයි. එමෙන්ම එහි මුල් පිටපත්වල තිබෙන අදහස් නිවැරදිව පරිවර්තනය කර තිබෙන නිසා බයිබලයේ සඳහන් ඉගැන්වීම් වඩාත් හොඳින් තේරුම්ගැනීමට එය උපකාරවත් වී තිබෙනවා.

17. වර්ෂ 1962දී තේරුම්ගත් තවත් කාරණයක් කුමක්ද?

17 රෝම 13:1හි සඳහන් “උසස් බලධාරීන්” කවුරුන්ද කියාත් ඔවුන්ට යටත් විය යුත්තේ කොතෙක් දුරටද කියාත් 1962දී පැහැදිලි කරනු ලැබුවා. රෝම 13වන පරිච්ඡේදයත් තීතස් 3:1, 2 සහ 1 පේතෘස් 2:13, 17 වැනි බයිබල් වගන්තිත් ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී පෙනී ගියේ “උසස් බලධාරීන්” කියන්නේ යෙහෝවා දෙවි සහ යේසුස් නොව රජයේ උසස් නිලධාරීන් බවයි.

18. එක්දහස් නවසිය අසූ ගණන්වලදී පැහැදිලි කළේ කුමන දේවල් ගැනද?

18 ඉන්පසු අවුරුදුවලදී ධර්මිෂ්ඨයාගේ මාවත තව තවත් ආලෝකවත් වුණා. “ජීවනය සඳහා” ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කිරීමෙන් සහ දෙවිගේ මිත්‍රයෙකු ලෙස ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද කියා 1985දී පැහැදිලි කරනු ලැබුවා. (රෝම 5:18; යාකොබ් 2:23) වර්ෂ 1987දී ක්‍රිස්තියානි ජුබිලියේ අර්ථය විස්තරාත්මකව පැහැදිලි කළා.

19. මෑත කාලයේදී යෙහෝවා ඔහුගේ සෙනඟට කාරණා අවබෝධ කර තිබෙන්නේ කෙසේද?

19 “එළුවන්ගෙන් බැටළුවන්” වෙන් කිරීම ගැන වඩාත් පැහැදිලි අවබෝධයක් ලැබුණේ 1995දීයි. එසකියෙල් දුටු දේවමාලිගාව පිළිබඳ දර්ශනය ගැන විස්තරාත්මකව 1998දී පැහැදිලි කළා. එම දර්ශනයෙන් පැහැදිලි කළ දේවල් අද සත්‍යයක් වී තිබෙනවා. ‘පාළු කිරීම සිදු කරන පිළිකුල ශුද්ධ ස්ථානයක තිබුණේ’ කවදාද හා කෙසේද යන කාරණය 1999දී පැහැදිලි කරනු ලැබුවා. (මතෙව් 24:15, 16; 25:32) වර්ෂ 2002දී “ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද” නමස්කාර කිරීම යන්නෙහි අදහස ගැන තවත් පුළුල්ව පැහැදිලි කළා.—යොහන් 4:24.

20. දෙවි ඔහුගේ සෙනඟව සකස් කර තිබෙන තවත් පැත්තක් කුමක්ද?

20 සංවිධානයේ ක්‍රියාකාරිත්වයේ හා ඉගැන්වීම්වල කළ සකස් කිරීම්වලට අමතරව ක්‍රිස්තියානි හැසිරීම් පිළිබඳවද යම් සකස් කිරීම් කර තිබෙනවා. උදාහරණයක් ලෙස 1973දී දුම්කොළ භාවිතය ‘මාංසය දූෂ්‍ය කරවන’ යමක් ලෙසත් එය බරපතළ වරදක් ලෙසත් සලකනු ලැබුවා. (2 කොරින්ති 7:1) ගිනි අවි භාවිත කිරීම සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය ගැන 1984 පෙබරවාරි 1 මුරටැඹ කලාපයේ පැහැදිලි අවබෝධයක් ලබා දුන්නා. මේවා දෙවි අපගේ කාලයේදී ඔහුගේ සෙනඟගේ මාවත් ආලෝකවත් කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් උදාහරණ කිහිපයක් පමණයි.

වඩ වඩා ආලෝකවත් වන මාර්ගයේ ගමන් කරමු

21. සත්‍ය මාර්ගයේ දිගටම ගමන් කිරීමට නම් අප තුළ තිබිය යුතු ආකල්පය කුමක්ද?

21 “සංවිධානයේ යම් සකස් කිරීමක් කරන විට එය පිළිගැනීම එතරම් පහසු දෙයක් නෙවෙයි” කියා දිගු කාලයක් පුරා සේවය කර තිබෙන වැඩිමහල්ලෙක් පිළිගන්නවා. ඔහු දේවසේවකයෙකු ලෙස අවුරුදු 48ක් සේවය කර තිබෙනවා. මේ කාලය තුළදී ඔහුට සංවිධානයේ කර තිබෙන සකස් කිරීම්වලට හැඩගැහෙන්න උපකාරවත් වී තිබෙන්නේ කුමක්ද? ඔහු මෙසේ පවසනවා. “නිසි ආකල්පයක් ඇතුව සිටීම ඉතා වැදගත්. යම් සකස් කිරීමක් පිළිගැනීමට අකමැති වුණොත් අපට සංවිධානය සමඟ දිගටම ඉදිරියට ගමන් කරන්න බැරි වෙනවා. මට යම් සකස් කිරීමක් පිළිගන්න අමාරුයි කියලා හිතෙන වේලාවට ‘ස්වාමිනි අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයේ වචන ඇත්තේ ඔබ ළඟය’ කියා පේතෘස් යේසුස්ට කියපු වදන් මම සිහි කරනවා. මම මෙහෙමත් හිතනවා. ‘මම සත්‍යය සංවිධානයෙන් ඉවත් වෙලා මේ අන්ධකාර ලෝකයේ කොහේ යන්නද?’ මෙසේ සිතීම දෙවිගේ සංවිධානය සමඟ දිගටම ගමන් කිරීමට මට උපකාරවත් වෙලා තියෙනවා.”—යොහන් 6:68.

22. දෙවි සපයන ආලෝකයෙන් දිගටම ගමන් කිරීමෙන් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

22 දෙවිගෙන් ඈත් වූ මිනිසුන් සිටින තත්වය තද අන්ධකාරයට සමාන කළ හැකියි. යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට ඔහුගේ වචනයේ සඳහන් සත්‍යයන් තේරුම්ගැනීම සඳහා වඩා වඩා ආලෝකය සපයන නිසා එම මිනිසුන් අතරත් දෙවිගේ සෙනඟ අතරත් තිබෙන පරතරය තව තවත් පුළුල් වෙමින් පවතිනවා. දෙවි සපයන ආලෝකයෙන් අපි ප්‍රයෝජන ලබන්නේ කෙසේද? ආලෝකය තිබෙනවා නම්, අන්ධකාර පාරක ගමන් කරද්දී එහි තිබෙන වළවල් දැකගන්න පුළුවන්. නමුත් ආලෝකය තිබුණත් ඒ වළවල් ඉවත් වෙන්නේ නැහැ. ඒ හා සමානව දෙවි ඔහුගේ වචනය ගැන ලබා දෙන අවබෝධය නිසා බොරු වළවල් මඟහැර දිගටම සත්‍ය මාර්ගයේ ගමන් කිරීමට අපට හැකි වෙනවා. එමනිසා ‘අඳුරු තැනක බැබළෙන පහනක්’ හා සමාන යෙහෝවා පුරෝකථනය කර තිබෙන අනාවැකිවලට හොඳ අවධානයක් දෙමු.—2 පේතෘස් 1:19.

ඔබට මතකද?

• යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේ ඔහු තම සංවිධානයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් කර තිබෙන වෙනස්කම් මොනවාද?

• බයිබලයේ ඉගැන්වීම් සම්බන්ධයෙන් දෙවි කර තිබෙන ඇතැම් පැහැදිලි කිරීම් මොනවාද?

• ඔබ සත්‍යයේ සිටින කාලය තුළදී සිදු කර තිබෙන සකස් කිරීම් මොනවාද? ඒවා පිළිගැනීමට ඔබට උපකාරවත් වුණේ මොනවාද?

• ඔබ සත්‍ය මාර්ගයේ දිගටම ගමන් කිරීමට තීරණය කර තිබෙන්නේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[27වන පිටුවේ පින්තූර]

වර්ෂ 1922දී ඔහයෝ සීඩාර් පොයින්ට් නුවරේ පවත්වන ලද සමුළුවේදී දෙවිට සේවය කිරීමට සියලුදෙනාම මහත් දිරිගැන්වීමක් ලැබුවා

[29වන පිටුවේ පින්තූරය]

“ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය” සහෝදර එන්. එච්. නෝර් විසින් 1950දී මුදාහරිනු ලැබුවා

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© 2003 BiblePlaces.com