Skip to content

පටුනට යන්න

ස්වර්ගයේ මෙන්ම පොළොවේ තිබෙන දේවල් එක්සත් කරන අයුරු

ස්වර්ගයේ මෙන්ම පොළොවේ තිබෙන දේවල් එක්සත් කරන අයුරු

ස්වර්ගයේ මෙන්ම පොළොවේ තිබෙන දේවල් එක්සත් කරන අයුරු

‘දෙවි තමන් ප්‍රසන්න වූ දේට අනුව ස්වර්ගයේ තිබෙන දේවල් හා පොළොවේ තිබෙන දේවල් යන සියල්ල නැවතත් ක්‍රිස්තුස් තුළ එක්සත් කරයි.’—එෆීස 1:9, 10.

1. යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ අරමුණ කුමක්ද?

යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨ අරමුණ වන්නේ ස්වර්ගයේ මෙන්ම පොළොව පුරාම සාමය ඇති කිරීමයි. ඔහුව “සමාදානයේ දෙවි” කියා හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. (හෙබ්‍රෙව් 13:20) ඔහුගේ එම අරමුණ ගැන පාවුල් මෙසේ පැවසුවා. ‘දෙවි තමන් ප්‍රසන්න වූ දේට අනුව ස්වර්ගයේ තිබෙන දේවල් හා පොළොවේ තිබෙන දේවල් යන සියල්ල නැවතත් ක්‍රිස්තුස් තුළ එක්සත් කරයි.’ (එෆීස 1:9, 10) මෙහිදී ‘නැවතත් එක්සත් කිරීම’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ ගැන බයිබල් විශාරදයෙක් පැවසුවේ මෙසේයි. ‘ඉන් අදහස් කරන්නේ ස්වර්ගය හා පොළොව පුරාම සාමයක් හා සමඟියක් තිබෙනු ඇති බවයි. එයට බාධා වන කිසිදු බලපෑමක් දැකිය නොහැකියි. මෙම එක්සත්කමට ප්‍රධානතම හේතුව වන්නේ යේසුස්. මෙහි ප්‍රතිඵලයක් හැටියට මරණය හා දුක වේදනාව ඇතුළු පාපයේ සියලුම බලපෑම් පහ වී යයි.’

“ස්වර්ගයේ තිබෙන දේවල්”

2. එක්සත් කළ යුතු ‘ස්වර්ගයේ දේවලට’ අයත් වන්නේ කවුරුන්ද?

2 සැබෑ ක්‍රිස්තියානීන්ට තිබෙන බලාපොරොත්තුව ගැන පේතෘස් මෙසේ සඳහන් කළා. “ඔහුගේ පොරොන්දුවට අනුව, ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් අහසක් හා අලුත් පොළොවක් අපි බලා සිටින්නෙමු.” (2 පේතෘස් 3:13) මෙහි සඳහන් ‘අලුත් අහසින්’ අදහස් කරන්නේ ස්වර්ගයේ සිට පාලනය කරන දෙවිගේ රාජ්‍යයයි. පාවුල් එෆීසවරුන්ට පැවසූ ‘ක්‍රිස්තුස් තුළ එක්සත් කරනු ලබන ස්වර්ගයේ දේවල්’ වන්නේ යේසුස් සමඟ ස්වර්ගයේ සිට පාලනය කිරීම සඳහා තෝරාගෙන තිබෙන මිනිසුන් 1,44,000දෙනායි. (1 පේතෘස් 1:3, 4) මොවුන් ‘පොළොවෙන් මිල දී ගෙන ඇති’ බවත් ‘මිනිසුන් අතරෙන් මිල දී ගෙන ඇති’ බවත් ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා.—එළිදරව් 5:9, 10; 14:3, 4; 2 කොරින්ති 1:21; එෆීස 1:11; 3:6.

3. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් පොළොවේ සිටියදීම ‘ස්වර්ගීය ස්ථානවල ඉඳගෙන සිටිනවා’ කියා පවසා තිබෙන්නේ ඇයි?

3 ස්වර්ගයේ තිබෙන දේවල් හෙවත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ගැන තවත් විස්තර සලකා බලමු. දෙවිගේ බලය ඔවුන් තුළ විශේෂාකාරයෙන් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙවිගේ පුත්‍රයන් බවට පත් වී සිටිනවා. (යොහන් 1:12, 13; 3:5-7) ඔවුන් යෙහෝවාගේ “පුත්‍රයන්” නිසා ඔවුන් යේසුස්ගේ සහෝදරයන්ද වෙනවා. (රෝම 8:15; එෆීස 1:5) ඔවුන් පොළොවේ සිටියදීම ‘ක්‍රිස්තුස් යේසුස් තුළ එකට නැඟිටුවා ස්වර්ගීය ස්ථානවල එකට ඉන්දෙව්වා’ කියා ඔවුන්ගෙන් කෙනෙකු වන පාවුල් පැවසුවා. (එෆීස 1:3; 2:6) ඔවුන් පොළොවේ සිටියදීම එවැනි ගෞරවනීය තත්වයක සිටිනවා කියා සලකන්නේ ස්වර්ගයේ තිබෙන ඔවුන්ගේ ‘උරුමයේ අත්තිකාරමක් වන පොරොන්දු කරන ලද ශුද්ධාත්මයෙන් [එනම් දෙවිගේ බලයෙන්] ඔවුන්ව මුද්‍රා කර තිබෙන’ නිසයි. (එෆීස 1:13, 14; කොලොස්සි 1:5) ක්‍රිස්තුස් තුළ මුලින්ම එක්සත් කළ යුතු දෙවි විසින් කලින් නියම කරන ලද ‘ස්වර්ගයේ තිබෙන දේවලට’ අයත් වන්නේ මොවුනුයි. මොවුන්ව එක්සත් කළ ආකාරය අපි දැන් බලමු.

එක්සත් කිරීම පටන්ගනියි

4. “ස්වර්ගයේ තිබෙන දේවල්” එක්සත් කිරීමට පටන්ගත්තේ කවදාද? එය සිදු වූයේ කෙසේද?

4 “නියම කරන ලද කාලවල්” පැමිණි විට යෙහෝවා ඔහුගේ අරමුණ ඉටු කිරීම සඳහා යොදාගන්න වැඩපිළිවෙළට එකඟව “ස්වර්ගයේ තිබෙන දේවල්” එක්සත් කිරීමට පටන්ගත්තා. (එෆීස 1:10) නියම කරන ලද කාලවල් පටන්ගත්තේ ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදීයි. එදින රැස්ව සිටි යේසුස්ගේ ගෝලයන් වූ ස්ත්‍රීන් හා පුරුෂයන්ට දෙවිගේ බලය විශේෂාකාරයෙන් ලැබුණා. (ක්‍රියා 1:13-15; 2:1-4) මෙම සිදුවීමත් සමඟ අලුත් ගිවිසුම ක්‍රියාත්මක වීමට පටන්ගත් අතර ක්‍රිස්තියානි සභාවේ ආරම්භය සිදු වූයේද එදිනයි. “දෙවිගේ ඊශ්‍රායෙල්” කියා හඳුන්වන අලුත් ජාතියක්ද එදින බිහි වුණා.—ගලාති 6:16; හෙබ්‍රෙව් 9:15; 12:23, 24.

5. ඊශ්‍රායෙල් ජාතිය වෙනුවට අලුත් “ජාතියක්” බිහි කිරීමට දෙවි පියවර ගත්තේ මන්ද?

5 දෙවි මෝසෙස්ට දුන් නීතිය යටතේ සිටි ඊශ්‍රායෙල් ජාතිය ස්වර්ගයේ පාලනය කිරීම සඳහා “පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක්” බිහි කිරීමට අසමත් වුණා. (නික්මයාම 19:5, 6) “දෙවිගේ රාජ්‍යය ඔබෙන් ගෙන, එම රාජ්‍යයෙහි පල උපදවන ජාතියකට දෙනු ලැබේ” කියා යේසුස් යුදෙව් ආගමික නායකයන්ට පැවසුවේ එමනිසයි. (මතෙව් 21:43) ඊශ්‍රායෙල් ජාතිය වෙනුවට තෝරාගත් අලුත් ජාතිය වූයේ අලුත් ගිවිසුමට සම්බන්ධ වී සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්. (හෙබ්‍රෙව් 8:7-13) එම අලුත් ජාතිය සම්බන්ධයෙන් පේතෘස් මෙසේ පැවසුවා. “ඔබ, අන්ධකාරයෙන් සිය විස්මයජනක ආලෝකයට ඔබව කැඳවාගත් තැනැත්තාගේ ‘උතුම් ගතිගුණ ගැන සෑම තැනම ප්‍රකාශ කරන පිණිස, තෝරාගත් ජනතාවක්ද, රාජකීය පූජක පංතියක්ද, ශුද්ධ වූ ජාතියක්ද, දෙවිට අයත් විශේෂ වස්තුවක් ලෙස තෝරාගත් සෙනඟක්ද’ වන්නහුය. වරක් ඔබ සෙනඟක්ව නොසිටියත් දැන් ඔබ දෙවිගේ සෙනඟ වන්නහුය. ඔබ දයාව නොලැබ සිටියහුය. නමුත් දැන් දයාව ලැබ සිටින්නහුය.” (1 පේතෘස් 2:9, 10) මේ අනුව දේවරාජ්‍යයේ හවුල් පාලකයන් වීමේ වරප්‍රසාදය අභිෂේක ලත් ක්‍රිස්තියානීන් 1,44,000දෙනාට ලැබුණා.—එළිදරව් 7:4-8.

රාජ්‍යයක් සඳහා කළ ගිවිසුම

6, 7. යේසුස් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සමඟ ඇති කරගත් විශේෂ ගිවිසුම කුමක්ද? මේ නිසා ඔවුන් භුක්ති විඳින වරප්‍රසාදය කුමක්ද?

6 යේසුස් මිය යන්න කලින් රාත්‍රියේදී ඔහුගේ මරණය සිහි කරන ආකාරය හඳුන්වා දී, ඔහුගේ විශ්වාසවන්ත ගෝලයන්ට මෙසේ පැවසුවා. “මාගේ පරීක්ෂාවලදී මා සමඟ දිගටම සිටියේ ඔබය. මාගේ පියාණන් මා සමඟ ගිවිසුමක් කර තිබෙන්නාක් මෙන්, මම ඔබ සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කරමි. එසේ කරන්නේ ඔබ මාගේ රාජ්‍යයෙහි මාගේ මේසයෙහිදී කන බොන පිණිසත්, සිංහාසන පිට ඉඳ ඊශ්‍රායෙල්හි ගෝත්‍ර දොළොස විනිශ්චය කරන පිණිසත්ය.” (ලූක් 22:28-30) මෙහිදී යේසුස් සඳහන් කළ රාජ්‍යය සඳහා ගිවිසුමට අයත් වන්නේ 1,44,000දෙනායි. යේසුස්ගේ සහෝදරයන් ලෙස සලකනු ලබන මොවුන් ‘මරණය දක්වාම විශ්වාසවන්තව සිට . . . ජයගන්නා’ අයයි.—එළිදරව් 2:10; 3:21.

7 අභිෂේක ලත් ක්‍රිස්තියානීන් පොළොවේ සදාකල් ජීවත් වීමේ ආශාව අත්හැර තිබෙනවා. නමුත් ස්වර්ගයේ සිට යේසුස් සමඟ පාලනයට හවුල් වීමේ වරප්‍රසාදය ඔවුන්ට ලැබෙනවා. එමෙන්ම මිනිසුන්ව විනිශ්චය කිරීමටද ඔවුන් හවුල් වෙනවා. (එළිදරව් 20:4, 6) අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පමණක් අදාළ වන තවත් ශුද්ධ ලියවිලි කිහිපයක් අපි සලකා බලමු. යේසුස්ගේ මරණය සිහි කිරීමේදී “වෙනත් බැටළුවන්” රොටි සහ වයින් නොගන්නේ ඇයි කියා ඒවා සලකා බැලීමේදී අපට පැහැදිලි කරගත හැකියි.—යොහන් 10:16.

8. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් රොටි අනුභව කිරීමෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? (23වන පිටුවේ කොටුව බලන්න.)

8 අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සිහි කිරීමේදී රොටි අනුභව කිරීමෙන් පෙන්නුම් කරන්නේ ක්‍රිස්තුස් හා සමානව දුක් විඳ මරණය පවා අද්දකින්න තමන් කැමති බවයි. උදාහරණයකට ඔවුන්ගෙන් කෙනෙකු වූ පාවුල් පැවසුවේ ‘ක්‍රිස්තුස්ව ලබාගන්න පිණිස’ තමන් ඕනෑම දෙයකට එනම් ‘ක්‍රිස්තුස්ගේ මරණයට සමාන මරණයකට යටත් වීමට’ පවා කැමති බවයි. “එවිට ඔහුවද ඔහුගේ නැවත නැඟිටීමේ බලයද, . . . ඔහු වින්ද වධවල පංගුකාරකමද දැනගැනීමට හැකි” වන බව ඔහු පැවසුවා. (ෆිලිප්පි 3:8, 10) “යේසුස්ව මරණයට පත් කිරීම සඳහා ඔහුට කළ දේවල්ම” විඳින්න බොහෝ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට සිදු වී තිබෙනවා.—2 කොරින්ති 4:10.

9. රොටිවලින් සංකේතවත් කරන්නේ කුමක්ද?

9 යේසුස් සිහි කිරීම පවත්වද්දී රොටි අතිනත යවමින් “මෙය මාගේ ශරීරය නියෝජනය කරන්නේය” කියා පැවසුවා. (මාක් 14:22) රොටිවලින් සංකේතවත් කරන්නේ දරුණු වධ හිංසාවලට ලක්වීමට තිබූ ඔහුගේ ශරීරයයි. මෙම රොටිවලට මුහුන් දමා තිබුණේ නැහැ. ඊට හේතුව බයිබලයට අනුව මුහුන්වලින් පාපය හා දුෂ්ටකම අදහස් කිරීමයි. (මතෙව් 16:4, 11, 12; 1 කොරින්ති 5:6-8) යේසුස් කිසිම පාපයක් නොකළ නිසා ඔහුගේ ශරීරය පූජා කිරීමෙන් පාපයට සරිලන වන්දියක් ගෙවීමට හැකි වුණා. (හෙබ්‍රෙව් 7:26; 1 යොහන් 2:2) මෙයින් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට පමණක් නොව පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව තිබෙන සියලුදෙනාටත් ප්‍රයෝජන ලබාගත හැකියි.—යොහන් 6:51.

10. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ‘ක්‍රිස්තුස්ගේ රුධිරයේ පංගුකාරයන්’ වන්නේ කෙසේද?

10 සිහි කිරීමේදී අභිෂේක ලත් ක්‍රිස්තියානීන් පානය කරන වයින් ගැන පාවුල් මෙසේ පැවසුවා. “අප ආශීර්වාද කරන ආශීර්වාදයේ කුසලානය යනු, ක්‍රිස්තුස්ගේ රුධිරයේ පංගුකාරකමක් නොවේද?” (1 කොරින්ති 10:16) ඔවුන්ට “ක්‍රිස්තුස්ගේ රුධිරයේ පංගුකාරකමක්” තිබෙන්නේ පාපය සඳහා ගෙවන වන්දියට ඔවුන් හවුල් වන නිසා නොවෙයි. මන්ද ඔවුනුත් පව්කාරයන් නිසා ඔවුන්ටද ගැලවීම අවශ්‍යයි. ඔවුන් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තබන නිසා ඔවුන්ගේ පාපවලට සමාව ලැබෙන බවත් ස්වර්ගයේ ජීවත් වීම සඳහා ඔවුන් ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කර ඇති බවත් එයින් අදහස් කරනවා. (රෝම 5:8, 9; තීතස් 3:4-7) ක්‍රිස්තුස් සමඟ පාලනයට හවුල් වන 1,44,000දෙනාව ‘ශුද්ධවන්තයන්’ ලෙස පාපයෙන් පවිත්‍ර කර තිබෙන්නේ යේසුස් වැගිරෙවූ රුධිරය නිසයි. (හෙබ්‍රෙව් 10:29; දානියෙල් 7:18, 27; එෆීස 2:19) යේසුස් ‘සියලු ගෝත්‍රවලින්ද භාෂාවලින්ද ජනයාගෙන්ද ජාතීන්ගෙන්ද වූ මිනිසුන්ව දෙවි උදෙසා මිල දී ගෙන ඔවුන්ව රාජ්‍යයක්ද, අපේ දෙවි සඳහා පූජකයන්ද වීමට සලස්වා පොළොව කෙරෙහි රජකම් කිරීමට නියම කර තිබෙන්නේ’ ඔහු වැගිරෙවූ රුධිරය නිසයි.—එළිදරව් 5:9, 10.

11. වයින් පානය කිරීමෙන් පෙන්වන්නේ කුමක්ද?

11 සිය මරණය සිහි කිරීමේදී යේසුස් වයින් අතිනත යවමින් ඔහුගේ විශ්වාසවන්ත ගෝලයන්ට මෙසේ පැවසුවා. “ඔබ සියල්ලන්ම මෙයින් බොන්න. මන්ද මෙය පව්වලට සමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන ‘ගිවිසුමේ මාගේ රුධිරය’ නියෝජනය කරන්නේය.” (මතෙව් 26:27, 28) අතීතයේදී යෙහෝවා සහ ඊශ්‍රායෙල් ජාතිය අතර නීතිය මාර්ගයෙන් ඇති කරගත් ගිවිසුම වලංගු වූයේ සතුන්ගේ රුධිරය මාර්ගයෙනුයි. ඒ හා සමානව යෙහෝවා සහ අභිෂේක ලත් ක්‍රිස්තියානීන් අතර ඇති කරගත් අලුත් ගිවිසුම වලංගු වන්නේ යේසුස්ගේ රුධිරය මගිනුයි. (නික්මයාම 24:5-8; ලූක් 22:20; හෙබ්‍රෙව් 9:14, 15) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් වයින් පානය කිරීමෙන් පෙන්වන්නේ ඔවුන් එම ගිවිසුමට සම්බන්ධ වන බව සහ එහි ප්‍රයෝජන භුක්ති විඳින බවයි.

12. අභිෂේක ලත් අය ක්‍රිස්තුස්ගේ මරණය තුළට බව්තීස්ම වන ආකාරය පැහැදිලි කරන්න.

12 සිහි කිරීමේදී අභිෂේක ලත් අයට තවත් දෙයක් මතක් කරනු ලබනවා. යේසුස් තම ගෝලයන්ට මෙසේ පැවසුවා. “මා බොන කුසලානෙන් ඔබ බොන්නේමය. මා බව්තීස්ම වන බව්තීස්මයෙන් ඔබව බව්තීස්ම කරනු ලබන්නේමය.” (මාක් 10:38, 39) පාවුල් එය විස්තර කළේ ‘ක්‍රිස්තුස්ගේ මරණය තුළට බව්තීස්ම වීමක්’ ලෙසයි. (රෝම 6:3) මින් අදහස් කරන්නේ යේසුස් මනුෂ්‍යයෙක් ලෙස ජීවත් වීමේ අයිතිය පරිත්‍යාග කළා සේම අභිෂේක ලත් අයද මනුෂ්‍යයන් ලෙස පොළොවේ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව පරිත්‍යාග කරන බවයි. ක්‍රිස්තුස්ගේ මරණය තුළට මෙලෙස බව්තීස්ම වීම සම්පූර්ණ වන්නේ ඔවුන් මරණය දක්වා දෙවිට විශ්වාසවන්තව සිට ‘ක්‍රිස්තුස් සමඟ රජකම් කිරීමට’ නැවත නැඟිටුවනු ලබන විටයි.—2 තිමෝති 2:10-12; රෝම 6:5; 1 කොරින්ති 15:42-44, 50.

රොටි සහ වයින් ගන්නේ කවුරුන්ද?

13. පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව තිබෙන අය සංකේත නොගන්නේ ඇයි? එහෙත් ඔවුන් සිහි කිරීමට පැමිණෙන්නේ ඇයි?

13 රොටි සහ වයින්වල ගැඹුරු අර්ථයක් තිබෙන නිසා පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව තිබෙන අය එම සංකේත ගැනීම සුදුසු නැහැ. ඔවුන් ක්‍රිස්තුස්ගේ ශරීරයේ පංගුකාරයන් නොවන අතර යේසුස් ක්‍රිස්තුස් හා එක්ව පාලනය කරන අයත් සමඟ යෙහෝවා ඇති කරගෙන තිබෙන අලුත් ගිවිසුමට අයත් වන්නේද නැහැ. “කුසලානෙන්” අලුත් ගිවිසුම නියෝජනය වන නිසා එම ගිවිසුමට අයත් නොවන අය රොටි සහ වයින් ගන්නේ නැහැ. මීට අමතරව ඔවුන් ක්‍රිස්තුස්ගේ මරණය තුළට බව්තීස්ම වී නැහැ. එමෙන්ම ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ පාලනයට ඔවුන්ව කැඳවාද නැහැ. මේ නිසා ඔවුන් සිහි කිරීමේදී වයින් හා රොටි ගැනීම වැරදියි. එහෙත් ඔවුන් සිහි කිරීමට පැමිණෙන්නේ ඒ සඳහා ඔවුන්ට ගැඹුරු ගෞරවයක් තිබෙන නිසයි. එමෙන්ම යෙහෝවා යේසුස් මාර්ගයෙන් ඔවුන් වෙනුවෙන් කර තිබෙන සෑම දෙයක්ම ඔවුන් මහත් සේ අගය කරන නිසයි. උදාහරණයකට යේසුස් ඔවුන් වෙනුවෙන් වැගිරෙවූ රුධිරය නිසා තමන්ගේ පාපවලට සමාව ලබාගැනීමට හැකිවීම ගැන ඔවුන් සතුටු වෙනවා.

14. රොටි සහ වයින් ගැනීමෙන් අභිෂේක ලත් අයගේ ඇදහිල්ල ශක්තිමත් වන්නේ කෙසේද?

14 ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ පාලනය කිරීමට කැඳවනු ලැබූ අයගෙන් ඉතිරි වී සිටින ස්වල්පදෙනා ඔවුන්ගේ විශ්වාසවන්තකම ඔප්පු කළ විට දෙවි ඔවුන්ව ස්වර්ගයේ ජීවත් වීමට සුදුසුයි කියා තීන්දු කරන කාලය අත ළඟයි. ඔවුන්ගේ ජීවිත අවසානය දක්වා සිහි කිරීමේදී වයින් හා රොටි ගැනීමෙන් ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා. එසේ වන්නේ ක්‍රිස්තුස්ගේ ශරීරයේ පංගුකාරයන් හැටියට සෙසු අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සමඟ ඔවුන්ට ඉමහත් බැඳීමක් දැනෙන නිසයි. ඒ වගේම ඔවුන් මරණය දක්වා විශ්වාසවන්තව සිටිය යුතු බවත් ඔවුන්ට එයින් සිහිගන්වනු ලබනවා.—2 පේතෘස් 1:10, 11.

“පොළොවේ තිබෙන දේවල්” එක්සත් කිරීම

15. අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට එකතු වී තිබෙන්නේ කවුරුන්ද?

15 එක්දාස් නවසිය තිස්ගණන්වල මැද භාගයේ සිට ‘කුඩා රැළට’ අයත් නොවූ එන්න එන්නම වැඩි වන “වෙනත් බැටළුවන්” පිරිසක් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට අත හිත දෙන්න පටන්ගෙන තිබෙනවා. (යොහන් 10:16; ලූක් 12:32; සෙකරියා 8:23) පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇති ඔවුන් සියලු ජාතීන්ට සාක්ෂියක් දෙන පිණිස “රාජ්‍යයේ මේ ශුභාරංචිය” දේශනා කිරීමේ කාර්යයට හවුල් වෙමින් ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ගේ විශ්වාසවන්ත මිතුරන් ලෙස ඔවුන්ට වටිනා සහායක් ලබා දෙනවා. (මතෙව් 24:14; 25:40) ප්‍රතිඵලයක් ලෙස යේසුස් සියලු ජාතීන්ව විනිශ්චය කිරීමට පැමිණෙන විට ඔහුගේ ‘දකුණු පැත්තේ’ සිටින “බැටළුවන්” වීමේ අවස්ථාව ඔවුන් උදා කරගන්නවා. (මතෙව් 25:33-36, 46) ක්‍රිස්තුස්ගේ රුධිරය කෙරෙහි ඇදහිල්ලක් ඇති ඔවුන්ගෙන් “මහත් සමූහය” සෑදෙයි. “මහත් පීඩාවෙන්” බේරී ජීවත් වීමේ ප්‍රස්තාව ඔවුන් ඉදිරියේ තිබෙනවා.—එළිදරව් 7:9-14.

16. ‘පොළොවේ තිබෙන දේවලට’ අයත් වන්නේ කවුරුන්ද? “දෙවිගේ දරුවන්” වීමේ වරප්‍රසාදය ඔවුන්ට හිමි වන්නේ කෙසේද?

16 අභිෂේක ලත් අය ස්වර්ගයේ ජීවත් වීමට සුදුසුයි කියා දෙවි තීන්දු කළ පසු සාතන්ගේ දුෂ්ට සමාජ ක්‍රමය මතට විනාශය නමැති “සුළං” මුදාහරියි. (එළිදරව් 7:1-4) ඉන් අනතුරුව ක්‍රිස්තුස් හා ඔහුගේ හවුල් පාලකයන්ගේ දහස් අවුරුදු පාලනය පටන්ගනියි. පොළොව මත සිටින මහත් සමූහයට නැවත නැඟිටුවනු ලබන අසංඛ්‍යාත පිරිසක් එකතු වෙයි. (එළිදරව් 20:12, 13) දේවරාජ්‍යයේ යටත්වැසියන් වීමේ ප්‍රස්තාව ඔවුන්ට ලැබෙනවා. දහස් අවුරුදු පාලනය අවසානයේදී ‘පොළොවේ තිබෙන මේ සියලු දේවල්’ අවසාන පරීක්ෂණයකට ලක් වෙයි. එයින් සමත් වන අයට පොළොවේ සිටින “දෙවිගේ දරුවන්” වීමේ වරප්‍රසාදය හිමි වෙයි.—එෆීස 1:10; රෝම 8:21; එළිදරව් 20:7, 8.

17. යෙහෝවාගේ අරමුණ ඉටුවීමේ ප්‍රතිඵලය කුමක්ද?

17 මේ ආකාරයට යෙහෝවා ඔහුගේ ශ්‍රේෂ්ඨ අරමුණ ඉටු කිරීමට දියත් කළ වැඩපිළිවෙළට අනුව “ස්වර්ගයේ තිබෙන දේවල් හා පොළොවේ තිබෙන දේවල් යන සියල්ල නැවතත් ක්‍රිස්තුස් තුළ එක්සත්” කරයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට ස්වර්ගයේ හා පොළොවේ සිටින සියලුදෙනාම යෙහෝවාගේ ධර්මිෂ්ඨ පාලනයට සතුටින් යටත් වෙමින් සාමයෙන් සිටියි.

18. අභිෂේක ලත් අය සහ වෙනත් බැටළුවන් සිහි කිරීමට පැමිණීම වැදගත් වන්නේ ඇයි?

18 වර්ෂ 2006 අප්‍රියෙල් 12වනදා සිහි කිරීමට අභිෂේක ලත් ටිකදෙනාත් වෙනත් බැටළුවන්ගෙන් යුත් විශාල පිරිසත් පැමිණීම ඉතා වැදගත්. ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට එය අවස්ථාවක් වෙයි. ඔවුන් මෙසේ පැමිණෙන්නේ “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න” කියා යේසුස් දුන් ආඥාවට කීකරු වන නිසයි. (ලූක් 22:19) යෙහෝවා ඔහුගේ ආදරණීය පුත් යේසුස් මාර්ගයෙන් ඔවුන් වෙනුවෙන් කර තිබෙන දේවල් සියලුදෙනාම මතක තබාගැනීම කොතරම් වැදගත්ද!

ඔබට මතකද?

• ස්වර්ගයේ හා පොළොවේ දේවල් සඳහා යෙහෝවාගේ අරමුණ කුමක්ද?

• ‘ස්වර්ගයේ තිබෙන දේවලට’ අයත් වන්නේ කවුරුන්ද? ඔවුන්ව එක්සත් කර තිබෙන්නේ කෙසේද?

• ‘පොළොවේ තිබෙන දේවලට’ අයත් වන්නේ කවුරුන්ද? ඔවුන්ට තිබෙන බලාපොරොත්තුව කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ කොටුව]

‘ක්‍රිස්තුස්ගේ ශරීරය’

ක්‍රිස්තුස්ගේ සහෝදරයන් වන අභිෂේක ලත් අයට කතා කරමින් පාවුල් 1 කොරින්ති 10:16, 17හි ‘ශරීරය’ කියන වචනයට විශේෂ අර්ථයක් දුන්නා. ඔහු පවසන්නේ “අප කඩන රොටිය යනු, ක්‍රිස්තුස්ගේ ශරීරයෙහි පංගුකාරකමක් නොවේද? රොටිය එකක් වන බැවින් අපි බොහෝදෙනෙක් වුවද එකම ශරීරයක් වන්නෙමු. මන්ද අපි සියලුදෙනා ඒ රොටියේ පංගුකාරයන් වන්නෙමු” කියායි. අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සියලුදෙනාම එක ශරීරයක කොටස් වගෙයි. ඔවුන්ගේ හිස ක්‍රිස්තුස්. සිහි කිරීමේදී අභිෂේක ලත් අය රොටි අනුභව කරද්දී එයින් ප්‍රසිද්ධියේ පෙන්වන්නේ ඔවුන් සියලුදෙනාම එකමුතුව සිටින බවයි.—මතෙව් 23:10; 1 කොරින්ති 12:12, 13, 18.

[23වන පිටුවේ පින්තූර]

අභිෂේක ලත් අය පමණක් රොටි සහ වයින් ගන්නේ ඇයි?

[25වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දියත් කළ වැඩපිළිවෙළ තුළින් ස්වර්ගයේ හා පොළොවේ සියලුදෙනාම එක්සත් වෙයි