Skip to content

පටුනට යන්න

අද දින යේසුස්ගේ ඉගැන්වීම් පිළිපදින්නේ කවුද?

අද දින යේසුස්ගේ ඉගැන්වීම් පිළිපදින්නේ කවුද?

අද දින යේසුස්ගේ ඉගැන්වීම් පිළිපදින්නේ කවුද?

යේසුස් ක්‍රිස්තුස්, මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨ මිනිසෙක් ලෙස දසත ප්‍රචලිතයි. බොහෝදෙනෙක් සලකන්නේ ඔහු ශ්‍රේෂ්ඨතම මිනිසා ලෙසයි. ඔහුගේ ඉගැන්වීම් වසර දෙදහසක් පුරා බොහෝදෙනෙකුගේ ජීවිතවලට ලොකු බලපෑමක් කර තිබෙනවා. ඉංග්‍රීසි ජාතික ලේඛකයෙක් වන මෙල්වන් බ්‍රෑග් මෙහෙම කියනවා. යේසුස්ගේ ඉගැන්වීම් මගින් “සෑම තරාතිරමක කෙනෙකුට කරුණාවන්ත මෙන්ම යහපත් ක්‍රියා කිරීමට පෙලඹීමක් ඇති වී තිබෙනවා.”

ක්‍රිස්තියානි ආගම ගැන විවිධ මත

ක්‍රිස්තියානි ආගම ගැන පොදුවේ විස්තර කර තිබෙන්නේ “මිනිස්වර්ගයාව ආගමට දහමට නැඹුරු කිරීමට ගත් හොඳම පියවරක්” හැටියටයි. ස්කොට්ලන්තයේ ග්ලැස්ගෝවල පිහිටි කැලිඩෝනියානු සරසවියේ ඩේවිඩ් කෙල්සෝ කිව්වේ “වසර දෙදහසක ඉතිහාසය තුළ කලාකෘතිවලට, ගොඩනැඟිලි නිර්මාණ ශිල්පයට, දර්ශනවාදයට, සංගීතය ඇතුළු සමාජයේ විවිධ ක්‍රියාකාරකම්වලට ක්‍රිස්තියානි ආගම තරම් බලපාපු වෙන කිසිවක් නැති තරම්” කියායි.

නමුත් වෙනත් බොහෝදෙනෙකුට ඒ ආගම ගැන තිබෙන්නේ ඊට වෙනස් මතයක්. ඔවුන් විරුද්ධ වෙන්නේ “දෙවිගේ පුත්‍රයා කියා විශ්වාස කරනු ලබන යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් මත පදනම් වූ ආගමක්” කියා එක් ශබ්ද කෝෂයක් ක්‍රිස්තියානි ආගම ගැන විස්තර කරන දෙයට නෙවෙයි. (කොලින්ස් කෝබිල්ඩ් නම් ශබ්දකෝෂය) නමුත් ක්‍රිස්තියානියයි කියාගන්නාවූ සංවිධානවල සාමාජිකයන්ගේ හැසිරීම් රටාවටයි.

උදාහරණයකට දහනවවන ශතවර්ෂයේ ජර්මානු දාර්ශනිකයෙක් වන ෆ්‍රෙඩ්රික් නීචර් ක්‍රිස්තියානි ආගම ගැන විස්තර කරද්දී මෙහෙම පැවසුවා. “එය මිනිස්වර්ගයාට ඇති වී තිබෙන නොමැකෙන කැළලක් වගේම, එහි අරමුණු ඉටුකර ගැනීමට ඕනෑම දූෂිත, යටිකූට්ටු, අභිරහස්, ද්වේෂසහගත ක්‍රියාවක් කරන ආගමක්.” නීචර්ට අන්තයට ගිය අදහස් තිබුණ බව ඇත්තයි. නමුත් කාරණා දෙස සාධාරණව බලන කිහිපදෙනෙකුත් ඊට සමාන නිගමනවලට එළඹ තිබුණා. ඒ ඇයි? ඉතිහාසය පුරාම ක්‍රිස්තියානියයි කියාගන්නාවූ අය ප්‍රසිද්ධ වී තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ ගුණාංග විදහාපෙන්වන අය හැටියට නෙවෙයි. ඒ වෙනුවට සෑම තැනම පැතුරුණු “දූෂිත ම්ලේච්ඡ ක්‍රියාවලට වග කියන්නන් හැටියට වගේම නින්දා අපහාස කරන අය හැටියටයි.”

ක්‍රිස්තියානියයි කියාගන්නාවූ හැමෝටම යේසුස්ගේ අනුමැතිය තිබෙනවාද?

එවැනි ප්‍රශ්නයක් ඇසූ විට, “ඔව් යේසුස්ගේ අනුමැතිය තිබෙනවා! ඇයි, මම ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිනවා කියලා යේසුස් තමන්ගේ අනුගාමිකයන්ට පොරොන්දු වුණේ නැද්ද?” කියා සමහරෙක් එකවරම කියන්න පුළුවන්. (මතෙව් 28:20, පැරණි අනුවාදය) ඔව්, යේසුස් එහෙම කිව්වා තමයි. නමුත් ඔහු ඉන් අදහස් කළේ ඕනෑම ආකාරයක හැසිරීමක යෙදෙන තම අනුගාමිකයෙක් කියලා කියාගන්නා සෑම කෙනෙක් එක්කම ඔහු ඉන්නවා කියන එකද?

යේසුස්ගේ කාලයේ සිටි ආගමික නායකයන් සිතාගෙන සිටියේ දෙවි ඊශ්‍රායෙල්වරුන්ව විශේෂ අරමුණකට තෝරාගත්ත නිසා තමන් මොනවා කළත් දෙවි කවදාවත් ඔවුන්ව අත්හරින්නේ නැහැ කියලයි. (මීකා 3:11) කොහොමනමුත් අන්තිමේදී ඔවුන් දෙවිගේ නීති සහ ප්‍රමිති නොසලකාහරින තරමටම දුරදිග ගියා. ඒ හේතුවෙන් යේසුස් ඔවුන්ට පැහැදිලිවම කියා සිටියේ “බලන්න! ඔබේ ගෘහය ඔබට අත්හරිනු ලැබේ” කියලයි. (මතෙව් 23:38) එදා ඔවුන් කළ නමස්කාරයට දෙවිගේ අනුමැතිය නැති වුණා. ඔහු ඔවුන්ව ප්‍රතික්ෂේප කළා වගේම ක්‍රි.ව. 70දී රෝම හමුදාව විසින් එදා තිබූ අගනුවර වූ යෙරුසලමත් එහි තිබූ දේවමාලිගයත් විනාශ කිරීමට ඉඩහැරියා.

ඒ සමාන දෙයක් ක්‍රිස්තියානි ආගමටත් විය හැකිද? යේසුස් තම අනුගාමිකයන් සමඟ “ලෝකාන්තිමය” දක්වා සිටිනවා කියා පොරොන්දු වෙද්දී ඔහු ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණු කාරණා මොනවාද කියලා අපි බලමු.

[2, 3වන පිටුවේ පින්තූර]

ලොව පුරා සිටින මිලියන ගණනකගේ ජීවිතවලට යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් ප්‍රබල බලපෑමක් ඇති කර තිබෙනවා