Skip to content

පටුනට යන්න

“අපිට තව විස්තර කියන්න!”

“අපිට තව විස්තර කියන්න!”

“අපිට තව විස්තර කියන්න!”

රුසියාවේ නිස්ලොබ්නායේ නම් නගරයේ පිහිටි උසස් පාසැලක මිකායෙල් බූල්ගකොෆ් නම් රුසියානු ලේඛකයෙකුගේ කෘති ගැන පංතියේ සාහිත්‍ය පාඩමේදී සාකච්ඡා කළා. එහි සාතන් වීරයෙකු හැටියටත් යේසුස් ක්‍රිස්තුස් ගැන නිග්‍රහාත්මක විදිහටත් ලියවී තිබුණ නවකතාවක් තිබුණා. පංතියේ කෙරුණ සාකච්ඡාවෙන් පස්සේ ඒ නවකතාව ගැන ලිඛිත පරීක්ෂණයක් පැවතුණා. ඒ පංතියේ සිටි ඕන්රේ වයස අවුරුදු 16ක් වූ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්. ඒ වගේ කෘති ගැන ඉගෙනීමට තමාගේ හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා තමාට ඒ පරීක්ෂණයට ලිවිය නොහැකි බව ඕන්රේ කාරුණිකව කියා සිටියා. ඒ වෙනුවට යේසුස් ක්‍රිස්තුස් ගැන තමාට හැඟෙන ආකාරය ගැන රචනාවක් ලිවීමට ඔහු ඉදිරිපත් වුණා. ගුරුවරිය ඊට එකඟ වුණා.

ඕන්රේ තමාගේ රචනාවේදී ලියා තිබුණේ යේසුස් සම්බන්ධයෙන් අනිත් අය දරන මතවලට තමා ගරු කරන නමුත් ඔහු ගැන ඉගෙනීමට තිබෙන හොඳම ක්‍රමය නම් බයිබලයේ අඩංගු මතෙව්, මාක්, ලූක් සහ යොහන් යන වාර්තා හතරෙන් එකක් කියවීම කියායි. එසේ කිරීමෙන් “ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ වාර්තා මත පදනම් වූ යේසුස්ගේ ජීවිත කතාව සහ ඉගැන්වීම් ගැන ඔබට ඉගෙනගන්න පුළුවන්.” ඕන්රේ තවදුරටත් මෙහෙම කිව්වා. “ඒ වගේම සාතන්ව විස්තර කරලා තිබෙන ආකාරය ගැනත් මම සැලකිලිමත් වෙනවා. සමහරෙකුට සාතන් වීරයෙක් කියලා පොතකින් කියවද්දී ඒ ගැන හිනා යන්න පුළුවන්. නමුත් මම එහෙම හිනා වෙන්නේ නැහැ.” සාතන් කියන්නේ දෙවිට විරුද්ධ වූ බලවත්, අදෘශ්‍යමාන, නපුරු පුද්ගලයෙක්. ඔහු නිසා දුෂ්ටකම්, හිරිහැර සහ දුක් වේදනා මුළු මිනිස්වර්ගයා කෙරෙහිම පැමුණුණා කියා ඕන්රේ විස්තර කළා. ඕන්රේ තම රචනාව අවසන් කළේ මෙහෙමයි. “මේ නවකතාව කියවීමෙන් මට ප්‍රයෝජනයක් ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ. මම බූල්ගකොෆ්ව ලේඛකයෙක් හැටියට පිළිගන්නවා. නමුත් යේසුස් ක්‍රිස්තුස් ගැන සත්‍යය ඉගෙනීමට නම්, මම බයිබලය කියවනවා.”

ඕන්රේගේ ගුරුවරිය ඒ රචනාව ගැන ඔහුට හුඟක් ප්‍රශංසා කළා. යේසුස් ක්‍රිස්තුස් ගැන කතාවක් දෙන්න කියලා ඇය ඔහුට ආරාධනා කළා. ඕන්රේ එකවරම එය භාරගත්තා. ඊළඟ සාහිත්‍ය පාඩමේදී ඕන්රේ පංතිය ඉදිරිපිට තමා සූදානම් කළ වාර්තාව කියෙව්වා. මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මිනිසා යේසුස් කියා තමා පිළිගැනීමට හේතු ඔහු විස්තර කළා. ඊට පස්සේ ඔහු බයිබලයේ මතෙව් පොතෙන් යේසුස්ගේ මරණය ගැන සඳහන් පරිච්ඡේදය කියෙව්වා. කතාව සඳහා දී තිබුණ කාලය ගෙවී ගොස් තිබුණ නිසා කතාව අවසන් කිරීමට ඕන්රේට වුවමනා වුණත් ඔහුගේ මිතුරන් ඒකට ඉඩ දුන්නේ නැහැ. “අනේ අපිට තව විස්තර කියන්න. ඊළඟට මොනවාද වුණේ?” වැනි ප්‍රශ්න අහන්න පටන්ගත්තා. ඒ නිසා මතෙව්ගේ වාර්තාවෙන්ම යේසුස්ගේ නැවත නැඟිටීම ගැන ඔහු දිගටම කියෙව්වා.

කතාව අවසන් වුණාට පස්සෙත් ඔහුගේ මිතුරන් යේසුස් ගැනත් යෙහෝවා ගැනත් දිගින් දිගටම ඕන්රේගෙන් ප්‍රශ්න කළා. “මම යාච්ඤා කරලා යෙහෝවාගෙන් ප්‍රඥාව ඉල්ලපු නිසා යාළුවෝ අහපු ඔක්කොම ප්‍රශ්නවලට උත්තර දෙන්න මට පුළුවන් වුණා!” කියලා ඕන්රේ කියනවා. පාඩම අවසාන වුණාට පස්සේ මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා * නම් පොතේ පිටපතක් ඕන්රේ ගුරුවරියට දුන්නා. ගුරුවරිය ඉතා කැමැත්තෙන් ඒක ගත්තා. ඕන්රේ මෙහෙම කියනවා. “ගුරුවරිය මගේ වාර්තාවට වැඩිම ලකුණු දුන්නා. මගේ ස්ථිර විශ්වාසය ගැනත් ඒ ගැන ලජ්ජා නොවීම ගැනත් ඇය මට ප්‍රශංසා කළා. මම විශ්වාස කරන සමහර දේවල් ඇයත් විශ්වාස කරනවා කියලා කිව්වා.”

බයිබලයේ ඉගැන්වීම්වලට අනුව පුහුණු කරපු හෘදය සාක්ෂිය නිසා යෙහෝවාවත් ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වත් අගෞරව කරන පොත පත කියවීමෙන් වැළකී සිටීමට ඕන්රේ ගත්තු තීරණය ගැන ඔහු හුඟක් සතුටු වෙනවා. ඒ වගේ ස්ථාවරයක් නිසා ශුද්ධ ලියවිල්ලට පටහැනි දේවලින් මනස පුරවා ගැනීමෙන් වැළකීමට හැකි වුණා විතරක් නෙවෙයි වෙනත් අයට බයිබලයේ සත්‍යතා ගැන කතා කිරීමේ වටිනා ප්‍රස්තාවත් විවෘත වුණා.

[පාදසටහන]

^ 5 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශ කෙරේ.