Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ස්ත්‍රීන් “සභාවන්වලදී නිහඬව” සිටිය යුතු බව කීමෙන් පාවුල් අදහස් කළේ මොකක්ද?

කොරින්තියේ පිහිටි ක්‍රිස්තියානි සභාවට පාවුල් මෙහෙම ලිව්වා. “ශුද්ධ තැනැත්තන් සිටින සියලු සභාවලදී සිදු වන්නාක් මෙන්, ස්ත්‍රීන් සභාවන්වලදී නිහඬව සිටීවා. මන්ද, ඔවුන්ට එහිදී කතා කිරීමට අවසර දී නැත.” (1 කොරින්ති 14:33, 34) මේ කාරණය නිවැරදිව තේරුම්ගැනීම සඳහා ඒ උපදෙස සඳහන් පදවලට අමතරව අවට තිබෙන පද ගැනත් සලකා බැලීම උපකාරවත් වෙයි.

පළමුවෙනි කොරින්ති පොතේ 14වන පරිච්ඡේදයේ පාවුල් ක්‍රිස්තියානි සභාවේ රැස්වීම්වලට සම්බන්ධ කාරණා ගැන සඳහන් කරනවා. ඒ රැස්වීම්වලදී සාකච්ඡා කළ යුතු දේවල් ගැන මෙන්ම රැස්වීම් පැවැත්විය යුතු ආකාරය ගැනත් ඔහු යෝජනා ඉදිරිපත් කරනවා. (1 කොරින්ති 14:1-6, 26-34) ඒ විතරක් නෙවෙයි ඔහු ක්‍රිස්තියානි රැස්වීම්වල ප්‍රධාන අරමුණ වන ‘සභාවේ අයව ගොඩනැංවීම’ ගැන අවධාරණය කරනවා.—1 කොරින්ති 14:4, 5, 12, 26.

“නිහඬව” සිටීම සඳහා පාවුල් දෙන අවවාදය 1වන කොරින්ති පොතේ 14වන පරිච්ඡේදයේ තුන්වතාවක් දක්නට ලැබෙනවා. ඒ තුන්වතාවේදීම ඔහු එය යොමු දැක්වූයේ සභාවේ සිටින කණ්ඩායම් තුනකටයි. ඒ අවවාදය ඔහු දෙන්නේ සභාවේ කටයුතු “සියල්ල විනීතවද පිළිවෙළකටද සිදු” වීම සඳහයි.—1 කොරින්ති 14:40.

පාවුල් මුලින් මෙහෙම කියනවා. “අන්‍යභාෂා කතා කෙරේ නම්, එය දෙදෙනෙකුට හෝ වැඩිම වුණොත් තුන්දෙනෙකුට සීමා වේවා. ඔවුන් මාරුවෙන් මාරුවට කතා කරාවා. එමෙන්ම යමෙක් පරිවර්තනය කරාවා. එහෙත් පරිවර්තකයෙක් නොසිටී නම්, ඔහු සභාවේ නිහඬව සිට, තමාටම හා දෙවිට පමණක් කතා කරාවා.” (1 කොරින්ති 14:27, 28) ඉන් පාවුල් අදහස් කළේ එවැනි පුද්ගලයෙක් රැස්වීම්වලදී කොහෙත්ම කතා නොකළ යුතු බව නම් නෙවෙයි. ඒ වෙනුවට ඔහු නිහඬව සිටිය යුතු අවස්ථා තිබෙන බව පෙන්වීමටයි. එයට හේතුව පරිවර්තකයෙක් නැතිව කාටවත් තේරෙන්නේ නැති භාෂාවකින් කතා කළා නම්, ඒ රැස්වීමේ අරමුණ වන එකිනෙකාව ගොඩනැංවීම ඉන් සිදු වෙන්නේ නැති නිසයි.

පාවුල් දෙවනුව මෙහෙම කියනවා. “අනාගතවක්තෘවරු දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් කතා කරත්වා. අනික් අය එහි තේරුම වටහාගනිත්වා. නමුත් එහි ඉඳගෙන සිටියදී, වෙන කෙනෙකුට එළිදරව්වක් ලැබුණොත්, පළමුවැන්නා නිහඬව සිටීවා.” මින් අදහස් කළේ පළමුවැනි අනාගතවක්තෘවරයා රැස්වීම්වලදී කතා නොකළ යුතු බව නෙවෙයි. නමුත් ඔහුත් ඇතැම් අවස්ථාවලදී නිහඬව සිටියි යුතු බවයි. ඔහු එසේ කළොත් ආශ්චර්යවත් එළිදරව්වක් ලැබුණ කෙනාට සභාව අමතන්න හැකි අතර, එවිට රැස්වීම් පැවැත්වීමේ අරමුණ වන ‘සියලුදෙනාම දිරිගැන්වීමක් ලැබීම’ ඉන් ඉටු වේවි.—1 කොරින්ති 14:26, 29-31.

පාවුල් තුන්වෙනුව ක්‍රිස්තියානි කාන්තාවන්ට පමණක් අමතමින් මෙහෙම කියනවා. “ස්ත්‍රීන් සභාවන්වලදී නිහඬව සිටීවා. මන්ද, ඔවුන්ට එහිදී කතා කිරීමට අවසර දී නැත. . . . ඔවුහු යටත්ව සිටිත්වා.” (1 කොරින්ති 14:34) පාවුල් මේ අවවාදය ක්‍රිස්තියානි සහෝදරියන්ට දුන්නේ ඇයි? ඒ සභාවේ පිළිවෙළක් තිබීම සඳහායි. “ඔවුන් යමක් ඉගෙනගන්න කැමති නම් නිවසේදී ඔවුන් තම ස්වාමිපුරුෂයාගෙන් ඒ ගැන අසාවා. මන්ද, සභාවකදී කතා කිරීම ස්ත්‍රියකට ලජ්ජාවකි” කියා ඔහු පවසනවා.—1 කොරින්ති 14:35.

සභාවේදී කියනු ලැබූ සමහර දේවල් ගැන සමහර සහෝදරියන් වාද කළා විය හැකියි. එවැනි කලහකාරී ස්වභාවයකින් වැළකී, මූලිකත්වය පිළිබඳ යෙහෝවා දෙවිගේ විධිවිධානය තුළ, විශේෂයෙන් තම ස්වාමිපුරුෂයන් යටතේ තමන්ට තිබෙන තැන යටහත් පහත්ව පිළිගැනීමට පාවුල්ගේ උපදෙස සහෝදරියන්ට උපකාරවත් වුණා. (1 කොරින්ති 11:3) ඒ විතරක් නෙවෙයි නිහඬව සිටීමෙන් සභාව තුළ ගුරුවරුන් ලෙස කටයුතු කිරීමට තමන්ට ආශාවක් නැති බව සහෝදරියන් පෙන්වනවා. කාන්තාවන් සභාව තුළ ගුරුවරුන් ලෙස කටයුතු කිරීම නුසුදුසු දෙයක් බව පෙන්වීම සඳහා පාවුල් තිමෝතිට ලිවූ එක් අවස්ථාවකදී මෙහෙම සඳහන් කළා. “නිශ්ශබ්දව සිටීමට මිස, ඉගැන්වීමටවත් පුරුෂයා කෙරෙහි අධිකාරිය ඇතිව සිටීමටවත් ස්ත්‍රියට මම ඉඩ නොදෙමි.”—1 තිමෝති 2:12.

මින් අදහස් කරන්නේ ක්‍රිස්තියානි කාන්තාවක් සභා රැස්වීම්වලදී කොහෙත්ම කතා නොකළ යුතු බවද? නැහැ. පාවුල්ගේ කාලයේ ක්‍රිස්තියානි කාන්තාවන් සභාවේදී යාච්ඤා කළ හෝ අනාවැකි ප්‍රකාශ කළ අවස්ථා තිබුණා. සමහරවිට ඔවුන් ඒ අවස්ථාවලදී දෙවිගේ බලයෙන් පෙලඹී එසේ කරන්න ඇති. එවැනි අවස්ථාවලදී ඔවුන් හිස වසා ගැනීමෙන් මූලිකත්වයට ගරු කළා. * (1 කොරින්ති 11:5) සහෝදරයන් හා සමානව අද දවසේ සිටින සහෝදරියන්ටත් බයිබලය දිරිගන්වන්නේ තමන්ගේ බලාපොරොත්තුව ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න කියායි. (හෙබ්‍රෙව් 10:23-25) සහෝදරියන් මෙය කරන්නේ ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමෙන්, සභා රැස්වීම්වලදී හොඳින් සිතා සූදානම් කළ පිළිතුරු සැපයීමෙන් හා නිරූපණ වගේම ශිෂ්‍ය කතාවලට සහභාගි වීම මගිනුයි. මෙසේ කිරීමෙන් ඔවුන් තම බලාපොරොත්තුව ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අතර අන් අයවත් දිරිගන්වනවා.

එසේනම් ක්‍රිස්තියානි කාන්තාවන් සභාව තුළ පුරුෂයෙකුගේ තැන ගෙන උපදෙස් දීමේ කටයුතුවල නියැලීමෙන් වැළකී සිටිනවා. වාදයකට තුඩු දෙන ප්‍රශ්න මතු කිරීමෙන් සභාව තුළ උගන්වන අයගේ අධිකාරය ගැන ඔවුන් ප්‍රශ්න කරන්නේ නැහැ. මේ ආකාරයට ඔවුන් සභාව තුළ ‘නිහඬව සිටිනවා.’ තමන්ට අයිති කොටස පමණක් කිරීම තුළින් ක්‍රිස්තියානි සහෝදරියන් සභාව තුළ සාමකාමී වාතාවරණයක් පවත්වාගැනීමට බොහෝ සෙයින් උපකාර කරනවා. ඒ ආකාරයට රැස්වීම්වලදී “සියල්ලම ගොඩනැංවීම සඳහා” ඔවුන් දායක වෙනවා.—1 කොරින්ති 14:26, 33.

[පාදසටහන]

^ 10 ඡේ. අද කාලයේදීත් බව්තීස්ම ලත් සහෝදරයෙක් නොමැති අවස්ථාවකදී සභාවේදී එම පැවරුම කිරීමට සහෝදරියකට සිදු වන විට, දෙවිට ප්‍රේම කරන අද්දැකීම් ලත් සහෝදරියන් මෙය ආදර්ශයට ගන්නවා.—වර්ෂ 2002 ජූලි 15 මුරටැඹ කලාපයේ 26වන පිටුව බලන්න.