Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ සේවකයෙකු කෝපවීම සුදුසුද?

යෙහෝවා දෙවිගේ සේවකයෙකු කෝපවීම සුදුසුද?

යෙහෝවා දෙවිගේ සේවකයෙකු කෝපවීම සුදුසුද?

දුෂ්ට දේට ද්වේෂ කරන්න” කියා දෙවි අපිට අණ කර තිබෙන නිසා, යම් කෙනෙක් ප්‍රතිපත්තියක් කැඩුවොත් ඒ ගැන තවත් කෙනෙකුට කේන්ති යෑම වැරදි නැහැ. (රෝම 12:9) මෙවැනි කෝපයක් පෙන්වූ අයගේ උදාහරණ රැසක් බයිබලයේ සඳහන් වෙනවා.—නික්මයාම 11:8; 32:19; ගණන් කතාව 16:12-15; 1 සාමුවෙල් 20:34; නෙහෙමියා 5:6; එස්තර් 7:7; 2 සාමුවෙල් 12:1-6ත් බලන්න.

කොහොමවුණත් හුඟදෙනෙක් කෝප වෙන්නේ සාධාරණ හේතුවක් හෝ පාලනයක් නැතිවයි. එවැනි අය ඉන් සිදු විය හැකි ප්‍රතිඵල ගැන සිතන්නේ නැහැ. යෙහෝවා දෙවි නිනිවය කියන නගරය විනාශ නොකළ විට යෝනා ඒ ගැන අසතුටු වී “කෝප විය.” යෝනා අනුකම්පාව නමැති ගුණාංගය පෙන්වන්න අසමත් වූ නිසා යෙහෝවා දෙවිට ඔහුව නිවැරදි කරන්න සිදු වුණා. (යෝනා 4:1-11) දේවමාලිගාවේ සේවය කළ පූජකයෝ යූදාහි උස්සියා රජුව නිවැරදි කළ විට ඔහු උදහස් වුණා. අහංකාර ලෙස ඔහු කරන්න පටන්ගත් දෙය දිගටම කරගෙන ගිය නිසා යෙහෝවා ඔහුට දඬුවම් කළා. (2 ලේකම් 26:16-21) නාමන් අහංකාර වීමෙන් කෝප වූ නිසා දෙවිගේ ආශීර්වාදය අහිමි වීමේ අන්තරායක සිටියා.—2 රාජාවලිය 5:10-14.

කෝපය පාලනය කිරීම අත්‍යවශ්‍ය දෙයක්. සාධාරණ හේතුවක් සහ පාලනයක් නැති කෝපය නිසා බොහෝදෙනෙක් සාහසික දේවල් ඇතුළු ලොකු වැරදි කරන්න පවා පෙලඹී තිබෙනවා. ‘කායින් අතිශයෙන් කෝප වී’ ආබෙල්ව මැරුවා. (උත්පත්ති 4:5, 8) තම පියාගෙන් ආශීර්වාදය ලබාගත් තම සහෝදර යාකොබ්ව මරන්න ඒසව්ට ඕන වුණෙත් ඔහුට ඇති වූ කෝපය නිසයි. (උත්පත්ති 27:41-45) දාවිත් සහ යොනාතාන් ගැන සාවුල්ට ඇති වූ තරහ කොතරම්ද කියනවා නම් ඔහු ඔවුන්ට හෙල්ලයෙන් දමා ගැසුවා. (1 සාමුවෙල් 18:11; 19:10; 20:30-34) නාසරෙත්හි සිනගෝගයේදී යේසුස්ගේ දේශනාවට සවන් දෙමින් සිටි අයට ඇති වූ කෝපය නිසා ඔවුන් යේසුස්ව කන්දකින් පහතට හෙළන්න උත්සාහ කළා. (ලූක් 4:28, 29) කුපිත වූ ආගමික නායකයන් “එක සිතින් [ස්තේපන්] වෙතට කඩා පැන,” ගල් ගසා ඔහුව මැරුවා.—ක්‍රියා 7:54-60.

සාධාරණ හේතුවක් තිබෙන විටත් කෝපය පාලනය කළේ නැත්නම්, එය අනතුරුදායක විය හැකියි. ෂෙකෙම් දීනාව දූෂණය කළ අවස්ථාවේදී, ඒ වරදට දීනාත් යම් දුරකට වගකිව යුතු වුණත්, තම සහෝදරියට සිදු වූ දෙය ගැන දැනගත් විට සිමියොන්ට සහ ලෙවීට කෝපයක් ඇතිවීම සාධාරණයි. නමුත් කිසිම පාලනයකින් තොරව ෂෙකෙම්වරුන්ව මැරීම අසාධාරණ දෙයක් වුණා. ඔවුන් තම කෝපය පාලනය නොකළ නිසා ඔවුන්ගේ පියා වූ යාකොබ් එසේ කෝපවීම හෙළා දකිමින් එයට ශාප කළා. (උත්පත්ති 34:1-31; 49:5-7) කෙනෙකුට තද කෝපය ඇති වන විට ඔහු එය පාලනය කළ යුතුයි. එක් අවස්ථාවකදී ඊශ්‍රායෙලිතයන්ගේ පැමිණිලි කිරීමත් කැරලිකාර ස්වභාවයත් නිසා පොළෝ මතුයෙහි සිටි සියලුම මනුෂ්‍යයන්ට වඩා මොළොක් ගුණය තිබූ මෝසෙස්ට හොඳටම තරහ ගියා. ඔහුගේ කෝපය ඔහුට පාලනය කරන්න බැරි වුණ නිසා යෙහෝවා දෙවිට සුදුසු ගෞරවය දෙන්න ඔහු අසමත් වුණා. මෙයට දඬුවම් විඳින්න මෝසෙස්ට සිදු වුණා.—ගණන් කතාව 12:3; 20:10-12; ගීතාවලිය 106:32, 33.

බයිබලයේ මාංසයේ ක්‍රියා ගැන සඳහන් කරන ලැයිස්තුවට නින්දිත හැසිරීම, රූප වන්දනාව, භූතවාදයේ නියැලීම සහ බේබදුකම වැනි පිළිකුල්සහගත දේවල් අතරට හදිසි කෝපයත් ඇතුළත් කර තිබෙනවා. එවැනි ක්‍රියාවල නියැලෙන කෙනෙකුට දේවරාජ්‍යය උරුම කරගන්න ලැබෙන්නේ නැහැ. (ගලාති 5:19-21) උදහසින් කරන වාද විවාදවලට සභාව තුළ ඉඩක් නැහැ. සභාව නියෝජනය කරමින් යාච්ඤා කරන පුරුෂයනුත් උදහසින් හා වෛරයෙන් තොරව සිටිය යුතුයි. (1 තිමෝති 2:8) මිනිසාගේ උදහසින් දෙවිගේ ධර්මිෂ්ඨකම ඉටු වෙන්නේ නැති නිසා, උදහස් වීමට ප්‍රමාද වෙන්න කියා ක්‍රිස්තියානීන්ට දෙවි අණ කරනවා. (යාකොබ් 1:19, 20) පළිනොගෙන යෙහෝවාගේ දෙවිගේ ‘උදහසට ඉඩහැර’ ඔහුගේ අතට දේවල් භාර දෙන්න කියා දේවවචනය උපදෙස් දෙනවා. (රෝම 12:19) පුරුෂයෙක් කිපෙනසුලු කෙනෙක් නම් ඔහුට ක්‍රිස්තියානි සභාවේ අවේක්ෂකයෙකුගේ වගකීම දරන්න බැහැ.—තීතස් 1:7.

කෙනෙකුට ඉඳ හිට කෝපයක් ඇති විය හැකි අතර එයට සාධාරණ හේතු තිබෙන්නත් පුළුවන්. ඒ වුණත්, කෝපය හිතේ තියාගෙන සිටීම හෝ දිගටම අමනාපයෙන් සිටීම සුදුසු නැහැ. ඉර බසින්න කලින් ඔහු ඒ කෝපය නැති කළ යුතුයි. එසේ කළේ නැත්නම් ඔහුගෙන් අනිසි ප්‍රයෝජන ගැනීමට ඔහු යක්ෂයාට ඉඩ දෙනවා. (එෆීස 4:26, 27) විශේෂයෙන් මේ අමනාපය ඇති වී තිබෙන්නේ ක්‍රිස්තියානි සහෝදරයෙක් සමඟ නම් සාමය ඇති කිරීමට සුදුසු පියවර ගත යුතුයි. එහෙමත් නැත්නම් දෙවි පෙන්වන ආකාරයට එය විසඳාගත යුතුයි. (ලෙවී කතාව 19:17, 18; මතෙව් 5:23, 24; 18:15; ලූක් 17:3, 4) කෝප වන මනුෂ්‍යයෙක් සමඟ මිත්‍රවීම උගුලකට හසු වෙනවා හා සමාන දෙයක් බව බයිබලය අපට පෙන්වා දෙනවා. මේ නිසා අපි ආශ්‍රය කරන අය ගැනත් පරෙස්සම් විය යුතුයි.—හිතෝපදේශ 22:24, 25.

යේසුස් අපිට පරිපූර්ණ ආදර්ශයක් තැබුවා. ඔහුගේ ජීවිතය ගැන ලියා තිබෙන වාර්තාවල, තම කෝපය පාලනය කරගන්න බැරි වුණු අවස්ථාවක් ගැනවත්, එහෙමත් නැත්නම් දෙවිගේ සතුරන්ගේ නීති විරෝධී ක්‍රියා, කැරලිකාර ස්වභාවය හෝ ඔහුට කළ හිංසාව නිසා කැළඹී, තම අනුගාමිකයන් හෝ වෙනත් අය සමඟ කෝපයෙන් ක්‍රියා කළ එක අවස්ථාවක් ගැනවත් සඳහන් වෙන්නේ නැහැ. එක් අවස්ථාවකදී ඔහු පරිසිවරුන්ගේ සිත්වල දැඩිකම ගැන “බොහෝ සෙයින් දුක් වී” ඔවුන් දෙස උදහසින් බැලුවත් ඔහු ඊළඟට කළේ මිනිසෙකුව සුව කිරීමයි. (මාක් 3:5) තවත් අවස්ථාවකදී ඔහු දේවමාලිගාව අපවිත්‍ර කළ සහ යෙහෝවාගේ ගෘහය වෙළඳ පොළක් කරමින් මෝසෙස්ගේ නීතිය උල්ලංගනය කරමින් සිටි සියලුදෙනාවම පිටතට එළවා දැමූ විට ඔහු එසේ කළේ සාධාරණ හේතුවක් නැතිව හෝ පාලනය කළ නොහැකි කෝපයකින් නම් නෙවෙයි. ඔහු එසේ කළේ යෙහෝවාගේ ගෘහයේ පවිත්‍රකම රැකීමට ඔහු තුළ තිබූ උද්‍යෝගය නිසා බව බයිබලය අපට පෙන්වා දෙනවා.—යොහන් 2:13-17.

හානිකර බලපෑම්වලින් වැළකීම. කෝපවීම නිසා දෙවි සමඟ අපට තිබෙන මිත්‍රත්වයට ලොකු හානියක් සිදු වෙනවා විතරක් නෙවෙයි එය අපේ ශරීර සෞඛ්‍යයටත් බොහෝ සෙයින් බලපානවා. අපේ රුධිර පීඩනය වැඩි වෙන්න, ධමනිවල වෙනස්කම් ඇති වෙන්න, ශ්වසන පද්ධතියේ සහ අක්මාවේ ආබාධ ඇති වෙන්න, පිත ශ්‍රාවය වන ප්‍රමාණයේ වෙනස්කම් ඇති වෙන්න සහ අග්න්‍යාශයට යම් බලපෑම් ඇති වෙන්නත් මෙය හේතුවක්. කෝපය බලවත් හැඟීමක් නිසා ඇදුම, ඇස්වල සහ සමේ රෝග, අසාත්මිකතා, ශරීරය අභ්‍යන්තරයේ හෝ පිටත තුවාල, දත්වල සහ ජීර්ණ පද්ධතියේ ආබාධ වැනි අසනීප තත්වයන්ට එය දායක වෙන්න හෝ ඒ තත්වය වැඩි කරන්න හෝ පුළුවන්. දැඩි කෝපය කෙනෙකුගේ සිතීමේ හැකියාවට බලපාන අතර ඒ නිසා ඔහුට හොඳ නිගමනයකට එන්න හෝ ඥානවන්ත තීරණ ගන්න අපහසු වෙනවා. බොහෝවිට හදිසි කෝපයකින් ක්‍රියා කිරීමෙන් පසුව පුද්ගලයෙක් ටික වෙලාවකට අතිශය මානසික විඩාවෙන් පීඩා විඳිනවා. මේ නිසා කෝපය පාලනය කරගෙන සාමයෙන් හා ප්‍රේමයෙන් ක්‍රියා කිරීම මගින් දෙවි සතුටු වෙනවා පමණක් නෙවෙයි එය ශරීර සෞඛ්‍යයටත් හොඳ දෙයක්.—හිතෝපදේශ 14:29, 30; රෝම 14:19; යාකොබ් 3:17; 1 පේතෘස් 3:11.

අන්තිම කාලය උදහස ප්‍රකාශ වන කාලයක් වන බව බයිබලයේ සඳහන් වෙනවා. ඒ කාලයේදී දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වන නිසා ජාතීන් උදහස් වන අතර, යක්ෂයාව පොළොවට හෙළනු ලබන නිසා “තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක් බව දැන, ඔහු මහත් කෝපයෙන්” සිටිනවා. (එළිදරව් 11:17, 18; 12:10-12) එවැනි පීඩාකාරී තත්වයන් යටතේ ක්‍රිස්තියානියෙක් තමාවම පාලනය කරමින්, මේ විනාශකාරී හැඟීම වන කෝපයෙන් වැළකී සිටීම ඥානවන්ත දෙයක්.—හිතෝපදේශ 14:29; දේශනාකාරයා 7:9.—Insight on the Scriptures Volume 1, pages 109-10.