Skip to content

පටුනට යන්න

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගනිමු

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගනිමු

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගනිමු

“සැබෑ ක්‍රිස්තියානීන් යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් තමන් උගන්වන දේවලටත් තමන්ගේ ක්‍රියාවලටත් අදාළ කරගන්නවා.” (ක්‍රිස්තියානියෙකු වී සිටීම නම් පොත) ඒ වචන සටහන් කළ ස්විස් ජාතික දේවධර්මාචාර්යවරයෙක් වන හෑන්ස් කූං මෙම සත්‍යය හෙළි කරයි. එනම් සැබෑ ක්‍රිස්තියානි ආගමේ සාමාජිකයන් යේසුස්ගේ ඉගැන්වීම් තම ජීවිතයට අදාළ කරගන්න උත්සාහ කරන අවංක පුද්ගලයන් විය යුතුයි.

එහෙත් ක්‍රිස්තුස්ව අනුගමනය කරනවා කියලා කියා සිටින නමුත්, යේසුස්ගේ ඉගැන්වීම් අදාළ කරනොගන්නා පුද්ගලයන් හෝ සංවිධාන ගැන කියන්න පුළුවන් මොනවාද? තමන් ක්‍රිස්තියානීන්යයි කියා ගන්නාවූ බොහෝදෙනෙක් සිටින්න යනවා කියා යේසුස් කිව්වා. ඔවුන් ඒක ඔප්පු කරන්න “අපි ඔබේ නාමයෙන් අනාවැකි නොකීවෙමුද? ඔබේ නාමයෙන් භූතයන් දුරු නොකළෙමුද? ඔබේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකළෙමුද?” කියා තමන් කළ විවිධ දේවල් ගැන කියාවි. නමුත් යේසුස්ගේ ප්‍රතිචාරය මොකද්ද? ඔහුගේ මේ පැහැදිලි වචනවලින් ඊට ලැබෙන විනිශ්චය ගැන හෙළි වෙනවා. “මම, ඔබව කිසි කලක නොහැඳින්නෙමි! නීති විරෝධී ක්‍රියා කරන්නෙනි, මා වෙතින් අහක්ව යන්නයයි ඔවුන්ට ප්‍රකාශ කරමි.”—මතෙව් 7:22, 23.

යේසුස්ව අනුගමනය කරනවා කියලා කියා සිටින “නීති විරෝධී ක්‍රියා කරන්නන්ට” මොන තරම් පැහැදිලි අනතුරු ඇඟවීමක්ද! නීති විරෝධී ක්‍රියා කරන්නන් සහ සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීමට යේසුස් පෙන්වා දුන් මූලික කාරණා දෙකක් ගැන අපි සලකා බලමු.

“ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්

යේසුස් පෙන්වා දුන් එක කාරණයක් නම්, “මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත” යන්නයි.—යොහන් 13:34, 35.

යේසුස් මෙහි සඳහන් කරන්නේ තම අනුගාමිකයන් එකිනෙකා අතරත් අනිත් අය අතරත් සැබෑ ප්‍රේමය ඇතිව සිටිය යුතු බවයි. යේසුස්ගේ කාලයේ පටන් ක්‍රිස්තියානීන්ගෙන් බොහෝදෙනෙක් ඒ කාරණය ඉටු කරලා තිබෙනවා. නමුත් ක්‍රිස්තියානීන්යයි කියා ගන්නාවූ ආගමික සංවිධාන ගැන කියන්න පුළුවන් මොනවාද? ඒ අය අතරේ ප්‍රේමය තිබෙන බවට ප්‍රචලිත වෙලා තිබෙනවාද? කොහෙත්ම නැහැ. ඒ වෙනුවට මෙතෙක් සිදු වී ඇති යුද්ධ හා ගැටුම් ගණනාවක පෙරමුණ ගෙන තිබෙන ඔවුන් අහිංසක මිනිසුන්ගේ ලේ වගුරුවා තිබෙනවා.—එළිදරව් 18:24.

විසිවන ශතවර්ෂයේ පැවති ලෝක මහ යුද්ධ දෙකේදීම ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ ජාතීන් විසින් යුද්ධයේ පෙරමුණ ගෙන තිබෙනවා. මෑතකදී එනම් 1994දී රුවන්ඩාවේ සිදු කළ ම්ලේච්ඡ ක්‍රියාවලදී සහ සමූලඝාතනයන් කිරීමට දැරූ වෑයම්වලදී මුල් තැන ගෙන තිබුණේ ක්‍රිස්තියානි පල්ලිවල සාමාජිකයන්. ඒ ගැන ඩේස්මන්ඩ් ටුටූ නම් එංගලන්ත සභාවේ අගරදගුරු මෙහෙම ලිව්වා. “එකිනෙකාට විරුද්ධව ලේ පිපාසයෙන් යුතුව සටන් වැදුණු අයගෙන් වැඩිදෙනෙක් එකම ආගමේ. ඒ අය ක්‍රිස්තියානීන්.”

“ඔබ මාගේ වචනයෙහි පවතිනවා නම්”

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගත හැකි දෙවන කාරණය ගැන යේසුස් කිව්වේ මෙහෙමයි.“ඔබ මාගේ වචනයෙහි පවතිනවා නම්, සැබවින්ම ඔබ මාගේ ගෝලයෝය. ඔබ සත්‍යය දැනගන්නවා ඇත. සත්‍යය ඔබව නිදහස් කරනවා ඇත.”—යොහන් 8:31, 32.

යේසුස් තම අනුගාමිකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ වචනයේ පැවතීමයි. එනම් ඔහුගේ ඉගැන්වීම්වලට අනුව ජීවත් වීමයි. දේවධර්මාචාර්ය කූං සටහන් කරන්නේ යේසුස්ව අනුගමනය කරනවායයි කියා සිටින ආගමික නායකයන් “ග්‍රීක සංකල්ප වැඩිහරියක් ඈඳා ගත්තා” කියලයි. ඔවුන් යේසුස්ගේ ඉගැන්වීම් වෙනුවට වෙනත් ආගම්වලින් හා දර්ශනවාදීන්ගෙන් ඈඳා ගත් අදහස් වන මරණින් පසු ශරීරයෙන් පිටවී ජීවත් වන යමක් ඇති බව, ශුද්ධගිනිස්ථානය පිළිබඳ විශ්වාසය, මරිය වන්දනාව සහ පූජ්‍ය පක්ෂයක් ගැන අදහස් ඇතුළත් කළා.—1 කොරින්ති 1:19-21; 3:18-20.

ආගමික නායකයන් අභිරහසක් වන ත්‍රිත්ව මූලධර්මය හඳුන්වා දීමෙන් යේසුස් කවදාවත් බලාපොරොත්තු නොවූ තත්වයකට ඔහුව උසස් කළා. ඒ ඉගැන්වීම නිසා යේසුස් නිතරම කතා කළ තම පියාණන් වන යෙහෝවාට නමස්කාරය දීමෙන් ජනයාව ඉවතට හැරෙව්වා. (මතෙව් 5:16; 6:9; යොහන් 14:28; 20:17) හෑන්ස් කූං ලියන්නේ “දෙවි ගැන කතා කරද්දී යේසුස් ඉන් අදහස් කළේ පුරාණයේ විසූ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් නමස්කාර කළ යාහ්වේ දෙවිවයි. . . . ඔහු තමයි යේසුස්ට සිටි එකම එක දෙවි.” යේසුස්ගේ පියා හා දෙවි වෙන්නේ යාහ්වේ නැත්නම් පොදුවේ සිංහලෙන් හඳුන්වන ලෙසට, යෙහෝවා කියලා දන්නේ කීයෙන් කීදෙනාද?

දේශපාලන කටයුතුවලදී පැති නොගන්නා ලෙස යේසුස් කළ අණ ආගමික නායකයන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබෙනවා. යේසුස්ගේ කාලයේදී ගලීලය යනු “ජාතිවාදී අරගල තිබුණ කේන්ද්‍රස්ථානයයි” යනුවෙන් ට්‍රෙවර් මාරෝ නම් ලේඛකයා ලියයි. දේශපාලන හා ආගමික නිදහස වෙනුවෙන් දේශානුරාගී යුදෙව්වන්ගෙන් බොහෝදෙනෙක් අවි ආයුධ අතට ගත්තා. එවැනි සටන්වලට හවුල් වෙන්න කියලා යේසුස් තම ගෝලයන්ට කිව්වාද? නැහැ. ඊට වෙනස්ව ඔහු කිව්වේ ‘ඔබ ලෝකයේ කොටසක් නොවේ’ කියායි. (යොහන් 15:19; 17:14) ආගමික නායකයන් දේශපාලනයේදී පැති නොගෙන ඉන්නවාට වඩා “යුද්ධයට ලැදි දේශපාලනයට බර අය” හැටියට කටයුතු කළා කියා අයර්ලන්ත ජාතික හියුබර්ට් බට්ලර් විස්තර කරනවා. ඔහු තවදුරටත් මෙහෙම ලිව්වා. “දේශපාලනයට ලැදි ආගම හැමවිටම යුද්ධයටත් ලැදියි. ආගමික නායකයන් දේශපාලන නායකයන් සමඟ යම් එකඟතාවකට එද්දී එසේ කරන්නේ යම් වාසි ප්‍රයෝජන බලාගෙනයි.”

යේසුස්ව ප්‍රතික්ෂේප කරන බොරු ඉගැන්වීම්

සැබෑ ක්‍රිස්තියානි ආගම නැති වී යන කාලයක් ගැන පාවුල් අනතුරු ඇඟෙව්වා. පාවුල් කිව්වේ ඔහුගේ මරණයෙන් පසු නමට පමණක් ක්‍රිස්තියානීන් වන අය අතරින් “රෞද්‍ර වෘකයන්” වැන්නන් නැඟිට “තමුන් අනුව යෑමට ගෝලයන් ඇදගන්නා පිණිස, විකෘති වූ දේවල් පවසන්නෝය” කියායි. (ක්‍රියා 20:29, 30) ඔවුන් “දෙවිව දන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළත්,” සත්‍යය නම් “ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුහු ඔහුව ප්‍රතික්ෂේප” කිරීමයි. (තීතස් 1:16) පේතෘස් පවා අනතුරු ඇඟවූයේ බොරු ගුරුවරු “රහසිගතව, විනාශකාරී බොරු ඉගැන්වීම් ඔබ අතරට ගෙන ඒමෙන්ද, තමන්ව මිල දී ගත් ස්වාමියාව පවා ප්‍රතික්ෂේප” කරයි කියායි. ඔවුන්ගේ නින්දිත හැසිරීම් රටාව නිසා මිනිසුන් “සත්‍යයේ මාර්ගය ගැන නිග්‍රහාත්මක ලෙස කතා කරනවා ඇත.” (2 පේතෘස් 2:1, 2) එලෙස යේසුස්ව ප්‍රතික්ෂේප කිරීම ගැන ග්‍රීක විද්වතෙක් වන ඩබ්ලිව්. ඊ. වයින් කියා සිටින්නේ “ඇදහිල්ල අත්හැර යෑමෙන් සහ බොරු ඉගැන්වීම් පතුරුවා හැරීමෙන් ඔවුන් පියාවත් පුත්‍රයාවත් පිළිනොගන්නා බවයි.”

යේසුස්ගේ ගෝලයන්යයි කියා ගන්නාවූ අය හිතාමතාම ‘ඔහුගේ වචනයෙහි පවතින්නේ නැත්නම්’ සහ ඔහු සඳහන් කළ අනෙක් කාරණා ඉටු නොකරනවා නම් යේසුස්ගේ ප්‍රතිචාරය කුමක් වනු ඇද්ද? “යමෙක් මිනිසුන් ඉදිරියෙහිදී මා ප්‍රතික්ෂේප කරන්නේද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් ඉදිරියෙහිදී මමද ඔහුව ප්‍රතික්ෂේප කරන්නෙමි” කියා ඔහු අනතුරු ඇඟෙව්වා. (මතෙව් 10:33) ඇත්තයි, කෙනෙක් විශ්වාසවන්තව සිටීමට තම උපරිමය කරද්දී වැරැද්දක් සිදු වුවහොත් යේසුස් ඒ තැනැත්තාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. උදාහරණයකට පේතෘස්, යේසුස්ව හඳුනන්නේ නැහැ කියා තුන්වතාවක් කිව්වත්, ඔහු පසුතැවිලි වූ නිසා ඔහුට සමාව ලැබූණා. (මතෙව් 26:69-75) ඒ වුණත් බැටළු හම් පොරවා ගත් වෘකයන් බඳු පුද්ගලයන්ව හා ආගමික සංවිධාන යේසුස් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් යේසුස්ව අනුකරණය කරනවා කියලා පෙන්වන නමුත් හිතාමතාම සහ දිගටම ඔහුගේ ඉගැන්වීම් අදාළ කරගන්නේ නැහැ. ඒ වගේ බොරු ගුරුවරුන් ගැන යේසුස් කිව්වේ මේ දෙයයි. “ඔවුන්ගේ පලවලින් ඔබ ඒ මිනිසුන්ව ඇඳිනගන්නහුය.”—මතෙව් 7:15-20.

ගෝලයන්ගේ අභාවයෙන් පසු බොරු ඉගැන්වීම් ව්‍යාප්ත වෙයි

බොරු ක්‍රිස්තියානීන් යේසුස්ව ප්‍රතික්ෂේප කරන්න පටන්ගත්තේ කවදාද? යේසුස්ගේ මරණින් ටික කලකට පසුවයි. යේසුස් කියා සිටියේ තම දේවසේවා කාලය තුළදී ඔහු පැළ කළ “තිරිඟු” හෙවත් සැබෑ ක්‍රිස්තියානින් අතරේ “කිරිඳි” හෙවත් බොරු ක්‍රිස්තියානින්ව සාතන් නමැති යක්ෂයා විසින් වපුරනු ලබන බවයි. (මතෙව් 13:24, 25, 37-39) පාවුල් කිව්වේ ඔහුගේ කාලය තුළ බොරු ගුරුවරුන් ක්‍රියාශීලීව වැඩ කළ බවයි. යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලින් වෙනතකට හැරෙන්න මූලික හේතුව හැටියට ඔහු සටහන් කළේ “සත්‍යය සඳහා වූ [සැබෑ] ප්‍රේමයක්” ඔවුනට නොතිබීම කියායි.—2 තෙසලෝනික 2:10.

කොහොමවුණත් යේසුස්ගේ ගෝලයන් ජීවත්ව සිටින තාක්කල් බොරු ක්‍රිස්තියානීන්ට ජය ගන්න ලැබුණේ නැහැ. නමුත් මුල් ගෝලයන්ගේ අභාවයෙන් පසු ආගමික නායකයන් “සියලු බලවත් ක්‍රියාද, බොරු ලකුණු සහ පෙර නිමිතිද, සියලු අධර්මිෂ්ඨ රැවටිලිකාරකම්ද” කරමින් ජනයාව නොමඟ යැවීම සිදු කළා. ඒ නිසා යේසුස් හා ඔහුගේ ගෝලයන් ඉගැන්නූ සත්‍යතාවලින් බොහෝදෙනෙකු ඉවතට හැරුණා. (2 තෙසලෝනික 2:3, 6-12) කොතරම් ඉක්මනින් එදා පැවති ක්‍රිස්තියානි සභාව වෙනස් වුණාද කියනවා නම්, ඒ ගැන “යේසුස් වගේම පාවුලුත් පුදුමයට” පත් වන බව ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයෙක් වූ බර්ට්‍රම් රසල් ලිව්වා.

සැබෑ ක්‍රිස්තියානි ආගම යළි පිහිටුවීම

මුල් ගෝලයන්ගේ අභාවයෙන් පසු ක්‍රිස්තියානි කියන නමින් කර ඇති හුඟක් දේවලට යේසුස්ගේ අනුමැතිය ලැබී නැති බව පැහැදිලියි. “මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි” කියා යේසුස් දුන් පොරොන්දුව ඉටු කිරීමට ඔහු අපොහොසත් වී ඇති බව ඉන් අදහස් කරන්නේ නැහැ. (මතෙව් 28:20, පැරණි අනුවාදය) ඔහු ඒ වචන කියූ දා පටන් “යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් තමන් උගන්වන දේවල්වලටත් තමන්ගේ ක්‍රියාවලටත් අදාළ” කරගන්නාවූ විශ්වාසවන්ත පුද්ගලයන් ඉඳ ඇති බව අපට සහතික වෙන්න පුළුවන්. සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීමේ ලකුණ වන ප්‍රේමය දැක්වීමට හා ඔහු ඉගැන්වූ සත්‍යතාවලට ඇලී සිටීමට උත්සාහ කරන එවන් පුද්ගලයන්ට උදව් කරන බවට යේසුස් දුන් පොරොන්දුව ඔහු ඒ විදියටම ඉටු කර තිබෙනවා.

තවදුරටත් යේසුස් පොරොන්දු වුණේ මේ දුෂ්ට සමාජයේ අවසානයේදී තම කැමැත්ත ඉටු කිරීම සඳහා පැහැදිලිව හඳුනාගත හැකි ක්‍රිස්තියානි සභාවකට තම විශ්වාසවන්ත ගෝලයන්ව එක්රැස් කරන බවයි. (මතෙව් 24:14, 45-47) ඔහු දැන් ඒ සභාව මාර්ගයෙන් “සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජනයාගෙන්ද භාෂාවලින්ද වූ” පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන්ගෙන් යුත් “මහත් සමූහයක්” එක්රැස් කරමින් සිටිනවා. ඔහුගේ මූලිකත්වය යටතේ එනම් “එක එඬේරෙක්” යටතේ “එක රැළක්” ලෙස ඔවුන්ව එකමුතු කරනවා.—එළිදරව් 7:9, 14-17; යොහන් 10:16; එෆීස 4:11-16.

ඒ නිසා පසුගිය වසර දෙදහස පුරා යේසුස්ගේ නම දූෂ්‍ය කර ඇති මෙන්ම ක්‍රිස්තියානි ආගම අපකීර්තියට පත් කර ඇති ඕනෑම සංවිධානයකින් ඉවත් වෙන්න. එසේ නොවුණොත් යේසුස් ක්‍රිස්තුස් යොහන්ට පැවසුවාක් මෙන් ළඟදීම දෙවි ඔවුන්ට විනිශ්චය ගෙනෙද්දී ඔවුන්ගේ “පීඩාවලින් කොටසකට” ඔබත් හසු විය හැකියි. (එළිදරව් 1:1; 18:4, 5) “අන්තිම දවස්වලදී” සැබෑ නමස්කාරකයන් එනම් සැබෑ ක්‍රිස්තියානීන්, දෙවිගේ උපදෙස්වලට සවන් දී නිර්මල නමස්කාරයේ යෙදෙමින් ‘ඔහුගේ මාවත්වල හැසිරෙන’ බව අනාගතවක්තෘ මීකා පැවසුවා. ඔවුන් අතර සිටීම ඔබේ අධිෂ්ඨානයත් වේවා! (මීකා 4:1-4) මේ සඟරාවේ ප්‍රකාශකයෝ එම සැබෑ නමස්කාරකයන්ව හඳුනාගැනීම සඳහා ඔබට උපකාර කිරීමට සතුටු වේවි.

[5වන පිටුවේ පින්තූර]

සැබෑ ක්‍රිස්තියානීන් යුද්ධවලට හවුල් නොවන්නේ ඇයි?

[හිමිකම් විස්තර]

Soldiers, left: U.S. National Archives photo; flamethrower, right: U.S. Army Photo

[7වන පිටුවේ පින්තූර]

‘ඔබ අතරේ ප්‍රේමය ඇතිව සිටීම’ සහ ‘මාගේ වචනයෙහි පැවතීම’ සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීම සඳහා යේසුස් පෙන්වා දුන් මූලික කාරණා වෙයි