Skip to content

පටුනට යන්න

සුදුසු විනෝදයෙන් නියම ප්‍රබෝධය ලබන්න

සුදුසු විනෝදයෙන් නියම ප්‍රබෝධය ලබන්න

සුදුසු විනෝදයෙන් නියම ප්‍රබෝධය ලබන්න

“ඔබ කෑවත් බීවත් වෙන කිසිවක් කළත්, දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න.”—1 කොරින්ති 10:31.

1, 2. සතුට ගෙන දෙන දේවල් “දෙවිගෙන් ලැබෙන දීමනා” කියා කියන්න පුළුවන් ඇයි? බයිබලය දෙන අනතුරු ඇඟවීම මොකක්ද?

අපි හැමෝම ආසයි සතුටින් ඉන්න. අපේ සන්තෝෂවත් දෙවි යෙහෝවාට ඕනෙත් අපි සතුටෙන් ඉන්නවා දකින්නයි. ඒ සඳහා ඕන කරන හැම දෙයක්ම දෙවි අපට බහුල ලෙස සපයලත් තිබෙනවා. (1 තිමෝති 1:11; 6:17) “සන්තෝෂ [වෙනවාට] . . . වඩා කිසි යහපතක් ඔවුන්ට නැති බව දනිමි. එක එක මනුෂ්‍යයා කා බී ඔහු දරන මුළු වෙහෙසින් යහපත භුක්තිවිඳීම දෙවිගේ දීමනාවය” කියා ප්‍රඥාවන්ත සලමොන් රජ ලිව්වේ ඒ නිසයි.—දේශනාකාරයා 3:12, 13.

2 කෙනෙක් කරපු යහපත් වැඩ නිසා ඇති වන සතුට ඒ කෙනාව ප්‍රබෝධවත් කරනවා. පවුලේ අය හෝ මිත්‍රයන් ඒ ගැන කතා කරද්දී ඒ සතුට තවත් වැඩි වෙනවා. ඇත්තටම එය “දෙවිගෙන් ලැබෙන දීමනාවක්.” නමුත් අපේ මැවුම්කරු අපේ සතුට වෙනුවෙන් හැම දෙයක්ම බහුල ලෙස සපයා තිබීම, සීමාවකින් තොරව විනෝද වීම සඳහා නිදහසට කරුණක් නම් නෙවෙයි. බේබදුකම, ගිජුකම සහ අනාචාර හැසිරීම බයිබලයේ හෙළාදැක තිබෙන අතර එවැනි අයට “දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති” බවත් එහි අනතුරු අඟවා තිබෙනවා.—1 කොරින්ති 6:9, 10; හිතෝපදේශ 23:20, 21; 1 පේතෘස් 4:1-4.

3. යෙහෝවාගේ මහත් දවස සිහියේ තබාගෙන අවදියෙන් සිටීමට අපිට පුළුවන් කොහොමද?

3 මේ අනතුරුදායක අන්තිම දවස්වල ජීවත් වන ක්‍රිස්තියානීන්ට වෙන කවරදාකටත් වඩා ලොකු අභියෝගයකට මුහුණ දීමට සිදු වෙලා. ඒ තමයි මේ දූෂිත ලෝකයට හැඩ ගැසෙන්නේ නැතුව ඥානවන්තව ජීවත් වීමේ අභියෝගය. (යොහන් 17:15, 16) “දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම” කරන අද කාලයේ මිනිස්සු, “මහත් පීඩාව” ඉතා ආසන්න බවට වූ සාක්ෂි ගැන “කිසි තැකීමක් නොකර” සිටිනවා. (2 තිමෝති 3:4, 5; මතෙව් 24:21, 37-39) යේසුස් තම අනුගාමිකයන්ට මෙහෙම අනතුරු ඇඟෙව්වා. “අධික කෑමෙනුත් බීමෙනුත් ජීවිතයේ කරදරවලිනුත් ඔබේ සිත් කිසි කලෙක බර නොවන පිණිස ඔබ ගැන හොඳ අවධානයකින් සිටින්න. නැතහොත් ඔබ නොදැනුවත්වම ඒ දවස ඔබ පිටට ක්ෂණිකව, උගුලක් මෙන් පැමිණෙන්නේය.” (ලූක් 21:34, 35) එයට කීකරු වීමට කැමැත්තෙන් සිටින අපි දෙවිගෙන් ඈත් වූ මිනිසුන් මෙන් වෙනවා වෙනුවට යෙහෝවාගේ මහත් දවස සිහියේ තබාගෙන අවදියෙන් සිටීමට උත්සාහ කරනවා.—ශෙපනියා 3:8; ලූක් 21:36.

4. (අ) විනෝදය සඳහා සුදුසු දේවල් සොයාගැනීම අපහසු ඇයි? (ආ) එෆීස 5:15, 16හි අපට දෙන උපදෙස මොකක්ද?

4 ලෝකයේ ඇති දූෂිත දේවල් මඟ හරින්න බැරි වන තරමටම සාතන් ඒවා සිත්ගන්නා සහ පහසුවෙන් ලබාගත හැකි දේවල් බවට පත් කරලා. විනෝදය සඳහා ලෝකය ඉදිරිපත් කරන දේවල් බොහොමයක් සකස් කර තිබෙන්නේ “මාංසික ආශාව” වන වැරදි ආශාවලට අපිව පොලඹවන්නයි. (1 පේතෘස් 2:11) ඕනෑම කෙනෙකුට ඕනෑම වේලාවක නුසුදුසු පොත් පත්, රූපවාහිනී වැඩසටහන්, අන්තර්ජාලය සහ VCD තැටි වැනි දේවල් පහසුවෙන් ලබාගන්න පුළුවන් ප්‍රසිද්ධ ස්ථාන අද ඕන තරම් තිබෙනවා. මේවා තමන්ගේ නිවසේ සිටම වුණත් නරඹන්න හෝ කියවන්න පුළුවන්. කෙනෙක් මෙවැනි හානිදායක දේවලට ඇදී ගියොත් එමඟින් ඔහුගේ කාලය අපතේ යනවා වගේම යෙහෝවා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය අහිමි වී විනාශ වීමටත් ඉඩ තිබෙනවා. (යාකොබ් 1:14, 15) මේ නිසා දේවවචනය ක්‍රිස්තියානීන්ට අනතුරු අඟවන්නේ “ඔබ අඥානයන් මෙන් නොව, ප්‍රඥාවන්තයන් මෙන් ගමන් කිරීමට ඉතා සැලකිලිමත් වන්න. දවස් නපුරු බැවින්, ඔබට ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න” කියායි.—එෆීස 5:15, 16.

5. අපිට වැඩියෙන්ම ප්‍රබෝධය ලැබෙන්නේ මොන දෙයින්ද?

5 ක්‍රිස්තියානීන් හැටියට අපි ගත කරන්නේ කාර්ය බහුල ජීවිතයක් වුණත් අනිත් හැමෝම වගේ විනෝද වෙන්න අපිත් ආසයි. “සිනාසෙන්ට” සහ ‘නටන්ට කාලයක්’ තිබෙන බව දේශනාකාරයා 3:4හි සඳහන් වීමෙන් පැහැදිලි වෙන්නේ විනෝද වීම කාලය නාස්ති කිරීමක් ලෙස දෙවි සලකන්නේ නැති බවයි. නමුත් ඒ විනෝදයෙන් අපට ප්‍රබෝධයක් ලැබෙන්න අවශ්‍යයි. එය දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයටත් හානියක් නොවිය යුතුයි. ඒ වගේම අපේ රැස්වීම් සහ දේවසේවය වැනි දෙවිට අපිව තවත් ළං කරන දේවලට එය බාධාවක්ද නොවිය යුතුයි. වැඩි සන්තෝෂය ලැබෙන්නේ දීමෙන් බව දන්නා අද්දැකීම් ලත් ක්‍රිස්තියානීන්, යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීමට මුල් තැන දී, යේසුස්ගේ වියගහ භාරගෙන, තම ‘ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලබාගන්නවා.’—මතෙව් 11:29, 30; ක්‍රියා 20:35.

හොඳ තේරීමක් කරන අයුරු

6, 7. ඔබ තෝරාගන්නා විනෝදය සුදුසුද නැද්ද කියා නිසැක වෙන්න පුළුවන් කොහොමද?

6 අපි තෝරගන්න විනෝදය ක්‍රිස්තියානියෙකුට සුදුසු එකක්ද කියා නිසැක වෙන්න පුළුවන් කොහොමද? ඇත්ත, දෙමාපියන් තම දරුවන්ට මඟ පෙන්වීම් සපයනවා. අවශ්‍ය විට සභා වැඩිමහල්ලන්ගෙනුත් උපකාරය ලබාගන්න පුළුවන්. නමුත් පාවුල් කිව්වේ දැනුම් තේරුම් ඇති අය “හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා භාවිතයෙන්ම පුහුණු කරන ලද වටහාගැනීමේ හැකියාව ඇති අය” විය යුතුයි කියායි. (හෙබ්‍රෙව් 5:14; 1 කොරින්ති 14:20) ඒ හැකියාව වර්ධනය කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම් සහ ප්‍රතිපත්ති බයිබලය අපට සපයනවා. මේවා යොදාගෙන අපි අපේ හෘදය සාක්ෂිය පුහුණු කරගත්තොත්, තෝරාගත යුතු හරි දෙය කුමක්ද කියා එය අපට කියා දේවි. (1 තිමෝති 1:19) එවිට යම් පොතක්, චිත්‍රපටයක්, ක්‍රීඩාවක්, නැටුමක් හෝ ගීතයක් අපිට සුදුසුද නැද්ද කියා තීරණය කිරීමට හැකියාවක් අපිටම ලැබෙනවා.

7 “ගස එහි පලවලින් හඳුනාගනු ලැබේ” කියා යේසුස් පැවසුවා. (මතෙව් 12:33) විනෝදයට කරන දෙයකින් සැහැසික ක්‍රියා, අනාචාර හැසිරීම, භූතවාදය වැනි නරක දේවලට අපව ඇදී යනවා නම් එවැනි දේවලින් අපි වැළකී සිටිය යුතුයි. ඒ වගේම එයින් ජීවිතයට හෝ සෞඛ්‍යයට හානියක් වෙයි නම්, ආර්ථික අමාරුකම් ඇති වෙයි නම්, අපිව අධෛර්ය වෙයි නම් හෝ අනිත් අය එයින් පැකිලෙනවා නම් ඒවායින් අපි වැළකිය යුතුයි. ඒ නිසා පාවුල් මෙහෙම ලිව්වා. “ඔබේ සහෝදරයන්ට විරුද්ධව ඔබ මෙලෙස පව් කර, දුර්වලව තිබෙන ඔවුන්ගේ හෘදය සාක්ෂිය තුවාල කරන විට ඔබ පව් කරන්නේ ක්‍රිස්තුස්ට විරුද්ධවය. එබැවින්, කෑම මගේ සහෝදරයාව බාධාවට පත් කරන්නේ නම්, මගේ සහෝදරයාව බාධාවට පත් නොකරන පිණිස, නැවත කිසි කලක මම මස් නොකන්නෙමි.”—1 කොරින්ති 8:12, 13.

8. පරිගණක ක්‍රීඩාවලින් විය හැකි අනතුර මොකක්ද?

8 අද කාලයේ වීඩියෝ ක්‍රීඩා ඇතුළත් තැටි, VCD සහ DVD වලින් සාප්පු පිරිලා. සමහර ඒවාවලින් සතුටක් ලබන්න පුළුවන් බව ඇත්තයි. ඒත් දැන් එන්න එන්නම ඒවාවලින් වැඩි හරියකම අඩංගු වෙන්නේ බයිබලය හෙළාදකින දේවල්. උදාහරණයකට විනෝදයට කරන වීඩියෝ ක්‍රීඩාවක ඇතුළත් චරිතවලට වුණත් යම් බරපතළ තුවාල සිදු කිරීමට, මරා දැමීමට හෝ අනාචාරයට සම්බන්ධ දෙයක් කිරීමට සිදු වෙනවා නම් ඒ ක්‍රීඩාව සුදුසු එකක් කියලා කියන්න පුළුවන්ද! “සැහැසියාවට කැමැත්තක් දක්වන” අයට යෙහෝවා ද්වේෂ කරන බව මතක තබාගන්න. (ගීතාවලිය 11:5, NW; හිතෝපදේශ 3:31; කොලොස්සි 3:5, 6) ඒ වගේම එවැනි දේවලින් තණ්හාව, කෝපය, මානසික විඩාව වැනි දේවල් ඇති වෙනවා නම්, එහෙමත් නැත්නම් ඔබේ වටිනා කාලය අපතේ යනවා නම් ඉන් දෙවි සමඟ ඔබට තිබෙන මිත්‍රත්වයට හානියක් සිදු විය හැකියි. එසේනම් ඒ දේවලින් වැළකී සිටීමට ඉක්මන් පියවර ගන්න.—මතෙව් 18:8, 9.

විනෝද වෙන්න පුළුවන් සුදුසු විධි

9, 10. විනෝද වෙන්න පුළුවන් සුදුසු විධි මොනවාද?

9 “අද තිබෙන විනෝද වීමේ ක්‍රම වැඩි හරියක්ම බයිබල් ප්‍රතිපත්තිවලට විරුද්ධයි. ඒ නිසා අපිට විනෝද වෙන්න පුළුවන් සුදුසු විදිහක් ඇත්තෙම නැද්ද?” කියා ඔබ අසාවි. ඇත්තෙන්ම පවුලේ අය හෝ සභාවේ අය එක්ක විනෝද වෙන්න පුළුවන් විධි ඕන තරම් තිබෙනවා. අවශ්‍ය වෙන්නේ හොඳින් සිතා බලා සැලසුම් කිරීම පමණයි. වැඩියෙන්ම මේ ගැන සැලකිලිමත් විය යුත්තේ දෙමාපියන්. රාත්‍රි ආහාරය ගන්නා අතර දවසේ සිදු වූ දේවල් ගැන හෝ බයිබල් විෂයක් ගැන කතා කිරීමෙන් පවුලේ හැමෝටම දිරිගැන්වීමක් මෙන්ම ප්‍රබෝධයක් ලබාගන්න පුළුවන්. මුහුදු වෙරළට හෝ උද්‍යානයකට යෑම, සුදුසු ක්‍රීඩාවක් කිරීම, විනෝද චාරිකා යෑම වගේ දේවලුත් සැලසුම් කරන්න පුළුවන්. ඉන් ලොකු සතුටක් මෙන්ම ප්‍රයෝජනත් ලැබෙනවා.

10 දරුවන් තුන්දෙනෙක්ව ඇති දැඩි කළ සභා වැඩිමහල්ලෙක් සහ ඔහුගේ බිරිඳ මෙහෙම කියනවා. “ඒ කාලයේදී අපේ දරුවෝ ගොඩක් පොඩියි. ඒ වුණත් නිවාඩුවක් ගත කරන්න යන්න පුළුවන් තැන් ගැන තීරණය කරද්දී ඒකට අපි ඒගොල්ලන්වත් හවුල් කරගත්තා. එහෙම ගිය සමහර ගමන්වලදී ඒගොල්ලන්ගේ හොඳම යාළුවෙක් ගානේ එක්කගෙන එන්න අපි ඒ තුන්දෙනාටම ඉඩ දුන්නා. දරුවෝ යමක් අත්කරගත් විශේෂ අවස්ථාවලදී සභාවේ සිටි නෑදෑ හිත මිතුරන්ව අපේ ගෙදර කෑමකට ආරාධනා කරලා සතුටු වුණා. වාහනේ නැඟලා විවිධ තැන්වලට ගිය වෙලාවලදී, නැත්නම් කඳුකරයේ ඇවිදින්න ගිය වෙලාවලදී අපි ප්‍රීතියක් ලැබුවා වගේම යෙහෝවා දෙවිගේ මැවිලි ගැන ඇති අගය වැඩි කරගන්නත් අපිට හැකි වුණා.”

11, 12. (අ) විනෝද වීම සඳහා කරන සැලසුම්වලදී අන් අයව එකතු කරගැනීම සඳහා කරන්න පුළුවන් දේවල් මොනවාද? (ආ) ගොඩක් අයගේ මතකයේ රැඳී තිබෙන්නේ මොන වගේ අවස්ථාද?

11 විනෝද වීම සඳහා කරන සැලසුම්වලදී සභාවේ සිටින පියෙක් හෝ මවක් නැති පවුලක්, වැන්දඹුවක්, අවිවාහක කෙනෙක් වගේ අයවත් එකතු කරගන්න එක හොඳ දෙයක් නෙවෙයිද! ඔවුන්ට අවශ්‍යව තිබූ දිරිගැන්වීම එතුළින් ලැබේවි. (ලූක් 14:12-14) සභාව සමඟ අලුතෙන් ආශ්‍රය කරන්න පටන්ගත් අයවත් එකතු කරගන්න පුළුවන්. නමුත් සමහරවිට ඔවුන් කරන දේවල් අන් අයට හානිදායක වෙන්න පුළුවන් නිසා, ඒ ගැන කල්පනාකාරී විය යුතුයි. (2 තිමෝති 2:20, 21) මහලු විය නිසා හෝ යම් අසනීප තත්වයන් නිසා දුර්වල වී නිවසටම වෙලා සිටින අයගේ නිවෙස්වලට ආහාර වේලක් රැගෙන ගොස්, ඔවුන් සමඟ එය බෙදාගෙන ටික වෙලාවක් ගත කිරීමත් හොඳ දෙයක් නෙවෙයිද!—හෙබ්‍රෙව් 13:1, 2.

12 සුහද හමුවීම්වලදී විවිධ බයිබල් විෂයන් ගැන කතා කරන්න පුළුවන්. ඒ කතා බහට දරුවන්වත් එක් කරගත හැකියි. එවිට කාටවත් තනිකමක් හෝ තමන් වටින්නේ නැහැ කියන හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට හැමෝටම දිරිගැන්වීමක් ලැබේවි. ඒ විදිහට එකතු වෙලා ආහාර වේලක් ගත්තු අවස්ථාවන්, කෙනෙකුට සත්‍යය දැනගන්න ලැබුණු ආකාරය වගේම ඒ කෙනාගේ දිරිගන්වන අද්දැකීම් ගැන කතා කරපු අවස්ථාවන් ගැන ගොඩක් අයගේ මතකයේ කාලයක් පුරා රැඳී තිබෙනවා.

13. ආගන්තුක සත්කාරය පෙන්වීම ගැනත් එය පිළිගැනීම ගැනත් යේසුස් සහ පාවුල් හොඳ ආදර්ශයක් තැබුවේ කොහොමද?

13 ආගන්තුක සත්කාරය පෙන්වීම ගැනත් එය පිළිගැනීම ගැනත් යේසුස් තැබුවේ හොඳ ආදර්ශයක්. එවැනි අවස්ථා අනිත් අයගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට ඔහු යොදාගත්තා. (ලූක් 5:27-39; 10:42; 19:1-10; 24:28-32) ඔහුගේ ගෝලයනුත් ඒ වගේම කළා. (ක්‍රියා 2:46, 47) පාවුල් ලිව්වේ මෙහෙමයි. “ඔබ ස්ථිර වන පිණිස ඔබට යම් ආත්මික දීමනාවක් දීම සඳහා ඔබව දැකගැනීමට දැඩි ආශාවෙන් සිටිමි. එපමණක්ද නොව, ඔබෙත් මගෙත් ඇදහිල්ල මාර්ගයෙන් අප එකිනෙකා අතරේ අන්‍යෝන්‍ය දිරිගැන්වීමක් ඇති වනු ඇත.” (රෝම 1:11, 12) විනෝද වන අවස්ථාවලදී එකිනෙකාව දිරිගැන්වීමටත් අපි උත්සාහ කළ යුතුයි.—රෝම 12:13; 15:1, 2.

පරෙස්සම් විය යුතු පැති

14. විනෝද වීමේ අවස්ථාවලට විශාල පිරිසක් එකතු කරගැනීම ගැන පරෙස්සම් විය යුත්තේ ඇයි?

14 විනෝද වීමේ අවස්ථාවන්වලට විශාල පිරිසක් එකතු කරගැනීම නුවණට හුරු දෙයක් නම් නෙවෙයි. ඊට හේතුව විශාල පිරිසක් අධීක්ෂණය කිරීම අමාරු දෙයක් නිසයි. රැස්වීම්, දේවසේවය වැනි දේවලට බාධා නොවන වෙලාවක, පවුල් කිහිපයක් එකට එකතු වී ළඟ පාත නිස්කලංක තැනකට ගොස් කා බී විනෝද වෙන්න හෝ තරඟකාරී ස්වභාවයක් නැති ක්‍රීඩාවක් කරන්න සැලසුම් කරන්න පුළුවන්. එවැනි අවස්ථාවලට වැඩිමහල්ලන්, සභා සේවකයන් හෝ වෙනත් අද්දැකීම් ලත් අයත් සහභාගි වෙනවා නම් ලැබෙන ප්‍රබෝධය තවත් වැඩි වේවි!

15. සුහද හමුවීමක් සැලසුම් කරන විට හැම දෙයක්ම හොඳින් අධීක්ෂණය කළ යුත්තේ ඇයි?

15 මෙවැනි සුහද හමුවීම් සැලසුම් කරන අය හැම දෙයක්ම හොඳින් අධීක්ෂණය කරන්න වග බලාගත යුතුමයි. ඔබ කොච්චර ආගන්තුක සත්කාරයට කැමති කෙනෙක් වුණත්, ඔබේ නිවසට පැමිණි කෙනෙක් යම් දෙයක් නිසා පැකිලුණා කියා දැන ගත්තොත්, ඒ ගැන ඔබට දුක හිතෙන්නේ නැද්ද? ද්විතීය කතාව 22:8හි සඳහන් ප්‍රතිපත්තිය ගැන ටිකක් සිතන්න. ඊශ්‍රායෙලිතයන්ගේ නිවෙස්වල වහල සාදා තිබුණේ පැතලි පියස්සක් හැටියටයි. සාමාන්‍යයෙන් ඔවුන් අමුත්තන්ට සංග්‍රහ කළේ ඒ පියස්ස උඩයි. ඒ නිසා අලුත් නිවසක් හදන විට ඔවුන්ට සිදු වුණා පියස්ස වටේට තාප්පයක් හදන්න. ඒ ‘යමෙකු එයින් ලිස්සා මැරුණොත් එහි වගකීම ඔවුන්ගේ ගෘහයේ අය පිට නොපැවරෙන පිණිසයි.’ (ද්විතීය කතාව 22:8, නව අනුවාදය) මේ හා සමානව ඔබත් සුහද හමුවීමකට ආරාධනා කරන අයගේ ආරක්ෂාව ගැන වගේම ඔවුන්ව බාධාවට පත් නොකිරීම ගැනත් වග බලාගත යුතුයි. නමුත් මෙය කිරීමේදී ඕනෑවට වඩා සීමා පැනවීමෙන් වළකින්න.

16. මත්පැන් පාවිච්චි කිරීම ගැන කල්පනාකාරී වෙන්න පුළුවන් කොහොමද?

16 එවැනි අවස්ථාවලදී මත්පැන් පාවිච්චි කරනවා නම් ඒ ගැන කල්පනාකාරී වෙන්න. තමන්ගේ නිවසට පැමිණෙන අමුත්තන්ට මත්පැන්වලින් සංග්‍රහ කරනවාද නැද්ද යන්න ගැන ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් තීරණය කරන්නේ තමන්ටම ඒ ගැන සොයා බලා, පාලනයකින් යුතුව එය කරන්න පුළුවන් නම් විතරයි. සමහරුන්ව බාධාවට පත් කළ හැකි හෝ පමණ ඉක්මවා බීමට පෙලඹවිය හැකි ඕනෑම දෙයකින් වැළකිය යුතුයි. (එෆීස 5:18, 19) විවිධ හේතු නිසා සමහරු මත්පැන් පානය නොකිරීමට තීරණය කළ හැකියි. සමහර රටවල්වල මත්පැන් පානය කිරීමට හැක්කේ යම් වයස් මට්ටමක් පසු කළායින් පසුවයි. සමහරවිට එවැනි නීති තම නිදහසට බාධාවක් කියා හැඟුණත් ක්‍රිස්තියානීන් ඒවාට කීකරු විය යුතුයි.—රෝම 13:5.

17. (අ) තෝරගන්න සංගීතය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි? (ආ) නැටුම්වලදී විනීත වෙන්නේ කොහොමද?

17 සංගීතය, නැටුම් මෙන්ම විනෝදයට කරන වෙනත් ඕනෑම දෙයක් ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට එකඟව සිදු වන බවට එය සැලසුම් කරන අය වග බලාගත යුතුයි. අද තිබෙන සංගීතය විවිධාකාරයි. ඒ වගේම ඒවාට ඇති රුචි අරුචිකම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කොහොමනමුත් සමහර ගීතවලින් කැරලිකාර ස්වභාවයට, අනාචාර හැසිරීමට සහ සැහැසියාවට දිරිගන්වනවා. ඒ නිසා ඒ ගැන තෝරා බේරා ගැනීමක් කළ යුතුයි. සුදුසු සංගීතය හැමවිටම සන්සුන් එකක්ම විය යුතු නැහැ. ඒත් එය කාමුක හැඟීම් ඇති කරන, අශික්ෂිත හෝ ඝෝෂාකාරී එකක් නොවිය යුතුයි. ශබ්දය කොතරම් ප්‍රමාණයකට පාලනය කළ යුතුද කියා තේරුම් නොගන්නා කෙනෙකුට, සංගීතය හැසිරවීමට භාර දීමෙන් වළකින්න. කාමුක හැඟීම් අවුස්සන ආකාරයෙන් ඉඟ හා ළැම සොලවමින් කරන නැටුම් ක්‍රිස්තියානියෙකුට කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ.—1 තිමෝති 2:8-10.

18. තම දරුවන්ව ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ විනෝද වීම් අධීක්ෂණය කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

18 තම දරුවන් සහභාගි වෙන්න යන සුහද හමුවීම්වලදී කරන්න යන දේවල් දෙමාපියන් දැනගෙන සිටීම හොඳ දෙයක්. ඒවාට ඔවුන් සමඟ යන්න පුළුවන් නම් එය වඩාත් හොඳයි. සමහර සාදයන් කිසිම අධීක්ෂණයකින් තොරව සිදු වී ඇති අතර ඒවාට පැමිණි බොහෝදෙනෙක් අනාචාර හැසිරීමට හෝ වෙනත් නුසුදුසු හැසිරීම්වලට පෙලඹී තිබෙනවා. සමහර දෙමාපියන් තම දරුවන්ට එවැනි සාදයන්ට යන්න අවසර දී තිබීම ඇත්තෙන්ම කනගාටුදායකයි. (එෆීස 6:1-4) සමහරවිට ඔබේ දරුවන් අවුරුදු 18ක 19ක තරම් වයසක සිටින හොඳ සිහිකල්පනාවෙන් හැසිරෙන අය වෙන්න පුළුවන්. ඒ වුණත් ඔවුන්ටත් “යොවුන් වියට ආවේණික වූ ආශාවලින් පලා යන්න” උපකාර අවශ්‍යයි.—2 තිමෝති 2:22.

19. අප ‘පළමුකොට දෙවිගේ රාජ්‍යය සෙවිය’ යුත්තේ ඇයි?

19 කලින් කලට සුදුසු සේ විනෝද වීම තුළින් ලබන සතුට ජීවිතයට ප්‍රබෝධයක්. මේ සතුට යෙහෝවා දෙවි අපෙන් වළක්වන්නේ නැහැ. නමුත් අපි දන්නවා මෙවැනි දේවල් ස්වර්ගයෙහි වස්තු රැස් කරගැනීම සඳහා, එනම් දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා අපිට උපකාර කරන්නේ නැති බව. (මතෙව් 6:19-21) “ජාතීන් මහත් උනන්දුවකින් හඹා යන්නේ” කන බොන අඳින දේ පසුපස වුණත් ජීවිතයේ වඩාත්ම වැදගත් දේ වෙන්නේ ‘පළමුකොට දෙවිගේ රාජ්‍යය සහ ඔහුගේ ධර්මිෂ්ඨකම සෙවීම’ බව යේසුස් තම ගෝලයන්ට තේරුම් කර දුන්නා.—මතෙව් 6:31-34.

20. ඇදහිලිවන්ත සේවකයන්ට තම උදාර සැපයුම්කරු වන යෙහෝවා දෙවිගෙන් කුමන යහපත් දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

20 එසේනම් “කෑවත් බීවත් වෙන කිසිවක් කළත් දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න” අපිටත් හැකියි. ඒ වගේම සුදුසු ආකාරයෙන් භුක්ති විඳින්න දී තිබෙන සෑම යහපත් දෙයක් ගැනම අපේ උදාර සැපයුම්කරුට අපි ස්තුතිවන්ත වෙමු. (1 කොරින්ති 10:31) ළඟදීම පාරාදීසයක් වෙන්න යන මේ පොළොවේ යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ නීති රීතිවලට කීකරු වන සියලුදෙනා සමඟ එක් වී දෙවිගේ ත්‍යාගශීලීභාවයෙන් ලැබෙන නිම් හිම් නැති ප්‍රීතිය අද්දකින්න අපිටත් හැකි වෙනවා නිසැකයි.—ගීතාවලිය 145:16; යෙසායා 25:6; 2 කොරින්ති 7:1.

ඔබට මතකද?

• අද සිටින ක්‍රිස්තියානීන්ට විනෝදය සඳහා සුදුසු දේවල් සොයාගැනීම අපහසු දෙයක් වෙන්නේ ඇයි?

• ක්‍රිස්තියානි පවුල්වලට නියම සතුට සහ ප්‍රබෝධය ලැබී තිබෙන්නේ විනෝද වීම සඳහා කරන කුමනාකාර දේවලින්ද?

• සුදුසු විනෝදයෙන් සතුටක් ලබන අතරතුර පරෙස්සම් විය යුතු පැති මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

විනෝද වීමට සැලසුම් කිරීමේදී හොඳ ප්‍රතිඵල ලබා දෙන දේවල් තෝරගන්න

[19වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තියානීන් වැළකිය යුත්තේ විනෝදයට කරන කුමනාකාර දේවලින්ද?