Skip to content

පටුනට යන්න

හරි දෙය දැනගෙන එය කිරීම

හරි දෙය දැනගෙන එය කිරීම

ජීවිත කතාව

හරි දෙය දැනගෙන එය කිරීම

හේඩ්න් සැන්ඩසන්

“ඔබ මේ දේවල් දන්නේ නම්, ඒවා පවත්වනවා නම් ඔබ සන්තෝෂවත්ය.” (යොහන් 13:17) යේසුස් එයාගේ ගෝලයන්ට එහෙම කිව්වා. හරි දෙය මොකක්ද කියලා අපි දැනගෙන හිටියත් සමහර වෙලාවලදී ඒක කරන එක නම් පහසු නැහැ. නමුත් යේසුස් කියපු ඒ වචන ගැන මට නම් කිසිම සැකයක් නැහැ. මට දැන් අවුරුදු 80කටත් වඩා වැඩියි. ඉන් වසර 40ක් පුරා මම විදේශ රටක දේවසේවය කළා. ඒ නිසා මගේම අද්දැකීමෙන් කියන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි දෙවි කියන විදිහටම දේවල් කිරීමෙන් නියම සන්තෝෂය ලැබෙන බව. මම ඒ ගැන තව ටිකක් පැහැදිලි කරන්නම්.

ඒ කාලයේදී අපි ජීවත් වුණේ ඕස්ට්‍රේලියාවේ නිව්කාස්ට්ල් කියන නගරයෙයි. ඒ 1925 වසරයි. එතකොට මට වයස අවුරුදු තුනයි. දිනක් මගේ දෙමාපියන් “දැන් ජීවත් වන මිලියන සංඛ්‍යාත අය කවදාවත් මැරෙන්නේ නැහැ” යන තේමාවෙන් යුත් බයිබල් කතාවකට සවන් දෙන්න ගියා. සත්‍ය ආගම මේකයි කියලා වටහාගත් අම්මා එදා ඉඳන් සභා රැස්වීම්වලට යන්න පටන්ගත්තා. නමුත් මගේ තාත්තාට තිබුණු උනන්දුව නම් ටික දවසකින් නැති වෙලා ගියා. තාත්තා අම්මාගේ අලුත් ආගමට ගොඩක් විරුද්ධත් වුණා. ඒක අත්හැරියේ නැත්නම් අම්මාව දාලා යනවා කියලා එයා තර්ජනය කළා. මගේ අම්මා තාත්තාට ගොඩක් ආදරේ කළා වගේම පවුල එකට තියාගන්නත් කැමති වුණ කෙනෙක්. ඒත් දෙවිට කීකරු වන එක තමයි ජීවිතයේ වැදගත්ම දෙය කියලා අම්මා දැනගෙන හිටිය නිසා, දෙවි ඉදිරියේ හරි දේ කරන්න ඇයට ඕන වුණා. (මතෙව් 10:34-39) ඒ නිසා තාත්තා අපිව දාලා ගෙදරින් ගියා. ඊට පස්සේ මම තාත්තාව දැක්කේ ඉඳලා හිටලා විතරයි.

අම්මා දෙවිට දැක්වූ පක්ෂපාතකම මම ගොඩක් අගය කරනවා. එයා එදා ගත්ත ඒ තීරණය නිසා මගේ අක්කා බියූලාට සහ මට යෙහෝවා දෙවිගේ සේවය තුළ ගොඩක් ආශීර්වාද භුක්ති විඳින්න අවස්ථාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි අපි වටිනා පාඩමකුත් ඉගෙනගත්තා. ඒ තමයි හරි දෙය මොකක්ද කියලා දන්නවා නම් ඒක කරන්න අපි වෑයම් කරන්න ඕනේ කියන එක.

මම මුහුණ දීපු පරීක්ෂණ

සභාවේ සිටි සහෝදර සහෝදරියන් අපිට ගොඩක් උපකාර කළා. අපිත් එක්ක පදිංචියට ආපු මගේ ආච්චිත් සත්‍ය ඉගෙනගෙන සාක්ෂිකාරියක් වුණා. හැම වෙලේම වගේ දේශනා සේවයේ එකට ගිය මගේ අම්මටයි ආච්චිටයි තිබුණු ගෞරවනීය හා මිත්‍රශීලී ස්වභාවය නිසා මිනිසුන් ඒගොල්ලන්ට ගොඩක් ගරු කළා.

මේ අතර මං ගැන සැලකිලිමත් වූ අපේ සභාවේ සිටි වයසින් වැඩි සහෝදරයන් මට හොඳ පුහුණුවක් ලබාදුන්නා. ඒ කාලයේ දේශනා කිරීම සඳහා පාවිච්චි කරපු විවිධ ක්‍රම මම ඉගෙනගත්තා. මම මුලින්ම සේවයේ ගිහින් කතා කරන්න පුරුදු වුණේ දේවරාජ්‍යය ගැන කෙටි පණිවුඩයක් සඳහන් කාඩ් පතක් ගේහිමියාට කියවන්න දීමෙන් පසුව ඔහු සමඟ ටිකක් කතා කිරීමෙනුයි. ඒ වගේම ග්‍රැමෆෝන් යන්ත්‍රයක් තැනින් තැනට ගෙනියලා බයිබල් විෂයන් ඇතුළත් කතාවලට සවන්දෙන්න අපි මිනිසුන්ට අවස්ථාවක් ලබා දුන්නා. දැන්වීමක් ලියපු ලොකු බෝඩ් කරේ එල්ලගෙන අපි නගරයේ ප්‍රධාන වීදි දිගේ ඇවිද්දා. ඒ දවස්වල මම ටිකක් මිනිසුන්ට භය නිසා, ඒ වගේ දේවල් කරන්න මට පහසු වුණේ නැහැ. නමුත් මම හරි දෙය මොකක්ද කියලා දැනගෙන හිටියා නිසා ඒක කොහොමහරි කරන්න මට ඕන වුණා.

මගේ අධ්‍යාපනයෙන් පස්සේ මම වැඩ කළේ බැංකුවක. මගේ රැකියාව අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරාම තිබූ බැංකු ශාඛාවලට යන්න මට සිදු වුණා. ඒ ප්‍රදේශයේ සාක්ෂිකරුවන් එතරම් හිටියේ නැහැ. ඒත් මම ලබපු පුහුණුව නිසාත් අම්මා මාව දිරිගන්වලා එවපු ලියුම් නිසාත් යෙහෝවා දෙවි කෙරෙහි මගේ ඇදහිල්ල ශක්තිමත්ව තියාගන්න මට පුළුවන් වුණා.

මේ කාලයේදී දෙවන ලෝක යුද්ධය පටන් අරන් තිබුණ නිසා මට හමුදාවට බැඳෙන්න කියලා නියෝගයක් ලැබුණා. බැංකු කළමනාකරු පල්ලියට ලැදි හමුදා නිලධාරියෙක්. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියට මම දේශපාලනයට සම්බන්ධ දේවලදී පැති ගන්නේ නැති බව මම ඔහුට පැහැදිලි කළා. එවිට ඔහු කිව්වේ මගේ ආගම හෝ රැකියාව යන දෙකෙන් එකක් තෝරගන්න කියලයි. හමුදාවට මිනිසුන්ව බඳවාගන්න කාර්යාලයට මම ගියාම බැංකු කළමනාකරුත් එතන හිටියා. නම් ලියාපදිංචි කරන තැනට ළං වෙද්දී ඔහු උනන්දුවෙන් මා දිහා බලාගෙන හිටියා. මම ඒ ලියකියවිලි අත්සන් කරන්න බැහැ කියලා කිව්වාම ඒ නිලධාරීන්ට ගොඩක් කේන්ති ගියා. මට භය හිතුණත්, හරි දේ කරන්න මම අධිෂ්ඨාන කරගත්ත නිසා ස්ථිරව සහ සන්සුන්ව සිටීමට යෙහෝවා දෙවි මට අවශ්‍ය ශක්තිය දුන්නා. මට කරදර කරන්න සමහර දාමරිකයන්ට අණ ලැබිලා තියෙනවා කියලා දැනගන්න ලැබුණ නිසා මගේ බඩු ටික ඉක්මනට අරගෙන ඊළඟ කෝච්චියේ නැඟලා මම නිව්කාස්ට්ල්වලට ගියා.

හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු තවත් සහෝදරයන් හත්දෙනෙක් එක්ක උසාවියේ පෙනී සිටින්න මට සිදු වුණා. බර වැඩ සහිත මාස තුනක සිර දඬුවමක් ලැබීම අපිට එතරම් ප්‍රසන්න දෙයක් වුණේ නැහැ. ඒත් හරි දේ කරපු නිසා අපිට ආශීර්වාද ලැබුණා. අපි නිදහස් වී වැඩි කලක් යන්න කලින් මම යෙහෝවා දෙවිට කැපවී බව්තීස්ම වුණා. මාත් එක්ක සිරගෙදර හිටපු සාක්ෂිකාරයෙක් එයාගේ ස්ටූඩියෝ එකේ වැඩ කරන්න මට එන්න කිව්වා. එයාගේ නම හිල්ටන් විල්කින්සන්. ස්ටූඩියෝ එකේ පිළිගන්නා නිලධාරිනියක් හැටියට වැඩ කරපු මෙලඩීව මට මුණගැහුණේ එතනදී. පසුව එයා මගේ බිරිඳ වුණා.

පූර්ණ කාලීන සේවය පටන්ගැනීම

අපේ විවාහයෙන් පසුව මෙලඩී එක්ක මම නිව්කාස්ට්ල්වල ස්ටූඩියෝ එකක් පටන්ගත්තා. ඒත් අපි කාර්ය බහුල වුණු නිසා ඒක අපේ සෞඛ්‍යයටත් යෙහෝවා දෙවිත් එක්ක අපිට තිබුණ මිත්‍රත්වයටත් බලපෑවා. ඒ කාලයේම තමයි, දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට සේවය කරන ටෙඩ් ජැරැස් ඕස්ට්‍රේලියාවේ ශාඛා කාර්යාලයේ සේවය කළේ. අපේ සේවය වැඩි කරන්න පුළුවන් පැති ගැන එයා අපිත් එක්ක කරපු කතා බහෙන් පස්සේ අපේ ජීවිතය සරල කරගන්න අපි තීරණය කළා. අපි මුලින්ම කළේ අපේ ස්ටූඩියෝ එක විකුණපූ එක. ඊට පස්සේ 1954දී, නිවසක් වගේ පාවිච්චි කරන්න පුළුවන් වාහනයක් මිල දී ගත් අපි, වික්ටෝරියා ප්‍රාන්තයේ බාලරැට් නගරයේ පදිංචියට ගියා. එතැන් සිට අපි පූර්ණ කාලීනව දෙවිට සේවය කරන්න පටන්ගත්තා.

ඒ දවස්වල බාලරැට්වල තිබුණේ පුංචි සභාවක්. නමුත් යෙහෝවා දෙවි අපේ වෑයම්වලට ආශීර්වාද කළා. මුලින් රැස්වීම්වලට ආවේ 17දෙනෙක් විතරයි. ඒත් මාස 18ක් ඇතුළත ඒ සංඛ්‍යාව 70 දක්වා වැඩි වුණා! ඊට පස්සේ දකුණු ඕස්ට්‍රේලියාවේ සංචාරක සේවයේ යෙදෙන්න මට ආරාධනයක් ලැබුණා. ඊළඟ වසර තුන පුරාම අපි ඇඩිලේඩ් නගරයේ වගේම මාරී ගඟ ආශ්‍රිත මිදි සහ දොඩම් වැනි පලතුරු වැවෙන ප්‍රදේශවල තිබූ සභාවන්වල ගොඩක් සන්තෝෂයෙන් සේවය කළා. අපේ ජීවිතවලට සිදු වෙලා තිබුණේ මොන තරම් වෙනසක්ද! ප්‍රේමණීය සහෝදර සහෝදරියන් එක්ක දෙවිට සේවය කිරීමෙන් අපි ලොකු සතුටක් ලැබුවා. හරි දෙය මොකක්ද කියලා දැනගෙන එය කිරීමෙන් අපි ලැබුවේ මොන තරම් ලොකු ආශීර්වාදයක්ද!

විදේශ රටක සේවයට යෑම

නිව් යෝක්වල පැවැත්වීමට නියමිතව තිබූ “දිව්‍ය කැමැත්ත” යන තේමාවෙන් යුත් ජාත්‍යන්තර සමුළුවට 1958 අග භාගයේදී යන්න අදහස් කරන බව ඕස්ට්‍රේලියාවේ ශාඛා කාර්යාලයට අපි දැනුම් දුන්නා. ඒ සඳහා ඔවුන් එවපු පිළිතුර සමඟ, අයදුම් පතකුත් තිබුණා. ඒ විදේශ රටවල දේවසේවය කරන අයව පුහුණු කිරීම සඳහා එක්සත් ජනපදයේ පවත්වන පාසැලක් වන ගිලියද් පාසැලට ඇතුල් වීම සඳහා අයදුම් පතක්. ඒ දවස්වල අපේ වයස අවුරුදු 35ට වඩා වැඩියි. පාසැලට ඇතුල් වෙන්න පුළුවන් වයස් සීමාව පැනලා නිසා අපිට යන්න බැරි වෙයි කියලයි අපි හිතුවේ. නමුත් 32වෙනි පන්තියට සහභාගි වෙන්න අපිට ආරාධනයක් ලැබුණා. මේ පුහුණුව අතරතුරේදී සේවය කරන්න අපිට යන්න නියමිතව තිබුණු රට ගැන අපිට දැනගන්න ලැබුණා. ඒ ඉන්දියාවයි! මුලදී චකිතයක් දැනුණත් හරි දේ කිරීමට තිබූ අපේ ආශාව නිසා අපි ඒ පැවරුම භාරගත්තා.

අපි ඉන්දියාවට ගියේ 1959 අවුරුද්දෙයි. අපි ගිය නැව බොම්බායේ (දැන් මුම්බායි) වරායට ආවේ හිමිදිරි පාන්දර. අපි මුලින්ම දැක්කේ තොටුපොළ දිගේ සියගණනක් කම්කරුවන් ඔහේ වැටිලා නිදාගෙන ඉන්නවා. හුරු පුරුදු නැති අමුතු සුවඳවල් අපිට දැනුණා. අව්වේ සැර අපිට තේරුණේ ඉර පායන්න පටන්ගත්තාමයි! ඒ වගේ රස්නයක් මීට කලින් කවදාවත් අපි අද්දැකලා තිබුණේ නැහැ. අපිව පිළිගැනීමට ඇවිල්ලා හිටියේ බාලරැට්වල අපිත් එක්ක පූර්ණ කාලීන සේවය කරපු ලින්ටන් සහ ජෙනී ඩෝව යුවළයි. ඒ වන විට ඔවුන් ඉන්දියාවේ පූර්ණ කාලීන සේවය කරමින් සිටියා. ඔවුන් අපිව බෙතෙල් නිවසට එක්කගෙන ගියා. ඒක පිහිටා තිබුණේ නගරයේම නිසා එතැන එතරම් ඉඩ කඩ තිබුණේ නැහැ. එතැන ස්වේච්ඡා සේවකයන් හයදෙනෙක් පදිංචි වෙලා හිටියා. ඉන්දියාවේ සේවය කරන්න 1926දී එංගලන්තයෙන් ආපු සහෝදර එඩ්වින් ස්කිනර්, ලොකු කැන්වස් බෑග් දෙකක් මිල දී ගන්න කියලා අපිට යෝජනා කළා. ඒ දවස්වල ඒ වගේ බෑග් ඉන්දියාවේ හැමෝම වගේ පාවිච්චි කළා. ඒවා අපේ ගමන් බිමන්වලට ගොඩක් ප්‍රයෝජනවත් වුණා.

අපිට සේවය කරන්න තිබුණේ මදුරාසියේ (දැන් තමිල් නාඩු) දකුණු ප්‍රාන්තයේ තියෙන, 2,50,000ක පමණ දෙනෙක් ජීවත් වූ තිරුච්චිරප්පිලි කියන නගරයේ. එහෙට දුම්රියෙන් යන්න දවස් දෙකක් ගත වුණා. එහි සිටි ඉන්දියානු ජාතික විශේෂ පුරෝගාමීන් තුන්දෙනෙක් එක්ක අපි නවාතැන් ගත්තා. අපි ගත කළේ එතරම් පහසුකම් නැති, සරල ජීවිතයක්. එක් අවස්ථාවකදී අපේ අතේ තිබුණේ ඉතා සුළු මුදලක්. වැඩි කලක් යන්න ඉස්සෙල්ලා ඒ ටිකත් ඉවර වුණා. ඒත් යෙහෝවා අපිව අත්හැරියේ නැහැ. අපිත් එක්ක බයිබලය පාඩම් කරපු කෙනෙක් රැස්වීම් පැවැත්වීමට සුදුසු නිවසක් කුලියට ගන්න අවශ්‍ය මුදල් අපිට ණයට දුන්නා. කෑම ගන්න පවා සල්ලි තිබුණේ නැති තවත් දවසක අසල්වැසියෙක් අපිට ව්‍යංජනයක් ගෙනල්ලා දුන්නා. ඒක රසට හදලා තිබුණා. නමුත් ඒක ගොඩක් සැර නිසා මම ඉක්කා ගහන්න පටන්ගත්තා!

ඉන්දියාවේ සේවය කිරීම

ඉංග්‍රීසි භාෂාව කතා කරන අය ටිකදෙනයි තිරුච්චිරප්පිලිවල හිටියේ. වැඩිදෙනෙක් කතා කළේ දෙමළ භාෂාව නිසා ඒ භාෂාවෙන් අපේ පණිවුඩය කෙටියෙන් කියන්න අපි පුරුදු වුණා. මේ නිසා ගොඩක් අයගේ ගෞරවය හා ආදරය දිනාගන්න අපට පුළුවන් වුණා.

ගෙයින් ගෙට සේවයෙන් අපිට ලොකු සතුටක් ලැබුණා. ඉන්දියානු ජාතිකයන් සාමාන්‍යයෙන් අමුත්තන්ට සංග්‍රහ කිරීමට ලැදි සෙනඟක් නිසා හැම ගෙදරකින්ම වගේ අපිට කන්න බොන්න ලැබුණා. හැමදාම වගේ සෙල්සියස් අංශක 40ක විතර උෂ්ණත්වයක් තිබුණ නිසා ඔවුන් කරපු ඒ සංග්‍රහයන් අපි ගොඩක් අගය කළා. පණිවුඩය කියන්න කලින් පෞද්ගලික කාරණා ගැන ටිකක් කතා කිරීම ඒ පැතිවල සාමාන්‍ය සිරිතක්. “ඔයාලා කොහෙන්ද? දරුවෝ ඉන්නවාද? ඇයි නැත්තේ?” වැනි ප්‍රශ්න ගෙවැසියන් අපෙන් නිතරම වගේ ඇහැව්වා. එහෙම අහපු සමහරු හොඳ වෛද්‍යවරයෙක් ගැනත් අපිට කිව්වා! ඒ කොහොමවුණත් ඒ වගේ සාකච්ඡා නිසා අපිව හඳුන්වාදීමටත් අපි කරන සේවයේ වැදගත්කම ගැන ඔවුන්ට පහදා දීමටත් අපිට අවස්ථාවක් ලැබුණා.

අපිට හමු වුණු වැඩිදෙනෙක් හින්දු ආගමේ අය. ඒගොල්ලන්ගේ විශ්වාසයන් අපේ විශ්වාසයන්ට වඩා ගොඩක් වෙනස් නිසා, ඒවා ගැන වාද කරන්න යන්නේ නැතුව අපි දේවරාජ්‍යයේ ශුභාරංචිය ගැන ඔවුන්ට කිව්වා. ඒ නිසා අපිට හොඳ ප්‍රතිඵල ලැබුණා. මාස හයක් ඇතුළත අපේ නිවසේ තිබුණු රැස්වීම්වලට 20දෙනෙක් විතර ආවා! මේ අය අතර හිටියා නල්ලතම්බි කියලා සිවිල් ඉංජිනේරුවෙක්. එයාගේ පුතාගේ නම විජයාලයන්. පසු කාලයකදී 50දෙනෙකුට විතර යෙහෝවාගේ සේවකයන් වෙන්න ඒ දෙන්නා උදව් කළා. විජයාලයන් ටික කලක් ඉන්දියාවේ ශාඛා කාර්යාලයෙත් සේවය කළා.

නිතරම ගමනේ

අපි ඉන්දියාවට ගිහින් මාස හයක් වෙන්නත් ඉස්සෙල්ලා මට තවත් පැවරුමක් ලැබුණා. ඒ තමයි ඒ රටේ පළමුවෙනි ස්ථිර දිස්ත්‍රික්ක අවේක්ෂක හැටියට සේවය කිරීම. අපිට සිදු වුණා ඉන්දියාව පුරාම ගමන් කරන්න. එක්රැස්වීම් සැලසුම් කරන්න. ඒ වගේම භාෂා නවයක් කතා කරන කණ්ඩායම් එක්ක වැඩ කරන්න. ඒක ලේසි පහසු වැඩක් නම් වුණේ නැහැ! අපි මාස හයකට ඕන කරන ඇඳුම් පැළඳුම් වගේම වෙනත් දේවල් ඔක්කොම ට්‍රන්ක් පෙට්ටි තුනකට සහ අපේ කැන්වස් බෑග් දෙකට අහුරලා මදුරාසිය (දැන් චෙන්නායි) ඉඳලා කෝච්චියෙන් පිටත් වුණා. අපේ දිස්ත්‍රික්කයට අයිති ප්‍රදේශයේ වටප්‍රමාණය කිලෝමීටර් 6,500ක් විතර වුණා. ඒ නිසා අපි නිතරම ගමනේමයි. එක සැරයක් අපි දකුණු ඉන්දියාවේ බැංගලෝර් නගරයේ ඉරිදා දවසේ එක්රැස්වීමක් අවසන් කරලා, උතුරු ඉන්දියාවේ හිමාල කඳුවැටියේ පාමුළ තිබෙන ඩාජිලිං නගරයේ ඊළඟ සතියට නියමිත එක්රැස්වීමට සහභාගි වෙන්න කිලෝමීටර් 2,700ක් විතර ගමන් කළා. ඒ ගමනේදී අපිට පස් පාරක් කෝච්චි මාරු කරන්නත් සිදු වුණා!

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලොව වටා කරන සේවය ගැන තොරතුරු ඇතුළත් දෙවිගේ ක්‍රියාශීලී සංවිධානය හඳුනාගනිමු යන චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම ඒ දවස්වල අපිට ප්‍රීතිමත් අද්දැකීමක් වුණා. සියගණනක් මිනිස්සු ඒක බලන්න ආවා. එක සැරයක් පාරක් අයිනේ රැස්වෙලා හිටපු කට්ටියකට චිත්‍රපටිය පෙන්වමින් ඉද්දී අහස වැහි වලාකුළුවලින් බර වුණා. මීට කලින් චිත්‍රපටිය මැදින් නතර කරපු අවස්ථාවකදී, රැස්වෙලා හිටපු අය කෝලාහල කරපු නිසා මම හිතුව චිත්‍රපටිය දිගටම ප්‍රදර්ශනය කරන්න. නමුත් එය ප්‍රදර්ශනය වන වේගය ටිකක් වැඩි කළා. කොහොමහරි මුල්ම වැහි බිංදු ටික වැටෙන්න පටන්ගන්නවාත් එක්කම වගේ චිත්‍රපටියත් අවසන් කරන්න පුළුවන් වුණා.

ඊළඟ වසර කිහිපය තුළ මෙලඩී සහ මම ඉන්දියාවේ සෑම තැනකටම වගේ ගමන් කළා. ඒ එක් එක් ප්‍රදේශයට ආවේණික වූ ආහාර, ඇඳුම්, භාෂාව සහ සුන්දර වටපිටාවන් නිසා, ඒක අපිට දැනුණේ හරියට අපි රට රටවල්වල සංචාරය කරනවා වගේ. යෙහෝවා දෙවිගේ මැවිල්ලේ තිබෙන විවිධත්වය ඇත්තෙන්ම පුදුමාකාරයි! ඉන්දියාවේ වනසතුන් ගැනත් ඒකම තමයි කියන්න වෙන්නේ. වරක් අපි නේපාලයේ වනාන්තරයක කුඩාරම් ගහගෙන හිටියා. ඒ අවස්ථාවේදී අපිට පුළුවන් වුණා ලස්සන ලොකු කොටියෙක්ව දකින්න. ඌව දැක්කාම මිනිසුන් සහ සතුන් එකට ජීවත් වෙන්න යන පාරාදීසයේ ජීවත් වෙන්න අපිට තිබුණු ආශාව තවත් වැඩි වුණා.

සංවිධානයේ මඟ පෙන්වීමට අනුව වැඩ කිරීම

ඒ දවස්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩය කරගෙන යන ආකාරය ගැන ලැබූ මඟ පෙන්වීම් තව ටිකක් හොඳින් අදාළ කිරීමට අවශ්‍යතාවක් තිබුණා. සමහර සභාවල රැස්වීම් වෙලාවේදී පුරුෂයන් එක් පැත්තකත් කාන්තාවන් තවත් පැත්තකත් වාඩි වුණා. රැස්වීම් නියම වෙලාවට පටන්ගත්තේ කලාතුරකින්. එක සභාවක රැස්වීම්වලට ප්‍රචාරකයන් ආවේ සීනුවක් නාද වුණාම. වෙනත් තැන්වල ප්‍රචාරකයන් රාජ්‍ය ශාලාවට ආවේ ඉර යම් තැනකට ආවාම. එක්රැස්වීම් සහ සභාවලට සංචාරක අවේක්ෂකයන්ගේ පැමිණීම සිදු වුණෙත් කඩින් කඩ. සහෝදරයන් හරි දෙය කරන්න කැමති වුණත් ඔවුන්ට නිසි පුහුණුව අවශ්‍ය වුණා.

යෙහෝවා දෙවිගේ සංවිධානය මගින් 1959 වසරේදී රාජ්‍ය සේවා පාසැල ආරම්භ කළා. මේ පුහුණු පාසැල මගින් ලොව පුරා සිටි සංචාරක අවේක්ෂකයන්, පූර්ණ කාලීන දේවසේවකයන් සහ සභා වැඩිමහල්ලන්ට වඩාත් හොඳින් ඔවුන්ගේ පැවරුම් ඉටු කිරීමට උපකාරය ලැබුණා. ඒ පාසැල ඉන්දියාවේ ආරම්භ වුණේ 1961 දෙසැම්බර් මාසයේදීයි. එහි මම උපදේශකයෙක් ලෙස කටයුතු කළා. ක්‍රමානුකූලව ඒ පුහුණුවේ ප්‍රතිඵල නිසා රට පුරා තිබූ සභාවන්වල ලොකු දියුණුවක් දැකගැනීමට හැකි වුණා. සහෝදරයෝ හරි දෙය දැනගත්තාම ඔවුන් දෙවිගේ උපකාරය ඇතුව ඒ දෙය කළා.

විශාල සමුළුවලින් සහෝදරයන් අතර එක්සත්කමක් ඇති වුණා වගේම ඔවුන්ට ලොකු දිරිගැන්වීමකුත් ලැබුණා. මේ සමුළුවලින් කැපීපෙනෙන එකක් වුණේ 1963දී නව දිල්ලිවල පවත්වපු “සදාකාල ශුභාරංචිය” කියන ජාත්‍යන්තර සමුළුව. ඉන්දියාව පුරාම හිටපු සාක්ෂිකරුවන් මේ සමුළුවට පැමිණීම සඳහා කිලෝමීටර් දහස් ගණනක් ගමන් කළා. මේ සඳහා බොහෝදෙනෙක් ඔවුන් ඉතුරු කරපු මුදල් ඔක්කොම වැය කළා. වෙනත් රටවල් 27කින් සහෝදර සහෝදරියන් 583දෙනෙකුත් ඇවිල්ලා හිටියා. ඒ වෙනත් රටවල්වල සිටින සහෝදරයන්ව ආශ්‍රය කිරීමට ඉන්දියාවේ සාක්ෂිකරුවන්ට ලැබුණු මුල්ම අවස්ථාවයි.

මෙලඩීටයි මටයි 1961දී බොම්බායේ බෙතෙල් පවුලේ සාමාජිකයන් වීමට ආරාධනයක් ලැබුණා. පසු කාලයකදී මම ශාඛා කමිටුවේ සාමාජිකයෙක් ලෙසත් සේවය කළා. ඊට පස්සේ වසර ගණනාවක් පුරා මම කලාපීය අවේක්ෂකයෙක් ලෙස ආසියාවේ සහ මැද පෙරදිග ප්‍රදේශවල සේවය කළා. මේ රටවල් බොහොමයක දේශනා වැඩයට යම් සීමා තහංචි තිබූ නිසා, ඒ ප්‍රදේශවල හිටපු ප්‍රචාරකයන්ට “සර්පයන් මෙන් සුපරීක්ෂාකාරීව පරෙවියන් මෙන් අහිංසකව සිටින්න” සිදු වුණා.—මතෙව් 10:16.

වර්ධනයට අනුව වෙනස්වීම

අපි ඉන්දියාවට ආපු මුල් දවස්වල, ඒ කියන්නේ 1959දී ප්‍රචාරකයන් 1,514දෙනෙක් විතරයි එහේ හිටියේ. දැන් 24,000කටත් වැඩියෙන් ඉන්නවා! මේ වර්ධනයට අනුව බෙතෙල් පවුල විශාල කරන්න සිදු වූ නිසා දෙවතාවක්ම බොම්බාය අවට තිබූ ඉඩ කඩ ඇති තැන්වලට යන්න සිදු වුණා. ඊට පස්සේ 2002 මාර්තු මාසයේදී බෙතෙල් පවුල නැවතත් පදිංචිය වෙනස් කළා. ඒ වතාවේදී දකුණු ඉන්දියාවේ බැංගලෝර්වලට කිට්ටුවෙන් ගොඩනඟනු ලැබූ අලුත් තැනකටයි ගියේ. නවීන පහසුකම් ඇති මේ සංකීර්ණයේ දැනට බෙතෙල් සාමාජිකයන් 240දෙනෙක් පදිංචි වී සිටිනවා. ඔවුන්ගෙන් සමහරු පරිවර්තකයන් වන අතර එහි භාෂා 20කින් පොත් පත් පරිවර්තනය කරනවා.

මෙලඩී සහ මම බැංගලෝරයට යන්න ගොඩක් ආශාවෙන් හිටියත් අපේ පිරිහෙන සෞඛ්‍යය ඒකට ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා අපි 1999දී ඕස්ට්‍රේලියාවට ගියා. අපි දැන් සිඩ්නිවල බෙතෙල් පවුලේ සාමාජිකයන්. අපි ඉන්දියාවේ සිටියේ නැතත්, එහේ සිටින අපේ ප්‍රේමණීය මිත්‍රයන්ටත් අපේ දරුවෝ වගේ වන අපි සත්‍යය කියා දීපු අයටත් තිබෙන ප්‍රේමය නම් තාමත් ඒ වගේමයි. ඔවුන්ගෙන් ලියුම් ලැබෙද්දී දැනෙන සන්තෝෂය විස්තර කරන්න වචන නැහැ!

අපි පූර්ණ කාලීන සේවයේ ගත කරපු වසර 50කටත් අධික කාලය දෙස හැරී බලද්දී, මෙලඩීටත් මටත් දැනෙන්නේ අඩුවක් නැතිව අපිට ආශීර්වාද ලැබී ඇති බවයි. කලක් අපි ස්ටූඩියෝ එකක මිනිසුන්ගේ රූපවල මතක සටහන් තබාගැනීමට වැඩ කළා. නමුත් දෙවිගේ මතකයේ මිනිසුන්ව රඳවාගැනීම සඳහා වැඩ කරන්න තීරණය කිරීම ඊටත් වඩා කොච්චර හොඳ තේරීමක්ද! අපේ ජීවිතය තුළ දේවකැමැත්තට මුල් තැන දීමට අපි ගත්තු තීරණය නිසා මොන තරම් ලස්සන අද්දැකීම් රැසක් අපිට ලැබුණාද! ඔව්, දෙවි හරි කියා කියන දේ කිරීමෙන් නියම සන්තෝෂය ලැබෙනවා. ඒ ගැන නම් කිසිම සැකයක් නැහැ!

[15වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ඉන්දියාව

නව දිල්ලිය

ඩාජිලිං

මුම්බායි (බොම්බාය)

බැංගලෝරය

මදුරාසිය (චෙන්නායි)

තිරුච්චිරප්පිලි

[13වන පිටුවේ පින්තූර]

හේඩ්න් සහ මෙලඩී, 1942දී

[16වන පිටුවේ පින්තූරය]

ඉන්දියාවේ බෙතෙල් පවුල, 1975දී