Skip to content

පටුනට යන්න

අපටත් වැදගත් වන “සංකේතාත්මක අර්ථයක්” ඇති සිද්ධියක්

අපටත් වැදගත් වන “සංකේතාත්මක අර්ථයක්” ඇති සිද්ධියක්

අපටත් වැදගත් වන “සංකේතාත්මක අර්ථයක්” ඇති සිද්ධියක්

බයිබලයේ ඇතැම් කොටස්වල අර්ථය පැහැදිලිව තේරුම්ගැනීම සඳහා ඒවාට අදාළ වෙනත් පාඨ සම්බන්ධ කරගත යුතුයි. බයිබලයේ සඳහන් මිනිසුන් සහ සිද්ධීන් පිළිබඳ ඇතැම් වාර්තා වෙනත් පාඨ සමඟ සම්බන්ධ කරගන්නේ නැතුව තේරුම්ගන්න පුළුවන් වුණත් එහි වාර්තා වී ඇති ඇතැම් සිද්ධීන්වලට ගැඹුරු අර්ථයක් තිබෙනවා. මීට එක් උදාහරණයක් වන්නේ ආබ්‍රහම්ගේ භාර්යාවන් දෙදෙනා ගැන සඳහන් වාර්තාවයි. මෙම වාර්තාවේ සඳහන් තොරතුරුවල “සංකේතාත්මක අර්ථයක්” ගැබ් වී තිබෙන බව පාවුල් පැවසුවා.—ගලාති 4:24.

ආබ්‍රහම්ගේ නිවසේ පැවති තත්වය ගැන බයිබලයේ සඳහන් වාර්තාව අප හොඳින් සලකා බැලීම වැදගත්. මන්ද යෙහෝවා දෙවිගේ ආශීර්වාද භුක්ති විඳීමට කැමති සියලුදෙනාටම ඉතා වැදගත් වන සත්‍යයන් එම වාර්තාවෙන් හෙළි වෙනවා. මෙසේ පැවසීමට හේතුව ගැන සලකා බැලීමට කලින් එම සිද්ධියේ වැදගත්කම ගැන පාවුල් ගලාතිවරුන්ට පෙන්වා දුන්නේ ඇයි කියා බලමු.

මුල් සියවසේ ගලාතියේ විසූ ක්‍රිස්තියානීන් අතර යම් ගැටලුවක් තිබුණා. ඔවුන් අතර සිටි සමහරුන් මෝසෙස්ගේ නීතියේ සඳහන් ‘දවස්ද, මාසද, නියමිත කාලවල්ද, අවුරුදුද මහත් ඕනෑකමින් පැවැත්තුවා.’ දෙවිගේ අනුමැතිය ඇතිව සිටීමට නම් ඒ නීතියට කීකරු විය යුතුයි කියා ඒ අය කියා සිටියා. (ගලාති 4:10; 5:2, 3) කෙසේවෙතත් පාවුල් දැන සිටියා ක්‍රිස්තියානීන් නීතියේ සඳහන් දේවල් පැවැත්වීම අවශ්‍ය නැති බව. ඔහු මෙය තහවුරු කිරීම සඳහා යුදෙව් පසුබිමකින් පැමිණි ඕනෑම කෙනෙකු දැන සිටි සිද්ධියක් ගැන සඳහන් කළා.

යුදෙව් ජාතියේ පියා වන ආබ්‍රහම්ට ඉෂ්මායේල් සහ ඊසාක් කියා පුතුන් දෙදෙනෙක් සිටි බව පාවුල් ගලාතිවරුන්ට මතක් කර දුන්නා. ඉෂ්මායේල් බිහි වූයේ ආබ්‍රහම්ගේ නිවසේ සේවිකාව වූ හාගර්ගෙන්. ඊසාක් බිහි වූයේ නිදහස් ස්ත්‍රිය කියා බයිබලයේ හඳුන්වා තිබෙන සාරාගෙන්. සාරා කාලයක් වඳව සිටි බවත් ඇය වෙනුවෙන් ඇගේ සේවිකාව වූ හාගර් මාර්ගයෙන් දරුවෙක් බිහි කර දෙන්න කියා ඇය ආබ්‍රහම්ට පැවසූ බවත් මෝසෙස්ගේ නීතියට කීකරු වූ ගලාතිවරුන් දැන සිටියාට සැකයක් නැහැ. එමෙන්ම හාගර් ඉෂ්මායේල්ව පිළිසිඳ ගත් පසු ඇගේ ස්වාමිදුව වූ සාරාව සුළු කොට සැලකූ බවත් ඔවුන් දැන සිටියා. දෙවිගේ පොරොන්දුවට අනුව අවසානයේදී සාරා මහලු වියේදී ඊසාක්ව බිහි කළා. පසු කලෙක ඉෂ්මායේල් ඊසාක්ට හිරිහැර කරන්න පටන්ගත් නිසා ආබ්‍රහම් හාගර්ව ඉෂ්මායේල් සමඟ නිවසින් යැව්වා.—උත්පත්ති 16:1-4; 17:15-17; 21:1-14; ගලාති 4:22, 23.

ස්ත්‍රීන් දෙදෙනෙක් සහ ගිවිසුම් දෙකක්

“සංකේතාත්මක අර්ථයක්” තිබෙන ඉහත සඳහන් සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් ගැන පාවුල් පැහැදිලි කිරීමක් කරමින් මෙසේ පැවසුවා. “මේ ස්ත්‍රීන්ගෙන් ගිවිසුම් දෙකක් නියෝජනය වේ. සීනයි කන්දෙන් පැමිණි ගිවිසුම දාසකමට දරුවන් බිහි කරන අතර, ඒ හාගර්ය. . . . ඇය දැන් තිබෙන යෙරුසලමට අනුරූප වේ. මන්ද ඇය ඇගේ දරුවන් සමඟ දාසකමේ සිටින්නීය.” (ගලාති 4:24, 25) හාගර්ගෙන් නියෝජනය කළේ ඊශ්‍රායෙල් ජාතියයි. ඊශ්‍රායෙලයේ අගනුවර වූයේ යෙරුසලමයි. යෙහෝවා ඊශ්‍රායෙල්වරුන් සමඟ සීනයි කන්ද අසල ගිවිසුමක් ඇති කරගත් අතර ඔහුට කීකරු වීමට ඔවුන් පොරොන්දු වුණා. මෙම ගිවිසුමට දෙවි දුන් නීති රාශියක් ඇතුළත් වුණා. තමන් පාපයේ වහලුන් වී සිටින බවත් එයින් ගැලවීමක් තමන්ට අවශ්‍ය බවත් එමගින් ඊශ්‍රායෙල්වරුන්ට නිතර මතක් කර දුන්නා.—යෙරෙමියා 31:31, 32; රෝම 7:14-24.

“නිදහස් ස්ත්‍රිය” වන සාරාගෙන් සහ ඇගේ පුත් ඊසාක්ගෙන් නියෝජනය කරන්නේ කාවද? පාවුල් පෙන්වා දුන් පරිදි “වඳ ස්ත්‍රිය” වූ සාරාගෙන් නියෝජනය කරන්නේ දෙවිගේ භාර්යාවට සමාන කර තිබෙන ඔහුගේ ස්වර්ගික සංවිධානයයි. යේසුස් මේ පොළොවට පැමිණීමට කලින්, දෙවිගේ බලය විශේෂාකාරයකින් ක්‍රියාත්මක වීමෙන් බිහි වන “දරුවන්” ඇයට පොළොවේ සිටියේ නැහැ. ඒ අනුව බලද්දී ඇය සිටියේ වඳ තත්වයකයි. (ගලාති 4:27; යෙසායා 54:1-6) කෙසේවෙතත් ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී දෙවිගේ බලය ස්ත්‍රීන් හා පුරුෂයන් පිරිසක් මත විශේෂාකාරයකින් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් හැටියට මේ සංකේතාත්මක ස්වර්ගික ස්ත්‍රියට දරුවන් ලැබුණා. මෙම සංවිධානය විසින් බිහි කරන ලද දරුවන්ව දෙවිගේ පුත්‍රයන් ලෙස සලකනු ලබනවා. නව ගිවිසුමකට ඇතුළත්ව සිටින මොවුන් යේසුස්ගේ හවුල් උරුමක්කරුවන් ලෙස කටයුතු කරනවා. (රෝම 8:15-17) මෙම දරුවන්ගෙන් කෙනෙකු වන පාවුල්ට මෙසේ ලිවීමට හැකි වුණා. “ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය. ඇය අපේ මවය.”—ගලාති 4:26.

ස්ත්‍රීන් දෙදෙනාගේ දරුවන්

ඉෂ්මායේල් ඊසාක්ට හිරිහැර කළ බව බයිබල් වාර්තාවේ සඳහන් වෙනවා. ඒ හා සමාන දෙයක් පළමුවන සියවසේදී සිදු වුණා. වහල්භාවයේ සිටි යෙරුසලමේ දරුවන් ඉහළ තිබෙන යෙරුසලමේ දරුවන්ට සමච්චල් කරමින් හිංසා පීඩා කළා. මේ ගැන පාවුල් මෙසේ ලිව්වා. “මාංසික ලෙස උපන් තැනැත්තා [ඉෂ්මායේල්], ආත්මික ලෙස උපන් තැනැත්තාට [ඊසාක්ට] ඒ කාලයේදී පීඩා කිරීමට පටන්ගත්තා සේම දැනුත් වන්නේය.” (ගලාති 4:29) යේසුස් පොළොවට පැමිණ දේවරාජ්‍යය ගැන දේශනා කරද්දී යුදෙව් ආගමික නායකයන් ක්‍රියා කළේ හාගර්ගේ පුත් ඉෂ්මායේල් ආබ්‍රහම්ගේ නියම උරුමක්කාරයා වූ ඊසාක්ට සැලකූ ආකාරයටයි. ආබ්‍රහම්ගේ නියම උරුමක්කරුවන් වන්නේ තමන්යයි සිතූ ඒ යුදෙව් ආගමික නායකයන් යේසුස්ට හිංසා පීඩා කළා. ආබ්‍රහම්ගේ නියම උරුමක්කරුවා හැටියට ඔහුව සැලකුවේ නැහැ.

ඊශ්‍රායෙල් ජාතියේ පාලකයන් ඔහුව මරණයට පත් කරන්න කලින් යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “යෙරුසලම, යෙරුසලම, අනාගතවක්තෘවරුන්ව මරන්නාවූ තමන් වෙතට එවූ අයට ගල් ගසන්නාවූ නුවර,—කිකිළියක් තම පැටවුන් තම පියාපත් යටට එකතු කරගන්නාක් මෙන් ඔබේ දරුවන්ව එකතු කරගන්න මම කී වරක් කැමති වූයෙම්ද! නමුත් ඔබ ඊට කැමති වූයේ නැත. බලන්න! ඔබේ ගෘහය ඔබට අත්හරිනු ලැබේ.”—මතෙව් 23:37, 38.

පළමුවන සියවසේ සිද්ධීන් ගැන බයිබලයේ සඳහන් වාර්තාවලින් පෙනී යන්නේ හාගර්ගෙන් නියෝජනය කරන ඊශ්‍රායෙල් ජාතිය, යේසුස්ගේ හවුල් උරුමක්කරුවන් වීම සඳහා දරුවන්ව බිහි නොකළ බවයි. උරුමක්කරුවන් වීම සඳහා තමන්ට උපතින්ම අයිතියක් තිබෙනවා කියා උඬඟු ලෙස සිතූ යුදෙව්වන්ව යෙහෝවා දෙවි ප්‍රතික්ෂේප කළා. එහෙත් උපතින්ම ඊශ්‍රායෙල් ජාතියට අයත් වූ ඇතැම් අයට යේසුස්ගේ හවුල් උරුමක්කරුවන් වීමට හැකි වුණා. කෙසේවෙතත් ඒ වරප්‍රසාදය ඔවුන්ට හිමි වුණේ ඔවුන් උපත ලැබූ ජාතිය නිසා නොව යේසුස් කෙරෙහි තැබූ ඔවුන්ගේ ඇදහිල්ල නිසයි.

යේසුස්ගේ හවුල් උරුමක්කරුවන්ගෙන් සමහරදෙනෙකුව හඳුනාගැනීමට ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී හැකි වුණා. ඔවුන්ට අමතරව ඉහළ තිබෙන යෙරුසලමේ දරුවන් වන අනිත් අයවත් කාලයත් සමඟ යෙහෝවා අභිෂේක කළා.

“සංකේතාත්මක අර්ථයක්” තිබෙන මෙම සිද්ධිය පැහැදිලි කිරීමේදී පාවුල්ගේ අරමුණ වූයේ මෝසෙස්ගේ මැදිහත් වීමෙන් ඇති කරගත් නීතික ගිවිසුමට වඩා අලුත් ගිවිසුම උතුම් බව පෙන්වා දීමයි. මෝසෙස් මාර්ගයෙන් දෙන ලද නීතියේ සඳහන් දේවල් පිළිපැදීමෙන් දෙවිගේ අනුමැතිය ලබාගැනීමට කිසිවෙකුට නොහැකියි. මන්ද සියලුම මිනිසුන් පව්කාරයන් වීමයි. එම නීතියෙන් විශේෂයෙන්ම පෙන්වා දුන්නේ මිනිසුන් පාපයේ වහලුන් වී සිටින බවයි. එහෙත් පාවුල් පැහැදිලි කළ පරිදි යේසුස් පැමිණියේ “නීතිය යටතේ සිටින්නන්ව මිල දී ගැනීමෙන් ඔවුන්ව නිදහස් කරන පිණිසයි.” (ගලාති 4:4, 5) මේ අනුව මෝසෙස්ට දෙන ලද නීතිය මාර්ගයෙන් ඔවුන්ව හෙළා දමා තිබූ තත්වයෙන් ඔවුන්ට නිදහස් විය හැක්කේ යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමෙනුයි.—ගලාති 5:1-6.

අපට තිබෙන වැදගත්කම

ආබ්‍රහම්ගේ නිවසේ සිදු වූ සිද්ධියක් සම්බන්ධ කරගනිමින් පාවුල් දෙවිගේ මඟ පෙන්වීම යටතේ කළ මේ පැහැදිලි කිරීම ගැන අප උනන්දු විය යුත්තේ ඇයි? එක් හේතුවක් නම් බයිබලයේ සඳහන් යම් කාරණා හොඳින් තේරුම්ගැනීමට ඒ පැහැදිලි කිරීම නිසා අපට හැකිවීමයි. තවත් හේතුවක් වන්නේ බයිබලයේ තොරතුරු අතර තිබෙන එකඟතාව පිළිබඳ අපේ විශ්වාසය තවත් තහවුරු වීමයි.—1 තෙසලෝනික 2:13.

වඩාත්ම වැදගත් දෙය වන්නේ අපේ අනාගත සන්තෝෂය එම සිද්ධියෙන් සංකේතවත් වන සත්‍යයන් මත රඳා පැවතීමයි. ඉහළ තිබෙන යෙරුසලම දරුවන් බිහි නොකළා නම් අපිට පාපයේ සහ මරණයේ වහල්භාවයෙන් නිදහසක් ලැබෙන්නේ නැහැ. එහෙත් දෙවි ආබ්‍රහම්ට දුන් පොරොන්දුවට අනුව යේසුස් ඔහුගේ හවුල් උරුමක්කරුවන් සමඟ එක්ව කරන පාලනයේදී ‘පොළොවේ සියලු ජාතීන් ආශීර්වාද ලබාගනියි.’ (උත්පත්ති 22:18) මෙය සිදු වන්නේ ඔවුන් පාපයෙන්, මරණයෙන් හා දුක් වේදනාවලින් සදහටම නිදහස් වීමෙන් පසුවයි. (යෙසායා 25:8, 9) ඒ කාලය මොන තරම් ප්‍රීතිමක් කාලයක් වෙයිද!

[11වන පිටුවේ පින්තූරය]

නීතික ගිවිසුම ඇති කරගනු ලැබුවේ සීනයි කන්ද අසලදීයි

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

[12වන පිටුවේ පින්තූරය]

පාවුල් සඳහන් කළ “සංකේතාත්මක අර්ථයක්” ඇති බයිබල් වාර්තාවේ තිබෙන වැදගත්කම කුමක්ද?