Skip to content

පටුනට යන්න

බොරු ආගම්වලින් ඉවත් වී සිටින්න

බොරු ආගම්වලින් ඉවත් වී සිටින්න

බොරු ආගම්වලින් ඉවත් වී සිටින්න

“‘ඒ අය අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වී සිටින්න’ යයි යෙහෝවා කියන්නේය. ‘අපවිත්‍ර දේ ස්පර්ශ කිරීම නතර කරන්න.’”—2 කොරින්ති 6:17.

1. අවංක මිනිසුන් බොහෝදෙනෙක් සිටින්නේ කුමන තත්වයකද?

අවංක මිනිසුන් බොහෝදෙනෙක් දෙවි ගැනත් මනුෂ්‍යවර්ගයා සඳහා තිබෙන අනාගත බලාපොරොත්තුව ගැනත් දන්නේ නැති නිසා සිටින්නේ වියවුල්සහගත තත්වයකයි. මිලියන ගණනක් ජනයා අපේ මැවුම්කරු පිළිකුල් කරන දේවල් බොහොමයක නියැලී සිටින අතර එයින් වන නරක බලපෑම් ගැන ඔවුන් දන්නේ නැහැ. මීට උදාහරණ හැටියට මිථ්‍යා විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර හා ඇතැම් උත්සව සඳහන් කළ හැකියි. සමහරවිට ඔබේ අසල්වාසීන් හා නෑදෑයන් නිරය, ත්‍රිත්වය, කෙනෙක් මිය ගිය පසු නොනැසී පවතින යමක් ඉතුරු වන බවට වූ මතය හා තවත් බොරු ඉගැන්වීම් විශ්වාස කරනවා විය හැකියි.

2. ආගමික නායකයන් මිනිසුන්ට උගන්වා තිබෙන්නේ කුමක්ද? එහි ප්‍රතිඵලය කුමක්ද?

2 මිනිසුන් දෙවි ගැන සත්‍යය නොදැන සිටීමට හේතුව කුමක්ද? පුදුමයට කරුණ නම් ආගමික නායකයන් විසින්ම දෙවි ගැන වැරදි අදහස් මිනිසුන්ට උගන්වා තිබීමයි. (මාක් 7:7, 8) බොහෝදෙනෙක් ඒ ඉගැන්වීම් නිසා රැවටී සිටිනවා. ඔවුන් සිතන්නේ තමන් සැබෑ දෙවිට නමස්කාර කරනවා කියායි. නමුත් ඔවුන් ඇත්තටම කරන්නේ දෙවි අකමැති දේවල්. මේ තත්වයට ප්‍රධානතම හේතුව බොරු ආගම් බව පැහැදිලියි.

3. බොරු ආගම්වලට අනුබල දෙන ප්‍රධාන තැනැත්තා කවුද? බයිබලයේ ඔහුව විස්තර කර තිබෙන්නේ කෙසේද?

3 බොරු ආගම්වලට අනුබල දෙන නොපෙනෙන පුද්ගලයෙක් සිටිනවා. ඔහු ගැන පාවුල් මෙසේ සඳහන් කළා. “දෙවිගේ ස්වරූපය වන ක්‍රිස්තුස් ගැන තේජාන්විත ශුභාරංචියේ ආලෝකය ඔවුන් වෙත නොබැබළෙන පිණිස මේ සමාජ ක්‍රමයේ දෙවි නොඇදහිලිකරුවන්ගේ මනස් අන්ධ කර ඇත.” (2 කොරින්ති 4:4) ‘මේ සමාජ ක්‍රමයේ දෙවියා’ සාතන්. බොරු ආගම් යොදාගෙන දෙවි ගැන වැරදි අදහස් පතුරුවාහැරීමට මූලිකව කටයුතු කරන්නේ ඔහුයි. පාවුල් තවදුරටත් මෙසේ පැවසුවා. “සාතන් පවා ආලෝකයේ දූතයෙකු මෙන් පෙනී සිටින්නේය. එබැවින්, ඔහුගේ සේවකයන්ද ධර්මිෂ්ඨකමේ සේවකයන් මෙන් පෙනී සිටීම මහ දෙයක් නොවේ.” (2 කොරින්ති 11:14, 15) සාතන් නපුරු දේවල් යහපත් දේවල් මෙන් පෙනෙන්න සලස්වයි. එමෙන්ම ඔහු පවසා තිබෙන බොරු මිනිසුන් විශ්වාස කරන්නේ ඔහු ඔවුන්ව රවටා තිබෙන නිසයි.

4. බොරු අනාගතවක්තෘවරුන් ගැන දෙවිගේ නීතියේ පවසා තිබුණේ කුමක්ද?

4 මේ නිසා බයිබලයේ බොරු ආගම් දැඩි ලෙස හෙළා දැක තිබීම ගැන පුදුම විය යුතු නැහැ. දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතියේ බොරු අනාගතවක්තෘවරුන් ගැන අනතුරු අඟවා තිබුණා. බොරු ඉගැන්වීම්වලට අනුබල දුන් හා බොරු දෙවිවරුන්ට නමස්කාර කළ අයට ලැබෙන දඬුවම ගැන මෙසේ පවසා තිබුණා. “ඔබේ දෙවි වූ යෙහෝවාට විපක්ෂව කතා කළ නිසා ඔහු මරනු ලබන්නේය.” මේ නිසා ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ අණ කර තිබුණා. “ඔබ අතරෙන් නපුර පහ කරන්න.” (ද්විතීය කතාව 13:1-5) යෙහෝවා බොරු නමස්කාරය සලකන්නේ නපුරු දෙයක් හැටියටයි.—එසකියෙල් 13:3.

5. අප සැලකිල්ලට ගත යුතු අනතුරු ඇඟවීම් මොනවාද?

5 යේසුස් සහ ඔහුගේ ගෝලයන් බොරු නමස්කාරය සැලකුවේ යෙහෝවා එය සලකන ආකාරයටමයි. යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ අනතුරු ඇඟෙව්වා. “බොරු අනාගතවක්තෘවරුන් ගැන සෝදිසියෙන් සිටින්න. ඔවුන් බැටළු වෙස් ගෙන ඔබ වෙතට පැමිණියත් ඔවුහු ඇතුළතින් කෑදර වෘකයෝය.” (මතෙව් 7:15; මාක් 13:22, 23) “සත්‍යය යටපත් කරන මිනිසුන්ගේ සියලු ආකාර අභක්තිකකමට හා අධර්මිෂ්ඨකමට විරුද්ධව දෙවිගේ උදහස ස්වර්ගයෙන් හෙළි කරනු ලැබේ” කියා පාවුල් පැවසුවා. (රෝම 1:18) සැබෑ ක්‍රිස්තියානීන් මේ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගෙන දෙවිගේ වචනයේ සත්‍යය යටපත් කරන අයගෙන් හා බොරු ඉගැන්වීම් පතුරුවාහරින අයගෙන් ඉවත් වී සිටීම කොතරම් වැදගත්ද කියා ඉහත බයිබල් පදවලින් පැහැදිලියි.—1 යොහන් 4:1.

‘මහ බැබිලෝනියෙන්’ ඉවත් වන්න

6. “මහ බැබිලෝනිය” ගැන බයිබලයේ විස්තර කර තිබෙන්නේ කෙසේද?

6 බොරු ආගම් ගැන බයිබලයේ එළිදරව් පොතේ විස්තර කර ඇති ආකාරය සලකා බලන්න. එහි බොරු ආගම් විස්තර කර තිබෙන්නේ වෙරි වී සිටින වේශ්‍යාවක් ලෙසයි. ඇයට රාජ්‍යයන් කෙරෙහි හා ජනයා කෙරෙහි මහත් බලයක් තිබෙන බවටද එහි සඳහන් වෙනවා. මේ වේශ්‍යාව බොහෝ රජවරු සමඟ වේශ්‍යාකම් කරන අතර දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ගේ ලෙයින් මත් වී සිටිනවා. (එළිදරව් 17:1, 2, 6, 18) “ගණිකාවන්ගේද පොළොවෙහි පිළිකුල් දේවල්වලද මව වන මහ බැබිලෝනිය” කියා ඇගේ නළලේ ලියා තිබුණා. (එළිදරව් 17:5) ඇය කරන පිළිකුල්සහගත ක්‍රියා නිසා ඇගේ නළලේ ලියා තිබුණු මේ දෙය ඇයට හොඳින් ගැළපෙනවා.

7, 8. බොරු ආගම් වේශ්‍යාවකට සමාන කර තිබෙන්නේ ඇයි? එහි ප්‍රතිඵලය කුමක්ද?

7 එළිදරව් පොතේ මහ බැබිලෝනිය සම්බන්ධයෙන් කර තිබෙන විස්තරය සියලුම බොරු ආගම්වලට කදිමට ගැළපෙනවා. මේ සියලුම බොරු ආගම් ලෝක ව්‍යාප්ත සංවිධානයක් හැටියට එකට එක් වී නැති වුණත් ඒ හැම ආගමකම ක්‍රියාවන් හා අරමුණු එක සමානයි. එළිදරව් පොතේ විස්තර කර තිබෙන වේශ්‍යාව හා සමානව බොරු ආගම් ආණ්ඩු කෙරෙහි විශාල බලපෑමක් කරනවා. භාර්යාවක් තමන්ගේ විවාහ ගිවිසුමට විශ්වාසවන්තව නොසිටින්නාක් මෙන් බොරු ආගමත් එක් එක් දේශපාලන ආණ්ඩු සමඟ සම්බන්ධ වීමෙන් වේශ්‍යාකම් කර තිබෙනවා. මේ ගැන යාකොබ් පවසන්නේ මෙසේයි. “පරදාර සේවනයේ යෙදෙන්නෙනි, ලෝකය සමඟ මිතුරුකම දෙවි සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද්ද? එබැවින්, යමෙකු ලෝකයේ මිතුරෙකු වන්න කැමති නම් ඔහු තමාව දෙවිගේ සතුරෙක් කරගන්නේය.”—යාකොබ් 4:4.

8 බොරු ආගම් ආණ්ඩු සමඟ සම්බන්ධකම් පැවැත්වීමේ ප්‍රතිඵලයක් හැටියට මිනිසුන් දුක් විඳ තිබෙනවා. “ආගම හා දේශපාලනය සම්බන්ධ වීම නිසා මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් නැති වී ඇති බවට ඉතිහාසයේ ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා” කියා එක් අප්‍රිකානු දේශපාලන විචාරකයෙක් වන ඔනෙනා මාංගූ පැවසුවා. එක් පුවත්පතක මෙසේද සඳහන් වුණා. ‘වර්තමානයේ මිනිස් ජීවිත බිලිගත් දරුණුතම සටන් ඇතිවීමට හේතුව ආගමයි.’ ආගමික සටන් නිසා මිලියන ගණනක් දෙනාව ඝාතනය කර තිබෙනවා. මහ බැබිලෝනිය දෙවිගේ සැබෑ සේවකයන්ටද හිංසා පීඩා කොට ඔවුන්ගෙන් සමහර අයව මරණයට පවා පත් කර තිබෙනවා. මේ අනුව මහ බැබිලෝනිය ඔවුන්ගේ ලෙයින් මත් වී සිටිනවා කියා පැවසීම නිවැරදියි.—එළිදරව් 18:24.

9. යෙහෝවා බොරු ආගම්වලට කොතරම් පිළිකුල් කරනවාද කියා එළිදරව් පොතේ පෙන්වා දී තිබෙන්නේ කෙසේද?

9 යෙහෝවා මහ බැබිලෝනිය දැඩි ලෙස පිළිකුල් කරනවා. මේ බව මහ බැබිලෝනියට සිදුවීමට නියමිත දෙයින් පැහැදිලියි. ඒ ගැන එළිදරව් 17:16හි මෙසේ පවසා තිබෙනවා. “ඔබ දුටු අං දසය හා වන මෘගයා ගණිකාවට වෛර වී, ඇයව පාළු කර, නිර්වස්ත්‍ර කර, ඇගේ මාංසමය කොටස් කා දමා, ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් දවනවා ඇත.” මුලින්ම සිදු වන්නේ දැවැන්ත මෘගයෙක් ඇයව මරා දමා ඇගේ මාංස කා දැමීමයි. ඉන්පසු ඉතිරි වන සෑම දෙයක්ම ගින්නෙන් දවා දමනවා. මේ හා සමානව වැඩි කාලයක් යන්න කලින් ලෝකයේ තිබෙන ආණ්ඩු බොරු ආගම්වලට එරෙහිව ක්‍රියා කරනවා. මේ දෙය සිදුවීමට සලස්වන්නේ යෙහෝවා දෙවියි. (එළිදරව් 17:17) මහ බැබිලෝනිය කියා හඳුන්වනු ලබන සියලුම බොරු ආගම් විනාශ වීමට නියමිතයි. “නැවත කිසිදාක ඇය සම්බ නොවන්නීය.”—එළිදරව් 18:21.

10. අපි බොරු ආගම් සැලකිය යුත්තේ කෙසේද?

10 සැබෑ ක්‍රිස්තියානීන් මහ බැබිලෝනිය සැලකිය යුත්තේ කෙසේද? බයිබලයේ ඉතා පැහැදිලිව මෙසේ අණ කර තිබෙනවා. “මාගේ සෙනඟෙනි, ඇගෙන් ඉවත්ව යන්න. ඇගේ පාපවලට ඇයත් සමඟ හවුල් වන්නවත්, ඇයට ලැබෙන පීඩාවලින් කොටසක් ලබන්නවත් ඔබ කැමති නැත්නම් ඇගෙන් ඉවත්ව යන්න.” (එළිදරව් 18:4) ඇයට අත් වන විනාශයෙන් බේරීමට කැමති සෑම කෙනෙක්ම ප්‍රමාද නොවී ඇගෙන් ඉවත් විය යුතුයි. යේසුස් මේ පොළොවේ සිටියදී පැවසුවේ තමන්ව අනුගමනය කරනවායයි කියා සිටින බොහෝදෙනෙක් අන්තිම දවස්වලදී සිටින බවයි. (මතෙව් 24:3-5) එවැනි අයට ඔහු මෙසේ කියයි. “මම ඔබව කිසි කලක නොහැඳින්නෙමි! නීති විරෝධී ක්‍රියා කරන්නෙනි, මා වෙතින් අහක්ව යන්න.” (මතෙව් 7:23) ස්වර්ගයේ රජ වී සිටින යේසුස් අදත් බොරු ආගම් හෙළා දකිනවා.

බොරු ආගම්වලින් ඉවත් වී සිටින්නේ කෙසේද?

11. බොරු ආගම්වලින් ඉවත්ව සිටීම සඳහා කළ යුත්තේ කුමක්ද?

11 සැබෑ ක්‍රිස්තියානීන් බොරු ආගම්වලින් ඉවත් වී සිටින්නේ ඒවායේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීමෙනුයි. මින් අදහස් කරන්නේ දෙවි ගැනත් බයිබලය ගැනත් බොරු ප්‍රචාරය කරන ගුවන් විදුලි හා රූපවාහිනි වැඩසටහන්වලට සවන් දීමෙන් හා නැරඹීමෙන්ද, එවැනි පොත් පත් කියවීමෙන්ද අපි වැළකී සිටිය යුතු බවයි. (ගීතාවලිය 119:37) බොරු ආගම්වලට සම්බන්ධ සංවිධානවල අනුග්‍රහය යටතේ පවත්වන විනෝදාස්වාදවලට හා වෙනත් දේවලට අපි හවුල් වන්නේ නැහැ. අපි කිසිම විදිහකින් බොරු නමස්කාරයට සහයෝගය දක්වන්නේද නැහැ. (1 කොරින්ති 10:21) අපි මෙවැනි පියවර ගන්න විට “ක්‍රිස්තුස්ට එකඟ නොවූ, මිනිස් සම්ප්‍රදායන්ටද ලෝකයේ මූලධර්මවලටද එකඟ වූ දර්ශනවාදයන් සහ හිස් වූ රැවටිලිකාරකම් මාර්ගයෙන්” අපව ‘කොල්ලයක් කරගැනීමට’ කිසිවෙකුට හැකි වන්නේ නැහැ.—කොලොස්සි 2:8.

12. බොරු ආගමක සාමාජිකයෙකුව සිටින කෙනෙක් ඉන් ඉවත් වීම සඳහා කුමක් කළ යුතුද?

12 දැනට බොරු ආගමක සාමාජිකයෙකුව සිටින කෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වීමට කැමති නම් ඔහු කළ යුත්තේ කුමක්ද? සාමාන්‍යයෙන් මෙවැනි කෙනෙක් කරන්නේ තමන් තවදුරටත් කලින් සිටි ආගමේ සාමාජිකයෙක් නොවන බවට ලිඛිතව ඒ ආගමික සංවිධානයට දැනුම් දීමයි. බොරු ආගමක කිසිම දෙයකින් දූෂ්‍ය නොවී සිටීම සඳහා එවැනි තීරණයක් ගැනීම වැදගත්. තමන් කිසිම ආකාරයකින් කලින් සිටි ආගම සමඟ සම්බන්ධයක් නොපවත්වන බව සාක්ෂිකරුවෙක් වීමට කැමති කෙනා ගන්න ක්‍රියා මාර්ගවලින් එම ආගමික සංවිධානයටත් අන් අයටත් පැහැදිලිව දකින්න තිබිය යුතුයි.

13. බොරු ආගම්වලින් ඉවත්ව සිටීම සම්බන්ධයෙන් බයිබලයේ දෙන උපදෙස කුමක්ද?

13 බොරු ආගම්වලට හවුල් නොවී සිටීම සම්බන්ධයෙන් පාවුල් දුන් උපදෙස මෙයයි. “නොඇදහිලිකරුවන් සමඟ එක් නොවන්න. මන්ද, ධර්මිෂ්ඨකම සහ දුෂ්ටකම අතර ඇති සම්බන්ධය කුමක්ද? නැත්නම්, ආලෝකය සහ අන්ධකාරය අතර ඇති පංගුකාරකම කුමක්ද? තවද, ක්‍රිස්තුස් සහ බෙලියල් අතර ඇති එකමුතුකම කුමක්ද? නැත්නම්, ඇදහිලිවන්තයෙකුට නොඅදහන්නෙකු සමඟ ඇති කොටස කුමක්ද? දෙවිගේ මාලිගාව සහ දේවතා රූප අතර ඇති එකඟත්වය කුමක්ද? . . . ‘එබැවින් ඒ අය අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වී සිටින්න’ යයි යෙහෝවා කියන්නේය. ‘අපවිත්‍ර දේ ස්පර්ශ කිරීම නතර කරන්න.’” (2 කොරින්ති 6:14-17) මෙම උපදෙස පිළිගන්න අපි බොරු ආගම්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වී සිටිනවා. පාවුල් මෙයින් අදහස් කළේ බොරු ආගම් අදහන අයගෙනුත් සම්පූර්ණයෙන් ඈත් වී සිටින්න කියාද?

“ප්‍රඥාවන්තව කටයුතු කරන්න”

14. අපේ විශ්වාසයන් පිළි නොගන්නා අයගෙන් අපි සම්පූර්ණයෙන්ම ඈත් වී සිටිය යුතුද? පැහැදිලි කරන්න.

14 අපේ විශ්වාසයන් පිළි නොගන්නා අයගෙන් අපි සම්පූර්ණයෙන්ම ඈත් වී සිටිය යුතුද? නැහැ. ඊට හේතුව අද අපි පැවැත්විය යුතු ප්‍රධාන ආඥා දෙකෙන් දෙවෙනි ආඥාවේ මෙසේ සඳහන් වී තිබීමයි. “ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න.” (මතෙව් 22:39) අපේ අසල්වැසියන් සමඟ ශුභාරංචිය බෙදාගැනීමෙන් අප පෙන්වන්නේ අප ඔවුන්ට ප්‍රේම කරන බවයි. ඒ වගේම ඔවුන්ට බයිබලයේ තිබෙන සත්‍යයන් ඉගැන්වීමෙන් ඔවුන්ට බොරු ආගමෙන් ඉවත් වීමට අප උපකාර කරන අතර එයින්ද අප පෙන්වන්නේ ඔවුන්ට ප්‍රේම කරන බවයි.

15. ‘ලෝකයේ කොටසක් නොවීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

15 අපි අපේ අසල්වැසියන් සමඟ ශුභාරංචිය බෙදාගත්තද යේසුස්ගේ අනුගාමිකයන් හැටියට අපි ‘ලෝකයේ කොටසක් වන්නේ’ නැහැ. (යොහන් 15:19) මෙහි “ලෝකය” යන වචනයෙන් අදහස් කරන්නේ දෙවිගෙන් ඈත්ව සිටින මිනිස් සමාජයයි. (එෆීස 4:17-19; 1 යොහන් 5:19) අද ලෝකයේ දකින්න තිබෙන්නේ යෙහෝවා දෙවි අනුමත නොකරන ආකාරයේ ආකල්ප, කතා බහ සහ හැසිරීමයි. අපි ලෝකයෙන් වෙන්ව සිටිනවා යන්නෙන් අදහස් කරන්නේ එවැනි දේවලින් වැළකී සිටීමයි. (1 යොහන් 2:15-17) තවද “නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන්නේය” කියා බයිබලයේ පවසා තිබෙනවා. මෙම උපදෙසට කීකරු වන අපි ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් නොවන අය සමඟ කිට්ටු ආශ්‍රයන් පවත්වන්නේ නැහැ. (1 කොරින්ති 15:33) අපි ‘ලෝකයෙන් කිලිටි නොවී සිටීමට’ වගබලා ගන්නවා නම් ලෝකයෙන් වෙන්ව සිටිනවා කියා කිව හැකියි. (යාකොබ් 1:27) මේ කරුණුවලින් පෙනී යන්නේ ලෝකයෙන් වෙන්ව සිටීමේදී වචනාර්ථයෙන්ම වෙන්ව සිටීමක් අදහස් නොකරන බවයි.—යොහන් 17:15, 16; 1 කොරින්ති 5:9, 10.

16, 17. ක්‍රිස්තියානීන් හැටියට අප බයිබල් සත්‍යයන් නොදන්නා අයව සැලකිය යුත්තේ කෙසේද?

16 බයිබල් සත්‍යයන් නොදන්නා අය සමඟ අප ක්‍රියා කළ යුත්තේ කෙසේද? කොලොස්සියේ පිහිටි සභාවට පාවුල් මෙසේ ලිව්වා. “පිටත සිටින අය සම්බන්ධයෙන් ප්‍රඥාවන්තව කටයුතු කරන්න. ඔබට ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න. ඔබේ කතාව සැමවිටම ප්‍රසන්නව, ලුණෙන් රසවත්ව තිබේවා! එවිට ඔබ එකිනෙකාට පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි දැනගන්නවා ඇත.” (කොලොස්සි 4:5, 6) පේතෘස් මෙසේ පැවසුවා. “ඔබේ සිත්වලින් ක්‍රිස්තුස්ව ස්වාමීන් හැටියට සලකා ඔහුට ගෞරවය දෙන්න. ඔබ තුළ ඇති බලාපොරොත්තුව ගැන අසන සියල්ලන් ඉදිරියේ උත්තර දීමට නිතරම සූදානම්ව සිටින්න. නමුත් මෘදුකමින් හා ගැඹුරු ගෞරවයෙන් යුක්තව එසේ කරන්න.” (1 පේතෘස් 3:15) එමෙන්ම “කිසිවෙකු ගැන අගුණ නොකියන්නද, රණ්ඩුවට බර නොවන්නද, සාධාරණ වන්නද, සියල්ලන් කෙරෙහි සියලු ආකාර මෘදුකම පෙන්වන්නද” කියා පාවුල් ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන්නා.—තීතස් 3:2.

17 යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට අප අන් අයට දරුණු විදිහට හෝ නපුරු අන්දමින් සලකන්නේ නැහැ. වෙනත් ආගම්වල සිටින අය ගැන අප නින්දාසහගත ලෙස කතා කරන්නේද නැහැ. අපේ අසල්වැසියෙක්, රැකියා ස්ථානයේ කෙනෙක් හෝ දේශනා සේවයේ හමු වන කෙනෙක් අකරුණාවන්ත ලෙස අපට බැණ වැදුණත් අප එසේ කරන්නේ නැහැ.—කොලොස්සි 4:6; 2 තිමෝති 2:24.

‘සුවදායී වචනවල ආදර්ශය අල්ලාගෙන සිටින්න’

18. නැවත බොරු ආගමට හැරී යන අය අද්දකින භයානක තත්වය කුමක්ද?

18 බයිබල් සත්‍යයන් ඉගෙනගත් පසු කෙනෙක් නැවතත් බොරු ආගම්වලට සම්බන්ධ වෙනවා නම් එය කොතරම් කනගාටුදායක දෙයක්ද! එහි භයානක ප්‍රතිඵල ගැන බයිබලයේ මෙසේ විස්තර කරනවා. “ඇත්තෙන්ම, ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ නිවැරදි දැනුම මාර්ගයෙන් ලෝකයේ දූෂ්‍යකම්වලින් ගැලවුණායින් පසු, ඔවුන් නැවතත් මේ දේවල්වලටම පටලැවී ඒවායින් මුළා වුවොත් ඔවුන්ගේ අවසන් තත්වය පළමු තත්වයට වඩා භයානක වේ. . . . ‘බල්ලා නැවත උගේ වමනයටත්, සේදූ ඊරි මඩේ පෙරළීමටත් හැරී ගියෝය’ යි සත්‍ය වූ හිතෝපදේශයෙහි පවසන පරිදි ඔවුන්ට සිදු වී තිබේ.”—2 පේතෘස් 2:20-22.

19. දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වයට හානි විය හැකි ඕනෑම දෙයක් ගැන අප සැලකිල්ලෙන් සිටීම වැදගත් වන්නේ ඇයි?

19 දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වයට හානියක් වන ඕනෑම දෙයක් ගැන අපි හුඟාක් සැලකිලිමත් විය යුතුයි. මන්ද ඒවායින් අපට සිදු වන හානිය ඉතා බරපතළයි. පාවුල් අනතුරු ඇඟවූයේ මෙසේයි. ‘පසු කාල පරිච්ඡේදවලදී සමහරුන් ඇදහිල්ලෙන් වැටී යනවා ඇතැයි ආනුභාව ලත් ප්‍රකාශය ස්ථිර ලෙස කියන්නේය. මුළා කරවන ආත්මයන්ගේ ප්‍රකාශවලට හා භූතයන්ගේ ඉගැන්වීම්වලට අවධානය යොමු කිරීම නිසා එසේ වන්නේය.’ (1 තිමෝති 4:1) අපි ජීවත් වන්නේ “පසු කාල පරිච්ඡේද” කියා පාවුල් හැඳින්වූ කාලයේයි. බොරු ආගම්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වන්නේ නැති අය “සූක්ෂ්ම ලෙස වැරදි කිරීමට යොදන උපායන්වලින්ද, මිනිසුන්ගේ ප්‍රයෝගවලින් හටගන්නා සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින්ද ඔබ මොබ විසි වෙන, රළ පහරින් ගසාගෙන” යා හැකියි.—එෆීස 4:13, 14.

20. බොරු ආගම්වල අහිතකර බලපෑමෙන් අපට ආරක්ෂා විය හැක්කේ කෙසේද?

20 බොරු ආගම්වල අහිතකර බලපෑමෙන් අපට ආරක්ෂා විය හැක්කේ කෙසේද? ඒ සඳහා යෙහෝවා අපට ඕනෑ තරම් දේවල් සපයා තිබෙනවා. ඒ දේවල් අතර ප්‍රධාන තැනක් ගන්නේ ඔහුගේ වචනය වන බයිබලයයි. (2 තිමෝති 3:16, 17) ඒ වගේම යෙහෝවා අපට “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” තුළින් අපගේ ඇදහිල්ල වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය පෝෂණය සපයනවා. (මතෙව් 24:45) අපි සත්‍යය තුළ දියුණු වෙද්දී ‘මේරූ අය සඳහා තිබෙන ගන ආහාරවලට’ රුචියක් ඇති වෙනවා. එමෙන්ම අපේ ඇදහිල්ල ගොඩනංවන රැස්වීම්වලට පැමිණීම සඳහා ආශාවක්ද අප තුළ ඇති වෙනවා. (හෙබ්‍රෙව් 5:13, 14; ගීතාවලිය 26:8) ඒ නිසා යෙහෝවාගේ මෙම සැපයුම්වලින් මුළුමනින්ම ප්‍රයෝජන ගන්න අපි අදිටන් කරගනිමු. අපට අසන්ට ලැබී තිබෙන ‘සුවදායී වචනවල රටාව අල්ලාගෙන සිටීමට’ එවිට අපට හැකි වේවි. (2 තිමෝති 1:13) මෙහි ප්‍රතිඵලයක් හැටියට බොරු ආගම්වලින් ඉවත් වී සිටීමට අපට හැකියි.

ඔබ ඉගෙනගත්තේ මොනවාද?

• “මහ බැබිලෝනිය” කියා හඳුන්වන්නේ කුමක්ද?

• බොරු ආගම්වලින් ඉවත් වී සිටීම සඳහා අප කුමක් කළ යුතුද?

• අපගේ ඇදහිල්ලට තර්ජනයක් වන කුමන දේවලින් අප වැළකී සිටිය යුතුද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[28වන පිටුවේ පින්තූරය]

“මහ බැබිලෝනිය” වේශ්‍යාවකට සමාන කර තිබෙන්නේ ඇයි කියා ඔබ දන්නවාද?

[29වන පිටුවේ පින්තූරය]

“මහ බැබිලෝනිය” විනාශ වීමට නියමිතයි

[31වන පිටුවේ පින්තූරය]

අපේ විශ්වාසයන් පිළි නොගන්නා අය සමඟ අප කටයුතු කරන්නේ ‘මෘදුකමින් හා ගැඹුරු ගෞරවයෙන් යුක්තවයි’