Skip to content

පටුනට යන්න

මරණයට එකම විසඳුම

මරණයට එකම විසඳුම

මරණයට එකම විසඳුම

ලාසරුස් නම් තැනැත්තා ඔහුගේ සහෝදරියන් දෙදෙනා වූ මාර්තා සහ මරියා සමඟ ජීවත් වෙමින් සිටියේ බෙතානිය නම් නගරයේයි. මෙම නගරය පිහිටා තිබුණේ යෙරුසලමේ සිට කිලෝමීටර් 3ක් පමණ දුරකින්. මේ පවුලේ අයගේ මිතුරෙක් වූ යේසුස් ඔවුන්ගේ නගරයෙන් බැහැරව සිටි අවස්ථාවකදී ලාසරුස් දරුණු ලෙස අසනීප වුණා. ඒ ගැන ඔහුගේ සහෝදරියන් දෙදෙනා හුඟාක් දුක් වුණා. ඔවුන් තම සහෝදරයා අසනීපයෙන් සිටින බව දන්වා යේසුස්ට පණිවිඩයක් යැව්වා. යේසුස්ට පණිවිඩය දැනගන්න ලැබුණේ දවස් දෙකකට පසුවයි. තම ගෝලයන් සමඟ ලාසරුස්ව බලන්න එන අතරේදී යේසුස් ගෝලයන්ට පැවසුවේ තමන් යන්නේ ලාසරුස්ව නින්දෙන් අවදි කරන්නයි කියායි. මෙය හරියට තේරුම්ගන්න ගෝලයන්ට නොහැකි වූ බව දුටු යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “ලාසරුස් මිය ගොස් ඇත.”—යොහන් 11:1-14.

යේසුස් ලාසරුස්ගේ මිනිය තැන්පත් කර තිබූ සොහොන ළඟට පැමිණ, එය වසා තිබූ ගල අහකට ගන්න කියා අවට සිටි අයට පැවසුවා. ඔහු හඬ නඟා යාච්ඤා කිරීමෙන් පසු, “ලාසරුස්, පිටතට එන්න!” කියා අණ කළා. ලාසරුස් පිටතට ආවා. ලාසරුස් මිය ගොස් දින හතරක් ගත වී තිබුණත් යේසුස් ඔහුව නැවත නැඟිට්ටෙව්වා.—යොහන් 11:38-44.

ලාසරුස් පිළිබඳව බයිබලයේ සඳහන් වාර්තාවෙන් පෙනී යන්නේ මරණයට එකම විසඳුම නැවත නැඟිටීම බවයි. එහෙත් ලාසරුස්ගේ නැවත නැඟිටීම ඇත්තටම සිදු වුණාද කියා සමහරුන් කල්පනා කළ හැකියි. බයිබලය එය විස්තර කර තිබෙන්නේ සත්‍ය වාර්තාවක් හැටියටයි. මේ ගැන යොහන් 11:1-44 දක්වා තිබෙන වාර්තාව ඔබ කියවන විට තේරුම්ගනීවි. එහෙත් ඔබ එය සත්‍ය වාර්තාවක් නොවෙයි කියා සිතනවා නම් යේසුස්ගේ නැවත නැඟිටීම ඇතුළුව බයිබලයේ සඳහන් සියලුම ප්‍රාතිහාර්යයන් ගැනත් ඔබ සැක කරාවි. “ක්‍රිස්තුස්ව මළවුන්ගෙන් නැඟිටුවා නැත්නම්, ඔබේ ඇදහිල්ල නිෂ්ඵලය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 15:17) නැවත නැඟිටීම බයිබලයේ සඳහන් මූලික ඉගැන්වීම්වලින් එකක්. (හෙබ්‍රෙව් 6:1, 2) “නැවත නැඟිටීම” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද කියා දැන් අපි සලකා බලමු.

නැවත නැඟිටීම” යනු කුමක්ද?

ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ “නැවත නැඟිටීම” නමැති වචනය 40 වතාවකට වැඩියෙන් සඳහන් වෙනවා. මේ සඳහා තිබෙන ග්‍රීක වචනයේ මූලික අදහස “නැවත නැඟිටීම” යන සිංහල යෙදුමේ ගැබ් වී තිබෙනවා. ඒ සඳහා තිබෙන හෙබ්‍රෙව් වචනයෙන් අදහස් වන්නේ “මිය ගිය කෙනෙකු නැවත ජීවත් වීමයි.” මිය ගිය පසු කිසිවක් ඉතිරි නොවන නිසා නැවත නැඟිටුවන්නේ කොහොමද කියා කෙනෙක් සිතිය හැකියි. ඇත්තයි, කෙනෙක් මිය ගිය පසු කාලයක් යන විට ඔහුගේ ශරීරය දිරාපත් වී පස්වලට එකතු වෙනවා. ඒ නිසා කෙනෙක් මිය යන්න කලින් තිබූ ශරීරයෙන්ම ඔහු නැවත නැඟිටින්නේ නැහැ. එහෙත් නැවත නැඟිටුවනු ලබන්නේ මිය ගිය පුද්ගලයාවමයි. නැවත නැඟිටීමේදී සිදු වන්නේ පුද්ගලයෙක් මිය යන්න කලින් ගත කළ ජීවිතය ඒ පුද්ගලයාට නැවත ලබා දීමයි. පුද්ගලයෙකු හැටියට ඔහුව හඳුනාගැනීමට අවශ්‍ය සෑම ගතිලක්ෂණයක්ම නැවත නැඟිටීමෙන් පසුවත් ඔහු තුළ දැකිය හැකියි. මිය යන්න කලින් සිටියා වගේම ඔහු නැවතත් ජීවත් වෙයි.

මිය ගොස් සිටින අයගේ පෞද්ගලිකත්වයන් මතක තබාගැනීම, පරිපූර්ණ මතක ශක්තියක් තිබෙන යෙහෝවා දෙවිට ගැටලුවක් නොවෙයි. (යෙසායා 40:26) ජීවිතය ඇති කළ තැනැත්තා යෙහෝවා දෙවි වන නිසා මිය ගිය පුද්ගලයාවම අලුත් ශරීරයක් ඇතුව නැවත ජීවත් කරවන්න ඔහුට එතරම් අමාරු නැහැ. (ගීතාවලිය 36:9) ඒ විතරක් නොවෙයි, යෙහෝවා දෙවි මිය ගිය අයව නැවත නැඟිටුවන්න ‘ආශාවෙන්’ සිටින බවත් බයිබලයේ සඳහන් වෙනවා. (යෝබ් 14:14, 15) මිය ගිය පුද්ගලයෙකුට නැවත ජීවිතය ලබා දෙන්න යෙහෝවාට හැකියාවක් තිබෙනවා විතරක් නොවෙයි, ඒ සඳහා අවංක ආශාවක්ද ඔහුට තිබෙන බව දැනගන්න ලැබීම මොන තරම් සතුටක්ද!

මිය ගිය අයව නැවත නැඟිටුවීමේදී යේසුස්ද වැදගත් කාර්යයක් ඉටු කරනවා. යේසුස් පොළොවේදී ඔහුගේ දේවසේවය පටන්ගෙන වැඩි කාලයක් යන්න කලින් මෙසේ පැවසුවා. “පියාණන් මළවුන්ව නැඟිටුවා ජීවත් කරන්නාක් මෙන්ම, පුත්‍රයාද තමන් කැමති අයව ජීවත් කරන්නේය.” (යොහන් 5:21) මිය ගිය අයව නැවත නැඟිටුවන්න යේසුස්ට බලයක් තිබෙනවා විතරක් නොවෙයි, ඒ සඳහා ඔහුට ආශාවක්ද තිබෙන බව ලාසරුස්ගේ වාර්තාවෙන් පෙනී යන්නේ නැද්ද?

කෙනෙක් මිය ගිය පසු ඔහු තුළ නොමැරී ඉතුරු වන යමක් වෙනත් තැනක ජීවත් වන බව සමහරුන් විශ්වාස කරනවා. මේ ගැන කුමක් කිව හැකිද? නැවත නැඟිටීමේ ඉගැන්වීමත් කෙනෙක් මිය ගිය පසු නොමැරෙන යමක් ඉතුරු වන බවට වූ මතයත් අතර තිබෙන්නේ පරස්පර විරෝධීතාවක්. අපි මිය ගිය පසු නොමැරී පවතින යමක් ඉතුරු වෙනවා නම් නැවත නැඟිටීමක් අවශ්‍ය නැහැ. තම සහෝදරයා මිය ගිය පසු නොපෙනෙන වෙනත් ලෝකයක ජීවත් වූවා කියා ලාසරුස්ගේ සහෝදරිය වූ මාර්තා විශ්වාස කළේ නැහැ. ඇය විශ්වාස කළේ නැවත නැඟිටීම ගැනයි. “ඔබේ සහෝදරයා නැඟිටින්නේය” කියා යේසුස් ඇයට පැවසූ අවස්ථාවේදී මාර්තා මෙසේ පැවසුවා. “අන්තිම දවසේ නැවත නැඟිටීමේදී ඔහු නැඟිටින බව මම දනිමි.” (යොහන් 11:23, 24) තමන් මිය ගොස් සිටි කාලය අතරතුරේදී වෙනත් ලෝකයක ජීවත් වූ බව අඟවන කිසිවක් නැවත නැඟිටුවනු ලැබීමෙන් පසුව ලාසරුස් පැවසුවේ නැහැ. මිය ගිය අය ගැන බයිබලයේ සඳහන් මේ වචන ඔහු සම්බන්ධයෙන්ද සත්‍යයක් වුණා. “මළවුන් කිසිවක් නොදනිති. . . . ඔබ යන මිනීවළේ ක්‍රියාවක්වත් උපායක්වත් දැනගැන්මක්වත් ප්‍රඥාවක්වත් නැත.”—දේශනාකාරයා 9:5, 10.

මේ අනුව බයිබලයේ පවසන ආකාරයට මරණයට තිබෙන එකම විසඳුම නැවත නැඟිටීමයි. එහෙත් ගණන් කළ නොහැකි තරම් වූ විශාල පිරිසක් දැනටමත් මිය ගොස් සිටිනවා. මොවුන් අතරින් නැවත නැඟිටුවනු ලබන්නේ කාවද? ඔවුන් නැවත නැඟිටීම ලබන්නේ කොහේදීද?

නැවත නැඟිටුවනු ලබන්නේ කාවද?

යේසුස් මෙසේ පැවසුවා. ‘සිහිවීමේ සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට යේසුස්ගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේය. එවිට ඔවුහු පිටතට එන්නෝය.’ (යොහන් 5:28, 29) යේසුස් දුන් මේ පොරොන්දුවට අනුව නැවත නැඟිටුවනු ලබන්නේ සිහිවීමේ සොහොන් ගෙවල්වල සිටින අයවයි. එනම් යෙහෝවාගේ මතකයේ සිටින අයවයි. දැන් පැනනඟින ප්‍රශ්නය වන්නේ මිය ගොස් සිටින සියලුදෙනා අතරින් නැවත නැඟිටුවනු ලබන දෙවිගේ මතකයේ සිටින අය කවුරුන්ද යන්නයි.

යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළ ස්ත්‍රීන් හා පුරුෂයන්ගේ නම් ලැයිස්තුවක් බයිබලයේ හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. මොවුන් මෙන්ම මෑත කාලයේදී දෙවිට විශ්වාසවන්තව සේවය කර මිය ගිය අය නැවත නැඟිටුවනු ලබන අය අතර සිටිනවා. බයිබලයේ සඳහන් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති ගැන එතරම් දැනුමක් නොතිබූ නිසා ඒවාට එකඟව ජීවත් වීමට නොහැකි වූ අයට සිදු වන්නේ කුමක්ද? ඔවුනුත් දෙවිගේ මතකයේ සිටිනවාද? ‘ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් තිබෙනවා’ කියා බයිබලයේ දී තිබෙන පොරොන්දුවෙන් පැහැදිලි වෙන්නේ බොහෝදෙනෙකුව නැවත නැඟිටුවනු ලබන බවයි.—ක්‍රියා 24:15.

කෙසේවෙතත් මිය ගොස් සිටින සෑම කෙනෙක්ම නැවත නැඟිටින්නේ නැහැ. බයිබලයේ සඳහන් මේ වදන්වලින් ඒ බව පැහැදිලි වෙනවා. “සත්‍යය පිළිබඳ නිවැරදි දැනුම ලැබුණායින් පසු, අපි ඕනෑකමින්ම දිගටම පව් කරමු නම්, පාප උදෙසා පූජාවක් තවත් ඉතිරිව නැත. නමුත් ඇත්තේ විනිශ්චය ගැන බිය උපදවන අපේක්ෂාවකි.” (හෙබ්‍රෙව් 10:26, 27) සමහරුන් සමාවක් නොලැබෙන ආකාරයේ පව් කරනවා. මිය ගිය එවැනි අය සිටින්නේ ‘ගෙහන්නාවේ’ කියා බයිබලයේ සඳහන් වෙනවා. එයින් අදහස් කරන්නේ සදාකාලික විනාශයයි. (මතෙව් 23:33) කෙසේවෙතත් යම් කෙනෙක් නැවත නැඟිටීම ලබයිද නැද්ද කියා අපි විනිශ්චය නොකළ යුතුයි. මේ විනිශ්චය අයිති දෙවිටයි. නැවත නැඟිටුවනු ලබන්නේ හෝ නොලබන්නේ කවුරුන්වද කියා දෙවි දන්නවා. අපි කළ යුත්තේ දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් වීමයි.

ඇතමුන්ව ස්වර්ගයේ ජීවත් වීම සඳහා නැවත නැඟිටුවනු ලබයි

උතුම්ම නැවත නැඟිටීම ලැබුවේ යේසුස්. මේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔහු මාංසය සම්බන්ධයෙන් මරණයට පත් කරනු ලැබ, ආත්මය සම්බන්ධයෙන් ජීවත් කරනු ලැබුවේය.” (1 පේතෘස් 3:18) යේසුස්ට කලින් වෙන කිසිම කෙනෙක් ඒ ආකාරයේ නැවත නැඟිටීමක් ලබා තිබුණේ නැහැ. යේසුස් ඔහු ගැන මෙසේ පැවසුවා. “ස්වර්ගයෙන් බැස ආ මනුෂ්‍ය පුත්‍රයා හැර අන් කිසි මිනිසෙක් ස්වර්ගයට නැංගේ නැත.” (යොහන් 3:13) ස්වර්ගික ජීවිතයක් සඳහා මුලින්ම නැවත නැඟිටීම ලැබුවේ මනුෂ්‍ය පුත්‍රයා හෙවත් යේසුස්. (ක්‍රියා 26:23) තවත් අයත් ඒ හා සමාන නැවත නැඟිටීමක් ලබන්න නියමිතව තිබුණා. මේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “එකිනෙකා තම තමාගේ අනුපිළිවෙළට අනුවය: ක්‍රිස්තුස් පළමු පල වේ. ඉන්පසුව, ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීමේදී, ඔහුට අයත් අයය.”—1 කොරින්ති 15:23.

‘ක්‍රිස්තුස්ට අයත් අයට’ ඇතුළත් වන්නේ කුඩා පිරිසක්. ස්වර්ගයේ ජීවත් වීම සඳහා මොවුන්ව නැවත නැඟිටුවනු ලබන්නේ විශේෂ අරමුණක් ඇතිවයි. (රෝම 6:5) ඔවුන් යේසුස් සමඟ එක්ව “පොළොව කෙරෙහි රජකම් කිරීමට නියමිතයි.” (එළිදරව් 5:9, 10) ඒ විතරක් නොවෙයි, ඔවුන් පූජකයන් හැටියටද සේවය කරනවා. පූජකයන් හැටියට ඔවුන් මුල් මිනිසා වන ආදම්ගෙන් මුළු මහත් මිනිස් වර්ගයාටම උරුම වූ පාපයේ සියලුම බලපෑම් ඉවත් කිරීමේ කාර්යයේ හවුල් වෙනවා. (රෝම 5:12) රජවරුන් හා පූජකයන් ලෙස යේසුස් සමඟ පාලනය කරන අයගේ ගණන 1,44,000දෙනෙක් බව බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 14:1, 3) ඔවුන්ව නැවත නැඟිටුවනු ලබන්නේ කුමන ආකාරයේ ශරීරයක් ඇතුවද? බයිබලයේ පවසන පරිදි ඔවුන්ව නැවත නැඟිටුවනු ලබන්නේ ස්වර්ගයේ ජීවත් විය හැකි ආකාරයේ “ශරීරයක්” ඇතුවයි.—1 කොරින්ති 15:35, 38, 42-45.

ස්වර්ගයේ ජීවත් වන අයව නැවත නැඟිටුවනු ලබන්නේ කවදාද? පළමුවන කොරින්ති 15:23හි සඳහන් වන පරිදි ඔවුන්ව නැවත නැඟිටුවනු ලබන්නේ ‘ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීමේදීයි.’ වර්ෂ 1914 සිට සිදු වන ලෝක සිද්ධීන්ගෙන් පෙනී යන්නේ යේසුස්ගේ පැමිණ සිටීම මෙන්ම “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” ඒ වසරේදී පටන්ගත් බවයි. (මතෙව් 24:3-7) මේ අනුව ස්වර්ගයේ ජීවත් වීම සඳහා නැවත නැඟිටුවනු ලබන දෙවිට විශ්වාසවන්තව මිය ගිය ක්‍රිස්තියානීන්ගේ නැවත නැඟිටීම අපට නොපෙනෙන ආකාරයකින් දැනටමත් සිදුවීමට පටන්ගෙන තිබෙනවා කියා අපට නිගමනය කළ හැකියි. යේසුස්ගේ මුල්ම ගෝලයන් ඇතුළුව පළමු සියවසේ විසූ විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ව ස්වර්ගයේ ජීවත් වීම සඳහා දැනටමත් නැවත නැඟිටුවා තිබෙනවා. යේසුස් සමඟ ස්වර්ගයේ පාලනය කිරීමේ බලාපොරොත්තුව ස්ථිර වශයෙන්ම තිබෙන මේ කාලයේ ජීවත් වන ක්‍රිස්තියානීන් ගැන කුමක් කිව හැකිද? ඔවුන්ව “ඇසිපිය හෙළන සැණින්” එනම් මිය ගිය විගස නැවත නැඟිටුවනු ලබනවා. (1 කොරින්ති 15:52) පොළොවේ ජීවත් වීම සඳහා විශාල පිරිසක්ව නැවත නැඟිටුවනු ලබන්නේ සුළු පිරිසක් වන මේ 1,44,000දෙනාගේ නැවත නැඟිටීමෙන් පසුවයි. මේ නිසා මේ සුළු පිරිසගේ නැවත නැඟිටීම “කලින් සිදු වෙන මළවුන්ගෙන් නැවත නැඟිටීම” කියාද, “පළමුවන නැවත නැඟිටීම” කියාද හඳුන්වා තිබෙනවා.—ෆිලිප්පි 3:11; එළිදරව් 20:6.

විශාල පිරිසක් පොළොවේ ජීවත් වීම සඳහා නැවත නැඟිටුවනු ලබයි

බයිබලයේ සඳහන් වන ආකාරයට මිය ගොස් සිටින අයගෙන් විශාල පිරිසක් පොළොවේ ජීවත් වීම සඳහා නැවත නැඟිටුවනු ලැබීමට නියමිතයි. (ගීතාවලිය 37:29; මතෙව් 6:10) නැවත නැඟිටුවනු ලබන අය ගැන තමන් දර්ශනයකින් දුටු දෙය යොහන් මෙසේ වාර්තා කළා. “මුහුද එහි සිටි මළවුන්ව භාර දුන්නේය. මරණය සහ මිනී වළ එහි සිටි මළවුන්ව භාර දුන්නේය. ඔවුහු එකිනෙකා තම තමාගේ ක්‍රියාවලට අනුව විනිශ්චය කරනු ලැබුවෝය. මරණය සහ මිනී වළ ගිනිවිලට හෙළනු ලැබුවේය. මේ ගිනිවිලෙන් දෙවන මරණය අදහස් වන්නේය.” (එළිදරව් 20:11-14) මෙහි සඳහන් මිනී වළෙහි සිටින්නේ දෙවිගේ මතකයේ සිටින අයයි. මේ සෑම කෙනෙකුවම නැවත නැඟිටුවනු ලබනවා. (ගීතාවලිය 16:10; ක්‍රියා 2:31) නැවත නැඟිටුවනු ලැබීමෙන් පසුව කරන ක්‍රියා අනුව මේ එක් එක් කෙනාව විනිශ්චය කරනු ලබනවා. ඉන්පසුව මරණය හා මිනී වළ “ගිනිවිලට” හෙළනු ලබනවා. ඉන් අදහස් වන්නේ ආදම්ගෙන් මිනිසුන්ට උරුම වූ මරණය සදහටම නැති කරනු ලබන බවයි.

නැවත නැඟිටීම පිළිබඳ දෙවිගේ මේ පොරොන්දුව මගින් වියෝ දුකෙන් පෙළෙන අයට ලැබෙන සැනසිල්ල මොන තරම්ද කියා සිතා බලන්න. යේසුස් නායින් නුවර වැන්දඹුවගේ එකම පුතාව නැවත නැඟිටුවනු ලැබූ අවස්ථාවේදී ඇයට දැනුණු ප්‍රීතිය මොන තරම්ද! (ලූක් 7:11-17) යේසුස් අවුරුදු 12ක් වයසැති ගැහැනු ළමයෙකුව නැවත නැඟිටුවනු ලැබූ අවස්ථාවේදී ඇගේ දෙමාපියන්ට ඇති වූ හැඟීම ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔවුහු ඉමහත් ප්‍රීතියකින් විස්මයට පත් වූහ.” (මාක් 5:21-24, 35-42; ලූක් 8:40-42, 49-56) පාරාදීස පොළොවේදී නැවත නැඟිටුවනු ලබන අපේ පවුලේ අයව හා මිතුරන්ව අපිට දකින්න ලැබෙන විට එය මොන තරම් ප්‍රීතියක් වෙයිද!

මේ කාලයේදී පවා නැවත නැඟිටීම ගැන සත්‍යය දැන සිටීම අපිට මහත් සහනයක් වන්නේ කෙසේද? “බොහෝදෙනෙක් මරණයට භයයි. ඔවුන් ඒ ගැන හිතන්නවත් කැමති නැහැ” කියා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා. (The World Book Encyclopedia) බොහෝදෙනෙකුට එසේ හැඟෙන්නේ මරණය ගැන සත්‍යය ඔවුන් නොදැන සිටින නිසයි. මරණය ගැන සත්‍යය දැනගැනීමෙන් හා නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන ස්ථිර විශ්වාසයකින් සිටීමෙන් ‘අන්තිම සතුරා වන මරණයට’ නොබියව මුහුණ දීමට අපට හැකියි. (1 කොරින්ති 15:26) අපේ පවුලේ කෙනෙක් හා මිතුරෙක් මරණයට පත් වුණොත් ඇති වන ඉමහත් වේදනාව එම දැනුම නිසා අපට තුනී කරගත හැකියි.

මිනිසුන්ව පොළොවේ ජීවත් වීම සඳහා නැවත නැඟිටුවනු ලබන්නේ කවදාද? අද අපි ජීවත් වන්නේ ප්‍රචණ්ඩත්වයෙන්, ලේ වැගිරීම්වලින් හා දූෂණයෙන් පිරි නපුරු ලෝකයකයි. මිය ගිය අය නැවත නැඟිටින්නේ මේ වගේ ලෝකයක ජීවත් වෙන්න නම්, නැවත නැඟිටීමේ ප්‍රීතිය කෙටි කාලයකින් නැති වී යනවාට සැකයක් නැහැ. එහෙත් සාතන්ගේ පාලනය යටතේ තිබෙන මේ ලෝකයේ සියලුම නපුරුකම් ළඟදීම නැති කර දැමීමට යෙහෝවා දෙවි පොරොන්දු කර තිබෙනවා. (හිතෝපදේශ 2:21, 22; දානියෙල් 2:44; 1 යොහන් 5:19) පොළොව සඳහා දෙවිගේ අරමුණ වැඩි කාලයක් යන්න කලින් ඉටුවීමට නියමිතයි. ඉන්පසු දෙවි පිහිටුවන පාරාදීස පොළොවේ ජීවත් වීම සඳහා දැන් මිය ගොස් සිටින බිලියන ගණනක් ජනයාව නැවත නැඟිටුවනු ලබනවා ස්ථිරයි.

[7වන පිටුවේ පින්තූරය]

මිය ගොස් සිටින බොහෝදෙනෙකුව පොළොවේ ජීවත් වීම සඳහා නැවත නැඟිටුවනු ලබනවා