Skip to content

පටුනට යන්න

යෝබ්ගේ පොතෙන් විශේෂාංග

යෝබ්ගේ පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ වචනය ජීවමානයි

යෝබ්ගේ පොතෙන් විශේෂාංග

යෝබ් ජීවත් වුණේ ඌශ් නම් දේශයේයි. එය පිහිටා තිබෙන්නේ අරාබියේයි. ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන් බොහෝදෙනෙක් ඊජිප්තුවේ ජීවත් වුණා. යෝබ් ඊශ්‍රායෙලිතයෙක් නොවුණත් ඔහු යෙහෝවා දෙවිට නමස්කාර කළ කෙනෙක්. ඔහු ගැන බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. “ඔහු මෙන් දෙවිට භය ඇත්තාවූ නපුරෙන් දුරුව සිටින්නාවූ ගුණයෙන් සම්පූර්ණ වූ අවංක වූ කෙනෙක් පොළොවේ නැත.” (යෝබ් 1:8) යෝබ් ජීවත් වුණේ යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ ඇදහිලිවන්තයන් දෙදෙනෙකු වූ යෝසෙප්ගේ මරණින් පසු හා මෝසෙස් අනාගතවක්තෘවරයෙකු ලෙස සේවය කිරීමට පෙර කාල පරිච්ඡේදයකයි.

යෝබ් පොත මෝසෙස් ලිව්වා කියා සිතිය හැකියි. මෝසෙස් ඌශ් දේශයට ආසන්නව පිහිටි මිදියන් දේශයේ ගත කළ අවුරුදු 40 තුළදී යෝබ් ගැන දැනගන්න ඇති. මෝසෙස් ඊශ්‍රායෙල්වරුන් සමඟ කාන්තාරයේ ගත කළ අවුරුදු 40 අවසාන කාලයේදී සිටියේ ඌශ් දේශයට ඉතාමත් ආසන්නවයි. මේ කාලය වන විට යෝබ් ඔහුගේ ජීවිතයේ අවසානයට පැමිණ සිටි අතර මෝසෙස්ට ඔහු ගැන තොරතුරු දැනගන්න හැකි වූවා විය හැකියි. * යෝබ්ගේ ජීවිත කතාව කොච්චර ලස්සනට ලියලා තියෙනවාද කියනවා නම් එය සලකන්නේ උසස් කාව්‍යමය කෘතියක් ලෙසයි. එම ජීවිත කතාව නිකම්ම කාව්‍යමය කෘතියකට වඩා වැඩි යමක්. එහි මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සපයනවා. හොඳ මිනිස්සු දුක් විඳින්නේ ඇයි? දෙවි දුෂ්ටකමට ඉඩහැර තිබෙන්නේ ඇයි? පව්කාර මිනිසුන්ට සැමදාම දෙවිට විශ්වාසවන්තව ඉන්න පුළුවන්ද? දෙවිගේ ආනුභාවයෙන් ලියන ලද පොත් අතරින් එකක් වන යෝබ්ගේ පොතෙන් අදටත් අපට ප්‍රයෝජන ගන්න පුළුවන්. එහි අඩංගු පණිවිඩය ජීවමානයි. එමෙන්ම බලවත්.—හෙබ්‍රෙව් 4:12.

‘මා උපන් දවස නැති වේවා’

(යෝබ් 1:1–3:26)

යෝබ් දෙවිට දක්වන පක්ෂපාතකම සම්බන්ධයෙන් දවසක් සාතන් චෝදනා කළා. යෙහෝවා සාතන් කළ චෝදනාව ඔප්පු කිරීම සඳහා යෝබ්ට එක පිට එක පීඩා ගෙන ඒමට සාතන්ට ඉඩහැරියා. ඒත් යෝබ් “දෙවියන්ට ශාප” කළේ නැහැ.—යෝබ් 2:9, නව අනුවාදය.

යෝබ්ගේ විපත් ගැන අසා “ඔහු සමඟ වැලපෙමින් ඔහු සනසන පිණිස” මිතුරන් තුන්දෙනෙක් පැමිණියා. (යෝබ් 2:11) යෝබ් කතා කරන තුරු මේ මිත්‍රයන් තිදෙනා කිසිදු වචනයක්වත් නොකියා යෝබ් සමඟ වාඩි වී සිටියා. යෝබ් ඔහුගේ කටහඬ අවදි කළේ මෙසේ පවසමිනුයි. ‘මා උපන් දවස නැති වේවා.’ (යෝබ් 3:3) මෙලොව “එළිය නුදුටු ළදරුවන් මෙන් නැති වී යන්ට” තිබුණා නම් හොඳයි කියා ඔහු සිතුවා.—යෝබ් 3:11, 16.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

1:4—යෝබ්ගේ දරුවන් උපන් දින උත්සව පැවැත්වූවාද? මේ වගන්තියට අනුව යෝබ්ගේ පුතුන් “තම තමාට නියම දවසේ” පැවැත්තුවේ ඔවුන්ගේ උපන් දින උත්සව කියා සමහරුන් සිතන්න පුළුවන්. එහෙත් ඔවුන් උපන් දින උත්සව පැවැත්වූයේ නැහැ. මුල් භාෂාවට අනුව “දවස” හා “උපන් දවස” යන වචනවලට ඇත්තේ එකිනෙකට වෙනස් අර්ථ දෙකක්. (උත්පත්ති 40:20) යෝබ් 1:4හි සඳහන් “දවස” යන වචනයෙන් අදහස් කරන්නේ පැය විසිහතරක කාල පරිච්ඡේදයක්. යෝබ්ගේ පුත්තු හත්දෙනා අවුරුද්දකට දවස් හතක් තම පවුලේ අය සමඟ එකතු වී ප්‍රීති වුණා. මේ සෑම පුතෙක්ම “තම තමාට නියම දවසේ” තමන්ගේ ගෙදර මංගල්‍යයක් සූදානම් කළා.

1:6; 2:1—යෙහෝවා ඉදිරිපිටට පැමිණෙන්න අවසර තිබුණේ කාටද? යෙහෝවා දෙවි ඉදිරිපිටට පැමිණෙන්න දෙවිගේ ඒකජාතක පුත්‍රයාට හා විශ්වාසවන්ත දේවදූතයන්ට පමණක් නොව සාතන් ඇතුළු දෙවිට අකීකරු වූ ‘දේවපුත්‍රයන්ටත්’ අවසර තිබුණා. (යොහන් 1:1, 18) දේවරාජ්‍යය 1914දී ස්වර්ගයේ පිහිටුවීමට කලින් සාතන්ට සහ ඔහුගේ භූතයන්ට ස්වර්ගයට ඇතුල් වීමට ඉඩ දී තිබුණා. (එළිදරව් 12:1-12) යෙහෝවා මොවුන්ටත් ඔහු ඉදිරියෙහි පෙනී සිටීමට ඉඩ දීමෙන් පෙන්නුවේ සාතන් දෙවිට විරුද්ධව කළ චෝදනාවලට පිළිතුරු දීමට ස්වර්ගයේ සිටින සියලුදෙනාටම සිදු වන බවයි.

1:7; 2:2—යෙහෝවා සාතන් සමඟ කෙළින්ම කතා කළාද? යෙහෝවා ස්වර්ගයේ සිටි අය සමඟ කතා කළේ කොහොමද කියලා බයිබලයේ හරියටම පවසන්නේ නැහැ. කෙසේවෙතත් දේවදූතයෙක් යෙහෝවා සමඟ කෙළින්ම කතා කරනවා අනාගතවක්තෘ මීකායා දර්ශනයකින් දුටුවා. (1 රාජාවලිය 22:14, 19-23) මේ අනුව යෙහෝවා සාතන්ට කෙළින්ම කතා කරන්න ඇතැයි කියා සිතිය හැකියි.

2:9—දෙවිට ශාප කර මැරෙන්න කියා යෝබ්ගේ භාර්යාව ඔහුට පැවසූ අවස්ථාවේදී ඇය සිටියේ මොන වගේ මානසිකත්වයකද? යෝබ්ට නැති වූ සියලුම දේවල් ඔහුගේ භාර්යාවටත් නැති වුණා. ඒ වගේම ඉතා සෞඛ්‍ය සම්පන්නව සිටි ඇගේ ස්වාමිපුරුෂයා තදබල ලෙස රෝගාතුරු වී සිටිනවා දැකීමෙන් ඇයට මහත් දුකක් දැනුණාට සැකයක් නැහැ. ඒ වගේම ඇයට ඇගේ සියලුම දරුවන් නැති වුණා. ඇයට මුහුණ දෙන්න සිදු වුණු මේ දේවල් නිසා වඩාත්ම වැදගත් දේ වන්නේ දෙවි සමඟ තිබෙන තමන්ගේ සම්බන්ධතාව කියන කාරණය අමතක වෙන්න ඇති.

අපට ගත හැකි පාඩම්:

1:8-11; 2:3-5. යෝබ් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දුන් ආකාරයෙන් පෙනී යන්නේ දෙවිට දිගටම විශ්වාසවන්තව සිටීමට නම් අප කරන කියන දේවල් පමණක් නොව යෙහෝවාට හරි ආකල්පයකින් සේවය කිරීමත් අවශ්‍ය බවයි.

1:21, 22. අපිට ප්‍රශ්න ගැටලු නැති කාලවලදී මෙන්ම ප්‍රශ්න ගැටලු තිබෙන කාලවලදී පවා දෙවිට විශ්වාසවන්තව සිටිනවා නම් සාතන් බොරුකාරයෙක් බව අපිට ඔප්පු කරන්න පුළුවන්.—හිතෝපදේශ 27:11.

2:9, 10. අපේ පවුලේ අය අපිට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය අගය නොකරනවා වෙන්න පුළුවන්. ඒ නිසා දෙවිව අත්හරින්න කීවත් දෙවි සමඟ තිබෙන අපේ මිත්‍රත්වය පලුදු වන ආකාරයේ යමක් කරන්න කීවත් අප යෝබ් මෙන් නොසැලී ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කළ යුතුයි.

2:13. යෝබ්ගේ මිත්‍රයන් තුන්දෙනාට දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තිබුණේ නැති නිසා ඔවුන්ට යෝබ්ව දිරිගන්වන්නවත් දෙවිගේ පොරොන්දු ගැන මතක් කර දෙන්නවත් හැකි වුණේ නැහැ.

“මාගේ අවංකකම පහ නොකරන්නෙමි”

(යෝබ් 4:1–31:40)

යෝබ්ගේ මිත්‍රයන් තුන්දෙනා ඔහුට කියා සිටියේ දෙවිගෙන් මෙලෙස දඬුවම් විඳීමට ඔහු බරපතළ පාපයක් කර තිබෙන බවයි. මෙහිදී පෙරමුණ ගත්තේ එලීපස්. ඉන් අනතුරුව බිල්දද් කතා කළේ යෝබ්ගේ සිත පෑරෙන විදිහටයි. ශෝපර් කතා කළේ ඊටත් වඩා දරුණු විදිහටයි.

යෝබ් ඔහුගේ මේ මිත්‍රයන් තුන්දෙනාගේ බොරු තර්ක විතර්ක පිළිගත්තේ නැහැ. දෙවි ඔහුට මෙවැනි දුක් විඳීමට ඉඩහැරියේ ඇයි කියා තේරුම්ගන්න ඔහුට අපහසු වුණා. ඒ නිසා ඔහු තමාගේ ධර්මිෂ්ඨකම ගැන වුවමනාවට වඩා හිතුවා. ඒ වුණත් තවමත් ඔහුට දෙවි කෙරෙහි ප්‍රේමයක් තිබුණු නිසා මෙහෙම කිව්වා. “මා නසින තෙක් මාගේ අවංකකම පහ නොකරන්නෙමි.”—යෝබ් 27:5.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

7:1; 14:14—යෝබ් මෙහිදී ‘යුද්ධය’ යන වචනය භාවිත කර තිබෙන්නේ කුමන අදහසක් ඇතුවද? යෝබ් මොන තරම් කලකිරීමට පත් වෙලා හිටියාද කියනවා නම් ඔහුට හැඟුණේ ජීවිතය ඉතා දුක්ඛිත අමාරු යුද්ධයක් කියායි. යෝබ් 7:1හි ‘යුද්ධය’ යන වචනය භාවිත කිරීමෙන් ඔහු අදහස් කළේ එයයි. (යෝබ් 10:17) යෝබ් 14:14හි ‘යුද්ධය’ යන වචනය භාවිත කර තිබෙන්නේ වෙනත් අර්ථයකින්. යෝබ් පැවසූ ආකාරයට කෙනෙක් මිය ගියාම නැවත නැඟිටුවන තෙක් මිනී වළෙහි හෙවත් ෂෙයෝලෙහි ඔහුට බලා සිටින්න සිදුවීම හරියට ගැලවිය නොහැකි යුද්ධයකට මුහුණ දීම හා සමානයි.

7:9, 10; 10:20, 21; 16:22—මේ පදවලින් පෙනී යන්නේ යෝබ් නැවත නැඟිටීමක් විශ්වාස කළේ නැති බවද? ඔහු මෙහිදී කතා කරමින් සිටියේ ඔහුගේ ජීවිතයේ ඉදිරි දවස් ගැනයි. ඔහු මෙයින් අදහස් කළේ කුමක්ද? ඔහු මිය ගියා නම් ඔහුගේ නැදෑ හිතවතුන් කිසි කෙනෙකුට ඔහුව දකින්න නොලැබෙන බව ඔහු අදහස් කළා වෙන්න පුළුවන්. තවද කිසිම කෙනෙකුට ෂෙයෝලයෙන් තනිවම නැවත නැඟිටින්න බැරි බවත් අදහස් කළා විය හැකියි. යෝබ්ට නැවත නැඟිටීම ගැන විශ්වාසයක් තිබුණු බවට යෝබ් 14:13-15 දක්වා ඔහු පවසා ඇති දෙයින් පැහැදිලියි.

10:10—යෙහෝවා ‘යෝබ්ව කිරි මෙන් වත් කර මිදුණු කිරි මෙන් කැටිගැසෙන්නට’ සැලැස්සුවේ කොහොමද? මෙය යෝබ් මව්කුස තුළ හැදුණු සැටි කාව්‍යමය ලෙස විස්තර කර තිබෙන ආකාරයයි.

19:20—“මාගේ දත්වල හම පමණකින් බේරී සිටිමි” කියා පැවසීමෙන් යෝබ් අදහස් කළේ කුමක්ද? දත්වල හම නැතුවා වාගේ ඔහුට ගැලවීමට කිසිම ආකාරයක මඟක් තිබුණේ නැහැ.

අපට ගත හැකි පාඩම්:

4:7,8; 8:5,6; 11:13-15. කෙනෙක් කරදරේක වැටිලා ඉන්න අවස්ථාවලදී ඔහු තමන් වැපුරූ දේ කපාගන්නවා කියා හෝ ඔහුට දෙවිගේ අනුමැතිය නැතැයි කියා හෝ සිතීමට අප ඉක්මන් නොවිය යුතුයි.

4:18, 19; 22:2, 3. අපි කෙනෙකුට උපදෙස් දෙන විට එය දේවවචනය මත පදනම් විය යුතු අතර අපේ පෞද්ගලික අදහස් ඉදිරිපත් නොකළ යුතුයි.—2 තිමෝති 3:16.

10:1. යෝබ් අද්දුටු දරුණු වේදනා නිසා ඒවාට හේතු විය හැකි සාධක ගැන සොයා බලන්න බැරි තරමට ඔහු අන්ධ වුණා. සාතන් දෙවි සහ ඔහුගේ නමස්කාරකයන් සම්බන්ධයෙන් එල්ල කර තිබෙන චෝදනා ගැන නිවැරදි දැනුමක් තියෙන අය හැටියට අප දුක් කරදරවලට මුහුණ දෙන විට ඒවා ගැන දැඩි ලෙස කනස්සලු නොවිය යුතුයි.

14:7, 13-15; 19:25; 33:24. සාතන් අපට මොන පීඩා ගෙන ආවත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අපට මහත් ශක්තියක්.

16:5; 19:2. අපේ කතා බහෙන් අනිත් අය දිරිගැන්වීමක් ලැබිය යුතුයි. එය අනිත් අයව කෝපයට පත් නොකළ යුතුයි.—හිතෝපදේශ 18:21.

22:5-7. ප්‍රමාණවත් සාක්ෂි නැතුව කෙනෙකුට චෝදනා කර උපදෙස් දීමෙහි කිසිම වටිනාකමක් නැති අතර එය ඒ පුද්ගලයාට කරන ලොකු හානියක් වනවාට සැකයක් නැහැ.

27:2; 30:20, 21. දෙවිට විශ්වාසවන්තව සිටීමට කෙනෙක් කිසිම පාපයකින් තොර සම්පූර්ණ කෙනෙක් විය යුතු නැහැ. යෝබ් විශ්වාසවන්තව සිටියත් දෙවිට දොස් කිව්වේ නොදැනුවත්වයි.

27:5. කෙනෙක් දෙවිට පක්ෂපාත වන්නේ ඔහුට දෙවි කෙරෙහි තිබෙන ප්‍රේමය නිසයි. යෝබ් දෙවිට දැක්වූ පක්ෂපාතකම වෙන කිසිවෙකුට නැති කරන්න හැකි වූයේ නැහැ. ඒ නිසා අපත් යෙහෝවා දෙවි කෙරෙහි දැඩි ප්‍රේමයක් වර්ධනය කරගත යුතුයි.

28:1-28. පොළොවේ වස්තුව තිබෙන්නේ කොහේද කියා මිනිස්සු හොඳටම දන්නවා. ඔවුන් කොච්චර දක්ෂද කියනවා නම් ඈත තිබෙන ගොදුරක් අල්ලා කන පක්ෂියෙකුට පවා නොපෙනෙන තැන් ඔවුන් සොයාගෙන පොළොවේ යටට යනවා. ඒත් දෙවිගෙන් ප්‍රඥාව ලැබෙන්නේ ඔහු කෙරෙහි ගරු බියක් තිබෙන අයට පමණයි.

29:12-15. අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට අප තුළ මහත් ආශාවක් තිබිය යුතුයි.

31:1, 9-28. යෝබ් අපට කදිම ආදර්ශයක්. ඔහු වෙනත් ස්ත්‍රීන් සමඟ අනවශ්‍ය කුලුපගකම් පෑවේ නැහැ. දුරාචාරයේ යෙදුණේවත්, අසාධාරණ ලෙස කටයුතු කළේවත්, අනුකම්පාවක් නැති ලෙසින් අන් අයට සැලකුවේවත් නැහැ. ඒ වගේම ඔහු ජීවිතයේ සැප සම්පත්වලට ආශා වූ කෙනෙක්වත් රූප නමස්කාරයේ යෙදුණු කෙනෙක්වත් නොවෙයි.

‘මම ධූලිවලත් අළුවලත් හිඳ පශ්චාත්තාප වෙමි’

(යෝබ් 32:1–42:17)

යෝබ් හා ඔහුගේ මිත්‍රයන් තුන්දෙනා කළ කතා බහ පැත්තකින් සිට එලීහු නම් තරුණයෙක් අසා සිටියා. ඔහු යෝබ්ගේ සිතට මහත් වධයක් දුන් ඔහුගේ මිත්‍රයන් තුන්දෙනාව හා යෝබ්ව නිවැරදි කළා.

එලීහු කතා කර අවසන් වූ විගස යෙහෝවා සුළි සුළඟේ සිට යෝබ්ට උත්තර දුන්නා. ඔහු යෝබ් විඳින දුක් පීඩාවලට හේතුව පැවසුවේ නැහැ. ඒත් යෙහෝවා යෝබ්ගෙන් ප්‍රශ්න රාශියක් ඇහුවා. මෙසේ ඇසීමෙන් යෙහෝවා ඔහු සතු පුදුමාකාර බලය හා ප්‍රඥාව ගැන යෝබ්ට දැනගැනීමට සැලැස්සුවා. යෙහෝවාට සවන් දීමෙන් පසු තමා නොදැනුවත්කමින් කතා කළ බව පිළිගත් යෝබ් මෙසේ පැවසුවා. ‘මම මාව පිළිකුල් කොට ධූලියෙත් අළුයෙත් හිඳ පශ්චාත්තාප වෙමි.’ (යෝබ් 42:6) යෝබ්ගේ පීඩා නිම වූ පසු ඔහු දැක්වූ විශ්වාසවන්තකමට දෙවි ඔහුට ආශීර්වාද කළා.

ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:

32:1-3—එලීහු පැමිණියේ කුමන අවස්ථාවේද? යෝබ් කතා කරන්න පටන්ගත්තේ ඔහුගේ මිත්‍රයන් පැමිණ දවස් හතක් ගත වූ පසුවයි. එලීහු එතැන සිටි අය කළ සියලුම කතා බහ දැනගෙන සිටීමෙන් පෙනී යන්නේ ඔහු මුල සිටම ඔවුන්ගේ කතා බහ ඇසෙන දුරකින් සිටි බවයි.—යෝබ් 3:1, 2.

34:7—යෝබ් “වතුර මෙන් නින්දාව බොන්නාවූ” කෙනෙක් වූයේ කොහොමද? යෝබ්ගේ මිතුරන් තිදෙනා කතා කළේ දෙවිට විරුද්ධවයි. එහෙත් ඒ දේවල් තමන්ට කළ අපහාසයක් ලෙස සලකා ඒවා විඳගන්න දරුණු ලෙස පීඩා විඳිමින් සිටි අවස්ථාවේදී පවා යෝබ් කැමති වුණා. (යෝබ් 42:7) ඔහු මෙහිදී කළේ කෙනෙක් ආශාවෙන් වතුර බොනවා වගේ ඔවුන් කළ නින්දා අපහාස විඳගැනීමයි.

අපට ගත හැකි පාඩම්:

32:8, 9. කෙනෙක් වයසින් මුහුකුරා ගිය පමණින් ඔහු ප්‍රඥාවන්තයෙක් වන්නේ නැහැ. ප්‍රඥාවන්ත කෙනෙක් වීමට දෙවිගේ වචනය තේරුම්ගැනීමත් දෙවිගේ බලයේ මඟ පෙන්වීමත් අවශ්‍ය වෙනවා.

34:36. “කෙළවර දක්වා විමසනු” ලැබීමෙන් හෙවත් පරීක්ෂා කරනු ලැබීමෙන් දෙවිට තිබෙන අපේ විශ්වාසවන්තකම ඔප්පු කළ හැකියි.

35:3. එලීහු හොඳින් සවන් දීමෙන් පසු ඔහු පැනනැඟී තිබූ නිශ්චිත කාරණය සම්බන්ධයෙන් කතා කළා. (යෝබ් 10:4; 16:7; 34:5) වැඩිමහල්ලන් උපදෙස් දීමට කලින් හොඳින් සවන් දිය යුතු අතර සියලුම තොරතුරු සොයාගත යුතුයි. ඒ වගේම ප්‍රශ්නයට භාජනය වී තිබෙන නිශ්චිත කාරණය දැනගත යුතුයි.—හිතෝපදේශ 18:13.

37:14; 38:1–39:30. යෙහෝවාගේ පුදුම ක්‍රියා ගැන මෙනෙහි කිරීමෙන් ඔහුගේ බලය හා ප්‍රඥාව ගැන අපට දැනගත හැකි වෙනවා. එය අපට යටහත් පහත් වීමට උපකාර කරන අතර විශ්වය පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා යෙහෝවා දෙවි බව තහවුරු කිරීම වෙන කිසිම දෙයකට වඩා වැදගත් බව වටහාගැනීමටත් හැකි වෙනවා.—මතෙව් 6:9, 10.

40:1-4. අපි සියලු බලැති දෙවිට විරුද්ධව යමක් කීමට පෙලඹෙන විට ‘අප අතින් කට වසාගත යුතුයි.’

40:15–41:34. බෙහෙමොත්ට (හිපපොටේමසාට) හා ලෙවීයාතාන්ට (කිඹුලාට) අතිවිශාල බලයක් තිබෙනවා. දෙවිගේ සේවයේ දිගටම නියැලීමට නම් මෙම බලවත් සතුන් මැවුවාවූ සියලු බලැති දෙවිගේ බලය අපටත් අවශ්‍යයි.—ෆිලිප්පි 4:13.

42:1-6. යෙහෝවාට සවන් දීමෙන් හා ඔහුගේ බලය ගැන මතක් කර දීමෙන් පසු යෝබ්ට ‘දෙවිව දැකීමට’ හෙවත් දෙවි ගැන සත්‍යය දැනගැනීමට හැකි වුණා. (යෝබ් 19:26) මෙය ඔහු සිතන ආකාරය වෙනස් කළා. අපට දේවවචනයෙන් යම් නිවැරදි කිරීම් ලැබෙන විට ඒවා ඉක්මනින් පිළිගෙන අවශ්‍ය වෙනස්කම් කිරීමට උත්සුක විය යුතුයි.

යෝබ් මෙන් අපත් ‘විඳදරාගනිමු’

මිනිසුන් විඳින දුක් වේදනාවලට වග කිව යුත්තේ දෙවි නොව සාතන් බව යෝබ්ගේ පොතෙන් අපට හොඳටම පැහැදිලියි. ඒත් දුෂ්ටකම පැවතීමට දෙවි ඉඩහැර තිබීමෙන් දෙවිගේ පාලනයට අප යටත් වෙනවාද හා දෙවිට අප පක්ෂපාත වෙනවාද කියා ඔප්පු කිරීමට සෑම කෙනෙක්ටම අවස්ථාවක් ලබා දෙනවා.

යෝබ් මෙන් දෙවිට ප්‍රේම කරන සියලුදෙනාටම පරීක්ෂාවලට මුහුණ දීමට සිදු වෙනවා. යෝබ්ගේ වාර්තාවෙන් පෙනී යන්නේ අපටත් විඳදරාගත හැකි බවයි. එයින් මතක් කර දෙන ආකාරයට අපේ ප්‍රශ්න ගැටලු අපට හැමදාම තියෙන්නේ නැහැ. “යෝබ්ගේ විඳදරාගැනීම ගැන ඔබ අසා තිබේ. යෙහෝවා දුන් විපාකයත් ඔබ දුටුවහුය” යයි යාකොබ් 5:11 කියවීමට තිබෙනවා. යෝබ් විශ්වාසවන්තව සිටි නිසා යෙහෝවා ඔහුට ආශීර්වාද කළා. (යෝබ් 42:10-17) අපට අනාගතයේදී පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව තිබෙනවා. ඒ නිසා අපත් යෝබ් මෙන් අපේ විශ්වාසවන්තකම දිගටම පවත්වාගැනීමට අධිෂ්ඨාන කරගනිමු.—හෙබ්‍රෙව් 11:6.

[පාදසටහන්වල]

^ 2 ඡේ. යෝබ් පොතේ අවුරුදු 140කට වැඩි කාලයක් පුරා වූ සිදුවීම් වාර්තා කර තිබෙනවා. (ක්‍රි.පූ. 1657 සිට ක්‍රි.පූ. 1473 දක්වා)

[16වන පිටුවේ පින්තූර]

‘යෝබ් විඳදරාගත්’ ආකාරයෙන් අපට කුමක් ඉගෙනගත හැකිද?