Skip to content

පටුනට යන්න

විදේශීය භාෂාවකින් රැස්වීම් පවත්වන සභාවක සේවය කිරීම

විදේශීය භාෂාවකින් රැස්වීම් පවත්වන සභාවක සේවය කිරීම

විදේශීය භාෂාවකින් රැස්වීම් පවත්වන සභාවක සේවය කිරීම

“මම තවත් දේවදූතයෙකු දුටිමි. අහස මැද පියාසර කරමින් සිටි ඔහුට, පොළොවේ වාසය කරන අයටත්, සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත් ප්‍රීතිමත් පණිවුඩයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක් තිබිණ” කියා යොහන් සඳහන් කළා. (එළිදරව් 14:6) ඔහු දර්ශනයකින් දුටු එම අනාවැකියේ ඉටුවීමක් හැටියට දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය අද ලොව පුරාම විවිධ භාෂාවලින් දේශනා කරනු ලබනවා. වර්තමානයේ බොහෝදෙනෙක් වෙනත් රටවල පදිංචියට ගොස් සිටිනවා. මොවුන් කතා කරන භාෂාවලින්ම ඔවුන්ට ඒ රටවලදී ශුභාරංචිය අසන්ට ලැබෙනවා. මේ අයට ඔවුන්ගේ මව් භාෂාවෙන්ම ශුභාරංචියට සවන් දීමට හැකි වී තිබෙන්නේ ඒ රටවල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් උනන්දුවෙන් විදේශීය භාෂාවක් ඉගෙනගෙන තිබෙන නිසයි.

විදේශීය භාෂාවකින් රැස්වීම් පවත්වනු ලබන සභාවක සේවය කරන බොහෝදෙනා අතරින් ඔබත් කෙනෙක්ද? එසේත් නැත්නම් ඔබ ඒ ගැන සිතමින් සිටිනවාද? විදේශීය භාෂාවක් හොඳින් ඉගෙනගැනීමට නම් අන් අයට උපකාර කිරීමට ආශාවක් සහ හොඳ චේතනාවක් තිබිය යුතුයි. මෙහිදී ඔබේ පරමාර්ථය වන්නේ දෙවිට සහ අසල්වැසියාට තිබෙන ප්‍රේමයෙන් පෙලඹී, දේවවචනයේ සඳහන් සත්‍යයන් ඉගෙනගැනීමට අන් අයට උපකාර කිරීම නම් ඔබට තිබෙන්නේ හොඳ චේතනාවක් කියා පැවසිය හැකියි. (මතෙව් 22:37-39; 1 කොරින්ති 13:1) ඔබ විදේශීය භාෂාවක් ඉගෙනගන්නේ වෙනස් සංස්කෘතියකට අයත් අය සමඟ ඇසුරු කිරීමට හෝ ඔවුන් පිළියෙල කරන රසවත් ආහාර භුක්ති විඳීමට තිබෙන ආශාව නිසා නොව, සැබෑ දෙවි ගැන දැනගැනීමට ඔවුන්ට උපකාර කිරීමට තිබෙන ආශාව නිසයි. විදේශීය භාෂාවක් ඉගෙනගැනීම අමාරු දෙයක් කියා ඔබට හැඟෙනවාද? මෙහිදී නිසි ආකල්පයක් ඇතුව සිටීම වැදගත්. “අලුත් භාෂාව නිසා ඔබ තුළ බියක් ඇතිවීමට ඉඩ දෙන්න එපා” කියා ජපන් භාෂාව ඉගෙනගත් ජේම්ස් පවසනවා. දැනටමත් බොහෝදෙනෙක් සාර්ථක ලෙස අලුත් භාෂා ඉගෙනගෙන තිබෙනවා. මේ බව මතක තබාගැනීම, නිසි ආකල්පයක් ඇතුව අත් නෑර විදේශීය භාෂාවක් ඉගෙනගැනීමට ඔබ තුළ පෙලඹවීමක් ඇති කරාවි. ඔබ විදේශීය භාෂාවක් ඉගෙනගැනීමේදී අපි දැන් සලකා බලන මේ ප්‍රශ්න ඔබට උපකාරවත් වේවි. ඔබට අලුත් භාෂාවක් ඉගෙනගත හැක්කේ කෙසේද? එම භාෂාව කතා කරන සභාවේ තත්වයට අනුව හැඩගැසෙන්න ඔබට උපකාරවත් වන්නේ කුමන දේවල්ද? අලුත් භාෂාවක් ඉගෙනගන්න අතරේදී ඔබේ ඇදහිල්ල දිගටම ශක්තිමත්ව තබාගැනීම සඳහා ඔබ කළ යුත්තේ මොනවාද?

භාෂාව ඉගෙනගැනීම

භාෂාවක් ඉගෙනගත හැකි ක්‍රම බොහොමයක් තිබෙනවා. මෙහිදී සිසුන්ට ඉගෙනගැනීමටත් ගුරුවරුන්ට ඉගැන්වීමටත් විවිධ ක්‍රම තිබෙනවා. කෙසේවෙතත් අලුත් භාෂාවක් ඉගෙනගන්න බොහෝදෙනෙක් දක්ෂ ගුරුවරයෙක් උගන්වන පන්ති කිහිපයකට සහභාගි වීමෙන් ඉක්මනින් හා පහසුවෙන් ඒ භාෂාව ඉගෙනගෙන තිබෙනවා. බයිබලය හා අපේ සඟරා පොත් පත් ඔබ ඉගෙනගන්න අලුත් භාෂාවෙන් කියවීමෙන් හා ඒවා පටිගත කර තිබෙන කැසට් පටවලට සවන් දීමෙන් ඔබේ වචන මාලාව දියුණු කරගත හැකියි. එමෙන්ම අපේ සඟරා පොත් පත්වල නිතර සඳහන් වන බයිබල් යෙදුම් ගැන ඔබේ දැනුමද එමගින් වැඩි කරගත හැකියි. යෝග්‍ය තොරතුරු අඩංගු ගුවන් විදුලි, රූපවාහිනි හා වීඩියෝ වැඩසටහන්වලට සවන් දීමෙන් හා ඒවා නැරඹීමෙන්ද ඔබ ඉගෙනගන්න අලුත් භාෂාව සහ එය කතා කරන ජනයාගේ සංස්කෘතිය ගැන බොහෝ දේ දැනගත හැකියි. කලින් කලට දිගු වේලාවක් අලුත් භාෂාව ඉගෙනගන්නවාට වඩා සෑම දවසකම ටික වේලාවක් එය ඉගෙනගැනීම ප්‍රයෝජනවත්.

භාෂාවක් ඉගෙනගැනීම, පීනන්න ඉගෙනගන්නවා හා සමානයි. පිහිනීම ගැන සඳහන් පොතක් කියවූ පමණින් පීනන්න ඉගෙනගන්න බැහැ. පීනන්න ඉගෙනගනිද්දී ඔබට සිදු වෙනවා වතුරට පැනලා අත පය ගසන්න. අලුත් භාෂාවක් ඉගෙනගන්න විටත් සිදු වන්නේ ඒ හා සමාන දෙයක්. පාඩම් කිරීමෙන් පමණක් භාෂාවක් ඉගෙනගන්න අමාරුයි. ඔබට හැකි සෑම අවස්ථාවකදීම ඒ භාෂාව කතා කරන අයත් එක්ක ඇසුරු කළ යුතුයි. ඔවුන් කතා කරද්දී හොඳින් සවන් දිය යුතුයි. වැදගත්ම දෙය වන්නේ ඔවුන් සමඟ කතා කිරීමයි. මේ සඳහා අපේ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් මගින් කදිම අවස්ථා උදා කර දෙනවා. ඔබ ඉගෙනගන්න දේවල් ඉක්මනින් ක්ෂේත්‍ර සේවයේදී භාවිත කරන්න. චීන භාෂාව ඉගෙනගනිමින් සිටින මිඩොරි මෙසේ පවසනවා.“විදේශීය භාෂාවකින් සාක්ෂි දරද්දී භයක් දැනෙන්න පුළුවන්. ඒත් සාක්ෂිකරුවන් හැටියට අපි එයාලා එක්ක කතා කරන්න ලොකු උත්සාහයක් දරනවා කියලා ගෙවැසියන් තේරුම්ගනිද්දී ඔවුන් අපිට සවන් දෙන්න පෙලඹෙනවා. ‘ආයුබෝවන්!’ කියලා ඔවුන්ගේ භාෂාවෙන් කියන්න විතරයි තියෙන්නේ. ඔවුන්ගේ මුහුණ දිහා බලද්දී පේනවා ඔවුන් සවන් දෙන්න කැමතියි කියලා.”

අලුත් භාෂාවක් ඉගෙනගනිද්දී ක්‍රිස්තියානි රැස්වීම්වලින්ද මහත් උපකාරයක් ලැබෙනවා. සෑම රැස්වීමකදීම අඩුම තරමින් එක උත්තරයක්වත් දෙන්න උත්සාහ කරන්න. මුලදී භයක් දැනුණත්, ඒ ගැන වැඩිය හිතන්න එපා. සභාවේ සිටින අය කැමති ඔබ සාර්ථක වෙනවා දකින්නයි. කොරියානු භාෂාව ඉගෙනගනිමින් සිටින මොනිෆා මෙසේ පවසනවා. “එක් සහෝදරියක් රැස්වීම් වේලාවේදී මා ළඟින් වාඩි වෙලා සමහර වචනවල තේරුම ලියා දෙනවා. ඇය ප්‍රේමණීය ලෙස හා ඉවසිලිවන්තව දුන් සහය මට හුඟාක් උපකාරවත් වුණා.” ඔබේ වාග් මාලාව දියුණු වෙනවාත් සමඟම ඔබට පුළුවන් මනසින් වචන පරිවර්තනය කරගන්නවා වෙනුවට කියන්න උත්සාහ කරන දෙයට අවශ්‍ය වචන සම්බන්ධ කරගනිමින් අලුත් භාෂාවෙන් සිතන්න.

අලුත් භාෂාව ඉගෙනගනිද්දී ඔබේ මුල්ම ඉලක්කය විය යුත්තේ ‘පහසුවෙන් තේරුම්ගත හැකි වචන ප්‍රකාශ කිරීමයි.’ (1 කොරින්ති 14:8-11) ඔබ අලුත් භාෂාව කතා කරද්දී අඩු පාඩු තිබුණත් ඔබ කියන්න උත්සාහ කරන දේ ඔවුන් තේරුම්ගන්නවා. ඒත් කැපීපෙනෙන ආකාරයකින් වැරදි ලෙස උච්චාරණය කළොත් ඔබ කියන දෙයට අනිත් අය ඕනෑකමින් සවන් දෙන එකක් නැහැ. මුල පටන්ම වචන හරි ලෙස උච්චාරණය කිරීමටත් ව්‍යාකරණ නිසි ලෙස පාවිච්චි කිරීමටත් ඉගෙනගන්නවා නම් වැරදි පහසුවෙන් හදාගන්න පුළුවන්. වැරදි මුලින්ම හදාගත්තේ නැත්නම් පසුව ඒවා හදන්න අමාරු වෙනවා. ස්වහීලී භාෂාව ඉගෙනගත් මාක් මේ වගේ යෝජනාවක් කරනවා. “ඔබ අතින් සිදු වෙන බරපතළ අඩු පාඩු හරිගස්සන්න කියලා භාෂාව හොඳින් හසුරුවන අයගෙන් ඉල්ලා සිටින්න. ඔවුන් එසේ කරද්දී එයට ස්තුති කරන්න.” ඔබට මේ විදිහට උපකාර කරන අයගේ කාලය හා ශ්‍රමය ගැනත් සැලකිලිමත් වන්න. ඔබේ සටහන් පරීක්ෂා කර බලන්න කියා යම් කෙනෙකුගෙන් ඉල්ලා සිටිය හැකියි. ඒත් ඔබ දැනටමත් ඉගෙනගෙන තිබෙන වචන යොදාගනිමින් කතා හා උත්තර සූදානම් කරගැනීමට ඔබම උත්සාහ කරන්න. මෙසේ කිරීමෙන් ඔබට ඉක්මනින් භාෂාව ඉගෙනගත හැකි අතර විශ්වාසයකින් යුතුව කතා කිරීමටත් හැකි වෙයි.

අත් නෑර උත්සාහ කරන්න

කලින් සඳහන් කළ මොනිෆා තවදුරටත් මෙසේ පවසනවා. “මම මෙතෙක් කරලා තියෙන අමාරුම වැඩේ තමයි අලුත් භාෂාවක් ඉගෙනගන්න එක. සමහර අවස්ථාවලදී මට හිතුණා අත්හැරලා දාන්න. මම පුළුවන් විදිහට සරලව කොරියානු භාෂාවෙන් බයිබලයේ තියෙන ගැඹුරු සත්‍යයන් ගැන පහදා දෙද්දී මගේ බයිබල් ශිෂ්‍යයා උනන්දුවෙන් අසාගෙන ඉන්න විදිහ මගේ මතකයට නැඟෙනවා. ඒ වගේම සභාවේ ඉන්න සහෝදර සහෝදරියන් මම ලබන දශමයක තරම් දියුණුව ගැන පවා සතුටු වෙනවා.” ඒ නිසා ඔබ දරන උත්සාහය අත්හරින්න ඉක්මන් වෙන්න එපා. ඔබේ ඉලක්කය වන්නේ ජීවිත ගලවාගන්න උපකාරවත් වන බයිබල් සත්‍යයන් මිනිසුන්ට ඉගැන්වීමයි. (1 කොරින්ති 2:10) විදේශීය භාෂාවකින් බයිබලය ගැන අනිත් අයට ඉගැන්වීමට ඔබ ඉගෙනගනිද්දී ඒ සඳහා සෑහෙන කාලයක් පුරා මහත් වෑයමක් දැරිය යුතුයි. ඔබ ලබන ප්‍රගතිය අනිත් අය සමඟ සන්සන්දනය කිරීමෙන් වළකින්න. අලුත් භාෂාවක් ඉගෙනගන්න අය ලබන ප්‍රගතිය එකිනෙකාට වෙනස්. එමෙන්ම ඔවුන් ප්‍රගතිය ලබන ආකාරද වෙනස්. කෙසේවෙතත් ඔබේ ප්‍රගතිය ගැන සාවධානව සිටීම වැදගත්. (ගලාති 6:4) චීන භාෂාව ඉගෙනගත් ජූන් මෙසේ පවසනවා. “භාෂාවක් ඉගෙනගන්න එක හරියට පඩි පේළියක් නඟිනවා වගෙයි. ඔබ ප්‍රගතියක් ලබන්නේ නැහැ කියා හැඟෙන අවස්ථා තියෙනවා. ඒත් වැඩි කාලයක් යන්න කලින් ඔබට තේරෙයි, ඔබ ප්‍රගතියක් ලබා තියෙනවා කියලා.”

අලුත් භාෂාවක් ඉගෙනගැනීම ජීවිත කාලය පුරාම කළ යුතු කාර්යයක්. මේ නිසා භාෂාවක් ඉගෙනගැනීමේ කාර්යය ප්‍රීතියෙන් කරන්න. සියයට සියයක් හරියට භාෂාව හසුරුවන්න ඕනේ කියලා සිතන්න එපා. (ගීතාවලිය 100:2) අඩු පාඩු හා වැරදි වළක්වන්න බැහැ. ඕනෑම දෙයක් ඉගෙනගන්න විට වැරදි සිදු වෙනවා. එක් සහෝදරයෙක් ඉතාලි භාෂාවෙන් දේශනා කරන්න පටන්ගත් මුල් කාලයේදී ගෙවැසියාගෙන් මෙසේ ඇසුවා. “ජීවිතයේ කොස්ස මොකක්ද කියලා ඔයා දන්නවාද?” ඇත්තටම ඔහුට අහන්න ඕන වුණේ “ජීවිතයේ අරමුණමොකක්ද කියලයි. පෝලන්ත භාෂාව ඉගෙනගන්න සහෝදරයෙක් සභාවට ආරාධනා කළේ ගීතිකාව ගායනා කිරීම වෙනුවට බල්ලාව ගායනා කිරීමටයි. චීන භාෂාව කතා කරද්දී හඬ උස් පහත් කරන ආකාරය ටිකක් හෝ වෙනස් වුණොත් අර්ථයද වෙනස් වෙනවා. චීන භාෂාව ඉගෙනගන්න කෙනෙක් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමට සබය උනන්දු කිරීමේදී පැවසුවේ යේසුස්ගේ පොත් රාක්කය කෙරෙහි ඇදහිල්ල තබන්න කියායි. වැරදීම්වල හොඳ පැත්තක්ද තිබෙනවා. යම් වචනයක් වැරදුණු විට නිවැරදි වචනය අමතක නොවන විදිහට ඉගෙනගන්න පුළුවන්.

අලුත් භාෂාව කතා කරන සභාව සමඟ සේවය කිරීම

මිනිසුන් බෙදී වෙන්වීමට බලපාන එකම හේතුව භාෂාව පමණක්ම නොවෙයි. සංස්කෘතිය, ජාතිය හා ජීවත් වන රට යනාදිය නිසාද මිනිසුන් බෙදී සිටිනවා. එහෙත් මේ බාධක ජයගත හැකියි. යුරෝපයේ සිටින චීන භාෂාව කතා කරන ආගමික කණ්ඩායම් ගැන තොරතුරු සොයා බලන විද්වතෙක් පැවසුවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් “විවිධ ජාතීන්ගෙන්” සමන්විත පිරිසක් බවයි. ඔවුන් අතර “ජාතිය අනුව තරාතිරම් බැලීමක් නැහැ. ඔවුන් භාෂාව සලකන්නේ බයිබලයේ සඳහන් සත්‍යයන් තේරුම්ගන්න උපකාරවත් වන මෙවලමක් හැටියට පමණයි.” ජාතිය නිසා ඇති වන භේදකාරී දේවල් ජයගැනීමට සැබෑ ක්‍රිස්තියානීන්ට හැකි වී තිබෙන්නේ ඔවුන් බයිබල් ප්‍රතිපත්ති අනුව ජීවත් වන නිසයි. “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගන්න අය අතර ‘ග්‍රීක හෝ යුදෙව් කියාවත් විදේශික කියාවත් කෙනෙක් නැහැ’ කියා බයිබලයේ පවසනවා.—කොලොස්සි 3:10, 11.

මේ නිසා සභාවේ සිටින සියලුදෙනාම සමඟිය රැකගන්න අයුරින් ක්‍රියා කළ යුතුයි. මේ සඳහා අලුත් විදිහකට සිතන්න හා දේවල් කරන්න කැමති විය යුතුයි. කතා කරන භාෂාව හා පුද්ගලයන් ක්‍රියා කරන විදිහ වෙනස් වුණත් භේදකාරී තත්වයන් ඇතිවීමට එම වෙනස්කම් හේතුවක් කර නොගන්න ඔබට පුළුවන්. මෙහිදී පෞද්ගලික රුචි අරුචිකම්වලට අනවශ්‍ය තැනක් නොදීම වැදගත්. (1 කොරින්ති 1:10; 9:19-23) සෑම සංස්කෘතියකින්ම ගත හැකි හොඳ දේවලින් ප්‍රයෝජන ගන්න. එකිනෙකා සමඟ හොඳ ඇසුරක් පවත්වාගනිමින් එක්සත්ව සිටීමට බලපාන වැදගත්ම සාධකය වන්නේ අනිත් අය කෙරෙහි ප්‍රේමණීය සැලකිල්ලක් දැක්වීම බව මතක තබාගන්න.

විදේශීය භාෂාවක් කතා කරන බහුතරයක් සිටින කණ්ඩායම් වර්ධනය වීම නිසා සභා බොහොමයක් ඇති වී තිබෙනවා. එවැනි කණ්ඩායම්වල සිටින සමහරුන් බයිබල් ප්‍රතිපත්ති ගැන ඉගෙනගෙන වැඩි කාලයක් ගත වී නැහැ. මේ නිසා විශාල සභාවක් සමඟ බලන කල එවැනි කුඩා කණ්ඩායම්වල සිටින අය අතර වරදවා වටහාගැනීම් සිදුවීමට තිබෙන ඉඩ කඩ වැඩියි. මේ නිසා එවැනි කණ්ඩායමක් හෝ අලුත් සභාවක් තුළ හොඳ බලපෑමක් ඇති කිරීමට ශක්තිමත් ඇදහිල්ලක් තිබෙන ක්‍රිස්තියානීන් වෑයම් කළ යුතුයි. තමන්ගේ වචනවලින් හා ක්‍රියාවලින් ප්‍රේමය හා කරුණාව පෙන්වීමෙන් හොඳ වාතාවරණයක් සභාව තුළ ඇති කළ හැකියි. මෙය නවකයන්ගේ ඇදහිල්ල ශක්තිමත් වීමටද හේතු වෙයි.

විදේශීය භාෂාවක් කතා කරන සභාවකට උපකාර කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන අය අනිත් අයගෙන් බලාපොරොත්තු වන දේවල් සම්බන්ධයෙන් සාධාරණ විය යුතුයි. එවැනි සභාවක වැඩිමහල්ලෙක් හැටියට සේවය කරන රික් ඒ ගැන මෙසේ පැහැදිලි කරනවා. “අපේ සභාවේ ඉන්න සමහර නවක සාක්ෂිකරුවන් සභාවක වැඩකටයුතු කරගෙන යන ආකාරය ගැන පැරණි සභාවක සිටින අය තරම් පුහුණුවක් ලබා නැහැ. ඒ වුණත් ප්‍රේමයෙන් හා උද්‍යෝගයෙන් සභාවේ වැඩකටයුතු කිරීම නිසා ඔවුන් තුළ නැති හැකියාවන් එතරම් බලපාන්නේ නැහැ. උනන්දුව දක්වන හුඟදෙනෙක් සත්‍යයට එනවා.” නිතිපතා සභාවේ ක්‍රියාකාරකම්වල හවුල් වීමෙන් හා ඔබට හැකි ආකාරවලින් උපකාරය ලබා දීමෙන් අලුත් භාෂාවක් ඉගෙනගන්න කෙනෙක් වුණත් ඔබටත් සභාවේ වර්ධනයට දායක වෙන්න පුළුවන්. මේ විදිහට සෑම කෙනෙක්ම එකමුතුව වැඩ කරන විට සභාව වර්ධනය වෙයි.

ඇදහිල්ල ශක්තිමත්ව තබාගන්න

විදේශීය භාෂාවකින් රැස්වීම් පවත්වන සභාවක නවක සහෝදරයෙකුට, අම්මා කෙනෙක් සහ දරුවෙක් අතර ඇති වූ මේ දෙබස ඇසුණා. මේ වේලාවේදී ඒ අම්මා තම දරුවාට රැස්වීමේදී උත්තර දෙන්න උපකාර කරමිනුයි සිටියේ. දරුවා අම්මාගෙන් මෙහෙම ඇහුවා. “අම්මේ, මට කෙටි උත්තරයක් කියලා දෙන්නකෝ” අම්මා දරුවාට මෙසේ පැවසුවා. “කෙටි උත්තර අපේ භාෂාව ඉගෙනගන්න අයට ඉතුරු කරන්න ඕනෙ.”

මාස හෝ අවුරුදු කිහිපයක් අනිත් අයත් සමඟ හොඳින් කතා බහ කරන්න වැඩිහිටියෙකුට නොහැකි වන විට ඔහු මානසිකව පහත වැටිය හැකියි. එමෙන්ම ඔහුගේ ඇදහිල්ලද දුර්වල විය හැකියි. ස්පාඤ්ඤ භාෂාව දැන් හොඳින් කතා කරන ජැනට් ඇගේ අද්දැකීම මෙසේ සිහිපත් කරනවා. “මට විදේශීය භාෂාව හරියට කතා කරගන්න බැරි වුණ වේලාවන්වලදී මම ඉක්මනින්ම අධෛර්යයට පත් වුණා.” ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත් හිරොකො ඔහුගේ අතීතය මතකයට නංවමින් මෙසේ පවසනවා. “මේ ප්‍රදේශයේ ඉන්න බල්ලන්ට හා පූසන්ටත් මට වඩා හොඳට ඉංග්‍රීසි තේරෙනවා කියා මට හැඟුණා.” තම අද්දැකීම ගැන කැතී පවසන්නේ මෙසේයි. “මම ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවක සේවය කරන්න ගියාට පස්සේ මට බයිබල් පාඩම් කිහිපයක් සහ නැවත බැලීම් හුඟාක් හම්බ වුණා. ඒත් භාෂාව හරියට දන්නේ නැති නිසා මට ඒවා එකක්වත් කරගන්න බැරි වුණා. කිසි දෙයක් කරගන්න බැරි කෙනෙක් හැටියටයි මට මං ගැන හැඟුණේ.”

මෙවැනි අවස්ථාවලදී ශුභවාදී ආකල්පයක් ඇතුව සිටීම ඉතා වැදගත්. අධෛර්යයට පත් වූ අවස්ථාලදී හිරොකො මෙසේ සිතුවා. “අනිත් අයට පුළුවන් නම් මටත් පුළුවන්.” කැතී මෙසේ පවසනවා. “අලුත් භාෂාව හොඳින් ඉගෙනගනිමින් සභාවේ වැඩකටයුතුත් හුඟාක් කළ මගේ ස්වාමිපුරුෂයා ගැන මම හිතුවා. මටත් ප්‍රගතියක් ලබන්න එය උපකාරවත් වුණා. තවමත් මට හුඟාක් දේවල් ඉගෙනගන්න තියෙනවා. ඒත් මට දැන් අලුත් භාෂාවෙන් දේශනා කරන්න හා බයිබල් පාඩම් පවත්වන්න ටික ටික පුළුවන්. මේ විදිහට අනිත් අයට සත්‍යය ඉගැන්වීමෙන් මම ලොකු සතුටක් ලබනවා.” ඇගේ ස්වාමිපුරුෂයා වන ජෙෆ්ද මෙසේ පවසනවා. “සභාවේ නිවේදනවලදී හා වැඩිමහල්ලන්ගේ රැස්වීම්වලදී කියන හැම දෙයක්ම තේරෙන්නේ නැතුව ගියාම ටිකක් කලකිරෙනවා. මට තේරෙන්නේ නැති දේවල් නිහතමානිව අනිත් අයගෙන් අහන්න මට සිද්ධ වුණා. සහෝදරයෝ මට උදව් කළේ සතුටින්.”

අලුත් භාෂාවක් කතා කරන සභාවක සේවය කරද්දී ඔබේ ඇදහිල්ල දුර්වල වීම වළක්වාගැනීම සඳහා ඔබ ඒ ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. (මතෙව් 5:3) පෘතුගීසි භාෂාව කතා කරන සභාවක අවුරුදු ගණනාවක් සේවය කර තිබෙන කාසූයූකි මෙසේ පවසනවා. “අපේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීම වැදගත්. මේ නිසයි, අපි පවුලක් හැටියට අපේ මව් භාෂාවෙන් හා පෘතුගීසි භාෂාවෙන් රැස්වීම්වලට සූදානම් වෙන්නේ.” සමහර අය තමන්ගේ මව් භාෂාවෙන් පවත්වනු ලබන රැස්වීම්වලට ඉඳ හිට යනවා. ප්‍රමාණවත් විවේකයක් ගැනීමටද මෙහිදී අමතක නොකළ යුතුයි.—මාක් 6:31.

වියදම ගණන් බලන්න

විදේශීය භාෂාවක් කතා කරන සභාවක සේවය කරන්න යෑම ගැන ඔබ කල්පනා කරමින් සිටිනවා නම් ඒ ගැන හොඳින් සිතා බලන්න. (ලූක් 14:28) මෙහිදී සැලකිල්ල යොමු කළ යුතු වැදගත්ම දෙය වන්නේ ඔබේ ඇදහිල්ල හා යෙහෝවා සමඟ තිබෙන ඔබේ මිත්‍රත්වය ශක්තිමත්ව තබාගැනීම ගැනයි. ඔබේ තත්වය ගැන කියා යාච්ඤා කරන්න. ඔබේ භාර්යාව හා දරුවන් ගැන හිතන්න. මේ ප්‍රශ්න ගැන හොඳින් සිතා බලන්න. ‘දිගු කාලයක් පුරා කාලය හා ශ්‍රමය වැය කළ යුතු කාර්යයක් වන අලුත් භාෂාවක් ඉගෙනගන්න දැන් මම සිටින තත්වය අනුව මට පුළුවන්ද? එවැනි කාර්යයක් බාරගැනීම සඳහා ශක්තිමත් ඇදහිල්ලක් හා මානසික තත්වයක් මට තිබෙනවාද?’ ප්‍රඥාවන්ත දෙය වන්නේ ඔබෙත් ඔබේ පවුලේ අයගෙත් ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීම සඳහා කළ හැකි හොඳ දෙය කිරීමයි. ඔබ සේවය කරන සභාවේ රාජ්‍ය ප්‍රචාරකයෙක් හැටියට ඔබට බොහෝ දේ කරන්න තිබෙන අතර එයින් ඔබ අද්දකිනු ඇති ප්‍රීතියද ඉමහත්.

විදේශීය භාෂාවක් කතා කරන සභාවක සේවය කළ හැකි අයට ආශීර්වාද බොහෝමයක් ලබන්න පුළුවන්. තම ස්වාමිපුරුෂයා සමඟ ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවක සේවය කිරීමට ගොස් සිටින බාබරා මෙසේ පවසනවා. “මෙය මගේ ජීවිතයේ ලබපු ප්‍රීතිමත්ම අද්දැකීම්වලින් එකක්. මට දැනුණේ හරියට මම නැවත වතාවක් සත්‍යය ඉගෙනගන්නවා වගෙයි. වෙනත් රටකට ගිහින් සේවය කරන්න අපිට බැරි වුණත් විදේශීය භාෂාවක් කතා කරන සභාවක සේවය කරන්න අපිට අවස්ථාව ලැබීම ගැන අපි හුඟාක් සතුටු වෙනවා.”

රාජ්‍යයේ ශුභාරංචියේ වර්ධනයට දායක වීමේ අරමුණින් විදේශීය භාෂාවක් ඉගෙනගැනීමේ අභියෝගය ලොව පුරා සිටින විවිධ වයස් මට්ටම්වල සිටින දහස් ගණනක් දෙනා බාරගෙන තිබෙනවා. ඔබත් ඒ අය අතරින් කෙනෙක් නම් ඔබේ යහපත් චේතනාව දිගටම පවත්වාගන්න. නිතරම ශුභවාදී අකල්පයක් ඇතුව සිටින්න. සියල්ලටම වඩා, යෙහෝවා දෙවි ඔබේ උත්සාහයන්ට ආශීර්වාද කරන බවට නිසැක වන්න.—2 කොරින්ති 4:7.

[18වන පිටුවේ පින්තූරය]

දක්ෂ ගුරුවරයෙක් උගන්වන පන්තිවලට සහභාගි වීමෙන් ඉක්මනින් හා පහසුවෙන් අලුත් භාෂාවක් ඉගෙනගන්න පුළුවන්

[20වන පිටුවේ පින්තූරය]

අලුත් භාෂාවක් ඉගෙනගන්න විට ඔබේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීම ගැනත් සිතන්න