Skip to content

පටුනට යන්න

‘ගොස් මිනිසුන්ව ගෝලයන් කර, බව්තීස්ම කරන්න’

‘ගොස් මිනිසුන්ව ගෝලයන් කර, බව්තීස්ම කරන්න’

‘ගොස් මිනිසුන්ව ගෝලයන් කර, බව්තීස්ම කරන්න’

“එබැවින් ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. . . . ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.”—මතෙව් 28:19, 20.

1. සීනයි කන්ද පාමුලදී ඊශ්‍රායෙල් ජාතිය ගත් තීරණය කුමක්ද?

මීට වසර 3,500කට පමණ පෙර සීනයි කන්ද පාමුල රැස් වූ එක්තරා ජාතියක් දෙවිට පොරොන්දුවක් දුන්නා. මේ ජාතිය ඊශ්‍රායෙලිතයන්. එහිදී ඔවුන් “යෙහෝවා කී සියල්ල කරන්නෙමු” කියා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඒ මොහොතේ පටන්, ඊශ්‍රායෙල් ජාතිය දෙවිට “විශිෂ්ට වස්තුවක්” හෙවත් කැපවූ සෙනඟක් බවට පත් වුණා. (නික්මයාම 19:5, 8; 24:3) පරම්පරාවෙන් පරම්පරාවට දෙවිගේ ආරක්ෂාව ලබමින් “කිරිද මී පැණිද ගලා යන්නාවූ” දේශයක ජීවිතය ගෙන යෑමට ඔවුන් සිටියේ ඉමහත් ආශාවෙන්.—ලෙවී කතාව 20:24.

2. අද දින සිටින ජනයාට දෙවි සමඟ ඇති කර ගත හැක්කේ කොයි වගේ බැඳීමක්ද?

2 කෙසේවෙතත්, ගීතිකාකාර ආසාප් පැවසු පරිදි ඊශ්‍රායෙලිතයන් “දෙවිගේ ගිවිසුම රක්ෂා නොකළෝය. ඔහුගේ ව්‍යවස්ථාව ලෙස හැසිරෙන්ට නොකැමති වූවෝය.” (ගීතාවලිය 78:10) ආදිපියවරුන් විසින් යෙහෝවා දෙවිට දුන් පොරොන්දුවලට අනුව ජීවත් වීමට ඔවුන් අසමත් වුණා. අන්තිමේදී සිදු වුණේ එම ජාතිය දෙවි සමඟ තිබූ ඒ අතිවිශේෂ බැඳීම නැති කරගැනීමයි. (දේශනාකාරයා 5:4; මතෙව් 23:37, 38) ඒ නිසා, දෙවි ‘තම නාමය උදෙසා අන්‍යජාතිකයන් අතරෙන් සෙනඟක් ගන්නා පිණිස ඔවුන් වෙත අවධානය යොමු කළා.’ (ක්‍රියා 15:14) මේ අනුව, මෙම අන්තිම දවස්වලදී දෙවි, ‘සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජනයාගෙන්ද භාෂාවලින්ද වූ, කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක්’ එකතු කරමින් සිටිනවා. ඔවුන් ඉතා ප්‍රීතියෙන් මෙසේ කියනවා. “ගැලවීම අපට ලබා දුන්, සිංහාසනය මත ඉඳගෙන සිටින අපේ දෙවිටත් බැටළු පැටවාටත් අපි ණයගැතිව සිටිමු.”—එළිදරව් 7:9, 10.

3. දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් ඇති කරගන්න නම් කෙනෙක් ගත යුතු පියවර මොනවාද?

3 එවැනි අතිවිශේෂ මිත්‍රත්වයක් දෙවි සමඟ ඇති කරගැනීමට නම්, යම් පුද්ගලයෙක් යෙහෝවා දෙවිට කැපවී බව්තීස්මයෙන් එම කැපවීම ප්‍රසිද්ධියේ සංකේතවත් කළ යුතුයි. එසේ කිරීමෙන් යේසුස් තම ගෝලයන්ට දුන් මෙම ආඥාවට කෙනෙකු කීකරුකම දක්වනවා. “එබැවින් ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.” (මතෙව් 28:19, 20) මෝසෙස් “ගිවිසුමෙහි පොත” කියවද්දී ඊශ්‍රායෙලිතයන් අසා සිටියා. (නික්මයාම 24: 3, 7, 8) මේ නිසා, යෙහෝවා දෙවි ඉදිරියේ තමන්ට තිබූ වගකීම් ගැන ඔවුන් වටහාගත්තා. ඒ වගේම අදත් කෙනෙක් බව්තීස්ම වෙන්න කලින් දෙවිගේ කැමැත්ත ගැන දේවවචනය වන බයිබලයෙන් නිවැරදි දැනුමක් ලබාගැනීම අත්‍යවශ්‍යයි.

4. කෙනෙක් බව්තීස්මයට සුදුසුකම් ලැබීමට පෙර කුමක් කළ යුතුද? (කොටුවේ තොරතුරුද ඇතුළත් කරන්න.)

4 යේසුස්ට අවශ්‍ය වුණේ තම ගෝලයන් බව්තීස්ම වෙන්න පෙර ඔවුන් ශක්තිමත් ඇදහිල්ලක් ඇති කර ගෙන සිටිනවා දකින්නයි. ඔහු ඔවුන්ට උපදෙස් දුන්නේ ගොස් මිනිසුන්ව ගෝලයන් කිරීමට පමණක් නොවේ. ‘තමන් අණ කළ සියල්ලම පැවැත්වීමට’ ඔවුන්ට උගන්වන්න කියාත් ඔහු කිව්වා. (මතෙව් 7:24, 25; එෆීස 3:17-19) බව්තීස්ම වීමට සුදුසුකම් ලබන කෙනෙක් සාමාන්‍යයෙන් මාස කිහිපයක් හෝ සමහරවිට අවුරුද්දක් දෙකක් පමණ බයිබලය පාඩම් කර තිබෙනවා. ඒ නිසා ඔවුන් බව්තීස්ම වීමට ගත්තු තීරණය හදිස්සි එකක්වත්, පැහැදිලි අවබෝධයක් නැතිව ගත් එකක්වත් නෙවෙයි. මේ නිසා බව්තීස්ම වෙන්න කලින් ඔවුන්ගෙන් අහන වැදගත් ප්‍රශ්න දෙකකට ‘එසේය’ කියා පිළිතුරු දීමට ඔවුන්ට හැකි වෙනවා. ‘එසේය නම් එසේය කියාද නැත නම් නැත කියාද’ විය යුතු බව යේසුස් කාවැද්දුව නිසා, මෙම බව්තීස්ම ප්‍රශ්න දෙකේ නියම අර්ථය ගැන අපි සියලුදෙනාම හොඳින් සෝදිසි කර බලමු.—මතෙව් 5:37.

පසුතැවීම සහ කැපවීම

5. පළමු බව්තීස්ම ප්‍රශ්නයෙන් කාවද්දන ප්‍රධාන පියවර දෙක මොනවාද?

5 පළමුවන බව්තීස්ම ප්‍රශ්නයෙන් අසන්නේ කෙනෙක් තමාගේ පරණ ජීවිතය ගැන පසුතැවිලි වී තම ජීවිතය යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීමට කැප කර තිබෙනවාද කියායි. මේ ප්‍රශ්නයෙන් බව්තීස්ම වීමට පෙර ගත යුතු ඉතා වැදගත් පියවර දෙකක් ගැන කාවද්දනවා. ඒ තමයි, පසුතැවීම සහ කැපවීම.

6, 7. (අ) බව්තීස්ම වීමට බලාපොරොත්තු වන සියල්ලන්ම පසුතැවිලි වීම අවශ්‍ය ඇයි? (ආ) කෙනෙක් පසුතැවිලි වූවායින් පසුව කුමන වෙනස්කම් කළ යුතුද?

6 යම් පුද්ගලයෙක් බව්තීස්මයට පෙර පසුතැවිලි විය යුත්තේ ඇයි? පාවුල් පැවසුවේ “අපි සියල්ලෝම . . . අපේ මාංසයේ ආශාවලට අනුව කලක් හැසිරුණෙමු” කියායි. (එෆීස 2:3) දෙවිගේ කැමැත්ත ගැන නිවැරදිව දැනගන්න පෙර, අප ජීවත් වුණේ මේ ලෝකයේ මිනිසුන්ට තිබූ ඉලක්ක හා ප්‍රමිතිවලට අනුවයි. අපේ ජීවිතය පාලනය කළේ මේ සමාජ ක්‍රමයේ දෙවියා වන සාතන්. (2 කොරින්ති 4:4) දෙවිගේ කැමැත්ත දැනගැනීමෙන් පසුව, ‘තවදුරටත් මිනිස් ආශාවන් උදෙසා නොව, දෙවිගේ කැමැත්ත උදෙසා ජීවත් වීමට’ අප අධිෂ්ඨාන කර ගෙන සිටිනවා.—1 පේතෘස් 4:2.

7 අප තෝරාගත් මේ අලුත් ජීවිත ක්‍රමය නිසා අපට ආශීර්වාද ලැබෙනවා වගේම යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමටත් හැකි වෙනවා. දාවිත් එය සැලකුවේ දෙවිගේ ‘මණ්ඩපයට’ සහ ‘පිරිසිදු කන්දට’ ඇතුළු වීමට ලැබෙන ආරාධනයක් හැටියටයි. ඇත්තෙන්ම එය අතිශ්‍රේෂ්ඨ වරප්‍රසාදයක් නෙවෙයිද? (ගීතාවලිය 15:1) නමුත් යෙහෝවා දෙවි මේ සඳහා සෑම කෙනෙකුටම ආරාධනය කරන්නේ නැහැ. ඔහු ආරාධනා කරන්නේ “අවංක ලෙස හැසිරෙන්නාවූ ධර්මිෂ්ඨකම් කරන්නාවූ සිතින් සැබෑව කියන්නාවූ” අයට පමණයි. (ගීතාවලිය 15:2) අප සත්‍යය ඉගෙනගැනීමට පෙර විවිධාකාර ජීවිත ගත කළ නිසා, දේවප්‍රමිතිවලට එකඟව අපේ ජීවිත සකස් කරගැනීමට නම්, අපේ හැසිරීමේද ගති ගුණවලද යම් වෙනස්කම් කළ යුතුයි. (1 කොරින්ති 6:9-11; කොලොස්සි 3:5-10) එවැනි වෙනස්කම් කරන්න අපි පෙලඹෙන්නේ මීට පෙර ගත කළ ජීවිතය ගැන බොහෝ සෙයින් පසුතැවිලි වී, යෙහෝවා දෙවිව සතුටු කිරීමට ස්ථිර අධිෂ්ඨානයක් ගන්න නිසයි. මේ තුළින් කෙනෙක් ලෝකයට ලැදි ආත්මාර්ථකාමී ජීවිතයක් ගත කිරීම සම්පූර්ණයෙන් අත්හැර දෙවිව සතුටු කරන ජීවිතයක් ගත කිරීමට පටන්ගන්නවා.—ක්‍රියා 3:19.

8. අප කැප වෙන්නේ කොහොමද? බව්තීස්මය සමඟ එයට ඇති සම්බන්ධය මොකක්ද?

8 පළමුවන බව්තීස්ම ප්‍රශ්නයේ දෙවන කොටසෙන් අසන්නේ බව්තීස්ම අපේක්ෂකයන් යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීමට කැපවී සිටිනවාද කියායි. කැපවීම යනු බව්තීස්ම වීමට පෙර ගත යුතු අතිවැදගත් පියවරක්. ඒ කැපවීම කරන්නේ දෙවිට කරන යාච්ඤාවකින්. ඒ යාච්ඤාවේදී අපි යෙහෝවා දෙවිට කියා සිටින්නේ යේසුස් තුළින් අපේ ජීවිතය ඔහුට කැප කරන්න අපි කැමති බවයි. (රෝම 14:7, 8; 2 කොරින්ති 5:15) එවිට යෙහෝවා අපේ ස්වාමියා සහ අයිතිකාරයා වන අතර යේසුස් මෙන් දෙවිගේ කැමැත්ත කිරීමට අපිත් මහත් ආශාවක් දක්වනවා. (ගීතාවලිය 40:8; එෆීස 6:6) මෙවැනි බැරෑරුම් පොරොන්දුවක් අපි යෙහෝවා දෙවිට දෙන්නේ ජීවිතයේ එක වරක් පමණයි. මෙය අප පෞද්ගලිකව කරන දෙයක් වුණත්, ඒ බව හැම කෙනෙක්ම දැනගන්න යන්නේ අපි බව්තීස්ම වන විටයි.—රෝම 10:10.

9, 10. (අ) දෙවිගේ කැමැත්ත කිරීමට ඇතුළත් වෙන්නේ කුමක්ද? (ආ) අපේ කැපවීම නාට්සි නිලධාරීන්ගේ අවධානයට පවා ලක් වුණේ කොහොමද?

9 යේසුස් වගේ දේවකැමැත්ත කරන්න අපිටත් අවශ්‍ය නම් කරන්න ඕන මොනවාද? ඒ ගැන යේසුස් ගෝලයන්ට මෙහෙම කිව්වා. “යමෙකුට මා අනුව එන්න ඕනෑ නම්, ඔහු තමාවම නොසලකා තම වධකණුව ගෙන, දිගටම මා අනුව ඒවා!” (මතෙව් 16:24) අප කළ යුතු දේවල් තුනක් එහි සඳහන් වෙනවා. පළමුව, අපි අපවම ‘නොසැලකිය’ යුතුයි. වෙනත් වචනවලින් කියනවා නම්, අපි අපේ ආත්මාර්ථකාමී පව්කාර ආශාවන් අත් හැර දමා, දෙවිගේ උපදෙස් හා මඟ පෙන්වීම්වලට යටත් වෙනවා. දෙවෙනුව, අපි ‘අපේ වධකණුව ගන්නවා.’ ඒ කාලයේ වධකණුවකින් ලජ්ජාව හා දුක් වේදනා සංකේතවත් කළා. ක්‍රිස්තියානීන් වශයෙන් අපටත් ශුභාරංචිය නිසා දුක්විඳීමට සිදු වෙනවා කියන කාරණය අපි පිළිගන්නවා. (2 තිමෝති 1:8) මිනිසුන් අපට නින්දා අපහාස කළත්, ක්‍රිස්තුස් වගේ ‘ලජ්ජාව නොතකන,’ අපි, දෙවිව සතුටු කරන බව දන්න නිසා ප්‍රීති වෙනවා. (හෙබ්‍රෙව් 12:2) තුන්වෙනුව, අපි යේසුස්ව “දිගටම” අනුගමනය කරනවා.—ගීතාවලිය 73:26; 119:44; 145:2.

10 යෙහෝවාගේ සාක්ෂිකරුවන් කොන්දේසි විරහිතව දෙවිට සේවය කිරීමට කැප වී සිටින බව, ඔවුන්ට විරුද්ධ වන අයගේ අවධානයට පවා ලක් වී තිබෙනවා. නිදසුනකට, ජර්මනියේ නාට්සි පාලනය යටතේ තිබූ බූකන්වාල්ඩ් සිරකඳවුරේ සිටි සාක්ෂිකරුවන් තම ඇදහිල්ල අත්හැරීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී, පහත සඳහන් මුද්‍රිත ප්‍රකාශය යටින් අත්සන් කිරීමට නිලධාරීන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. “මම තවමත් බයිබල් ශිෂ්‍යයෙක්. යෙහෝවාට කර තිබෙන දිවුරුම මම කවදාවත් කඩ කරන්නේ නැහැ.” යෙහෝවාට කැපවී සිටින සියලුම විශ්වාසවන්ත සේවකයන්ගේ ආකල්පය මේ ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වෙනවා.—ක්‍රියා 5:32.

යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු ලෙස හඳුන්වාදීම

11. බව්තීස්ම වන කෙනෙකුට ලැබෙන වරප්‍රසාදය මොකක්ද?

11 බව්තීස්ම අපේක්ෂකයාගෙන් අසන දෙවෙනි ප්‍රශ්නයේ මුල් කොටස වෙන්නේ, මෙතැන් පටන් ඔබ යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වා දෙන බව ඔබ තේරුම්ගත්තාද කියායි. බව්තීස්මයෙන් පසු ඔහු යෙහෝවා දෙවිගේ නාමය දරන දේවසේවකයෙක්. මෙය ඉතාමත් උතුම් වරප්‍රසාදයක් වගේම බැරෑරුම් වගකීමක්. ඒ වගේම සදාකාලික ආශීර්වාද ලැබීමටත් එය හේතු වෙනවා. නමුත් එය ලැබෙන්නේ අන්තිමය දක්වා යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටියොත් විතරයි.—මතෙව් 24:13.

12. යෙහෝවාගේ නාමය දැරීමේ වරප්‍රසාදයට සම්බන්ධ වගකීම මොකක්ද?

12 යමෙකුට සර්වබලධාරී දෙවි වන යෙහෝවාගේ නාමය දැරීමට ලැබීම අතිවිශේෂ වරප්‍රසාදයක්. අනාගතවක්තෘ මීකා මෙහෙම කිව්වා. “සියලු වර්ගයෝ තම තමන්ගේ දෙවිගේ නමින් හැසිරෙන්නෝය. අපිද අපේ දෙවි වූ යෙහෝවාගේ නමින් සදාකාලයටම හැසිරෙන්නෙමු.” (මීකා 4:5) මේ ගෞරවයත් සමඟ ලොකු වගකීමකුත් තිබෙනවා. අප දරන නාමය හිමි තැනැත්තාට ගෞරවය ගෙනෙන විදිහට අප ජීවත් විය යුතුයි. පාවුල් රෝමයේ ක්‍රිස්තියානීන්ට මතක් කළාක් මෙන්, කෙනෙක් තමා දේශනා කරන දේට එකඟව ජීවත් වුණේ නැත්නම්, දෙවිගේ නාමයට මහත් “අපහාස” ඇති වෙනවා.—රෝම 2:21-24.

13. යෙහෝවාට කැපවී සිටින අයට තමන්ගේ දෙවි ගැන සාක්ෂි දැරීමට වගකීමක් තිබෙන්නේ ඇයි?

13 යම් පුද්ගලයෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන විට ඔහු තම දෙවි ගැන සාක්ෂි දැරීමේ වගකීමද භාර ගන්නවා. තමාට කැප වූ ඊශ්‍රායෙල් ජාතියෙන් දෙවි ඉල්ලා සිටියේ තමන්ගේ සදාකාලික දෙවිකම ගැන සාක්ෂි දරන්න කියායි. (යෙසායා 43:10-12, 21) නමුත් එම ජාතිය ඒ වගකීම ඉටු කිරීමට සමත් වුණේ නැහැ. ඒ නිසා අන්තිමේදී යෙහෝවා දෙවිගේ අනුමැතිය ඔවුන්ට සම්පූර්ණයෙන්ම නැති වුණා. යෙහෝවාගේ නමට සාක්ෂි දරන්න ලැබීම ගැන අද දින සිටින සැබෑ ක්‍රිස්තියානීන් ආඩම්බර වෙනවා. අපි එසේ කරන්නේ දෙවිට ප්‍රේම කරන නිසා සහ ඔහුගේ නාමය ගෞරවයට පත් වෙනවා දකින්න අපිට ආශාවක් තිබෙන නිසයි. අපගේ ස්වර්ගික පියාණන් ගැනත් ඔහුගේ අරමුණ ගැනත් අපි දැන ගෙන සිටින නිසා ඒ ගැන කතා නොකර ඉන්නේ කොහොමද? අපටත් හැඟෙන්නේ පාවුල්ට හැඟුණු විදිහටමයි. ඔහු කිව්වේ මෙයයි. “එසේ කිරීමට මම බැඳී සිටිමි. ඇත්තෙන්ම, මා ශුභාරංචිය ප්‍රකාශ කළේ නැතිනම්, මට දුක් වේ!”—1 කොරින්ති 9:16.

14, 15. (අ) යෙහෝවා දෙවිගේ සංවිධානය අපේ ඇදහිල්ල ශක්තිමත් කරන්නේ කොහොමද? (ආ) මේ සඳහා අපට තිබෙන දේවල් මොනවාද?

14 දෙවෙනි බව්තීස්ම ප්‍රශ්නයෙන් බව්තීස්ම අපේක්ෂකයාට මතක් කර දෙන්නේ යෙහෝවා මෙහෙය වන සංවිධානය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට ඔහුට හෝ ඇයට වගකීමක් තිබෙන බවයි. අපිට තනිවම දෙවිට සේවය කරන්න බැහැ. අපට ‘අපේ මුළු සහෝදර සංගමයේ’ උපකාරය, සහයෝගය හා දිරිගැන්වීම අවශ්‍යයි. (1 පේතෘස් 2:17; 1 කොරින්ති 12:12, 13) අපේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න දෙවිගේ සංවිධානය අපිට හුඟක් උපකාර කරනවා. එමඟින් ලබා දෙන ප්‍රකාශනවලින් බයිබලය ගැන අපට ඇති නිවැරදි දැනුම දවසින් දවස වැඩි වෙන්නේ නැද්ද! ඒවාවල තිබෙන තොරතුරු, ගැටලු හමුවේ ඥානවන්තව ක්‍රියා කිරීමටත් දෙවි සමඟ ඉතා කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමටත් අපට උපකාර කරනවා. “විශ්වාසවන්ත වූ නුවණ ඇති දාසයා” අපේ ඇදහිල්ල හා දෙවි සමඟ තිබෙන අපේ බැඳීම ශක්තිමත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම නියම වේලාවට ලබා දෙන්නේ තම දරුවාව හොඳින් පෝෂණය කර රැක බලාගන්නා මවක් වගෙයි.—මතෙව් 24:45-47; 1 තෙසලෝනික 2:7, 8.

15 සතිපතා පැවැත්වෙන රැස්වීම් ගැන හිතන්න. යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටීමට අවශ්‍ය පුහුණුව සහ දිරිගැන්වීම අපට ලැබෙන්නේ රැස්වීම්වලින්. (හෙබ්‍රෙව් 10:24, 25) දිව්‍යාණ්ඩු සේවා පාසැලෙන් අපට මිනිසුන් හමුවේ හොඳින් කතා කිරීමට උගන්වනවා. සේවා රැස්වීමෙන් අපේ පණිවුඩය හොඳින් ඉදිරිපත් කිරීමට පුහුණු කරනවා. රැස්වීම්වලදී වගේම බයිබලය මත පදනම් පොත් පත් පෞද්ගලිකව අධ්‍යයනය කරද්දීත් යෙහෝවා තම සංවිධානය මෙහෙය වන බව අපිට හොඳින් පැහැදිලි වෙනවා. එවැනි දේවල් යොදාගෙන අප හසුවිය හැකි යම් යම් උගුල් ගැන අපට අනතුරු අඟවන්නත්, සාර්ථක දේවසේවකයන් ලෙස අපව පුහුණු කරන්නත් සත්‍යය තුළ උද්‍යෝගයෙන් සිටීමට අපට උපකාර කරන්නත් දෙවි දිගටම ක්‍රියා කරනවා.—ගීතාවලිය 19:7, 8, 11; 1 තෙසලෝනික 5:6, 11; 1 තිමෝති 4:13.

අපි බව්තීස්ම විය යුත්තේ මොන චේතනාවෙන්ද?

16. යෙහෝවා දෙවිට කැපවීමට අප පෙලඹෙන්නේ ඇයි?

16 මෙම බව්තීස්ම ප්‍රශ්න දෙකෙන්, බව්තීස්ම අපේක්ෂකයන්ට සිහිපත් කරන දේ ඔබ දුටුවාද? ඒ තමයි, බව්තීස්මයේ වැදගත්කම හා ඒ සමඟ ලැබෙන වගකීම්. එහෙමනම්, කෙනෙකුට බව්තීස්ම වෙන්න තිබිය යුතු චේතනාව කුමක්ද? අප බව්තීස්ම වෙන්නේ කවුරු හරි කෙනෙක් අපට බල කරන නිසා නොව, යෙහෝවා අපව ‘ඇදගන්නා’ නිසයි. (යොහන් 6:44) “දෙවි ප්‍රේමයය.” (1 යොහන් 4:8) දෙවිට ඕන වෙන්නේ බල කරන නිසා මිනිස්සු ඔහුට කීකරු වෙනවාට නෙවෙයි. ඒ වෙනුවට ඔහුට ඇති ප්‍රේමය නිසා එහෙම කරනවා දකින්නයි. දෙවි එක්ක බැඳීමක් ඇති කරගන්න අපි කැමති වෙන්නේ ඔහුගේ ගුණාංග නිසා සහ ඔහු අපට සලකන විදිහ නිසයි. යෙහෝවා දෙවි අපට ඔහුගේ කුලුඳුල් පුත්‍රයාව දුන්නා. ඒ වගේම අනාගතයේදී අප වෙනුවෙන් දිය හැකි හොඳම ජීවිතයත් ඔහු අපට දේවි. (යොහන් 3:16) අපේ මුළු ජීවිතයම දෙවිට කැප කරන්න අපි පෙලඹෙන්නේ මේ නිසයි.—හිතෝපදේශ 3:9; 2 කොරින්ති 5:14, 15.

17. අප කැප වී නැත්තේ කුමකටද?

17 අප කැප වෙන්නේ යෙහෝවා දෙවිට මිස යම් වැඩකටවත්, ප්‍රතිපත්ති මාලාවකටවත් නෙවෙයි. කාලෙන් කාලෙට දෙවි තම සෙනඟට දෙන පැවරුම් වෙනස් වෙනවා. නමුත් ඔවුන් දෙවිට කළ කැපවීම වෙනස් වෙන්නේ නැහැ. නිදසුනක් වශයෙන්, දෙවි ආබ්‍රහම්ට කරන්න කී දේ යෙරෙමියාට කරන්න කී දේට වඩා හුඟක් වෙනස්. (උත්පත්ති 13:17, 18; යෙරෙමියා 1:6, 7) එහෙත්, ඔවුන් දෙදෙනාම දෙවි ඔවුන්ට භාර දුන් කාර්යය ඉටු කළේ ඔවුන් යෙහෝවාට ප්‍රේම කළ නිසා සහ ඔහුගේ කැමැත්ත විශ්වාසවන්තව කිරීමට ආශාවක් තිබුණු නිසයි. මේ අන්තිම කාලයේ ජීවත් වන බව්තීස්ම වී සිටින ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් සියලුදෙනාටම ඇති පැවරුම වෙන්නේ දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම හා මිනිසුන්ව ගෝලයන් කිරීමයි. යේසුස් ඔවුන්ට දී තිබෙන මේ ආඥාව ඉටු කරන්න ඔවුන් මහත් වෑයමක් දරනවා. (මතෙව් 24:14; 28:19, 20) අප අපේ ස්වර්ගික පියාණන්ට ප්‍රේම කරන බවත් මුළු හදින්ම ඔහුට කැපවී සිටින බවත් පෙන්විය හැකි හොඳ ක්‍රමයක් නම් එම කාර්යයේ මුළු හදින්ම හවුල් වීමයි.—1 යොහන් 5:3.

18, 19. (අ) බව්තීස්ම වෙද්දී අපි ප්‍රසිද්ධියේ පෙන්වන්නේ කුමක්ද? (ආ) ඊළඟ ලිපියේ සලකා බැලෙන්නේ මොනවාද?

18 බව්තීස්මයෙන් ආශීර්වාද රැසකට මඟ විවෘත කළත්, මෙය සැහැල්ලුවට ගත හැකි පියවරක් නෙවෙයි. (ලූක් 14:26-33) බව්තීස්මයෙන් අපි පෙන්වන්නේ අපේ ජීවිතයේ වෙන කිසිම වගකීමකට වඩා අපි මුල් තැන දෙන්නේ දෙවිට සේවය කිරීමට බවයි. (ලූක් 9:62) බව්තීස්ම වෙද්දී අපි මේ වචනවලට එකඟ බව ප්‍රසිද්ධියේ පෙන්වනවා. “මේ දෙවි සදාකල්හිම අපේ දෙවිය. ඔහු මරණය දක්වා අපේ මඟ පෙන්වන්නා වන්නේය.”—ගීතාවලිය 48:14.

19 යම් පුද්ගලයෙක්ව බව්තීස්ම වීමෙන් වළක්වන යම් හේතු තිබෙන්න පුළුවන්ද? වයස බාධාවක්ද? බව්තීස්ම කරන අවස්ථාවේදී ගෞරවය රැකීම සඳහා දායක වෙන්න හැමෝටම පුළුවන් කොහොමද? මෙවැනි ප්‍රශ්න ගැන ඊළඟ ලිපියේදී සාකච්ඡා කරමු.

ඔබ දන්නවාද?

• සෑම ක්‍රිස්තියානියෙක්ම බව්තීස්මයට පෙර පසුතැවිලි විය යුත්තේ ඇයි?

• දෙවිට කැපවීමට ඇතුළත් වෙන්නේ මොනවාද?

• යෙහෝවා දෙවිගේ නාමය දැරීමේ ගෞරවය සමඟ අපට පැවරෙන වගකීම් මොනවාද?

• අපි බව්තීස්ම විය යුත්තේ මොන චේතනාවෙන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[22වන පිටුවේ කොටුව⁄පින්තූරය]

බව්තීස්ම ප්‍රශ්න දෙක

ඔබ, යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාවේ පදනම මත ඔබේ පව් ගැන පසුතැවිලි වී, යෙහෝවා දෙවිගේ කැමැත්ත කිරීම සඳහා ඔහුට කැපවී සිටිනවාද?

ඔබේ කැපවීමෙන් හා බව්තීස්මයෙන් ඔබ දෙවිගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන සංවිධානය සමඟ එක්ව දෙවිට සේවය කරන යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වී සිටින බව ඔබ තේරුම්ගෙන සිටිනවාද?

[23වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිට යාච්ඤාවෙන් කරන කැපවීම සැහැල්ලුවට නොගත යුතු දෙයක්

[25වන පිටුවේ පින්තූරය]

අපේ දේශනා සේවය මගින් දෙවිට ඇති අපේ කැපවීම ඔප්පු වෙයි