Skip to content

පටුනට යන්න

දෙමාපියෙනි, ඔබේ ආදර්ශයෙන් දරුවන්ට උගන්වන්න

දෙමාපියෙනි, ඔබේ ආදර්ශයෙන් දරුවන්ට උගන්වන්න

දෙමාපියෙනි, ඔබේ ආදර්ශයෙන් දරුවන්ට උගන්වන්න

“යහපත් පුරවැසියෙක් ලෙස දරුවෙකුව ඇති දැඩි කිරීමේ රහස සෙවීම සඳහා මනෝවිද්‍යාඥයන් වසර සිය ගණනක් පුරා පර්යේෂණ පවත්වා තිබෙනවා. නමුත් එය නවත්වා දමන්නට දැන් කාලය ඇවිත්. ඒ ඔවුන් සොයන රහස සොයාගන්න පුළුවන් වූ නිසා නම් නෙවෙයි. එයට රහසක් නැති නිසයි.” දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් ලිවූ පොතක ඇති අදහස් ගැන ටයිම් සඟරාවක සඳහන් වුණේ එහෙමයි. දරුවන්ට වටින්නේ තමන්ගේ දෙමාපියන් අගය කරන දේවලට වඩා තමන්ගේ වයසේ මිතුරන් අගය කරන දේවල් බවත් ඒ පොතේ සඳහන් වුණා.

සම වයසේ අය කරන දේවල් දරුවන්ට ලොකු බලපෑමක් ඇති කරන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. (හිතෝපදේශ 13:20; 1 කොරින්ති 15:33) විලියම් බ්‍රවුන් නම් ලේඛකයෙක් මෙවැනි දෙයක් කිව්වා. “නහඹරයන් ඒගොල්ලන්ගේ මිත්‍රයන්ව සලකන්නේ හරියට දෙවිවරුන් වගේ. කියන පරක්කුවට යාළුවෝ කියන කරන ඕනෑම දෙයක් පිළිගන්න ඔවුන් බලාගෙන ඉන්නවා. . . . එහෙම කරන්න බැරුව ගියොත් ඔවුන් හිතන්නේ ඊට වඩා හොඳයි මැරෙන එක කියලා.” අද සිටින දෙමාපියන් තම නිවස දරුවන්ට උණුසුම්, ප්‍රියමනාප තැනක් කරන්නවත් අවශ්‍ය තරම් වේලාවක් ඔවුන් සමඟ ගත කරන්නවත් බැරි තරමට කාර්ය බහුල වෙලා. ඒ නිසා දරුවෙක් පහසුවෙන්ම තමන්ගේ සම වයසේ මිතුරන්ගේ ග්‍රහණයට හසු වෙන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි බයිබලයේ කලින් කියා තිබුණාක් මෙන් මේ “අන්තිම දවස්වල” සිටින මිනිස්සු මුදල්, විනෝදය සහ තමන් ගැනම සිත සිතා ඉන්නවා. අද කාලයේ තිබෙන පවුල්වලටත් එය බලපාලා. ඒ නිසා දරුවෝ ‘දෙමාපියන්ට අකීකරු, ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති, එමෙන්ම ජන්ම ස්නේහය නැති’ අයවීම පුදුමයක් නෙවෙයි.—2 තිමෝති 3:1-3.

‘ජන්ම ස්නේහය’ කියා බයිබලයේ කියද්දී ඉන් අදහස් කරන්නේ දෙමාපියන් හා දරුවන් අතර ස්වාභාවිකවම ඇති වන බැඳීමටයි. මේ බැදීම නිසා දෙමාපියන්ට දරුවන්ගේ ආදරයත්, දරුවන්ට දෙමාපියන්ගේ රැකවරණය හා සැලකිල්ලත් අත්‍යවශ්‍ය වෙනවා. යම් හෙයකින් මේ රැකවරණය හා සැලකිල්ල දරුවන්ට ලැබුණේ නැත්නම්, එය වෙන තැනකින් ලබාගන්න ඔවුන් උත්සාහ කරනවා. ඔවුන් ලෙහෙසියෙන්ම ඇදී යන්නේ සම වයසේ මිතුරන් වෙතටයි. එවිට ඒ දරුවන්ට වැදගත් වෙන්නේ ඒ මිත්‍රයන්ගේ ආකල්ප සහ ඔවුන් වැදගත්යයි සලකන දේවල් මිස, දෙමාපියන්ගේ ආකල්ප සහ අදහස් නෙවෙයි. මෙයින් තම දරුවන්ව ආරක්ෂා කරගන්න දෙමාපියන්ට කළ හැකි හොඳම දෙය නම් පවුලේ සෑම කාරණයකදීම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමයි.—හිතෝපදේශ 3:5, 6.

පවුලේ නිර්මාතෘ දෙවියි

ස්වාමිපුරුෂයා සහ භාර්යාව ලෙස ආදම් සහ ඒවව එක් කළ දෙවි ඔවුන්ට කිව්වේ “සඵලව බෝ වෙමින් පොළොව පුරා පැතිර” යන්න කියායි. දෙමව්පියන් හා දරුවන් ඇතුළත් පවුල් සැලැස්ම ආරම්භ වුණේ ඒ ආකාරයටයි. (උත්පත්ති 1:28; 5:3, 4; එෆීස 3:14, 15) තම දරුවන්ව ඇති දැඩි කිරීම සඳහා යෙහෝවා දෙවි දෙමාපියන්ට යම් මූලික දැනුමක් ස්වාභාවිකවම ලබා දී තිබෙනවා. නමුත් සතුන් තම පැටවුන්ව රැකබලා ගන්නවාට වඩා වැඩි යමක් දෙමාපියන් තම දරුවන් සම්බන්ධයෙන් කළ යුතුයි. මේ සඳහා දෙවි යම් ලිඛිත උපදෙස් දෙමාපියන්ට දී තිබෙනවා. සදාචාර ප්‍රතිපත්ති, දෙවිට නමස්කාර කළ යුතු ආකාරය සහ නිසි ලෙස හික්මවන ආකාරය ගැන උපදෙස් එහි ඇතුළත් කර තිබෙනවා.—හිතෝපදේශ 4:1-4.

“මේ දවසෙහි මා විසින් ඔබට අණ කරන මේ වචන ඔබේ හෘදයෙහි තිබිය යුතුය; ඔබේ පුත්‍රයන්ට ඒවා මනාකොට උගන්වා ඔබ ගෙයි හිඳින කලද මාර්ගයෙහි යන එන කලද සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරන්න” කියා දෙවි විශේෂයෙන් කිව්වේ පියවරුන්ටයි. (ද්විතීය කතාව 6:6, 7; හිතෝපදේශ 1:8, 9) ඒ පදයට අනුව මුලින්ම දෙවිගේ නීතිය තිබිය යුත්තේ දෙමව්පියන්ගේ හදවතේ බව ඔබ දැක්කාද? යමක් කරන්න කෙනෙක් පෙලඹෙන්නේ නිකම්ම කියන්නන් වාලේ කියනවාට වඩා ඒවා හදවතින්ම කියනවා නම් විතරයි. දෙමාපියන් කතා කරන්නේ හදවතින්මද නැද්ද කියා දරුවන්ට වැටහෙනවා. ඒ නිසා තම දරුවාගේ හදවතටම කතා කරන්න නම් දෙමාපියන් හදවතින්ම කතා කළ යුතුයි. මේ ආකාරයට දෙමාපියන්ට පුළුවන් තමන්ගේම ආදර්ශයෙන් දරුවන්ට උගන්වන්න.—රෝම 2:21.

දෙමාපියන්ට උපදෙස් දී තිබෙන්නේ ළදරු වියේ පටන් තම දරුවන්ව “ක්‍රිස්තියානි විනයෙන්ද අවවාදයෙන්ද ඇති දැඩි කරන්න” කියායි. (එෆීස 6:4, නව අනුවාදය; 2 තිමෝති 3:15) ළදරුවෙකුට මෙවැනි පුහුණුවක් දෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්! “අපි සමහර වෙලාවට දරුවන්ගේ හැකියාවන් ගැන හිතන්නේ අඩුවෙන්. එහෙම නොකර ඒ හැකියාවන් මතු කරලා ගන්න දෙමාපියන් වන අපි දැනගන්න ඕනේ” කියා එක් මවක් ලිව්වා. දරුවෝ ඉගෙනගන්න ආස නිසා දේවභක්තික දෙමාපියන් දෙන පුහුණුවෙන් ඔවුන් එකිනෙකාට ප්‍රේම කරන්න ඉගෙනගනීවි. දෙමාපියන් යම් සීමාවන් දමා තිබෙන්නේ ඔවුන්ගේම ආරක්ෂාවටයි කියා දරුවෝ තේරුම්ගන්නවා. සාර්ථක දෙමාපියන් හැමවිටම දරුවන්ගේ හොඳම මිතුරන් වගේම ඔවුන්ට හොඳින් සවන්දෙන අයයි. උගන්වද්දී ඉවසිලිවන්තයි. ඒ වගේම සමහර දේවල් ගැන තදින් ඉන්න අයයි. මේ විදිහට කරන දෙමාපියන් තම දරුවාට හොඳින් වැඩෙන්න පුළුවන් වාතාවරණයක් තම නිවසේ ඇති කරනවා. *

ඔබේ දරුවන්ව ආරක්ෂා කරගන්න

දරුවන් ගැන සැලකිල්ලක් දැක්වූ ජර්මනියේ පාසැලක විදුහල්පති කෙනෙක් දෙමාපියන්ට ලිපියකින් මෙහෙම ලිව්වා. “දෙමාපියෙනි, අපි ඔබෙන් ඉල්ලන්නේ ඔබේ දරුවන්ව යහපත් පුද්ගලයන් කිරීමේ [වගකීම], රූපවාහිනියටවත් නුසුදුසු අයටවත් භාර නොදී ඔබම එය උනන්දුවෙන් කරන්න කියායි.”

තම දරුවා වැඩි කාලයක් රූපවාහිනිය ඉදිරියේ හෝ නුසුදුසු අය සමඟ ඉන්න ඉඩහැරීම හරියට මේ දුෂ්ට සමාජයට ඔවුන්ව හදන්න බාර දෙනවා හා සමානයි. (එෆීස 2:1, 2) දෙවිට විරුද්ධ මේ දුෂ්ට සමාජය “භූමික වූ, තිරිසන් වූ, භූතයන්ගෙන් වූ” දූෂිත අදහස්, පැලපදියම් කරන්නේ අද්දැකීම් අඩු, අඥාන අයගේ මනස්වලයි. (යාකොබ් 3:15) එය කෙනෙකුගේ සිතට බලපාන ආකාරය ගැන යේසුස් උපමාවකින් මේ විදිහට පැහැදිලි කළා. “යහපත් මිනිසෙක් තමාගේ සිතෙහි වූ යහපත් වස්තු ගබඩාවෙන් යහපත් දේ පිටතට ගෙන එයි. නමුත් දුෂ්ට මිනිසෙක් තමාගේ දුෂ්ට වස්තු ගබඩාවෙන් දුෂ්ට දේ පිටතට ගෙන එයි. මන්ද, මුඛයෙන් පිට වෙන්නේ සිත තුළ පිරී ඇති දෙයයි.” (ලූක් 6:45) ඒ නිසා බයිබලය අපව දිරිගන්වන්නේ, “ජීවනය නික්මෙන්නේ හෘදයෙන්ය; එබැවින් මුළු වීර්යයෙන් ඒක රක්ෂා කරන්න” කියායි.—හිතෝපදේශ 4:23.

සමහර දරුවන් ටිකක් මුරණ්ඩුයි. (උත්පත්ති 8:21) දෙමාපියන්ට බයිබලය දෙන උපදෙස නම්, “ළදරුවෙකුගේ සිතේ අඥානකම බැඳී තිබේ; එහෙත් දඬුවමේ ඉපල ඒක ඔහුගෙන් දුරු කරන්නේය” කියායි. (හිතෝපදේශ 22:15) සමහරු මේ ගැන හිතන්නේ යල්පැන ගිය කුරිරු දෙයක් ලෙසටයි. වාචිකව හෝ ශාරීරිකව කරන කිසිම හිංසාවක් බයිබලය අනුමත කරන්නේ නැහැ. මෙහි “ඉපල” කීමෙන් අවශ්‍ය අවස්ථාවකදී කෝටුවකින් දඬුවම් කිරීම අදහස් කළත්, එයට ඇතුළත් තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි දරුවාගේ සදාකාලික ප්‍රයෝජනය සිතේ තබාගෙන සුදුසු ආකාරයකින්, ප්‍රේමණීය ලෙස හා ස්ථිරව දෙමාපියන් දෙන උපදෙස් හා තරවටුව.—හෙබ්‍රෙව් 12:7-11.

ඔබේ දරුවන් සමඟ විනෝද වෙන්න

දරුවෙක් හොඳින් වැඩෙන්න නම් සෙල්ලම් කරන එක හා විනෝද වෙන එක අත්‍යවශ්‍ය දෙයක්. මෙය හොඳින් වටහාගන්න දෙමාපියන් තම දරුවන් හා තමන් අතර තිබෙන බැඳීම ශක්තිමත් කරගන්න මෙය අවස්ථාවක් කරගන්නවා. එසේ දරුවෝ සමඟම එකට විනෝද වීමෙන් ඔවුන් තෝරාගත යුතු කුමනාකාරයට විනෝද වීමටද කියා ඔවුන්ව දැනුවත් කරනවා වගේම, තම දරුවන් සමඟ කාලය ගත කරන්න ලැබීම තමන්ට කොතරම් වටිනවාද කියන එක පෙන්වන්නත් දෙමාපියන්ට පුළුවන්.

එක් සාක්ෂිකාර පියෙක් රැකියා ස්ථානයෙන් ගෙදර ආ පසු තම පුතා සමඟ බෝල ගැහුව්වා. මවක් ඇගේ දරුවන් සමඟ එකතු වී කැරම් වැනි ක්‍රීඩාවක් කළ නිසා සියලුදෙනාම සතුටක් ලැබුවා. පවුලේ හැමෝම එකතු වී බයිසිකල් පැදීමෙන් විනෝද වූ ආකාරය වැඩිහිටි දියණියකට තවමත් මතකයි. මේ දරුවෝ හැමෝම දැන් වැඩිහිටි අය. ඒත් තම දෙමව්පියන් ගැනත් යෙහෝවා දෙවි ගැනත් ඔවුන්ට තිබෙන ආදරය එදා වගේමයි.

තම දරුවන්ට ඇති ආදරය හා ඔවුන් එක්ක කාලය ගත කිරීමට තමන් ගොඩක් කැමති බව වචනයෙන් හා ක්‍රියාවෙන් පෙන්වන දෙමාපියන්, දරුවන් තමන්ට ගොඩක් වටිනවා කියන හැඟීම ඔවුන් තුළ ඇති කරනවා. ඒ හැඟීම දරුවන්ගේ ජීවිත කාලය පුරාම පවතිනවා. නිදසුනකට ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වූ ශිෂ්‍යයන් පිරිසකට තිබුණෙත් එවැනි හැඟීමක්. පූර්ණ කාලීනව දේවසේවය කරන්න ආශාවක් තමන් තුළ ඇති වෙන්න දෙමාපියන්ගේ ආදර්ශයත් දිරිගැන්වීමත් බොහෝ සෙයින් බලපෑ බව ඔවුන් පැවසුවා. ඒ දරුවන් ලැබුවේ කොතරම් කදිම උරුමයක්ද! ඒ නිසා ඒ දෙමාපියන්ට ලැබුණු ආශීර්වාද කොයි තරම්ද! දරුවන් වැඩුණු පසු ඒ හැමෝම පූර්ණ කාලීන දේවසේවකයන් වෙන්නේ නැති බව ඇත්තයි. ඒත් තමන්ගේ කිට්ටුම මිතුරන් ලෙසත් ආදර්ශයට ගත හැකි අය හැටියටත් සිටි දේවභය ඇති දෙමාපියන්ගෙන් හැම දරුවෙක්ම වගේ ප්‍රයෝජන ලබනවා. ඒ දරුවන් එවැනි දෙමාපියන්ට අනිවාර්යයෙන්ම ගරු කරනවා.—හිතෝපදේශ 22:6; එෆීස 6:2, 3.

සහකරුවෙක් හෝ සහකාරියක් නැතිව සිටියත් සාර්ථක විය හැකියි

අද කාලයේ හුඟක් දරුවෝ හැදෙන්නේ මව හෝ පියා යන දෙදෙනාගෙන් එක්කෙනෙක් නැතිවයි. ඒ මවට හෝ පියාට එය අභියෝගයක් වුණත් එය කරන්න බැරි දෙයක් නෙවෙයි. පළමු ශතවර්ශයේ ක්‍රිස්තියානියෙක්ව සිටි යූනිස් නම් යුදෙව් කාන්තාවගේ ආදර්ශය එවැනි මව්පියන්ට දිරිගැන්වීමක්. ක්‍රිස්තියානියෙක් නොවූ කෙනෙකුව විවාහ කරගෙන සිටි යූනිස්ට, දෙවිට කරන සේවයේදී කිසිම සහයක් තම සැමියාගෙන් ලැබෙන්න නැතිව ඇති. ඒත් ඇය ඇගේ මව වූ ලොයිස් සමඟ එකතු වී ළදරු වියේ පටන් තිමෝතිව ඉතා හොඳින් පුහුණු කළා. සම වයසේ මිත්‍රයන්ගේ බලපෑම්වලට හසු නොවී සිටීමට තිමෝතිට හැකි වුණේ ලැබුණු ඒ පුහුණුව නිසයි.—ක්‍රියා 16:1, 2; 2 තිමෝති 1:5; 3:15.

මව හෝ පියා යන දෙදෙනාගෙන් එක්කෙනෙක් පමණක් සිටින හෝ එක්කෙනෙක් පමණක් යෙහෝවා දෙවිට නමස්කාර කරන පවුල්වල හැදෙන දරුවන් බොහෝදෙනෙක්, තරුණ තිමෝති හා සමාන කදිම ගුණාංග ඇතිව හැදී වැඩී තිබෙනවා. වයස අවුරුදු 22ක් වූ පූර්ණ කාලීන දේවසේවයෙක් වන රයන් එවැනි කෙනෙක්. මත්පැන්වලට ඇබ්බැහි වූ ඔහුගේ පියා පවුල අත්හැර යද්දී රයන්ට වයස අවුරුදු හතරයි. ඔහුට අයියා කෙනෙකුත් අක්කා කෙනෙකුත් හිටියා. “අම්මාට හැම වෙලාවේම ඕන වුණේ අපි පවුලක් හැටියට දෙවිට දිගටම සේවය කරනවා දකින්නයි. ඒ සඳහා ඇය මුළු හදින්ම වෙහෙසුණා” කියා රයන් පැවසුවා.

“සභාව තුළ හෝ සභාවෙන් පිට සිටින නරක ආශ්‍රිතයන් කියා බයිබලය හඳුන්වන ආකාරයේ ළමයි එක්ක ආශ්‍රය කරන්න අම්මා අපිට ඉඩ දුන්නේ නැහැ. පාසැල් අධ්‍යාපනයේදී සමබර වෙන්නත් ඇය අපිට උදව් කළා” කියා රයන් තවදුරටත් පැවසුවා. රැකියාව නිසා රයන්ගේ අම්මා නිතරම කාර්ය බහුලව සහ වෙහෙසවී සිටියත්, ඇයට වැඩියෙන්ම වටින දෙය වුණේ තම දරුවන්ගේ සතුටයි. ඒ සඳහා ඇයට කළ හැකි හැම දෙයක්ම ඇය කළා. “අම්මට හැම වෙලේම ඕන වුණේ අපිත් එක්ක කතා කරමින් කාලය ගත කරන්න. අපේ බයිබල් පාඩමේදී ඇය ඉවසිලිවන්තව අපිට ඉගැන්නුවත් සමහර දේවල් ගැන තදින් හිටියා. බයිබල් ප්‍රතිපත්ති ‘බාල කරන්න’ ඇය කවදාවත් ඉඩ දුන්නේ නැහැ. පවුලේ පාඩම නොකඩවා පැවැත්වීමට අම්මා දැරුවේ ලොකු උත්සාහයක්” කියා රයන් කිව්වා.

ළමා කාලය දෙස හැරී බලද්දී වෙන කිසිම කෙනෙකුගේ බලපෑමට වඩා තමාටත් අයියාටත් අක්කාටත් වැඩියෙන්ම බලපෑවේ, දෙවිටත් තම දරුවන්ටත් ගොඩක් ආදරේ කළ මවගේ බලපෑම බව රයන් කියා සිටිනවා. එමනිසා දෙමාපියෙනි, ඔබ දෙදෙනාම සිටියත්, එක් සහකරුවෙක් මියගොස් සිටියත්, එහෙම නැත්නම් ඔබේ සහකරුවා දෙවිට නමස්කාර නොකරන කෙනෙක් වුණත්, ඔබේ දරුවන්ට උගන්වන්න ඔබ දරන වෙහෙසේදී, සුළු පසුබැසීම් ඇති වුණත් අධෛර්යය වෙන්න එපා. යේසුස්ගේ උපමාවේ අකීකරු පුත්‍රයා වගේ සමහර අවස්ථාවලදී දරුවෝ දෙවිට කරන නමස්කාරයෙන් ඉවත් වෙන්න ඉඩ තිබෙනවා. නමුත් මේ ලෝකය හිස් සහ කුරිරු තැනක් බව ඔවුන් තේරුම්ගත්තොත් සමහරවිට නැවත හැරී ඒවි. තම ආදර්ශයෙන් දරුවන්ට උගන්වන දෙමාපියන් ගැන බයිබලය කියන්නේ, “ඇද නැතිකමින් හැසිරෙන්නා ධර්මිෂ්ඨයෙක්ය; ඔහුට පසු ඔහුගේ දරුවෝ ආශීර්වාද ලද්දෝය” කියායි.—හිතෝපදේශ 20:7; 23:24, 25; ලූක් 15:11-24.

[පාදසටහන්වල]

^ 9 ඡේ. මේ කරුණු ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත පවුලේසන්තෝෂයට රහස නමැති පොතේ 55-59 දක්වා පිටු බලන්න.

[11වන පිටුවේ කොටුව⁄පින්තූර]

දෙවි තෝරගත් යේසුස්ගේ දෙමාපියන්

යේසුස්ගේ දෙමාපියන් වීමට සුදුසු දෙදෙනෙක්ව යෙහෝවා දෙවි ඉතා පරෙස්සමින් තෝරගත්තා. සැලකිල්ලට ගත යුතු දෙය වෙන්නේ ඔවුන් නිහතමානී, දේවභක්තික යුවළක් වීමයි. ඔවුන් යේසුස්ව ඕනෑවට වඩා හුරතල් කරන්න ගියේ නැහැ. ඔහුට දේවවචනය කියා දුන්නා විතරක් නෙවෙයි, මහන්සි වී වැඩ කිරීමටත් වගකීමක් ඇතිව දේවල් කිරීමටත් ඉගැන්නුවා. (හිතෝපදේශ 29:21; විලාප ගී 3:27) යෝසෙප් වඩු වැඩ කරන්න යේසුස්ට කියා දුන්නා වගේම, යේසුස්ට අඩුම තරමින් නංගිලා මල්ලිලා හයදෙනෙක්වත් හිටිය නිසා, වැඩිමහල් දරුවා හැටියට අනිත් දරුවන්ව බලා කියාගන්න මරියා සහ යෝසෙප් යේසුස්ගේ උපකාරය ලබාගන්න ඇති.—මාක් 6:3.

නවීන ප්‍රවාහන පහසුකම් නැති ඒ කාලයේ පාස්කුව සඳහා ඔවුන් යෙරුසලමට ගිය ගමන කිලෝමීටර් 200ක් පමණ දුරක් වුණා. ඒ ගමන යන්න යෝසෙප්ගේ පවුලේ අය සූදානම් වන හැටි ඔබට සිතේ මවාගන්න පුළුවන්ද? අඩුම තරමේ නවදෙනෙක්වත් සිටි ඒ පවුලට ඒ ගමන යන්න හොඳින් සූදානම් වෙන්න වුණු බව නම් සැකයක් නැහැ. (ලූක් 2:39, 41) මොන අමාරුකම් තිබුණත් යෝසෙප් සහ මරියා ඒ අවස්ථාව ගොඩක් අගය කළා වගේම තම දරුවන්ට දෙවිගේ වචනයේ සඳහන් සිදුවීම් ගැන කියා දෙන්නත් එය අවස්ථාවක් කරගත් බව නම් නිසැකයි.

තම නිවසේ සිටින තාක්කල් යේසුස් තම දෙමාපියන්ට “යටත්ව සිටියේය.” ඒ කාලය තුළ ඔහු “ප්‍රඥාවෙන් සහ උස මහතින්ද දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි ප්‍රසාදය ලබමින්ද වැඩුණේය.” (ලූක් 2:51, 52) යෝසෙප් සහ මරියා ගැන යෙහෝවා දෙවි තැබූ විශ්වාසය ඔවුන් කඩ කළේ නැහැ. අද දින සිටින දෙමාපියන්ට ඔවුන් කොතරම් කදිම ආදර්ශයක්ද!—ගීතාවලිය 127:3.