Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

නික්මයාම 23:19හි, “එළු පැටවෙකු සිය මව්ගේ කිරෙන් නොපිහන්න” යන තහනම් නියෝගයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

මෙම තහනම් නියෝගය බයිබලයේ තුන්වතාවක් දක්නට තිබෙනවා. යෙහෝවා දෙවි සුදුසුයයි සලකන දේවල්, ඔහුගේ දයානුකම්පාව, ඔහුගේ මුදු මොළොක් සෙනෙහස වැනි කාරණා තේරුම්ගන්න මෙය අපට උපකාර කරනවා. ඒ වගේම දෙවි බොරු නමස්කාරය පිළිකුල් කරන ආකාරයත් මින් මනාව පැහැදිලි වෙනවා.—නික්මයාම 34:26; ද්විතීය කතාව 14:21.

යෙහෝවා දෙවි සතෙක් තුළ කිරි ඇති වෙන්නට සැලැස්සුවේ උගේ පැටවාගේ වර්ධනය සඳහායි. පැටවෙකුව උගේ මවගේම කිරිවලින් පිසීම ඒ සැලැස්මට විරුද්ධ දෙයක්. ඒ ගැන එක් විශාරදයෙක් මෙහෙම කිව්වා. “එය දෙවි මුලින් පිහිටෙවූ අන්දමට පැටවා සහ උගේ මව අතර තිබිය යුතු ස්නේහවන්ත බැඳීමට කරන නිග්‍රහයක්.”

මීට අමතරව තවත් අය දරන මතයක් නම්, පැටවෙකුව උගේ මවගේ කිරිවලින් පිසීම, වර්ෂාව ලබාගැනීම සඳහා බොරු ආගම් ඇදහූ අය කළ චාරිත්‍රයක් විය හැකි බවයි. එසේනම්, ඊශ්‍රායෙල් ජාතිය අවට විසූ ජාතීන්ගේ හිත් පිත් නැති කුරිරු චාරිත්‍රවලින් ඔවුන්ව ආරක්ෂා කිරීම පිණිස එම නියෝගය මහත් රුකුලක් වූ බවට කිසිම සැකයක් නැහැ. මන්ද තමන් අවට සිටින ජාතීන්ගේ චාරිත්‍ර අනුගමනය නොකරන ලෙසට මෝසෙස් මගින් දෙවි දුන් නීතිය තුළ විශේෂයෙන් අණ කර තිබුණා.—ලෙවී කතාව 20:23.

අවසන් වශයෙන් මෙම නියෝගය තුළින් අප දකින්නේ යෙහෝවා දෙවිගේ මුදු මොළොක් දයානුකම්පාවයි. ඇත්තෙන්ම සතුන්ට කරන කුරිරුකම් වැළැක්වීමටත් දෙවි ඇති කළ සැලසුම් ඒ විදිහටම පවත්වාගැනීම සඳහාත් එවැනි තහනම් නියෝග ගණනාවක් දෙවි මෝසෙස් මගින් දුන් නීතියේ තිබුණා. නිදසුනකට, පැටවෙක් ඉපිද දවස් හතක් යන තුරු ඌව සත්ව යාගයක් හැටියට ඔප්පු කිරීම තහනම් කර තිබීම එක නියෝගයක්. ඒ වගේම පැටවා සහ උගේ මව එකම දවසේ මැරීමත්, කිරිල්ලියක් ඇගේ බිත්තර හෝ පැටවුන් සමඟ කූඩුවේ සිටිද්දී උන්ව නොගැනීමත් තහනම් කර තිබුණා.—ලෙවී කතාව 22:27, 28; ද්විතීය කතාව 22:6, 7.

මේ අනුව, දෙවි මෝසෙස් මගින් දුන් නීතිය නිකම්ම තහනම් නියෝගවලින් පිරි සංකීර්ණ නීති පද්ධතියක් නොවූ බව පැහැදිලියි. එහි අඩංගු ප්‍රතිපත්ති ගැන හොඳින් සිතද්දී දෙවිගේ උසස් සදාචාර ප්‍රමිති ගැන අප තුළ ඇති කෘතඥතාව තවත් වැඩි කරනවා. මන්ද ඒවායින් යෙහෝවා දෙවිගේ අපූරු ගුණාංග පිළිබිඹු වන නිසයි.—ගීතාවලිය 19:7-11.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Timothy O’Keefe/​Index Stock Imagery