Skip to content

පටුනට යන්න

බයිබලය නිවැරදිව තේරුම්ගන්න එය ඔබට සතුටක් ගෙන දේවි

බයිබලය නිවැරදිව තේරුම්ගන්න එය ඔබට සතුටක් ගෙන දේවි

බයිබලය නිවැරදිව තේරුම්ගන්න එය ඔබට සතුටක් ගෙන දේවි

බයිබලය කියන්නේ දෙවිගෙන් ලැබූ වටිනා මෙන්ම සත්‍ය තොරතුරු ඇතුළත් පොතක්. එය අපට ජීවිතයේ අරමුණ ගැන, මිනිසුන් විඳින දුක් කරදරවලට හේතුව ගැන සහ මිනිස්වර්ගයාගේ අනාගතය ගැන කියා දෙනවා. සතුටින් ඉන්නේ කොහොමද, මිත්‍රයන් ඇති කරගන්නේ කොහොමද සහ ප්‍රශ්න ගැටලු ඇති වෙන කොට ඒවාට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියා දැනගන්නත් බයිබලය අපට උපකාරවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපගේ මැවුම්කරු වන අපගේ දෙවි පියාණන් වන යෙහෝවා ගැනත් අපට බයිබලයෙන් දැනගන්න පුළුවන්. මෙවැනි දේවල් ගැන දැනගැනීමෙන් අපි සතුටක් ලබන අතර අපේ ජීවිතත් වඩාත් අර්ථවත් වෙනවා.

දෙවි ගැන හොඳ අවබෝධයක් ලබාගැනීම හරියට කෑම කනවාට සමානයි කියා බයිබලයේ සඳහන් වෙනවා. ඒ ගැන යේසුස් මෙහෙම කිව්වා. “මිනිසා ජීවත් විය යුත්තේ රොටි පමණකින් නොව, යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකිනි.” (මතෙව් 4:4; හෙබ්‍රෙව් 5:12-14) අපේ ජීවිතය පවත්වාගෙන යන්න නම් අපිට හැමදාම පෝෂ්‍යදායී ආහාර ලබාගන්න අවශ්‍යයයි. ඒ වගේම දෙවි පොරොන්දු වෙලා තිබෙන සදාකාල ජීවිතය ලබන්න නම් අපි දේවවචනය නිතිපතා කියවීම අවශ්‍යයි.

යෙහෝවා දෙවි අපව මවා තිබෙන්නේ ආහාර ගැනීමේ මූලික අවශ්‍යතාව ඇතුව සහ ඒ මගින් සතුටක් ලබන්න හැකි වන ලෙසටයි. ඒ නිසා කෑම ගැනීමෙන් අපි ලබන්නේ ලොකු තෘප්තියක්. නමුත් අපේ ජීවිත සතුටින් ගත කරන්න නම් අපිට තවත් අත්‍යවශ්‍ය දෙයක් තිබෙනවා. ඒ තමයි දෙවිව හොඳින් දැන හඳුනාගැනීමේ අවශ්‍යතාව. මේ ගැන යේසුස් කිව්වේ “තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය” කියායි. (මතෙව් 5:3) ඒ අවශ්‍යතාව සපුරාගත හැක්කේ දේවවචනය නිවැරදිව තේරුම්ගැනීමෙන් පමණක් නිසා අපිට ලොකු සතුටක් අද්දකින්න පුළුවන්.

බයිබලය තේරුම්ගැනීම හැමෝටම පහසු දෙයක් නොවන බව ඇත්තයි. උදාහරණයකට ඔබට නුහුරු සිරිත් විරිත් ගැන එහෙමත් නැත්නම් යම් දේවල් උපමාලංකාර භාෂාවෙන් තිබෙන නිසා ඒවා තේරුම්ගැනීමට යම් උපකාරයක් අවශ්‍ය විය හැකියි. ඒ විතරක් නෙවෙයි සංකේතාත්මක බසින් ලියා තිබෙන අනාවැකි බයිබලයේ සඳහන් වෙනවා. මේවා තේරුම්ගන්න නම් ඒ ගැන විස්තර කරන වෙනත් පද පෙරළා බලන්න අවශ්‍යයි. (දානියෙල් 7:1-7; එළිදරව් 13:1, 2) ඒත් බයිබලය නිවැරදිව තේරුම්ගන්න ඔබට පුළුවන්. ඒ කොහොමද?

ඕනෑම කෙනෙකුට ලබන්න පුළුවන් සතුටක්

බයිබලය කියන්නේ දෙවිගේ අදහස් තිබෙන, ඔහු කැමති දේවල් ගැන අපට කියා දෙන පොතක්. එහෙමනම් අපට තේරුම්ගන්න අපහසු එහෙමත් නැත්නම් උගතුන්ට විතරක් තේරුම්ගත හැකි පොතක් දෙවි අපට දෙයි කියා හිතන්න පුළුවන්ද? යෙහෝවා දෙවි එවන් අකාරුණික දෙයක් කොහෙත්ම කරන්නේ නැහැ. යේසුස් තම පියාණන් ගැන විස්තර කරමින් මෙහෙම කිව්වා. “තමාගේ පුත්‍රයා මාළුවෙකු ඉල්ලුවොත්, මාළුවා වෙනුවට සර්පයෙකු දෙන්නේ ඔබ අතරෙන් කවර පියෙක්ද? නැත්නම්, ඔහු බිත්තරයක් ඉල්ලුවොත් ඔහුට ගෝනුස්සෙක් දෙයිද? එබැවින්, ඔබ දුෂ්ට වුවත්, ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා නම්, ස්වර්ගයෙහි සිටින පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් ශුද්ධාත්මය දෙනු ඇද්ද!” (ලූක් 11:11-13) මේ නිසා අවංකව දෙවිගෙන් උපකාරය ඉල්ලුවොත් බයිබලය නිවැරදිව වටහාගන්න ඔහු ඔබට උපකාර කරයි කියා ඔබට නිසැක වෙන්න පුළුවන්. ඇත්තෙන්ම කුඩා දරුවෙකුට වුණත් බයිබලයේ ඇති මූලික ඉගැන්වීම් නිවැරදිව වටහාගන්න පුළුවන්!—2 තිමෝති 3:15.

බයිබලය තේරුම්ගැනීම පහසු දෙයක් නොවුණත්, කෙනෙක් ඒ සඳහා වෑයමක් දරද්දී ඔහුට ලොකු දිරිගැන්වීමක් සහ ප්‍රබෝධයක් ලැබෙනවා. නැවත නැඟිටුණු යේසුස් තම ගෝලයන් දෙදෙනෙකුට පෙනී, බයිබල් අනාවැකි ගැන ඔවුන් සමඟ කතා කළා. ලූක්ගේ වාර්තාවේ මෙහෙම සඳහන් වෙනවා. “ඔහු මෝසෙස්ගෙන් පටන්ගෙන සියලු අනාගතවක්තෘවරුන් ඇතුළුව මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් දේ ඔවුන්ට තෝරා දුන්නේය.” එහි ප්‍රතිඵලය වුණේ මොකක්ද? ඒ සාකච්ඡාව ගැන එදා හවස සිතමින් සිටි ගෝලයන්, “ඔහු අප සමඟ මඟදී කතා කරද්දීත්, ශුද්ධ ලියවිල්ල හොඳාකාරයෙන් පහදා දෙද්දීත් අපේ සිත් දැවුණා නොවේද” කියලා කිව්වා. (ලූක් 24:13-32) දේවවචනය නිවැරදිව තේරුම්ගැනීමට හැකිවීම නිසා ඒ ගෝලයන්ට ලොකු ප්‍රබෝධයක් ලැබුණා. දෙවිගේ පොරොන්දු ගැන ඔවුන්ට තිබූ විශ්වාසය එමඟින් තවත් ශක්තිමත් වූ අතර අනාගතය ගැන නිසැකකමකුත් ඔවුන්ට ඇති වුණා.

දේවවචනය නිවැරදිව තේරුම්ගැනීමෙන් රසවින්දනයක් මෙන්ම ප්‍රයෝජනයක් ලැබිය හැකියි. ඒක හරියට පෝෂ්‍යදායක මෙන්ම රසවත් ආහාරයක් ගන්නවාට සමාන කරන්න පුළුවන්. ඒ ආකාරයට බයිබලය තේරුම්ගන්න ඔබට පුළුවන් කොහොමද? ‘දෙවි ගැන දැනගැනීමෙන්’ ඔබට සතුටක් ලබාගත හැකි ආකාරය ගැන ඊළඟ ලිපිය විස්තර කරයි.—හිතෝපදේශ 2:1-5.

[4වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි ප්‍රේමණීය පියෙක් වගේ බයිබලය නිවැරදිව තේරුම්ගන්න අපට උපකාර කරනවා