Skip to content

පටුනට යන්න

බයිබලය නිවැරදිව තේරුම්ගන්න ඔබට පුළුවන් කොහොමද?

බයිබලය නිවැරදිව තේරුම්ගන්න ඔබට පුළුවන් කොහොමද?

බයිබලය නිවැරදිව තේරුම්ගන්න ඔබට පුළුවන් කොහොමද?

‘ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් සඟවා, බිලිඳුන්ට හෙළි කර තිබෙනවා.’ (ලූක් 10:21) තම පියාණන් වන යෙහෝවාට යේසුස් පැවසූ ඒ වචනවලින් පැහැදිලි වෙන්නේ බයිබලය නිවැරදිව තේරුම්ගැනීමට නම් අපිට හරි ආකල්පයක් තිබිය යුතු බවයි. ඒ කියන්නේ අපි යටහත් පහත්, ඉගෙනගන්න කැමැත්තක් ඇති පුද්ගලයන් විය යුතු බවයි. එවැනි පුද්ගලයන්ට පමණක් බයිබලය නිවැරදිව තේරුම්ගැනීමට හැකියාව දීමෙන් යෙහෝවා දෙවිගේ ප්‍රඥාව පැහැදිලි වෙනවා.

අපගෙන් බොහෝදෙනෙකුට යටහත්පහත් වීම පහසු දෙයක් නෙවෙයි. අපි හැමෝම ඉපදුණේ උඩඟු ස්වභාවයක් ඇතිවීමේ නැඹුරුවාවක් ඇතිවයි. ඒ විතරක් නෙවෙයි “තමුන්ටම ප්‍රේම කරන, . . . හිතුවක්කාර, අහංකාර” මිනිස්සු සිටින “අන්තිම දවස්වලදී” අපිට ජීවත් වෙන්න සිදු වෙලා තිබෙනවා. (2 තිමෝති 3:1-4) ඒ හේතු දේවවචනය නිවැරදිව තේරුම්ගන්න අපිට බාධාවක්. කනගාටුවට කරුණක් වෙන්නේ අප අවට සිටින අයගේ උඩඟු ස්වභාවය අපිටත් යම් තරමකට බෝ වෙන්න ඉඩ තිබීමයි. එහෙමනම් බයිබලය නිවැරදිව තේරුම්ගන්න අවශ්‍ය යටහත් පහත් ස්වභාවය ඔබට ඇති කරගන්න පුළුවන් කොහොමද?

හදවත සහ මනස සූදානම් කිරීම

පුරාණයේ දෙවිගේ සෙනඟට නායකත්වය දුන් එස්රා, “යෙහෝවාගේ ව්‍යවස්ථාව සොයා පවත්වන්ට . . . තමන් සිත යොමු කරගත්තේය.” (එස්රා 7:10) අපිටත් අපේ ‘සිත යොමු කරගන්න,’ එහෙම නැත්නම් හදවත සූදානම් කරගන්න ක්‍රමයක් තිබෙනවාද? ඔව් තිබෙනවා. මුලින්ම අප කළ යුත්තේ ශුද්ධ ලියවිලි ගැන හරි ආකල්පයක් ඇති කරගැනීමයි. මුල් ශතවර්ෂයේ ජීවත් වූ ක්‍රිස්තියානීන්ට ඒ කාරණය ගැන පාවුල් කිව්වේ “ඔබට දෙවිගේ වචනය අපෙන් අසන්නට ලැබුණු විට, ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගේ වචනය ලෙස නොව දෙවිගේම වචනය ලෙසය” කියායි. (1 තෙසලෝනික 2:13) ශුද්ධ ලියවිල්ල ලිව්වේ මනුෂ්‍යයන් බව ඇත්තයි. නමුත් ඔවුන් ලිව්වේ යෙහෝවා දෙවිගේ අදහස්. ඒ කාරණය අපි පිළිගත්තොත් බයිබලය හොඳින් තේරුම්ගෙන ඒ දේවල් මුළු හෘදයෙන්ම පිළිගැනීමට අපිට හැකියාව ලැබෙනවා.—2 තිමෝති 3:16.

අපේ හදවත සූදානම් කරගන්න උපකාරවත් වන තවත් දෙයක් තමයි යාච්ඤාව. බයිබලය ලියන්න මිනිසුන්ට අදහස් ලැබුණේ දෙවිගෙන් නිසා, එහි පණිවුඩය තේරුම්ගැනීමට අපට උපකාර කරන්න දෙවිට පුළුවන්. ඒ උපකාරය ඉල්ලා අපි දෙවිට යාච්ඤා කළ යුතුයි. පහත සඳහන් වචන ලිවූ ගීතිකාකරු එහෙම කළා. “මට තේරුම් දුන මැනව; ඔබගේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි; එසේය, මාගේ මුළු සිතින් එය පවත්වන්නෙමි.” (ගීතාවලිය 119:34) අප යාච්ඤා කළ යුත්තේ ලියා තිබෙන දේවල් තේරුම්ගන්න අපට උපකාර කරන්න කියා විතරක් නෙවෙයි. එය පිළිගැනීමට නිහතමානී හදවතක් දෙන්න කියාත් අපි යාච්ඤා කළ යුතුයි. බයිබලය නිවැරදිව තේරුම්ගන්න නම් එහි තිබෙන සත්‍ය තොරතුරු පිළිගැනීමටත් අපි කැමැත්තක් දැක්විය යුතුයි.

බයිබලය අධ්‍යයනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන සිතීමත් හරි ආකල්පයක් ඇති කරගන්න ඔබට උපකාර කරනවා. දේවවචනය කියවීමට අපට කදිම හේතු රාශියක් තිබෙනවා. ඉන් ප්‍රධානතම එක නම් එයින් අපිව දෙවිට ළං කර ඔහු සමඟ හොඳ මිත්‍රත්වයක් ඇති කරගැනීමට අපට උපකාර කිරීමයි. (යාකොබ් 4:8) යෙහෝවා දෙවි විවිධ තත්වයන්වලදී කටයුතු කරන ආකාරය ගැන, ඔහුට ප්‍රේම කරන අයට ඔහු කොච්චර ආදරෙයිද කියන එක ගැන සහ ඔහුව අත්හරින අයට ඔහු සලකන ආකාරය ගැන අපි බයිබලයෙන් කියවද්දී, යෙහෝවා කොයි වගේ කෙනෙක්ද කියලා අපිට දැනගන්න ලැබෙනවා. බයිබලය කියවද්දී අපේ මූලික චේතනාව විය යුත්තේ දෙවිව වඩා හොඳින් දැන හඳුනාගෙන ඔහු සමඟ අප ඇති කරගෙන තිබෙන මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගැනීමයි.

හරි ආකල්පයක් ඇතිව සිටීමට තිබෙන බාධා

දේවවචනය තේරුම්ගන්න අපිට බාධාවක් විය හැකි දේවල් මොනවාද? එක බාධාවක් තමයි, අපේ නෑදෑ හිතමිතුරන් වැනි අයට තිබෙන ආදරය නිසා ඔවුන්ගේ විශ්වාසයන්ට හා මතයන්ට විරුද්ධ වීමට තිබෙන අකමැත්ත. නමුත් ඒ පුද්ගලයන් දේවවචනයේ තිබෙන සත්‍ය තොරතුරු අගය කරන්නේ හෝ පිළිගන්නේ හෝ නැත්නම් ඔබ මොනවාද කරන්නේ? එවැනි අවස්ථාවකදී හරි දෙය කිරීම අපට ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. අප ඉගෙනගත්ත දේවල් නිවැරදිව තේරුම්ගන්න කියලා බයිබලය අපට දිරිගන්වන්නේ ඒ නිසයි.—1 තෙසලෝනික 5:21.

යේසුස්ගේ මව වූ මරියා එවැනි අභියෝගයකට මුහුණ දුන්නා. ඇය ඇති දැඩි වුණේ යුදෙව් සම්ප්‍රදාය ඉතා ඉහළින් ගරු කළ සමාජයක. දෙවි මෝසෙස් මගින් දුන් නීතිය පරෙස්සමින් පිළිපැද්ද ඇය, නිතිපතා සිනගෝගයට ගිය බවට සැකයක් නැහැ. නමුත් පසු කාලයකදී, ඇගේ දෙමාපියන් ඇයට කියා දුන්නු නමස්කාර පිළිවෙත් දෙවි තවදුරටත් පිළිගන්නේ නැති බව යේසුස්ගේ ඉගැන්වීම් නිසා ඇය තේරුම්ගත්තා. ඒ නිසා ක්‍රිස්තියානි සභාව පිහිටුවද්දී එහි සිටි මුල් සාමාජිකයන් අතර ඇයත් සිටියා. (ක්‍රියා 1:13, 14) එසේ කිරීමෙන් මරියා ඇගේ දෙමාපියන්ට හෝ ඔවුන්ගේ සම්ප්‍රදායන්ට අගෞරව කළා කියා අපට කියන්න පුළුවන්ද? කොහෙත්ම නැහැ! මරියා ඒ විදිහට ක්‍රියා කළේ ඇය දෙවිට ප්‍රේම කළ නිසයි. අපිත් මරියා වගේ වෙන කාටත් වඩා වැඩියෙන් ලැදි විය යුත්තේ දෙවිටයි.

බොහෝදෙනෙක් බයිබල් සත්‍යතා එතරම් අගය කරන්නේ නැහැ. සමහරුන් බොරු ඉගැන්වීම් මත පදනම් වූ ආගමික සම්ප්‍රදායන් දිගටම පිළිපදිනවා. තවත් අය ජීවිත ගත කරන ආකාරයෙන් සහ කතා විලාශයෙන් පෙන්වන්නේ, සත්‍යයට කිසිම ගෞරවයක් තමන්ට නැති බවයි. මෙවැනි අදහස් ඇති ඔබේ මිත්‍රයන්, අසල්වැසියන්, ඔබ සමඟ එකට වැඩ කරන අය සහ ඔබේ පවුලේ අය පවා බයිබලයේ තිබෙන සත්‍ය ඉගැන්වීම් පිළිගනිද්දී ඔබේ අදහස්වලට විරුද්ධ වී ඔබ සමඟ අමනාප වෙන්නත් ඉඩ තිබෙනවා. (යොහන් 17:14) බයිබල් සත්‍යය පිළිගන්න නිසා එවැනි පරිත්‍යාගයන් කරන්න ඔබට සිදු වෙනවා. ඒ වුණත් “සැබෑව . . . මිලේට ගන්න; [එය] නොවිකුණන්න” කියා ප්‍රඥාවන්ත සලමොන් ලිව්වා. (හිතෝපදේශ 23:23) එසේ ඔබ සත්‍ය ඉගැන්වීම් ඉතා උසස් කොට සලකනවා නම්, බයිබලය නිවැරදිව තේරුම්ගන්න යෙහෝවා දෙවි ඔබට නිසැකවම උපකාර කරනවා.

බයිබලයේ කියා තිබෙන දේවල් සමහරුන්ට නිවැරදිව තේරුම්ගන්න නොහැකි වීමට තිබෙන තවත් බාධාවක් නම් එහි කියා තිබෙන දේවල් පිළිපැදීමට තිබෙන අකමැත්ත. යේසුස් තම ගෝලයන්ට මෙහෙම කිව්වා. “ස්වර්ග රාජ්‍යයේ පරිශුද්ධ රහස් තේරුම්ගැනීමේ හැකියාව ඔබට දී ඇති නමුත් ඔවුන්ට දී නැත. මන්ද මේ ජනයාගේ සිත් දැඩි වී තිබේ. ඔවුහු කන්වලින් ඇසුවත් ප්‍රතිචාරයක් නොදක්වති.” (මතෙව් 13:11, 15) යේසුස්ගේ ඉගැන්වීම්වලට සවන් දුන් බොහෝදෙනෙක් තම ජීවිතවල වෙනස්කම් කරන්න කැමති වුණේ නැහැ. යේසුස් සඳහන් කළ සංචාරක වෙළෙන්දා මීට වඩා කොතරම් වෙනස්ද! ඉතා වටිනා මුතු ඇටයක් සම්බ වූ විගස එය මිල දී ගැනීමට ඒ සංචාරක වෙළෙන්දා තමා සතු සියල්ල විකුණුවා! බයිබලයේ තිබෙන සත්‍යතා තේරුම්ගන්න අපිත් ඒ හා සමාන වෑයමක් දැරිය යුතුයි.—මතෙව් 13:45, 46.

යටහත් පහත්ව ඉගෙනගන්න කැමති වීම අභියෝගයක්

බයිබලය නිවැරදිව තේරුම්ගන්න නම් එහි තිබෙන දේවල් පිළිපදින්න අපි කැමැත්තක් දැක්විය යුතුයි. මෙය බොහෝදෙනෙකුට ලොකු අභියෝගයක්. අපිට බයිබලයේ කාරණා පහදා දෙන කෙනා අපිට වඩා පහත්යයි සලකන සමාජ මට්ටමක කෙනෙක් නම්, ඔහු හෝ ඇය කියන දේවල් පිළිගන්න සමහරවිට අපිට අපහසු වෙන්න පුළුවන්. නමුත් යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් “නූගත්, සාමාන්‍ය මිනිසුන්” වූ බව අපි මතක තබාගත යුතුයි. (ක්‍රියා 4:13) එවැනි අයව දෙවි තෝරගත්තේ ඇයි කියා පැහැදිලි කරමින් පාවුල් මෙහෙම කිව්වා. “සහෝදරයෙනි, ඔහු ඔබව කැඳෙව්වේ කෙසේදැයි ඔබ දන්නහුය. එනම්, මාංසික ලෙස ප්‍රඥාවන්ත බොහෝදෙනෙකු හෝ බලවත් බොහෝදෙනෙකු හෝ වංශවත් බොහෝදෙනෙකු හෝ කැඳවනු ලැබුවේ නැත. ඒ වෙනුවට දෙවි, ප්‍රඥාවන්තයන්ව ලජ්ජාවට පත් කරන පිණිස, ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්තේය. එමෙන්ම, ශක්තිමත් දේවල් ලජ්ජාවට පත් කරන පිණිස, දෙවි ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්තේය.” (1 කොරින්ති 1:26, 27) ඔබට වඩා පහත් සමාජ මට්ටමක සිටින කෙනෙක් ඔබට උගන්වද්දී යටහත් පහත්ව ඉගෙනගැනීම අභියෝගයක් නම්, ඔබ මතක තබාගත යුතු දෙය වෙන්නේ, ඔහු හෝ ඇය මාර්ගයෙන් ඔබට උගන්වන්නේ යෙහෝවා දෙවි බවයි. අපේ උදාර ‘ගුරුවරයාණන්’ අපට උගන්වන එක මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද!—යෙසායා 30:20; 54:13.

සිරියානු හමුදා නිලධාරියෙක් වූ නාමන්ට, තමාගේ තත්වයට වඩා පහත් පුද්ගලයෙකුගෙන් උපදෙස් භාරගැනීමට පහසු වුණේ නැහැ. තමාට වැලඳී තිබූ ලාදුරු රෝගය සුව කරගන්න ඔහු යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වූ එලිෂා ළඟට ගියා. සුවවීම සඳහා කළ යුතු දේවල් ගැන දෙවි දුන් උපදෙස් නාමන්ට දැනගන්න ලැබුණේ එලිෂාගෙන් නෙවෙයි, එලිෂාගේ සේවකයෙකුගෙන්. නාමන් කළ යුතුව තිබූ දෙය සහ ඔහුට එය පැවසූ කෙනා නිසා නාමන්ට යටහත් පහත්ව ඒ උපදෙසට කීකරු වීමට අපහසු වුණා. ඒ නිසා මුලදී ඔහු දෙවිගේ අනාගතවක්තෘවරයා කිවූ විදිහට කරන්න කැමති වුණේ නැහැ. නමුත් පසුව නාමන් වෙනස් වූ නිසා සුවය ලැබුවා. (2 රාජාවලිය 5:9-14) බයිබලය පාඩම් කරන විට අපටත් එවැනිම අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙනවා. දෙවිව සතුටු කරන ආකාරයේ පිරිසිදු ජීවිතයක් ගත කරන්න නම් අපේ පරණ සිරිත් විරිත් අත්හැර අලුත් ජීවිතයක් ගත කළ යුතු බව අපිට දැනගන්න ලැබෙනවා. අපි කළ යුතු දේවල් ගැන තව කෙනෙක් අපිට කියා දෙද්දී ඒවා පිළිගන්න අපි කැමතිද? ඒ සඳහා අවශ්‍ය යටහත් පහත්කම අපිට තිබෙනවාද? බයිබලය නිවැරදිව තේරුම්ගැනීමේ සතුට හිමි වෙන්නේ තව කෙනෙකුගෙන් ඉගෙනගන්න කැමැත්තක් දක්වන අයට විතරයි.

ඉතියෝපියානු රැජින වූ කන්දසීට සේවය කළ නිලධාරියෙකුට තිබුණේ එවැනි ආකල්පයක්. ඔහු තම අශ්ව රථයෙන් අප්‍රිකාවට යමින් සිටියදී ෆිලිප් නම් වූ ගෝලයා ඔහු ළඟට ගොස්, ඔහු කියවමින් සිටි දේවල් ඔහුට තේරුණාද කියා ඔහුගෙන් ඇසුවා. ඒ නිලධාරියා යටහත් පහත් ලෙස මෙහෙම පිළිතුරු දුන්නා. “යමෙකු මට මඟ පෙන්නුවොත් මිස, මා එය දැනගන්නේ කෙසේද?” දේවවචනය හරියාකාරව තේරුම්ගැනීමෙන් පසුව ඒ මිනිසා බව්තීස්ම වුණා. ඊට පස්සේ ඔහු “ප්‍රීතියෙන් තම ගමන ගිය” බව ඒ වාර්තාවේ සඳහන් වෙනවා.—ක්‍රියා 8:27-39.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් වැඩිදෙනෙක් සාමාන්‍ය ජීවිත ගත කරන අය. ඔවුන් මිලියන හයකටත් වඩා අයගේ නිවෙස්වල සතිපතා බයිබල් පාඩම් පවත්වනවා. ජීවත් වීමට තිබෙන හොඳම ක්‍රමය ගැනත්, මිනිස්වර්ගයාට තිබෙන එකම ස්ථිර බලාපොරොත්තුව ගැනත්, දෙවිව හොඳින් දැන හඳුනාගන්න පුළුවන් ආකාරය ගැනත් බයිබලය කියා දෙන නිසා, බයිබලය අධ්‍යයනය කර එහි සඳහන් දේවල් තේරුම්ගන්නා මිලියන ගණනක් දෙනා කියා නිම කළ නොහැකි සතුටක් අද්දකිනවා. ඒ සතුට ලබන්න ඔබටත් පුළුවන්.

[7වන පිටුවේ පින්තූරය]

උපදෙස් දුන්නේ සේවකයෙක් නිසා එය පිළිපැදීම නාමන්ට අපහසු වුණා

[7වන පිටුවේ පින්තූරය]

බයිබලය නිවැරදිව තේරුම්ගන්න විට අපිට ලොකු සතුටක් දැනෙනවා