Skip to content

පටුනට යන්න

බව්තීස්ම වීම සඳහා සුදුසුකම් අත් කරගැනීම

බව්තීස්ම වීම සඳහා සුදුසුකම් අත් කරගැනීම

බව්තීස්ම වීම සඳහා සුදුසුකම් අත් කරගැනීම

“මට බව්තීස්ම වීමට ඇති බාධාව කුමක්ද?”—ක්‍රියා 8:36.

1, 2. ෆිලිප්, ඉතියෝපියානු නිලධාරියෙක් සමඟ සාකච්ඡාවක් ආරම්භ කළේ කෙසේද? මේ තැනැත්තා දෙවි ගැන දැනගැනීමට ආශාවෙන් සිටි බව ඔප්පු වෙන්නේ කුමකින්ද?

යේසුස්ගේ මරණින් වසරකට හෝ දෙකකට පමණ පසු දවසක එක්තරා රජයේ නිලධාරියෙක් යෙරුසලමේ සිට ගාසාවට අශ්ව රථයකින් ගමන් කරමින් සිටියා. ඔහුට තවත් කිලෝමීටර් 1,500ක දුරක් යන්න තිබුණා. මෙය කොහෙත්ම සැප පහසු ගමනක් නම් නෙවෙයි. මේ භක්තිමත් මිනිසා ඉතියෝපියාවේ සිට යෙරුසලම දක්වා මේ දිගු ගමන ගියේ යෙහෝවා දෙවිට නමස්කාර කරන්නයි. නැවත නිවස බලා යන ගමනේදී ඔහු තම කාලය ගත කළේ දේවවචනය කියවමින්. මේ ඇදහිලිවන්ත මිනිසා ගැන දෙවිගේ අවධානය යොමු වුණු නිසා දේවදූතයෙක් මාර්ගයෙන් ඔහුට දේශනා කිරීමට දෙවි ෆිලිප්ට මඟ පෙන්නුවා.—ක්‍රියා 8:26-28.

2 සාමාන්‍යයෙන් ඒ කාලයේ අය පොත් කියෙව්වේ ශබ්ද නඟයි. මේ ඉතියෝපියානු නිලධාරියාත් එසේ ශබ්ද නඟා යෙසායාගේ පොතෙන් කියවමින් සිටි නිසා, ෆිලිප්ට ඔහු සමඟ සාකච්ඡාවක් ආරම්භ කිරීම එතරම් අමාරු වුණේ නැහැ. මේ මිනිසාගේ උනන්දුව ඇවිස්සීමට ෆිලිප් ඇසුවේ එක සරල ප්‍රශ්නයයි. “ඔබ කියවන්නේ කුමක්ද කියා ඔබ ඇත්තෙන්ම දන්නවාද?” ඉන්පසුව යෙසායා 53:7, 8හි සඳහන් දේ ඔහු සමඟ සාකච්ඡා කළ ෆිලිප්, ඔහුට “යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කළේය.”—ක්‍රියා 8:29-35.

3, 4. (අ) ෆිලිප් ඉතියෝපියානු නිලධාරියාව ඉක්මනින්ම බව්තීස්ම කළේ ඇයි? (ආ) දැන් අප සලකා බලන ප්‍රශ්න මොනවාද?

3 පොළොව ගැන දෙවිගේ අරමුණ ඉටු කිරීමට යේසුස්ට පැවරී තිබූ කාර්යය කුමක්ද කියාත්, දැන් තමා යේසුස්ගේ බව්තීස්ම ලත් ගෝලයෙකු විය යුතු බවත් ඉක්මනින්ම වටහාගත් මේ නිලධාරියා, ජලය ඇති තැනක් දැක “මට බව්තීස්ම වීමට ඇති බාධාව කුමක්ද?” කියා ෆිලිප්ගෙන් ඇසුවා. මේ තැනැත්තා ඒ වන විටත් යුදෙව් ආගමට හැරී යම් කාලයක් පුරා දෙවිට නමස්කාර කරමින් සිටි කෙනෙක්. සමහරවිට ඔහුට එදා බව්තීස්ම වෙන්න ලැබුණේ නැත්නම් තව කාලයක් යන තුරු ඔහුට බව්තීස්ම වෙන්න අවස්ථාවක් නොලැබෙන්න ඉඩ තිබුණා. නමුත් වඩාත්ම වැදගත් දෙය වුණේ, දෙවි තමාගෙන් බලාපොරොත්තු වූ දේ මේ මිනිසා තේරුම්ගැනීමයි. එය ඉටු කිරීමට මුළු සිතින්ම ඔහු ඉදිරිපත් වූ නිසා ෆිලිප් සතුටින් ඔහුව බව්තීස්ම කළා. ඊට පස්සේ ‘ප්‍රීතියෙන් තම ගමන ගිය’ මේ නිලධාරියා, තම ගම් පළාතේ ඉතා උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කළ බවට කිසිම සැකයක් නැහැ.—ක්‍රියා 8:36-39.

4 කැපවීම සහ බව්තීස්මය කියන්නේ සැහැල්ලුවෙන්වත් හදිස්සියෙන්වත් ගන්න තීරණයක් නෙවෙයි. ඒත් මේ ඉතියෝපියානු නිලධාරියාගේ සිද්ධියෙන් පැහැදිලි වෙන්නේ යම් යම් අවස්ථාවලදී සමහර පුද්ගලයන් දෙවිගේ වචනයේ සත්‍ය ඉගැන්වීම් අසා සුළු කාලයක් ඇතුළත බව්තීස්ම වූ බවයි. * ඒ නිසා මෙවැනි ප්‍රශ්න සලකා බැලීම සුදුසුයි. බව්තීස්ම වෙන්න කෙනෙක් සූදානම් වෙන්නේ කොහොමද? ඒ සඳහා වයස බලපානවාද? බව්තීස්ම වීමට පෙර කෙනෙක් සත්‍යය තුළ කොතරම් ප්‍රගතියක් ලබන්න ඕනද? ඒ සියල්ලටම වඩා වැදගත් දේ නම් බව්තීස්ම වෙන්න කියා යෙහෝවා දෙවි තම සේවකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඇයි?

සැහැල්ලුවට නොගත යුතු ගිවිසුමක්

5, 6. (අ) අතීතයේ විසූ දෙවිගේ ජනයා ඔහුගේ ප්‍රේමයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ආ) බව්තීස්ම වීමෙන් අපිට ලබාගත හැකි ආශීර්වාද මොනවාද?

5 ඊශ්‍රායෙලිතයන්ව ඊජිප්තුවෙන් ගලවාගත්තාට පසු, යෙහෝවා දෙවි ඔවුන්ව “විශිෂ්ට වස්තුවක්” ලෙස පිළිගෙන ඔවුන්ට ප්‍රේම කර, ආරක්ෂා කර, ඔවුන්ව “ශුද්ධ ජාතියක්” ලෙස සැළකීමට කැමති වුණා. ඒත් එවැනි ආශීර්වාද ලබන්න නම් ඔවුන් දෙවිගේ ප්‍රේමයට හොඳ ප්‍රතිචාරයක් දැක්විය යුතු වුණා. ඔවුන් මෙය කළේ ‘යෙහෝවා කී සියල්ල ලෙස කිරීමට එකඟ වීමෙන්’ හා දෙවි සමඟ ගිවිසුමකට බැඳීමෙනුයි. (නික්මයාම 19:4-9) පළමු සියවසේදී, සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න කියා යේසුස් පැවසූ දෙයට කීකරු වූ ගෝලයෝ ඔහුගේ ඉගැන්වීම් පිළිගත් අයව බව්තීස්ම කළා. එසේ කිරීමෙන් දෙවි සමඟ හොඳ මිත්‍රත්වය නැමැති මහඟු ආශීර්වාදය ලබන්න ඒ අයට පුළුවන් වුණා.—මතෙව් 28:19, 20; ක්‍රියා 2:38, 41.

6 මෙම වාර්තාවලින් පැහැදිලි වෙන්නේ, යෙහෝවා දෙවි තමන්ට සේවය කිරීමට මුළු හදින්ම කැප වී ඒ අනුව ජීවත් වන අයට ආශීර්වාද කරන බවයි. මෙවැනි ආශීර්වාද ලබන්න අපිටත් ඕන නම් අපි කැපවී, බව්තීස්ම වීම අත්‍යවශ්‍ය දෙයක්. එසේ දෙවිගේ ප්‍රතිපත්ති රකිමින් ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වීම අපේ අධිෂ්ඨානය කරගමු. (ගීතාවලිය 48:14) එහෙම කරද්දී යෙහෝවා දෙවි අපව අතින් අල්ලාගෙන අප යා යුතු මාර්ගයේ අපව ගෙන යන බව නම් සහතිකයි.—ගීතාවලිය 73:23; යෙසායා 30:21; 41:10, 13.

7. කැපවීම සහ බව්තීස්මය පෞද්ගලික තීරණයක් විය යුත්තේ ඇයි?

7 කාලයක් පුරා බයිබලය පාඩම් කර තිබෙන නිසාවත්, දැන් බව්තීස්ම වෙන්න කියා කෙනෙක් කියන නිසාවත්, තම මිත්‍රයන් බව්තීස්ම වන නිසාවත් කෙනෙක් බව්තීස්ම නොවිය යුතුයි. ඒ වෙනුවට අප කැපවී බව්තීස්ම විය යුත්තේ යෙහෝවා දෙවිට තිබෙන ප්‍රේමය නිසා සහ ඔහුට සේවය කිරීමට තිබෙන ආශාව නිසයි. දෙමාපියන් සහ වෙනත් අද්දැකීම් ලත් ක්‍රිස්තියානීන් කැපවී බව්තීස්ම වෙන්න කියා කෙනෙකුව දිරිගන්වන්න පුළුවන් බව ඇත්තයි. පේතෘස් පවා පෙන්තකොස්ත දවසේදී තමන්ට සවන් දුන් අයට “බව්තීස්ම වෙන්න” කියා උනන්දු කළා. (ක්‍රියා 2:38) ඒ වුණත් අපේ කැපවීම පෞද්ගලික කාරණයක්. අපි වෙනුවෙන් ඒ තීරණය ගන්න වෙන කිසිම කෙනෙකුට බැහැ. දෙවිට සේවය කරන්න ගන්න තීරණය අපේම එකක් විය යුතුයි.—ගීතාවලිය 40:8.

බව්තීස්මය සඳහා අවශ්‍ය සූදානම

8, 9. (අ) ළදරු බව්තීස්මය බයිබලයට පටහැනි වෙන්නේ ඇයි? (ආ) බව්තීස්ම වෙන්න නම් යෞවනයන්ට තිබිය යුතු සුදුසුකම් මොනවාද?

8 දෙවිට කැපවීම ගැන දරුවෙකුට හරි තීරණයක් ගන්න පුළුවන්ද? බව්තීස්ම විය හැකි නිශ්චිත වයසක් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වුණත් ඇදහිලිවන්තයෙක් වීම ගැනවත් දෙවිට කැපවීම ගැනවත් ළදරුවෙකුට තීරණයක් ගන්න හැකියාවක් නැහැ. (ක්‍රියා 8:12) පළමු සියවසේ ක්‍රිස්තියානීන් ගැන ඉතිහාසඥ ඔගස්ටස් නියැන්ඩර් තම පොතේ මෙහෙම කියනවා. “බව්තීස්ම වීමට හොඳ ඇදහිල්ලක් තිබීම අවශ්‍ය බව අවබෝධ කරගෙන තිබූ නිසා බව්තීස්ම කරනු ලැබුවේ වැඩිහිටියන්ව පමණයි.”—General History of the Christian Religion and Church.

9 සමහර යෞවනයන් බාල අවදියේ පටන්ම සත්‍යය තුළ යම් මේරූකමක් පෙන්වනවා. නමුත් තවත් අයට ඒ තත්වයට එන්න ඊටත් වඩා වැඩි කාලයක් ගත වෙනවා. කොහොමවුණත් බව්තීස්ම වෙන්න නම් වැඩිහිටියෙකුට වගේම යෞවනයෙකුටත් යෙහෝවා දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක්, බයිබලයේ මූලික ඉගැන්වීම ගැන නිවැරදි දැනුමක් සහ කැපවීමට ඇතුළත් වෙන්නේ කුමක්ද යන්න ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි.

10. කැපවීම සහ බව්තීස්මයට පෙර ගත යුතු පියවර මොනවාද?

10 යේසුස් තම ගෝලයන්ට උපදෙස් දුන්නේ තමා අණ කළ සියල්ල පවත්වන්න නවකයන්ට උගන්වන්න කියායි. (මතෙව් 28:20) එමනිසා මුලින් නවකයන් සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබාගත යුතුයි. මෙය යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ වචනය ගැනත් ඇදහිල්ලක් ඇති කරගන්න ඔවුන්ට උපකාර කරනවා. (රෝම 10:17; 1 තිමෝති 2:4; හෙබ්‍රෙව් 11:6) මෙසේ බයිබලයේ සඳහන් සත්‍යය යම් පුද්ගලයෙකුගේ සිතට තදින් කාවැදුණාම, පසුතැවිලි වී තමාගේ අතීත ජීවිත රටාව අත්හරින්න ඔහු පෙලඹෙනවා. (ක්‍රියා 3:19) අන්තිමේදී, යේසුස් අණ කළ ආකාරයට යෙහෝවාට කැපවී බව්තීස්ම වෙන්න ඒ තැනැත්තා තුළ ආශාවක් ඇති වෙනවා.

11. බව්තීස්ම වෙන්න බලාපොරොත්තු වන කෙනෙක් නිතිපතා දේශනා සේවයේ හවුල් වීම වැදගත් වෙන්නේ ඇයි?

11 බව්තීස්ම වීමට බලාපොරොත්තු වන කෙනෙක් කළ යුතු තවත් වැදගත් දෙයක් වෙන්නේ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය අන්‍යයන්ට පැවසීමයි. අන්තිම දවස්වලදී යෙහෝවා දෙවි තම සෙනඟට පවරා ඇති ප්‍රධානම කාර්යය එයයි. (මතෙව් 24:14) ඒ මගින් තම ඇදහිල්ල ගැන වෙනත් අයට කතා කිරීමෙන් ලැබෙන ප්‍රීතිය අද්දකින්නත්, බව්තීස්මයෙන් පසුව පවා නිතිපතා උද්‍යෝගයෙන් දේශනා සේවයේ හවුල් වීමට හොඳ පුහුණුවකුත් ඔවුන්ට ලැබෙනවා.—රෝම 10:9, 10, 14, 15.

ඔබව බව්තීස්ම වීමෙන් වළක්වන යමක් තිබෙනවාද?

12. සමහර අය බව්තීස්ම වෙන්න අදි මදි කරන්නේ ඇයි?

12 බව්තීස්මය මගින් තමන්ට ලැබෙන වගකීම් භාර ගැනීමට ඇති අකමැත්ත නිසා සමහරු බව්තීස්ම වීමට අදි මදි කරන්න පුළුවන්. යෙහෝවා දෙවිගේ ප්‍රමිති රැකීමට නම්, තමන්ගේ ජීවිතවල පැහැදිලි වෙනස්කම් කිරීමට සිදු වෙනවා කියා ඔවුන් තේරුම්ගන්නවා. සමහරු හිතන්නේ බව්තීස්මයෙන් පසුව දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වීම තමන්ට අපහසු වෙයි කියලා. “කවදා හරි දවසක මම වැරදි දෙයක් කළොත් මාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්න ඉඩ තියෙනවා” කියාත් තවත් අයට භයක් තිබෙන්න පුළුවන්.

13. යේසුස්ගේ කාලයේදී සමහර අය ඔහුගේ ගෝලයෙක් වීමට බාධාවක් කරගත්තේ මොන වගේ දේවල්ද?

13 යේසුස්ගේ කාලයේ සිටි සමහරු පෞද්ගලික කාරණා සහ පවුල් බැඳීම් තමන්ට බාධාවක් කරගත්ත නිසා ඔහුගේ ගෝලයෙක් වීමේ ප්‍රස්තාව අහිමි කරගත්තා. එක්තරා ලියන්නෙක් යේසුස් යන ඕනෑම තැනකට යන්න කැමති බව කීවත්, යේසුස් ඔහුට කීවේ හුඟක් වෙලාවලට තමන්ට නවාතැන් ගන්නවත් තැනක් තිබුණේ නැති බවයි. තම අනුගාමිකයා වෙන්න කියා යේසුස් ආරාධනා කළ තවත් කෙනෙක් කීවේ පළමුව තමාගේ පියාව “භූමදාන කරන්න” ඉඩ දෙන්න කියායි. පෙනෙන විදිහට ඔහු වැඩි කැමැත්තක් දැක්වූයේ තම පියා මිය යන තෙක් ගෙදර රැඳී සිටීමටයි. මුලින් යේසුස්ගේ ගෝලයෙක් වී අවශ්‍ය අවස්ථාවේදී තම පවුල් වගකීම් ඉටු කිරීම වඩා සුදුසුයි කියා ඔහු සිතුවේ නැහැ. ‘තමාගේ ගෙයි වැසියන්ගෙන් සමුගෙන එන්න’ තිබෙන බව තවත් කෙනෙක් කියා සිටියා. ඒ විදිහට දේවල් කල් දැමීම යේසුස් විස්තර කළේ තමා අත්හැර ගිය දේවල් දෙස ‘ආපසු හැරී බැලීමක්’ හැටියටයි. මෙයින් පෙනෙන්නේ, තම ක්‍රිස්තියානි වගකීම්වලින් ලිස්සා යෑමට උත්සාහ කරන අයට ඒ සඳහා ඕන තරම් නිදහසට කරුණු තිබෙන බවයි.—ලූක් 9:57-62.

14. (අ) මිනිසුන්ව ගෝලයන් කරන්න එන්න කියා යේසුස් කළ ආරාධනයට පේතෘස්, අන්දෘ, යාකොබ් සහ යොහන් ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? (ආ) යේසුස්ගේ වියගහ භාර ගැනීමට අප අදිමදි නොකළ යුත්තේ ඇයි?

14 ඊට හාත්පසින්ම වෙනස්ව පේතෘස්, අන්දෘ, යාකොබ් සහ යොහන් තැබුවේ කදිම ආදර්ශයක්. තම අනුගාමිකයන් වී මිනිසුන්ව ගෝලයන් කිරීමට හවුල් වෙන්න කියා යේසුස් ආරාධනා කළ විට “එකෙණෙහිම ඔවුහු දැල් අත්හැර, ඔහු අනුව ගියහ” කියා බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 4:19-22) සිත සිතා ඉන්නේ නැතුව ගත්ත ඒ තීරණය ඔවුන්ට බරක් වුණේ නැහැ. යේසුස්ගේ මේ වචන ඒ වන විටත් ඔවුන් අද්දැක තිබුණා. “මා මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු බැවින් මාගේ වියගහ ඔබ පිටට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබේ ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලැබෙනවා ඇත. මන්ද මාගේ වියගහ පහසුය, බරද සැහැල්ලුය.” (මතෙව් 11:29, 30) බව්තීස්මය සමඟ එන වගකීම්වල යම් බරක් තිබෙන බව ඇත්තයි. නමුත් එය පහසු මෙන්ම දරාගත හැකි බරක් වෙනවා වගේම ඉන් අපේ ජීවිතවලට මහත් ප්‍රාණවත් බවක් ලැබෙනවා කියාත් යේසුස් අපට සහතික වෙනවා.

15. දෙවිගේ උපකාරය අපිට ලැබෙන බවට සහතික වෙන්න පුළුවන් කියලා මෝසෙස් සහ යෙරෙමියාගේ ආදර්ශ පෙන්වන්නේ කොහොමද?

15 බව්තීස්මය සමඟ එන වගකීම් ඉටු කරන්න තමන්ට හැකි වෙයිද කියා කෙනෙකුට යම් භයක් දැනීම සාමාන්‍ය දෙයක්. මුලින් මෝසෙස්ට සහ යෙරෙමියාට හැඟුණෙත් ඒ විදිහටයි. (නික්මයාම 3:11; යෙරෙමියා 1:6) නමුත් “මම සැබවින් ඔබ සමඟ සිටින්නෙමි” කියා මෝසෙස්ටත් “ඔබ ගලවන්ට මම ඔබ සමඟ සිටිමි” කියා යෙරෙමියාටත් පොරොන්දු වෙමින් යෙහෝවා දෙවි ඔවුන්ගේ බිය සැක දුරු කළා. (නික්මයාම 3: 12; යෙරෙමියා 1:8) දෙවිගේ උපකාරය අපට ලැබෙයි කියන නිසැකකම තියාගන්න අපටත් පුළුවන්. අපේ කැපවීමට එකඟව ජීවත් වීමට හැකි වෙයිද කියා අප තුළ නිතර නිතර ඇති වන සැකයන් නැති කරන්න දෙවි කෙරෙහි අපට තිබෙන ප්‍රේමයත් විශ්වාසයත් අපට උපකාරයක් වේවි. “ප්‍රේමයෙහි බියක් නැත. පරිපූර්ණ ප්‍රේමය බිය දුරු කරයි” කියා යොහන් ලිව්වේ ඒ නිසයි. (1 යොහන් 4:18) කුඩා දරුවෙකුට තනිවම ඇවිදින්න භයක් හිතුණත් තම පියාගේ අත අල්ලාගෙන යද්දී ඒ දරුවාට භයක් දැනෙන්නේ නැහැ. ඒ හා සමානව යෙහෝවා දෙවි කෙරෙහි මුළු හදින්ම විශ්වාස කරමින් ඔහුත් සමඟම ඇවිදිනවා නම්, අපේ ජීවිත ගමනේ ‘මාවත් සමතලා කරන’ බවට දෙවි පොරොන්දු වෙනවා.—හිතෝපදේශ 3:5, 6.

ඉතාමත් ගෞරවනීය අවස්ථාවක්

16. බව්තීස්මයේදී සම්පූර්ණයෙන්ම වතුරේ ගිල් වන්නේ ඇයි?

16 බව්තීස්මයට පෙර, එහි ඇති වැදගත්කම පැහැදිලි කරමින් බයිබල් කරුණු ඇතුළත් කතාවක් ඉදිරිපත් කරනවා. මේ කතාව අවසානයේදී බව්තීස්ම අපේක්ෂකයන් ප්‍රශ්න දෙකකට පිළිතුරු දීමෙන් ඔවුන් තම ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. (රෝම 10:10; සහ 22වන පිටුවේ කොටුව බලන්න.) ඉන්පසුව ඔවුන්ව වතුරේ ගිල්වා බව්තීස්ම කරනවා. යේසුස් බව්තීස්ම වන විට “දියෙන් උඩට මතු විය” කියා බයිබලයේ පවසන දෙයින් පැහැදිලි වෙන්නේ ඔහුත් ඒ ආකාරයටම බව්තීස්ම වූ බවයි. (මතෙව් 3:16; මාක් 1:10) එහිදී යොහන් බව්තීස්ත යේසුස්ව සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්වා ගත් බව පැහැදිලියි. * එසේ වතුරේ සම්පූර්ණයෙන්ම ගිල්වීමෙන් සංකේතවත් කරන්නේ, අපේ පරණ ජීවිතය අවසන් කර දෙවිට සේවය කිරීම සඳහා අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට අපේ ජීවිතයේ සම්පූර්ණ වෙනසක් කර ඇති බවයි.

17. බව්තීස්ම අපේක්ෂකයන්ටත් අන් අයටත් එම වැදගත් අවස්ථාවේ ගෞරවනීයභාවය රැකගන්න පුළුවන් කොහොමද?

17 බව්තීස්ම වන අවස්ථාව ප්‍රීතිමත් මෙන්ම බැරෑරුම් අවස්ථාවක්. යොහන්, යේසුස්ව යොර්දාන් ගඟේ බව්තීස්ම කළ අවස්ථාවේදී යේසුස් යාච්ඤා කළ බව බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 3:21, 22) මේ ආදර්ශයට අනුව, බව්තීස්ම අපේක්ෂකයන් ඒ අවස්ථාවේදී ගෞරවනීය විලාශයකින් හැසිරීම අවශ්‍යයි. එදිනෙදා ජීවිතයේදීත් විනීතව ඇඳ පැළඳ සිටින්න කියායි බයිබලය අපට උනන්දු කරන්නේ. එහෙමනම් ඊට වඩා කොපමණ වැඩියෙන් බව්තීස්ම වන අවස්ථාවේදී අපි විනීතව ඇඳ පැළඳ සිටිය යුතුද! (1 තිමෝති 2:9) ඒ අවස්ථාව බැරෑරුම් ලෙස සලකා කතාවට හොඳින් සවන් දී, බව්තීස්මය දෙස ගෞරවාන්විතව බලා සිටීම බව්තීස්ම අපේක්ෂකයන් නොවන අයගෙනුත් බලාපොරොත්තු වෙනවා.—1 කොරින්ති 14:40.

බව්තීස්ම වූ අය අද්දකින ආශීර්වාද

18, 19. බව්තීස්මය නිසා ලැබෙන වරප්‍රසාද සහ ආශීර්වාද මොනවාද?

18 අප දෙවිට කැපවී බව්තීස්ම වුණාට පස්සේ අපි විශේෂ පවුලක සාමාජිකයන් බවට පත් වෙනවා. අප ලබන පළමු ආශීර්වාදය නම් යෙහෝවා දෙවි අපේ පියා සහ අපේ මිත්‍රයා වීමයි. බව්තීස්මයට පෙර අප දෙවිගෙන් ඈත්ව සිටියත් දැන් අපි ඔහුගේ මිත්‍රයන් වී සිටිනවා. (2 කොරින්ති 5:19; කොලොස්සි 1:20) ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව නිසා අප දෙවිට ළංවී සිටිනවා වගේම ඔහුත් අපට ළං වෙනවා. (යාකොබ් 4:8) යෙහෝවා තම නම පාවිච්චි කරන හා එය නියෝජනය කරන අයට සවන් දෙන ආකාරය ගැනත් ඔවුන්ගේ නම් තම සිහිවීමේ පොතට ඇතුළත් කරන ආකාරය ගැනත් අනාගතවක්තෘ මලාකි විස්තර කරන්නේ මෙහෙමයි. “ඔව්හු මට විශිෂ්ට වස්තුවක් වන්නෝය. මනුෂ්‍යයෙක් තමාට මෙහෙ කරන පුත්‍රයෙකුට දඬුවම් නොකර හරින්නාක් මෙන් මම ඔවුන්ට දඬුවම් නොකරන්නෙමියි සේනාවන්ගේ යෙහෝවා කියන්නේය.”—මලාකි 3:16-18.

19 බව්තීස්මයෙන් පසුව අපි ලෝක ව්‍යාප්ත සහෝදරත්වයක සාමාජිකයන් වෙනවා. යේසුස්ගේ අනුගාමිකයන් කළ පරිත්‍යාගවලට ඔවුන්ට ලැබෙන්නේ මොන වගේ ආශීර්වාද කියා පේතෘස් ඇසූ විට, යේසුස් පොරොන්දු වූ දෙයින් මෙය පැහැදිලි වෙනවා. “මාගේ නාමය නිසා ගේ දොර හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මව හෝ දරුවන් හෝ වතු පිටි හෝ අත්හැර තිබෙන සියල්ලන්ට ඊට වඩා බොහෝ වැඩියෙන් ලැබෙන්නේය. ඔවුන්ට සදාකාල ජීවනයද උරුම වන්නේය.” (මතෙව් 19:29) ‘ලෝකයේ සිටින මුළු සහෝදර සංගමයේ’ වර්ධනය ගැන ඊට වසර ගණනාවකට පසුව පේතෘස් ලිව්වා. ප්‍රේමණීය සහෝදරත්වයකින් ලැබෙන උපකාරය හා ආශීර්වාද පේතෘස් පෞද්ගලිකව අද්දැක තිබුණා. අපටත් එයම අද්දකින්න පුළුවන්.—1 පේතෘස් 2:17; 5:9.

20. බව්තීස්මය නමැති වරප්‍රසාදයෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

20 ඒ විතරක් නෙවෙයි, තමන්ව අනුගමනය කරන අයට සදාකාල ජීවනය ලැබෙන බව යේසුස් කිව්වා. කැපවී බව්තීස්ම වීමෙන් කෙනෙකුට “සැබෑ ජීවිතය” වන පාරාදීස පොළොවේ සදාකාල ජීවනය “තදින් අල්ලාගැනීමට” හැකි වන බව ස්ථිරයි. (1 තිමෝති 6:19) ඇත්තෙන්ම, අපෙත් අපේ පවුලේ අයගෙත් අනාගතය වෙනුවෙන් මීට වඩා කළ හැකි දෙයක් මේ කාලයේ තිබෙනවාද? එවැනි ආශීර්වාද ලබාගැනීමට අපිට ලැබී තිබෙන මේ වරප්‍රසාදය නිසා අපට “අපේ දෙවි වූ යෙහෝවාගේ නමින් සදාකාලයටම ගමන් කිරීමට” හැකියාවක් ලැබෙනවා නොඅනුමානයි!—මීකා 4:5.

[පාදසටහන්වල]

^ 4 ඡේ. මේ හා සමානව පෙන්තකොස්ත දවසේදී පේතෘස්ගේ කතාවට සවන් දුන් යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු තුන් දහසක් පමණ දෙනාත් ඉක්මනින්ම බව්තීස්ම වුණා. ඉතියෝපියානු නිලධාරියා මෙන් ඔවුන්ටත් දෙවිගේ වචනයේ මූලික ඉගැන්වීම් සහ ප්‍රතිපත්ති ගැන ඒ වන විටත් හොඳ දැනුමක් තිබුණා.—ක්‍රියා 2:37-41.

^ 16 ඡේ. බැප්ටිස්මා (බව්තීස්මය) යන ග්‍රීක් වචනයෙන් අදහස් කරන්නේ “සම්පූර්ණයෙන්ම ජලය යටට ගිලී උඩට මතුවීමයි” කියා එක් ශබ්දකෝෂයක් පවසනවා.—Vine’s Expository Dictionary of New Testament Words.

ඔබ දන්නවාද?

• අපට යෙහෝවාගේ ප්‍රේමයට ප්‍රතිචාරය දක්වන්න පුළුවන් කොහොමද? ඒ ඇයි?

• කෙනෙක් බව්තීස්මයට පෙර සත්‍යය තුළ කොපමණ දුරකට දියුණු විය යුතුද?

• වගකීම් භාර ගැනීමට ඇති අකමැත්ත හෝ තමන් අසමත් වේවි කියන භය, බව්තීස්මයට බාධාවක් කර නොගත යුත්තේ ඇයි?

• යේසුස් ක්‍රිස්තුස්ගේ බව්තීස්ම ලත් ගෝලයන්ට ලැබෙන විශේෂ ආශීර්වාද මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

“මට බව්තීස්ම වීමට ඇති බාධාව කුමක්ද?”

[29වන පිටුවේ පින්තූර]

බව්තීස්ම වන අවස්ථාව ප්‍රීතිමත් මෙන්ම බැරෑරුම් අවස්ථාවක්