Skip to content

පටුනට යන්න

වගකීම් දරද්දී යේසුස් මෙන් වෙන්න

වගකීම් දරද්දී යේසුස් මෙන් වෙන්න

වගකීම් දරද්දී යේසුස් මෙන් වෙන්න

මිනිසුන්ගේ හැසිරීම ගැන මීට වසර කිහිපයකට පෙර, එක්තරා පරීක්ෂණයක් පැවැත්වූවා. එයට සහභාගි වූ අයගෙන් එක් කණ්ඩායමක් සිරකරුවන් ලෙසත් අනෙක් කණ්ඩායම ඔවුන්ව බලාගන්නා ආරක්ෂක නිලධාරීන් හැටියටත් කණ්ඩායම් දෙකකට බෙදනු ලැබුවා. සිදු වුණේ කුමක්ද?

වාර්තාවේ සඳහන් වන්නේ මෙහෙමයි. “ටික දවසක් යද්දී, මේ [ආරක්ෂක නිලධාරීන්] වැඩිදෙනෙක් සිරකරුවන්ට හිරිහැර කරන්න පටන්ගත්තා. ඔවුන්ට නින්දා අපහාස කළා. නිතර නිතර දඬුවම් කළා. ඒ නිසාම සිරකරුවන් භයෙන් ඔවුන්ට යටත් වුණා.” මෙම පරීක්ෂණය පැවැත්වූ අය අන්තිමට නිගමනය කළේ, යම් වගකීම් දරන ඕනෑම පුද්ගලයෙක් ලෙහෙසියෙන්ම තමන්ට තිබෙන බලතල අනිසි ලෙස පාවිච්චි කිරීමේ උගුලට හසුවෙන්න පුළුවන් බවයි.

බලතල පාවිච්චි කිරීමේ හරි හා වැරදි පැති

බලතල හරි විදිහට පාවිච්චි කරන කෙනෙක් අන් අයට කරන්නේ ලොකු යහපතක්. එසේ කිරීමෙන් තමන් යටතේ සිටින අයට නිසි මඟ පෙන්වීම් ලබාදෙන අතර, එය ඔවුන්ට ශාරීරිකවත් මානසිකවත් හොඳ බලපෑමක් කරන අතර දෙවි කෙරෙහි ඇති ඔවුන්ගේ ඇදහිල්ලත් ශක්තිමත් වෙනවා. (හිතෝපදේශ 1:5; යෙසායා 48:17, 18) ඒ වුණත්, කලින් සඳහන් කල පරීක්ෂණයෙන් ඔප්පු වුණා වගේ, තමාට තිබෙන බලතල හෝ වගකීම් ගැන ඕනෑවට වඩා වැඩියෙන් හිතුවොත් ඉන් සිදු වෙන්නේ ලොකු හානියක්. “දුෂ්ටයෙකු ආණ්ඩු කරන කල, සෙනඟ සුසුම්ලති” කියා බයිබලය කියන්නේ ඒ නිසයි.—හිතෝපදේශ 29:2; දේශනාකාරයා 8:9.

කෙනෙකුට කොයි තරම් හොඳ චේතනා තිබුණත්, තමන්ට තිබෙන බලතල හරි විදිහට පාවිච්චි කළේ නැත්නම් එය හානිදායකයි. නිදසුනකට, මෑතකදී අයර්ලන්තයේ ආගමික නිකායක් මගින් නඩත්තු කරන එක්තරා පාසැලක ගුරුවරු තමන්ට තිබෙන බලතල අනිසි ලෙස පාවිච්චි කළ නිසා මහජනයාගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටියා. මේ ගුරුවරුන්ට හොඳ චේතනා තිබුණා වෙන්න පුළුවන්. ඒත් කොතරම් හොඳ චේතනා තිබුණත් සමහර ගුරුවරු ළමුන්ට සැලකූ විදිහ නම් ඉතා නරකයි. එක් පුවත්පතක් මේ ගැන වාර්තා කළේ මෙහෙමයි. “ළමුන්ට ඉගැන්වූ පූජකවරු ඉතා කුරිරු සහ රළු ලෙස ඉගැන්වූ නිසා හුඟක් ළමුන් සිටියේ ශාරීරිකව හා මානසිකව තුවාල වෙලයි.” (දි අයිරිෂ් ටයිම්ස්) එහෙමනම්, අන් අයව ඔබෙන් ඈත් කරගන්නේ නැතිව, වචනයෙන් හෝ ක්‍රියාවෙන් ඔවුන්ගේ සිත් රිදවන්නේ නැතිව ඔවුන්ගේ උපරිමය ලබාගන්න පුළුවන් වෙන විදිහට ඔබට ඇති බලතල පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?—හිතෝපදේශ 12:18.

“සියලු බලය” යේසුස් ක්‍රිස්තුස්ට දී තිබෙනවා

යේසුස් ගැන හිතන්න. ස්වර්ගයට යන්න ටිකකට කලින්, ඔහු ගෝලයන්ට කිව්වේ “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ” කියලයි. (මතෙව් 28:18) මේක අහපු ගෝලයන්ට භය හිතුණාද? තමන්ට විරුද්ධ වූ අයව මර්දනය කළ රෝමයේ සීසර් කෙනෙක් වගේ යේසුස් දැන් ක්‍රියා කරයි කියා ඔවුන්ට හිතුණාද?

ගෝලයන් එහෙම හිතුවේ නැති බව බයිබල් වාර්තාව දෙස බලද්දී අපිට පැහැදිලිව පෙනෙනවා. යේසුස් තමන්ට තිබෙන බලතල පාවිච්චි කරන්නේ තම පියාණන් කරන විදියටමයි. යෙහෝවා දෙවි මේ මහා විශ්වයේ අධිපති වුවත්, සර්වබලධාරී දෙවි වුවත්, ඔහුට ඕන කරන්නේ මිනිසුන් ඔවුන්ගේ කැමැත්තෙන්ම තමන්ට සේවය කරනවා දකින්නයි. එහෙම නැතුව කිසිම හැඟීමක් නැතිව, භයෙන් වහලෙක් වගේ සේවය කරනවා දකින්න නෙවෙයි. (මතෙව් 22:37) යෙහෝවා කවදාවත් තම බලතල හෝ අධිකාරය අයුතු ලෙස පාවිච්චි කරන්නේ නැහැ. අනාගතවක්තෘවරයෙක් වූ එසකියෙල්ට දෙවි දුන් දර්ශනයකින් මේ බව පැහැදිලි වෙනවා.

මේ දර්ශනයේදී, එසකියෙල් දේවදූතයන් හතරදෙනෙකුව දැක්කා. මොවුන් දෙවිගේ පාලන බලය නියෝජනය කළ දේවදූතයන්. මේ එක් එක් දේවදූතයාට මුහුණු හතරක් තිබුණා. එසකියෙල් මෙහෙම ලියනවා. “ඔවුන්ගේ මුහුණුවල පෙනීම මෙසේය; ඔවුන්ට මනුෂ්‍ය මුහුණක්ද ඔවුන් සතරදෙනාට දකුණු පැත්තේ සිංහ මුහුණක්ද ඔවුන් සතරදෙනාට වම් පැත්තේ ගොන් මුහුණක්ද ඔවුන් සතරදෙනාට රාජාලි මුහුණක්ද තිබුණේය.” (එසකියෙල් 1:10) මේ මුහුණු හතරෙන් නියෝජනය වෙන්නේ දෙවිගේ ප්‍රධාන ගුණාංග හතරයි. මිනිසෙකුගේ මුහුණින් ප්‍රේමයත්, සිංහයෙකුගේ මුහුණින් යුක්තියත්, රාජාලියෙකුගේ මුහුණකින් ප්‍රඥාවත් නියෝජනය වන බව දේවවචනයේ පෙන්වනවා. මෙම ගුණාංග තුන සමඟ දෙවි ඉතා සමබරව පාවිච්චි කරන හතරවන ගුණාංගය වන බලය, ගවයෙකුගේ මුහුණින් නියෝජනය වෙනවා. මේ දර්ශනයෙන් අපට පෙන්වන දේ නම්, යෙහෝවා දෙවිට කොතරම් අසීමිත බලයක් තිබුණත්, ඔහු කිසිම විටෙකත් අනෙක් ගුණාංගවලට පටහැනිව එම බලය පාවිච්චි කරන්නේ නැති බවයි.

තම පියාණන් වගේ යේසුස් තමන්ට තිබෙන අධිකාරය හෝ බලතල සෑම වේලාවෙම පාවිච්චි කළේ ප්‍රේමය, ප්‍රඥාව සහ යුක්තිය පූර්ණ වශයෙන් පිළිබිඹු කරමින්. යේසුස්ගේ අධිකාරය යටතේ සේවය කළ ඔහුගේ ගෝලයන්ට දැනුණේ ඉමහත් ප්‍රබෝධයක්. (මතෙව් 11:28-30) යම් කෙනෙක් යෙහෝවා දෙවිගේ හා යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රධාන ගුණාංග ගැන කතා කරද්දී මුලින්ම සඳහන් කරන්නේ ඔවුන්ගේ ප්‍රේමය ගැන මිසක ඔවුන්ගේ බලය හෝ අධිකාරය ගැන නම් නොවේ!—1 කොරින්ති 13:13; 1 යොහන් 4:8.

වගකීම් දරන ඔබ ගැන කුමක් කිව හැකිද?

ඔබ පවුලේ මූලිකයා කියා හිතන්න. පවුලේ හැම දෙයක්ම වෙන්නේ ඔබටම ඕනෑ විදිහටද? පවුලේ අනික් අය ඔබ ගන්නා තීරණවලට එකඟ වන්නේ ඔබට තිබෙන භය නිසාද, නැත්නම් ඔබට තිබෙන ආදරය නිසාද? ඔවුන් යටත් වෙන්නේ පියා හෝ ස්වාමිපුරුෂයා වශයෙන් ඔබට තිබෙන අධිකාරිය නිසාද? හැම පවුල් මූලිකයෙක්ම මේ ගැන කල්පනා කරනවා නම් දෙවි පෙන්වා තිබෙන විදිහට පවුල තුළ දේවල් පිළිවෙළකට කරගන්න පුළුවන් වෙනවා.—1 කොරින්ති 11:3.

ඔබ ක්‍රිස්තියානි සභාවේ යම් වගකීම් දරන කෙනෙක් නම්, තත්වය කුමක්ද? ඔබට දී තිබෙන යම් බලතල ඔබ හරි විදිහට පාවිච්චි කරනවාද? මේ ගැන යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේ ලියනු ලැබූ, යේසුස් ක්‍රිස්තුස් ක්‍රියාවෙන් පෙන්වූ පහත සඳහන් වටිනා ප්‍රතිපත්ති ඔබ අදාළ කරගෙන තිබෙනවාද කියා තමන්වම සෝදිසි කර බලන්න.

“ස්වාමීන්ගේ දාසයෙකුට . . . සියල්ලන් කෙරෙහි මෘදු ලෙස කටයුතු කිරීම අවශ්‍යය. . . . නපුර ඉවසා දරාගෙන සිටින්නත්, කැමැත්තක් නොදක්වන අයට මෘදුකමින් යුක්තව උගන්වන්නත් අවශ්‍යය.”2 තිමෝති 2:24, 25.

මුල් ක්‍රිස්තියානි සභාවේ වගකීම් දැරූ ඇතැම් පුද්ගලයන්ට මහත් බලතල දී තිබුණා. තිමෝති ඒ වගේ කෙනෙක්. ‘වෙනස් ඉගැන්වීමක් නූගන්වන ලෙස සමහරුන්ට අණ කිරීමට’ පවා ඔහුට හැකිකම තිබුණා. (1 තිමෝති 1:3) නමුත් තිමෝති කළ හැම දේකදීම ඔහු දෙවිගේ ගුණාංග විදහා පෙන්වූ බව නම් කිසිම සැකයක් නැහැ. සභාවේ කටයුතු හසුරුවද්දී “මෘදුකමින් යුක්තව උගන්වන්නත්” ඒ වගේම “සියල්ලන් කෙරෙහි මෘදු ලෙස කටයුතු කරන්නත්” කියා පාවුල් දුන් උපදෙසට අනුව ඔහු වැඩ කළ බව ස්ථිරයි. තිමෝති තරුණ වියේ පසු වූ නිසා පාවුල් තිමෝතිට උපදෙස් දුන්නේ වයසින් වැඩි අයට පුත්‍රයෙක් මෙන් හා බාල අයට වැඩිමල් සහෝදරයෙක් මෙන් සභාවේ හැසිරෙන්න කියායි. (1 තිමෝති 5:1, 2) එවන් ප්‍රේමණීය සැලකිල්ලක් යටතේ ක්‍රිස්තියානි සභාවක් තුළ පවතින්නේ පවුලක වගේ ආදරය හා උණුසුම පිරී යන වාතාවරණයක් මිසක කිසිම සුහදතාවේ හැඟීමක් නැති ව්‍යාපාරික ආයතනයක තිබෙන වාතාවරණයක් නෙවෙයි.—1 කොරින්ති 4:14; 1 තෙසලෝනික 2:7, 8.

‘ජාතීන්ගේ පාලකයන් ඔවුන් කෙරෙහි අනිසි ලෙස බලය පවත්වති. උත්තමයන් ඔවුන් කෙරෙහි ආධිපත්‍යය පතුරුවති. නමුත් ඔබ අතර එසේ නොවේ. ඔබ අතරෙහි උතුම් වන්න ඕනෑ කරන යමෙක් සිටී නම්, ඔහු ඔබේ සේවකයා විය යුතුය.’—මතෙව් 20:25, 26.

බොහෝ පාලකයන් හා අධිපතීන් තමන් යටතේ සිටින්නන් කෙරෙහි ‘අනිසි ලෙස බලය පවත්වන්නේ’ යම් දේවල් තමන්ට ඕන විදිහට කරන්න බල කරමින්. තමන්ට අකීකරු වුවොත් දඬුවම් කරන බවට තදින් කියා සිටිමින්. ඒත්, යේසුස් නිතරම පැවසුවේ අනුන්ට සේවය කරන්න කියා මිසක් ඔවුන්ට බලපෑම් කරන්න කියා නෙවෙයි. (මතෙව් 20:27, 28) ඔහු හැම වෙලාවකම තම ගෝලයන්ට සැලකුවේ ඉතාමත් ප්‍රේමණීය හා මෘදු ආකාරයකිනුයි. වගකීම් දරන ඔබත් යේසුස් වගේ දේවල් කරනවා නම්, අනික් අයට හරිම පහසුයි ඔබට සහයෝගය දක්වන්න. (හෙබ්‍රෙව් 13:7, 17) ඔබ එහෙම කරනවා නම්, බල කරන නිසා නොව ඔවුන්ගේම කැමැත්තෙන් හැකි නම්, ඔබ බලාපොරොත්තු වනවාටත් වඩා වැඩියෙන් වුණත් කරන්න ඔවුන් ඉදිරිපත් වෙන බව නම් නිසැකයි.—මතෙව් 5:41.

“ඔබට භාර දෙන ලද දෙවිගේ රැළ රැකබලා ගන්න. . . . දෙවිගේ උරුමය වී සිටින්නන් කෙරෙහි අනිසි ලෙස බලය නොපවත්වා, රැළට ආදර්ශයක් වෙමින් එසේ කරන්න.” 1 පේතෘස් 5:2, 3.

සභාවේ අවේක්ෂකයන් හොඳින් දන්නා දෙයක් තමයි, තම සභාවේ ඉන්න හැම කෙනෙකුගේම ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීමට තමන්ට වගකීමක් තිබෙනවා කියන එක. මෙය ඔවුන් සලකන්නේ ඉතා බැරෑරුම් වගකීමක් හැටියටයි. ඒ නිසා ඔවුන් දෙවිගේ රැළ බලාගන්නේ ඉතාමත් ආදරයෙන් කැමැත්තෙන් හා උනන්දුවෙනුයි. පාවුල් මෙන් ඔවුන්ද තමන්ට භාර දී සිටින අයව දිරිගන්වා ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගන්න ලොකු උත්සහයක් දරනවා. එහෙම නැතිව අවේක්ෂකයන් කිසිම විටෙකත් තමන්ට භාර දී ඇති අයගේ ඇදහිල්ල පාලනය කරන්න යන්නේ නැහැ.—2 කොරින්ති 1:24.

සමහර අවස්ථාවලදී වෙනත් අයට උපදෙස් දෙන්න වැඩිමහල්ලන්ට සිදු වෙනවා. වැරදි කරන කෙනෙකුට වැරදි හදාගැනීමට උපදෙස් දෙන්නේ හෝ තවත් කෙනෙකුට දෙවි සමඟ ඇති මිත්‍රත්වය තවත් ශක්තිමත් කරගෙන සත්‍යය තුළ දියුණු වෙන්න උපකාර කරන්නෙත් ඉතාමත් මෘදු විදිහටයි. පාවුල් දුන් මේ සිහිගැන්වීම ඔවුන් මතකයේ තබාගන්නවා. “සහෝදරයෙනි, යමෙකු නොදැනුවත්ව හෝ යම් වැරදි පියවරක් ගත්තොත්, ආත්මික සුදුසුකම් ඇති ඔබ මෘදුකමින් එවැනි කෙනෙකුව නිවැරදි මාර්ගයට ගෙන ඒමට උත්සාහ කරන්න. එසේ කරද්දී, ඔබද පරීක්ෂාවට හසු විය හැකි නිසා ඔබ ඔබ ගැනත් සෝදිසියෙන් සිටින්න.”—ගලාති 6:1, හෙබ්‍රෙව් 6:1, 9-12.

“එකිනෙකා ගැන ඉවසමින්, මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න. . . . ප්‍රේමය පැළඳගන්න. මන්ද එය එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමකි.”—කොලොස්සි 3:13, 14.

ක්‍රිස්තියානි ප්‍රමිති සීයට සීයක් පිළිපැදීමට අසමත් වන අය එක්ක ඔබ කටයුතු කරන්නේ කොහොමද? ඔවුන් අතින් අඩුපාඩු වෙනකොට ඔබ යෙහෝවා දෙවි සහ යේසුස් වගේ ඔවුන්ගේ පව්කාර ස්වභාවය සැලකිල්ලට ගන්නවාද? (යෙසායා 42:2-4) නැත්නම් සෑම දේකදීම අකුරට වැඩ කරන්නට ඕනෑ කියා ඔබ තදින් කියනවාද? (ගීතාවලිය 130:3) හැම අවස්ථාවකදීම මෘදුකමින් දේවල් කරන්නත් අවශ්‍ය තැන්වලදී පමණක් ස්ථිරව දේවල් කරන්නත් මතක තබාගන්න. ඔබ ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයෙක් නම්, ඔබ සහ ඔබ යටතේ සිටින අය අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් හා තද බැඳීමක් ඇති වෙනවා නියතයි.

ඔබටත් ඕනෑම ආකාරයක වගකීමක් ලැබුණ විට, යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් ක්‍රියා කරන ආකාරයට එය කරන්න දැඩි උත්සාහයක් දරන්න. දාවිත් ගායනා කළේ “යෙහෝවා මාගේ එඬේරාය. මට හිඟයක් නොවන්නේය. ඔහු නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වන්නේය. නිශ්චල වූ දිය අසලින් මා ගෙන යන්නේය. ඔහු මාගේ සිත ප්‍රාණවත් කරන්නේය. ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙන යන්නේය” කියායි. ගීතිකාකරු මේ ගීතිකාවෙන් යෙහෝවා දෙවි අධිකාරය හොබවන අන්දම ගැන කොච්චර ලස්සන චිත්‍රයක් අපේ සිතේ මවනවාද! යේසුස් කීවේ “උතුම් එඬේරා මමය. මම මාගේ බැටළුවන් අඳුනමි. මාගේ බැටළුවෝද මාව අඳුනති. එය හරියට පියාණන් මාව අඳුනන්නාක් මෙන්ද, මා පියාණන් අඳුනන්නාක්මෙන්ද වේ. බැටළුවන් උදෙසා මම මාගේ ජීවිතය දෙන්නෙමි” කියායි. ඔහුත් කොතරම් කදිම ආදර්ශයක්ද! එහෙමනම්, වගකීම් දරන ආකාරය සම්බන්ධයෙන් අපට ආදර්ශයට ගන්න පුළුවන් මීට වඩා මීට වඩා හොඳ කෙනෙක් ඉන්නවාද?—ගීතාවලිය 23:1-3; යොහන් 10:14, 15.

[18වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යෙහෝවා සැමවිටම බලය පාවිච්චි කරන්නේ යුක්තිය, ප්‍රඥාව හා ප්‍රේමය යන උදාර ගුණාංගවලට එකඟවයි

[18වන පිටුවේ පින්තූරය]

සමහර අවස්ථාවලදී වැරදි කරන අයට ප්‍රේමණීයව උපදෙස් දීමට වැඩිමහල්ලන්ට සිදු වෙනවා

[19වන පිටුවේ පින්තූරය]

පාවුල් තිමෝතිට උපදෙස් දුන්නේ වයසින් වැඩි අයට පුත්‍රයෙක් මෙන් හා බාල අයට වැඩිමල් සහෝදරයෙක් මෙන් සභාවේ හැසිරෙන්න කියායි

[20වන පිටුවේ පින්තූරය]

යේසුස් ක්‍රිස්තුස් තම බලතල පාවිච්චි කරන්නේ ප්‍රඥාවන්තව, යුක්තිසහගතව මෙන්ම ප්‍රේමණීය අන්දමටයි