Skip to content

පටුනට යන්න

ඔබේ අත් සවි කරගන්න

ඔබේ අත් සවි කරගන්න

ඔබේ අත් සවි කරගන්න

“අනාගතවක්තෲන්ගේ කටින් කියන ලද මේ වචන මේ දවස්වලදී අසන ඔබේ අත් සවි කරගන්න.”—සෙකරියා 8:9.

1, 2. හග්ගයි සහ සෙකරියා පොත්වල සඳහන් තොරතුරුවලට අවධානය යොමු කළ යුත්තේ ඇයි?

හග්ගයි සහ සෙකරියා අනාවැකි පළ කළේ අවුරුදු 2,500කට ඉහතදී වුවත් එම අනාවැකිවලින් අපට වැදගත් පාඩම් ඉගෙනගන්න පුළුවන්. මෙම පොත් දෙකේ සඳහන් වන්නේ පුරාණයේ සිදු වූ දේවල විස්තරයක් පමණක් නොවෙයි. ‘අපේ ඉගෙනීම සඳහා කලින් ලියන ලද සියල්ලට’ මෙම පොත් දෙකත් ඇතුළත්. (රෝම 15:4) වර්ෂ 1914දී ස්වර්ගයේ දෙවිගේ රාජ්‍යය පිහිටෙවූ දා සිට සිදුවෙමින් පවතින දේවල් ගැනත් ඒවායේ අනාවැකි පළ කර තිබෙනවා. මේවා ගැන සිතා බැලීම අපට ප්‍රයෝජනවත් වෙනවා.

2 පුරාණයේ සිටි දෙවිගේ සෙනඟ මුහුණ දුන් දේවල් ගැන පාවුල් මෙසේ සඳහන් කළා. “ඉතින් ඔවුන්ට සිදු වූ දේවල් අපට ආදර්ශයකි. ඒවා ලියනු ලැබුවේ සමාජ ක්‍රමවල අවසානයට පැමිණි අපට අනතුරු ඇඟවීමක් වන පිණිසය.” (1 කොරින්ති 10:11) එනිසා අපටත් අදාළ වන මේ අනාවැකි සම්බන්ධයෙන් මෙම ප්‍රශ්නය සලකා බැලීම සුදුසුයි. මේ පොත් දෙකෙන් අපට ඉගෙනගන්න පුළුවන් වැදගත් පාඩම් මොනවාද?

3. හග්ගයි සහ සෙකරියා මූලික අවධානය යොමු කළේ කුමකටද?

3 හග්ගයි සහ සෙකරියා අනාවැකි පළ කළේ යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස ලබා තම මව්බිමට පැමිණි කාලයේදී බව අප කලින් ලිපියේ සලකා බැලුවා. මේ අනාගතවක්තෘවරුන් දෙදෙනා මූලික අවධානය යොමු කළේ දේවමාලිගාව ගොඩනැඟීම කෙරෙහියි. ක්‍රිස්තු පූර්ව 536දී දේවමාලිගාවේ අත්තිවාරම දැමූ අවස්ථාවේදී මහලු වියේ පසු වූ සමහර යුදෙව්වන් අතීතය ගැන හිතමින් දුක් වුවද ‘බොහෝදෙනෙක් ප්‍රීතියෙන් මහත් ශබ්ද පැවැත්වුවා.’ අපගේ කාලයේ ඊටත් වඩා වැදගත් දෙයක් වෙනවා. ඒ කුමක්ද?—එස්රා 3:3-13.

4. පළමුවන ලෝක මහ යුද්ධය අවසන් වීමත් සමඟ සිදු වූයේ කුමක්ද?

4 පළමුවන ලෝක මහ යුද්ධය අවසන් වීමත් සමඟ යෙහෝවාගේ අභිෂේක ලත් සේවකයන් මහ බැබිලෝනියෙන් නිදහස ලැබුවා. මෙයින් පෙනී ගියේ යෙහෝවාගේ උපකාරය ඔවුන්ට තිබූ බවයි. බයිබල් ශිෂ්‍යයන් කරමින් සිටි දේශනා සේවය හා ඉගැන්වීම් කටයුතු නතර කර දමන්න ආගමික නායකයන්ට සහ දේශපාලනඥයන්ට හැකි වූ බවක් මුලදී පෙනෙන්ට තිබුණා. (එස්රා 4:8, 13, 21-24) නමුත් යෙහෝවා දෙවි මැදිහත් වී ඒ සියලු බාධක ඉවත් කළා. වර්ෂ 1919 පටන්, ගත වූ දශක ගණනාව පුරා ඔවුන් කරමින් සිටින දේශනා සේවය ලොව පුරා වර්ධනය වී තිබෙන අතර, කිසිවෙකුට එම සේවය නතර කරන්න හැකි වී නැහැ.

5, 6. සෙකරියා 4:7හි පවසන්නේ අපගේ කාලයේදී සිදු වන කුමන ශ්‍රේෂ්ඨ දෙයක් ගැනද?

5 මේ කාලයේ සිටින යෙහෝවාගේ කීකරු සේවකයන් ඔහුගේ උපකාරය ඇතිව දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය දිගටම කරගෙන යනවා. මේ ගැන සෙකරියා 4:7හි අපට මෙසේ කියවීමට තිබෙනවා. “ඔහු: ඊට කරුණාව වේවා, කරුණාව වේවයි ඝෝෂා කරමින් මුදුන් ගල ගෙනෙන්නේයයි කීය.” මෙම දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය තුළින් අපේ කාලයේ සිදු වන වඩා ශ්‍රේෂ්ඨ දෙයක් ගැනත් ඒ අනාවැකියෙන් කියාපානවා. ඒ කුමක්ද?

6 යෙහෝවාට පමණක් කරන නමස්කාරය ලොව පුරා පවතින කාලයක් ගැන සෙකරියා 4:7හි සඳහන් අනාවැකියෙන් කියාපානවා. සැමෝටම මෙම නමස්කාරයේ හවුල් වීමට ප්‍රස්තාව උදා වන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. මෙම නමස්කාරය සඳහා මූලික පදනම දමනු ලැබුවේ යේසුස් පොළොවට පැමිණි කාලයේදීයි. එදා පටන් සැබෑ නමස්කාරකයන්ව එක් රැස් කිරීමේ කාර්යය යේසුස් තම දේශනා සේවයෙන් ආරම්භ කළා. එදා ආරම්භ කළ මේ නමස්කාරයට මේ කාලයේදී මිලියන ගණනක් හවුල් වෙමින් සිටිනවා. මොවුනුත් නැවත නැඟිටුවනු ලබන අයත් යේසුස්ගේ දහස් අවුරුදු පාලන කාලයේදී මුල් මිනිස් යුවළ අකීකරු වීමට කලින් සිටි තත්වයට නැවත ක්‍රමක්‍රමයෙන් පත් වෙනවා. දහස් අවුරුදු පාලනය අවසානයේදී පවිත්‍ර වූ පොළොවේ සිටින්නේ යෙහෝවා දෙවිට නමස්කාර කරන අය පමණයි.

7. සැබෑ නමස්කාරය ව්‍යාප්ත කිරීමේ කාර්යයට යේසුස් සම්බන්ධ වන ආකාරය විස්තර කරන්න. මෙය අපට මහත් දිරිගැන්වීමක් වන්නේ මන්ද?

7 ක්‍රිස්තු පූර්ව 515දී දේවමාලිගාව ඉදි කිරීම නිම වූ අවස්ථාවේදී ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් සහ උත්තම පූජක යෝෂුවා සිටියා. සැබෑ නමස්කාරය පමණක් පොළොව පුරා ව්‍යාප්ත කිරීමේ කාර්යයට යේසුස් සම්බන්ධ වන ආකාරය සෙකරියා 6:12, 13හි මෙසේ පුරෝකථනය කර තිබෙනවා. “සේනාවන්ගේ යෙහෝවා මෙසේ කියන්නේය: බලව, අත්තයයි කියන ලද තැනැත්තා මේය. ඔහු තමන්ගේ ස්ථානයේ සිට වැඩී යෙහෝවාගේ මාලිගාව ගොඩනඟන්නේය. . . . ඔහු මහිමය දරන්නේය. තමන් සිංහාසනය පිට හිඳගන්නේය. ආණ්ඩු කරන්නේය. තමන් සිංහාසනයේ හිඳ පූජකයෙක් වන්නේය.” දාවිත්ගේ රාජකීය පෙළපතේ අත්තක් ලෙස පෙනී සිටින යේසුස් ස්වර්ගයේ සිට දෙවිගේ නමස්කාරය ව්‍යාප්ත කරමින් දේශනා සේවය අධීක්ෂණය කරන නිසා, එහි ඉදිරි ගමනට බාධා කරන්න කිසිවෙකුට බැහැ. අපගේ සේවයට බාධා කරන්න කිසිම දෙයකට ඉඩ නොදෙමින් දිගටම එය කරගෙන යන්න මෙය අපට දිරිගැන්වීමක් නොවේද?

මුල් තැන දිය යුතු දේ

8. යෙහෝවාගේ නමස්කාරය පුළුල් කිරීමේ කාර්යයට අප මුල් තැන දිය යුත්තේ ඇයි?

8 යෙහෝවාගේ උපකාරය හා ආශීර්වාද ලබාගන්න නම් ඔහුගේ නමස්කාරය පුළුල් කිරීමේ කාර්යයට අප මුල් තැන දිය යුතුයි. “කාලය මේක නොවේයයි” කියා පැවසූ යුදෙව්වන් මෙන් නොවී, අපි “අන්තිම දවස්වල” ජීවත් වන බව මතක තබාගැනීම වැදගත්. (හග්ගයි 1:2; 2 තිමෝති 3:1) යේසුස් පුරෝකථනය කළේ තම විශ්වාසවන්ත අනුගාමිකයන් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරමින් ගෝලයන් කිරීමේ කාර්යය දිගටම කරගෙන යන බවයි. අපි මෙම අනර්ඝ සේවය නොසලකා නොහැරීමට වගබලා ගත යුතුයි. යම් විරුද්ධවාදිකම් හේතුවෙන් තාවකාලිකව නතර වූ මෙම සේවය 1919 සිට නොකඩවා කෙරීගෙන යනවා. ඒ සේවය තවමත් සම්පූර්ණ කර නැහැ. නමුත් එය අනිවාර්යයෙන්ම සම්පූර්ණ වෙනවා!

9, 10. යම් කෙනෙක් දෙවිගේ ආශීර්වාද ලබාගැනීමට කුමක් කළ යුතුද?

9 අප දිගටම උද්‍යෝගයෙන් සේවය කරනවා නම් අපට කණ්ඩායමක් හැටියට මෙන්ම පෞද්ගලිකවත් ආශීර්වාද ලැබෙයි. මේ ගැන ස්ථිර විශ්වාසයක් ඇති කරගැනීම සඳහා යෙහෝවා දුන් මෙම පොරොන්දුව සලකා බලන්න. දේවමාලිගාවේ අත්තිවාරම දැමීමේ කාර්යයට උද්‍යෝගයෙන් හවුල් වූ යුදෙව්වන්ට යෙහෝවා මෙසේ පොරොන්දු වුණා. “අද පටන් මම ඔබට ආශීර්වාද කරන්නෙමි.” (හග්ගයි 2:19) ඔවුන් නැවතත් යෙහෝවාගේ සම්පූර්ණ අනුමැතිය ලැබූ බව ඔහු ඔවුන්ට ආශීර්වාද කර තිබෙන ආකාරයෙන් පැහැදිලියි. “සමාදානයේ බීජය එහි වන්නේය. මිදිවැල පළ දෙන්නීය. භූමිය වර්ධනය දෙන්නීය. ආකාශය පිනි දෙන්නේය. මේ සෙනඟගේ ඉතිරි අයට මේ සියල්ල හිමි කර දෙන්නෙමි.”—සෙකරියා 8:9-13.

10 යෙහෝවා යුදෙව්වන්ට සෑම ආකාරයකින්ම ආශීර්වාද කරන බවට පොරොන්දු වුණා. ඒ වගේ අපිත් අපට පවරා තිබෙන සේවයේ කඩිසරව හා සතුටු සිතින් හවුල් වෙනවා නම් ඔහු අපට ආශීර්වාද කරනවාට සැකයක් නැහැ. අප අතර පවතින සාමය, සුරක්ෂිතභාවය, තෘප්තිය මෙන්ම ශක්තිමත් ඇදහිල්ල ඒ ආශීර්වාදවලට අයත් වෙනවා. නමුත් යෙහෝවාගේ ආශීර්වාද දිගටම ලබන්න නම් අප අඛණ්ඩව යෙහෝවා කැමති විදිහට අපගේ සේවය කළ යුතු බව අපි තේරුම්ගෙන සිටිනවා.

11. අපි මුල් තැන දිය යුත්තේ කුමකටද කියා සෝදිසි කර බැලිය හැක්කේ කෙසේද?

11 ‘අපගේ මාර්ගයන් සිතට ගැනීමට’ කාලය දැනුයි! (හග්ගයි 1:5, 7) අපගේ ජීවිතයේ මුල් තැන දෙන්නේ කුමකටද කියා අප එක් එක් කෙනා හොඳින් සිතා බැලිය යුතුයි. අදත් යෙහෝවා අපිට ආශීර්වාද කරන්නේ ඔහුගේ නාමය ගෞරවයට පත් කරමින් දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල් වන තරමටයි. මෙම ප්‍රශ්න ගැන හොඳින් සිතා බැලීම වැදගත්. ‘මගේ ජීවිතයේ මුල් තැන දිය යුතු දේවලට තවමත් මම මුල් තැන දෙනවාද? මම බව්තිස්ම වූ කාලයේදි මට යෙහෝවා කෙරෙහි තිබූ ප්‍රේමය තවමත් තිබෙනවාද? එමෙන්ම සත්‍යය හා දේවසේවය කෙරෙහි තිබූ උද්‍යෝගය තවමත් එලෙසම තිබෙනවාද? සුඛෝපභෝගි ජීවන රටාවක් අත් කරගැනීමට යෑමෙන් යෙහෝවා සහ රාජ්‍යය කෙරෙහි තිබූ මගේ උනන්දුව අඩු වෙලාද? අන් අය මා ගැන මොනවා සිතාවිදෝ කියන බිය නිසා මම දෙවිට සේවය කිරීමට පසුබට වෙනවාද?’—එළිදරව් 2:2-4.

12. හග්ගයි 1:6, 9ට අනුට යුදෙව්වන් අද්දුටු තත්වය කුමක්ද?

12 යෙහෝවාගේ නාමය ගෞරවයට පත් කිරීමේ කාර්යය නොසලකාහැරියොත් දෙවිගේ ආශීර්වාද අපට අහිමි වන බව අප දැනගත්තා. එලෙස දෙවිගේ ආශීර්වාද අහිමි වෙනවාට අප කිසි කෙනෙක් කැමති නැහැ. මුලදී උද්‍යෝගයෙන් ගොඩනැඟීමේ කටයුතුවලට හවුල් වූ යුදෙව්වන් හග්ගයි 1:9ට අනුව ‘එකිනෙකා තම තමාගේ ගෙට දුවමින්’ පෞද්ගලික කාරණාවල නියැලී සිටි ආකාරය ඔබට මතක ඇති. නමුත් ඔවුන්ට ‘රැස් කරන්න හැකි වූයේ ස්වල්පයක්.’ කෑම බීම, ඇඳුම් පැළඳුම් ආදියේ හිඟයක් තිබුණා. (හග්ගයි 1:6) යෙහෝවාගේ ආශීර්වාද ඔවුන්ට අහිමි වුණා. අපට මෙයින් යමක් ඉගෙනගන්න පුළුවන්ද?

13, 14. හග්ගයි 1:6, 9හි සඳහන් වදන්වලින් ඉගෙනගත හැකි පාඩම කුමක්ද? එය අදාළ කරගැනීම වැදගත් වන්නේ ඇයි?

13 යෙහෝවාගේ ආශීර්වාද දිගටම ලබන්න නම් අපේම වුවමනා එපාකම්වලට මුල් තැන නොදී, අපි යෙහෝවාට කරන නමස්කාරයට මුල් තැන දිය යුතුයි. එදා සිටි යුදෙව්වන් පෞද්ගලික කාරණාවලට මුල් තැන දුන්නා වගේ අපි මුදල් හම්බ කිරීමට, ඉක්මනින් පොහොසත් වීමට, බොහෝ කාලයක් වැය කරමින් උසස් අධ්‍යාපනයක් ලැබීමට හා පෞද්ගලික අභිලාෂයන් ඉටු කරගැනීමට මුල් තැන නොදෙමු.

14 ඉහත සඳහන් කළ දේවල් වැරදියි කියලා අනිවාර්යයෙන්ම කියන්න බැහැ. ඒ වුණත් සදාකාල ජීවනය හා සසඳද්දි එවැනි දේවල් හරියට “මළ ක්‍රියා” වගෙයි. (හෙබ්‍රෙව් 9:14) එසේ කියන්නේ යෙහෝවා දෙවි සමඟ අපගේ සම්බන්ධතාව ශක්තිමත් කරගැනීමට මේ දේවල් කිසිම ආකාරයකින්වත් උදව් වෙන්නේ නැති නිසයි. කෙනෙක් එවැනි දේවලට මුල් තැන දෙමින් ක්‍රියා කරනවා නම් ඔහුගේ ඇදහිල්ල “මළ” තත්වයකට පත් වෙන්න පුළුවන්. මුල් සියවසේ සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමහරදෙනෙක් එවැනි තත්වයකට පත් වුණා. (ෆිලිප්පි 3:17-19) අපේ කාලයේදීත් සමහර අය එවැනි තත්වයකට පත් වී තිබෙනවා. ක්‍රිස්තියානි රැස්වීම් හා දේවසේවය වැනි ක්‍රියාකාරකම්වලින් ටිකෙන් ටික ඈත් වී සිටින අය ගැන ඔබ දන්නවා ඇති. නැවතත් යෙහෝවාට සේවය කිරීමට ඔවුන් තුළ ආශාවක් නැති වෙන්න පුළුවන්. අපේ එකම ආශාව ඔවුන් නැවතත් යෙහෝවා වෙතට හැරී එනවා දැකීමයි. ඒත් ඔවුන් දිගටම මළ ක්‍රියාවල නියැළෙනවා නම් ඔවුන්ට යෙහෝවාගේ අනුමැතිය හා ආශීර්වාදය ලැබෙන්නේ නැහැ. එය මොන තරම් කනගාටුදායක තත්වයක්ද! දෙවිගේ බලය ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් හැටියට ලැබෙන ප්‍රීතිය හා සාමය අද්දකින්න ඔවුන්ට බැහැ. ක්‍රිස්තියානි සහෝදරයන්ව ඇසුරු කිරීමට නොලැබීමෙන් ඔවුන්ට අහිමි වන දේවල් ගැනත් සිතා බලන්න.—ගලාති 1:6; 5:7, 13, 22-24.

15. අපි දෙවිට කරන නමස්කාරය බැරෑරුම් එකක් ලෙස සැලකිය යුතු බව හග්ගයි 2:14හි සඳහන් වදන්වලින් පෙනී යන්නේ කෙසේද?

15 මෙම කාරණය ඉතා බැරෑරුම් එකක් ලෙස අපි සැලකිය යුතුයි. මේ සඳහා අපට උපකාරවත් වන දෙයක් වන්නේ යෙහෝවාගේ ගෘහයේ වැඩ නොසලකා තම තමුන්ගේ ගෙවල් දොරවල් අලංකාර කරමින් සිටි යුදෙව්වන්ව යෙහෝවා සැලකූ ආකාරය තේරුම්ගැනීමයි. හග්ගයි 2:14හි මෙසේ සඳහන් වෙනවා. “මේ සෙනඟ එසේමය. මේ ජාතියත් මා ඉදිරිපිට එසේමයයි යෙහෝවා කියන්නේය. ඔවුන්ගේ හස්ත කර්මාන්ත සියල්ල එසේමය. ඔවුන් එහි පූජා කරන දේත් අපවිත්‍රය.” යෙරුසලමෙහි තාවකාලිකව ගොඩනැඟූ පූජාසනය පිට ඔවුන් ඔප්පු කළ පූජා යෙහෝවා පිළිගත්තේ නැහැ. එයට හේතුව ඔවුන් සැබෑ නමස්කාරය ගැන නොසැලකිලිමත් වීමයි.—එස්රා 3:3.

දෙවි උපකාර කරන බව ස්ථිරයි

16. සෙකරියාට දුන් දර්ශනවලට අනුව යුදෙව්වන් ලැබූ සහතිකය කුමක්ද?

16 සෙකරියා දර්ශන අටක් දැක්කා. දේවමාලිගාව නැවත ගොඩනැඟීමේ කාර්යයට කීකරුව සහයෝගය දුන් යුදෙව්වන්ට දෙවිගේ උපකාරය ලැබෙන බවට ඒ දර්ශනවලින් සහතිකයක් ලැබුණා. නැවත ගොඩනැඟීමේ කාර්යයට කීකරුව අත හිත දුන්නා නම් දේවමාලිගාවේ වැඩකටයුතු නිම වන බවත්, යෙරුසලම හා යූදා දේශය සමෘද්ධිමත් වන බවත් මුල් දර්ශනයෙන් සහතික කළා. (සෙකරියා 1:8-17) දෙවෙනි දර්ශනයෙන් පොරොන්දු කළේ සැබෑ නමස්කාරයට විරුද්ධව නැඟී සිටින සියලුම ආණ්ඩු බිඳ වැටෙන බවයි. (සෙකරියා 1:18-21) ගොඩනැඟීමේ කාර්යයට දෙවිගේ ආරක්ෂාව ලැබීම, යෙහෝවාට නමස්කාර කිරීම සඳහා දේවමාලිගාවට බොහෝ ජාතීන්ට අයත් ජනයා එක් රොක් වීම, සැබෑ සාමය හා සුරක්ෂිතභාවය ලැබීම, කඳු වැනි බාධක ඉවත් කිරීම, දුෂ්ටකම පහ කර දැමීම සහ දේවදූතයන්ගේ අධීක්ෂණය හා ආරක්ෂාව ලැබීම අනිකුත් දර්ශනවලින් සහතික කළා. (සෙකරියා 2:5, 11; 3:10; 4:7; 5:6-11; 6:1-8) දෙවිගෙන් මෙවැනි පොරොන්දු ලැබී තිබුණු නිසා කීකරු අය තම ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කර තමන් බැබිලෝනියෙන් නිදහස ලැබුවේ ඇයි කියා සිතට ගෙන දෙවි පවරා තිබූ වැඩයට මුල් තැන දුන්නා.

17. දෙවිගේ කැමැත්තට මුල් තැන දෙන විට අපට ආශීර්වාද ලැබෙන බව ස්ථිර නිසා අප සලකා බැලිය යුතු ප්‍රශ්න මොනවාද?

17 සැබෑ නමස්කාරය මුළු ලොව පුරාම පිහිටුවනු ලබන බව අපටත් සහතික කර ඇති නිසා අපද ක්‍රියාශීලී විය යුතු අතර, යෙහෝවාට අප දෙන නමස්කාරය ගැනත් බැරෑරුම්ව සිතා බැලිය යුතුයි. මෙම ප්‍රශ්න ගැන හොඳින් සිතා බලන්න. ‘දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරන්න හා ගෝලයන් වීමට මිනිසුන්ට උපකාර කරන්න සුදුසුම කාලය දැන් බව මම පිළිගන්නවා නම්, ඒ බව මම ජීවත් වන ආකාරයෙන් පෙන්නුම් කරනවාද? බයිබලයේ සඳහන් අනාවැකි අධ්‍යයනය කිරීමට මම ප්‍රමාණවත් කාලයක් වෙන් කරනවාද? ඒවා ගැන ගැඹුරින් සිතා බලනවාද? සෙසු සහෝදරයන් සමඟ හා දේවසේවයේදී හමු වන අය සමඟ ඒවා ගැන කතා කරනවාද?’

18. සෙකරියා 14වන පරිච්ඡේදයට අනුව අනාගතයේදී සිදුවීමට ඇත්තේ කුමක්ද?

18 මහ බැබිලෝනියේ විනාශය ගැනත් ඉන්පසුව සිදු වන අර්මගෙදොන් යුද්ධය ගැනත් සෙකරියා පොතේ සඳහන් වෙනවා. එහි මෙසේ පවසනවා. “යෙහෝවා දන්නා දවසක් වන්නේය. එය දවාලක්වත් රැයක්වත් නොවන්නේය. තවද සැන්දෑ කාලේ එළිය වන්නේය.” යෙහෝවාගේ මහත් දවස ඔහුගේ සතුරන්ට නිමක් නැති අන්ධකාරයේ දවසක් වෙනවා. නමුත් යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන අය නිමක් නැති ආලෝකය හා දෙවිගේ අනුමැතිය දිගටම ලැබෙනවා. පාරාදීස පොළොවේ ජීවත් වන සියලුදෙනාම යෙහෝවාගේ ශුද්ධකම ප්‍රකාශ කරන බවත් සෙකරියා පැවසුවා. එදාට පොළොවේ තිබෙන්නේ යෙහෝවා දෙවිට කරන නමස්කාරය පමණයි. (සෙකරියා 14:7, 16-19) යෙහෝවාගේ පොරොන්දු මොන තරම් ස්ථිරද! පුරෝකථනය කර තිබූ දේවල් ඉටු වන ආකාරයත් මෙම විශ්වයේ පාලකයා වීමට අයිතිය තිබෙන එකම තැනැත්තා යෙහෝවා බව තහවුරු වන ආකාරයත් එදාට අපි අද්දකිනවා. ඒ දවස යෙහෝවාට මොන තරම් සුවිශේෂ දවසක් වෙයිද!

සදාකාලික ආශීර්වාද

19, 20. සෙකරියා 14:8, 9හි සඳහන් වදන් අපට දිරිගැන්වීමක් වන්නේ මන්ද?

19 යෙහෝවාට සුවිශේෂ වූ ඒ දවසින් පසුව සාතන් සහ සියලුම භූතයන්ව පාතාලයේ දමා සිර කරනවා. ඔවුන්ගෙන් මිනිසුන්ට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. (එළිදරව් 20:1-3, 7) ඉන්පසු ඇරඹෙන ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනයේදී මිනිසුන්ට කියා නිම කළ නොහැකි ආශීර්වාද ලැබෙයි. සෙකරියා 14:8, 9හි මෙසේ සඳහන් වෙනවා. “ඒ දවසේ ජීවනදායක වතුර යෙරුසලමෙන් නික්ම යන්නේය. ඉන් දෙකෙන් කොටසක් පෙරදිග මුහුදටත් අනික් කොටස අපරදිග මුහුදටත් යන්නේය. ග්‍රීෂ්ම කාලේදීත් ශීත කාලේදීත් ඒක වන්නේය. යෙහෝවා මුළු පොළොවට රජ වන්නේය. ඒ දවසේ යෙහෝවා එක් කෙනෙක්ම වන්නේය; ඔහුගේ නාමය එකක්ම වන්නේය.”

20 දේවරාජ්‍යය මාර්ගයෙන් සදාකාල ජීවනය ලබාගැනීමට මිනිසුන්ට යෙහෝවා සපයා තිබෙන සෑම දෙයක්ම ‘ජීවනදායක වතුරෙන්’ හෙවත් ‘ජීවන වතුර ඇති ගංගාවෙන්’ සංකේතවත් කරනවා. (එළිදරව් 22:1, 2) අර්මගෙදොන් යුද්ධයෙන් බේරී ජීවත් වන මහත් සමූහයක් ආදම්ගෙන් උරුම වූ පාපයේ සහ මරණයේ බලපෑම්වලින් නිදහස ලබනවා. මිය ගොස් සිටින අය පවා නැවත නැඟිටිනවා. ඒ කාලයේදී යෙහෝවාගේ පාලනය පොළොව පුරාම ක්‍රියාත්මක වෙයි. යෙහෝවා මුළු විශ්වය පාලනය කිරීමට අයිතිය තිබෙන එකම තැනැත්තා හැටියටත් නමස්කාර කළ යුතු එකම තැනැත්තා හැටියටත් සියලුදෙනා විසින්ම තේරුම්ගන්නවා.

21. අපි සියලුදෙනාම අධිෂ්ඨාන කරගත යුත්තේ කුමක් කිරීමටද?

21 හග්ගයි සහ සෙකරියා පුරෝකථනය කර තිබූ දේවල් සහ ඉටු වී තිබෙන දේවල් සලකා බලද්දී යෙහෝවා අපට පවරා තිබෙන සේවයේ දිගටම උද්‍යෝගයෙන් හවුල් වෙන්න ප්‍රබල හේතු අපට තිබෙනවා. සැබෑ නමස්කාරය එසේ පොළොව පුරා පවතින කාලය පැමිණෙන තෙක් දෙවිගේ සේවයට මුල් තැන දීමට අපි සියලුදෙනාම අධිෂ්ඨාන කරගනිමු. සෙකරියා 8:9හි අපට උනන්දු කරන්නේ මෙසේයි. “අනාගතවක්තෲන්ගේ කටින් කියන ලද මේ වචන මේ දවස්වලදී අසන ඔබේ අත් සවි කරගන්න.”

ඔබට මතකද?

• හග්ගයි සහ සෙකරියාගේ අනාවැකි අපේ කාලයට සම්බන්ධ වන්නේ කෙසේද?

• ජීවිතයේ මුල් තැන දිය යුතු දේවල් සම්බන්ධයෙන් හග්ගයි සහ සෙකරියා පොත්වලින් අපට ඉගෙනගත හැකි පාඩම් මොනවාද?

• හග්ගයි සහ සෙකරියා පැවසූ අනාවැකි අනාගතය ගැන විශ්වාසයෙන් යුතුව බලා සිටීමට උපකාරවත් වන්නේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

මුළු සිතින් සේවය කර ආශීර්වාද ලබාගැනීමට හග්ගයි සහ සෙකරියා යුදෙව්වන්ව දිරිගැන්වුවා

[27වන පිටුවේ පින්තූර]

අපිත් ‘තම තමාගේ ගෙට දුවමින්’ පෞද්ගලික කාරණාවල නියැලෙමින් සිටිනවාද?

[28වන පිටුවේ පින්තූරය]

යෙහෝවා පොරොන්දු කළ ලෙසම ආශීර්වාද කරනවා