Skip to content

පටුනට යන්න

ඔබ ගන්න තීරණ දෙවිගේ කැමැත්තට එකඟද?

ඔබ ගන්න තීරණ දෙවිගේ කැමැත්තට එකඟද?

ඔබ ගන්න තීරණ දෙවිගේ කැමැත්තට එකඟද?

අමෙරිකාවේ ජීවත් වන මිනිසෙක් ඔහු සතු වූ ඩොලර් 25,000ක මුදලක් බැංකුවක තැන්පත් කරන්න ගියා. ඔහුට අවශ්‍ය වූයේ එම මුදල ස්ථාවර තැන්පත් ගිණුමක දමන්නයි. කෙසේවෙතත් බැංකුවෙන් ඔහුට පැවසුවේ වඩා වැඩි වාසි ලබාගැනීම සඳහා එම මුදල කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන්න කියායි. එම මිනිසා බැංකුව පැවසූ දෙය කළා. එහෙත් ඔහු ආයෝජනය කළ මුදල්වල වටිනාකම වැඩි කාලයක් යන්න කලින් පහත වැටුණා.

මෙම අද්දැකීමෙන් පෙනී යන්නේ නැණවත් තීරණ ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවෙන බවයි. අපේ ජීවිතයේ අපි ගන්න විවිධ තීරණ ගැන කුමක් කිව හැකිද? අප ගන්න තීරණවල ප්‍රතිඵල සාර්ථක හෝ අසාර්ථක විය හැකියි. අපි වැරදි තීරණයක් ගත්තොත් ඇතැම් විට එය මරණයට පවා හේතු විය හැකියි. මේ නිසා නැණවත් තීරණ ගැනීම වැදගත්. එවැනි තීරණ ගත හැක්කේ කෙසේද?

“මාර්ගය මේය”

අපි කන්නේ මොනවාද, අඳින්නේ මොනවාද, යන්නේ කොහේද යනාදි වශයෙන් විවිධ තීරණ සෑම දවසකම ගන්නවා. සමහර තීරණ වැදගත් නැතැයි කියා පෙනුණත් ඒවායේ ප්‍රතිඵලය භයානක විය හැකියි. උදාහරණයක් හැටියට යම් කෙනෙක් ජීවිතයේ මුල් වතාවට සිගරැට්ටුවක් දැල්වීමට ගන්න තීරණය ඔහුගේ මුළු ජීවිත කාලයටම බලපෑ හැකියි. එතැන් පටන් ඔහු දිගටම දුම්පානය කිරීමේ පුරුද්දට ඇබ්බැහි විය හැකියි. එනිසා සුළුයයි පෙනෙන කාරණාවලදී පවා අප ගන්න තීරණ ගැන අපි සැලකිලිමත් විය යුතුයි.

සුළුයයි පෙනෙන කාරණවලදී පවා නිවැරදි තීරණ ගැනීමට අපට මඟ පෙන්වීම් ලබාගත හැක්කේ කොහෙන්ද? ඉතා අසීරු තීරණ ගැනීමට සිදු වන අවස්ථාවලදී අපට මඟ පෙන්වීම් සැපයීමට විශ්වාසවන්ත කෙනෙක් සිටිනවා නම් එය කොතරම් හොඳද! ඇත්තෙන්ම එවැනි කෙනෙක් සිටිනවා. පුරාණ පොතක මෙසේ පවසා තිබෙනවා. “ඔබ දකුණට හැරෙන විටද වමට හැරෙන විටද මාර්ගය මේය; එහි හැසිරෙන්නයයි කියන වචනයක් ඔබේ කනට ඔබ පස්සෙන් ඇසෙන්නේය.” (යෙසායා 30:21) මේ වචන පැවසුවේ කවුද? ඔහු දෙන මඟ පෙන්වීම් විශ්වාස කළ හැකි බවට ඔබට නිසැක විය හැක්කේ කෙසේද?

ඉහත වදන් සඳහන් වන්නේ බයිබලයේයි. එය ලියා තිබෙන්නේ මැවුම්කරු වන යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේ බව බයිබලය අධ්‍යයනය කරන බොහෝදෙනෙක් තේරුම්ගෙන සිටිනවා. (2 තිමෝති 3:16, 17) මැවුම්කරු හැටියට අපි ගැන හොඳින්ම දන්නේ ඔහුයි. ඒ නිසා අපට නිවැරදි මඟ පෙන්වීම් දිය හැක්කේ ඔහුට පමණයි. අනාගතයේදී විය හැකි දේවල් කලින් දැනගැනීමේ හැකියාව තිබෙන ඔහු තමන් ගැන මෙසේ පවසා තිබෙනවා. “මාගේ මන්ත්‍රණය පවතින්නේය. . . . මුල පටන් කෙළවර දක්වාද මේ වන තෙක් සිද්ධ නුවූ දේ පුරාතන පටන්ද ප්‍රකාශ කරන්නේ මමය.” (යෙසායා 46:10) පුරාණයේ විසූ එක් ගීතිකාකරුවෙක් යෙහෝවා දෙවිගේ වචනය කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය ගැන මෙසේ ප්‍රකාශ කළා. “ඔබගේ වචන මාගේ පාදවලට පහනක්ය. මාවතට එළියක්ය.” (ගීතාවලිය 119:105) කැලඹුණු මුහුදකට සමාන කළ හැකි මේ ලෝකයේ ජීවිතය නමැති යාත්‍රාව නිවැරදි දිශාවකට පදවාගෙන යෑමට යෙහෝවා දෙවි අපට උපකාර කරන්නේ කෙසේද? අප ගන්න තීරණ ඔහුගේ කැමැත්තට එකඟද කියා අපට සහතික විය හැක්කේ කෙසේද?

බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න

යෙහෝවා දෙවි නැණවත් තීරණ ගැනීමට අපට උපකාර කිරීම සඳහා බයිබලය තුළ ප්‍රතිපත්ති සපයා තිබෙනවා. එම ප්‍රතිපත්ති ඉගෙනගෙන ඒවා අදාළ කරගැනීම භාෂාවක් ඉගෙනගෙන එය භාවිත කිරීමට සමාන කළ හැකියි. ඔබ යම් භාෂාවක් හොඳින් ඉගෙනගත් පසු, යම් කෙනෙක් ඒ භාෂාවේ රීති කඩ කරද්දී ඔබට එය පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. ඔහු කඩ කළ භාෂා රීතිය කුමක්දැයි හරියටම ඔබට කිව නොහැකි වුවද එහි යම් වැරැද්දක් තිබෙන බව ඔබට වැටහෙනවා. ඒ හා සමානව ඔබත් බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති ඉගෙනගෙන ඒවා අදාළ කරගන්න ආකාරය ගැන අවබෝධ කරගන්න විට සිදු වන්නේද ඒ හා සමාන දෙයක්. ඔබ බයිබල් ප්‍රතිපත්තියකට පටහැනි තීරණයක් ගනිද්දි එය වැරදි බව ඔබට වැටහේවි.

උදාහරණයක් හැටියට යෞවනයෙකුට තමන් තෝරාගන්නා කොණ්ඩා මෝස්තරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන විට ඔහු සලකා බැලිය යුතු ප්‍රතිපත්ති මොනවාද? කොණ්ඩය සකස් කරගත යුතු ආකාරය ගැන බයිබලයේ නිශ්චිතවම සඳහන් කර නැහැ. නමුත් අදාළ කරගත යුතු යම් ප්‍රතිපත්තියක් ගැන පාවුල් මෙසේ පවසයි. “ස්ත්‍රීන් විනීතව සහ හොඳ සිහිකල්පනාවෙන් යුතුව, මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින් සැරසී සිටිනවාට මම කැමැත්තෙමි. කොණ්ඩ මෝස්තරවලින්වත් රනින්වත් මුතුවලින්වත් ඉතා මිල අධික වස්ත්‍රවලින්වත් නොව, දෙවිට භක්තිවන්තව සිටින බව ප්‍රකාශ කරන ස්ත්‍රීන්ට ඔබින ආකාරයට යහපත් ක්‍රියා තුළින් සැරසී සිටිනවාට කැමැත්තෙමි.” (1 තිමෝති 2:9, 10) පාවුල් මෙහිදී ස්ත්‍රීන් ගැන සඳහන් කළත් එම ප්‍රතිපත්තිය ස්ත්‍රීන්ට මෙන්ම පුරුෂයන්ටද අදාළයි. මෙහි සඳහන් ප්‍රතිපත්තියට අනුව අපේ පෙනුමෙන් විනීතකම මෙන්ම අප සිහිකල්පනාවෙන් ක්‍රියා කරන අය බව දකින්න තිබිය යුතුයි. ඒ නිසා මේ යෞවනයා මේ ප්‍රශ්නය ගැන හොඳින් සිතා බැලිය යුතුයි. ‘මම තෝරාගන්නා කොණ්ඩා මෝස්තරයෙන් ක්‍රිස්තියානියෙකු තුළින් පිළිබිඹු විය යුතු විනීතකම දකින්න තිබෙනවාද?’

මුල් සියවසේ විසූ ක්‍රිස්තියානියෙකු වූ යාකොබ් පැවසූ මෙම වදන්වලින් හෙළි වන ප්‍රතිපත්තියද යෞවනයෙකුට නැණවත් තීරණයක් ගැනීමට උපකාර කළ හැකියි. “පරදාර සේවනයේ යෙදෙන්නෙනි, ලෝකය සමඟ මිතුරුකම දෙවි සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද්ද? එබැවින්, යමෙකු ලෝකයේ මිතුරෙකු වන්න කැමති නම් ඔහු තමාව දෙවිගේ සතුරෙක් කරගන්නේය.” (යාකොබ් 4:4) දෙවිගේ සතුරෙක් වී ලෝකයේ මිතුරෙක් වීමට ක්‍රිස්තියානියෙක් කොහෙත්ම කැමති නැහැ. නමුත් ඔහුගේ සම වයසේ සිටින අයගේ කොණ්ඩා මෝස්තරයට ඔහු ප්‍රිය කරනවා නම් ඉන් කියා පාන්නේ ඔහු කාගේ මිතුරෙක් බවද? ඔහු දෙවිගේ මිතුරෙක් බවද නැත්නම් ලෝකයේ මිතුරෙක් බවද? කොණ්ඩා මෝස්තරයක් තෝරාගැනීම ගැන සිතන යෞවනයා ඉහත බයිබල් ප්‍රතිපත්ති සැලකිල්ලට ගන්නවා නම් නැණවත් තීරණයක් ගැනීමට ඔහුට හැකියි. මෙයින් පෙනී යන්නේ නැණවත් තීරණ ගැනීමට අපට බයිබල් ප්‍රතිපත්ති උපකාරවත් වන බවයි. අප තීරණ ගන්න සැමවිටම බයිබල් ප්‍රතිපත්ති සැලකිල්ලට ගන්නවා නම් අපට නැණවත් තීරණ ගැනීමට හැකි වන අතර අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදු වන්නේ නැහැ.

බයිබලයේ බොහෝ ප්‍රතිපත්ති තිබෙනවා. ඒත් අපේ තත්වයට සියයට සියයක්ම ගැළපෙන බයිබල් වගන්තියක් නොතිබෙන්න පුළුවන්. එහෙත් ඇතැම් අය දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වූ ආකාරය ගැනත් තවත් අය දෙවි දුන් අනතුරු ඇඟවීම් නොසලකාහැරිය ආකාරය ගැනත් අපට බයිබලයෙන් දැනගත හැකියි. (උත්පත්ති 4:6, 7, 13-16; ද්විතීය කතාව 30:15-20; 1 කොරින්ති 10:11) එවැනි වාර්තා කියවීමෙන් හා එයින් ඉගෙනගත හැකි පාඩම් හොඳින් සිතට ගැනීමෙන් දෙවිගේ කැමැත්තට එකඟව තීරණ ගැනීමට උපකාරවත් වන ප්‍රතිපත්ති අපට තේරුම්ගත හැකියි.

යේසුස් සහ ඔහුගේ ගෝලයෙකු වූ පේතෘස් අතර ඇති වූ කෙටි සංවාදයක් ගැන සලකා බලමු. බදු එකතු කළ මිනිසුන් පේතෘස්ගෙන් මෙසේ ඇසුවා. “ඔබේ ගුරුතුමා ඩ්‍රැක්මා දෙකෙහි බද්ද ගෙවන්නේ නැද්ද?” පේතෘස් “ගෙවන්නේය” කියා පැවසුවා. ඉන්පසු යේසුස් පේතෘස්ගෙන් මෙසේ ඇසුවා. “පොළොවේ රජවරුන් තීරු බදු හෝ ඇඟ බදු හෝ ලබාගන්නේ කාගෙන්ද? තමුන්ගේ පුත්‍රයන්ගෙන්ද නැත්නම් අන්‍යයන්ගෙන්ද?” පේතෘස් “අන්‍යයන්ගෙන්ය” කියා උත්තර දුන් විට යේසුස් ඔහුට මෙසේ පැවසුවා. “එසේනම්, පුත්‍රයන් බදු ගෙවීමෙන් නිදහස්ය. නමුත් අප ඔවුන්ව බාධාවට පත් නොකරන පිණිස, ඔබ මුහුදට ගොස් බිලි බා, පළමුවෙන්ම මතු වෙන මාළුවා ගන්න. ඔබ උගේ කට අරින විට ස්ටේටර් කාසියක් ඔබට සම්බ වන්නේය. එය ගෙන මා සහ ඔබ වෙනුවෙන් ඔවුන්ට දෙන්න.” (මතෙව් 17:24-27) මෙම වාර්තාවෙන් අපට ඉගෙනගත හැකි බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

දෙවිගේ පුත්‍රයා හැටියට තමන් බදුවලින් නිදහස් බව යේසුස් පේතෘස්ට පහදා දුන්නා. මුලදී පේතෘස්ට එය තේරුම්ගන්න අපහසු වුණත් යේසුස් ප්‍රේමණීය ලෙස ඔහුට උපකාර කළා. අන් අය අතින් වැරදි සිදු වන විට අපිත් යේසුස් මෙන් ඔවුන්ව හෙළා දකින්නේ නැතිව කාරුණික ලෙස ඔවුන්ට කාරණා තේරුම්ගැනීමට උදව් කරමු.

යේසුස් බද්ද ගෙව්වේ අන් අයව බාධාවට පත් නොකිරීමට බව පේතෘස් තේරුම්ගත්තා. මෙයින් අපට තවත් ප්‍රතිපත්තියක් ඉගෙනගන්න පුළුවන්. එය නම් අපට යම් දේවල් කිරීමට අයිතියක් තිබුණත් වඩාත් වැදගත් දෙය වන්නේ එය අන්‍යයන්ගේ හෘදය සාක්ෂියට බලපාන ආකාරය සැලකිල්ලට ගැනීමයි.

අන් අයගේ හෘදය සාක්ෂිය ගැන සිතා තීරණ ගැනීමට අප තුළ පෙලඹීමක් ඇති කරන්නේ අසල්වැසියන්ට ඇති ප්‍රේමයයි. ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියා යේසුස් දුන් ආඥාව දෙවෙනි වන්නේ ඔබේ මුළු සිතින් දෙවිට ප්‍රේම කරන්න කියා දුන් ආඥාවට පමණයි. (මතෙව් 22:39) අද අප ජීවත් වන්නේ තමන් ගැන පමණක් සිතන ලෝකයක නිසා අපිත් අපි ගැන වැඩියෙන් සිතන්න නැඹුරු විය හැකියි. මේ නිසා කෙනෙක් තමන්ට මෙන් තම අසල්වැසියන්ට ප්‍රේම කරන්න නම් ඔහු සිතන විදිහ වෙනස් කරගත යුතුයි.—රෝම 12:2.

බොහෝදෙනෙක් එලෙස තමන් සිතන ආකාරය වෙනස් කරගෙන තිබෙන නිසා ලොකු කුඩා ඕනෑම තීරණයක් ගනිද්දී එය අන් අයට බලපාන ආකාරය ගැනත් සැලකිල්ලට ගන්නවා. පාවුල් මෙසේ පැවසුවා. “සහෝදරයෙනි, ඔබ නිදහස්කමට කැඳවනු ලැබුවහුය. නමුත් ඒ නිදහස මාංසික ආශාවන් සඳහා පෙලඹීමක් වශයෙන් භාවිත නොකරන්න. ඒ වෙනුවට ප්‍රේමයෙන්, වෙහෙස මහන්සි වී එකිනෙකාට සේවය කරන්න.” (ගලාති 5:13) අපට මෙම උපදෙසට එකඟව ක්‍රියා කළ හැක්කේ කෙසේද? ගම්බද ප්‍රදේශයක ජනයාට දෙවිගේ වචනය ගැන ඉගැන්වීමට ගිය යෞවනියකගේ අද්දැකීම සලකා බලන්න. නගරයේ විලාසිතා අනුව ඇගේ ඇඳුම් විනීත වුවද ඇගේ ඇඳුම්වලට ගමේ අය එතරම් කැමති නැති බව ඇය ජනයා සමඟ කතා කරද්දි ඇයට වැටහුණා. ඇගේ ඇඳුම් විනීත වුවත් ඒ ගමේ අය අඳින ආකාරයට අඳින්න ඇය තීරණය කළා. ඇය එසේ කළේ ‘කිසිවෙකුට දෙවිගේ වචනය ගැන නිග්‍රහාත්මක ලෙස කතා කිරීමට හැකි නොවන පිණිසයි.’—තීතස් 2:5.

ඔබේ ඇඳුම් පැළඳුම් හා වෙනත් පෞද්ගලික කාරණයක් සම්බන්ධයෙන් ඔබට යම් තීරණයක් ගැනීමට සිදු වුණොත් ඔබ කරන්නේ කුමක්ද? ඔබ තීරණ ගැනීමේදී අන් අයගේ හෘදය සාක්ෂිය ගැන සැලකිලිමත් වෙනවා නම් යෙහෝවා දෙවි ඒ ගැන සතුටු වෙනවාට කිසිම සැකයක් නැහැ.

දුර දිග සිතන්න

අපි තීරණ ගන්න විට බයිබල් ප්‍රතිපත්ති සහ අන් අයගේ හෘදය සාක්ෂිය ගැන සැලකිලිමත් වීමට අමතරව අපි තව කුමක් ගැන සිතා බැලිය යුතුද? ක්‍රිස්තියානීන් හැටියට අප ගමන් කරන්නේ පටු පාරකයි. අපි තීරණ ගන්න සැමවිටකම යෙහෝවා දෙවි පවසා තිබෙන දේවල් සැලකිල්ලට ගත යුතු වුවද ඔහු තීරණ ගැනීම සඳහා අපට යම් ප්‍රමාණයක නිදහසක් දී තිබෙනවා. (මතෙව් 7:13, 14) අප ගන්න තීරණ දෙවි සමඟ තිබෙන අපගේ මිත්‍රත්වයට බලපාන ආකාරය ගැනත් මානසිකව හා ශාරීරිකව එම තීරණ අපට බලපාන ආකාරය ගැනත් සලකා බැලිය යුතුයි.

සිතන්න ඔබට හොඳ රැකියාවක් කරන්න අවස්ථාවක් ලැබුණා කියා. ඔබට ලැබුණු මේ රැකියාවේදී ක්‍රිස්තියානීන්ට නුසුදුසු කිසිවක් කරන්න නැහැ. ක්‍රිස්තියානි රැස්වීම්වලට හා සමුළුවලට යෑමටද ඔබට ඒ රැකියාව බාධාවක් වෙන්නේ නැහැ. වැටුපද ඔබ බලාපොරොත්තු වූවාටත් වඩා වැඩියි. ඔබේ හැකියාවන් බොහෝ සේ අගය කරන ඔබේ ස්වාමියා කැමති වන්නේ එයින් ඔබ උපරිම ප්‍රයෝජන ගන්නවා දකින්නයි. ඔබට ලැබී තිබෙන්නෙත් ඔබ කැමතිම රැකියාවයි. මේ වගේ රැකියාවක් තෝරා නොගැනීමට හේතුවක් තිබෙනවාද? ඔබ මේ රැකියාවට දක්වන ඇල්ම නිසා අනාගතයේදී ඔබ ඊට බොහෝ කාලයක් යොදවන්න පුළුවන්. අතිකාල වැඩ කරන්න කියා ස්වාමියා ඔබට බල කරන්නේ නැහැ. නමුත් ඔබට බාර දී තිබෙන වැඩක් අවසන් කිරීම සඳහා වැඩි කාලයක් යොදවන්න ඔබ කැමති විය හැකියි. මෙලෙස නිතර නිතර අතිකාල වැඩ කරන්න සිදු වෙයිද? එසේ කිරීම නිසා ඔබට පවුලේ අය සමඟ ගත කිරීමට තිබෙන කාලය අඩු වෙයිද? රැස්වීම් හා දේවසේවය වැනි දේවල් ඔබ කිසිදා අතපසු නොකළ යුතු වුණත් ඒ රැකියාව නිසා එසේ වෙනවාද?

ජිම් ඔහුගේ රැකියාව සම්බන්ධයෙන් ගත් තීරණය ගැන සිතා බලන්න. ඔහු කළ රැකියාවේ හිනිපෙත්තටම නඟින්න ඔහු වෙහෙස නොබලා වැඩ කළා. අවසානයේදී ඔහු ඒ සමාගමේ ආසියාවේ තිබෙන ශාඛාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙසද එක්සත් ජනපදයේ තිබෙන ඊට අනුබද්ධ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද යුරෝපීය ශාඛාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසද කටයුතු කළා. කෙසේවෙතත් ජපානයේ ආර්ථික පසුබෑමක් සිදු වූ කාලයේදී ඔහු අත් කරගත් මුදල් හා තනතුරු කොතරම් නිෂ්ඵලද කියා ඔහුට වැටහුණා. ඔහු මහන්සියෙන් උපයාගත් මුදල්වල වටිනාකම ක්ෂණයකින් පහළ වැටුණා. ඔහුගේ ජීවිතයට කිසිම අරමුණක් නැති බවත් ඔහුට තේරුම් ගියා. ‘තව අවුරුදු දහයකට පස්සේ මගේ තත්වය මොකක් වෙයිද?’ කියා ඔහු සිතුවා. ඔහුගේ භාර්යාව හා දරුවන් ජීවිතයේ වඩාත්ම වැදගත් දේවල් කෙරෙහි යොමු වී සිටින බව ඔහුට වැටහුණා. ඔවුන් කාලයක සිට යෙහෝවා දෙවිට සේවය කරමින් සිටිනවා. ඔවුන් වගේ සන්තෝෂවත් හා තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න ජීම්ටත් ඕන වුණා. මේ නිසා ඔහු බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.

තමන් කරමින් සිටි රැකියාව අර්ථවත් ජීවිතයක් ගත කිරීමට බාධාවක් බව ජිම් තේරුම්ගත්තා. ඔහුට නිතරම ආසියාතික රටවල, එක්සත් ජනපදයේ හා යුරෝපීය රටවල ව්‍යාපාර වැඩ සඳහා සංචාරය කිරීමට සිදු වූ නිසා බයිබලය පාඩම් කිරීමට හා ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමට ඔහුට කාලය තිබුණේ නැහැ. ඔහුට තීරණයක් ගැනීමට සිදු වුණා. ‘මම පහුගිය අවුරුදු 50 පුරා ජීවත් වූ විදිහට දිගටම ජීවත් වෙනවාද නැත්නම් මගේ ජීවිතයේ වෙනසක් කරනවාද?’ ඔහු දුර දිග සිතා යාච්ඤාපූර්වකව තීරණයක් ගත්තා. ඔහු සමාගමේ අනෙකුත් තනතුරුවලින් ඉවත් වී එක වගකීමක් පමණක් දැරීමට තීරණය කළා. මේ නිසා ඔහුට වැඩියෙන් නමස්කාර කටයුතුවල හවුල් වීමට කාලය තිබෙනවා. (1 තිමෝති 6:6-8) ඔහු ගත් ඒ තීරණය නිසා දැන් ඔහු වෙනදාට වඩා ප්‍රීතියෙන් සිටිනවා.

ලොකු පොඩි ඕනෑම කාරණයකදී ඔබ ගන්න තීරණ ඉතා වැදගත්. අප ගන්න තීරණවල ප්‍රතිඵල සාර්ථක හෝ අසාර්ථක විය හැකියි. අපි වැරදි තීරණයක් ගත්තොත් ඇතැම් විට එය මරණයට පවා හේතු විය හැකියි. ඔබ බයිබල් ප්‍රතිපත්ති හා අන් අයගේ හෘදය සාක්ෂිය ගැන සැලකිලිමත් වෙමින් දුර දිග බලා තීරණ ගන්නවා නම්, ඔබ ගන්න තීරණ නැණවත් කියා කිව හැකියි. සැම විටම දෙවිගේ කැමැත්තට එකඟව තීරණ ගන්න.

[13වන පිටුවේ පින්තූරය]

සුළුයයි කියා පෙනෙන කාරණාවලදී පවා ගන්න තීරණවල ප්‍රතිඵල භයානක විය හැකියි

[14වන පිටුවේ පින්තූරය]

ඇයට නැණවත් තීරණයක් ගැනීමට බයිබල් ප්‍රතිපත්ති උපකාරවත් වන්නේ කෙසේද?

[15වන පිටුවේ පින්තූරය]

යේසුස් පේතෘස්ට කතා කළේ කරුණාවන්ත ලෙසයි