Skip to content

පටුනට යන්න

බයිබල් සත්‍යයන්ට පක්ෂව කතා කළ සාදිස්හි මෙලිටෝ

බයිබල් සත්‍යයන්ට පක්ෂව කතා කළ සාදිස්හි මෙලිටෝ

බයිබල් සත්‍යයන්ට පක්ෂව කතා කළ සාදිස්හි මෙලිටෝ

සැබෑ ක්‍රිස්තියානීන් සෑම වසරකම ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සමරන්නේ හෙබ්‍රෙව් දිනදර්ශනයට අනුව නීසාන් මස 14වනදායි. ඔවුන් මෙය කරන්නේ, “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න” කියා යේසුස් දුන් ආඥාවට කීකරු වීමක් ලෙසයි. යේසුස් පාස්කුව සැමරීමෙන් පසුව මුලින්ම තම මරණය සිහි කිරීම පැවැත්තුවේ ක්‍රි.ව. 33 නීසාන් මස 14වනදායි. ඔහු මිය ගියේද එදිනයි.—ලූක් 22:19, 20; 1 කොරින්ති 11:23-28.

දෙවන සියවසේදී ඇතමුන් යේසුස්ගේ මරණය සිහි කරන දිනය හා එය පවත්වන ආකාරය වෙනස් කළා. එහෙත් සුළු ආසියාවට අයත් දේශවල එම වෙනස සිදු කළේ නැහැ. කෙසේවෙතත් එක් පොතක සඳහන් වන පරිදි ‘යේසුස්ගේ මරණය සිහි කරනවා වෙනුවට ඔහුගේ නැවත නැඟිටීම ඉරිදා සැමරීම රෝමයේ සහ ඇලෙක්සැන්ඩ්‍රියාවේ චාරිත්‍රයක් බවට පත් වුණා.’ එම ඉරිදා පාස්කු ඉරිදා කියා හඳුන්වනු ලැබුවා. යේසුස්ගේ මරණය සිහි කිරීම පැවැත්විය යුත්තේ නීසාන් 14වනදායි කියා තරයේ පවසා සිටි කණ්ඩායමක් සිටියා. සාදිස්හි මෙලිටෝ දැරුවේද එවැනි අදහසක්. මෙලිටෝ කියන්නේ කවුද? ඔහු බයිබලයේ සඳහන් වෙනත් සත්‍ය ඉගැන්වීම්වලට පක්ෂව කතා කළේ කෙසේද?

‘ඥානාලෝකය විහිදූ කෙනෙක්’

දෙවන සියවසේ අවසානයේදී සිසෙරියාවේ යූසීබියස් රචනා කළ පොතක (Ecclesiastical History) පෙන්වා දෙන ආකාරයට එෆීසයේ පොලික්‍රටීස් රෝමයට ලිපියක් යැව්වා. ‘සුවිශේෂයේ පෙන්වා දෙන ආකාරයට පාස්කුව සැමරිය යුත්තේ නීසාන් 14වනදා බවත් එය ක්‍රිස්තියානි ඇදහිල්ලේ කොටසක් බවත්’ එහි සඳහන් වුණා. එම ලිපියට අනුව ලිදියාවේ පිහිටි සාදිස්හි බිෂොප්වරයා වූ මෙලිටෝද නීසාන් 14වනදාට පක්ෂව කරුණු දැක්වූ කෙනෙක් වුණා. එම ලිපියේ තවදුරටත් සඳහන් වූ පරිදි මෙලිටෝගේ කාලයේ විසූ ඇතමුන් ඔහුව සැලකුවේ ‘ඥානාලෝකය විහිදූ කෙනෙක්’ ලෙසයි. මෙලිටෝ විවාහ නොවූ බවත් ‘ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහු ශුද්ධාත්මයේ මඟ පෙන්වීම් පැතූ බවත් ස්වර්ගික කැඳවීම ලැබෙන තෙක් ඔහු මරණයේ සැතපී සිටින බවත්’ පොලික්‍රටීස් තවදුරටත් සඳහන් කළා. මෙයින් පෙනී යන්නේ නැවත නැඟිටීම සිදු වන්නේ යේසුස් නැවත පැමිණීමෙන් පසුව බව විශ්වාස කළ අය අතර මෙලිටෝද සිටි බවයි.—එළිදරව් 20:1-6.

මෙලිටෝ ධෛර්ය සම්පන්න මෙන්ම අධිෂ්ඨානපූර්වකව ක්‍රියා කළ පුද්ගලයෙක් බව පෙනී යනවා. ඔහු මුල් වතාවට ක්‍රිස්තියානීන් වෙනුවෙන් පොතක් (Apology) ලිව්වා. ක්‍රිස්තු වර්ෂ 161 සිට 180 දක්වා කාලය තුළ රෝමයේ අධිරාජ්‍යයාව සිටි මාකස් ඕරේලියස්ට ඔහු මෙම පොත ප්‍රදානය කළා. සැබෑ ක්‍රිස්තියානි ආගමට පක්ෂව කරුණු දැක්වීමට බිය නොවූ මෙලිටෝ ඒ කාලයේ සිටි දුෂ්ට ගිජු මිනිසුන්ව හෙළා දැක්කා. මෙම මිනිසුන් ක්‍රිස්තියානීන්ට පීඩා කර ඔවුන්ගේ දේපොළ කොල්ල කෑමට කූට උපක්‍රම යොදාගනිමින් අධිරාජ්‍යයාගේ අවසරය ලබාගැනීමට මාන බැලුවා.

ඔහු අධිරාජ්‍යයාට නිර්භීතව මෙසේ කරුණු ඉදිරිපත් කළා. ‘අප ඔබගෙන් කරන එකම ඉල්ලීම මෙයයි: මේ දුෂ්ට මිනිසුන් ක්‍රිස්තියානීන්ට කරන හිරිහැර ගැන සොයා බලා ඔවුන්ට මරණ දඬුවම දිය යුතුද නැද්ද කියා ඔබම තීරණය කරන්න. ක්‍රිස්තියානීන්ට ආරක්ෂාව සලසා දිය යුතුයි කියා ඔබ සිතනවා නම් එසේ කරන්න. කුරිරු සතුරන්ට විරුද්ධව ක්‍රියා කිරීමට නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩක් නැත්නම් මේ මැර මිනිසුන්ගෙන් ක්‍රිස්තියානීන්ව බේරාගැනීමට කුමක් හෝ පියවරක් ගන්න මෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.’

ශුද්ධ ලියවිල්ල යොදාගනී

ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීමට මෙලිටෝ මහත් උනන්දුවක් දැක්වුවා. ඔහු ලියූ පොත් ගැන සම්පූර්ණ ලැයිස්තුවක් සොයාගත නොහැකි වුණත් ඔහු තෝරාගෙන තිබූ සමහර මාතෘකාවලින් පෙනී යන්නේ බයිබලයේ සඳහන් දේවල් කෙරෙහි ඔහු මහත් උනන්දුවක් දැක්වූ බවයි. ඔහු ලියූ සමහර පොත්වල මාතෘකා වන්නේ මේවායි. ක්‍රිස්තියානි ජීවිතය සහ අනාගතවක්තෘවරුන්; මිනිසාගේ ඇදහිල්ල; මැවීම; බව්තීස්මය, සත්‍යය, ඇදහිල්ල හා යේසුස්ගේ උපත; ආගන්තුක සත්කාරය; ශුද්ධ ලියවිලි තේරුම්ගනිමු; යක්ෂයා සහ යොහන්ගේ එළිදරව්ව.

හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලට අයත් පොත් ගණන හරියටම සොයා දැනගැනීමේ අරමුණින් ඔහු ඒවා ලියන ලද ප්‍රදේශවලට ගියා. මේ ගැන ඔහු මෙසේ සඳහන් කළා. “ශුද්ධ ලියවිලිවල සඳහන් දේවල් දේශනා කළ හා ඒ අනුව ජීවත් වූ මිනිසුන් විසූ දේශවලට මම ගියා. පරණ ගිවිසුමේ සඳහන් පොත් ගැන මම ඔබට දන්වා එවන්නේ ඒවා දේවානුභාවයෙන් ලියා තිබෙන බව මම තහවුරු කරගැනීමෙන් පසුවයි.” ඔහු සඳහන් කළ ශුද්ධ ලියවිල්ලට අයත් පොත් ලැයිස්තුවේ නෙහෙමියා සහ එස්තර් පොත් සඳහන් නොවුණත් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලට අයත් පිළිගත් ග්‍රන්ථ සමූහයට අයත් පොත් ඇතුළත් කරමින් ක්‍රිස්තියානියෙකු විසින් සකස් කළ පැරණිතම ලැයිස්තුව වන්නේ එයයි.

මෙලිටෝ යේසුස් ගැන අනාවැකි සඳහන් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලෙන් උපුටාගත් වගන්ති ඇතුළත් කරමින් ලැයිස්තුවක් සෑදුවා. ඔහු එය උපුටාගැනීම් (Extracts) කියා නම් කළා. කාලයක් පුරා බලා සිටි ගැලවුම්කරු යේසුස් බවත් මෝසෙස්ට දෙන නීතිය මඟ පෙන්වූයේද අනාගතවක්තෘවරුන් කතා කළේද ඔහු ගැන බවත් එයින් පෙන්වා දුන්නා.

යේසුස්ගේ ජීවිත පූජාව අගය කරයි

කුඩා ආසියාවට අයත් ප්‍රධාන නගරවල යුදෙව්වන් බොහෝදෙනෙක් වාසය කළා. මෙලිටෝ ජීවත් වූ සාදිස්හි යුදෙව්වන් පාස්කුව පැවැත්වූයේ නීසාන් 14වනදායි. මෝසෙස්ට දෙන ලද නීතියට අනුව පාස්කුව පැවැත්විය යුතු දෙයක් බවත් ක්‍රිස්තියානීන් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පැවැත්විය යුත්තේ නීසාන් මස 14වනදා බවත් පෙන්වා දීම සඳහා ඔහු පාස්කුව (The Passover) යන නමින් පොතක් ලිව්වා.

නික්මයාම 12වන පරිච්ඡේදයේ අදහස් ඉදිරිපත් කිරීමෙන් පසු එහි සඳහන් පාස්කුවෙන් නියෝජනය කළේ යේසුස්ගේ ජීවිත පූජාව බව මෙලිටෝ පහදා දුන්නා. ඉන්පසු ඔහු පැහැදිලි කළේ යේසුස්ගේ ජීවිත පූජාවෙන් පසු ක්‍රිස්තියානීන් පාස්කුව පැවැත්වීම අවශ්‍ය නැති බවයි. ඊට හේතුව මෝසෙස්ට දෙන ලද නීතිය දෙවි අවලංගු කිරීම බව ඔහු පෙන්වා දුන්නා. යේසුස් ඔහුගේ ජීවිතය පූජා කළේ ඇයි කියා ඔහු මෙසේ පැහැදිලි කළා: දෙවි ආදම්ට පාරාදීස පොළොවක් ලබා දුන්නේ එහි සන්තෝෂයෙන් ජීවත් වෙන්නයි. නමුත් ආදම් දෙවිට අකීකරු වී යහපත හා අයහපත දැනගැනීමේ ගහෙන් කෑවා. යේසුස් ඔහුගේ ජීවිතය පූජා කරන්න අවශ්‍ය වූයේ ඒ නිසයි.

යේසුස්ව දෙවි මේ පොළොවට එවූ බවත් ඔහු කණුවක් මත මිය ගියේ ඔහු කෙරෙහි ඇදහිල්ල තබන අයව පාපයෙන් සහ මරණයෙන් ගලවාගැනීමට බවත් මෙලිටෝ තවදුරටත් පැහැදිලි කළා. යේසුස්ව එල්ලා මරන ලද කණුව ගැන ලියන විට ක්සිලොන් නමැති ග්‍රීක වචනය ඔහු භාවිත කළා. එහි අර්ථය කොටයක් හෝ කණුවක් යන්නයි.—ක්‍රියා 5:30; 10:39; 13:29.

කුඩා ආසියාවෙන් පිට දේශවලත් මෙලිටෝ ප්‍රසිද්ධ වී සිටියා. පුරාණ ඉතිහාසඥයන් වූ ටර්ටූලියන්, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් හා ඔරිගන් ඔහුගේ පොත් ගැන හොඳින් දැන සිටියා. ඉතිහාසඥ රාන්යෙරෝ කාන්ටාලාමෙසා ඔහු ගැන මෙසේ සඳහන් කළා. ‘මෙලිටෝගේ ජනප්‍රියත්වය ක්‍රමානුකූලව පිරිහෙද්දී ඔහු ලියූ පොත් පත් කියවීමද ටිකෙන් ටික අඩු වුණා. මෙය සිදු වූයේ නීසාන් 14වෙනදාට පක්ෂව කතා කළ අයව මිථ්‍යාදෘෂ්ටිකයන් කියා හංවඩු ගසන්න පටන්ගැනීමෙන් පසුවයි. ඉරිදා පාස්කුව පැවැත්වීමේ චාරිත්‍රය ජනප්‍රිය වන්න පටන්ගත්තේ ඒ කාලයේදීයි.’ අවසානයේදී මෙලිටෝ ලියූ පොත් පත් කිසිවක් සොයාගත නොහැකි වුණා.

සැබෑ ඇදහිල්ලට විරුද්ධ වූවන්ගේ බලපෑමට හසු වූවාද?

යේසුස්ගේ ගෝලයන්ගේ මරණයෙන් පසු කලින් පවසා තිබූ ලෙස සැබෑ ක්‍රිස්තියානි ආගමට විරුද්ධ වූවන් නැඟී සිටියා. (ක්‍රියා 20:29, 20) මෙය මෙලිටෝටත් බලපෑවා. ඔහු යොදාගත් හරබර භාෂා ශෛලියෙන් පෙනී යන්නේ ඔහු ග්‍රීක හා රෝම ආභාෂයට ලක් වූ බවයි. මෙලිටෝ ක්‍රිස්තියානි ආගම “අපේ දර්ශනය” කියා හැඳින්වූයේ ඒ නිසා විය හැකියි. ඒ වගේම ඔහු ක්‍රිස්තියානි ආගම හා රෝම අධිරාජ්‍යය සම්බන්ධ වීම සැලකුවේ ‘මහත් යහපතකට තුඩු දෙන දෙයක්’ ලෙසයි.

පාවුල් දුන් මෙම උපදෙස මෙලිටෝ සිතට ගත්තේ නැහැ. “ක්‍රිස්තුස්ට එකඟ නොවූ, මිනිස් සම්ප්‍රදායන්ටද ලෝකයේ මූලධර්මවලටද එකඟ වූ දර්ශනවාදයන් සහ හිස් වූ රැවටිලිකාරකම් මාර්ගයෙන් කිසිවෙකු ඔබව කොල්ලයක් කර නොගන්නා හැටියට පරෙස්සම් වන්න.” මෙලිටෝ බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට යම් ප්‍රමාණයකට පක්ෂව කතා කළද ඔහු බොහෝ අවස්ථාවලදී ඒවා නොසලකාහැරියා.—කොලොස්සි 2:8.

[18වන පිටුවේ පින්තූරය]

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය මුලින්ම පැවැත්තුවේ නීසාන් මාසයේ 14වෙනිදායි