Skip to content

පටුනට යන්න

“මම ඔබ සමඟය”

“මම ඔබ සමඟය”

“මම ඔබ සමඟය”

‘යෙහෝවාගේ පණිවිඩකාරයා කතා කොට මම ඔබ සමඟයයි යෙහෝවා කියන්නේයයි කීවේය.’—හග්ගයි 1:13.

1. යේසුස් අපේ කාලයට සමාන කර දැක්වූයේ කුමන කාල වකවානුද?

අද අපි ජීවත් වෙන්නේ ඉතාමත් තීරණාත්මක කාලයකයි. බයිබල් අනාවැකිවල ඉටුවීමෙන් පෙනී යන ආකාරයට 1914 පටන් අපි ජීවත් වන්නේ “ස්වාමීන්ගේ දවස” කියා හඳුන්වන කාල පරිච්ඡේදයේයි. (එළිදරව් 1:10) මේ කාලය සම්බන්ධයෙන් බයිබලයේ පවසා තිබෙන අනාවැකි ගැන ඔබ හොඳින් දන්නවා ඇති. මේ නිසා යේසුස් “මනුෂ්‍ය පුත්‍රයාගේ දවස්” ‘නෝවාගේ දවස්වලට’ හා ‘ලොත්ගේ දවස්වලට’ සමාන කළ බවත් ඔබ දන්නවා ඇති. (ලූක් 17:26, 28) අපේ කාලයත් ඒ අතීත කාල වකවානු දෙකට සමානයි. ඒ විතරක් නොවෙයි, අපේ කාලයට සමාන වන තවත් කාලයක් තිබෙනවා. ඒ කාලය ගැනත් අප මහත් ඕනෑකමින් සලකා බැලිය යුතුයි.

2. හග්ගයි සහ සෙකරියා ප්‍රකාශ කළ පණිවිඩය කුමක්ද?

2 හග්ගයි සහ සෙකරියා යන අනාගතවක්තෲන් දෙදෙනා ජීවත් වූ කාලයේ පැවති තත්වය අපි දැන් සලකා බලමු. හග්ගයි සහ සෙකරියා ‘යෙහෝවාගේ පණිවිඩකාරයන්’ ලෙස සේවය කළේ යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස ලබා ආපසු තම දේශයට පැමිණීමෙන් පසුවයි. මොවුන් දෙදෙනා ප්‍රකාශ කළ පණිවිඩයට මූලිකව අයත් වූයේ ඊශ්‍රායෙල්වරුන් දේවමාලිගාව නැවත ගොඩනඟන විට යෙහෝවා ඔවුන්ට ස්ථිර වශයෙන්ම ආශීර්වාද කරන බව ඔවුන්ට මතක් කර දීමයි. (හග්ගයි 1:13; සෙකරියා 4:8, 9) අපේ කාලයේ සිටින යෙහෝවාගේ සේවකයන්ටත් එම පණිවිඩයේ සඳහන් දේවල් අදාළ වෙනවා. හග්ගයි සහ සෙකරියා ලියූ පොත් දෙක කුඩා වුණත් ‘දේවානුභාවයෙන් දුන් මුළු ශුද්ධ ලියවිල්ලට’ ඒවාත් අයත් වෙනවා. එනිසා ඒවාද “ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්” වෙනවා.—2 තිමෝති 3:16.

අපි අවධානය යොමු කළ යුත්තේ ඇයි?

3, 4. හග්ගයි සහ සෙකරියා පැවසූ අනාවැකිවලට අපි අවධානය යොමු කළ යුත්තේ ඇයි?

3 ඒ කාලයේ සිටි යුදෙව්වන්ට හග්ගයි සහ සෙකරියා දුන් පණිවිඩ ප්‍රයෝජනවත් වූ බවට සැකයක් නැහැ. ඔවුන් පළ කළ අනාවැකි එදා ඉටු වුණා. නමුත් මේ අනාවැකිවලට අද දින සිටින අපත් අවධානය යොමු කළ යුතුයි. අප එසේ පවසන්නේ මන්ද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සොයාගැනීමට උපකාරවත් වන යමක් හෙබ්‍රෙව් 12:26-29හි සඳහන් වෙනවා. මෙහිදී පාවුල් හග්ගයි 2:6හි සඳහන් වදන් උපුටා දක්වමින් පවසන්නේ යෙහෝවා ‘ආකාශය හා පොළොව සොලවන’ බවයි. ඒ සෙලවීමේ ප්‍රතිඵලයක් හැටියට ‘රාජ්‍යවල සිංහාසන පෙරළා දමනු ලබන අතර, ජාතීන්ගේ රාජ්‍යවල ශක්තිය විනාශ කරනු ලබනවා.’—හග්ගයි 2:22.

4 පාවුල් ඉහත වදන් උපුටා දැක්වීමෙන් පසු ‘ජාතීන්ගේ රාජ්‍යවලට’ සිදුවීමට නියමිත දෙය ගැන සඳහන් කරනවා. එමෙන්ම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සෙලවිය නොහැකි උතුම් රාජ්‍යයකට උරුමක්කාරයන් වන බවත් ඔහු පවසනවා. (හෙබ්‍රෙව් 12:28) මින් පෙනී යන්නේ හග්ගයි සහ සෙකරියා ප්‍රකාශ කළ අනාවැකි පාවුල් හෙබ්‍රෙව්වරුන්ට උපුටා දැක්වූ කාලය වන විටත් ඉටු වී තිබුණේ නැති බවයි. ඒවා ඉටුවීමට නියමිතව තිබුණේ ඉදිරියේදීයි. මෙසේ පවසන්නේ යේසුස් සමඟ ස්වර්ගයේ පාලනයට හවුල් වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සුළු කොටසක් තවමත් පොළොවේ සිටින නිසයි. මේ නිසා හග්ගයි සහ සෙකරියා පැවසූ අනාවැකි අපේ කාලයටත් වැදගත්.

5, 6. හග්ගයි සහ සෙකරියා අනාවැකි පැවසුවේ කුමන තත්වයක් යටතේද?

5 හග්ගයි සහ සෙකරියා අනාවැකි පැවසීමට පෙර පැවති තත්වය ගැන විස්තරයක් එස්රා පොතේ සඳහන් වෙනවා. යුදෙව්වන් ක්‍රි.පූ. 537දී බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස ලබා නැවතත් තම මව්බිමෙහි පදිංචි වීමෙන් පසු ආණ්ඩුකාර සෙරුබ්බාබෙල්ගේ සහ උත්තම පූජක යෝෂුවාගේ (යේෂුවාගේ) අධීක්ෂණය යටතේ ක්‍රි.පූ. 536දී අලුත් දේවමාලිගාවේ අත්තිවාරම දැමීමේ කාර්යය ආරම්භ කළා. (එස්රා 3:8-13; 5:1) සියලුදෙනාම ප්‍රීතියෙන් ඊට හවුල් වුණත් ඔවුන්ගේ විරුද්ධවාදීන්ට බිය වූ නිසා ඒ ප්‍රීතිය වැඩි කාලයක් පැවතුණේ නැහැ. එස්රා 4:4හි සඳහන් විස්තරයට අනුව “යූදාහි සෙනඟගේ” සතුරන් වූ ‘දේශයේ සෙනඟ ඔවුන්ගේ අත් දුර්වල කොට ගොඩනඟද්දී ඔවුන්ව කැලඹීමට පත් කළා.’ එම සතුරන් අතරින් විශේෂයෙන්ම සමාරිවරුන්, යුදෙව්වන් ගැන බොරු චෝදනා නඟමින් ගොඩනැඟීමේ වැඩ නතර කිරීම සඳහා පර්සියාවේ රජු ලවා තහනම් නියෝගයක් පනවාගත්තා.—එස්රා 4:10-21.

6 යුදෙව්වන් මුලින් දැක්වූ උද්‍යෝගය හීන වී ගියා. ඔවුන්ගේ අවධානය යොමු වුණේ පෞද්ගලික වැඩකටයුතුවලටයි. නමුත් අත්තිවාරම දමා අවුරුදු 16ක් ගියාට පසු එනම් ක්‍රි.පූ. 520දී යෙහෝවා හග්ගයි සහ සෙකරියා මාර්ගයෙන් දේවමාලිගාවේ වැඩකටයුතු නැවත පටන්ගැනීම සඳහා ඔවුන්ව දිරිගැන්වුවා. (හග්ගයි 1:1; සෙකරියා 1:1) මෙම දිරිගැන්වීමෙන් හා යෙහෝවාගේ උපකාරය තමන්ට තිබෙන බව තේරුම්ගැනීමෙන් ශක්තිමත් වූ ඔවුන් දේවමාලිගාව ගොඩනැඟීම නැවත අරඹා ක්‍රි.පූ. 515දී එය සම්පූර්ණ කළා.—එස්රා 6:14, 15.

7. හග්ගයි සහ සෙකරියාගේ කාලයේදී සිදු වූ දෙයට සමාන දෙයක් අදත් සිදු වෙනවා. ඒ කුමක්ද?

7 අතීතයේ සිදු වූ මේ දේවල් අද දින අපට වැදගත් වන ආකාරය ගැන ඔබ සිතුවාද? අද දින අපටත් හවුල් වෙන්න කාර්යයක් තිබෙනවා. එය ‘රාජ්‍යයේ ශුභාරංචිය’ දේශනා කිරීම හා සම්බන්ධයි. (මතෙව් 24:14) මෙම කාර්යය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේ පළමුවන ලෝක මහ යුද්ධයෙන් පසුවයි. පුරාණයේ විසූ යුදෙව්වන් බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වුණා වගේ නවීන කාලයේ සිටින යෙහෝවාගේ සෙනඟ බොරු ආගම්වලින් සමන්විත ලෝක අධිරාජ්‍යයක් බඳු මහ බැබිලෝනියෙන් නිදහස් වුණා. දෙවිගේ අභිෂේක ලත් සේවකයන් දේශනා කිරීම, ඉගැන්වීම හා මිනිසුන්ව සත්‍ය නමස්කාරයට යොමු කිරීමේ කාර්යයේ මහත් උද්‍යෝගයෙන් හවුල් වුණා. අද දක්වා සිදු කෙරෙන එම කාර්යයට ඔබත් හවුල් වෙමින් සිටිනවා ඇති. මේ දුෂ්ට සමාජ ක්‍රමයේ අවසානය ඉතා ආසන්නව තිබෙන නිසා එම කාර්යයේ හවුල් වෙන්න සුදුසුම කාලය මෙයයි. “මහත් පීඩාව” අතරතුර කාලයේදී යෙහෝවා දෙවි සියලුම දුෂ්ටකම් නැති කර දමන තෙක් අපි ඒ කාර්යයේ නිරත විය යුතුයි. (මතෙව් 24:21) දෙවි සියලුම දුෂ්ටකම් නැති කර දැමීමෙන් පසු මුළු පොළොව පුරාම පවතින්නේ සැබෑ නමස්කාරය පමණයි.

8. අපේ සේවයට යෙහෝවාගේ උපකාරය හා ආශීර්වාදය තිබෙනවා කියා අපිට ස්ථිර වෙන්න පුළුවන් කොහොමද?

8 යෙහෝවා අපට පවරා තිබෙන කාර්යයේ අපි මුළු සිතින්ම හවුල් වන විට අපට ඔහුගේ උපකාරය හා ආශීර්වාදය ලැබෙන බව ස්ථිරයි. මේ බව හග්ගයි සහ සෙකරියාගේ අනාවැකිවලින් පැහැදිලි වෙනවා. සමහර ආණ්ඩු දෙවිගේ සේවකයන්ට හිංසා පීඩා කර ඔවුන් කරන දේශනා සේවය තහනම් කිරීමට කොතරම් උත්සාහ කළත් ඔවුන් සාර්ථක වී නැහැ. පළමුවන ලෝක මහ යුද්ධයේ සිට මේ දක්වා ශුභාරංචිය දේශනා කිරීමේ වැඩකටයුතුවලට යෙහෝවා ආශීර්වාද කිරීම නිසා අද්දැක තිබෙන වර්ධනය ගැන සිතා බලන්න. එහෙත් තවත් විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා.

9. අපි අවධානය දිය යුත්තේ හග්ගයි සහ සෙකරියාගේ කාලයේ පැවති කුමන තත්වය ගැනද? ඒ ඇයි?

9 හග්ගයි සහ සෙකරියා ලියූ පොත්වලින් අපි ඉගෙනගන්න දේවල්, දේශනා කිරීමට හා ඉගැන්වීමට දෙවි අපිට දී තිබෙන ආඥාවට කීකරු වෙන්න අපි තුළ පෙලඹීමක් ඇති කරන්නේ කෙසේද? මේ පොත් දෙකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් කිහිපයක් දැන් සලකා බලමු. යළි තම මව්බිමට පැමිණි යුදෙව්වන්ට කරන්න තිබූ දේවමාලිගාව ගොඩනැඟීමේ කාර්යය හා සම්බන්ධ තොරතුරු ටිකක් මුලින්ම සලකා බලමු. කලින් සඳහන් කළ ආකාරයට යෙරුසලමට ආපසු පැමිණි යුදෙව්වන් දේවමාලිගාව ගොඩනැඟීමේ වැඩවල දිගටම නිරත වුණේ නැහැ. එහි අත්තිවාරම දැමීමෙන් පසු ඔවුන් වැඩ නතර කළා. ඔවුන් තුළ තිබූ වැරදි ආකල්පය කුමක්ද? අපිට එයින් ඉගෙනගන්න පුළුවන් පාඩම කුමක්ද?

නිසි ආකල්පයක් තබාගනිමු

10. යුදෙව්වන් තුළ ඇති වූ වැරදි ආකල්පය කුමක්ද? එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද?

10 ආපසු තම මව්බිමට පැමිණි යුදෙව්වන් “යෙහෝවාගේ ගෘහය ගොඩනඟන්ට යුතු කාලය මේක නොවේයයි” කියන්න පටන්ගත්තා. (හග්ගයි 1:2) ඔවුන් ක්‍රි.පූ. 536දී දේවමාලිගාවේ අත්තිවාරම දැමීමේ කාර්යය ආරම්භ කළ විට ඔවුන්ට එවැනි ආකල්පයක් තිබුණේ නැහැ. නමුත් අවට සිටි මිනිසුන් හා පාලකයන් ඇති කළ ප්‍රශ්න නිසා වැඩි කාලයක් යන්න කලින් ඔවුන් අධෛර්යයට පත් වුණා. ඔවුන් ඔවුන්ගේම නිවෙස් සහ ඔවුන්ගේම සැප පහසුව ගැන වැඩි අවධානයක් දෙන්න පටන්ගත්තා. දේවමාලිගාවේ වැඩ නතර කර දමා ඔවුන්ගේ නිවෙස් අනර්ඝ ලීවලින් සාදමින් සිටීම ගැන යෙහෝවා ඔවුන්ගෙන් මෙසේ ඇසුවා. “මේ ගෘහය පාළුව තිබෙන විට පියස්ස යට පැත්තෙන් ලෑලි ගසා ඇති ගෙවල්වල ඔබට වසන්ට කාලය මේකද?”—හග්ගයි 1:4.

11. හග්ගයිගේ කාලයේ විසූ යුදෙව්වන්ට උපදෙස් දීමට යෙහෝවාට සිදු වූයේ ඇයි?

11 තමන්ගේ ජීවිතයේ මුල් තැන දිය යුතු දෙය සම්බන්ධයෙන් යුදෙව්වන්ට මුලින් තිබූ ආකල්පය වෙනස් වුණා. යෙහෝවා අරමුණු කළ විදිහට දේවමාලිගාව ගොඩනැඟීමේ කාර්යයට මුල් තැන දෙනවා වෙනුවට ඔවුන් වැඩි අවධානයක් දුන්නේ තම තමන්ගේ ඕනෑ එපාකම් ඉටු කරගන්නයි. ඒ නිසා දෙවි ඔවුන්ට පැවරූ වැඩය ඔවුන් නොසලකාහැරියා. හග්ගයි 1:5හි සඳහන් වී ඇති ආකාරයට “ඔබේ මාර්ගයන් සිතට ගන්න” කියා යෙහෝවා ඔවුන්ට උනන්දු කළා. තමන් කරන දේ ගැන සිතා බලන්න කියාත්, දේවමාලිගාව ගොඩනැඟීමේ කාර්යයට මුල් තැන නොදීමෙන් ඔවුන්ට සිදු වී තිබෙන දෙය කල්පනාවට ගන්න කියාත් යෙහෝවා ඔවුන්ට පැවසුවා.

12, 13. යුදෙව්වන් අත් දුටු තත්වය හග්ගයි 1:6හි විස්තර කර තිබෙන්නේ කෙසේද? ඉන් අදහස් කරන්නේ කුමක්ද?

12 යුදෙව්වන් මුල් තැන දිය යුතු දේට මුල් තැන නොදුන් නිසා එය ඔවුන්ට බලපෑවේ කොහොමද? ඒ ගැන යෙහෝවා හග්ගයි 1:6හි මෙසේ පවසනවා. “ඔබ බොහෝ වැපුරුවහුය. නමුත් ස්වල්පයක් රැස් කරගන්නහුය. ඔබ කන්නහුය. නමුත් සෑහෙන තරම් නැත.ඔබ බොන්නහුය. එහෙත් තෘප්තියට නොපැමිණෙන්නහුය. ඔබ අඳින්නහුය. එහෙත් උණුසුම් වන කිසිවෙක් නැත. කුලී ලබාගන්නා එය ලබාගන්නේ හිල් ඇති පසුම්බියක දමන පිණිසය.”

13 යෙහෝවා ආපසු ලබා දුන් දේශයේ යුදෙව්වන් පදිංචි වී සිටියත් ඔවුන් කළ කිසිම දෙයකින් නියම ප්‍රතිඵල ලැබුණේ නැහැ. එයට හේතුව යෙහෝවාගේ ආශීර්වාද ඔවුන්ට අහිමි වීමයි. මේ ගැන කලින්ම ඔහු අනතුරු අඟවා තිබුණා. (ද්විතීය කතාව 28:38-48) යෙහෝවාගේ ආශීර්වාදය අහිමි කරගත් නිසා ඔවුන් වගා කළ දේවලින් හොඳ අස්වැන්නක් ලැබුණේ නැහැ. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය තරම් කෑම තිබුණේ නැහැ. ඔවුන්ට සීතලෙන් ආරක්ෂා වෙන්න අවශ්‍ය තරම් ඇඳුම් තිබුණේ නැහැ. ඔවුන් හම්බ කළ සල්ලි හරියට හිල් වුණු කළයකට වතුර දමනවා වගේ. කිසිවක් ඉතිරි කරගන්න ඔවුන්ට පුළුවන් වුණේ නැහැ. “ඔබ බොන්නහුය. එහෙත් තෘප්තියට නොපැමිණෙන්නහුය” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙහිදී ‘බීමෙන් තෘප්තියට පැමිණෙනවා’ කීමෙන් අදහස් කරන්නේ වෙරි වන තුරු බීම නොවෙයි. යෙහෝවා කොහොමටවත් බීමත්කම අනුමත කරන්නේ නැහැ. (1 සාමුවෙල් 25:36; හිතෝපදේශ 23:29-35) මෙම වගන්තියෙන් කියාපාන්නේ යුදෙව්වන් දෙවි පැවරූ වැඩය නොකළ නිසා ඔවුන්ට යෙහෝවාගේ ආශීර්වාද අහිමි වූ බවයි. එමනිසා ඔවුන්ට ප්‍රමාණවත් තරම් වයින් නිෂ්පාදනය කරන්න බැරි වුණා.

14, 15. හග්ගයි 1:6හි සඳහන් වදන්වලින් අපිට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

14 හග්ගයි පැවසූ වචනවලින් අප ඉගෙනගන්න පාඩම අපේ නිවෙස් සැලසුම් කිරීම හෝ අලංකාර කිරීම ගැන නොවෙයි. යුදෙව්වන් බැබිලෝනියේ වහල්භාවයට පත්වීමට බොහෝ කලකට පෙර අනාගතවක්තෘ ආමොස් ඊශ්‍රායෙලයේ ධනවතුන් විසූ “ඇත් දත් ගෙවල්” ගැන හා ඔවුන් ‘සයනය කළ ඇත් දත් යහන්’ ගැන හෙළා දකිමින් කතා කළා. (ආමොස් 3:15; 6:4) ඔවුන්ගේ අලංකාර නිවෙස් හා විසිතුරු ගෘහ භාණ්ඩ වැඩි කාලයක් තිබුණේ නැහැ. ඔවුන්ව යටත් කරගත් සතුරන් පැමිණ ඒවා කොල්ල කෑවා. එහෙත් වසර 70ක වහල්භාවයෙන් පසුව වුවත් දෙවිගේ සෙනඟගෙන් බොහෝදෙනෙක් එයින් පාඩමක් ඉගෙනගෙන තිබුණේ නැහැ. අපි ගැන කුමක් කිව හැකිද? අපි එක් එක් කෙනා මෙම ප්‍රශ්න හොඳින් සිතා බැලිය යුතුයි. ‘මම වැඩියෙන් අවධානය යොමු කරන්නේ නිවස නවීන පන්නයේ තත්වයට ගෙන ඒමටද? දෙවිට කරන නමස්කාරයේ සියලු අංගවල හවුල් විය නොහැකි තරමටම හොඳ රැකියාවක් ලබාගැනීමේ අරමුණින් අමතර අධ්‍යාපනයක් ලැබීමට වසර ගණනාවක් මම වැය කරනවාද?’—ලූක් 12:20, 21; 1 තිමෝති 6:17-19.

15 දෙවිගේ ආශීර්වාද ලබාගන්න නම් අප කළ යුතු දෙය ගැන සිතා බැලීමට හග්ගයි 1:6හි පවසන දෙය උපකාරවත් වෙනවා. පුරාණයේ යුදෙව්වන් දෙවිගේ ආශීර්වාද ලැබෙන ආකාරයෙන් ජීවත් නොවූ නිසා කනගාටුදායක ප්‍රතිඵල අත්විඳින්න ඔවුන්ට සිදු වුණා. අපට මෙයින් ගත හැකි පාඩම කුමක්ද? අපිට සැප සම්පත් බහුල ලෙස තිබුණත් නැතත් යෙහෝවාගේ ආශීර්වාද ලැබෙන ආකාරයට අපි ජීවත් වන්නේ නැත්නම් ඔහු සමඟ තිබෙන මිත්‍රත්වය පලුදු විය හැකියි. (මතෙව් 25:34-40; 2 කොරින්ති 9:8-12) එසේනම් දෙවිගේ ආශීර්වාද අපට ලබාගත හැක්කේ කෙසේද?

යෙහෝවා ඔහුගේ බලය සපයයි

16-18. සෙකරියා 4:6හි වදන් පුරාණයේ ඉටු වූයේ කෙසේද?

16 යෙහෝවා ඒ කාලයේ සිටි ඇදහිලිවන්තයන්ට ආශීර්වාද කළ ආකාරය හග්ගයි සමඟ අනාවැකි පැවසූ සෙකරියා පෙන්වා දෙනවා. දෙවි ඔබටත් ආශීර්වාද කරන ආකාරය ගැන එයින් යමක් ඉගෙනගත හැකියි. සෙකරියා 4:6හි අපට මෙසේ කියවීමට තිබෙනවා. “බලයෙන්වත් පරාක්‍රමයෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවන්ගේ යෙහෝවා කියන්නේය.” ඔබ මේ වචන බොහෝ වාරයක් අසා ඇති. එහෙත් හග්ගයිගේ සහ සෙකරියාගේ කාලයේ විසූ යුදෙව්වන්ට එම වචනවලින් අදහස් කළේ කුමක්ද? එමෙන්ම අපට ඒ වචනවල තිබෙන වැදගත්කම කුමක්ද?

17 හග්ගයි සහ සෙකරියා දේවානුභාවයෙන් පැවසූ වදන් ඒ කාලයේ සිටි යුදෙව්වන්ට බලපෑ ආකාරය සැලකිල්ලට ගන්න. මෙම අනාගතවක්තෘවරුන් දෙදෙනා පැවසූ දේවලින් ඇදහිලිවන්ත යුදෙව්වන් මහත් දිරිගැන්වීමක් ලැබුවා. හග්ගයි අනාවැකි කියන්න පටන්ගත්තේ ක්‍රි.පූ. 520 හයවන මාසයේදීයි. සෙකරියා අනාවැකි කියන්න පටන්ගත්තේ ඒ අවුරුද්දේම අටවන මාසයේදීයි. (සෙකරියා 1:1) හග්ගයි 2:18ට අනුව නතර කර තිබූ දේවමාලිගාවේ වැඩකටයුතු නවවන මාසයේදී නැවතත් උනන්දුවෙන් කරන්න පටන්ගත්තා. යුදෙව්වන් තුළ මහත් පෙලඹීමක් ඇති වුණා. ඔවුන් යෙහෝවාට කීකරු වූ අතර දෙවිගේ බලය ලැබෙන බව ඔවුන් විශ්වාස කළා. මේ අනුව සෙකරියා 4:6හි සඳහන් වදන්වලින් විස්තර කරන්නේ දෙවිගේ බලය යුදෙව්වන්ට ලැබෙන බවයි.

18 යුදෙව්වන් ක්‍රි.පූ. 537දී ආපසු ඔවුන්ගේ මව්බිමට පැමිණි කාලයේදී ඔවුන්ට හමුදාවක් තිබුණේ නැහැ. එහෙත් යෙහෝවා ඔවුන් බැබිලෝනියේ සිට ආපසු එන ගමනේදී අවශ්‍ය ආරක්ෂාව සහ මඟ පෙන්වීම ලබා දුන්නා. ඔවුන් පැමිණ කෙටි කාලයක් ඇතුළත දේවමාලිගාව ඉදි කිරීමේ වැඩ පටන්ගත් විට, එය දිගටම කරගෙන යෑමට හැකි වන පරිදි යෙහෝවා ඔහුගේ බලය මාර්ගයෙන් කාරණා හැසුරුවා. අත්හැර දැමූ එම වැඩකටයුතු නැවතත් උද්‍යෝගයෙන් ඇරඹූ විට දෙවි තම බලය ඔවුන්ට ලබා දුන්නා.

19. යෙහෝවාගේ බලය ප්‍රබලව ක්‍රියාත්මක වූයේ කොහොමද?

19 යෙහෝවා සෙකරියාට දර්ශන අටක් දකින්න සැලැස්සුවා. එම දර්ශනවලින් ඔහු ස්ථිර කළේ දේවමාලිගාව ගොඩනැඟීමේ කාර්යයට විශ්වාසවන්තව හවුල් වන තම සෙනඟ සමඟ තමන් සිටින බවයි. දේවමාලිගාව ගොඩනැඟීමේ කාර්යය සම්පූර්ණ කිරීමට යුදෙව්වන් දැරූ උත්සාහය කඩාකප්පල් කිරීමට සාතන් දැඩි ලෙස වෑයම් කළ ආකාරය ගැන 3වන පරිච්ඡේදයේ සඳහන් 4වන දර්ශනයෙන් පැහැදිලි වෙනවා. (සෙකරියා 3:1) අලුතෙන් ඉදි කළ දේවමාලිගාවේ උත්තම පූජක හැටියට යෝෂුවා සේවය කරනවා දකින්න සාතන් අකමැති වුණාට සැකයක් නැහැ. එමනිසා එම කාර්යය කඩාකප්පල් කිරීමට සාතන් තමන්ට හැකි සෑම දෙයක්ම කළත්, ඉදි කිරීම් කටයුතු සම්පූර්ණ වන තෙක් බාධා ඉවත් කිරීමටත්, යුදෙව්වන්ව ක්‍රියාවට පෙලඹීමටත් යෙහෝවාගේ බලය ප්‍රබලව ක්‍රියාත්මක වුණා.

20. දේවමාලිගාව ගොඩනැඟීම සම්පූර්ණ කරන්න යෙහෝවා යුදෙව්වන්ට උපකාර කළේ කෙසේද?

20 පර්සියානු අධිරාජ්‍යයේ නිලධාරීන් දේවමාලිගාව ගොඩනැඟීමේ කාර්යය නතර කිරීම සඳහා පැනවූ තහංචිය ඒ අවස්ථාවේදී පෙනෙන්න තිබුණේ කිසිම ආකාරයකින් වෙනස් කරන්න බැරි බවයි. එම තහංචිය කන්දක් හා සමාන බාධකයක් වුණා. ඒත් යෙහෝවා දෙවි මෙම “කන්ද” “සම භූමියක්” කරන බවට පොරොන්දු වුණා. (සෙකරියා 4:7) යෙහෝවා එම පොරොන්දුව ඒ ආකාරයටම ඉෂ්ට කළා. පළවෙනි දාරියුස් රජ යම් සොයා බැලීමක් කිරීමෙන් පසුව දේවමාලිගාව නැවත ගොඩනැඟීමට සයිරස් රජ යුදෙව්වන්ට දුන් අවසර පත්‍රය ඔහුට සම්බ වුණා. එමනිසා ඔහු සියලු තහංචි ඉවත් කර, ඉදි කිරීමේ වැඩකටයුතු සඳහා අවශ්‍ය මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ලබා දුන්නා. තත්වය කොතරම් පුදුම ලෙස වෙනස් වුණාද! මේ වෙනස සිදු කිරීමට යෙහෝවා සම්බන්ධ වූ බව කිව හැකිද? ඔව්, ඒ අවස්ථාවේදී ඔහුගේ බලය ප්‍රබලව ක්‍රියාත්මක වූ බවට සැකයක් නැහැ. දාරියුස් රජුගේ හයවන අවුරුද්දේ එනම් ක්‍රි.පූ. 515දී දේවමාලිගාව ගොඩනැඟීම සම්පූර්ණ කළා.—එස්රා 6:1, 15.

21. (අ) පුරාණයේදී යෙහෝවා දෙවි ‘ජාතීන්ව සෙලවූයේ’ කෙසේද? එහි ප්‍රතිඵලයක් ලෙස “සියලු ජාතීන් ආශා කරන දේ” එක් රැස් කළේ කොහොමද? (ආ) මෙය නවීන දින ඉටු වී තිබෙන්නේ කෙසේද?

21 යෙහෝවා යුදෙව්වන් සමඟ සීනයි කන්ද ඉදිරිපිට ගිවිසුමක් ඇති කළ ආකාරය හග්ගයි 2:5හි මතක් කර දුන්නා. ඒ අවස්ථාවේදී “මුළු කන්ද මහත් ලෙස කම්පා විය.” (නික්මයාම 19:18) හග්ගයි 2:6 සහ 7හි පැහැදිලි කර ඇති ආකාරයට හග්ගයි සහ සෙකරියාගේ කාලයේදීත් යෙහෝවා ඒ හා සමාන සෙලවීමක් සිදු කළා. පර්සියානු අධිරාජ්‍යයේ කැලඹිලි සහිත තත්වයක් උද්ගත වුණේ ඒ නිසා විය හැකියි. නමුත් දේවමාලිගාව ඉදි කිරීමේ කටයුතු එහි නිමාව දක්වා ඇදී ගියා. “සියලු ජාතීන් ආශා කරන දේ” එනම් යුදෙව් නොවන ජාතීන්ද යෙහෝවාට නමස්කාර කිරීම සඳහා ඉදි කළ එම දේවමාලිගාවේදී යුදෙව්වන් සමඟ ඔහුට ප්‍රශංසාව ගෙන දුන්නා. අපේ කාලයේදී මෙම අනාවැකිය මහත් පරිමාණයෙන් ඉටු වී තිබෙනවා. අප කරන දේශනා සේවය මගින් දෙවි ‘ජාතීන්ව සොලවා’ තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස “සියලු ජාතීන් ආශා කරන දේ” එනම් වෙනත් බැටළුවන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සමඟ යෙහෝවාට සේවය කරනවා. අභිෂේක ලත් අය හා වෙනත් බැටළුවන් යෙහෝවාගේ ගෘහය තේජසින් පුරවමින් සිටිනවා. යෙහෝවා තවත් ආකාරයකින් ‘ආකාශය සහ පොළොව සොලවන’ කාලය එන තෙක් මේ කාණ්ඩයම් දෙකම ඇදහිල්ලෙන් බලා සිටිනවා. එම සෙලවීම සිදු කරන්නේ ජාතීන්ගේ රාජ්‍යයන් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමටයි.—හග්ගයි 2:22.

22. වර්තමානයේදී දෙවි ජාතීන්ව ‘සොලවා’ ඇත්තේ කෙසේද? එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද? එමෙන්ම ඉදිරියේදී සිදුවීමට නියමිතව තිබෙන්නේ කුමක්ද?

22 ‘ආකාශය හා පොළොවත් මුහුද හා ගොඩත් සෙලවීම’ කියද්දී එයින් කාවද්දන්නේ විවිධ හේතු නිසා මේ ලෝකය තුළ ඇති වී තිබෙන කැලඹිලි සහිත තත්වයයි. මීට එක් හේතුවක් නම් සාතන් සහ ඔහුගේ භූතයන් පොළොවට හෙළනු ලැබීමයි. (එළිදරව් 12:7-12) දෙවිගේ අභිෂේක ලත් සේවකයන්ගේ මූලිකත්වයෙන් පොළොව පුරා දේශනා කිරීමේ කාර්යය සිදු වන නිසා මෙම සමාජ ක්‍රමයේද යම් සෙලවීමක් ඇති වී තිබෙනවා. (එළිදරව් 11:18) මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සමඟ “සියලු ජාතීන් ආශා කරන දේ,” එනම් “මහත් සමූහයක්” යෙහෝවාට සේවය කරමින් සිටිනවා. (එළිදරව් 7:9, 10) දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට අත හිත දෙන්නේ මෙම මහත් සමූහයයි. වැඩි කල් නොගොස් දෙවි අර්මගෙදොන් යුද්ධයේදී සියලුම ජාතීන්ව සොලවනු ලබනවා. ඉන්පසු මුළු පොළොව පුරාම පවතිනු ඇත්තේ සැබෑ නමස්කාරය පමණයි.

ඔබට මතකද?

• හග්ගයි සහ සෙකරියා අනාවැකි කිව්වේ කුමන කාලයේදීද? කුමන තත්වයක් යටතේද?

• හග්ගයි සහ සෙකරියා ප්‍රකාශ කළ පණිවිඩය ඔබ අදාළ කරගන්නේ කෙසේද?

සෙකරියා 4:6හි සඳහන් වදන් මහත් දිරිගැන්වීමක් වන්නේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20වන පිටුවේ පින්තූර]

දෙවිගේ උපකාරය අපට ලැබෙන බවට හග්ගයි සහ සෙකරියාගේ අනාවැකිවලින් පැහැදිලියි

[23වන පිටුවේ පින්තූරය]

“මේ ගෘහය පාළුව තිබෙන විට පියස්ස යට පැත්තෙන් ලෑලි ගසා ඇති ගෙවල්වල ඔබට වසන්ට කාලය මේකද?”

[24වන පිටුවේ පින්තූරය]

‘සියලු ජාතීන් ආශා කරන දේ’ සෙවීමේ කාර්යයෙහි යෙහෝවාගේ සෙනඟ හවුල් වෙනවා