Skip to content

පටුනට යන්න

අපේ රජ වන ක්‍රිස්තුස්ට පක්ෂපාතව සේවය කරමු

අපේ රජ වන ක්‍රිස්තුස්ට පක්ෂපාතව සේවය කරමු

අපේ රජ වන ක්‍රිස්තුස්ට පක්ෂපාතව සේවය කරමු

“සියලු වර්ගයන්ද ජාතීන්ද භාෂාද ඔහුට මෙහෙකරන පිණිස ආණ්ඩුවත් ගෞරවයත් රාජ්‍යයකුත් ඔහුට දෙන ලද්දෝය.”—දානියෙල් 7:14.

1, 2. ක්‍රිස්තු වර්ෂ 33දී ක්‍රිස්තුස් සම්පූර්ණ වශයෙන් රාජ්‍ය බලය භාරගත්තේ නැහැ කියා අපි දන්නේ කොහොමද?

තම යටත් වැසියන් වෙනුවෙන් ජීවිතය පූජා කිරීමෙන් පසුව පවා, නැවත රජකම් කරන්න පුළුවන් කොයි වගේ පාලකයෙකුටද? තම යටත් වැසියන් සමඟ ජීවත් වෙමින් ඔවුන්ගේ විශ්වාසය හා පක්ෂපාතකම දිනාගෙන පසුව ස්වර්ගයේ සිට පාලනය කළ හැක්කේ කොයි වගේ රජ කෙනෙකුටද? එවැනි දේවල් සහ ඊටත් වඩා දේවල් කරන්න පුළුවන් යේසුස් ක්‍රිස්තුස්ට පමණයි. (ලූක් 1:32, 33) ක්‍රිස්තුස්ගේ මරණය, නැවත නැඟිටීම සහ ස්වර්ගයට නැඟී යෑම සිදු වී ටික දවසකට පසු ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී, දෙවි “සභාවේ සියලු දේ කෙරෙහි ඔහුව හිස ලෙස පත් කළේය.” (එෆීස 1:20-22; ක්‍රියා 2:32-36) එදා පටන් ක්‍රිස්තුස්ගේ පාලනය ආරම්භ වුණත් එය සිදු වුණේ සීමිත ආකාරයකින් පමණයි. මුලින්ම ඔහුගේ යටත් වැසියන් වුණේ, ඔහු සමඟ ස්වර්ගයේ පාලනය කිරීම සඳහා දෙවි තෝරගත් “දෙවිගේ ඊශ්‍රායෙල්” ලෙස හඳුන්වනු ලැබූ අභිෂේක ලත් අයයි.—ගලාති 6:16; කොලොස්සි 1:13.

2 ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසෙන් වසර 30ක් ගත වූ පසුවත්, ක්‍රිස්තුස් සම්පූර්ණ රාජ්‍ය බලය භාරගෙන තිබුණේ නැති බව පාවුල් සහතික කළේ මෙසේයි. ඔහු “දෙවිගේ දකුණු පැත්තේ ඉඳගත්තේය. එතැන් පටන් ඔහු සිය සතුරන්ව තම පා පුටුවක් ලෙස තබන තුරු බලා සිටින්නේය.” (හෙබ්‍රෙව් 10:12, 13) මහලු වයසේ සිටි යොහන් ක්‍රි.ව. 96දී පමණ, ඉදිරියට සිදු වෙන්න යන දෙයක් දර්ශනයකින් දැක්කා. ඒ, විශ්වයේ පරමාධිපති යෙහෝවා දෙවි, අලුත පිහිටුවනු ලැබූ දේවරාජ්‍යයේ රජ හැටියට යේසුස් ක්‍රිස්තුස්ව පත් කිරීමයි. (එළිදරව් 11:15; 12:1-5) ඉතිහාසය දෙස බලන අපිට, ක්‍රිස්තුස් 1914දී දේවරාජ්‍යයේ රජ හැටියට පාලනය කරන්න පටන්ගත් බවට ඇති තරම් සාක්ෂි දැකගන්න පුළුවන්. *

3. (අ) රාජ්‍යයේ ශුභාරංචියට 1914 සිට ඇතුළත් කරනු ලැබූ අලුත් පණිවුඩය කුමක්ද? (ආ) අපි අපෙන්ම අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

3 එදා පටන් ක්‍රිස්තුස්ට පාලනය කිරීමට සිදු වුණේ තම “සතුරන් මැද” වුණත් දේවරාජ්‍යයේ රජ වශයෙන් යේසුස් ඉතා උනන්දුවෙන් පාලනය කරමින් සිටිනවා. ඒ වෙනකොටත් දේශනා කරමින් සිටි රාජ්‍යයේ ශුභාරංචියට 1914දී සිදු වූ යේසුස්ගේ රජවීම ගැන ප්‍රීතිමත් ආරංචියද ඇතුළත් වුණා. (ගීතාවලිය 110:1, 2; මතෙව් 24:14; එළිදරව් 12:7-12) යේසුස්ගේ අධිකාරයට කැමැත්තෙන් යටත් වන ලොව පුරා සිටින අය, මිනිස් ඉතිහාසයේ මෙතෙක් කර නැති තරම් ප්‍රමාණයෙන් ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපන වැඩසටහනක සහභාගි වෙනවා. (දානියෙල් 7:13, 14; මතෙව් 28:18) “ක්‍රිස්තුස් වෙනුවට තානාපතියන්” ලෙස සේවය කරන්නේ “රාජ්‍යයේ පුත්‍රයෝ” වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්. දැනට ශීඝ්‍ර වර්ධනයක් අද්දකින ක්‍රිස්තුස්ගේ “වෙනත් බැටළුවන්” දේවරාජ්‍යයේ නියෝජිතයන් ලෙස කටයුතු කරමින් මේ අයට පක්ෂපාත ලෙස සහයෝගය දක්වනවා. (2 කොරින්ති 5:20; මතෙව් 13:38; යොහන් 10:16) ඒත් පුද්ගලිකව අපි එක් එක්කෙනා ඇත්තෙන්ම ක්‍රිස්තුස්ගේ අධිකාරය පිළිගන්නවාද, ඊට යටත් වෙනවාද කියා සෝදිසි කර බැලිය යුතුයි. ඔහුට අපි දක්වන පක්ෂපාතකම නොසැලෙන එකක්ද? ස්වර්ගයේ සිට පාලනය කරන රජෙකුට අපි පක්ෂපාත වෙන්නේ කොහොමද? මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න පෙර ක්‍රිස්තුස්ට පක්ෂපාත වීමට අපට තිබෙන හේතු ගැන මුලින්ම සලකා බලමු.

අපේ පක්ෂපාතකම ලබන්න වටින රජ කෙනෙක්

4. යේසුස් මේ පොළොවේ සිටිද්දී කළ දේවල් මොනවාද?

4 යේසුස් ක්‍රිස්තුස් අප වෙනුවෙන් කර තිබෙන දේවල්වලට හා ඔහුගේ අනර්ඝ ගුණාංගවලට ඇති අපගේ අගය නිසා අපි ඔහුට පක්ෂපාත වෙනවා. (1 පේතෘස් 1:8) පොළොවේ සිටිද්දී යේසුස් මිනිසුන්ට ආහාර ලබා දුන්නා. අබ්බගාත, අන්ධ, ගොළු, බිහිරි ඇතුළු විවිධ රෝගීන්ව ඔහු සුව කළා. ඒ විතරක් නෙවෙයි ඔහු මියගිය අයට පවා නැවත ජීවනය දුන්නා. මෙයින් ඔහු පෙන්නුවේ මුළු පොළොවම පාලනය කිරීමට දෙවි තමාට බලය දුන් පසු මේ දේවල් ඔහුට මහා පරිමාණයකින් කරන්න පුළුවන් වන බවයි. (මතෙව් 15:30, 31; ලූක් 7:11-16; යොහන් 6:5-13) මේ පොළොවේදී යේසුස් ගත කළ ජීවිතය ගැන හොඳින් සොයා බැලුවොත් පොළොවේ අනාගත රජගේ ගුණාංග ගැන අපිට යම් අවබෝධයක් ලැබේවි. එයින් ප්‍රධාන එක නම් ඔහුගේ ආත්ම පරිත්‍යාගී ප්‍රේමයයි. (මාක් 1:40-45) ඒ ප්‍රේමය ගැන ප්‍රංශ අධිරාජ්‍යවරයෙක් වූ නැපෝලියන් බොනපාට් පැවසුවේ මෙයයි. “මා ඇතුළු, ඇලැක්සැන්ඩර්, සීසර්, ශාලිමේන් වැනි අය අධිරාජ්‍යවල් ගොඩනැඟූ බව ඇත්තයි. ඒත් අපි ඒ දේවල් කළේ බලය පාවිච්චි කරලයි. යේසුස් ක්‍රිස්තුස් ඔහුගේ රාජ්‍යය ගොඩනැඟුවේ ප්‍රේමය මතයි. ඔහු වෙනුවෙන් ජීවිතය වුණත් දෙන්න අද මිලියන ගණනක් මිනිස්සු සූදානම් ඒ නිසයි.”

5. යේසුස් එතරම් ප්‍රියමනාප පුද්ගලයෙක් වුණේ ඇයි?

5 යේසුස් මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙක් වූ නිසා පීඩා කරදරවල බරින් මිරිකී සිටි අයට ඔහුගේ ඉගැන්වීම්වලින් දිරිගැන්වීමක් ලැබුණා. ඒ වගේම ඔහුගේ කාරුණික බවින් ඔවුන්ව ප්‍රබෝධවත් කළා. (මතෙව් 11:28-30) දරුවන්ට ඔහු ගැන භයක් දැනුණේ නැහැ. ඔහු ඉගැන්වූ දේවල් වටහාගත්, යටහත්පහත් පුරුෂයන් කැමැත්තෙන්ම ඔහුගේ ගෝලයන් වුණා. (මතෙව් 4:18-22; මාක් 10:13-16) ඔහු නිතරම අනුන් ගැන සිතමින් ගෞරවනීය ලෙස ක්‍රියා කළ නිසා දේවභක්තික කාන්තාවන් බොහෝදෙනෙක්ද ඔහුට පක්ෂපාතකම දැක්වූවා. ඔහුගේ දේවසේවය කරගෙන යෑමට ඔහුට උපකාර කළ ඔවුන්ගෙන් බොහෝදෙනෙක් තමන්ගේ කාලය, ශ්‍රමය හා වස්තුව ඔහු වෙනුවෙන් වැය කළා.— ලූක් 8:1-3.

6. යේසුස් සංවේදී හා මෘදු කෙනෙක් බව ලාසරුස් මිය ගිය විට ඔප්පු වුණේ කොහොමද?

6 යේසුස් සංවේදී හා මෘදු කෙනෙක් බව ඔහුගේ ආදරණීය මිතුරා වූ ලාසරුස් මිය ගිය අවස්ථාවේදී ඔප්පු වුණා. මරියාගෙත් මාර්තාගෙත් වේදනාව දුටු ඔහු ශෝකයෙන් සුසුම්ලා “කඳුළු සැලුවේය.” තව ටික වේලාවකින් තමා ලාසරුස්ව නැවත නැඟිටුවන්න යන බව හොඳටම දැනගෙන සිටියත් ඔහුට දැනුණු වේදනාව නිසා ඔහු ‘කැලඹුණා.’ පසුව ප්‍රේමයෙන් හා අනුකම්පාවෙන් පෙලඹුණු යේසුස්, දෙවිගෙන් තමා ලැබූ බලය යොදාගෙන ලාසරුස්ව නැවත නැඟිට්ටෙව්වා.—යොහන් 11:11-15, 33-35, 38-44.

7. අපේ පක්ෂපාතකම ලබන්න තරම් යේසුස් වටින්නේ ඇයි? (31වන පිටුවේ ඇති කොටුවද බලන්න.)

7 යේසුස් හරි දේට ලොකු ඇලුම්කමක් දැක්වූ අතර වංචනික ස්වභාවයත් දුෂ්ටකමටත් පිළිකුල් කළා. ඒ නිසා අපිට ඔහු ගැන ඇති වෙන්නේ ලොකු ගෞරවයක්. ගිජු ව්‍යාපාරිකයන්ගෙන් දේවමාලිගාව පිරිසිදු කිරීමට ඔහු දෙවරක් එඩිතරව ක්‍රියා කළා. (මතෙව් 21:12, 13; යොහන් 2:14-17) ඒ විතරක් නෙවෙයි මේ පොළොවේ ජීවත් වෙද්දී ඔහු විවිධාකාර පීඩාවලට මුහුණ දුන්නා. මේ නිසා අපි මුහුණ දෙන ප්‍රශ්න ගැටලු ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබෙනවා. (හෙබ්‍රෙව් 5:7-9) ඒ වගේම වෛරය සහ අසාධාරණකම්වලට මුහුණ දෙන කෙනෙකුට හැඟෙන්නේ කොහොමද කියාත් යේසුස් හොඳින් තේරුම්ගත්තා. (යොහන් 5:15-18; 11:53, 54; 18:38–19:16) අන්තිමේදී තම පියාණන්ගේ කැමැත්ත ඉටු කිරීම සඳහාත් තම රාජ්‍යයේ යටත් වැසියන්ට සදාකාල ජීවනය ලබා දීම සඳහාත් ඔහු ඉතා කුරිරු මරණයකට නිර්භීත ලෙස මුහුණ දුන්නා. (යොහන් 3:16) ක්‍රිස්තුස්ගේ එවැනි ගුණාංග නිසා දිගටම ඔහුට පක්ෂපාත ලෙස සේවය කරන්න ඔබ පෙලඹෙන්නේ නැද්ද? (හෙබ්‍රෙව් 13:8; එළිදරව් 5:6-10) ඒත් අපේ රජ වන ක්‍රිස්තුස්ගේ රාජ්‍යයේ යටත් වැසියෙක් වෙන්න නම් අපි කළ යුත්තේ කුමක්ද?

රාජ්‍යයේ යටත් වැසියෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම්

8. ක්‍රිස්තුස්ගේ රාජ්‍යයේ යටත්වැසියන් වෙන්න බලාපොරොත්තු වන අයට තිබිය යුතු සුදුසුකම් මොනවාද?

8 වෙනත් රටක පුරවැසියෙක් වෙන්න අපිට අවශ්‍ය නම් ඒ සඳහා යම් මූලික සුදුසුකම් අපිට තිබිය යුතුයි. ඒ සුදුසුකම් අතර හොඳ චරිතයක් තිබීම, හොඳ සෞඛ්‍යය තත්වයක් තිබීම වැනි දේවල් බලාපොරොත්තු විය හැකියි. ඒ හා සමානව ක්‍රිස්තුස්ගේ රාජ්‍යයේ යටත්වැසියන් වෙන්න බලාපොරොත්තු වන අය, උසස් සදාචාර ප්‍රමිති දරන, දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් රැකගෙන සිටින අය විය යුතුයි.—1 කොරින්ති 6:9-11; ගලාති 5:19-23.

9. අපි ක්‍රිස්තුස්ට පක්ෂපාත බව ඔප්පු කර පෙන්වන්නේ කොහොමද?

9 ඒ වගේම තම යටත්වැසියන් තමන්ටත් තම රාජ්‍යයටත් පක්ෂපාතව සිටීමත් යේසුස් ක්‍රිස්තුස් බලාපොරොත්තු වෙනවා. ඔහු මේ පොළොවේ සිටිද්දී ඉගැන්වූ දේවලට එකඟව තම ජීවිත ගත කිරීමෙන් ඔවුන් ඒ පක්ෂපාතකම පෙන්වනවා. උදාහරණයක් හැටියට ඔවුන් දේපළ වස්තුව රැස් කිරීම වෙනුවට, දේවරාජ්‍යයට සම්බන්ධ දේවලටත් දෙවිගේ කැමැත්ත කිරීමටත් තම ජීවිතයේ මුල් තැන දෙනවා. (මතෙව් 6:31-34) ඒ වගේම ඉතාමත්ම පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙද්දීත් ක්‍රිස්තුස් ක්‍රියා කළ අයුරින් ක්‍රියා කරන්න ඔවුන් දැඩි උත්සාහයක් දරනවා. (1 පේතෘස් 2:21-23) අන් අයට යහපත්කම් කිරීමට ඉදිරිපත් වීම මගිනුත් ක්‍රිස්තුස්ගේ යටත්වැසියන් ඔහුව ආදර්ශයට ගන්නවා.—මතෙව් 7:12; යොහන් 13:3-17.

10. (අ) පවුල තුළ, (ආ) සභාව තුළ, ක්‍රිස්තුස්ට පක්ෂපාතකම පෙන්වන්න පුළුවන් කොහොමද?

10 යේසුස්ගේ අනුගාමිකයන් ඔහුට පක්ෂපාතකම පෙන්වන තවත් ක්‍රමයක් නම් තමන්ගේ පවුල තුළ ක්‍රිස්තුස්ගේ ගුණාංග විදහාපෑමයි. උදාහරණයකට තම භාර්යාවටත් දරුවන්ටත් සලකන ආකාරයෙන්, ස්වාමිපුරුෂයන් ස්වර්ගීය රජාණන්ට ඇති තම පක්ෂපාතකම පෙන්වනවා. (එෆීස 5:25, 28-30; 6:4; 1 පේතෘස් 3:7) භාර්යාවනුත් තම පක්ෂපාතකම පෙන්වන්නේ ඔවුන්ගේ නිර්මල හැසිරීමෙන් සහ ‘තැන්පත් වූ මෘදු වූ ගතියෙනුයි.’ (1 පේතෘස් 3:1-4; එෆීස 5:22-24) තම දෙමාපියන් අතින් වැරදි සිදු වුණත්, යෞවන කාලයේදී යේසුස් ඔවුන්ට යටත්ව සිටියා. කීකරුකම ගැන ක්‍රිස්තුස් තැබූ ඒ ආදර්ශය අනුකරණය කරන දරුවන් ක්‍රිස්තුස්ට පක්ෂපාතකම පෙන්වනවා. (ලූක් 2:51, 52; එෆීස 6:1) සභාව තුළත් “එකිනෙකා කෙරෙහි අනුකම්පාව දක්වමින්, සහෝදර ස්නේහය ඇතිව ගැඹුරු දයානුකම්පාවෙන් යුක්තව” සිටීම තුළින් ක්‍රිස්තුස්ගේ රාජ්‍යයේ යටත්වැසියන් පක්ෂපාත ලෙස ඔහුව අනුකරණය කිරීමට උත්සාහ කරනවා. ක්‍රිස්තුස් මෙන් “යටහත් පහත් මනසක් ඇතිව . . . නපුරට නපුරවත් නිග්‍රහයට නිග්‍රහයවත්” නොකිරීමට ඔවුන් දරන්නේ මහත් උත්සාහයක්.—1 පේතෘස් 3:8, 9; 1 කොරින්ති 11:1.

ක්‍රිස්තුස්ගේ නීතිය පිළිපැදීම

11. ක්‍රිස්තුස්ට යටත් වන අය පිළිපදින නීති කුමක්ද?

11 යම් රටක පුරවැසිභාවය ලබන්න බලාපොරොත්තු වන අය ඒ රටේ නීතිවලට යටත් වෙනවා වගේ ක්‍රිස්තුස්ට යටත් වන අය, යේසුස් ඉගැන්වූ සෑම දෙයකටම එකඟව ජීවත් වීම තුළින් “ක්‍රිස්තුස්ගේ නීතිය” පිළිපදිනවා. (ගලාති 6:2) ඔවුන් විශේෂයෙන් ප්‍රේමය නමැති ‘රාජකීය නීතියට’ පක්ෂව ජීවත් වෙනවා. (යාකොබ් 2:8) මේ නීතිවලට ඇතුළත් වෙන්නේ කුමක්ද?

12, 13. අපි පක්ෂපාතව “ක්‍රිස්තුස්ගේ නීතිය” පිළිපදින්නේ කොහොමද?

12 ක්‍රිස්තුස්ට යටත් වන අය පාපය උරුම කරගෙන නැති, වැරදි නොකරන අය නම් නෙවෙයි. (රෝම 3:23) මේ නිසා “හද පත්ලෙන්ම එකිනෙකාට ප්‍රේම කරන්න” නම් ඔවුන් “කුහකකමින් තොර සහෝදර ස්නේහය” ඇතිව සිටීමට දිගටම උත්සාහ කළ යුතුයි. (1 පේතෘස් 1:22) “යමෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට හේතුවක් ඇත්නම්,” පක්ෂපාත ක්‍රිස්තියානීන් “එකිනෙකා ගැන ඉවසමින්” ක්‍රිස්තුස්ගේ නීතිය අදාළ කරගන්නවා. මෙසේ ක්‍රිස්තුස්ගේ නීතිය පිළිපැදීම තුළින් ඔවුන්ට හැකි වෙනවා එකිනෙකාගෙන් සිදු වෙන සුළු සුළු වැරදි ගණන් නොගෙන ඔවුන්ට ප්‍රේම කිරීම සඳහා තිබෙන හේතු දකින්න. අපි අපේ ප්‍රේමණීය රජාණන්ට පක්ෂපාතව යටත් වන නිසා, ‘එක්සත් කරවන සම්පූර්ණ වූ බැඳීමක්’ වන ප්‍රේමය පැළඳගෙන සිටින අය සමඟ ආශ්‍රය කිරීමට ලැබීම, ආශීර්වාදයක් හැටියට ඔබ සලකන්නේ නැද්ද?—කොලොස්සි 3:13, 14.

13 තමා පෙන්වූ ප්‍රේමය සාමාන්‍යයෙන් මිනිසුන් එකිනෙකාට පෙන්වන ප්‍රේමයට වඩා උතුම් එකක් වූ බව යේසුස් පැහැදිලි කළා. (යොහන් 13:34, 35) අපට ප්‍රේම කරන අයට පමණක් අපි ප්‍රේම කරනවා නම් එහි ‘විශේෂත්වයක් නැහැ.’ එවැනි ප්‍රේමයේ අඩුවක් තිබෙනවා. යේසුස් අපිට දිරිගැන්වූයේ ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් තම පියාණන්ව අනුකරණය කරන්න කියායි. එවැනි ප්‍රේමයක් අපිට තිබෙනවා නම් අපිට වෛර කරන පීඩා කරන අපේ සතුරන් සමඟ වුණත් අපි ප්‍රේමයෙන් ක්‍රියා කරාවි. (මතෙව් 5:46-48) ඒ විතරක් නෙවෙයි එවැනි ප්‍රේමයක් තිබෙනවා නම් දේවරාජ්‍යයේ යටත් වැසියන්ට, තමන් කළ යුතු ප්‍රධාන කාර්යයෙහි පක්ෂපාතව යෙදී සිටීමටත් හැකි වේවි. ඒ කාර්යය කුමක්ද?

අපේ පක්ෂපාතකම පරීක්ෂා කෙරේ

14. දේශනා කිරීමේ කාර්යය මෙතරම් වැදගත් වෙන්නේ ඇයි?

14 දේවරාජ්‍යයේ යටත්වැසියන්ට පැවරී තිබෙන අතිවැදගත් කාර්යය වෙන්නේ ‘දෙවිගේ රාජ්‍යය ගැන පූර්ණ ලෙස සාක්ෂි දැරීමයි.’ (ක්‍රියා 28:23) මේ කාර්යය මෙතරම් වැදගත් වීමට හේතුව, විශ්වය පාලනය කිරීමට යෙහෝවා දෙවිට තිබෙන අයිතිය තහවුරු වෙන්නේ දේවරාජ්‍යය තුළින් නිසයි. (1 කොරින්ති 15:24-28) අපි ශුභාරංචිය දේශනා කරන විට, සවන් දෙන අයට දේවරාජ්‍යයේ යටත්වැසියන් වීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අපි දේශනා කරන ඒ පණිවුඩයට මිනිසුන් ප්‍රතිචාරයක් දක්වන ආකාරයෙන් ඔවුන් ගැන යම් විනිශ්චයක් කිරීමට අපේ රජ වන ක්‍රිස්තුස්ට පහසු වේවි. (මතෙව් 24:14; 2 තෙසලෝනික 1:6-10) මේ නිසා අපි ක්‍රිස්තුස්ට පක්ෂ බව පෙන්වන ප්‍රධාන ආකාරයක් වෙන්නේ අන් අයට දේවරාජ්‍යය ගැන කීමට ඔහු දුන් ආඥාවට කීකරු වීමයි.—මතෙව් 28:18-20.

15. ක්‍රිස්තියානීන්ගේ පක්ෂපාතකම පරීක්ෂාවට ලක් වෙන්නේ ඇයි?

15 නමුත් මේ දේශනා කිරීමේ කාර්යයට සාතන් තමාට හැකි උපරිමයෙන් විරුද්ධවාදිකම් ඇති කරනවා. මිනිස් පාලකයනුත් ක්‍රිස්තුස්ට දෙවිගෙන් ලැබී තිබෙන අධිකාරය පිළිගන්නේ නැහැ. (ගීතාවලිය 2:1-3, 6-8) “දාසයෙකු තම ස්වාමියාට වඩා උතුම් නොවේ. . . . මට පීඩා කළා නම්, ඔවුහු ඔබටත් පීඩා කරන්නෝය” කියා යේසුස් තම ගෝලයන්ට අනතුරු ඇඟෙව්වේ ඒ නිසයි. (යොහන් 15:20) මෙවැනි හේතු නිසා ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් යෙදී සිටින්නේ තමන්ගේ පක්ෂපාතකම පරීක්ෂාවට ලක් විය හැකි ඉතාමත්ම අසීරු සටනකයි.—2 කොරින්ති 10:3-5; එෆීස 6:10-12.

16. දේවරාජ්‍යයේ යටත්වැසියන් ‘දෙවිගේ දේ දෙවිට දෙන්නේ’ කොහොමද?

16 දේවරාජ්‍යයේ යටත් වැසියන් තමන්ගේ අදෘශ්‍යමාන රජුට පක්ෂපාත වුණත්, මිනිස් අධිකාරීන්ට අගෞරව කරන්නෙත් නැහැ. (තීතස් 3:1, 2) “සීසර්ගේ දේ සීසර්ටද, දෙවිගේ දේ දෙවිටද දෙන්න” කියා යේසුස් පැවසුවා. (මාක් 12:13-17) දෙවිගේ නීතිය නොසලකාහැරිය යුදෙව් මහාධිකරණය, දේශනා කරන එක නතර කරන්න කියා යේසුස්ගේ ගෝලයන්ට අණ කළා. නමුත් ඒ අවස්ථාවේදී ඔවුන් “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය” කියා ගෞරවනීය ලෙස නමුත් ස්ථිරයෙන් කියා සිටියා. (ක්‍රියා 1:8; 5:27-32; රෝම 13:1-7) මේ ආකාරයට ක්‍රිස්තුස්ට යටත් වන අය මිනිස් ආණ්ඩුවල නීතිවලට කීකරු වෙන්නේ ඒවා දෙවිගේ නීතිවලට පටහැනි නොවන අවස්ථාවලදී පමණයි.

17. අපේ පක්ෂපාතකම පරීක්ෂාවට ලක් වෙද්දී අපට නිර්භීතව එයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ ඇයි?

17 පීඩාවලට මුහුණ දෙද්දී තමන්ගේ රජ වන ක්‍රිස්තුස්ට පක්ෂපාතව කටයුතු කිරීම දේවරාජ්‍යයේ යටත්වැසියන්ට පහසු නොවන බව නම් ඇත්තයි. කොහොමවුණත් යේසුස් පැවසුවේ මෙයයි. “මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කොට ඔබට විරුද්ධව බොරු චෝදනා නඟමින් සියලු ආකාර දුෂ්ට දේ පවසන විට ඔබ සන්තෝෂවත්ය. ස්වර්ගයෙහි ඔබට තිබෙන විපාකය මහත් බැවින් ප්‍රීති වෙන්න, ප්‍රීතියෙන් පිනා යන්න.” (මතෙව් 5:11, 12) ඒ වචනවල සත්‍යතාව ක්‍රිස්තුස්ගේ මුල් අනුගාමිකයන් අද්දැකීමෙන්ම දැනගත්තා. දේවරාජ්‍යය ගැන නොකඩවා දේශනා කළ නිසා ඔවුන්ව අල්ලගෙන තැළුවත් ඔවුන් “ඔහුගේ නාමය නිසා නින්දා විඳින්න තමුන් වටින්නෝයයි ගණන්ගනු ලැබූ හෙයින් ප්‍රීති” වුණා. “ඉන්පසු ඔවුහු දිනපතා දේවමාලිගාවේදීත් ගෙයින් ගෙටත් ගොස් අත් නෑර උගන්වමින්ද ක්‍රිස්තුස් වූ යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කරමින්ද සිටියෝය.” (ක්‍රියා 5:41, 42) ඔබත් දුෂ්කරතා, අසනීප, ප්‍රේමණීය කෙනෙකුගේ වියෝව හෝ විරුද්ධවාදිකම් අද්දකින කෙනෙක් වෙන්න ඇති. එහෙමනම් ඔබත් පක්ෂපාත ලෙස මේවා විඳදරාගත් යේසුස්ගේ ගෝලයන් මෙන් ප්‍රශංසාව ලබන්න වටින කෙනෙක්.—රෝම 5:3-5; හෙබ්‍රෙව් 13:6.

18. පොන්තියුස් පිලාත්ට යේසුස් පැවසූ දෙයින් අදහස් කරන්නේ කුමක්ද?

18 ඉදිරියේදී දේවරාජ්‍යයේ රජ වෙන්නට නියමිතව සිටි යේසුස් රෝමානු ආණ්ඩුකාර පොන්තියුස් පිලාත්ට මේ කාරණය පැහැදිලි කළා. “මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් වූවා නම්, මාව යුදෙව්වරුන් අතට පාවා දෙනු නොලබන පිණිස මා යටතේ සිටින්නන් සටන් කරනවා ඇත. නමුත් මාගේ රාජ්‍යය මේ ලෝකයෙන් නොවේ.” (යොහන් 18:36) එමනිසා දේවරාජ්‍යයේ යටත්වැසියන් සටන් කිරීම සඳහා අවි ගන්නේවත් කිසිම මිනිස් යුද්ධයක පැති ගන්නේවත් නැහැ. ‘සමාදානයේ කුමාරයාට’ පක්ෂපාතව සිටින ඔවුන් මේ ලෝකයේ භේදකාරී දේවල්වලට කොහෙත්ම සම්බන්ධ වෙන්නේ නැහැ.—යෙසායා 2:2-4; 9:6, 7.

පක්ෂපාත යටත්වැසියන් ලබන්න යන සදාකාල ආශීර්වාද

19. ක්‍රිස්තුස්ගේ පාලනයට පක්ෂපාත වන අයට විශ්වාසයෙන් යුතුව අනාගතයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ ඇයි?

19 “රජවරුන්ගේ රජු” වන ක්‍රිස්තුස්ගේ පාලනයට පක්ෂපාත වන අය අනාගතයට මුහුණ දෙන්නේ විශ්වාසයෙන් යුතුවයි. තම රජු වන ක්‍රිස්තුස් ළඟදීම දිව්‍ය බලයෙන් කටයුතු කරන ආකාරය බලන්න ඔවුන් ආශාවෙන් සිටිනවා. (එළිදරව් 19:1120:3; මතෙව් 24:30) අභිෂේක ලත් ‘රාජ්‍යයේ පුත්‍රයන්ගෙන්’ මේ පොළොවේ ඉතිරි වී සිටින අය ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ රජකම් කිරීමේ අනර්ඝ උරුමය ලබන්න බලා සිටිනවා. (මතෙව් 13:38; ලූක් 12:32) ඒ වගේම ක්‍රිස්තුස්ට පක්ෂපාතව සේවය කරන ඔහුගේ “වෙනත් බැටළුවන්,” තමන්ව අනුමත කරමින් තම රජු මෙහෙම පවසන තුරු ඉතා උනන්දුවෙන් බලා සිටිනවා. “මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න. ලෝකය පිහිටුවීමේ සිට ඔබට සූදානම් කර තිබෙන [දේවරාජ්‍යයට අයත් භූමික පාරාදීසය] උරුමයක් වශයෙන් ලබාගන්න.” (යොහන් 10:16; මතෙව් 25:34) අපේ රජු වන ක්‍රිස්තුස්ට දිගටම පක්ෂපාත ලෙස සේවය කිරීම, දේවරාජ්‍යයේ යටත්වැසියන් සියලුදෙනාගේම අධිෂ්ඨානය වේවා!

[පාදසටහන]

^ 2 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ, 215-218 දක්වා පිටුවල ඇති “බයිබල් අනාවැකිවල සුවිශේෂි වසරක් වන 1914” යන කොටස බලන්න.

ඔබ දන්නවාද?

• අපේ පක්ෂපාතකම ලබන්න තරම් යේසුස් වටින්නේ ඇයි?

• ක්‍රිස්තුස්ට යටත් වන අය ඔහුට තම පක්ෂපාතිත්වය පෙන්වන්නේ කොහොමද?

• අපේ රජු වන ක්‍රිස්තුස්ට පක්ෂපාත වෙන්න අපි කැමති වෙන්නේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[31වන පිටුවේ කොටුව]

ක්‍රිස්තුස්ගේ තවත් කැපීපෙනෙන ගුණාංග

තරාතිරම් නොබැලීම—යොහන් 4:7-30.

අනුකම්පාව—මතෙව් 9:35-38; 12:18-21; මාක් 6:30-34.

ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමය—යොහන් 13:1; 15:12-15.

පක්ෂපාතකම—මතෙව් 4:1-11; 28:20; මාක් 11:15-18.

සංවේදී බව—මාක් 7:32-35; ලූක් 7:11-15; හෙබ්‍රෙව් 4:15, 16.

සාධාරණකම—මතෙව් 15:21-28.

[29වන පිටුවේ පින්තූරය]

එකිනෙකාට පෙන්වන ප්‍රේමයෙන් අපි “ක්‍රිස්තුස්ගේ නීතිය” පක්ෂපාතව පිළිපදිනවා

[31වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තුස්ගේ ගුණාංග නිසා ඔහුට පක්ෂපාතව සේවය කිරීමට ඔබ තුළ ආශාවක් ඇති වෙන්නේ නැද්ද?