Skip to content

පටුනට යන්න

එඬේරුන්ව පුහුණු කරන්නේ යෙහෝවා දෙවියි

එඬේරුන්ව පුහුණු කරන්නේ යෙහෝවා දෙවියි

එඬේරුන්ව පුහුණු කරන්නේ යෙහෝවා දෙවියි

“යෙහෝවා ප්‍රඥාව දෙන්නේය; ඔහුගේ මුඛයෙන් දැනගැන්මද තේරුම්ගැන්මද නික්මේ.”—හිතෝපදේශ 2:6.

1, 2. බව්තීස්ම ලත් පුරුෂයන් සභාව තුළ වගකීම් දැරීමට උත්සාහ කරන්නේ ඇයි?

“යෙහෝවාට මම කොච්චර ණයගැතිද! ඒ නිසා ඔහුට කරන සේවය තවත් වැඩි කරන්න ලැබුණු අවස්ථාවක් හැටියටයි මම එය සැලකුවේ. වැඩිමහල්ලෝ මට උදව් කළා වගේ මටත් ඕන වුණා සභාවේ අයට මගේ උපරිමයෙන් උදව් කරන්න. මේ නිසා මාව වැඩිමහල්ලෙක් ලෙස පත් කළාම මට දැනුණු සතුට කියා නිම කරන්න බැහැ.” ඒ අවුරුදු හතක් පුරා වැඩිමහල්ලෙක් ලෙස සේවය කරන නික්ගේ වචනයි. ඒ සතුට සමඟම ඔහුට ඇති වුණු හැඟීම් ගැන නික් විස්තර කළේ මෙහෙමයි. “ඒ වෙනකොට මට අවුරුදු 30ක්වත් නැහැ. ඒ නිසා මගේ සභාවේ අයව හොඳින් තේරුම්ගෙන නැණවත් ආකාරයකින් ක්‍රියා කරන එඬේරෙක් වෙන්න මට පුළුවන් වෙයිද කියන බියත් මට නොතිබුණා නෙවෙයි.”

2 නික් හා සමානව තම රැළ රැකබලා ගැනීමට යෙහෝවා දෙවි පත් කර තිබෙන අයට සන්තෝෂ වීමට හේතු රැසක් තිබෙනවා. මේ එක් හේතුවක් ගැන යේසුස්ගේ වචන යොදාගෙන එෆීසයේ සිටි වැඩිමහල්ලන්ට පේතෘස් පැවසුවේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ” කියායි. (ක්‍රියා 20:35) වැඩිමහල්ලන් සමඟ එකට වැඩ කරමින් ඔවුන්ට උපකාර කරන සභා සේවකයන්, කාලය වැය වන, ඉතාවැදගත් වැඩ රාශියක් සභාවේ ඉටු කරනවා. මේ ආකාරයට සභා සේවකයෙක් හෝ වැඩිමහල්ලෙක් වීම මගින් යෙහෝවා දෙවිටත් සභාවටත් කරන සේවය තවත් වැඩියෙන් කරන්න බව්තීස්ම ලත් පුරුෂයන්ට අවස්ථාවක් ලැබෙනවා. මෙතරම් වටිනා සේවයක් කරන්න ඔවුන් පෙලඹෙන්නේ දෙවිටත් අසල්වැසියාටත් තිබෙන ප්‍රේමය නිසයි.—මාක් 12:30, 31.

3. සභාවේ වගකීම් දැරීමට සමහරු අදිමදි කිරීමට හේතුව කුමක් විය හැකිද?

3 තමාට ඒ වගකීම් දැරීමට සුදුසුකම් නැහැයි කියා හිතන නිසා, සභා සේවකයෙක් වීමේ සහ පසුව වැඩිමහල්ලෙක් වීමේ වරප්‍රසාදය අත්කරගැනීමට අදිමදි කරන බව්තීස්ම ලත් පුරුෂයෙක් ගැන කුමක් කිව හැකිද? සභාව හොඳින් රැකබලා ගැනීමට අවශ්‍ය හැකියාවන් තමාට නැහැයි කියා නික් වගේ ඔහුටත් හැඟෙන්න පුළුවන්. බව්තීස්ම ලත් පුරුෂයෙක් හැටියට ඔබටත් එහෙම හැඟෙනවාද? ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. එයට හේතුව රැළට තමන් සලකන ආකාරය ගැන එඬේරුන් යෙහෝවාට ගණන් දිය යුතු නිසයි. යේසුස් ඒ ගැන පැවසුවේ මෙහෙමයි. “බොහෝ දේ දෙනු ලැබූ සියලුදෙනාගෙන්ම බොහෝ දේ ඉල්ලා සිටිනු ලැබේ. බොහෝ දේ භාරව සිටින පිණිස මිනිසුන් විසින් පත් කරනු ලබන තැනැත්තාගෙන් සාමාන්‍යයට වඩා ඉල්ලා සිටිනු ලැබේ.”—ලූක් 12:48.

4. තම බැටළුවන්ව රැකබලා ගැනීමට යෙහෝවා දෙවි පත් කරන අයට ඔහු උපකාර කරන්නේ කොහොමද?

4 සභා සේවකයන් සහ වැඩිමහල්ලන් තනිවම එවැනි වගකීම්වල බර ඉසිලිය යුතුයි කියා යෙහෝවා දෙවි බලාපොරොත්තු වෙනවාද? නැහැ. ඒ වගකීම් නිකම්ම කරන්න විතරක් නෙවෙයි, ඒවා සාර්ථකව ඉටු කරන්නත් අවශ්‍ය උපකාරය යෙහෝවා දෙවිම ඔවුන්ට දෙනවා. කලින් ලිපියේ සඳහන් කළා වගේ රැළේ බැටළුවන්ට මෘදු ලෙස සලකන්න අවශ්‍ය ගුණාංග ඔවුන්ට ලැබී තිබෙන්නේ යෙහෝවා දෙවි ඔවුන්ට ශුද්ධාත්මය දී තිබෙන නිසයි. (ක්‍රියා 20:28; ගලාති 5:22, 23) ඊට අමතරව ප්‍රඥාව, දැනගැන්ම සහ තේරුම්ගැනීමත් යෙහෝවා දෙවි ඔවුන්ට ලබා දෙනවා. (හිතෝපදේශ 2:6) මෙසේ දෙවි තම බැටළුවන්ව රැකබලා ගැනීම සඳහා එවැනි අයව පුහුණු කරන ආකාර තුනක් ගැන අපි දැන් සලකා බලමු.

පළපුරුදු එඬේරුන් මගින් දෙන පුහුණුව

5. පේතෘස් සහ යොහන් සාර්ථක එඬේරුන් වුණේ ඇයි?

5 මිනිසුන් විසින් ප්‍රඥාවන්ත අය ලෙස සැලකූ යුදෙව් මහාධිකරණයේ විනිශ්චයකරුවන්, තමන් ඉදිරියේ සිටි පේතෘස්ව සහ යොහන්ව සැලකුවේ “නූගත්, සාමාන්‍ය මිනිසුන්” හැටියටයි. ඔවුන්ට ලියන්න කියවන්න තරම් දැනුමක් තිබුණා. නමුත් යුදෙව් ආගමික නායකයන් යටතේ ශුද්ධ ලියවිලි ගැන හොඳ පුහුණුවක් නම් ඔවුන් ලබා තිබුණේ නැහැ. නමුත් පේතෘස්, යොහන් ඇතුළු වෙනත් ගෝලයන් ඔවුන්ට සවන් දුන් බොහෝදෙනෙකුට ඇදහිලිවන්තයන් වෙන්න උපකාර කළා. මේ සාමාන්‍ය මිනිසුන් එතරම් සාර්ථක ගුරුවරුන් වුණේ කොහොමද? ඔවුන්ට දෙවිගේ බලය ලැබිලා තිබුණ බව ඇත්තයි. (ක්‍රියා 1:8) නමුත් පේතෘස් සහ යොහන්ට සවන් දීමෙන් පසුව ඒ අධිකරණයේ නිලධාරීන් “ඒ මිනිසුන් යේසුස් සමඟ සිටි බව ඔවුහු හඳුනාගත්හ.” (ක්‍රියා 4:1-4, 13) යේසුස් මේ මිනිසුන්ව පුහුණු කර තිබූ බව ගැඹුරු සත්‍යයන් ගැන අවබෝධයක් නොතිබූ ඒ විනිශ්චයකරුවන්ට පවා වැටහුණා. බැටළු ගුණ ඇති අයව එක්රැස් කරන ආකාරය ගැන වගේම ඔවුන් රැළට එකතු වුණාට පසුව ඔවුන්ව රැකබලා ගන්න ආකාරය ගැනත් යේසුස් තම ගෝලයන්ට කියා දී තිබුණා.—මතෙව් 11:29; 20:24-28; 1 පේතෘස් 5:4.

6. අන් අයව පුහුණු කරන ආකාරය ගැන යේසුස් සහ පාවුල් තැබුවේ මොන වගේ ආදර්ශයක්ද?

6 යේසුස් නැවත නැඟිට්ටායින් පසුව පවා තමා පත් කළ එඬේරුන්ව පුහුණු කළා. (එළිදරව් 1:1; 2:1–3:22) පාවුල් එවැනි කෙනෙක්. යේසුස්ම ඔහුව තෝරගෙන පසුව ඔහුට ලැබුණු පුහුණුවත් අධීක්ෂණය කළා. (ක්‍රියා 22:6-10) ඒ පුහුණුව බොහෝ සෙයින් අගය කළ පාවුල්, වෙනත් වැඩිමහල්ලන්ටත් තමා ඉගෙනගත් දේවල් කියා දුන්නා. (ක්‍රියා 20:17-35) තිමෝතිව “ලජ්ජා වීමට හේතුවක් නැති වැඩකාරයෙකු” ලෙස පුහුණු කරන්න ඔහු සෑහෙන කාලයක් සහ ශ්‍රමයක් වැය කළා. (2 තිමෝති 2:15) තිමෝති සමඟ ඇති වූ කිට්ටු මිත්‍රත්වය ගැන පවසමින් පාවුල් ලිව්වේ, “තම පියා සමඟ සිටින දරුවෙකු මෙන්, ඔහු ශුභාරංචියේ වැඩිදියුණුව තකා මා සමඟ වෙහෙස මහන්සි වී සේවය” කළා කියායි. (ෆිලිප්පි 2:22) නමුත් තිමෝතිව හෝ වෙනත් ඕනෑම කෙනෙක්ව තමාගේම ගෝලයෙක් කරගන්න පාවුල් උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට ඔහු ඇදහිලිවන්තයන් සියලුදෙනාටම උනන්දු කළේ “මා ක්‍රිස්තුස්ව අනුකරණය කරන්නාක් මෙන් ඔබ මාව අනුකරණය කරන්න” කියායි.—1 කොරින්ති 11:1.

7, 8. (අ) වැඩිමහල්ලන් යේසුස්වත් පාවුල්වත් අනුකරණය කරද්දී ඔවුන්ට ලැබෙන හොඳ ප්‍රතිඵල ගැන පෙන්වන අද්දැකීම කුමක්ද? (ආ) අනාගතයේදී සභා සේවකයන් සහ වැඩිමහල්ලන් විය හැකි අයව වැඩිමහල්ලන් පුහුණු කරන්න පටන්ගත යුත්තේ කොයි කාලයේ පටන්ද?

7 පළපුරුදු එඬේරුන් යේසුස්ව හා පාවුල්ව අනුකරණය කරමින් බව්තීස්ම ලත් සහෝදරයන්ව පුහුණු කරනවා. එසේ කිරීමෙන් යේසුස් හා පාවුල් මෙන්ම ඔවුනුත් හොඳ ප්‍රතිඵල අද්දකිනවා. පියා සත්‍යයේ නැති පවුලක ඇති දැඩි වූ චැඩ්, මෑතකදී වැඩිමහල්ලෙක් ලෙස පත් වුණා. ඔහු කියන්නේ “අද්දැකීම් ලත් වැඩිමහල්ලෝ සත්‍යය තුළ දියුණු වෙන්න මට හුඟක් උපකාර කළා. සත්‍යය තුළ තාත්තා නැතිව හිටපු මට, මේ අය තාත්තලා වගේ වුණා. දේවසේවයේදී පුහුණුවක් ලබා දීම සඳහා ඔවුන් මං වෙනුවෙන් වැඩි කාලයක් වැය කළා. විශේෂයෙන් එක වැඩිමහල්ලෙක් සභාවේදී මට ලැබුණු වගකීම් හොඳින් ඉටු කරන්න මාව පුහුණු කළා” කියායි.

8 චැඩ්ගේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා වගේ ඉදිරියේදී සභා සේවකයෙක් හෝ වැඩිමහල්ලෙක් වීමේ ලකුණු පෙන්වන අයව පළපුරුදු වැඩිමහල්ලෝ කලින්ම වටහාගන්නවා. පසුව ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් අත් කරගන්න තෙක් ඔවුන්ව පුහුණු කරනවා. ඊට හේතුව සභා සේවකයෙක් හෝ වැඩිමහල්ලෙක් වෙන්න නම් ඊට පෙර ඒ පුද්ගලයන් උසස් සදාචාර ප්‍රමිති සහ ශක්තිමත් ඇදහිල්ලක් ඇති අය විය යුතු බව බයිබලය පවසන නිසයි. එහි පවසන්නේ “පළමුකොට ඔවුන් සුදුස්සන්දැයි” පරීක්ෂා කළ යුතු බවයි.—1 තිමෝති 3:1-10.

9. අද්දැකීම් ලත් එඬේරුන්ට තිබෙන වගකීම කුමක්ද? ඔවුන් එය කරන්නේ ඇයි?

9 බව්තීස්ම ලත් සහෝදරයෙකුගේ සුදුසුකම් ගැන පරීක්ෂා කර බලනවා නම්, ඊට පෙර ඒ සඳහා ඔහුව පුහුණු කරන එක සාධාරණ නැද්ද? උදාහරණයකට, පාසැලේදී කිසිම පුහුණුවක් නැතිව ශිෂ්‍යයෙකුව අමාරු පරීක්ෂණයකට යොමු කළොත් ඒ ශිෂ්‍යයා සමත් වෙයිද? ඔහු අසමත් වෙන්න තිබෙන ඉඩ කඩ වැඩියි. ඒ නිසා පුහුණුව අත්‍යවශ්‍යයි. හොඳ ගුරුවරයෙක් ශිෂ්‍යයෙකුට උගන්වන්නේ පරීක්ෂණයකින් සමත් වෙන්න විතරක් නෙවෙයි, ලබාගන්න දැනුම හොඳින් අදාළ කරගන්න ආකාරයත් ඔවුන්ට කියා දෙනවා. මේ හා සමානව උනන්දුවෙන් වැඩ කරන වැඩිමහල්ලන්, සුදුසුකම් ලබන්න අවශ්‍ය කරන ගුණාංග වර්ධනය කරගැනීම සඳහා බව්තීස්ම ලත් සහෝදරයන්ට උපකාර කරනවා. ඔවුන් මෙය කරන්නේ ඒ සහෝදරයන්ට නිකම්ම පත්වීමක් ලබා දෙන්න නෙවෙයි. ඒ වෙනුවට රැළ හොඳින් රැකබලා ගැනීමට ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා උපකාර දීමටයි. (2 තිමෝති 2:2) සභා සේවකයෙක් හෝ වැඩිමහල්ලෙක් වෙන්න නම් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් අත් කරගන්න ඒ සහෝදරයාත් වෑයමක් දැරිය යුතුයි. (තීතස් 1:5-9) සභා වගකීම් දරන්න උත්සාහ කරමින් සිටින එවැනි අයට, එය ඉක්මනින් අත් කරගැනීම සඳහා පළපුරුදු එඬේරුන් කැමැත්තෙන්ම උපකාර කරනවා.

10, 11. ඉදිරියේදී ලැබෙන වගකීම් හොඳින් කරන්න අන් අයව පුහුණු කිරීමට එඬේරුන්ට පුළුවන් කොහොමද?

10 සභා වගකීම් දරන්න අවශ්‍ය පුහුණුව අන් අයට දෙන්න පළපුරුදු එඬේරුන්ට පුළුවන් කොහොමද? මුලින්ම සභාවේ සිටින සහෝදරයන් ගැන සැලකිලිමත් වෙන්න. දේශනා සේවයේ නිතිපතා ඔවුන් සමඟ එකට වැඩ කර ‘සත්‍යයේ වචනය හරියාකාරව හසුරුවන්න’ ඔවුන්ට පුහුණුවක් ලබා දෙන්න. (2 තිමෝති 2:15) අන් අයට සේවය කිරීමෙන් ලැබෙන ප්‍රීතිය ගැනත් යම් ඉලක්ක අත් කරගැනීමෙන් ලැබෙන තෘප්තිය ගැනත් ඔවුන් සමඟ කතා කරන්න. ඒ වගේම “රැළට ආදර්ශයක්” වීම සඳහා ඔවුන්ට දියුණු විය හැකි පැති ගැන කාරුණිකව පෙන්වා දෙන්න.—1 පේතෘස් 5:3, 5.

11 සහෝදරයෙක් සභා සේවකයෙක් ලෙස පත් වූ පසුව පවා මේ පුහුණුව ලබා දෙන්න නැණවත් වැඩිමහල්ලෝ ක්‍රියා කරනවා. අවුරුදු පනහකට කිට්ටු කාලයක් පුරා වැඩිමහල්ලෙක් ලෙස සේවය කර තිබෙන බෲස් මෙහෙම පවසනවා. “අලුතෙන් පත් වූ සභා සේවකයෙක් සමඟ එකට වාඩි වෙලා, විශ්වාසවන්ත නුවණ ඇති දාසයා මගින් ප්‍රකාශ කර තිබෙන උපදෙස් සාකච්ඡා කරන්න මම හරි කැමතියි. ඔහුට පවරා තිබෙන යම් වගකීමක් ගැන සඳහන් වී තිබෙන මඟ පෙන්වීම් එකට කියවන්නත් ඒ වගකීම හොඳින් කරන්න හැකි වන තෙක් ඔහු සමඟ එකට වැඩ කරන්නත් මම කැමතියි.” සභා සේවකයෙක් ටිකෙන් ටික අද්දැකීම් ලබද්දී එඬේර බැහැදැකීම් කිරීම සඳහා ඔහුව පුහුණු කරන්නත් පුළුවන්. “සභා සේවකයෙක් සමඟ එඬේර බැහැදැකීමකට යන විට අපි හමු වෙන්න යන අයව දිරිගන්වා ඔවුන් තුළ පෙලඹීමක් ඇති කරන්න හැකි වන ආකාරයේ බයිබල් පද තෝරන ආකාරය ගැන මම ඔහුට පෙන්වා දෙනවා. ඒ විදියට බයිබල් පද යොදාගෙන කෙනෙකුගේ හදවතටම කතා කරන ආකාරය සභා සේවකයෙක් ඉගෙනගත්තොත් ඔහු සාර්ථක එඬේරෙක් වේවි” කියා බෲස් තවදුරටත් පැවසුවා.—හෙබ්‍රෙව් 4:12; 5:14.

12. අලුත පත් වන වැඩිමහල්ලන්ව පුහුණු කරන්න පළපුරුදු එඬේරුන්ට පුළුවන් කොහොමද?

12 එවැනි පුහුණුවකින් අලුතෙන් පත් වූ එඬේරුන් පවා බොහෝ ප්‍රයෝජන ලබනවා. මේ ලිපියේ කලින් සඳහන් වූ නික් පැවසුවේ මෙසේයි. “වැඩිහිටි පළපුරුදු වැඩිමහල්ලන් දෙදෙනෙකුගෙන් මං ලැබූ පුහුණුව මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. සමහර කාරණා හැසිරවිය යුතු ආකාරය ගැන මේ සහෝදරයන් දෙදෙනාට හොඳ අවබෝධයක් තිබුණා. මගේ සමහර අදහස්වලට එකඟ නොවුණත් ඔවුන් නිතරම හොඳ ඉවසීමකින් යුතුව මට සවන් දීලා, ඒවාත් සැලකිල්ලට ගත්තා. ඔවුන් සභාවේ සහෝදර සහෝදරියන් සමඟ යටහත්පහත් සහ ගෞරවනීය ලෙස කටයුතු කළ ආකාරය දෙස බැලීමෙන් මමත් ගොඩක් දේවල් ඉගෙනගත්තා. ගැටලු විසඳද්දී හෝ දිරිගැන්වීමක් ලබා දෙද්දී, බයිබලය යොදාගෙන එය දක්ෂ ලෙස කිරීමේ වැදගත්කම ඔවුන් මට කාවැද්දුවා.”

දේවවචනය මගින් දෙන පුහුණුව

13. (අ) සාර්ථක එඬේරෙක් වෙන්න නම් සහෝදරයෙක් කොයි වගේ කෙනෙක් විය යුතුද? (ආ) “මා උගන්වන දේ මාගේ නොව” කියා යේසුස් පැවසුවේ ඇයි?

13 “පූර්ණ සමර්ථකමක් ඇතිව, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම අවශ්‍ය සියලු දෙයින් පූර්ණව” සිටීම සඳහා එඬේරෙකුට අවශ්‍ය නීති, ප්‍රතිපත්ති සහ ආදර්ශ දේවවචනයේ අඩංගු වෙනවා. (2 තිමෝති 3:16, 17) යම් සහෝදරයෙක් හොඳ අධ්‍යාපනයක් ලබා තිබෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔහු සාර්ථක එඬේරෙක් වෙන්නේ ශුද්ධ ලියවිලි පිළිබඳ ඔහුට තිබෙන දැනුම මගින් සහ ඔහු ඒ දැනුම අදාළ කරගන්න ආකාරය මගිනුයි. යේසුස් ගැන සිතන්න. ඔහු මේ පොළොවේ සිටි වැඩිම දැනුමක් තිබූ, කාරණා හොඳින්ම තේරුම්ගත්, නැණවත්ම එඬේරායි. ඒත් යෙහෝවා දෙවිගේ බැටළුවන්ට උගන්වද්දී, ඔහුවත් තමාගේම ප්‍රඥාව මත රඳා සිටියේ නැහැ. “මා උගන්වන දේ මාගේ නොව, මාව එවූ තැනැත්තාට අයිතිය” කියා ඔහු පැවසුවා. යේසුස් ඒ ගෞරවය තම ස්වර්ගික පියාණන්ට ලබා දුන්නේ ඇයි? එයට හේතුව පැහැදිලි කළ ඔහු මෙහෙම පැවසුවා. “තමාගේම අදහස් ප්‍රකාශ කරන්නා තමාටම ගෞරවය සොයන්නේය.”—යොහන් 7:16, 18.

14. තමුන්ටම ගෞරවය ගැනීමෙන් වළකින්න එඬේරුන්ට පුළුවන් කොහොමද?

14 දෙවිට පක්ෂපාත එඬේරුන් තමුන්ටම ගෞරවය ගන්න උත්සාහ කරන්නේ නැහැ. උපදෙස් සහ දිරිගැන්වීම දෙද්දී ඔවුන් තමන්ගේම අදහස් කියනවා වෙනුවට දේවවචනය යොදාගන්නවා. එඬේරෙකුගේ යුතුකම වෙන්නේ තමන් සිතන ආකාරයට බැටළුවෙකුව හැඩගස්සනවා වෙනුවට “ක්‍රිස්තුස්ගේ මනස” ඇතිව සිටීමට උපකාර කිරීම බව ඔවුන් තේරුම්ගන්නවා. (1 කොරින්ති 2:14-16) උදාහරණයකට විවාහ ජීවිතයේ යම් ගැටලු අද්දකින යුවළකට උපදෙස් දෙද්දී, වැඩිමහල්ලෙක් බයිබල් ප්‍රතිපත්ති හෝ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මගින් ප්‍රකාශයට පත් වී තිබෙන තොරතුරු යොදාගෙන උපදෙස් දිය යුතුයි. (මතෙව් 24:45) එහෙම නැතිව තමාගේම අද්දැකීමෙන් උපදෙස් දුන්නොත් කුමක් වෙයිද? එහෙම වුණොත් ඔහුගේ උපදෙස් ඒ ප්‍රදේශයේ තිබෙන චාරිත්‍ර වාරිත්‍ර හා ඔහුට තිබෙන අද්දැකීමට විතරක් සීමා විය හැකියි. සමහර චාරිත්‍රවල වරදක් නැති බව ඇත්තයි. ඒ වගේම ඒ වැඩිමහල්ලාට ජීවිතයේ හුඟක් අද්දැකීම් තිබෙන්නත් පුළුවන්. නමුත් බැටළුවන් වැඩි ප්‍රයෝජනයක් ලබන්නේ මිනිසුන්ගේ අදහස් හෝ චාරිත්‍ර වාරිත්‍ර පිළිපැදීමෙන් නෙවෙයි. එඬේරුන් ඔවුන්ව දිරිගැන්විය යුත්තේ යේසුස්ගේ හඬටත් යෙහෝවා දෙවිගේ වචනවලටත් සවන් දීමටයි.—ගීතාවලිය 12:6; හිතෝපදේශ 3:5, 6.

“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මගින් දෙන පුහුණුව

15. ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට’ යේසුස් පවරා තිබෙන කාර්යය කුමක්ද? දාස පන්තිය සාර්ථක වී තිබීමට හේතුවක් නම් කරන්න.

15 “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” කියා යේසුස් හැඳින්වූ කණ්ඩායමට පේතෘස්, යොහන් සහ පාවුල් වැනි එඬේරුන් එදා ඇතුළත්ව සිටියා. අද මේ දාස පන්තියට ඇතුළත් වෙන්නේ ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ පාලනය කිරීමට දෙවි තෝරගෙන තිබෙන අයගෙන්, දැනට පොළොවේ ඉතිරි වී සිටින අයයි. (එළිදරව් 5:9, 10) මේ සමාජ ක්‍රමයේ අන්තිම දවස් වන මේ කාලයේදී, පොළොවේ ඉතිරි වී සිටින ක්‍රිස්තුස්ගේ මේ සහෝදරයන්ගේ සංඛ්‍යාව එන්න එන්නම අඩු වෙලා. ඒත් අවසානය පැමිණෙන්ට පළමුවෙන් රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය ඉටු කරන්න කියා යේසුස් ඔවුන්ට පැවරුවා. ඊට ඇතුළත් වන දේශනා කිරීමේ හා ඉගැන්වීම වැනි කාර්යයන් වෙන කවරදාටත් වඩා දැන් වැඩියි. නමුත් මෙයට උපකාර කිරීම සඳහා ඔවුන් ‘වෙනත් බැටළුවන්ට’ අයත් සාමාජිකයන්ව පුහුණු කර තිබෙනවා. මෙසේ කිරීමෙන් දාස පන්තිය ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා තිබෙනවා! (යොහන් 10:16; මතෙව් 24:14; 25:40) අද ඒ කාර්යයේ වැඩි කොටසක් ඉටු කරන්නේ ඒ පක්ෂපාත කණ්ඩායම විසිනුයි.

16. වගකීම් දැරීම සඳහා පත් කර තිබෙන අයව දාස පන්තිය විසින් පුහුණු කරන්නේ කොහොමද?

16 දාස පන්තිය ඒ පුහුණුව ලබා දෙන්නේ කොහොමද? පළමු ශතවර්ෂයේදී සභාවල සිටි යම් සහෝදරයන්ව පුහුණු කර වැඩිමහල්ලන් ලෙස පත් කිරීම සඳහා දාස පන්තිය නියෝජනය කළ අයට පවරා තිබුණා. පත් වන ඒ වැඩිමහල්ලන් මගින් සභාවේ වෙනත් සාමාජිකයන්ව පුහුණු කළා. (1 කොරින්ති 4:17) අදත් සිදු වෙන්නේ එවැනිම දෙයක්. දාස පන්තිය නියෝජනය කරන අභිෂේක ලත් වැඩිමහල්ලන්ගෙන් යුත් කුඩා කණ්ඩායමක් පාලක මණ්ඩලය ලෙස සේවය කරනවා. ලොව පුරා තිබෙන දස දහස් සංඛ්‍යාත සභාවල සභා සේවකයන් හා වැඩිමහල්ලන් ලෙස සහෝදරයන්ව පුහුණු කර පත් කිරීම සඳහා මේ පාලක මණ්ඩලය විසින් යම් නියෝජිතයන්ව පත් කරනවා. ඊට අමතරව බැටළුවන්ව හොඳින් රැකබලා ගැනීමට අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා ශාඛා කාර්යාලයේ සාමාජිකයන්, සංචාරක අවේක්ෂකයන්, වැඩිමහල්ලන් සහ සභා සේවකයන්ට පාලක මණ්ඩලය විසින් යම් පාසැල්ද සංවිධානය කරනු ලබනවා. ඒ වගේම ලියුම් මාර්ගයෙන්, මුරටැඹ සඟරාවේ පළ වන ලිපි මාර්ගයෙන් සහ යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වී සිටීම * නමැති පොත වැනි වෙනත් ප්‍රකාශන මාර්ගයෙන්ද තවදුරටත් මඟ පෙන්වීම් සපයනු ලබනවා.

17. (අ) දාස පන්තිය ගැන තමාට ඇති විශ්වාසය යේසුස් පෙන්වා තිබෙන්නේ කොහොමද? (ආ) තමන් දාස පන්තිය විශ්වාස කරන බව එඬේරුන් පෙන්වන්නේ කොහොමද?

17 යේසුස් මේ දාස පන්තිය කොතරම් විශ්වාස කරනවාද කිව්වොත්, “තමන් සන්තක සියල්ල,” ඒ කියන්නේ දෙවිගේ නමස්කාරයට සම්බන්ධ පොළොවේ තිබෙන සියලුම දේවල් භාර දී තිබෙන්නේ ඔවුන්ටයි. (මතෙව් 24:47) පාලක මණ්ඩලයෙන් ලැබෙන මඟ පෙන්වීම් පිළිගෙන ඒවා අදාළ කර ගැනීම මගින් තමන් දාස පන්තිය විශ්වාස කරන බව වැඩිමහල්ලන් පෙන්වනවා. එඬේරුන් දේවවචනයෙන් පුහුණු වන විටත්, අන් අයව පුහුණු කරන විටත්, දාස පන්තිය සපයන පුහුණුව අදාළ කරගන්න විටත්, රැළේ සෑම සාමාජිකයෙක් අතරම සමඟිය ඇති වෙනවා. ක්‍රිස්තියානි සභාවේ සෑම කෙනෙකු ගැනම බොහෝ සෙයින් සැලකිල්ලක් දක්වන පුරුෂයන්ව පුහුණු කර තිබීම ගැන අපි යෙහෝවා දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද!

[පාදසටහන]

^ 16 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

පිළිතුරු දෙන්න ඔබට පුළුවන්ද?

• පළපුරුදු එඬේරුන් අන් අයව පුහුණු කරන්නේ කොහොමද?

• එඬේරුන් තමන්ට හිතෙන ආකාරයට උගන්වන්නේ නැත්තේ ඇයි?

• එඬේරුන් දාස පන්තිය කෙරෙහි විශ්වාසය පෙන්වන්නේ කොහොමද? ඔවුන් එසේ කරන්නේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[24, 25වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ සභාවේ සිටින තරුණයන්ව පුහුණු කරනවා

[26වන පිටුවේ පින්තූර]

“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” වැඩිමහල්ලන්ට අවශ්‍ය පුහුණුව බහුල ලෙස සපයනවා