Skip to content

පටුනට යන්න

දරුවෙකුව යහ මඟට යොමු කළ අයුරු

දරුවෙකුව යහ මඟට යොමු කළ අයුරු

දරුවෙකුව යහ මඟට යොමු කළ අයුරු

ඔබ කවදාහරි දවසක දරුවෙක් සෙල්ලම් තුවක්කුවලින් සෙල්ලම් කරනවා දැකලා ඒ ගැන දුක් වෙලා තියෙනවාද? පුංචිම පුංචි දරුවන් අතර පවා එවැනි සෙල්ලම් දැන් දකින්න පුළුවන්. ඒකට හේතුව මේ කාලයේ විනෝදය සඳහා කරන දේවලට සැහැසික ක්‍රියාත් ඇතුළත් වෙලා තිබෙන නිසයි. සෙල්ලම් තුවක්කුවක් වෙනුවට පොඩි ලොරියක් වගේ සෙල්ලම් බඩුවක් එක්ක සෙල්ලම් කිරීමට දරුවෙකුට උපකාර කරන්න පුළුවන් කොහොමද? දිගු කලක් තිස්සේ අප්‍රිකාවට ගොස් සේවය කරන යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන වාල්ට්‍රවුඩ් ඒක කරන්න පුළුවන් ක්‍රමයක් සොයාගත්තා.

යුද්ධය නිසා තමන් ජීවත් වෙමින් සිටි රට අතහැර දමා අප්‍රිකාවේම වෙනත් රටකට යන්න වාල්ට්‍රවුඩ්ට සිදු වුණා. එහිදී වයස අවුරුදු පහක පොඩි පුතෙක් ඉන්න අම්මා කෙනෙක් එක්ක ඇය බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. වාල්ට්‍රවුඩ් ඒ පාඩමට යන හැම අවස්ථාවේදීම ඇය දැක්කා අර පුංචි පුතා එයාට තියෙන එකම එක සෙල්ලම් බඩුව වන ප්ලාස්ටික් තුවක්කුවක් එක්ක සෙල්ලම් කරන හැටි. ඒ පුතා තුවක්කුව කාටවත් එල්ල කරලා වෙඩි තියන්න උත්සාහ කළේ නැහැ. නමුත් හරියට පතොරම් පුරවනවා වගේ ඒක නිතරම අරිනවා වහනවා.

වාල්ට්‍රවුඩ් ඒ පුංචි පුතාට මෙහෙම කිව්වා. “පුතා දන්නවාද ඇයි මම ඔයා ඉන්න රටට ආවේ කියලා? මම හිටිය රටේ නරක මිනිස්සු තුවක්කු අරගෙන මිනිසුන්ට වෙඩි තියන්න පටන්ගත්තා. ඉතින් ඒකෙන් බේරෙන්න තමයි මම මෙහාට ආවේ. මිනිසුන්ට වෙඩි තියන එක හොඳයි කියලා ඔයා හිතනවාද?”

“නෑ. ඒක හොඳ නැහැ” කියලා අර පුංචි පුතා කිව්වා.

“ඔයා හරි!” කියලා වාල්ට්‍රවුඩ් කිව්වා. ඊටපස්සේ ඇය මෙහෙම ඇහැව්වා. “ඔයා දන්නවාද මම ඔයාගේ අම්මාවයි ඔයාවයි හැම සතියේම බලන්න එන්නේ ඇයි කියලා? ඒ, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ හැටියට අපි ආසයි, යෙහෝවා දෙවි එක්කත් අසල්වාසීන් එක්කත් සාමයෙන් ඉන්න විදිහ අනිත් අයට කියලා දෙන්න.” වාල්ට්‍රවුඩ් ඒ දරුවාගේ අම්මාගෙන් අහලා දරුවාට මෙහෙම කිව්වා. “ඔයා මට ඔයාගේ තුවක්කුව දුන්නොත් මම ඒක වීසි කරන්නම්. ඒ වගේම මම වරද්දන්නේ නැතිව ඔයාට සෙල්ලම් කරන්න පොඩි ලොරියක් ගෙනැල්ලා දෙනවා.”

ඒ පුතා තුවක්කුව දුන්නා. ඔහුට සති හතරක් බලා සිටින්න වුණා. නමුත් අන්තිමට ලීවලින් හදපු ලොරියක් එයාගේ අලුත් සෙල්ලම් බඩුව හැටියට ලැබෙද්දී එයා ඒක පිළිගත්තේ කට පුරවලා හිනාවෙලයි.

ඔබ ඔබේ දරුවන් එක්ක කතා කිරීමට කාලය ගන්නවාද? තුවක්කු වැනි සෙල්ලම් බඩු අයින් කරන්න හිතෙන විදිහට දරුවන්ට කතා කර, ඔවුන්ව යහ මඟට යොමු කරන්න ඔබ කාලය ගන්නවාද? එසේ කරනවා නම් ජීවිත කාලය පුරාම මතක හිටින පාඩමක් ඔවුන්ට උගන්වන්න ඔබට හැකියි.