දෙවි දුක් වේදනාවලට ඉඩ දීමට හේතුව ගැන ඉගෙනගත්තාම මගේ ජීවිත ගමන වෙනස් වුණා
ජීවිත කතාව
දෙවි දුක් වේදනාවලට ඉඩ දීමට හේතුව ගැන ඉගෙනගත්තාම මගේ ජීවිත ගමන වෙනස් වුණා
හැරී පිලෝයන්
දෙවි දුක් වේදනා පවතින්න ඉඩ දීලා තියෙන්නේ ඇයි? මම පුංචි දවස්වලත් ඒ ගැන කල්පනා කළා. මගේ අම්මයි තාත්තයි හරිම අවංකයි. ඒ වගේම පවුල ගැන හුඟාක් සැලකිල්ලක් දක්වමින් වෙහෙසිලා වැඩ කරපු දෙන්නෙක්. නමුත් මගේ තාත්තා ආගම ගැන කිසිම උනන්දුවක් දක්වපු කෙනෙක් නෙවෙයි. අම්මත් ඒ තරම්ම ආගමට දහමට ලැදි කෙනෙක් නෙවෙයි. ඒ නිසා අර කලින් සඳහන් කළ ප්‍රශ්නයට උත්තර දෙන්න ඒගොල්ලන්ට බැරි වුණා.
දෙවන ලෝක මහා යුද්ධය පැවති කාලෙත් ඊට පස්සෙත් මම අර ප්‍රශ්නය ගැන හුඟාක් කල්පනා කරන්න පටන්ගත්තා. ඒ කාලයේ මම වැඩ කළේ අමෙරිකානු නාවික හමුදාවෙයි. මම අවුරුදු තුනකට වඩා හමුදාවේ සිටියා. යුද්ධය ඉවර වුණාම සහනාධාර රැගෙන චීනය බලා යන නැවක වැඩ කරන්න මට පැවරුවා. මම චීනයේ අවුරුද්දකට ආසන්න කාලයක් හිටියා. හුඟක් මිනිස්සු දුක් විඳින හැටි මම මගේ ඇස් දෙකින්ම දැක්කා.
චීන ජාතිකයන් කාර්යක්ෂමයි. ඒ වගේම හරිම බුද්ධිමත්. නමුත් දුප්පත්කම නිසාත් දෙවන ලෝක මහ යුද්ධය නිසාත් හුඟදෙනෙක් ජීවිතය ගැට ගහගත්තේ බොහොම අමාරුවෙන්. අපි ගොඩබැස්ස වේලාවේදී කඩමළු ඇඳගත් අහිංසක දරු පැටවුන් අපි ළඟට ඇවිත් කෑම බීම ඉල්ලන හැටි දකිද්දී මගේ පපුව පිච්චිලා ගියා.
ඇයි මිනිස්සු මෙතරම් දුක් විඳින්නේ?
මම ඉපදුණේ 1925දී. හැදුණේ වැඩුණේ අමෙරිකාවේ කැලිෆෝනියා නගරයෙයි. මම මීට කලින් කවදාවත් ඒ වගේ හිඟමනේ යන දරුවෝ දැකලා තිබුණේ නැහැ. ඒ නිසා ‘මැවුම්කරුවෙක් ඉන්නවා නම් හුඟක් මිනිසුන්ට විශේෂයෙන්ම අහිංසක දරුවන්ට මේ වගේ දුක් විඳින්න ඉඩ දීලා බලාගෙන ඉන්නේ
ඇයි’ කියන ප්‍රශ්නය ගැන මම නිතරම කල්පනා කළා.මිනිස් ඉතිහාසය පුරා මිනිසුන් බොහෝ දුක් වේදනා අද්දැක තිබෙනවා. සමූලඝාතන සිදු වී තිබෙනවා. විශේෂයෙන්ම දෙවන ලෝක මහා යුද්ධය පැවති කාලයේදී මිනිස් ජීවිත මිලියන 50කට වඩා නැති වුණා. ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවා නම්, ඇයි මේ වගේ වෙන්නේ කියලා මට හිතුණා. ඊටත් වඩා පූජකයන්ගේ උසිගැන්වීම මත එකම ආගමේ වුණත් ජාතිය වෙනස් නිසා එකිනෙකාව මරාගත්තා. ඒ ඇයි කියලාත් මට හිතාගන්න බැරි වුණා.
දුරේක්ෂය
වර්ෂ 1939දී ආරම්භ වූ දෙවන ලෝක මහා යුද්ධය අතරතුර සිදු වූ මහ පරිමාණයේ මිනිස් ඝාතන දකිද්දී මට නම් හිතුණේ දෙවි කෙනෙක් නම් ඉන්න විදිහක් නැහැ කියලයි. නමුත් එහෙම හිතුණ එක වෙනස් වෙන්න යමක් බලපෑවා. මම දැන් ඒ ගැන කියන්න කැමතියි. මම උසස් පාසලේදී විද්‍යා පාඨමාලාවක් හදාරනකොට විද්‍යාත්මක උපකරණයක් හදන්න අපිට පැවරුවා. මම තාරකා විද්‍යාවට කැමති හින්දා සෙන්ටිමීටර් 20ක විෂ්කම්භයක් තියෙන කාචයක් සහිත දුරේක්ෂයක් හදන්න පටන්ගත්තා.
මේ දුරේක්ෂය හදන්න මම සෙන්ටිමීටර් 2.5ක ගනකමක් තියෙන, සෙන්ටිමීටර් 20ක් පළල වීදුරු කෑල්ලක් අරගෙන වීදුරු කපන උපකරණයකින් ඒක රවුමට කපාගත්තා. ඊට පස්සේ හුඟක් මහන්සි වෙලා අතින්ම මැදලා ඒක කාචයක් විදිහට හදාගත්තා. පස්සේ ඒක දිග ලෝහමය බටයක කෙළවරක රඳවලා අනෙක් කෙළවරේ විවිධ ගනකමින් යුත් කාච මාරු කර කර සවි කරන්න පුළුවන් විදිහට එය සකස් කළා.
තරු පැහැදිලිව දැකගත හැකි රාත්‍රියක මම හදපු දුරේක්ෂය පළමු වතාවට එළියට අරගෙන අපගේ සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් දෙසටත් තරු දෙසටත් යොමු කළා. ගණන් කරන්න බැරි තරම් ආකාශ වස්තු සහ ඒවා පිළිවෙළකට තිබෙන ආකාරය දැකලා මම පුදුමයට පත් වුණා. මම තරුයි කියලා හිතපු සමහර “තරු” අපේ ක්ෂීර පථය වගේ තරු බිලියන ගණනක් තියෙන මන්දාකිණි කියලා මම පසුව දැනගත්තා. ඒකෙන් මම තවත් පුදුම වුණා.
‘සහතිකවම මේ ඔක්කොම ඉබේ ඇති වෙන්න බැහැ. පිළිවෙළක් ඇති කිසි දෙයක් අහම්බෙන් ඇති වෙලා නැහැ. විශ්වය තුළ කොතරම් හොඳ පිළිවෙළක් තියෙනවාද කිව්වොත් ඒක හදලා තියෙන්නේ අතිදක්ෂයෙක් කියන එක පැහැදිලියි. එහෙමනම් දෙවි කෙනෙක් ඉන්නවාද’ කියලා මම කල්පනා කළා. දුරේක්ෂයක් නිසා මම මේ ලබපු අද්දැකීම, දෙවි කෙනෙක් නැහැයි කියන අදහස නැති කරගැනීමට උදව් වුණා.
ඒත් මේ විදියේ ප්‍රශ්නත් මගේ හිතට ආවා. ‘මේ පුදුමාකාර විශ්වය නිර්මාණය කිරීමට තරම් බලය හා ප්‍රඥාව තියෙන දෙවි කෙනෙක් ඉන්නවා නම්, ඒ දෙවියන්ට පොළොවේ තියෙන මේ දුක් වේදනා කෙළවර කරන්න බැරිද? ඒත් පොළොවේ මේ වගේ තත්වයක් ඇති වෙන්න දෙවියන් ඉඩ දුන්නේ ඇයි?’ ආගමට ලැදි පුද්ගලයන්ගෙන් මම ඒ වගේ ප්‍රශ්න අහනකොට සෑහීම ගෙන දෙන උත්තර දෙන්න ඒගොල්ලන්ට බැරි වුණා.
පාසල් ජීවිතයෙන් හා ඉන්පසු උසස් අධ්‍යාපනය හදාරමින් ගත කළ අවුරුදු කිහිපයට පසු මම අමෙරිකානු නාවික හමුදාවට බැඳුණා. හමුදාවේ හිටිය අය
සඳහා ආගමික වතාවත් පැවැත්වීමට එන දේවගැතිවරයන්ටත් මගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි වුණා. හුඟක් වෙලාවට ආගමේ අය මට කිව්වේ “සමිඳුන්ගේ ක්‍රියා තේරුම්ගන්න බැහැ” කියලා.ප්‍රශ්නයට පිළිතුරු සොයමින්
මම ආපසු නිවස බලා එන්න චීනයෙන් පිට වුණත් දෙවි දුක් වේදනා පවතින්න ඉඩ දෙන්නේ ඇයි කියන ප්‍රශ්නය මට අමතක වුණේ නැහැ. පැසිෆික් සාගරය හරහා යාත්‍රා කරමින් ආපසු එන ගමනේදී අපි විවිධ දූපත්වල නැවැත්තුවා. යුද්ධයේදී මිය ගිය හමුදා භටයන්ව තැන්පත් කර තිබූ සොහොන් පිට්ටනි මම දැක්කා. ඒ හැම මිනී වළකම වගේ තැන්පත් කරලා තිබුණේ අකාලයේ නැති වුණ තරුණ ජීවිත. ඒ නිසා ඒවා දකිද්දී අර ප්‍රශ්නේ නැවතත් මගේ හිතේ රැව් පිළිරැව් දෙන්න පටන්ගත්තා.
නැවත අමෙරිකාවට ගියාම මම නාවික හමුදාවෙන් සමුගත්තා. කේම්බ්‍රිජ් මැසචුසෙට්හි හාර්වඩ් සරසවියේ තව එක අවුරුද්දක් මට ඉගෙනගන්න තිබුණා. ඒ අවුරුද්දෙන් පස්සේ මට උපාධිය ලැබුණා. ඒත් කැලිෆෝනියාවේ තිබුණු අපේ ගෙදරට යන්නේ නැතිව මම අමෙරිකාවේ නැඟෙනහිර පැත්තෙම ඉන්න තීරණය කළා. මගේ ප්‍රශ්නයට උත්තර සොයාගන්න ඕනෙ කියලා හිතපු නිසයි මම එහෙම තීරණය කළේ. නිව් යෝර්ක් නගරයේ හුඟක් ආගම් තිබුණු හින්දා එහෙට යන්න හිතාගත්තා. එහෙ ඉන්න කාලේදී මම සමහර දේවමෙහෙයන්වලට ගිහිල්ලා ඒවායේ උගන්වන්නේ මොනවාද කියලා සොයා බැලුවා.
නිව් යෝර්ක්වල පදිංචි වෙලා හිටිය මගේ මහම්මා, ඉසබෙල් කැපිජන්, එහේ නවතින්න එන්න කියලා මට ආරාධනා කළා. මගේ මහම්මත් එයාගේ දුවලා දෙන්නා වන රූත් සහ රෝසුත් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ. ඔවුන්ගේ ආගමික විශ්වාසයන් ගැන මම එතරම් උනන්දුවක් නොදක්වපු නිසා අනිත් ආගම්වල දේවමෙහෙයන්වලට යන්නත් ඒ අය එක්ක කතා කරන්නත් ඔවුන්ගේ පොත් පත් කියවන්නත් පටන්ගත්තා. මම ඒගොල්ලන්ගෙන් ඇහුවා ඇයි දෙවියන් දුක් වේදනා පවතින්න ඉඩ දීලා තියෙන්නේ කියලා. නමුත් ඒ අයත් දැනගෙන හිටියේ මම දන්න ටිකම තමයි. ඒ නිසා අන්තිමේදී මම හිතාගත්තා දෙවි කෙනෙක් නැතුව ඇති කියලා.
උත්තර ලැබුණා
ඊට පස්සේ මට ඕන වුණා මේ ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අදහස් දැනගන්න. ඒ නිසා මම මගේ මහම්මාගෙනුයි රෝස් සහ රූත්ගෙනුයි පොත් පත් ටිකක් ඉල්ලගෙන කියෙව්වා. ඒවා කියවද්දී මම ඉක්මනින්ම වටහාගත්තා සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් මේ පොත්වල තියෙනවා කියලා. ඒ ඉගැන්වීම්
අනිත් ආගම්වල ඉගැන්වීම්වලට වඩා වෙනස් කියලා. ඒවායේ ප්‍රශ්නවලට උත්තර දීලා තිබුණේ බයිබලයෙන්. ඒ වගේම ඒ පිළිතුරුවලින් සෑහීමට පත් වෙන්නත් පුළුවන්. දෙවි දුක් වේදනාවලට ඉඩ දෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට වැඩි කලක් යන්න ඉස්සෙල්ලා මට උත්තර ලැබුණා.ඒ විතරක් නෙවෙයි, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ බයිබලය මත පදනම් ඔවුන්ගේ ඉගැන්වීම්වලට එකඟව ක්‍රියා කරනවාත් මම දැක්කා. මම මහම්මාගෙන් ඇහුවා දෙවන ලෝක මහා යුද්ධය කාලයේදී ජර්මනියේ හිටිය යෞවන යෙහෝවාගේ සාක්ෂිකරුවන් මොනවාද කළේ කියලා. ඔවුන් හමුදාවට බැඳිලා “හයිල් හිට්ලර්!” (තේරුම හිට්ලර් අපේ ගැලවුම්කරු) කියලා කොඩියට ආචාර කළාද? නැහැ. ඔවුන් එහෙම කළේ නැහැ. ඒ වගේම ඔවුන් පැති නොගත් නිසා ගාල් කඳවුරුවලට යැව්වා. එතැනදී හුඟදෙනෙකුව මරා දැම්මා. යුද්ධය කාලයේදී හැම තැනම හිටිය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ස්ථාවරය වුණේ ඒකයි. එනම් දේශපාලනයේදී පැති නොගෙන සිටීම. ඒ නිසා ප්‍රජාතාන්ත්‍රික රටවල පවා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ තරුණයන්ව ඔවුන්ගේ ස්ථාවරය නිසා හිරේ විලංගුවේ දැම්මා කියලා ඇය කිව්වා.
ඊට පස්සේ ඇය මට කිව්වා යොහන් 13:35 කියවන්න කියලා. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත” කියලා එහි සඳහන් වෙනවා. සැබෑ ක්‍රිස්තියානීන් ලෝකයේ කොතැනක ජීවත් වුණත් ඒ හඳුනාගැනීමේ ලකුණ වන ප්‍රේමය ඔවුන් අතර තිබිය යුතුයි. ඔවුන් කිසිදාක ජාතිය වෙනස් නිසා එකිනෙකාව මරාගන්නා යුද්ධවලට හවුල් නොවිය යුතුයි! ඇය මගෙන් මෙහෙම ඇහුවා. “යේසුස් සහ ඔහුගේ ගෝලයෝ රෝමයේ පැවති යුද්ධවලට හවුල් වෙමින් එකිනෙකාව මරාගන්න හැටි ගැන ඔයාට හිතාගන්නවත් පුළුවන්ද?”
මට 1 යොහන් 3:10-12 දක්වා කියවන්න කියලත් ඇය කිව්වා. එහි මෙහෙම සඳහන් වෙනවා. ‘දෙවිගේ දරුවන් සහ යක්ෂයාගේ දරුවන් හඳුනාගත හැක්කේ මෙසේය: ධර්මිෂ්ඨකම් නොකරන, තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන කිසිවෙකු දෙවිගෙන් නොවේ. අප එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. තම සහෝදරයාව මැරූ දුෂ්ටයාගෙන් වූ කායින් මෙන් අප නොවිය යුතුය.’
සැබෑ ක්‍රිස්තියානීන් කුමන ජාතියකට අයිති වුණත් ඔවුන් එකිනෙකා අතර ප්‍රේමය තිබිය යුතුයි කියා බයිබලයේ උගන්වන දෙය පැහැදිලියි. ඔවුන් කිසිම කෙනෙකුව මරන්නේ නැහැ. ඒ නිසයි යේසුස්ට තම අනුගාමිකයන් ගැන මෙහෙම කියන්න පුළුවන් වුණේ. “මා ලෝකයේ කොටසක් නොවන්නා සේම ඔවුහුද ලෝකයේ කොටසක් නොවෙති.”—යොහන් 17:16.
ඉඩ දී තිබෙන්නේ ඇයි?
දෙවි දුක් වේදනාවලට ඉඩ දී තිබෙන්නේ ඇයි කියලා මම ඉක්මනින්ම බයිබලයෙන් දැනගත්තා. එහි විස්තර කරන්නේ මෙහෙමයි. අපේ මුල් දෙමාපියන්ව දෙවි මැව්වේ පරිපූර්ණවයි. ඔවුන්ට කිසිම දෙයකින් අඩුවක් තිබුණේ නැහැ. කිසිම දුකක් වේදනාවක් ඔවුන් අද්දැක්කේ නැහැ. ඔවුන් ජීවත් වුණේ පාරාදීස පොළොවකයි. (උත්පත්ති 1:26; 2:15) ඒ වගේම දෙවි ඔවුන්ට නිදහස් කැමැත්ත නමැති අගනා තෑග්ගත් දුන්නා. නමුත් ඒ තෑග්ග ඔවුන් වගකීමෙන් යුතුව පාවිච්චි කළ යුතු වුණා. දෙවිටත් ඔහුගේ නීතිවලටත් කීකරුව සිටියහොත් දිගටම ඔවුන්ට පාරාදීසයේ පරිපූර්ණ ජීවිතයක් ගත කළ හැකි වුණා. මුළු පොළොව පුරා පාරාදීසයේ මායිම් පුළුල් කිරීමද ඔවුන්ට පැවරුණා. පරිපූර්ණ දරුවන් බිහි කරන්න ඔවුන්ට හැකිකම තිබුණා. කාලයක් යද්දී මේ පොළොව පරිපූර්ණ ප්‍රීතිමත් ජනයා ජීවත් වෙන පාරාදීසයක් වෙන්න තිබුණා.—උත්පත්ති 1:28.
කොහොමනමුත් ආදම් සහ ඒව දෙවිගෙන් ඈත් වෙලා තමුන්ට කැමති විදියට ජීවත් වෙන්න තෝරාගත්තොත් ඔවුන්ට දිගටම පාරාදීසයේ පරිපූර්ණව ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. (උත්පත්ති 2:16, 17) නමුත් කනගාටුදායක ලෙස අපේ මුල් දෙමාපියන් නිදහස් කැමැත්ත පාවිච්චි කළේ වැරදි විදියටයි. ඔවුන් තීරණය කළේ දෙවිගෙන් වෙන් වෙලා කටයුතු කරන්නයි. ඔවුන් එවැනි තීරණයක් ගත්තේ සාතන් නමැති යක්ෂයා කියා හඳුන්වන දෙවිට අකීකරු වුණ දේවදූතයෙක් ඔවුන්ව පෙලඹූ නිසයි. දෙවිගෙන් ඈත් වෙලා, ඔහුට විතරක් දිය යුතු නමස්කාරය තමන්ට ලබාගන්න ඒ දේවදූතයා තුළ ලොකු ආශාවක් තිබුණා.—උත්පත්ති 3:1-19; එළිදරව් 4:11.
මේ විදිහටයි, සාතන් ‘මේ සමාජ ක්‍රමයේ දෙවියා’ බවට පත් වුණේ. (2 කොරින්ති 4:4) “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 යොහන් 5:19) යේසුස් සාතන්ව හැඳින්වූයේ “ලෝකයේ පාලකයා” කියලයි. (යොහන් 14:30) සාතන්ගේ සහ අපේ මුල් දෙමාපියන්ගේ අකීකරුකම නිසා මුළු මිනිස් වර්ගයාම පව්කාර තත්වයට ඇද වැටුණා. ඒ නිසා සැහැසිකකම්, මරණය සහ දුක් වේදනාත් ඇති වුණා.—රෝම 5:12.
“මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත”
මැවුම්කරුගේ නීති නොසලකාහැරීමෙන් ඇති වන ඵලවිපාක අද්දැකීමට දෙවි අවුරුදු දහස් ගණනක් තිස්සේ ඉඩ දී තිබෙනවා. මේ කාල පරිච්ඡේදය පුරා මුළු මිනිස් වර්ගයාටම පහත සඳහන් බයිබල් ඡේදයේ සත්‍යතාව අද්දැකීමට පුළුවන් වී තිබෙනවා. “මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත. . . . නිසි ප්‍රමාණයෙන් මට දඬුවම් කළ මැනව.”—යෙරෙමියා 10:23, 24, පැරණි අනුවාදය.
මේ ගත වුණු ශතවර්ෂ ගණනාව දෙස බලද්දී, දෙවිගෙන් ඈත්ව මිනිසා ස්වාධීනව ක්‍රියා කිරීමෙන් සිදු වී තිබෙන්නේ විනාශයක් පමණයි කියන එක අපිට පැහැදිලියි. දෙවිව සහ ඔහුගේ නීති නොසලකාහැරීම නිසා අද්දකින මේ විනාශකාරී දේවල් නවතා දැමීම දෙවිගේ අරමුණයි.
ප්‍රීතිමත් අනාගතයක්
දෙවි ඉතා ඉක්මනින් මේ දුෂ්ට සමාජ ක්‍රමයට අවසානයක් ගෙනෙනවා. මේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “තව ටික කලකින් දුෂ්ටයා නැත්තේය; . . . එහෙත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය; ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:10, 11.
දානියෙල් 2:44හි ඇති අනාවැකියේ මෙහෙම කියනවා. “ඒ රජුන්ගේ [දැන් පවතින සියලුම ආණ්ඩු ක්‍රම පවතින] දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසි කලකත් විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවන්නේය; ඒ රාජ්‍යයේ තමන් රජකම අන් සෙනඟකට අත්නෑර මේ සියලු රාජ්‍යයන් කැබලි කොට නාස්ති කර සදාකාලේටම පවත්නේය.” නැවත කිසිදාක මේ පොළොව පාලනය කරන්න දෙවි මිනිසුන්ට අවසර දෙන්නේ නැහැ. අනාගතයේදී මුළු පොළොවම පාලනය කරන්නේ දෙවිගේ රාජ්‍යය මගිනුයි. ඒ කාලයේදී මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කෙරෙන අතර මිනිසා නැවත පරිපූර්ණත්වයට පැමිණ සදහටම සතුටින් ජීවත් වෙනවා. මේ ගැන බයිබලයේ දෙන පොරොන්දුව මේකයි. “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:4) දෙවි අප වෙනුවෙන් අරමුණු කර තිබෙන්නේ මොන තරම් ප්‍රීතිමත් ජීවිතයක්ද!
වෙනස් ජීවිත රටාවක්
මගේ ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන පිළිතුරු දැනගත්තාට පස්සේ මගේ ජීවිත ගමන වෙනස් වුණා. එදා ඉඳන් මට ඕන වුණා දෙවිට සේවය කරලා අනිත් අයටත් ඒ ප්‍රශ්නවලට උත්තර සොයාගැනීමට උපකාර කරන්න. මම 1 යොහන් 2:17හි සඳහන් මේ දේ බැරෑරුම් ලෙස හිතට ගත්තා. “ලෝකයත් [සාතන් පාලනය කරන මේ වත්මන් සමාජයත්] එහි ආශාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.” දෙවි දෙන පාරාදීස පොළොවේ සදහටම ජීවත් වීමට මට ලොකු ආශාවක් තියෙනවා. මම නිව් යෝර්ක්වලම නැවතිලා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක් එක්ක ආශ්‍රය කරමින් අනිත් අයටත් මම ඉගෙනගත් දේ උගන්වමින් හුඟක් හොඳ අද්දැකීම් ලබාගත්තා.
මට රෝස් මරී ලුවිස්ව මුණගැසුණේ 1949දීයි. ඇයත් ඇගේ මව වන සාදී සහ රෝස් මරීගේ සහෝදරියන් හයදෙනාත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්. රෝස් පූර්ණ කාලීන සේවිකාවක්. ඇයට හුඟක් හොඳ ගුණාංග තිබුණා. ඒ නිසා ඉක්මනින්ම මගේ සිත ඇය වෙත ඇදී ගියා. අපි 1950 ජූනි මාසයේදී කසාද බැඳලා නිව් යෝර්ක් නගරයේම පදිංචි වුණා. අපි දෙවිට සේවය කිරීමෙන් ලොකු සතුටක් අද්දැක තිබෙනවා. ඒ විතරක් නෙවෙයි පාරාදීස පොළොවේ සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව අපට සහනයක් ගෙන දී තිබෙනවා.
වර්ෂ 1957දී රෝස් මරීටත් මටත් නිව් යෝර්ක් බෘක්ලින්හි පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ පූර්ණ කාලීන සේවය කිරීමට ආරාධනයක් ලැබුණා. වර්ෂ 2004 ජූනි මාසයට අපි බැඳලා අවුරුදු 54ක් වුණා. ඒකෙන් අවුරුදු 47ක්ම සේවය කළේ බෘක්ලින්හි පිහිටි මූලස්ථානයෙයි. දහස් ගණන් අපේම සහෝදර සහෝදරියන් සමඟ එකට අවුරුදු ගානක් සේවය කරන්න ලැබීම ඇත්තෙන්ම ප්‍රීතියක්.
මම හුඟක්ම දුක් වුණු අවස්ථාව
වර්ෂ 2004 දෙසැම්බර් මාසයේදී රෝස් මරීගේ පෙණහැල්ලක පිළිකාවක් තිබෙන බව සොයාගත්තා. වෛද්‍යවරු කිව්වා මේ පිළිකාව වේගයෙන් වර්ධනය වන නිසා වහාම සැත්කමක් කළ යුතුයි කියලා. දෙසැම්බර් අන්තිමට සැත්කම කළ අතර සතියකට පස්සේ මමත් රෝස්ගේ රෝහල් කාමරේ ඉන්නකොටම වෛද්‍යවරයා ඇවිල්ලා කිව්වා “රෝස් මරී ඔයාට ගෙදර යන්න පුළුවන්! ඔයාට දැන් සනීපයි!” කියලා.
නමුත් ගෙදර ඇවිල්ලා දවස් කිහිපයකට පස්සේ රෝස් මරීගේ බඩේ සහ වෙනත් තැන්වල තද කැක්කුමක් ඇති වෙන්න පටන්ගත්තා. මේ වේදනාව දිගටම පැවතුණ නිසා නැවතත් පරීක්ෂණ සඳහා රෝහලට ගියා. එහිදී සොයාගැනුණේ කුමන හෝ හේතුවක් නිසා ඇගේ ඉන්ද්‍රියයන්වලින් ලේ කැටි සෑදෙන බවයි. ඒ නිසා නියමිත ඔක්සිජන් ප්‍රමාණය ඒ ඉන්ද්‍රියන්වලට ලැබුණේ නැහැ. වෛද්‍යවරු කරන්න පුළුවන් හැම එකක්ම කළා. නමුත් ප්‍රතිඵල සාර්ථක වුණේ නැහැ. සති කිහිපයකට පස්සේ ඒ කියන්නේ 2005 ජනවාරි 30 මගේ ජීවිතයේ වේදනාකාරීම අද්දැකීම මම ලැබුවා. මගේ ආදරණීය රෝස් මරී මියගියා.
ඒ වෙද්දී මට වයස අවුරුදු 80යි. ඒ කාලය පුරාම මිනිස්සු දුක් විඳින හැටි මම දැකලා තියෙනවා. මගේ නෑ හිතමිතුරන් මැරුණාම මමත් ඒ දුක අද්දැකලා තියෙනවා. නමුත් මේ අද්දැකීම, වෙනස්ම අද්දැකීමක්. බයිබලේ කියනවා වගේ මමයි රෝස් මරීයි “එක මාංසයක්” වෙලා හිටියා. (උත්පත්ති 2:24) ඒ නිසා මම අද්දැක්ක ලොකුම දුක තමයි මගේ බිරිඳගේ මරණය. ඒ දුක තාමත් තියෙනවා. අපි ආදරේ කරන, අපේම කෙනෙක් මැරුණාම තියෙන දුක කොයි තරම්ද කියලා මම දැන් හොඳටම දන්නවා.
ඒ කොහොමවුණත් “යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටින්නේය. තැළුණු ආත්ම ඇත්තන් ගලවන්නේය” කියලා ගීතාවලිය 34:18 සඳහන් දෙයින් මම සහනයක් ලබනවා. ඒ වගේම දුක් වේදනා ඇති වූ ආකාරය සහ එය නිමාවට පත් වන ආකාරය ගැන මට තියෙන අවබෝධයෙනුත් මම ලොකු සහනයක් ලබලා තියෙනවා. මිය ගිය අයව නැවත නැඟිටුවන බවටත් ඔවුන් සමඟ පාරාදීස පොළොවේ සතුටින් ජීවත් විය හැකි බවටත් දෙවි දී තිබෙන පොරොන්දුව ගැන දැනගෙන සිටීමත් දුක දරාගන්න ලොකු ශක්තියක්. “ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් තිබෙන්න යන බව” ක්‍රියා 24:15 සඳහන් වෙනවා. රෝස් මරී දෙවිට ගොඩක් ප්‍රේම කළා. දෙවිත් ඇයට ඒ වගේම ප්‍රේම කළ බව නිසැකයි. ඒ නිසා දෙවි නියමිත කාලයේදී ඇයවත් සිහි කර නැවත ජීවනයට ගෙනේවි. ඒක ඉතා ඉක්මනින් සිදු වේවි කියලත් මම විශ්වාස කරනවා.—ලූක් 20:38; යොහන් 11:25.
අපේම කෙනෙක් නැති වුණාම ඒ දුක හුඟක් දැනෙනවා. නමුත් එයාව නැවත නැඟිටීමේදී හමු වෙද්දී දැනෙන සතුට ඊට වඩා ගොඩක් වැඩියි. (මාක් 5:42) දෙවිගේ වචනයේ දෙන පොරොන්දුව මේකයි. “ඔබේ මළාහු ජීවත් වන්නෝය; . . . පොළොවද මළවුන් පිටත දමන්නීය.” (යෙසායා 26:19) ක්‍රියා 24:15හි සඳහන් ‘ධර්මිෂ්ඨයන්ගෙන්’ හුඟදෙනෙක් මුලින්ම නැඟිටුවනු ලබනවා ඇති. ඒ අවස්ථාව කොතරම් ප්‍රීතියක් ගෙන දේවිද! ඒ අය අතර රෝස් මරීත් සිටීවි. එතකොට ඇගේ නෑ හිතමිතුරන් ඇයව කොතරම් සතුටින් පිළිගනීවිද! දුක් වේදනා නැති පොළොවක ජීවත් වීමට ලැබීම කොයි තරම් සහනයක් වේවිද!
[9වන පිටුවේ පින්තූර]
චීනයේ සිටියදී මිනිසුන් කොයි තරම් දුක් විඳිනවාද කියලා මම දැක්කා
[10වන පිටුවේ පින්තූර]
මම 1957 පටන් බෘක්ලින්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ සේවය කර තිබෙනවා
[12වන පිටුවේ පින්තූරය]
මම 1950දී රෝස් මරී සමඟ විවාහ වුණා
[13වන පිටුවේ පින්තූරය]
වර්ෂ 2000දී අපගේ 50වන විවාහ සංවත්සර දවසේදී