Skip to content

පටුනට යන්න

භය වෙන්න එපා—යෙහෝවා දෙවි ඔබ සමඟයි!

භය වෙන්න එපා—යෙහෝවා දෙවි ඔබ සමඟයි!

භය වෙන්න එපායෙහෝවා දෙවි ඔබ සමඟයි!

“අපි භයෙන් කෑම කාවි, භයෙන් නිදා ගනීවි, භයෙන් ජීවත් වේවි, අන්තිමේදී භය නිසා මැරේවි” කියා නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයෙක් වූ හැරල්ඩ් සී. උරේ අනාගතය ගැන පැවසුවා. ඒ මීට වසර 50කට පෙර, මුල් න්‍යෂ්ටික බෝම්බ පිපිරී ගොස් වැඩි කලක් ගත වෙන්න පෙරයි. ඔහුගේ කතාව ඇත්තක්. අද මුළු ලෝකයම සිටින්නේ භයෙන්. ඒක, හැමදාම වගේ පුවත්පත්වල දක්නට ලැබෙන ත්‍රස්තවාදී ක්‍රියා, දරුණු අපරාධ සහ හඳුනා නොගත් රෝග ගැන පළ වන තැතිගන්වන ආරංචි මගින් සනාථ වෙනවා.

මින් පැහැදිලි වෙන්නේ මේ දුෂ්ට සමාජ ක්‍රමයේ “අන්තිම දවස්වල” අපි ජීවත් වන බවයි. මේ කාලය “කටයුතු කිරීමට අසීරු” කාලයක් වන බව බයිබලයේ පුරෝකථනය කර තිබුණා. (2 තිමෝති 3:1) යෙහෝවා දෙවි ඉතා ඉක්මනින් මේ පොළොව ධර්මිෂ්ඨ සමාජයක් වාසය කරන පාරාදීසයක් බවට පත් කරන්න යනවා කියන කාරණය ගැන අපට ඇති විශ්වාසය මේ නිසා තවත් තහවුරු වෙලා. (2 පේතෘස් 3:13) මෙයින් අදහස් කරන්නේ අපිට කිසිම භයක් දැනෙන්නේ නැහැ කියන එකද?

භය ගැන දෙවිගේ සේවකයන්ට හැඟෙන ආකාරය

යම් අනතුරුදායක තත්වයන්ට මුහුණ දෙද්දී යෙහෝවා දෙවිට සේවය කළ යාකොබ්, දාවිත් සහ එලියා වැනි අය පවා භය වුණා. (උත්පත්ති 32:6, 7; 1 සාමුවෙල් 21:11, 12; 1 රාජාවලිය 19:2, 3) දෙවි ගැන ඇදහිල්ලේ අඩුවක් වෙනුවට ඔවුන් දෙවි ගැන නොසැලෙන විශ්වාසයක් තැබුවා. ඒත් යාකොබ්, දාවිත් සහ එලියා අපි වගේ සාමාන්‍ය මනුෂ්‍යයන්. ඒ නිසයි ඔවුන් භය වුණේ. “එලියා අප සමාන හැඟීම් ඇති මිනිසෙකු” වූ බව යාකොබ් සඳහන් කළා.—යාකොබ් 5:17.

සමහරවිට අපි දැන් මුහුණ දෙන හෝ අපිට අනාගතයේදී මුහුණ දීමට සිදු විය හැකි යම් ප්‍රශ්නයක් ගැන සිතද්දී අපිටත් භයක් දැනෙන එක සාධාරණයි. ඊට හේතුව සාතන් නමැති යක්ෂයා “දෙවිගේ ආඥා පිළිපදින, යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යය සතු” අය සමඟ “යුද්ධ” කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව අපි දන්න නිසයි. (එළිදරව් 12:17) ඒ කාරණය විශේෂයෙන්ම අදාළ වෙන්නේ ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ පාලනය කරන්න යන අභිෂේක ලත් අයට බව ඇත්තයි. ඒත් “ක්‍රිස්තුස් යේසුස් තුළ දේවභක්තික ජීවිතයක් ගත කරන්න කැමති සියල්ලෝද පීඩා විඳින්නෝය” කියාත් පාවුල් සඳහන් කළා. (2 තිමෝති 3:12) එසේ වුණා කියා ප්‍රශ්න ගැටලු පැනනඟින විට අපි කර කියාගන්න දෙයක් නැතිව භයෙන් සිටින්න අවශ්‍ය නැහැ. ඒ ඇයි?

“ගැලවීම දෙන දෙවි”

සැබෑ “දෙවි නම් අපට ගැලවීම දෙන දෙවිය” කියා ගීතිකාකාර දාවිත් ලිව්වා. (ගීතාවලිය 68:20) තමන්ට නමස්කාර කරන අයව බේරගන්න තමන්ට හැකි බව යෙහෝවා දෙවි කිහිප වතාවක්ම ඔප්පු කර තිබෙනවා. ඒ ඔවුන්ව අනතුරුදායක තත්වයන්වලින් බේරාගැනීමෙන් හෝ විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය දීමෙනුයි. (ගීතාවලිය 34:17; දානියෙල් 6:22; 1 කොරින්ති 10:13) බයිබලයේ සඳහන් එවැනි සිදුවීම් කීයක් ගැන ඔබට මතකද?

නෝවාගේ කාලයේදී මුළු පොළොව පුරාම සිදු වූ ජල ගැල්ම, සොදොම් සහ ගොමෝරා විනාශ වෙද්දී ලොත් හා ඔහුගේ දියණියන් බේරුණු ආකාරය, ඊශ්‍රායෙලිතයන් ඊජිප්තුවෙන් මිදී රතු මුහුද මැදින් ගිය ආකාරය හෝ යුදෙව්වන්ව විනාශ කිරීමට හාමාන් දැරූ අසාර්ථක වෑයම යන සැබෑ සිදුවීම් ගැන මුරටැඹ ප්‍රකාශන සූචිය (ඉංග්‍රීසියෙන්) * යොදාගෙන ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. මේ පුදුමාකාර සිදුවීම් ගැන කියවා ගැඹුරින් කල්පනා කර බැලීම මගින් ඇත්තෙන්ම යෙහෝවා දෙවි ගැලවීම දෙන දෙවි කෙනෙක් කියා ඔබට ඇති විශ්වාසය තවත් ශක්තිමත් වේවි. ඒ වගේම ඔබේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් වෙද්දිත් එයට නිර්භීතව මුහුණ දෙන්නත් ඔබට හැකි වේවි.

නවීන දින ආදර්ශ

විඳදරාගැනීම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබූ අය ඔබේ ප්‍රදේශයේ සිටිනවාද? සමහරවිට සහෝදරයෙක් දෙවිට විශ්වාසවන්ත වූ නිසා සිර දඬුවමක් විඳින්න ඇති. දුර්වල සෞඛ්‍ය තත්වයක් තිබියදීත් යෙහෝවා දෙවිට සේවය කරමින් සිටින මහලු ක්‍රිස්තියානියෙකුව ඔබ අඳුරනවා විය හැකියි. එහෙමත් නැත්නම් තම පාසැලේ මිත්‍රයන්ගෙන් එන දැඩි බලපෑම් හමුවේ වුණත් දෙවි අකමැති දේවල් නොකරන යෞවන අය ගැන සිතන්න. තනියම දරුවන්ව ඇති දැඩි කරන මවක් හෝ පියෙක් වගේම, තනිකමක් දැනුණත් යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරමින් සිටින අවිවාහක අයත් ඔබේ ප්‍රදේශයේ සිටිනවා විය හැකියි. එවැනි අයගෙන් ඔබට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඔවුන්ගේ ඇදහිලිවන්ත ජීවිතය ගැන සිතද්දී, මොන පීඩා ආවත් ඒවා විඳදරාගෙන ඒවාට එඩිතරව මුහුණ දෙන්න ඔබටත් හැකි වන බව නම් නිසැකයි.

අප නිර්භීත විය යුත්තේ විරුද්ධවාදිකම් සහ පීඩාවලට මුහුණ දෙන විට පමණක් නෙවෙයි. යෙහෝවා දෙවි ඇත්තෙන්ම අපට ප්‍රේම කරනවාද යන්න ගැන සැකයන් අපේ සිතේ මතු වෙද්දීත් මේ විඳදරාගැනීම අවශ්‍යයි. ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව තමා ඇතුළු සෑම කෙනෙකුටම අදාළ බව විශ්වාස කරනවා නම් එවැනි අවස්ථාවලදී විඳදරාගන්න පහසු වේවි. (ගලාති 2:20) එවැනි විශ්වාසයක් අපිට තිබෙනවා නම් අනවශ්‍ය බියක් නැතිව යෙහෝවා දෙවි වෙතට ළඟා වෙන්න අපිට හැකි වෙයි. යෙහෝවාගේ ප්‍රේමය ලබන්න අපි වටින්නේ නැහැ යන හැඟීම අපිට ඇති වුණොත් යේසුස් තම අනුගාමිකයන්ට පැවසූ මේ කාරණය ගැන කල්පනා කරන්න අපිට පුළුවන්. “ගේ කුරුල්ලන් දෙදෙනෙකු සුළු මුදලකට විකුණනවා නොවේද? එහෙත් ඔබේ පියාණන් නොදැනුවත්ව, උන්ගෙන් එකෙක්වත් බිමට වැටෙන්නේ නැත. ඔබේ සියලු හිසකේ පවා ගණන් කර තිබේ. එබැවින් බිය නොවන්න. ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටින්නහුය.”—මතෙව් 10:29-31.

නිර්භීත ලෙස අසීරු තත්වයන්ට මුහුණ දී තිබෙන යෙහෝවා දෙවිගේ නවීන දින සාක්ෂිකරුවන්ගේ අද්දැකීම් මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල බොහෝවිට පළ වෙනවා. ඔවුන්ටත් භයක් සැකක් දැනෙන්න ඇති. ඒත් එවැනි හැඟීම් නිසා ඔවුන් යෙහෝවා දෙවිට සේවය කරන එක අත්හැරියේ නැහැ. ඒ අද්දැකීම් කියවීමෙන් ඔබටත් පුළුවන් නිර්භීත ලෙස විඳදරාගැනීමට ශක්තියක් ලබන්න. අපි දැන් එවැනි උදාහරණ දෙකක් සලකා බලමු.

අනතුරක් නිසා ඔහුගේ ජීවිතයම වෙනස් වුණා

කෙන්යාවේ වෙසෙන ස්ටැන්ලි ඕම්බාවා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්. අනතුරක් නිසා ඔහුගේ ජීවිතයම වෙනස් වූ ආකාරය ගැන 2003 අප්‍රියෙල් 22 එවේක්! සඟරාවේ පළ වුණා. ඉතා වේගයෙන් ගමන් කළ වාහනයක වැදීමෙන් සිදු වූ අනතුරෙන් පසුව ඔහුට මුහුණ දෙන්න සිදු වූ අභියෝග ගැන ඒ ලිපියේ ඔහු සඳහන් කරනවා. කාලයක් ගත වෙද්දී ඔහුගේ සෞඛ්‍ය තත්වය දුර්වල වෙන්න පටන්ගත් අතර මේ නිසා ඔහුගේ රැකියාව සහ ඉන් ලැබෙන්න තිබූ වාසි සියල්ලක්ම ඔහුට අහිමි වුණා. “මගේ තත්වය කොච්චර දරුණුද කියා මට ටිකෙන් ටික පැහැදිලි වුණාම, මම මානසිකව වැටුණා. මම, මං ගැනම විතරක් කල්පනා කරන්නත් සුළු දෙයකට වුණත් කේන්ති ගන්නත් පටන්ගත්තා. සමහර අවස්ථාවලදී මම හොඳටම කලකිරුණා” කියා සහෝදර ඕම්බාවා පැවසුවා. කොහොමවුණත් මේ සහෝදරයා එඩිතර වුණා. යම් අවස්ථාවලදී අධෛර්යයට පත් වුණත් ඔහු සම්පූර්ණයෙන්ම කලකිරිලා පැත්තකට වෙලා හිටියේ නැහැ. ඔහු යෙහෝවා දෙවි මත රඳා සිටියා. “යෙහෝවා දෙවි නිතරම මට උපකාර කළා. සමහර අවස්ථාවලදී මං කොච්චර දුර්වලද කියලා හිතනකොට මට මං ගැනම ලජ්ජාත් හිතුණා. මට සැනසිල්ලක් ලබා දුන් බයිබල් පද කියවා ඒවා ගැන ගැඹුරින් කල්පනා කරන්න මම අධිෂ්ඨාන කරගත්තා” කියා සහෝදර ඕම්බාවා පැවසුවා.

සහෝදර ඕම්බාවාගේ ඒ අවංක අදහස් නිසා ඔහුගේ අද්දැකීම කියවූ වෙනත් බොහෝදෙනෙකුට පීඩාවලට නිර්භීත ලෙස මුහුණදීමට හැකියාව ලැබුණා. “ඒ ලිපිය කියවලා මම ඇඬුවා. ඒ ලිපිය මගින් යෙහෝවා දෙවි මට අවශ්‍ය සහනය සපයමින් සිටි බවත්, තමා කොච්චර ප්‍රේමණීය, සැලකිලිමත් දෙවි කෙනෙක්ද කියා පෙන්වමින් සිටි බවත් මට හැඟුණා” කියා එක සහෝදරියක් පැවසුවා. තවත් සහෝදරයෙක් මෙහෙම ලිව්වා. “ඊට සමාන තත්වයන්ට නිහඬව මුහුණ දෙමින් පීඩා විඳිමින් සිටින අපිට, එවැනි ලිපි ලොකු ශක්තියක් වෙනවා.”

මානසික පීඩනයට සාර්ථකව මුහුණ දීම

‘හෙට කුමක් වේදැයි ඔබ දන්නේ නැත’ * යන මැයෙන් පළ වූ හර්බට් ජෙනිංස්ගේ අද්දැකීමත් කදිම එකක්. ඔහුට මනෝස්වභාවයන් දෙකක් ඇති වීමේ රෝගයක් තිබුණා. ඒ රෝගය වැලඳුන මුල් දවස් ගැන ඔහු පවසන්නේ මේ විදිහටයි. “ක්‍රිස්තියානි රැස්වීම්වලට යන එකත් ඇත්තෙන්ම ලොකු සටනක් වුණා. කොහොමවුණත් [සහෝදර සහෝදරියන්ගේ] ආශ්‍රයේ වටිනාකම ගැන මම හොඳින් තේරුම් අරගෙනයි තිබුණේ. කොහොමහරි රැස්වීම්වලට යන්න ඕන නිසා මම සාමාන්‍යයෙන් රාජ්‍ය ශාලාවට ගියේ සෙනඟ ඇවිත් සන්සුන්ව ඉඳගෙන ඉන්නකොටයි. ඒ වගේම වැඩසටහන අවසන් වෙනවත් එක්කම මම එයින් පිට වෙලා ගියා.”

දේශනා සේවයේ යන එකත් පහසු වුණේ නැහැ. “සමහර වෙලාවට ගෙයක් ළඟට ගියහම දොරේ සීනුව නාද කරන්න තරම්වත් ධෛර්යය උපදවාගන්න මට බැරි වුණා. කොහොමවුණත්, අපේ දේශනා සේවයෙන් අපටත්, අපට හොඳ ප්‍රතිචාරයක් දක්වන අයටත් ගැලවීම ලබාගන්න පුළුවන් බව මම තේරුම් අරගෙන තිබුණ නිසා මම ඒක අත්හරින්නේ නම් නැහැ කියලා හිතුවා. (1 තිමෝති 4:16) ටික වෙලාවකට පස්සේ, ආපහු ශක්තිය උපදවාගෙන ඊළඟ ගෙදරට ගිහින් නැවතත් උත්සාහයක් දැරුවා. මේ වගේ දේශනා සේවයේ දිගටම හවුල් වීමෙන් සෑහෙන දුරකට [ඇදහිල්ල ශක්තිමත්ව තබාගන්න] මට පුළුවන් වුණ නිසා අසනීප තත්වයට වඩාත් හොඳින් මූණ දෙන්න මට හැකියාව ලැබුණා” කියා සහෝදර ජෙනිංස් පැවසුවා.

සහෝදර ජෙනිංස්ගේ අවංක අදහස් කියවූ බොහෝදෙනෙකුට තමන්ගේ පීඩාවලදීත් ඔහු වගේ නිර්භීතව මුහුණ දෙන්න හැකියාව ලැබුණා. එක් සහෝදරියක් මෙහෙම ලිව්වා. “මම වසර 28ක් පුරා මුරටැඹ සහ පිබිදෙව්! සඟරා කියවනවා. නමුත් මේ ලිපිය තරම් මට දිරිගැන්වීමක් ලැබුණු වෙනත් ලිපියක් නැති තරම්! පූර්ණ කාලීන සේවය අත්හරින්න සිදු වූ නිසා මගේ හිත මට හරියට වද දුන්නා. මට නිතරම හැඟුණේ මගේ ඇදහිල්ල ඊට වඩා ශක්තිමත්ව තිබුණා නම් ඒ සේවය අත්නෑර දිගටම කරන්න තිබුණා නේද කියලා. නමුත් තම අසනීපය නිසා සහෝදර ජෙනිංස්ටත් ඔහුගේ පැවරුම අත්හරින්න සිදු වූ ආකාරය ගැන කියවීමෙන් පසුව මගේ තත්වය ගැන සමබරව හිතන්න මට හැකි වුණා. මේ ලිපිය ඇත්තෙන්ම මගේ යාච්ඤාවලට පිළිතුරක්!”

තවත් සහෝදරයෙක් මෙහෙම පැවසුවා. “සභාවේ වැඩිමහල්ලෙක් ලෙස වසර දහයක් පුරා සේවය කිරීමෙන් පසුව මානසික රෝගයක් නිසා ඒ වරප්‍රසාදය අත්හරින්න මට සිදු වුණා. මං දැන් වැඩකට නැති කෙනෙක් කියලයි මට හැඟුණේ. ඒ නිසා අපේ සඟරාවල පළ වන ජීවිත කතාවල යෙහෝවා දෙවිට සේවය කරන අය කරන පුදුමාකාර දේවල් ගැන සඳහන් වන නිසා ඒ අද්දැකීම් කියවද්දී මට මා ගැනම ඇති වුණේ ලොකු කලකිරීමක්. නමුත් සහෝදර ජෙනිංස් අත්නෑර දැරූ වෑයම ගැන කියවද්දී මට ලොකු දිරිගැන්වීමක් ලැබුණා. මම ඒ ලිපිය කිහිප වතාවක්ම කියෙව්වා.”

විශ්වාසයෙන් යුතුව ඉදිරියට යමු

සහෝදර ඕම්බාවා සහ සහෝදර ජෙනිංස් වගේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් අසීරුකම් රැසකට මුහුණ දුන්නත් ඒවාට බිය නොවී දිගටම යෙහෝවා දෙවිට නමස්කාර කරමින් සිටිනවා. ඔබත් එවැනි කෙනෙක් නම් ඔබ ප්‍රශංසාව ලබන්න වටින කෙනෙක්. මේ කාරණය කවදාවත් අමතක කරන්න එපා. “ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත. මන්ද ඔබ ශුද්ධ තැනැත්තන්ට උපස්ථාන කළහුය. එසේම කරමින්ද සිටින්නහුය.”—හෙබ්‍රෙව් 6:10.

පුරාණයේ විසූ තම ඇදහිලිවන්ත සේවකයන්ට තම සතුරන්ව පරාජය කිරීමට යෙහෝවා දෙවි උපකාර කළා හා සමානව, ඔබට මුහුණ දීමට තිබෙන ඕනෑම බාධකයක් ජය ගන්න ඔබට උපකාර කරන්න ඔහුට හැකියි. ඒ නිසා අනාගතවක්තෘ යෙසායා මගින් යෙහෝවා දෙවි පැවසූ දෙය ඔබේ සිතට ශක්තියක් වේවා! “භය නොවන්න; මක්නිසාද ඔබ සමඟ සිටිමි; තැති නොගන්න; මක්නිසාද මම ඔබේ දෙවිය; ඔබ ශක්තිමත් කරන්නෙමි; එසේය, ඔබට පිහිට වන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නමැති දකුණතින් ඔබ උසුලන්නෙමි.”—යෙසායා 41:10.

[පාදසටහන්වල]

^ 9 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

^ 18 ඡේ. වර්ෂ 2000 දෙසැම්බර් 1 මුරටැඹ කලාපයේ 24-28 දක්වා පිටු බලන්න.

[16වන පිටුවේ පින්තූර]

ස්ටැන්ලි ඕම්බාවා (ඉහත) සහ හර්බට් ජෙනිංස් (දකුණ) මෙන්, බොහෝදෙනෙක් යෙහෝවා දෙවිට එඩිතරව සේවය කරමින් සිටිනවා

[14වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

USAF photo